රාවය

බොමුද සීතල වතුර වීදුරුවක්

බොමුද සීතල වතුර වීදුරුවක්

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය නැවතත් උණුසුම් වීමට ආසන්න ය. ඒ සිම්බාබ්වේ කණ්ඩායමේ පැමිණීමත් සමඟ ය. පළමුව ආරම්භ වන එක්දින තරගයේ පළමු තරගය මේ මස 30දා ආරම්භ වේ. එහෙත් අපේ අයගේ තවමත් කතාව ඉන්දියාව පරදා පාකිස්තානය චැම්පියන්ස් කුසලානය දිනූ එක ගැන ය. සැබැවින් ම එය විශිෂ්ට ජයග්‍රහණයකි. එය විශිෂ්ට වන්නේ එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව 8 වැනි ස්ථානයේ සිට තරග වැදුණ පාකිස්තානය තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත් වීමයි. එකී ජයග්‍රහණයත් සමග කයිවාරුකාරයෝ සියල්ල ම හාන්සි ය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන් ම ඉවත් වන්නේ පාකිස්තානය හමුවේ ලත් පරාජය හේතුවෙනි. විදෙස් සහ දේශීය පුහුණුකරුවන් රාශියකගෙන් සමන්විත ව තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉතිහාසයේ දුර්වල ම කණ්ඩායම බවට පත් වූ සෙයකි පෙනෙන්නට තිබෙන්නේ. මේ ගෙවී යන්නේ ඉන් ගැලවෙන මාර්ගයක් සෙවීමේ කාලයයි.

සිම්බාබ්වේ කණ්ඩායමේ මෙරට සංචාරය ක්‍රිකට් නැවත යම් මට්ටමකට ගෙනඒමට ඉවහල් වනු ඇත. විශේෂයෙන් ම නායගිය ශ්‍රී ලාංකීය ක්‍රිකට් දක්ෂතා කරලියට ගෙනඒමට මෙය ඉතා හොඳ අවස්ථාවකි. එහෙත් දැනෙන පරිදි නම් ඊට කාගෙ කාගේත් උවමනාවක් නැති ගාණය.

ක්‍රීඩා ඇමැති නගින නගින ස්ටේජ් එකක් පාසා ම හා මයික් එකක් දුටු තැන ක්‍රිකට් ක්‍රීඩකයන් නැති කරයි. අමුතු අමුතු යෝජනා ද කරයි. එහෙත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග කළ කතාවක් සම්බන්ධයෙන් ආරංචි වීමක්වත් නැත. මේ කතාවලට ක්‍රිකට් ක්‍රීඩකයෝ ද නිකං සිට නැත. මොකක් ම හෝ කතාවක් කියති. දෙපිරිස වාග් සංග්‍රාම කරනවා මිසක් ක්‍රිකට් ගොඩගැනීමක් නැත. සිතන පාටක් පෙනෙන්නටවත් නැත.

ඒ අවුඅස්සේ ආරංචි වන්නේ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අත ළඟට පැමිණ සිටිද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදෙස් පුහුණුකරු සිය රට බලා පිටත්ව ගොස් ඇති බවයි. මේ පිටත් වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට්හි උපදේශය වී ඇත්තේ තම තමන්ගේ පෞද්ගලික පුහුණුවීම් ඒ ආකාරයෙන් ම සිදුකරගෙන යන ලෙසයි.

ක්‍රීඩකයන්ගේ ෆිට්නස් නැතැයි සේ ම නිසි පුහුණුවක් නැතැයි කෑ මොර දෙන ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මේ සම්බන්ධයෙන් නම් කිසිවක් ම කියනු ඇසුණේ නැත. හරි නම් විය යුත්තේ ගැලරියට කතා නොකර මෙවැනි දේ සම්බන්ධයෙන් මැදිහත් වීම ය. එහෙත් එසේ වීමක් පෙනෙන්නටවත් නැත.

