රාවය

ජ්‍යොතිෂ්‍යයත් බුදුදහමත් එකක් නොවෙයි දෙකක්

ජ්‍යොතිෂ්‍යයත් බුදුදහමත්  එකක් නොවෙයි දෙකක්

නිමල් අබේසිංහ

පැරණි ඉන්දිය සමාජය තුළ මුල් බැසගෙන තිබූ මිථ්‍යාවන් බුදුන් පිටු දැක්කේ මොන විදියටද?
සොබාව ධර්මයට දේවත්වයක් ආරෝපණය කරලා තමයි වෛදික සාහිත්‍යය සම්පූර්ණයෙන්ම ගොඩ නගලා තිබෙන්නේ. ඊට පෙර වුවත් අදෘශ්‍යමාන බලවේගවලට යම් බියක්, ඒවා කෙරෙහි මිථ්‍යා විශ්වාසයක්, යම් ආකාරයක ගුප්ත හැඟීමක් මිනිස්සු අතර තිබුණ බවට හේතු සාධක තිබෙනවා. ඒකෙන් පෙනෙන්නේ එදා යුගයේ මිනිස්සුන්ට විද්‍යාත්මක අවබෝධයක් නොතිබුණු බවයි. මේ වගේ විශ්වාසයක් තිබුණු, ඇදහූ සමාජයක තමයි බුදුහාමුදුරුවෝ පහළවෙන්නේ. ස්වභාව ධර්මය පිළිබඳ, ග්‍රහලෝක පිළිබඳව උන්වහන්සේ ලබාගත්ත අවබෝධය තුළින් මිනිස්සුන්ට පැහැදිලි දර්ශනයක් ඉදිරිපත් කළා. වැස්ස, ගින්න මවන්නේ දෙවියන් විසින් නොවෙයි එය සොබාධර්මයේ සංසිද්ධියක් යන්නත් ඒ නිසා මේ මිථ්‍යා විශ්වාස ඔස්සේ ගිහිල්ලා මිනිස්සුන්ට විමුක්තියක් ලැබිය නොහැකි බවත් පෙන්වා විමුක්තිය ලබාගත හැකි පැහැදිලි දර්ශනයක් උන්වහන්සේ ඉදිරිපත් කළා. හැබැයි ඔය මිථ්‍යා විශ්වාසවලින් සමාජයට හානිකර නොවන යහපතක් වුණ අවස්ථාත් තිබෙනවා.

මිථ්‍යාවක් නම් ඒකෙන් යහපතක් වෙන්නේ කොහොමද?
ුඑදා මිනිසුන්ට තිබුණ දැනුම අනුව විiාත්මක ක්‍රමයක් සන්නිවේදනය කරන්න ක්‍රමවේද තිබුණේ නෑ. ඒ නිසා ගස් කඳුවලට අරක්ගත් දේවතාවුන් ඉන්නවා කියලා කිව්වාම ඒ අය කැලෑ විනාශ කිරීම කළේ නෑ. අදත් ලෝකයේ සිද්ධවෙන වන විනාශයන් බැලුවාම එහෙම වෘක්ෂ දේවතාවෝ ඉන්නවා කියලා බයක් තිබුණා නම් ඔය තරම් කැලෑ විනාශ කරන්නේ නෑ. ජාතක කතාපොතේ තිබෙනවා රුක්ඛ ධම්ම ජාතකය කියලා කතාවක්. මේක සම්පූර්ණයෙන්ම නිර්මාණයක්. ඒ කතාවේ තිබෙන්නේ කැලෑවේ සිටින කොටි සිංහයෝ වාගේ සත්තු විසින් මරාකන ලද සතුන්ගේ ඉතිරි කොටස් කුණුවෙලා නැගෙන දුර්ගන්ධය නිසා දේවතාවුන් අපහසුතාවට පත්වෙලා කරන සාකච්ඡාවක්. එතැනදී දෙවිවරු තීන්දු කරනවා. ඒ දරුණු සතුන් කැලෙන් එලවලා දාන්න. ඒත් එක දේවතාවෙක් කියනවා, එතකොට බය නැතිව කැලේට ඇවිත් ගස් කපලා විනාශ කරලා දායි කියලා. ඉතින් මේකෙන් දෙන පණිවිඩයක් වන්නේ වනාන්තරයේ වෙසෙන සතුන්ගේ අන්‍යොනය සබඳතාවයෙන් එහි පැවැත්ම ක්‍රියාත්මක වෙනවා. එයට කෘත්‍රිම විදියට බලපෑම් නොකළ යුතුය කියන එක. බුදුරාජණන් වහන්සේ දේශනා කළේ “වන චින්දත මා රුක්ඛං” කියලායි. ගස් කපන්න එපා වනය විනාශ කරන්න. මෙතැනදී වන කියලා කියන්නේ කෙලෙස් නමැති වනයටයි.

