ක්‍රීඩා ඇමති ඉන්දිය ක්‍රීඩාලෝලියකු නොවිය යුතුය


minister

ඒ. වික්‍රමසූරිය

දිනක් වඳුරකු උළු වහලයක් මත රඟනු දුටු ගෙහිමියෙක් අත්පොළොසන් දී ප්‍රීති වන්නට විය. එය දුටු බූරුවෙක් ඊට පසුදින උළු වහලයට නැඟ නටන්නට විය. එම බූරු රංගනයෙන් උළු බිඳෙන්නට විය. මෙයින් කුපිත වූ ගෙහිමියා කෙවිටක් ගෙන ඌට තලා බිමට බැස්සවිය. පහර කෑමෙන් ලද වේදනාවත් ලජ්ජාවත් නිසා පරිපීඩිත වූ බූරුවා තම ගෙහිමියා අමතා මෙසේ ඇසීය. ඊයේ වඳුරෙක් වහලයේ නටනටා දැක ප්‍රීති වූ උඹ අද එම රැඟුම මා කරන විට තැලුවේ ඇයි?

යුරෝපීය ජනප්‍රවාදයකි.
ක්‍රීඩා අමාත්‍යවරයා සුසන්තිකා සමඟ ඇති වූ සංවාදයකින් පුදුම විදිහට ජනප්‍රිය වූ අතර ඒ ජනප්‍රියතාව ඉදිරියටත් රඳවා ගන්නට ඔහු විවිධ කතා කරලියට ගෙනෙමින් තිබේ. ඒ කතා අතර ඇමතිට උචිත කතා මෙන්ම උචිත නැති කතාද වේ. ඕනෑ එකයි එපා එකයි හැමදේට කතා කිරීම ක්‍රීඩා ඇමතිද ඉක්මනින්ම නැසෙන්නට යන පොටක්ය.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය යනු මෙරට ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ අවසන් සහ එකම ක්‍රිකට් තරගාවලිය නොවේ. එය එක් තරගාවලියක් පමණි. එහිදී ඉන්දියාව අවසන් වටයට පැමිණ පරාජය වූ විට ඉන්දීය නූගත් ප්‍රේක්ෂකයා හැසිරුණු ගානටම වත්මන් ක්‍රීඩා ඇමතිවරයාද හැසිරෙන්නට පටන්ගෙනය. මෙය විලිලැජ්ජා නැති වැඩකි. එයින් දැන් ක්‍රිකට් ක්‍රීඩකයන්ද ඇවිස්සී ඇමතිට වාග් ප්‍රහාර එල්ල කරන තැනට තල්ලු වී ඇත. මෙයින් සිල්ලර වන්නේ ක්‍රීඩකයන්ට වඩා ඇමතිය. සුසන්තිකාගේ සිද්ධියේදී වුව ඇමති වැරදි බව පිළිගත් බහුතරයක්ද විය. ඒ අයට දැන් ඇමති වැරදි බව තහවුරු කරන්නට ඕනෑ තරම් සාක්ෂි ඇමතිම ලබාදේ.

තිලංග සුමතිපාල යනු උපන් කට්ටඩියෙකි. ඔහු වචනයක් නොකියා දයාසිරි ලවා ක්‍රීඩකයන්ට දෙහි කප්පවයි. මේ කට්ටඩි වැඬේ ඇමති කරන්නේ ඇයි. සංගමය. සංගමයේ සභාපති වචනයක් නොකියන තැන ඇමති බඩ පිනුම් ගසන්නේ ඇයි?
ක්‍රිකට් නොව ඕනෑ තරගයක ජය පරාජය පොදුය. එය ක්‍රීඩාවය. එහෙත් කිසිවකු පරාජය වන්නට ක්‍රීඩා කරන්නේ නැත. පරාජය වූ පසු කරන්නට දෙයක්ද නැත. එයින් කළ හැක්කේ නැවත දිනන්නට පාඩම් ඉගෙනීමය. එහෙත් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ද පරාජයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැත. අභාග්‍ය එයය. එසේ නොවේනම් ලසිත් මාංලිග උඩ පන්දු අත ඇරියාම තරග පරදින්නේ නැති යැයි මෝඩ කතා කියන්නේ නැත.

