රාවය

අස්ගිරි නිවේදනයේ නිරුවත

අස්ගිරි නිවේදනයේ නිරුවත

කේඩබ්ලිව් ජනරංජන

අන්තිමට අස්ගිරි විහාරය තමන්ගේ වීරයා වෙනුවෙන් එළිපිට හිටගත්තේය. ඒ වීරයා නම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිය. පසුගිය 11වැනිදා රාවයට ලියමින් අප කීවේ, ‘ඥානසාර භික්‍ෂුව මේ දිනවල රටේ බොහෝදෙනාගේ සවිඥානික මෙන්ම අවිඥානික වීරයෙකි. සමහරුන්ට ඔහු එළිපිටම වීරයකු වන විට සමහරුනට ඔහු රහසේ වීරයෙකි.’ කියාය. දැන් අස්ගිරිය විහාරයට ඔහු එළිපිට වීරයා වී තිබේ. ඒ වීරයා රකින්නට පෙරට ආ අස්ගි රි විහාරය කියන්නේ තමන් කොළ එළියක් පත්තු කළ බවකි. රතු එළිය ඉදිරියට පත්තුකරන බවකි.
අස්ගිරිය පන්සලත්, එහි මහානායක හිමියන් හා ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියන්ද හදන්නේ ආඳා මාළු ඉරටෙන් කන්නටය. ඒ නිසා එහිමිවරු මෙසේ කියති. ‘ඥානසාර භික්‍ෂුවගේ ආවේගකාරී හැසිරීම් රටාව හා අදහස් ප්‍රකාශන ශෛලිය අප කිසිසේත් අනුමත නොකරන නමුත් උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන්නෙමු.’

මේ ප්‍රකාශය එන්නේ අස්ගිරි මහනාහිමියන්ගේ අත්සනින් පසුගියදා නිකුත්කළ නිවේදනයේය. කරුණු අටකින් යුක්ත ඒ නිවේදනයේ මෙසේද කියයි. ‘උන්වහන්සේ ඉදිරිපත් කරන කරුණුවල සත්‍යාසත්‍යතාව හොයා බලා පිළියම් කරනු වෙනුවට එම සිදුවීම උපයෝගි කරගනිමින් සමස්ත භික්‍ෂු සමාජයම අවඥාවට ලක්කරමින් වාමාංශිකයැයි කියාගන්නා සහ බෞද්ධ පරිසරයක හැදුණ වැඩුණ දේශපාලනඥයන්ද, සමාජ ක්‍රියාකාරීන් හා විවිධ සංවිධාන කිසිදු ගෞරවයකින් තොරව භික්‍ෂූන් වහන්සේලා විවේචනය කරමින් නම පමණක් කියමින් ආමන්ත්‍රණය කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා, නිවේදන හා ලිපි පළකිරීම් අපි තරයේ හෙළාදකිමු.’

මේ නිවේදනයේ ඇත්තේ ඇත්තක් නොවේ. ඔය කියන ‘වාමාංශිකයැයි කියාගන්නා සහ බෞද්ධ පරිසරයක හැදුණ වැඩුණ දේශපාලනඥයන්ද සමාජ ක්‍රියාකාරීන් හා විවිධ සංවිධාන’ ද ලංකාවේ භික්‍ෂූන් වහන්සේලාට සමස්තයක් වශයෙන් නම පමණක් කියමින් අගෞරව කරන්නේ නැත. ඔවුන් නම පමණක් කියා අමතන්නේ, භික්‍ෂූන් වේශයෙන් සිටිමින්, බුදුදහමටත්, සිල්වත් භික්‍ෂු පරම්පරාවටත් නිගා දෙන භික්‍ෂු ප්‍රතිරූපකයන්ටය. මේ භික්‍ෂු ප්‍රතිරූපකයන් හැසිරෙන, කතාකරන, වෛරය අවුස්සන පහත් ආකාරය දකින, අසන කිසිම කෙනකුට ඔවුන් බුදුන්ගේ ශාසනයෙහි පැවිදිවූ, ඒ දහම අනුගමනය කරන අය හැටියට පෙනෙන්නේ නැත. එබැවින්, ඔවුන් හැඳින්වීමට ‘හිමි, භික්‍ෂූන් වහන්සේ’ වැනි වචන පාවිච්චි කිරීම ඇත්ත වශයෙන්ම බුදුදහම හරිහැටි පිළිපදින භික්‍ෂූන් වහන්සේලාට කරන නිගාවකි. විශේෂයෙන් ගලගොඩඅත්තේ ඥානසාර භික්‍ෂුවට, කිසිවකු නම පමණක් කියා අමතනවා නම්, අස්ගි රි පන්සල තේරුම්ගත යුත්තේ, එයින් සිල්වත් භික්‍ෂූන් හා භික්‍ෂු ප්‍රතිරූපකයන් එකිනෙකාගෙන් වෙන්කර පෙන්වන නිසා, බුදුදහමට, සංඝ ශාසනයට ගෞරවයක් ම වන බවය.
මිනිස්සු හැම භික්‍ෂුවකටම නම කියා කතාකරන්නේ නැත. හරියටම කිවහොත්, ගලගොඩඅත්තේ ඥානසාර භික්‍ෂුව හැර අන් කිසිම භික්‍ෂුවකට කවුරුත් නම කියා කතාකරනවා කිසි තැනක අසන්නට ලැබීද නැත. අස්ගි රි පන්සල කියන විදියට, ඥානසාර භික්‍ෂුවගේ මතවාදයම දරන භික්‍ෂූහු තවත් සිටිති. ඒ කිසිවකුට කිසිවකු තවමත් නම කියා අමතන්නේ නැත.