ඔබ වහන්සේ කියන්නේ මිනිසුන් තුළ එවැනි මිථ්‍යා විශ්වාස තිබීම තුළ ඔවුන්ට යහපතක් වෙනවා කියලාද?
එහෙමම නොවෙයි. මිනිසුන්ට මානසික වශයෙන් යම්කිසි සුවයක් මෙන්ටල්තෙරපි වගේ දෙයක් වෙනවාට මා විරුද්ධ නැහැ. කිසිවෙක් මානසික වශයෙන් අමාරුවේ වැටිලා සිටින අවස්ථාවක ඔහුට පිහිටක් වෙන දෙයක් නම් එය වරදක් නොවෙයි. ඒත් මේ මුවාවෙන් මිනිසුන් මුලාකරන රවටන යම් යම් දෙනා ඉන්නවා. ඒවා තමයි මිථ්‍යාව මිනිස්සු නොමග යවන්න භාවිත කිරීමක් වන්නේ. යම් ආකාරයකින් මානසිකව දුර්වල වූ කෙනෙකුට ඒවායින් බලපෑමක් වෙන්න පුළුවන්. එය එහෙම වුවත් මේ මතිමතාන්තරවල මිනිස්සු හැමදාමත් රඳවාගන්න පුළුවන්කමක් නෑ. අධ්‍යාපනය තුළින් විiාව තුළින් එදිනෙදා ජීවිතය පිළිබඳ ලබන දැනීමත් එකක් මිනිස්සු ඊට වඩා ධනාත්මක විදියට හිතලා කටයුතු කරන්න පුරුදු වෙනවා. කාලයක් දොළුකන්දේ එහෙම වැඩපිළිවෙළක් තිබුණා. දැන් මිනිස්සු දොළුකන්දේ යනවාද?
අද ජ්‍යොතිෂ්‍යය කියන මිථ්‍යාව රටේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා. රාජ්‍ය නායකයන් පවා මේ විශ්වාසයන්හි එල්ලිලා සිටිනවා නේද?
බෞද්ධ දර්ශනයේදී පවා බුදුන් වදාරළා තිබෙන්නේ කිසිම දෙයක් හිතන්නේ මතන්නේ නැතිව පිළිගන්න එපා කියන එකයි. විශේෂයෙන් ම බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයෙන් පෙන්වා දීලා තිබෙනවා පොත පතේ තිබුණට පෙර සිටම පැවත ආ පළියටම, ගුරුවරුන් කියන නිසාවත් පිළිගන්න එපාය කියන කාරණාව. යමක් පිළිගන්නවා නම් තමන්ගේ බුද්ධියෙන් කල්පනා කරලා තීන්දුවකට එළඹෙන්න ඕනෑය කියන එක.
ඒ නිසා තමනුත් විමර්ශනය කළ යුතුයි. ඒ නිසා බෞද්ධයන් විදියට ගත්තොත් අපට නිර්ණායකයක් ලැබිලා තිබෙනවා. සමහර ආගම්වල තිබෙනවා, ඒ කියන දේවල් ඒ විදියටම පිළිගන්න ඕනෑ, ඒවා දේව වාක්‍ය, ප්‍රශ්න කරන්න බැහැ කියලා. එනිසා ඒ ඒ ආගම් ප්‍රවර්ධනය කරන වගකිවයුත්තන් විසින් ඒවා අද යුගයට අර්ථවත් වෙනවාද නැත්ද යන්න පැහැදිලි කර දිය යුතුයි.

