රූප එකතුවෙලා අලුත් අර්ථ ගේනවා | ලාල් හෑගොඩ


lal

තරිඳු උඩුවරගෙදර

ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩගේ සිව්වැනි ඡායාරූප ප්‍රදර්ශනය වන ‘සොළොසක් රූ’ ප්‍රදර්ශනය ජුනි 23, 24, 25 දිනවල කොළඹ ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී පැවැත්වෙයි. මේ ඒ වෙනුවෙන් ඔහු සමඟ කළ සංවාදයකි.

අවුරුදු දොළහකට පස්සේ තමයි අලු‍ත් ඡායාරූප ප්‍රදර්ශනයක් කරන්නේ. එපමණ කාලයක් ගෙවීගියත් ඡායාරූප දහසයක් පමණයි ඔබ ඉදිරිපත් කරන්නේ?
අවුරුදු දොළහෙන් අටක් අසනීප වෙලා, දෙවරක් අංශභාගය හැදිලා ඇඳට වෙලා හිටියේ. ඒ කාලයෙන් වැඩිපුර මම ගතකළේ කල්පනා කරමින්. ඒ වෙලාවට මම හිතුවා පින්තූරවලට ගෙනෙන්න බැහැයි කියන හැඟීම් පින්තූර ඇතුළට ගෙනෙන්නේ කොහොමද කියලා. සමහර කල්පනා පින්තූරවලින් පෙන්වන්නේ කොහොමද කියලා. එක් පැත්තකින් කවියෝ, ලේඛකයෝ ඇඳක හිටියත්, කල්පනා ලෝකවල ඉඳන් නිර්මාණය අවසන් කරන්න පුළුවන් වුණත් ඡායාරූප ශිල්පියාට ඇඳේ ඉඳන් කල්පනා කිරීම ප්‍රමාණවත් නෑ. එයා භෞතිකව දේවල් දකින්න ඕනෑ. අනෙක් පැත්තෙන් පින්තූරවලට ගෝචර නොවෙන සංකල්ප පින්තූරවලට ගෙනෙන එක ඉතාම අසීරුයි. ඒ නිසයි පින්තූර දාසයක් විතරක් මගේ ප්‍රදර්ශනයට තියෙන්නේ.

පින්තූරයට ගෙනෙන්න අසීරු දේවල් පින්තූරවලට ගෙනෙන්නේ කොහොමද?
ඒකට පිළිතුරක් දෙන්න තමයි මම ප්‍රදර්ශනය හරහා උත්සාහ කළේ. ඒක දැකලා මම සාර්ථකද කියලා තීරණය කරන්න නම් ප්‍රදර්ශනය බලන්න වෙනවා. අපි වෙන කලාවකදී අපට ඕනෑ දේවල් මවාගන්නවා. ඉන්ද්‍රියන් පහම පාවිච්චි කරනවා. සිනමාවේදී වුණත් අපට කැමති ඕනෑම දෙයක් නිර්මාණය කරන්න පුළු‍වන්. හැබැයි පින්තූර දෘශ්‍යමයයි. ඇත්තටම ඒක කැමරාමයයි කියලා හඳුන්වන්න මම කැමතියි. අපට හිතෙන හිතෙන දේවල් රාමුවට එන්නේ නැහැ. මම කල්පනාවක් අරගෙන රාමුවේ තියෙන දේවල්වලින් කල්පනාව ඉස්මතු කරගන්න බලනවා.