එයට හේතුව බඩ යැයි කියමින් තමාගේ සික්ස් පැක් බඩ පෙන්වීම ඇමති කරන ඊට වඩා විලිලැජ්ජා නැති වැඩකි. ලොව ඕනෑම ක්‍රීඩකයෙකු අතින් උඩ පන්දු ගිලිගිය හැකිය. ඒ ඒ මොහොතේ පීඩනය සහ අවධානය යන කරුණු ගණනාවක් හේතුවෙනි. අත හරින්නට බැරි උඩ පන්දු පවා අත හැරෙන අවස්ථා එමටය. එය මෙරටට වුණා නම් අපි ඒ ක්‍රීඩකයන්ට පින් දෙමින් කතා කරමු. බඩ වැඩිද අඩුද යන්න ඇමතිට අදාළ කාරණයක් නොවේ. එය ඒ සංගම් බලාගත යුතුය. හමුදා පුහුණුව දෙනවා යැයි විකාර කතා ඇමති නොකළ යුතුය. කට නිසා බොහෝ දේශපාලකයන් නැසුණි. දයාසිරි ජයසේකර ද කට පරිස්සම් කර ගැනීම බඩ රැක ගැනීමටද හොඳ වනු නියතය. ඉන්දීය ක්‍රීඩක කෝලි දුන් උඩ පන්දුව අත හැරි පසු ඊළඟ පන්දුවට නැවත උඩ පන්දුවක් දී දැවී ගියේය. දැන් ඉන්දීය ක්‍රීඩා ඇමති කුමක් කිව යුතුද?

ක්‍රිකට් තරගාවලියක් පරාජය වීම ජාතික ප්‍රශ්නයක් කර ගත යුතු නැත. රටේ මීට වඩා ප්‍රශ්න තිබේ. ක්‍රීඩාව නගා සිටුවන්නට ඇමතිටම කළ යුතු කප්පරක් වැඩ තිබේ. ඒ කිසිවක් නොකර තරගාවලි අවසානයේ වැඩකට නැති කතා කීම ඇමති පුරුද්දක් කර නොගත යුතුය. ඔලිම්පික් ගොස් පැමිණි ඇමති කීවේ 2020 දී ඔලිම්පික් පදක්කම් කොච්චරක්ද ලබන බවය. ඇමති හෙමින් ගමනක් යන්න. අඩුවෙන් කතා කර වැඩියෙන් සවන් දෙන්න. ක්‍රීඩා ඇමති ඒ දවස්වල දුමින්දට කීවේ මේක තිබුණාට මේක නෑ කියාය. දැන් ඇමතිද ඇඟ නම් හදා ගනු පෙනෙන්නට ඇත. එසේ නම් පරිස්සම් වෙන්න. දුමින්දගේ කතාව තව ටික දවසකින් ඔබට ද බොහෝ අය කියනු නියතය.

මේ විදියට තව ටික දුරක් ගියහොත් ක්‍රීඩා ඇමතිකමෙන් වුව ඉවත්ව සුසන්තිකාගේ අනාවැකිය පවා ඇත්ත වීමට ඉඩ ඇතිය. මන්ද ඇමතිට දැන් තරග නීතිරීති අමතකව ගොස් ඇති බැවිනි. ක්‍රීඩා ඇමති මීට වඩා වෙනස් විය යුතුව ඇත. එය කළ හැකිය. නොහැක්කක් නොවේ. කීමට ඇත්තේ ක්‍රීඩා ඇමති ඉන්දීය ක්‍රීඩාලෝලියකු මට්ටමට නොවැටිය යුතු බවය.■