ඥානසාර භික්‍ෂුව වුවත්, මිනිසුන් නම කියා අමතන තරම් අවමානයකට පත්නොකර සිටීමට හැකියාවත් වගකීමත් තිබුණේ ඒ භික්‍ෂුව අයත් නිකායවල නායකකාරකාදීන්ටය. සියම් නිකායේ අස්ගිරි මහනායක හිමියනුත්, මැදගම ධම්මානන්ද ලේඛකාධිකාරී හිමියනුත් ඒ වගකීම දැරිය යුතු දෙදෙනෙකි. ගෙදරදී හරිහැටි නොහැදූ කොලුවකු පිට ගොස් ගුටිකන විට ඒ වගකීම ගතයුත්තේ ගෙදර සිටින මව්පියන්ය. ඥානසාර භික්‍ෂුවගේ මතවාදය කුමක් වුණත්, අඩු ගණනේ ඔහුට කාය සංවරය, වාචා සංවරයවත් ඇතිව ජීවත්වන හැටි කියාදීමේ වගකීමක් අස්ගිරි මහාවිහාරයට තිබුණි. අස්ගිරි විහාරය, ඒ වගකීම ඉටුකරන්නට පැහැදිලිවම අසමත්වී තිබේ. අසමත්වී නොව, වුවමනාවෙන්ම ඒ වගකීම ඉටුකිරීම පැහැර හැර තිබේ. ඒ, අප මීට පෙර කීවාක් මෙන්, ඥානසාර හිමි අස්ගිරිය විහාරයේ වීරයා නිසාය. ඒ අනුව, අද අස්ගිරිය විහාරයේ ආදර්ශය වී ඇත්තේ බුදුන් වහන්සේවත්, උන්වහන්සේගේ ධර්මය වත් නොවේද?

පසුගිය මාර්තු මාසයේ මුල මහනුවර මඟුල් මඬුවේදී පැවැති මොනරවිල කැප්පෙටිපොළ ඇතුළු කැරලි නායකයන් රාජද්‍රෝහීත්වයෙන් ගලවා ගැනීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමේ උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මඟුල් මඬුවට ගොඩවීම වලකන්නට හැකි සෑම වෑයමක්ම දැරුවේ කවුද? සාම්ප්‍රදායික බොදු ගොවි උඩරට නිකාය දෙකට අයත් නොවන, රාමඤ්ඤ නිකායේ මහනායක හිමියන්ට එම උත්සවයට සහභාගිවීම සඳහා මඟුල් මඬුවට ගොඩවීම වැළැක්වූයේ කවුද? අවසානයේ ඒ අවමානය ඉවසන්නට බැරිව රාමඤ්ඤ නිකායේ මහනායක හිමියන් උත්සවය අතරමඟ පිටව ගියේ කවුරුන් නිසාද? ඒ මහානායක හිමියන්ට වුණු සිත්තැවුල සමනය කරන්නට එවකට මාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක යවා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නට රජයට සිදුවුණේ කවුරුන් නිසාද? ලංකාවේ පිළිගත් විiාඥයන්, විiාඥවරියන් ගණනාවක් එකතුවී හැම පැත්තෙන්ම පරීක්‍ෂණ පවත්වා, කරුණු හොයාබලා, මහනුවර නගරය ලංකාවේ වායු දූෂණය අතින් ඉහළම නගරයක් වන බවත්, ඒ නිසා මහනුවර නගරයට දිනපතා පැමිණෙන පාසල් දරුවන් ඇතුළු සියලු දෙනාටම විවිධාකාර ශ්වසන රෝග හා වෙනත් රෝග ඇතිවිය හැකි බවත්, එය වලකාගැනීමට ඒ26 මාර්ගය වාහන ගමනාගමනය වෙනුවෙන් විවෘතකිරීම මහත් පිටිවහලක් වන බවත් සාක්‍ෂි, දත්ත සහිතව කියා සිටිද්දීත්, ඒ26 මාර්ගය වසා දමා තිබිය යුතුමයැයි කියමින් රජයට බලපෑම් කරන්නේ කවුද?

