ජනතාව බජිරි වපුරලා බාස්මතී හොයනවා -සුනිල් හඳුන්නෙත්ති


sunil

තරිඳු උඩුවරගෙදර

ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව තමන්ගේ උපරිමය කරනවාද? මේ ආණ්ඩුවටත් ඩෙංගු පරද්දන්න පුළුවන්ද?

ඩෙංගු සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිවක් කරන්නේ නැහැ. කරන්න පුළුවන්කමක් තියෙන බවක් පෙනෙන්නේත් නැහැ. හැබැයි මේක විතරක් කිව්වොත් සමහරු හිතයි ආණ්ඩුවට වෙන දේවල් කරන්න පුළුවන් කියලා. ආණ්ඩුවට අනෙක් හැමදේම බැහැ වගේ, ඩෙංගු මර්දනය කරන්නත් බැහැ. ජනතාව ගැන තියෙන අවධානයයි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න වුවමනාවයි පළවැනියට තියෙන්න එපැයි. බලය අරගෙන තමන්ගේ ප්‍රශ්න විසඳාගනිමින් ඉන්න ඇමතිවරුන්ට මේක තේරෙන්නේ නැහැ අපි මේක දේශපාලන ප්‍රශ්නයක් විදියට සාකච්ඡා කළාට. මේ ඇමතිවරයෙකුගේ පවුලේ කෙනෙකුට ඩෙංගු හැදිලා ඇඳක බිමක වාඩිවෙලා පුටුවක ඉඳගෙන දවස් කිහිපයක් හිටියොත් තමයි මේ අයටත් ඒක දැනෙන්නේ. එයාලා උණක් හැදුණත් මවුන්ට් එළිසබෙත් යන්නේ. අනෙක් පැත්තෙන් කිසි වැඩපිළිවෙළක් නැහැ. රාජිත සේනාරත්න ඇමතිවරයා කියලා තිබුණේ රටේ සංවර්ධනය වැඩි වෙනකොට ඩෙංගු වැඩිවෙනවා කියලා. දැන් ඩෙංගු සංවර්ධනයේ මිම්මක් වෙලානේ. ඩෙංගු විසඳපු ආණ්ඩු මොනවද කළේ. බීටීඅයි බැක්ටීරියාවෙන් විතරක් නෙවෙයි මේක කරන්නේ. ඩෙංගු මර්දනය කරන්න ක්‍රියාන්විතයක් තියෙනවා. රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ජනතාවට දඩ ගහලා, බය කරලා ඕවා කරන්න බැහැ. ජනතාව වැරදිකාරයෝ කරලා හරියන්නේ නැහැ. ජනතාවත් සහභාගි කරගෙන යමක් කරන්න ඕනෑ. ජල සම්පාදන මණ්ඩලය, පොලීසිය, හමුදාව, සිවිල් සේවා, මහජනතාව එකම ක්‍රියාන්විතයකට එන්න එපැයි. වැඩියෙන්ම අපිරිසිදු වෙලා තියෙන්නේ රාජ්‍ය ආයතනම තමයි. පාසල් පද්ධතිය සුද්ධ කරගැනීමේ දැඩි අවශ්‍යතාවක් තියෙනවා. ළමයි විශාල ප්‍රමාණයක් ඉස්කෝලේ හින්දා ඩෙංගු ප්‍රශ්නයට මැදිහත් වෙලා තියෙනවා. නගරවල කුණුකසල ඉවත් කරගන්නේ නැතිව කොහොමද ඩෙංගු විසඳන්නේ. ජනාධිපති තමන්ගේ කාර්යසාධන වැඩසටහන් කරනවා. තව කට්ටිය ආණ්ඩුව මේක වරද්දගන්නකන් බලාගෙන ඉන්නවා. ඉතින් ආණ්ඩුවට හැමදේම බෑ වගේ මේකත් බෑ.