මේ පින්තූර දහසයම අසනීප වුණාට පසුව ගත් ඒවාද?
ඊට පෙර ගත්ත දෙකක් තියෙනවා. ‘දැදුරු ඔයේ මිලින මල’ කියලා හඳුන්වන ඡායාරූපයයි ‘ඇවිද යන දුර’ කියන ඡායාරූපයයි ඊට කලින් ගත් ඒවා. දැදුරු ඔයේ මිලින මල අවුරුදු තිහකට විතර කලින් සෝර්කි (’දරනස) කියලා රුසියන් කැමරාවකින් ගත්ත කළුසුදු ඡායාරූපයක්.
අසනීප වුණාම ගත්ත ඡායාරූප හොයාගෙන ගියේ කොහොමද? දේවල් දකින්නේ නැතිව ගන්න ඡායාරූප තීරණය කළේ කොහොමද?
සමහර ඒවා ආරංචි මාර්ගයෙන් දැනගත්ත ඒවා. සමහර ඒවා මම කලින් දැකලා තිබුණු ස්ථානවලට පසුව ගිහින් ගත් ඒවා. අහම්බයෙන් දකින්නට ලැබුණු ස්ථානවල ගත්ත ඡායාරූපත් තියෙනවා. හැම ඡායාරූපයක් පසුපසම මට සපෝට් කරපු දෙතුන් දෙනෙක් ඉන්නවා. මාව නියම ආබාධිතයෙක් වගේ ඔසවාගෙන ගියා ඇතැම් ඡායාරූප ගන්න. සමහර තැන්වල බහින්න අමාරු පල්ලම්වලට මාව ඔසවාගෙන ගියා. කොහොම වුණත් ඕනෑම ඡායාරූපයක් සැලසුම් කළ එකක් තමයි. අවසාන නිර්මාණය මිසක් ඒක නිර්මාණය වුණේ කොහොමද කියලා කතාකරන එක ඒතරම් වැදගත් නෑ. කොහොම වුණත් මට උදව් කළ සියලුදෙනාටම ස්තූති කරන්න ඕනෑ. එක පින්තූරයක් ගන්න මට කල්පනාවක් තිබුණා. ඒක කල්පනාවක් විතරයි. දවසක් මම රූපවාහිනියේ ටෙලිනාට්‍යයක් බලද්දී ගමේ තියෙන ළිඳක් දැක්කා. ඒ ළිඳ ඒ දර්ශනයේ විශේෂයෙන් ඉස්මතු කරලා තිබුණේ නැහැ. කෙනෙක් ඒ ළිඳ ළඟින් යන දර්ශනයක් තිබුණේ. මට ළිඳ අහුවුණා. මම ඒ රූපවාහිනී ආයතනයට කතාකරලා අධ්‍යක්ෂවරයාගෙන් අහගෙන ඒ තැනට ගියා. ඉන්පස්සේ පින්තූරය ගත්තා. ප්‍රමාණය ඉක්මවා ගිය කාලය, වියදම් සහ ප්‍රමාණය ඉක්මවූ ශ්‍රමය මේ පින්තූර පිටිපස්සේ තියෙනවා. ඇතැම් තැන්වලට ගිහින් පින්තූරය ගත්තාම මට හිතෙනවා මේක නෙවෙයි පින්තූරය කියලා. එතකොට ආපහු මම යනවා ඒ පින්තූරය ගන්න. මම ප්‍රායෝගි කව ඡායාරූප ගැනීමට සුදුසු නෑ. මගේ එක අතක් පමණයි වැඩ කරන්නේ. මම ට්‍රයිපොඞ් එකෙන් ගත්ත ඡායාරූප තමයි වැඩිපුර තියෙන්නේ. කිහිපයක් තනි අතින් ගත්තා. අනික මට බොහෝ දුරක් යන්න වුණා. මට තනියෙම යන්න බැහැ. මගේ බිරිඳත් ඒ තරම් දුර යන්න පුළුවන් තත්ත්වෙක නෑ. ඒ නිසා ශිෂ්‍යයෝ තමයි මට උදව් කළේ. සමහර වෙලාවට ශිෂ්‍යයන්ට මාව වදයක් වෙන්නත් ඇති. හැබැයි කට්ටිය බොහොම වුවමනාවෙන් මට උදව් කළා.

කල්පනාවක් ඡායාරූපයක් කිරීම ගැන තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?
අපි හිතමු ශිෂ්‍යත්වය නිසා සිසුන් අපමණ දුකක් විඳිනවා. ඔවුන් සුන්දර වූ ලෝකය ශිෂ්‍යත්වය නිසා අත්හරිනවා. මේක පින්තූරයට ගෙනෙන්නේ කොහොමද. ඒක කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. මගේ ‘ශිෂ්‍යත්වතරණය’ කියන පින්තුරය ගත්තේ නුවරදී. එක් දිනක් මම පින්තූරයට අදාළ රාමුව දැක්කා. හැබැයි පින්තූරය ගත්තේ ඉන් අවුරුදු අටකට පස්සේ.

