මහ දවල් කොල්ල කෑ පාසලේ ඉඩම්


school

ටිරන් කුමාර බංගගමආරච්චි 

රටේ හතර දිග්භාගයේ එහා කොණක වුව ගෙල වැළලාගෙන මියගිය අයකුට පවා මාධ්‍ය දෙන ප්‍රචාරය ගාල්ල, කපුහේම්පොළ නන්දිමිත්‍ර මහා විද්‍යාලයේ ප්‍රශ්නයට තවමත් වෙන්වී නොමැත. තම පාසලට අයත් ඉඩමක් කූටලේඛන සකසා තමා සතු යැයි කියන පුද්ගලයකුට විරුද්ධව දෙවරක් වීදි බැස උද්ඝෝෂණ, විරෝධතා පෑවද මාධ්‍යයට එය ප්‍රවෘත්තියක් නොවීය. සියලු මාධ්‍ය මේ සිද්ධිය ආවරණය කළද ප්‍රචාරයක් ලබා නොදුන්නේය. ඒ ඇයිද යන්නත් ගම්මු මේ වනවිට හොඳාකාරවම දනිති. (‘සියත’ මාධ්‍යය ආයතනය පමණක් මේ ගැන ප්‍රචාරය කර ඇති බවද කිව යුතුය.)

ගාල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවන් වාර්තා නොකරන මේ කපුහේම්පොළ නන්දිමිත්‍ර මහ විදුහලේ ප්‍රශ්නය කුමක්ද?
ඉතා මනරම් පරිසරයක පිහිටි එය අංගසම්පූර්ණ විද්‍යාලයකි. දිගු ඉතිහාසයකට උරුමකම් කියන පාසල ගමේ මිනිසුන්ගේ වීර්යයෙන්ම මුලින් ගොඩනැගූවක් බව ඉතිහාසය පිරික්සීමේදී හෙළි වේ. මේ පාසල රටේ විවිධ වෘත්තීන්හි නියැලෙන විශාල පිරිසක් බිහි කොට ඇත. අද පාසලේ සුරක්ෂිතතාව වෙනුවෙන් කෑගසන සැවොම පාහේ මේ පාසලෙන් අකුරු කළ අයය. හැම පුද්ගලයකුම පාහේ, පාසල ලොකු පොඩි කුමක් වුවත් තම පාසලට අසීමිතව ආදරය කරන බව නොරහසකි. තම සියලු වැඩකටයුතු අහකලා වීදි බසිමින් පවා මේ මිනිසුන්ද ඉල්ලනුයේ තම පාසලට සාධාරණයක් කරන ලෙසය.

මුලින් කුඩා බිම් කඩක කටු මැටි ගසා ආරම්භ කළ මේ පාසල සංවර්ධනය කිරීමේ අරමුණින්ද පාසලට අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් සෑදීම සඳහාද 1977.08.15 දිනැති ගා/1306 පිඹුර මත ඉඩම් අත්පත් කරගැනීමේ පනතේ 38 (අ) අතුරු විධානය යටතේ අත්පත් කරගෙන අක්කර 03 රූඞ් 03 පර්. 29.05ක ඉඩමක් පාසලේ භුක්තියට සම්පූර්ණයෙන් පවරා ඇත.

මුල් පදිංචිය සහ වන්දි ගෙවීම
මෙම ඉඩම පවරා ගැනීමේ කටයුතු එකල සිදුකොට ඇත්තේ ගාල්ල දිසාපති කාර්යාලයේ ඉඩම් අංශයෙනි. ලිපිගොනු අංකය ඉඅ/7/43 වේ. ඉඩමේ හිමිකරුවන් වූයේ මිල්ට්‍රඞ් සුද්දිරික්කු ජයවික්‍රම මහත්මිය සහ දැනට කොළඹ 5, ඒ සර්ක්‍යුලර් පාරේ පදිංචි වෛද්‍ය එන්.එස්. ජයවික්‍රමය. රජයට ඉඩම පවරා ගැනීමෙන් පසු මුල් හිමිකරුවන්ට වන්දි ලබාදී ඇති අතර එම්.එස්. ජයවික්‍රම මහත්මියට අයත් වන්දි මුදල් ගෙවා ඇත. වන්දි ගෙවන අවස්ථාවේදී එන්.එස්. ජයවික්‍රම මහතා විදෙස්ගත වීම හේතුවෙන් ඔහුට අයත් වන්දි මුදල් ගාල්ල දිස්ත්‍රික් උසාවියේ තැන්පත් කර ඇත.