ජ්‍යොතිෂ්‍යය ගැන කීවොත් බුදුන් එය ප්‍රතික්ෂේප කළත්, භික්ෂූන්ට එය අදාළ කරගත හැකි අවස්ථා ගැන සදහන් කරලා තිබෙනවා. ඒ තමයි සෘතු වෙනස්වීම් ආදිය ගැන දැනගන්න, වර්ෂා කාලය දැනගන්න ආදි දේවලට.
මිනිස්සු හැම දේවලටම වහල්වෙලා හිටියොත් කිසිදෙයක් කරන්න බැහැ. මේ කාලේ සමහරු අර පූජාව මේ පූජාව ආදි වශයෙන් පූජා තියන්න පුරුදු වෙලා විනාශ වෙන තත්ත්වයක් දකින්න තිබෙනවා. ජ්‍යොතිෂ්‍යයට අනුව පොරොන්දම් බලලා පොරොන්දම් සීයට සීයක් ගැළපිලා විවාහ වුණ අයගේත් විවාහ කඩාකප්පල් වුණ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. අද වන විට ජාන පරීක්‍ෂණ තුළින් දෙදෙනෙකුගේ ගැළපීම ඉතා හොඳට කරන්න පුළුවන්. ඒ වගේම ජ්‍යොතිෂ්‍යයට අනුව අහවල් කාලේ ඡන්ද තියන්න කියලා ඡන්ද තියලා දේශපාලනඥයෝ අමාරුවේ වැටිලා තිබෙනවා. ඉතින් මට කියන්න තිබෙන්නේ මිනිස්සු ඕනෑවට වඩා මේවා පිටිපස්සේ දුවන්න ඕනෑ නැහැ කියන එකයි.

ජ්‍යොතිෂ්‍යවේදීන් කියාගන්නා උදවිය මේ වන විට බුදුහාමුදුරුවන්ගේ හඳහනත් හදලා තිබෙනවා. ඒ ගැන ඔබ වහන්සේට කියන්න තිබෙන්නේ මොනවාද?
අවුරුදු දෙදහස් හයසීයකට පෙර ඉපදුණු කෙනෙකුගේ කේන්ද්‍රය හදන්නේ කොහොමද? එහෙම හදන්න ඉපදුණ වේලාව සටහන් කරලා තිබ්බේ කව්ද? බුදුහාමුදුරුවෝ කේන්ද්‍ර විශ්වාස කරපු කෙනෙක් නොවෙයි. අඩුම වශයෙන් ගිහිගෙය අතහැරලා යනකොටවත් වේලාවක් නැකතක් බැලුවා කියලා කොයිතැනකවත් සඳහනක් නෑ. ලෝකයේ පවතින අන්ත දෙකම අත්හැරලා දැමූ කෙනෙක්. කොහොමටත් ජ්‍යොතිෂ්‍යය බුද්ධාගමට ගැළපෙන්නේ නැහැ. ජ්‍යොතිෂ්‍යයයි බුද්ධාගමයි කියන්නේ දෙකක්. කව්රු හරි එහෙම කරන්න යනවා නම් ඒක වැරදි දෙයක්.

ඒ වගේම බෝධි පූජා රැල්ලකුත් දැන් තිබෙනවා නේද?
බෝධියට ගරුකරන එක අතීතයේ සිට තිබුණ දෙයක්. බෝධියට බෞද්ධයන් තුළ ගෞරවයක් තිබෙනවා.
හැබැයි දැන් බෝධියට ගරු කිරීම නවීකරණය වෙලා. බෝධියට නෙවෙයි බුද්ධ පූජාවටවත් කවි කියන්නේ නෑ. පානදුරේ අරියධම්ම හාමුදුරුවන්ගෙන් පස්සේ විවිධාකාර බෝධි පූජා අද නිර්මාණය කරගෙන තිබෙනවා. වාණිජ රැල්ලට බෞද්ධයනුත් හසුවෙලා තිබෙනවා. මේවා යම් යම් පටු පරමාර්ථවලට යටවෙලා. එක අතකින් හැම දෙයක්ම වෙනස්වන යුගයක ආගමික සංස්ථාවට පමණක් එයට මුහුණ දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයත් මතුවෙනවා.■