ඡායාරූපය දැකලා ඔබේ කල්පනාවේ ගැඹුර අවබෝධ කරගන්න ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට පුළුවන්ද?
ලංකාවේ පුහුණු ප්‍රේක්ෂකාගාරයක් නැති බව ඇත්ත. හොඳ රසිකයෝ අඩුයි. අපි ඡායාරූපය පිටිපස්සේ තියෙන කතාව පැහැදිලි නොකළොත් තේරුම් නොගන්න අවස්ථා තියෙනවා. මම මගේ පළමුවැනි ප්‍රදර්ශනය නම් කළේ ෆ්‍රොයිඞ් දියණිය කියලා. ප්‍රදර්ශනය නම් කළේ ෆ්‍රොයිඞ් දියණිය කියන නමින්ම තිබුණු ඡායාරූපයක් අනුව. මම බලාපොරොත්තු වුණා මේ ෆොටෝ එක ගැන සැලකිය යුතු කතාබහක් ඇතිවෙයි කියලා. ඒත් ප්‍රදර්ශනයේදී කවුරුවත් ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. මට පොඩි පසුතැවිල්ලක් තිබුණා. ඒත් ප්‍රදර්ශනය ඉවර වෙලා අවුරුදු තිස්අටකට පස්සේ මට මුණගැහුණා මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න. ඔහු මේ ඡායාරූපය ගැන උනන්දුවෙන් කතා කළා. මට පුදුම සතුටක් දැනුණා.

කවිය කියන්නේ වචන නිසා කවියකින් ඔබේ හැඟීම පිටකිරීම පහසුයි කියලා ඔබට දැනෙන වෙලාවල් තියෙනවාද? අනෙක් පැත්තෙන් ඡායාරූපයකින් කියන කතාව තේරුම් ගන්න බැරි ඇයි?
හැමෝටම හොඳ ඡායාරූපයක් විඳින්න බැහැ. මට හිතෙනවා දැන් ඉන්න වෘත්තීය ඡායාරූප ශිල්පීන්ට මගේ ඡායාරූප ගෝචර වෙන්නේ නැහැ. ඔවුන්ට තේරුම් ගන්න බැහැ. මොකද දැන් ඉන්න අය ගොඩක් කතා කරන්නේ කැමරාව ගැන. කවියක් ලියන්න යන ගියාම පෑන ගැන කතා කරන්නේ නැහැනේ. ඒ නිසා කැමරාව මොකක්ද කියන එක වැඩක් නෑ. කැමරාවේ පින්තූරයක් නැහැ. කලාකරුවා ළඟයි පින්තූරය තියෙන්නේ.

