මගේ ලයිෆ් එක හොඳයි ඒ නිසා කිසි වරදක් නෑ | බන්දු සමරසිංහ


bandu

ටිරන් කුමාර බංගගමආරච්චි 

බන්දු නළුවෙක් වෙන්න ඕනෑ කියලා හිතුවේ ඇයි?
මම කවදාවත් නළුවෙක් වෙන්න ඕනෑ කියලා හිතුවේ නෑ. හිතන්නෙත් නෑ. මගේ ප්‍රදේශයේ මගේ දිහා බලා හිටපු අයට ආපු ත්‍රිල් එකක් හින්දා තමයි මම ඔබ කියන නළුවෙක් හරි කවුරුහරි වුණේ.

එහෙම හිතෙන්න ඔබ ගමේ අයට දුන්න ත්‍රිල් එක මොකක්ද?
ඒක මම දන්නෙත් නෑ. මොකද මම කතා කරනකොට කට්ටිය අහගෙන ඉන්නවා. මට තේරෙනවා ඒ අය මගේ කතාවෙන් ලොකු ආස්වාදයක් වින්දනයක් ලබනවා. හැබැයි මට කිසිම වින්දනයක් නෑ. ආස්වාදයක් නෑ. ඒ හින්දා ඒ අයට මගේ කතාව ත්‍රිලක් වුණේ ඇයි කියලා මම අදටත් දන්නේ නෑ.

එතකොට ගම කෑගල්ලද?
නෑ. පදිංචිය හැදුණේ වැඩුණේ කෑගල්ලේ. ගම මාතර. අපි දකුණේ මිනිස්සු. අම්මා මාතර තිහගොඩ. තාත්තා තිහගොඩ මාලිම්බඩ. අම්මා කපුමුව ලෙල්ගහගොඩ ඉස්කෝලෙ හාමිනේ. අම්මාගේ හත්මුතු පරම්පරාව ගුරුවරු. අම්මා ටීචර් හින්දා පුංචි කාලේ ඉඳලාම අපිව විනයකට අනුව ලැජ්ජා බයට හැදුවා. අම්මාගෙන් ලැජ්ජා බය ලැබුණා. තාත්තාගෙන් වීර්යය ලැබුණා. තාත්තාගේ බිස්නස්වලට තමයි කෑගල්ලේ ආවේ. කාලයක් මොන්ටිසෝරි ගියේත් මාතර. ඉතිරි ටික කෑගල්ලේ. අන්තිමට කෑගල්ලටම සින්න වුණා.

පාසල් කාලය කොහොමද?
ඉතාම හොඳයි. කැපී පෙනෙන ශිෂ්‍යයෙක්. ශාන්ත මරියා විද්‍යාලයට තමයි ගියේ. ෆුට්බෝල් ගැහැව්වා. ඒක කොච්චර කළාද කියනවා නම් කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්ලබ් හතටම සෙල්ලම් කළා. ක්‍රිකට් ගැහැව්වා. පාසලේ හොඳටම ක්‍රීඩා කළ නිසා අන්තිමට කෑගල්ලේ දිස්ත්‍රික් ක්‍රිකට් ටීම් (කේසීසී) එකේත් ඕපනින් බැට්ස්මන් වුණා. ක්‍රීඩාව පැත්තෙන් ඉහළටම ආවා. 69දී ශාන්ත මරියා විද්‍යාලයේ ක්‍රිකට් පිලේ කැප්ටන් වුණා. ඒ දස්කම් පෑ හින්දා තමයි දිස්ත්‍රික් පිලට අඬගැහැව්වේ. මේ මොකක් කළත් මට වෙනම ස්ටයිල් එකක් තිබුණා. හොකී ක්‍රීඩා කළා. කෙඩෙට් කළා. ස්කවුටින් පවා කළා. නොකරපු මළදානයක් නෑ.

 

ඒවායින්ද ත්‍රිල් එක ගියේ?
මන් දන්නේ නෑ. හැබැයි මොකක් කළත් මම විනෝදෙන් තමයි හිටියේ. ඒ නිසාම මගේ වටේ හිටපු අයටත් විනෝදයක් ලැබුණා. මම ක්‍රිකට් ගහද්දී මොනවා හරි කළාම අම්පයර්ස්ලාත් හිනාවෙනවා. ඒත් මම හිනාවෙන්නේ නෑ එයාලාට. මට ටිකක් දරුණු පෙනුමක් තියෙන්නේ. මම හිතුවෙම මේ ලුක් එකට කට්ටිය බයවෙයි කියලා. මම එහෙම හිතුවාට මම එරෙව්වාම කට්ටිය හිනාවෙන්න ගත්තා. මම කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලනවා මගේ දරුණු පෙනුම අප්සට්ද කියලා. මොකද මිනිස්සු හිනා වෙනවානේ. මොනවා වුණත් කියලා ගණං ගත්තේ නෑ.