අඩුම තරමින් මාස කිහිපයකට පමණක් මෙරට පැමිණි වේගපන්දු පුහුණුකරු ඇලන් ඩොනල්ඞ්ගෙන් අප ක්‍රීඩකයන් ලැබූ පුහුණුවේ ප්‍රගතිය හෝ විමසුවේදැයි විමසීම වටී. ක්‍රීඩකයන්ගෙන් ඇසීමට ඉඩක් නොවී නම් පුහුණුකරුවන්ගෙන් හෝ විමසුවේදැයි විමසිය යුතු ය. ඒ ඩොනල්ගේ පැමිණීමේ එක් අංගයක් වී තිබුණේ පුහුණුකරුවන් පුහුණු කිරීම ද වූ නිසා ය. විෂය භාර ඇමැතිවරයා කෙසේ වෙතත් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හෝ මේ සම්බන්ධයෙන් දැනුවත් දැයි විමසිය යුතු ය. එහි ප්‍රගතිය සම්බන්ධයෙන් කිසිවක් ම නොකී නිසා ය.
දැන් දැන් දැනෙන පරිදි ක්‍රිකට් සභාපති තිලංගට එවැන්නක අවශ්‍යතාවක් නැත. තිලංගට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ සභාපති පුටුව ආරක්ෂා කර ගැනීමට හැකි උප්පරවැට්ටි යෙදීම ය. එබැවින් විය යුතුය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොල්ලන් කුරුට්ටන් බහුතරයකට මෙවර එංගලන්ත සංචාරයක් ලබා දෙනුයේ. මේ සංචාරය සංවිධානය වන අවධියේ ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඉදිරි කාලයේ කටයුතු වෙනුවෙන් රාජ්‍ය බැංකු ණයක් ඉල්ලා තිබුණි. එහෙත් එවැන්නක් ද නොතකා තමන්ගේ හිතවතුන්ට සැලකීම තම පරම යුතුකම සේ තිලංග සිතනා සෙයකි පෙනෙන්නට තිබෙන්නේ.

සිම්බාබ්වේ සංචාරය ද එහි ම පිටපතකි. කාලයකට පසු ගාල්ල ක්‍රිකට් පිටියට එක්දින තරග දෙකක් දෙන තිලංග හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්දින තරග 3ක් ලබා දේ. ඒ වෙනුවෙන් මෙම ක්‍රීඩාංගණ දෙක ම නවීකරණය කටයුතු සිදු කෙරුණි. ආරංචිය අනුව ඒ මිලියන ගණනිනි.

මෙහි වඩාත් හාස්‍යජනක පුවත වනුයේ සූරියවැව ක්‍රීඩාංගණය වල් වැදීමට ඉඩ හැර එය නැවත ප්‍රතිසංස්කරණය කටයුතු කිරීම ද එක ම සභාපතිවරයෙකුගේ නායකත්වයෙන් සිදුවීම ය. එදා දඹුල්ල ක්‍රීඩාංගණයට කළ දේ ම මෙවර සූරියවැවට ද මුහුණ දීමට සිදු වුණි. වෙනසකට ඇත්තේ සූරියවැවට යූ ටර්න් එකක් දැමීම ය. ඒ කුමන පරමාර්ථයෙන් දැයි අමුතුවෙන් පැවැසිය යුතු නොවේ.

ක්‍රිකට් සංචාරයකදී ක්‍රීඩාංගණ නවීකරණය කිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම වරදකැයි අපි නොකියමු. එහෙත් අපගේ මතය වන්නේ මේ දේවල් දේශපාලන විරසකකම් මත විනාශ වෙන්නට ඉඩ හැරීම නොකළ යුතුව තිබුණු බවයි. එදා සේ ම මෙකල ද සූරියවැව ක්‍රීඩාංගණය නිසි පරිදි නඩත්තු කළේ නම් අද දවසේ මේ සා විශාල මුදලක් ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පිදිය යුතු නැත.

එසේ ම විදෙස් සංචාරයක් මෙරට පැමිණෙන උණුසුමේ කණ්ඩායමේ පුහුණුකරුට නිවාඩු දෙන සිරිතක් කොහෙන් ඉගෙන ගත්තා දැයි විමසිය යුතු ය. ඇතැම් විට විදෙස් කණ්ඩායම අඩුතක්සේරුවේ ලා මෙසේ කළාදැයි යන කුකුස ද වේ. මේ සියල්ලෙන් ම අපට වැටහෙන්නේ තිලංගලා ක්‍රිකට්වලට මුවා වී වෙනත් ගේමක නිරත වන බවකි.
එබැවින් ක්‍රිකට් සභාපති පුටුව පොඩි එකෙකුට හෝ දී තිලංග ගෙදර යනවා නම් ඉතා හොඳ යැයි දැන් සිතේ.■