ඔබට දැන් ඡායාරූප ශිල්පීන් ගැන යම් විවේචනයක් තියෙන බව පෙනෙනවා. ඒක මොනවගේ විවේචනයක්ද?
හැමෝම ගැන නෙවෙයි. බහුතරය ගැනයි විවේචනය. වයසක මිනිස්සුන්ගේ රැලි වැටුණු මුහුණු, ඉර බහින හැටි, පාර දිගේ යන කපල් වගේ ඒකාකාරී ඡායාරූපවලට වඩා දෙයක් ඡායාරූප ශිල්පියෙකුට කරන්න පුළුවන්. මම හිතනවා ඡායාරූප සමාජ‍ය මගේ ප්‍රදර්ශනය ප්‍රතික්ෂේප කරයි කියලා. ඔවුන්ගේ බලාපොරොත්තු කඩවීමක් වෙයි මේ ප්‍රදර්ශනය එක්ක. මේකට ඇදෙන්නේ රසිකයන් සහ වෙනත් කලාවල ඉන්න කලාකරුවන්. ඡායාරූප ශිල්පීන්ට මේවා ගෝචර වෙන්නේ නැහැ. ලයින්ස් තියෙන විදිය, ලයිටින් කරපු විදිය, කැමරාවේ කාචය වගේ ඡායාරූප ශිල්පීන් කතා කරන්න බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. මගේ ඡායාරූපවල ඒවා කතාකරලා වැඩක් නෑ. දැන් ඡායාරූප ප්‍රදර්ශනයකට ගියාම ඡායාරූප ගත්ත ෂටර් ස්පීඞ් එක, අයිඑස්ඕ, ඇපචර් වගේ තාක්ෂණික තොරතුරු ඡායාරූපයට යටින් දාලා තියෙනවා. ඡායාරූප මුද්‍රණය කළේ මොන කඩදාසියෙන්ද කියලාත් තියෙනවා. ඒක කාටවත් වැඩක් නෑ. වෙන කලාවක මේවා බලනවාද. පාකර් පෑනෙන් ලිව්වාද, ඉහළ වර්ගයක කඩදාසියක ලිව්වාද කියන එක කාටවත් වැඩක් නෑ. මම මගේ ප්‍රදර්ශනය එක්ක කියනවා පොදුවේ මම පාවිච්චි කළ කැමරා වර්ග ටික. හැබැයි මම ඒකෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ කැමරාව ප්‍රශ්නයක් නෙවෙයි කියලා. මම පාවිච්චි කරන සමහර කැමරා ඡායාරූප ශිල්පීන් නුසුදුසුයි කියලා පාවිච්චි නොකරන ඒවා. ඒ වෙලාවට තියෙන කැමරාව ඒක නිසායි මම පාවිච්චි කරන්නේ. ඉන්දියානු, චීන, රුසියානු කැමරා මම පාවිච්චි කරනවා.

අවුරුදු හතළිහකට වැඩි කාලයක් තිස්සේ ඔබ ප්‍රසිද්ධ කරලා තියෙන පින්තූර සියල්ලේ එකතුව එකසිය විස්සක් පමණ කියලායි කියන්නේ. මෙතරම් පොඩි ඡායාරූප ප්‍රමාණයක් අරගෙන ප්‍රමුඛ පෙළේ ඡායාරූප ශිල්පියෙක් වුණේ කොහොමද?
ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුර මම දන්නේ නැහැ. සමහරවිට පින්තූර සමාජයට වැදුණු නිසා වෙන්න ඇති. මම කැමති, පින්තූරය දැක්කාට පස්සේ රසිකයා කල්පනාවට වැටෙන තත්ත්වයට පත් කරන්න. මගේ පළවැනි ප්‍රදර්ශනයේ පින්තූරයක් ගැන වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න අවුරුදු විසිපහකට පස්සේ විස්තර කළා දේශනයකදී. මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න ගැන මම කීවා. මට ඒ සිදුවීම් ඇති. ඒ ඡායාරූපය අවුරුදු තිහකට එහා ඔවුන්ගේ හිත්වල රැඳිලා තිබිලා.

දැන් කැමරාව රහසක් නෙවෙයි. අයිෆෝන් එකකින් වුණත් ඡායාරූපයක් ගන්න පුළුවන්. ඉතින් බොහෝ ඡායාරූප ප්‍රසිද්ධ වෙනවා. බැලූබැල්මට ඒවා හොඳ ඡායාරූප කියලා හිතෙනවා. ඡායාරූප ශිල්පීන් තොග ගණන් බිහිවෙනවා. මේ ගැන අදහස මොකක්ද?
කැමරාව සරල, සුලබ සහ ලාභ වීම හොඳයි. හැබැයි කැමරා ශිල්පියා දකින දේ තමන්ට ඕනෑ තැනට හසුරුවා ගන්නවා. ඇහැට පෙනෙන දේ සහ කැමරාවට පෙනෙන දේ වෙනස්. කැමරා ශිල්පියා මේ දෙකේ වෙනස හඳුනාගන්නවා. සාමාන්‍ය අය එහෙම කරන්නේ නැහැ. තියෙන දේ වාර්තා කරන විදියට ඡායාරූපයක් ගැනීමයි කරන්නේ. වඩා හොඳ ඡායාරූප ශිල්පියා කරන්නේ මේ දෙකටම වඩා ටිකක් වෙනස් දෙයක්. මම යම් සමාජ දේශපාලනමය ආකල්ප එක්ක හැඟීම් දනවන ඡායාරූප ගන්නයි උත්සාහ කරන්නේ. එහෙම කරන්න නම් හොඳ ඡායාරූප හැකිතරම් දැකීම, තාක්ෂණය ඉගෙනගැනීම ප්‍රමාණවත් නැහැ. ඔහු සමාජය ගැන අවබෝධයකින් ඉන්න ඕනෑ. කලාව ඇසුරු කරන්න ඕනෑ. රූපයට එහා ගිහින් හැඟීම් කලාපයට අත පෙවීම තමයි මගේත් උත්සාහය.