මේ මුල් ඉතිහාසය වත්මන් ඉඩමේ හිමිකරු යැයි පෙනීසිටින පුද්ගලයා විසින් ඉතා සූක්ෂ්මව මකා දමමින් සිටිනුයේ මීට අදාළ මුල් පිටපත් එම කාර්යාලවලින් අතුරුදන් කරමිනි. කොතරම් සුරක්ෂිතයැ’යි කීවද රජයේ ඕනෑම ආයතනයක ලිපිගොනුවක් අතුරුදන් කළ හැකි ආකාර එමට පවතී. එයට අවශ්‍යවන්නේ ධනය සහ බලය පමණි. එම ආයතනවල ලිපිගොනු අතුරුදන් වුවද ඒවායේ මුල් කොපිවල පිටපත් තවමත් ගම්මුන් සුරක්ෂිතව රැකගෙන ඇත. එබැවින් ඉහත සියල්ල ඔප්පු කළ හැකි පැහැදිලි සාක්ෂි තිබේ.

මුල් හිමිකරුවෝ
හතළිස් අවුරුද්දකට ආසන්න කාලයක් භුක්ති විඳි, රජය සතු ඉඩමක් හිටිවනම කොළඹ පදිංචි අශෝක කුලරත්න යන අය තමා සතුයැ’යි කියමින් අද වයෝවෘද්ධව දිවි ගෙවන එන්.එස්. ජයවික්‍රම මහතා ලවා ඔප්පුවක් ලියවාගෙන ඇත. මේ ඉහත ඉඩම පාසලට ලියා දුන් මහතාමය. ඔහු කොළඹ පදිංචිකරුවකු නිසා 1977දී තමා සතු ඉඩම් මේ පාසලට ලබාදෙනුයේ සද්භාවයෙනි. ඉන්පසු ඔහුට මේ ප්‍රදේශය සමඟ ඇති සබැඳියාව ඉතාම අඩුය. එහෙත් දරුවන් අහිමි මේ මහතාගේ ඥාති පුත්‍රයකු කියන වත්මන් සිද්ධියට අදාළ පුද්ගලයා කපුහේම්පොල අතහැර දැමූ ඉඩම තමන්ට ලබාදෙන්නැයි ඔප්පු සකසා ජයවික්‍රම මහතා ලවා ලියවාගෙන ඇත. ගම්මුන් සෑහෙන වයස්ගතව සිටින ඔහු හමුවී සාකච්ඡා කොට ඇති අතර, ඔහු එවිට තමන් අත්සන් කළේ ඒ කුමන ඉඩමටදවත් නොදන්නා තැනක පසුවන බව පවසා ඇත. මෙයින් මේ කූට ක්‍රියාවලියක් බව ඉතාම පැහැදිලිය.

වංචාව
පසුගිය රජය සමයේ නීතිය ඕනෑම කෙනෙකුට ඕනෑම අයුරකින් නැවිය හැකිවිය. ඊට අවශ්‍ය වූයේ එකල ආණ්ඩුවේ ප්‍රබලයකු අල්ලා ගැනීමය. එවිට කළ නොහැක්කක් නොවීය. චමල් රාජපක්ෂ මහතා මුලින්ම ඈඳාගෙන ඇත්තේ ඒ නිසාම විය යුතුය. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩු කාලයේ ප්‍රබලයන්ගේ සහායෙන් මේ පුද්ගලයා රජය සතු ඉඩම පවා අංක 657, 659, 664, 676, 677, 684 යටතේ පැරණි අයිතිකරුවන්ගෙන් 2007දී හිමිකම් ඔප්පු හයක් ලෙස ලියාගෙන ඇත. පසුගිය කාලයේ නීතිය කොතරම් හෑල්ලු කර ඇත්ද යන්න පැහැදිලි වනුයේ මෙවැනි හුදෙකලා කරුණු දෙසද බැලීමෙනි. රජය සතු ඉඩමට හිමිකම් ඔප්පු ලියනුයේ කෙසේද? මෙහි ඇති අපූරුම විහිළුව නම් එවකට ඉඩම් ඇමති මෙම ඉඩම ගැසට් පත්‍රයක් මගින් අන්සතු කරනුයේ 2010 අංක 72 දරන ආඥාව යටතේ වීමය.