එතකොට රඟපෑමට සෙට් වුණේ කොහොමද?
මගේ මේ ලෝකය දිහා බලාගෙන කලාවට සම්බන්ධ කවුරුහරි හිටියා. ඒ තැනැත්තා තමයි මිල්ටන් ජයවර්ධන මහත්තයා. එයා කෑගල්ලේ ජීවත් වුණේ. මගේ ඥාති සහෝදරයෙක් තමයි සේන සමරසිංහ. මේ දෙන්නා සම්බන්ධ වුණා. මම නෙමෙයි ඒ දෙන්නා තමයි සම්බන්ධ වුණේ. සම්බන්ධ වෙලා ‘සදහටම ඔබ මගේ’ කියලා චිත්‍රපටයක් කළා.
ඒක තමයි කතාව. ඒක තමයි මගෙත් මුල්ම චිත්‍රපටය. මාව ඒකට ගත්තේ, මම කිව්වනේ මම කතා කරනවා කට්ටිය අහගෙන ආතල් ගන්නවා කියලා. මේ මිල්ටන් මහත්තයාත් කෙනෙක්. මම ක්‍රිකට් ගහලා සල්ගාදුව ගාවට එනවා තේ එකක් බොන්න. ඒ එනකොට මිල්ටන් මහත්තයාත් සමහර දවස්වලට ඔතනට එනවා. ඔහොම යන එන අතරේ හිතවත්කමක් හැදුණා. ඉතින් එයා සල්ගාදුවට ආවොත් මාව දැක්කොත් බන්දු කියලා කෑගහලා කතාකරලා කතාවට සෙට් වෙන ගතියක් තිබුණා. විනාඩි පහළොවට ඉන්නේ. ඒක පැය එක දෙක වෙනවා. මට තේරෙනවා එයාත් කතාවෙන් ආස්වාදයක්, වින්දනයක් ලබනවා. මට නෑ. ඒත් මම ඕවා වැඩිය කල්පනා කරලා ඔළුව කුරුවල් කර ගන්න ගියේත් නෑ. ඔන්න ඔය මතකයට තමයි ඒ අය කළ චිත්‍රපටයේ ඔෆීස් එකේ සුළු චරිතයකට කෙනෙක් ඕනෑ කිව්වාම මිල්ටන් මහත්තයාට මතක් වෙලා බන්දු ගනිමු කියලා තියෙන්නේ. අන්න දැක්කාද මම ඒකනේ කිව්වේ. වෙන අයට ආපු ත්‍රිල් එකකට මාව ගත්තා කියලා. ඉතින් ඒ මහත්තයා ආදරෙන් කතා කළා. පොඩි කෑල්ලක් තියෙනවා බන්දු කරමු කියලා. මාත් ගියා. ගෙදරට කිව්වේ නෑ. රඟපාන්න යනවා කියලා. වස ලැජ්ජාවනේ. මම ඉතින් මැච් එකකට කොළඹ යනවා කියලා තමයි රඟපාන්න ගියේ. ඒක කළා. ඊට පස්සේ ඒ අයගේ චිත්‍රපටවලට මට ආරාධනා ලැබුණා. එහෙම එහෙම මේ තාම එනවා. මිල්ටන් මහත්තයා අද නෑ. එතුමෘගේ අවසන් කටයුතු දවසේ අවසන් කතාවත් දුන්නේ මට. ඒ ඇයි කියන්න මම දන්නේ නෑ. අදටත් ඒ මතකය තියෙනවා. බන්දු එන්න කියලා ඒ අඬගහපු අඬගැහිල්ල තමයි මම තාම එන්නේ.

ඉතින් ඔබ දැන් ගමනක් ඇවිල්ලෘද?
අපෝ නෑ. එහෙම ගමනක් ඇවිල්ලා නෑ. ලොකු ගමනක් යන්න තියෙන හින්දා දැන් අවුරුදු 48ක් රඟපාලා තියෙන හින්දා ඉතින් තව සෑහෙන දුර යන්නත් තියෙන හින්දා තවම ගමනක් ආවේ නෑ. එහෙම ගමනක් ආවාද කියලා මට තේරෙන්නෙත් නෑ.