මේ ප්‍රශ්නවලට පිළිතුරු කවුරුත් දනිති. අනෙක් පැත්තෙන් අස්ගිරිය පන්සල පෙනීසිටින්නේ කා වෙනුවෙන්දැයි නොදන්නේ කවුද? මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේ, නාමල් රාජපක්‍ෂ මහතාගේ කාල්ටන් ක්‍රීඩා සමාජය දළදා මාලිගාව පෙනෙන තෙක් මානයේ කාර් රේස් පදිමින්, ඒ අවට එකම සැණකෙළියක් කරද්දී අස්ගි රියෙන් නැගුණු ‘අපි පාරේ බුදියාගන්නවා’ කියන සිංහ නාදය, අන්තිමේ මීක් සද්දයක්වත් නැති තරමට දියවී ගියේ කොහොමද? අස්ගිරියේ මහනායක උඩුගම බුද්ධරක්ඛිත මහානායක හිමියන්ගේ ඒ දැඩි වචනය තුට්ටුවකට ගණන් නොගෙන, නාමල් රාජපක්‍ෂ මහතාගේ ක්‍රීඩා සමාජය කාර් රේස් පැද්ද විට අස්ගිරිය පන්සලෙන් ආ විරෝධය කුමක්ද? එතකොටත්, මහානායක හිමි සහ ලේඛකාධිකාරිවරුන් එකතුවී නිවේදන නිකුත් කරමින් රජයට කොළ එළි දැල්වූවාද?

අද මැදගම ධම්මානන්ද හිමියන්ගේ න්‍යාය පත්‍රය කුමක්ද? එහිමියන් පෙනීසිටින්නේ එහිමියන්ගේ දේශපාලන වීරයා වුණු මහින්ද රාජපක්‍ෂ යළිත් බලයට ගෙනඒමේ ක්‍රියාන්විතයේය. ඒ වීරයා පාලන බලය හෙබවූ කාලයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඕනෑ විනාශයක්, ප්‍රහාරයක් කරන්නට විවෘත බලපත්‍රයක් රජයෙන් ලැබී තිබුණේය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඒ වෛරී ප්‍රහාර දිහා අහක බලාගෙන සිටින අතරේ, ගෝඨාභය රාජපක්‍ෂ මහතා, ගාල්ලේ පිලානේ බොදුබල සේනා අධ්‍යාපන මධ්‍යස්ථානයක් විවෘත කරමින් බොදුබල සේනාවට රහසින් තමන්ගේ ඇති අනුමැතිය එළිපිටම පෙන්නුම් කළේය. ඉතින්, අද ඒ රාජපක්‍ෂවරුන් වෙනුවෙන් පෙනී සිටින කිසිවෙක් වෙත් නම්, ඔවුන් ඥානසාර භික්‍ෂුව ආරක්‍ෂා කිරීමද හැම අතින්ම තර්කානුකූලය. ඒ නිසා මැදගම හිමියන්ගේ මුවින් පිටවන්නේ, ඊට ගැළපෙන ධර්මයකි.