39(1) වැනි වගන්තිය යටතේ නියමය
‘1981 අගෝස්තු මස 21 වැනි දින අංක 155 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළකරන ලද 1981 අංක 194 දරන (460 වන අධිකාරිය වූ) ඉඩම් අත්කර ගැනීමේ පනතින් 38 වැනි වගන්තිය (අ) අතුරු විධානය යටතේ ආඥාවෙන් මෙහි පහත උපලේඛනයෙහි සඳහන් ඉඩම් කොටස රජය වෙත සම්පූර්ණයෙන්ම සතුවී ඇති අතර රජය සඳහා සහ ඒ වෙනුවෙන් එකී පනතේ 40 වැනි වගන්තියෙහි (අ) ඡේදය යටතේ එම ඉඩම් කොටසේ සන්තකයද ලබාගෙන තිබේ. එහෙත් එම පනතේ (1979 අංක 08 දරන පනතින් ඇතුළත් කරන ලද) 39 අ (1) වැනි වගන්තියේ උපවගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් වන මම පහත උපලේඛනයෙහි සඳහන් ඉඩම් කොටස මෙම නියමය විසින් අවසතු කරමි.’

ඉහත ගැසට් නිවේදනය අනුව කාරණය පැහැදිලිය. ඉඩම් ඇමති අල්ලා ගත හැකි නම් කළ හැකි දේ බොහෝය. ඔහු ඉතාම පැහැදිලිව මේ රජය සතු ඉඩමක් බවත් එයට වන්දි ගෙවා ඇති බවත් සඳහන් කරන අතර ඉඩම් ඇමති ලෙස තමා සතු බලතල පාවිච්චි කොට මෙය අවසතු කරන බවත් හිරිකිතයකින් තොරව කියන්නේය. තම ප්‍රදේශයේ ඡන්ද වෙනුවෙන් පර්චස් දහයටත් සටන් කළ ජනක බණ්ඩාර වෙනත් ප්‍රදේශයක පාසල සතු ඉඩමක් පුද්ගලයකු වෙනුවෙන් අවසතු කරන්නේය. මුලින් කී පරිදි මෙහි ඇති හාස්‍යය නම් ඔප්පු ලිවිය යුත්තේ අවසතු කිරීමෙන් පසුව වුවත් මෙහි ඔප්පු ලියනුයේ ඉඩම අවසතු කරන්නටත් ප්‍රථම වීමය. ඉඩම 2010 අවසතු කරන විට මේ අදාළ පුද්ගලයා ඔප්පු ලියනුයේ 2007දීය. එසේ නම් මෙය කූට ලියකියවිලි සකස් කිරීමක් නොවේද? ජනක බණ්ඩාර ඇමතිවරයා සිදුකර ඇත්තේ වංචාව නීතිගත කරන්නට ඊට වසර තුනකට පසු නීතිය නැවීමක් නොවේද?

මේ සිද්ධීන් දෙස බලද්දී පැහැදිලි වන කරුණ නම් එවකට ආණ්ඩුව සමඟ මේ පුද්ගලයාට තිබූ සබඳකම්ය. මේ අවනීතියෙන් සකසා ගත් ව්‍යාජ ඔප්පු කරපින්නාගෙන මොහු දැන් ගම්මුන්ටද තර්ජනය කරමින් අදාළ ඉඩමේ ගස් කැපීමද ආරම්භ කර ඇත. ඊට විරුද්ධව ගම්මුන් ඒකරාශිවීමත් සමගම ඊට විරුද්ධ දැනට කේවියට් දෙකක් ද දමා ඇති නිසා ගස් කැපීම තාවකාලිකව නතර වී ඇත. මෙය බැලූ බැල්මටම වංචාවක් බව පැහැදිලිය. ඊට පසුගිය රජයේ ඇත්තන්ගේ උපරිම ආශීර්වාද ලැබී ඇති බවද පැහැදිලිය. එහෙත් එයට යහපාලනයෙන් ඉඩ නොතැබිය යුතුව ඇත. හිටපු ඉඩම් ඇමතිට තම අභිමතය පරිදි මේ අදාළ ඉඩම අවසතු කළ හැකිනම් ඒ නීති විරෝධී ක්‍රියා සියල්ල සැලකිල්ලට ගෙන වත්මන් ඉඩම් ඇමතිට එය රජය සතුවට ගෙන නැවත පාසලට ලබාදීමේ කිසිදු බාධාවක් තිබිය හැකියැ’යි සිතිය නොහැකිය. සාමාන්‍ය ක්‍රමවේදය නම් පැවරූ ඉඩම නැවත ලබාදිය හැක්කේ ඉඩම දුන් අයටමය. එහෙත් මේ දී ඇත්තේ තුන්වන පාර්ශ්වයකට වීමද ගැටලුසහගතය.