ඔබ කවියෙක් විදියට කවිය සහ ඡායාරූප ගැන හිතන්නේ මොකක්ද?
කවිවල වචන එකතුවෙලා අලුත් අර්ථ ගෙනෙද්දී ඡායාරූපවල රූප එකතුවෙලා අලුත් අර්ථ ගෙනෙනවා. කලාත්මක ඡායාරූපවලට ආසන්නම මාධ්‍යය කවිය තමයි. හොඳ ඡායාරූපයක් හොඳ කවියක්.

ඔබට පින්තූර බවට හරවාගන්න බැරිවුණ හැඟීම් කවි බවට පත්වුණා කියලා හිතෙනවා. ‘මා මිනිසෙක් ඔබ ගඟක් නිසා’ වගේ කවිවල යම් විදියකට පින්තූරයක් තියෙනවා නේද?
මම උදාහරණයක් කියන්නම්. මම ගන්න ආස පින්තූරයක් තියෙනවා. ගංගාවක් අයිනේ, ටජ්මහල පේනවා. හැන්දෑ අහසක් තියෙනවා. තරුණියක් මල් ගහලා තනියෙම ඉන්නවා බිම බලාගෙන. කෝට්ටකින් ඉරි ඇඳ ඇඳ ඉන්නවා. ඒක පින්තූරයක්. හැබැයි ඒක ගන්න බැරි හින්දා මම ඒ ගැන කවියක් ලීවා. මා මිනිසෙක් කවිය කියන්නේ එක පැත්තකින් කෙටි චිත්‍රපටියක් කියලාත් විටෙක හිතෙනවා. ඒක මගේ හිතේ තිබුණු පින්තූරයක්.

යුද්ධයෙන් පසුව උතුර ගැනත් ඔබ ඡායාරූප ගත්තා නේද?
මම කැමතියි පශ්චාත් යුද වින්දිතයන් ගැන ඡායාරූප හරහා කතා කරන්න. ප්‍රදර්ශනයේ එක පින්තූරයක් තියෙනවා යුද්ධය වෙලාවේ කිලිනොච්චියේදී ගත්ත පින්තුරයක්. හැබැයි ඒක යුද්ධ කරන පින්තූරයක් නෙවෙයි. යුද්ධය ගැන කියැවෙන පින්තූරයක්. ප්‍රදර්ශනයේ පින්තූර දාසයට අමතරව මාසයකට කලින් මම සුන්දරපුරම්වල නර්තන ශිල්පිනියකගේ පින්තූර කිහිපයක් ගත්තා. සුන්දරපුරම්වල පින්තූර කලාත්මක පින්තූරවලට වඩා වාර්තාමය ඡායාරූප කිහිපයක්. ප්‍රදර්ශනයට මාසයක් පමණ තියෙද්දී තමයි ඒ ඡායාරූප කිහිපය ගන්න ගියේ. ඒ යුද්ධයෙන් අන්ධවුණ නර්තන ශිල්පිනියකගේ ඡායාරූප. ඇයට නර්තනය උගන්වලා තියෙන්නේ යුද්ධයෙන් පාද අහිමිවුණ ඇගේ අයියා. ඇයගේ ඡායාරූප එක්ක සටහනක් රාවයේ පළකරලා තිබුණා. ඒක දැකලා රාවයේ ඡායාරූපය ගත්ත මාධ්‍යවේදිනිය එක්ක මම දුම්රියෙන් මුලතිවු ගියා. තව ඡායාරූපයක් තියෙනවා. ඒ පිටිපස්සේ මම කම්පනය වුණ කතාවක් තියෙනවා.