අස්ගිරි විහාරය ආරක්‍ෂා කරගන්නට හදන ඥානසාර හිමිට පසුගිය කාලයේ නඩු පිට නඩු වැටී ඇත්තේ මොනවාටද? එහිමියන්ට එරෙහිව කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරුණු 6315/2000 දරන පරණ කුප්‍රකට නඩුවේදී චෝදනා කර ඇත්තේ එහිමියන් බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම ගැනය. 2014 ජුනි 15වැනිදා අලුත්ගමදී, ජාතීන් අතර වෛරය ඇතිකිරීමට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එහිමියන්ට එරෙහිව චෝදනා නගා තිබේ. ඊට අමතරව එහිමියන් ජුනි 21 දින අත්අඩංගුවට ගැනුණේ, පසුගිය මැයි 19 වන දින නාවල කොස්වත්ත ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉස්ලාම් ආගමටත් මුස්ලිම් ජනතාවටත් අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම ගැනය. කොම්පඤ්ඤ වීදියේදී සාමකාමී මාධ්‍ය සාකච්ඡාවකට කඩාපැන ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම, තලාහේන කල්වාරි මධ්‍යස්ථානයට හා එහි පූජකවරයාට පහරදීම, ඉස්ලාම් ආගමේ ශාස්තෲවරයාගේ ලිංගේන්ද්‍රිය ගැන කියමින් අපහාස කිරීම, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කඩාපැන අපහාස කිරීම, සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම වැනි දෑ එහිමියන් කළ අනෙක් නිතිවිරෝධී හා වෛර සහගත ක්‍රියාවලින් කිහිපයක් පමණකි. මුස්ලිම් ආගමට එරෙහි ත්‍රස්ත ක්‍රියා මිස, අස්ගිරි නිවේදනය කියන විදියට ඒවායේ ඇති ’ඊනියා මතවාදයක්’ නැත. ඉතින්, අස්ගිරි විහාරයත්, මැදගම ධම්මානන්ද හිමියනුත් රකින්නට හදන්නේ, මේ ආකාරයෙන් බුදුදහමේ තිබෙන සංහිඳියා ලක්‍ෂණයවත් නොරකින, කිසිම විනයක් හික්මීමක් නැති, භික්‍ෂු ප්‍රතිරූපකයකුද? මෙවැන්නකු රකින්නට ඉදිරිපත්වීමෙන් පෙනෙන්නේ අස්ගිරි විහාරය වැටී ඇති කනගාටුදායක තත්ත්වයේ තරම මිස වෙන දෙයක් නොවේ.

අස්ගිරි මහනායක හිමියන් පෙරටුකොට ගත්තත්, මේ එන්නේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියන්ගේ වුවමනා එපාකම්ය. ධම්මානන්ද හිමියන්ම ඒ බව පිළිගනියි. පසුගිය ජනවාරි 6වැනිදා පොතක් එළිදැක්වීමේ උත්සවයකදී මැදගම හිමියෝ මෙසේ කීහ. ‘ඔය රාවයකාරයා, -එහෙම මම කියන්නේ හෙළාදකින්නමයි- සියයට 40ක් ලිපි, බලන්න පත්තර අධීක්‍ෂණය කරලා, බෞද්ධ විරෝධී, සිංහල විරෝධී දේවල් තියෙන්නේ රාවය පත්තරේ. පසුගිය සතියේ දාලා තිබුණේ මොකක්ද? ‘අස්ගිරි නායක හිමියන් නොමග යවන්නේ කවුද?’ අපි සංඝ සභාවක් හැටියට අපිට අයිතියක් තියෙනවා අපේ මහානායක හාමුදුරුවන්ට උපදෙස් දෙන්න. ඒ එක්කම කියනවා, මහින්ද රාජපක්‍ෂ ඒකීය රාජ්‍යයක් ගැන කියනවා, ඒ හඬ තමයි අස්ගිරියෙන් නැගෙන්නේ. ඔන්න ඔය විදියට තමයි ඒ අය සලකන්නේ.’

ඇත්ත වශයෙන්ම නම් මැදගම හිමියන්ගේ අදහසුත්, රාජපක්‍ෂ කණ්ඩායමේ අදහසුත් දෙකක් නොව එකකි. ඒ බව පසුගිය කාලය තුළ එහිමියන් කළ කී දෑ ගැන සොයාබැලීමෙන් පැහැදිලිව තේරුම් ගත හැකිය. අවාසනාව නම්, ඒ රාජපක්‍ෂ මතවාදය පතුරුවන්නට, බුදුදහම, බුද්ධ ශාසනය හා අස්ගිරි විහාරය දඩමීමා කරගැනීමය.■