ක්‍රීඩාංගණය
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයටම ඇති ලොකුම අඩුව මීටර් 400 ධාවන පථයක් සහිත ක්‍රීඩාංගණයක් නොමැතිවීමය. අධ්‍යාපන කලාප ආයතන ඊට කදිම තැන ලෙස මෙම ඉඩම තෝරාගෙන ඊට සැලසුම් සකසන පසුබිමක මේ තත්ත්වය උදාවීම සැබැවින්ම ඛේදවාචකයක්මය. දැනට ගාල්ල දිස්ත්‍රික්කයම සතු එකම පිට්ටනිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයය. එයද ක්‍රිකට්වලට සින්න වී ඇති පසුබිමක මෙවන් ස්ථානයක අංගසම්පූර්ණ පිට්ටනියක් ඉදිකිරීම මෙම පාසලට පමණක් නොව ගාලු දිස්ත්‍රික්කයටම වටිනා සම්පතක් වනු ඇත.

අද දවසේ මීටර් 400 ධාවන පථයක් සහිතව අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් සෑදීමට ඉඩමක් සොයා ගැනීම ඉතාම අපහසුය. එවන් පසුබිමක නන්දිමිත්‍ර පාසල සතු මේ ඉඩම පුද්ගලයකුට දීම ජාතික අපරාධයක් බව කිව යුතුය. පිට්ටනියක් සහිතව මේ පාසල හෙට දවසේ ඉහළ ජනප්‍රියත්වයක් ලැබීම නොරහසකි. අදටත් අවට පාසල්වල ළමුන් පවා ක්‍රීඩා කරනුයේ මෙම පාසල සතුව දැනට ඇති පිට්ටනියේය. එම පිට්ටනියේ කොටසක් මෙම පුද්ගලයා මේ වනවිට තමන් සතු කරගෙන ඇත.

එකල පිට්ටනියක් හදන අරමුණින් මෙම ඉඩම පරිත්‍යාග කළද එය සිදු නොවූයේ ඊට ආණ්ඩු ප්‍රතිපාදන වෙන් නොකිරීම නිසාය. එහෙත් දැන් ඇති තත්ත්වය සහ අවශ්‍යතාවේ තරම මත අධ්‍යාපන කලාපවල ඉල්ලීම මතම මෙහි අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් නිර්මාණය කිරීමට ප්‍රතිපාදන ලබාදීමට කැමැත්ත පළවී ඇතත්, මේ ප්‍රශ්නය ඊට බාධාවක් වී ඇත. පවතින රජයේ සියලු වගකිවයුත්තන් ඇස් කන් හැර මේ ගැටලුවට සාධාරණයක් ඉටුකොට මෙවැනි කූට වැඩ කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාකිරීමද කළ යුතුය යන්න අපගේ හැඟීමය. පාසලක් වැසීමට දෙන තල්ලුවක් ලෙස පාසලේ ඉඩම ව්‍යාපාරිකයකුට දීම පැහැදිලිය. එය නොවිය යුත්තකි. පාසල රැකගනිමින් එය ඉහළ තැනකට ගෙනඒමේ ඉඩ මේ පිට්ටනිය නිර්මාණය කිරීම හරහා ඉබේටම ලැබෙනු ඇත.