කසළ ප්‍රශ්නයත් දැන් දරුණු ප්‍රශ්නයක් බවට පත්වෙලා නේද?
කුණු ප්‍රශ්නය දැන් කුණුවෙලාම ගිහින් තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පළාත් පාලන ඡන්දය නැති හින්දා මේක කරගන්න බෑ කියලානේ. ඒකේ බලපෑමක් තියෙන්නත් පුළුවන්. හැබැයි පළාත් පාලන තිබ්බත් නොතිබ්බත් කුණු ප්‍රශ්නය විසඳාගන්න වැඩපිළිවෙළක් තියෙන්න එපැයි. ප්‍රධාන නගරවල එකතුවෙන කුණු ටික කුණු හැටියට ඉවත් කිරීම නෙවෙයි, ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළක් තියෙන්න එපැයි. ලෝකයේ අනෙක් රටවල කුණු ප්‍රශ්න විසඳෙන්නේ පළාත් පාලන ඡන්ද තියෙනවාද නැද්ද කියන එක මත නෙවෙයිනේ. ආණ්ඩුව මොකක් වුණත් කසළ කළමනාකරණයට වැඩපිළිවෙළක් තියෙනවා. දැන් ඒක සල්ලි හම්බකරන මාෆියාවක්. මේක පාතාලයත් සම්බන්ධ ප්‍රශ්නයක්.

ආපදාවලින් යටවුණ සයිටම් ප්‍රශ්නය ආපහු මතුවෙමින් තියෙනවා නේද? ආණ්ඩුව විසඳුමක් යෝජනා කරලා තියෙද්දීත් සිසුන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන බව ආණ්ඩුව පැත්තෙන් කියනවා.
ආණ්ඩුව සයිටම් ප්‍රශ්නය නෙවෙයි විසඳුවේ. නෙවිල් ප්‍රනාන්දුගේ ප්‍රශ්නයයි විසඳුවේ. නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගැනීමෙන් ණයවලටයි, ආදායමටයි තිබුණු ප්‍රශ්නය විසඳුවේ. සයිටම් ප්‍රශ්නය විසඳන්න තියෙන්නේ ක්‍රම දෙකයි. එක්කෝ ආණ්ඩුව ගෙදර යන්න ඕනෑ, නැත්නම් සයිටම් වහන්න ඕනෑ. හැබැයි ආණ්ඩුවට එහෙම බැඳීමක් නැහැ. ආණ්ඩුව මේ ගැටෙන්නේ කා එක්කද. ජනතාව එක්ක. රෝහල් පද්ධතිය, රෝගීන්, ශිෂ්‍යයෝ, අධ්‍යාපනය. දැන් වෛද්‍ය සිසුන්ගේ ඉගෙනීම අවුරුද්දකින් කල් යනවා. ඒ අනාගතයේ වෛද්‍යවරු. ඔවුන් වෙනුවෙන් රටක් හැටියට මුදලක් වැය කළානේ. සයිටම් එකේ ඉන්න මුදලාලිට රැවටුණ ළමයින්ට සාධාරණයක් දෙන්න ඕනෑ බව ඇත්ත. හැබැයි රටේ සමස්ත අධ්‍යාපනය, දරුවන්ගේ අධ්‍යාපනය ගැනත් හිතන්න ඕනෑ. දැන් පහරදීලා සිසුවෙක් මියගියොත් එහෙම වගකීම බාරගන්නේ කවුද. එහෙම ජීවිතයක් නැතිවුණොත්ද මේකට විසඳුමක් දෙන්නේ. ආණ්ඩුව ඊට කලින් විසඳුමක් නොදීම ගැන වගකියන්න ඕනෑ නැද්ද.

ආණ්ඩුව සයිටම් වෙනුවෙන් පෙනීඉන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ගැන ප්‍රතිපත්තිමය තීන්දුවක් නිසා නෙවෙයිද?
අපි පෞද්ගලික අධ්‍යාපනයට එකඟ නැහැ. හැබැයි ආණ්ඩුව පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට කැමති ප්‍රතිපත්ති නිසා කියලා හිතමුකෝ. එයාලාගේ ප්‍රතිපත්තිය අනුව වුණත් සයිටම් කියන්නේ ඉතාම වැරදි ආයතනයක්. ලෝකයේ පෞද්ගලික අධ්‍යාපන ආයතන වුණත් ලාබ ලබන කළුකඩ නෙවෙයි. ඒවා පෞද්ගලිකව ඉඩකඩම් තිබුණු මිනිස්සු රටේ යහපත වෙනුවෙන් ඇතිකළ පුණ්‍යායතන. ඒවා පාලනය වෙන්නේ මණ්ඩලවලින්. ඒවා ලාබ හොයන්නෙ නෑ. ඒවායින් ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට උපාධි දීලා නැහැ. තමන්ට විරුද්ධ මිනිස්සුන්ව නම්මගන්න උපාධි පිරිනමන්න ක්‍රමයක් නෑ, මුලට ගියොත්, මේකේ ආරම්භයම ප්‍රමිතියක් නෑ. මේ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කෝප් කමිටුවට ආවාට පස්සේ හොඳටම අනාවරණය වුණා. මේවාට අවසර දීලා තියෙන්නේ අත්තනෝමතික විදියට. විෂය මාලාවන් ගැන, විශ්වවිද්‍යාලය ආරම්භ කරන විදිය ගැන ක්‍රමවේද අනුගමනය කරලා නැහැ. වැරදි ක්‍රමවේදයකට ආරම්භ කළ ආයතනයකට රජය බැඳිලා ඉන්නේ.