ඒ මොකක්ද?
සරත් චන්ද්‍රජීව කියන මගේ මිත්‍රයා කියූ කතාවක්. ඔහු අසූතුනේ දෙමළ සංහාරය වෙලාවේ හේවුඞ් එකේ ඉඳලා තියෙනවා. එදා දෙමළ තරුණියක් පොට්ටු මකලා, ඇඳුම් වෙනස් කරලා හංගාගගෙන එක්කරගෙන ගිහින් බේරගන්න සරත් චන්ද්‍රජීව මැදිහත් වෙලා. ඒ වෙලාවේ ඇගේ ජීවිතය බේරාගත්තේ ඔහු. හැබැයි අවුරුදු දොළහකට විතර පස්සේ මේ ළමයා සරත්ට මුණගැහෙනවා. ඒ වෙලාවේ ඒ ගෑනු ළමයා කිව්වාලු‍ “සරත්, මට ඔයාව මරන්න පුළුවන්” කියලා. සරත් ඇහුවාලු‍ “ඔයාට මතක නැද්ද මම ඔයාව බේරගත්තු බව” කියලා. ඒ ගෑනු ළමයා කියලා තියෙනවා “ඔයාගේ භාෂාව කතා කරන ඔයාගේ ජාතියේ අය මගේ ඇස් ඉදිරිපිට කරලා තියෙන දේවල්වල හැටියට මට ඔයාව මරන්න වුණත් පුළුවන්” කියලා. ඒක මාව දැඩිව කළඹපු කතාවක්. ඉතින් මම ගත්ත “කවුරුහරි එයිද? මොනවහරි කරයිද?” කියන ඡායාරූපය ඒ හැඟීම එක්ක ගත්ත ඡායාරූපයක්. මේ වෙද්දීත් රට තියෙන්නේ ජනවාර්ගික විදියට ගිනිකන්දක් උඩ. ඒක පුපුරායන්න ඉඩ තියෙනවා. හැබැයි මේ දේශපාලන ගිනිකන්ද නිවන්න පුළුවන් නායකයෙක් නැහැ. පෙනෙන මානෙක නැහැ. තව අවුරුදු දෙකක් මටත් ඔබටත් ඉන්න පුළුවන් වුණොත් මම කරනවා මහා දේශපාලනික ඡායාරූප එකතුවක්. මගේ ඔළුවේ දැනටමත් ඡායාරූප ටික තියෙනවා.

පොඞ්ඩක් ඉන්න, ඔබේ කතාව ඊළඟ ප්‍රදර්ශනයක් ගැන ඉඟියක්ද? ඒ ගැන වැඩි විස්තර කියන්න පුළුවන්ද?
ඒක දැනට ඉඟියක් විදියට තිබුණාදෙන්. ඔව්, මම කිව්වේ තව ප්‍රදර්ශනයක් ගැන තමයි. මේ වාගේ නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම දේශපාලනික එකක්. මට තියෙන දේශපාලන අදහස් පුපුරවා හරින එකක්. තවම ලංකාවේ ඒ වගේ දේශපාලනික ඡායාරූප ප්‍රදර්ශනයක් කරලා නැහැ. මේ ප්‍රදර්ශනය වගේ ලොකු කාලයක් ගන්න ඕනෑ නැහැ. මට පැහැදිලි අදහස් තියෙනවා ගන්න පින්තූර ගැන. ගිහින් ගන්න විතරයි තියෙන්නේ. මගේ ශරීර සෞඛ්‍යය සහ අවශ්‍ය වාසනාව තිබුණොත් ඒ වැඩෙත් මම කරනවා. එතැනින් එහාට ඒ ගැන කතා නොකර ඉන්න ඉඩ දෙන්න.■