ඇයි ගෙදරට රඟපානවා කියන්න ලැජ්ජ වුණේ?
අපිව ලැජ්ජාවට හදපු හින්දානේ. (හිනා) මේකයි ඇත්තම කියනවා නම් මගේ තාත්තා මාර බඩුවක්. එයාත් එක්ක කතා කරලා බේරෙන්න බෑ. මම රඟපාන්න යනවා කිව්වා නම් සවුත්තු කරලාම එයා මරනවා. ඒ වගේ ඩයල් එකක්. එයාත් එක්ක කතා කළාම අපි නිකං තිරිසන් වෙනවා. අපිව හරි නරක තැන්වලට පත්කරනවා. උපහාසාත්මක විදිහට. මම රඟපාන්න යනවා කිව්වා නම්. මොකක් උඹ රඟපාන්න යනවා. උඹට පුළුවන්ද රඟපාන්න. මෙහේ හිටපන් කියනවා. ඇත්ත වුණත් එහෙම සවුත්තු වෙන්න බෑනේ. කෑගල්ලට ගියා කියලා අත දික් කරලා කිව්වත් ඇති. ඇයි අත දික් කරන්නේ. සාමාන්‍ය විදිහට කියපං. ඕක තමයි එයාගේ හැටි.

ඉතින් ඔබ තාත්තාට කැමති නැද්ද?
පිස්සුද? මේ හැමදේම මගේ තාත්තා. මගේ මාස්ටර් තාත්තා. ලැජ්ජ බය ඇති කළේ අම්මා නම් ඉතිරි සියල්ල තාත්තා. මගේ ඇක්ටර් තාත්තා. ඒ ජීවිතේ මාර ලස්සනයි. අර්ථාන්විතයි. තාත්තා තමයි මගේ හැඩය දුන්නේ. මං පුංචි කාලේදි තාත්තා මාව ළඟට අරගෙන කියනවා උඹගේ ඉස්කෝලේ උත්සවයකට උඹට එන්න කිව්වොත් උඹ ගිහින් ඉඳගන්නෙ කොහෙද? මම ඉතින් සුපුරුදු පරිදි කියනවා ඉස්සරහම කියලා. තාත්තා කියනවා නෑ, උඹ ගිහින් ඉඳගන්න ඕනෑ පිටිපස්සේම පේළියේ පිටිපස්සේම අසුනේ කියලා. එතැනින් එහා පුටු තියෙන්න විදිහක් නෑ. මම එහෙම කියන්නේ එතකොට කවුරුත් උඹව නැගිට්ටවන්නේ නෑ. මතක තියාගනින් තැනකට ගියාම කවුරුවත් නැගිට්ටවන්නේ නැති තැනක පුටුවක් තෝරාගන්න.
මගේ තාත්තා එහෙම කෙනෙක්. මට ජීවිතය කියලා දුන්නේ ඔහු. ඒ මගේ මාස්ටර්. ඔහු ගුරුවරයෙක් නෙමෙයි. ඒත් මගේ ගුරුවරයා. ඒකයි මාස්ටර් කියන්නේ. මල් හිටවනවා නම් හැම මල් ගහකටම එක විදිහට වතුර දාපන්. එක විදිහට වතුර දාන්න පුළුවන් විදිහට ඒවා හිටවපං. එහෙමයි තාත්තා කිව්වේ. තරු ගහ ගත්ත කෙනෙක් ගාව කතා කරනවා නම් පරිස්සයම් වෙයන්. මොකද උඹට තරු නෑ. එයාට තරු තියෙනවා. උඹ පරිස්සම් නොවුණොත් උඹේ තරු විසිවෙයි කියලා මට තාත්තා කිව්වා. මගේ තාත්තා තමයි මගේ චරිතේ. මගේ වීරයා. මගේ මාස්ටර්. එයා නොහිටින්න අද මම මෙතන නෑ.