ජනතාව අතරේ වුණත් සයිටම් ආයතනයට පැවතිය යුතු බව හිතන අය ඉන්නවා නේද? ඔබ දකින විදියට මේ ගැන ජනතාවගේ අදහස මොකක්ද?
ජනතාව අතර තියෙන මනෝභාවය නැතිබැරිකමට කරන්න දෙයක් නැති හින්දා තියෙන අදහසක්. සල්ලි තියෙන මධ්‍යම පන්තිකයන් අතර තියෙනවා තමන්ගේ දරුවා රජයේ විශ්වවිද්‍යාලයට යවාගන්න බැරිවුණොත් මෙහෙම තැනක් හරි තියෙනවා නම් හොඳයි කියලා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ රජයේ විශ්වවිද්‍යාලයට යවන්න මේ අය කැමති නැහැ කියලා. මෙහෙම හිතමු. මේක තිබුණාට කමක් නැහැ කියලා හිතන, මේකට ළමයින්ව ඇතුළත් කරන මිනිසුන්ගෙන් බහුතරයටත් මේ ලක්ෂ එකසිය ගණනක් ගෙවන්න තරම් සල්ලි නැහැ. වෙන කරන්න දෙයක් නැති නිසායි ඔවුන් ණය වෙලා, රට ගිහිල්ලා, ඉඩම් උගස් තියලා මේකට ළමයින්ව ඇතුළත් කරන්නේ. ඔවුන්ගේත් පළමු කැමැත්ත තියෙන්නේ රජයේ විශ්වවිද්‍යාලයට. ආණ්ඩුව ඒක යටපත් කරලා තමයි පටු වුවමනා වෙනුවෙන් මේක ගෙනෙන්නේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ප්‍රතිපාදන පුළුල් කරලා ඒ ළමයින්ටත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට යන්න අවස්ථාව හදන්න පුළුවන්. අපි කියන්නේ සල්ලි තියෙන මිනිස්සුන්ගේ ළමයින්ට උගන්වන්න එපා කියලා නෙවෙයි. දැනුම සල්ලි තියෙන කෙනා සහ නැති කෙනා විදියට බෙදන්න එපා කියලායි අපි කියන්නේ.