අද ඔබ ගොඩනගපු සියල්ල තාත්තාද?
ඔව්! තාත්තා නොහිටින්න මට පාර නොපෙන්වන්න මම අද මෙතන නෑ. මගේ මව්පියන් දෙපළටම ගරු කරනවා. ඒ අය නොහිටින්න. මම එක්කෝ හොඳ පොලු පාරක් කාලා. එක්කෝ පොල්ගහෙන් වැටිලා. එක්කෝ එපා කියපු අත්තක කෙළවරටම ගිහිල්ලා අත්ත කඩන් වැටිලා. කොටින්ම එහෙම නැත්නම් සෙල්ෆියක් ගන්න ගිහින් කෝච්චියකට හරි අහුවෙලා. ඒ නැතත් අනවශ්‍ය තැනක නටලා. එතැන මඩවෙලා. ඒ මඩගොඬේ වැටිලා. අනෙක්වුන් මාව පාග පාගා නටලා. මම මඬේ එරිලා පොළොව යට. ඒ කිසිවක් නොවුණේ මගේ මාස්ටර් තාත්තා වුණු හින්දා. මට මේක මෙච්චර කියන්න, මගේ දැනුමේ හැටියට මේ සමාජවල ආණ්ඩුවල වරදක් නෙමෙයි තියෙන්නේ. පවුල්වල වරදක්. පවුලේ අම්මා තාත්තා මාස්ටර්ලා නම් දරුවෝ ඉගෙන ගත්තත් නැතත් හිඟා නොකා කාටවත් කරදරයක් නොවී රටට බරක් නොවී ඉන්නවා. මාස්ටර් දෙපළ අවුල් වුණොත් ඒ ළමයිනුත් අවුල්. හොඳ මාපියන්ගේ ළමයි කොහොමත් හොඳයි. මාපිය දෙපළ තමයි හොඳ වෙන්න ඕනෑ. එතකොට ආණ්ඩුවට ප්‍රශ්න අඩුයි. ඒ පාරේ මමත් ගියා. මගේ දරුවන්ගේ මාස්ටර් මම කියලා මම දන්නවා. මගේ තාත්තා මාස්ටර් වුණු නිසා මට බුදුසරණ නිතරම තිබුණා. මට කවදාවත් වැරදුණේ නෑ. දැන් කොහොමත් වරදින්නේත් නෑ. මේ ප්‍රශ්නයෙන් පිට පැනලා කියවන්නේ, මව්පියෝ හොඳ වෙන්න නම් ඒ අය ළමයින්ගේ මාස්ටර් වෙන්න. ආයේ කිසි අඩුවක් නෑ.

ඒ කාලේත් ආර්ථික පදනම හොඳද?
හොඳද අහනවා. කොළඹ නුවර පාරේ අයිනේම අක්කර පහක වත්ත මැද ගේ තිබුණේ. තාත්තා බිස්නස් කළේ. මගේ සහෝදරයෝ බිස්නස් කරනවා. මම විතරයි ඒ පැත්තට නොගියේ. ඒත් මටත් ඉතාම හොඳයි. සතුටින් ඉන්නවා.

ඔයා විහිළු නළුවෙක්ද?
අනේ නෑ. සමහරු එහෙම කියනවා. හැබැයි එහෙම නෑ. මට දෙන දේ මම කරනවා. ඇත්තම කියනවා නම් “මම විහිළු නැතිව රට විහිළු කරගෙන මාව.”

එතකොට ඔයා නළුවෙකුත් නෙමෙයිද?
නෑ. නළුවෙකුත් නෙමෙයි. මම හිතන්නේ මම කම්කරුවෙක් කියලා. ඔන්න කට්ටිය එනවා. ඇවිත් කියනවා මෙහෙම එකක් කරන්න තියෙනවා. දවස් දහයක් විතර යනවා. මොකද කියන්නේ. මමත් මගේ පවුල ගැන ලයිට්, වතුර බිල් ගැන හිතලා මෙච්චරක් දෙන්න කියනවා. ඒ අය නෑ මෙච්චරක් කියනවා. මම මෙච්චරක් කියනවා. අන්තිමට දෙගොල්ලෝම තැනකට එනවා. ගිවිසුමක් අත්සන් කරනවා. මම අර කියපු ටික කරනවා. සල්ලි අරගෙන එනවා. ඕක තමයි වෙන්නේ. ඉතින් ඒ නළුවාද? අනික නළුවා කියලා මට සහතිකයක්වත් නෑනේ. ඉතින් මට හිතෙන්නේ ඒ කම්කරු ජොබ් එකක්.

ඔබේ වෘත්තියේ සේවා සහතිකයක් නෑ නේද?
ඔව්! රැකියාවක් කරන කොට ඔයාට සහතිකයක් තියෙනවානේ අදාළ වෘත්තියට. අපිට එහෙම නෑනේ. සමහරු නම් කියනවා මේක කර්මාන්තයක් කියලා. තව අය කියනවා ගායක ගායිකාවන්ගේ සංගමය කියලා. සමහරු කියනවා අපි ඔක්කොම එකයි කියලා. ඉතින් කිරිබත් වගේ බෙදා ගන්නවා. මට නම් මුකුත් නෑ. මම රංගන ශිල්පියෙකුත් නෙමෙයි. මේකේ ඉන්නවා. අම්මා තාත්තා දුන්න දේවල් එක්ක මේකේ ඉන්න වාසනාව ලැබිලා තියෙනවා.

එතකොට සහතිකයක් තියෙන්නේ මොකකටද?
ඒකෙත් හැටි බලන්නකෝ. ගායනයට සහතිකයක් තියෙනවා. මේ කැමරාව ඉස්සරහ ඉන්න අතරේ මට හිතුණා ගායනයට ඉදිරිපත් වෙන්න. 97/98දී විතර ගුවන් විදුලියේ සරල ගීවලට ඉදිරිපත් වුණා. නිව්ටන් ගුණරත්න මහත්තයා හිටියේ. මගේ වොයිස් බැලුවේ සනත් නන්දසිරි මහත්තයා. සර්පිනාව වාදනය කළේ ටියුලින් ජයරත්න මහත්තයා. මම ගුවන්විදුලියේ ගායකයෙක් විදිහට සමත් වුණා. ඒ සහතිකය තියෙනවා. කැත නැතිව පෙන්වන්න පුළුවන්. ඒ යනකොටත් මම ‘නිල්ල සොයා’ චිත්‍රපටයේ සිංදු කියලා. සරත් දසනායක තමයි මගේ සංගීත මාස්ටර්. ඔහු ඇසුරු කිරීමත් එක්ක මගේ හිත සෑහෙන්න නිවුණා.

බැලුවාම කරපු නැති දෙයක් නෑනේ?
පාසල් කාලේ පුරුද්දනේ. ෆුට්බෝල්, ක්‍රිකට්, හොකී, කෙඩෙට්, ස්කවුට් කිව්වානේ. ඒ විතරක් නෙමෙයි ප්‍රශස්ති ගී ගායනා කළා. සමස්ත ලංකා යුනෙස්කෝ ප්‍රශස්ති ගීවල පළමු තැන ගත්තා. එතකොට මාත් එක්ක ඒ කණ්ඩායමේ හිටිය කෙනෙක් තමයි එඞ්වඞ් ජයකොඩි. අද අපි විවිධ තැන්වල. එදා ශිෂ්‍යයෝ. මගේ පන්ති සගයෝ.

බිරිඳ හමුවුණේ මේ ක්ෂේත්‍රයේ ඉද්දීද?
විශේෂයක් නෑ. අපි හමුවුණා. එයා මගේ උසට ගැළපෙනවා. උයන්න පිහින්න පුළුවන්. පවුලක් ගෙනියන්න පුළුවන් කියලා. ඉතින් බැන්දා. එච්චරනේ ඕනෑ. නැත්නම් නොගැළපෙන මළදාන කරගෙන උසාවි ගාණේ යන්නයි කාපු බීපුවා අරවා මේවා හැමදේම ලෝයර්ට කියන්නයි මොන හත්ඉලව්වක්ද දෙයියනේ. මේ අවුරුදු 38ක් ෂෝක් එකට ඉන්නේ. මාස්ටර්ලා දුන්න ඒවා අරගෙන අපි මාස්ටර්ලා වුණා. දැන් ජීවිතේ දිනුම්.

ඔබ හිතනවාද ඔබ සාර්ථක මිනිසෙක් කියලා.
අනිවාර්යයෙන්. ‘බන්දු ලයිට්’ කියලා මම ෂෝ එකක් කළා. බීඑම්අයිසීඑච් එකේ. ස්පොන්සර්ලා නෑ. පබ්ලිසිටි නෑ. ටීවී නාලිකාවලට ගිහින් වැඬේ ගැන කිව්වා. හවස වැඬේට ගියා. කට කපලා සෙනඟ. මට දෙයක් නැත්නම් මම සාර්ථක නැත්නම් එහෙම එයිද? මම ලොකු දේවල් දන්නේ නෑ. හැබැයි මම හිතන්නේ ලයිෆ් එක හොඳ වෙන්න ඕනෑ. ඒක හොඳ නම් කරන වැඩත් හොඳයි. මගේ ලයිෆ් එක හොඳයි. ඒ නිසා කිසි වරදක් නෑ.■