ව්‍යවස්ථාව ගැන ආණ්ඩුව කතාකරනවා. ව්‍යස්ථාව ගැන අභ්‍යන්තර සාකච්ඡාවලදී එජාපය සමාජ ආර්ථික අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුළත් නොකරන ස්ථාවරයක ඉන්නා බව දැනගන්න තියෙනවා. ව්‍යස්ථාව සම්මත වීම ගැනම සහතිකයක් නැති පසුබිමක මේ ගැන ඔබේ අදහස මොකක්ද?
අපි පළවැනි කතාව මෙහෙම ගමුකෝ. ව්‍යවස්ථාවක් මොකටද. ව්‍යවස්ථාවක් නැතිව වුණත් රටක් පාලනය කරන්න තිබුණානේ. ඒත් ව්‍යවස්ථාවක් තියෙනවානේ. එහෙනම් ඒකට හේතුවක් තියෙනවා. ව්‍යවස්ථාවක් තියෙන්නේ සමාජ පැවැත්ම වෙනුවෙන්. සමාජ පැවැත්ම මේ ආණ්ඩුවට වැදගත් නැහැ. එයාලා බලන්නේ මෛත්‍රීපාලට ආයේ එන්න පුළුවන්ද. රනිල්ට ජනාධිපතිවරණ දිනන්න පුළුවන්ද. මහින්ද ආපහු එයිද. පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගන්න පුළුවන්ද. ව්‍යවස්ථාව සම්මත වුණොත් ඊළඟ ඡන්දයේදී මොනවා වෙයිද වගේ කාරණා. එහෙම ව්‍යස්ථා හදනවාද. මූලික මිනිස් අයිතිවාසිකම්, පැවැත්ම, අනාගත පරම්පරාවලට අයිතීන් ආරක්ෂා කරනවාද, සුළුතර ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවාද. කාන්තා, ළමා, වැඩිහිටි අයිතීන් රකින්නේ කොහොමද. ව්‍යවස්ථාවක මූලිකම අරමුණ ඕක. හැබැයි දැන් තියෙන ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කොහොමද. අහෝසි කරනවා නම් ඉන්න විධායක ජනාධිපතිට ලැබෙන වාසිය මොකක්ද. අතිශය පුද්ගලික විදියටනේ මේවා කරන්නේ. බලය බෙදීම කියන මාතෘකාව එන්නේත් කේන්ද්‍රයෙන් පිට ඉන්න ජනතාවගේ අයිතිවාසිකම් පැත්තෙන්නේ. ලංකාවේ යුද්ධය තිබුණු නිසා අපි හිතන්නේ යුද මානසිකත්වයෙන්ද නැද්ද කියන එකත් ගැන සාකච්ඡා කරන්න ඕනෑනේ. යුද්ධයෙන් පස්සේ මිනිසුන්ගේ අයිතීන් ආරක්ෂා කරන්නේ කොහොමද කියන එකනේ ප්‍රශ්නය. දේශපාලන පක්ෂ තවත් දුර්වල කරලා නෙවෙයිනේ මේක කරන්න ඕනෑ. ලංකාවේ තියෙන දේශපාලන පක්ෂවල නියෝජනය රැකගන්න ඕනෑනේ. හැබැයි දැන් මෙයාලා බලන්නේ සුළු පක්ෂ නැති කරලා දාන්නේ කොහොමද. මහජාතිය කියලා එයාලා කියන ජාතියේ අයිතීන් රැකගෙන සුළු‍ ජාතීන් කියලා එයාලා හිතන අයගේ බලය නැති කරගන්නේ කොහොමද. මේවානේ තියෙන ප්‍රශ්න. ඉතින් ඔයා අහන විදියේ සමාජ ආර්ථික අයිතීන් ගැන එයාලා හිතනවාද. ඒවා කවර කතාද. ජනතාව උඳු වපුරලා තල බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. උඳුම තමයි ලැබෙන්නේ. ඇත්තටම කිව්වොත් ලංකාවේ ජනතාව බජිරි වපුරලා මසුරන් බාස්මතී හොයනවා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ බජිරි. බජිරිවලින් මසුරන් ලැබෙන්නේ නැහැ.

ජනතාව හිතනවා මේ ආණ්ඩු අපි පත්කළ නිසා අපි හිතන දේ කරයි කියලා. හැබැයි එහෙම ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවලා නැහැ.
ආණ්ඩුව මේ වන විට කිසිම ඉදිරි පියවරක් ගන්න බැරිව හිරවෙලා ඉන්න බව පෙනෙනවා. ඒකට හේතුව විදියට ඔබ දකින්නේ මොකක්ද?
ආණ්ඩුවට මොනවත් කරන්න බැහැ. අපේ රටේ ආර්ථිකයේ ශේෂ පත්‍රයක් නෑ. ඉදිරි ගමනක් නෑ. ව්‍යාපාරෙකට ණය දීලා දීලා වත්කම් ප්‍රමාණයට වඩා ණය වැඩි නම් ණය දුන්න මුදලාලි කරන්නේ ව්‍යාපාරය සතු දේපළ ටික විකුණලා ණය හිලව් කරගන්නවා. දැන් අපේ රටත් ඒ වගේ තත්ත්වයක තියෙන්නේ. අපි ණය වෙලා තියෙන ප්‍රමාණයට රටේ ආර්ථිකයක් නෑ. ඍණ ආර්ථිකයක් තියෙන්නේ. ඒක පුම්බන්න ගිහිල්ලා තමයි විගණකාධිපතිවරයා කිව්වේ මේ ශේෂ පත්‍රය පිළිගන්න බැහැ කියලා. මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කරලා තියෙන වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගිණුම විදියට. ඒකේ ගත්ත මුළු ණය වත්කම් හැටියට පෙන්වලා. බැඳුම්කර ඩීල් එකෙන් ගත්ත රුපියල් බිලියන දහය වත්කම් විදියට පෙන්වලා තියෙන්නේ. හැබැයි ඒ බිලියන දහය පොලී ගෙවන්න අරන් තියෙන්නේ. පොලියට ගත්තාම ඒක වත්කමක් නෙවෙයි ණයක්නේ. ඉතින් මේ ප්‍රකාශන විගණකාධිපතිවරයා පිළිගන්නේත් නැහැ. මෙයාලා මොනවා පෙන්වුවත් යථාර්ථය භයානකයි. අපි ගිනිකන්දක් උඩ නෙවෙයි, ගිනිකන්දක් මැද ඉන්නේ.

ආණ්ඩුව කිසිම දෙයක් කරන්නේම නැද්ද?
ආණ්ඩුව ඉන්නේ දැන් බැහැ කියන තැන. මේ ආර්ථිකයට ආදායම් පොම්පවෙයි කියලා හිතන්න පුළුවන් පැත්තක් නෑ. ඇඟලු‍ම් කර්මාන්තය හරි වෙන කර්මාන්තයක් හරි මේ විදියට උස්සන්න අමාරුයි. ලෝක ආර්ථිකයේ තියෙන සමහර චලනයන්, යුරෝපයේ සහ අරාබියේ තත්ත්වයත් ඒකට බලපානවා. අපනයනය තවත් වැඩි කරන්න බැහැ. අපට ඕනෑ නම් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මහන්සි වෙනවා නම් කරන්න පුළුවන්. අතිශය තීරණාත්මක විදියට රජයේ නාස්තිකාර වියදම් නැති කරන්න ඕනෑ. ඒකට ලොකු කැපකිරීමක් කරන්න ඕනෑ. හැබැයි මේ ඉන්න ඇමතිවරු බලයට ඇවිල්ලා තියෙන්නේම පරම්පරා ගණනකට හම්බකරන්න මිසක් ඒ වගේ කැපකිරීමක් කරන්න නෙවෙයි. ඉතින් මේ ආණ්ඩුව එක්ක ඒ වගේ විසඳුම් ගැන බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ.

නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව කියනවා. ආණ්ඩුවත් ඒ ප්‍රතිපත්තියෙන් රට සංවර්ධනය කරන්න පුළුවන් කියලා හිතනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
නව ලිබරල්වාදී ප්‍රතිපත්තියට වුණත් යම් ආර්ථික ප්‍රතිසංස්කරණ ගතිලක්ෂණ ප්‍රමාණයක් තියෙනවානේ. ඒකවත් හරියට කළා නම් කුමක් හෝ වෙනසක් වෙනවා. හැබැයි එහෙම වෙනසක්වත් නැහැ. අපනයන විවිධාංගීකරණය, සමාජ වෙළෙඳපොළ වගේ සුන්දර වචන තියෙන්නේ. අර කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් ගැන කිව්වා. දැන් ඒකට ගත්ත ඉඩමේ පොල්ගස් ටික ගලවලා පොල්වලින් ලැබුණු ආදායමවත් නෑ. ඒකේ කර්මාන්තශාලාවක් හැදෙන්නේත් නෑ. මෙයාලාගේ නව ලිබරල්වාදය තියෙන්නේත් වචනවල විතරයි. රැකියා දශලක්ෂයක්, නිවාස පන්ලක්ෂයක් ගැන කිව්වා. ගෙවල් හදන්න ණය දෙන එකවත්, ආපදා වුණාම ගෙවල් හදන එකවත් නෙවෙයිනේ නිවාස හදනවා කියන්නේ. රැකියා දසලක්ෂයක් දෙනවා නම් අවුරුදු දෙකක් ගිහිල්ලා තියෙද්දී ඒකෙන් අරික්කාලක්වත් දැන් දීලා තියෙන්න එපැයි.■