දැනටද ඉතාම හොඳට පවත්වාගෙන යන මේ පාසල විනාශ මුඛයට ඇදදැමීමට මේ ක්‍රියාව නොකළ යුතුය. මෙය මහ දවාලේ කළ ඉඩම් මංකොල්ලයකි. එයට පසුගිය ආණ්ඩුවේ බොහෝ අය උපරිම සහය දී ඇත. දැන් හෝ එය නිවැරදි විය යුතුය. මේ එය කළ හැකිම කාලයයි. එසේ නොවේ නම් යහපාලනය යන්න හුදු වචනයක්ම පමණක් වනු ඇත.■

මේ පාසල බේරලා දෙන්න
අනෝමා දමයන්ති
අපිත් ගිය අපේ ළමයිනුත් යන පාසල මේ. මේ ප්‍රදේශයේ කාටවත් මෙතැනින් එහා නගරයේ පාසල්වලට යන්න බෑ. එහෙම ගන්නේ නෑ. මේ පාසල සතු ඉඩම මේ විදිහට පිටස්තරයකුට දුන්නොත් ඒ අය මේවායේ ඕනෑ ව්‍යාපාරයක් කරයි. එතකොට පාසලට පැවැත්මක් නැති වෙනවා. පාසලට තියෙන මේ ඉඩමේ ලොකු පිට්ටනියක් හැදුවොත් මේ පාසලට තියෙන වටිනාකම වැඩිවෙයි. අපි කියන්නේ පාසලේ ඉඩම පාසලටම පවරාගෙන ඒ පිට්ටනිය හදන්න කියලායි. වගකිවයුත්තන්ගෙන් අපි ඉල්ලනවා මේ පාසල බේරලා දෙන්න කියලා.

මේවා හරි අපරාධ
ප්‍රේමලතා
මේ ඉඩම පාසලට අයිති ඉඩමක්. ඒක අද ඊයේ නෙමෙයි අවුරුදු ගාණක් තිස්සේ තියෙන්නේ. පහුගිය කාලයේ එක පාරටම පුද්ගලයෙක් එනවා මේක එයාගේ කියාගෙන. මේවා හරි අපරාධ. පාසලක් විනාශ කිරීම හෙණ ගහන අපරාධයක්.

මේකට සාධාරණයක් වෙන්න ඕනෑ
ධර්මසේන අතුකෝරළ
අපි පුංචි කාලෙත් ගියේ මේ පාසලට. අද ඒක බලෙන් අල්ලාගෙන. පහුගිය ආණ්ඩුව කළ වැරදි මේවා. මේවා නිවැරදි වෙන්න ඕනෑ. අද මේ පුද්ගලයා ලෑන්ඞ් සේල් එකක් එක්ක ගිවිසුමකුත් ගහලා කෝටි ගාණකට. මේ පරිසරය හරිම ලස්සනයි. අද මේ වගේ ඉඩම් වටිනවා. ඒ නිසා හොර ඔප්පු හදාගෙන මේවා අල්ලාගන්න ඇවිල්ලා. ගමේ මිනිස්සු එකාවන්ව ඉන්නවා. මේකට සාධාරණයක් වෙන්න ඕනෑ. අපේ පාසල සතු ඉඩමේ අයිතිය පාසලටම ලැබෙන්න ඕනෑ. මෙතැන දේශපාලන පක්ෂ භේදයක් නැතිව හැමෝම එකතු වෙලා ඉන්නවා.

ධනයට බලයට මේ දේවල් වෙන්න දෙන්න නරකයි
උපුල් ගොඩගේ
අපි ක්‍රීඩාවෙන් ජාතික තලය දින්නේ මේ පාසලෙන්. මේක මගේ පාසල. මේක රැකගන්න ඕනෑ. අද ගමේ සමහරුත් සල්ලිවලට යටවෙලා. අපි වත්තේ ගහක් කපන්න නම් ප්‍රාදේශීය ලේකම්ගේ අවසර ගන්න ඕනෑ. ඒත් මේ ගස් කපන්න ප්‍රාදේශීය ලේකම් මෙතැනට ඇවිල්ලා අවසර දෙනවා. මේ ඔක්කොම සල්ලි බලේ. ධනයට බලයට මේ දේවල් මෙහෙම වෙන්න දෙන්න නරකයි. මාධ්‍යයට කොච්චර කිව්වත් ඒ අය එනවා, ඇවිත් අරගෙන ගිහින් දාන්නේ නෑ. ඒකයි මෙහේ තත්ත්වය. මේක ගමේ සෑහෙන පිරිසකට අකුරු කියලා දුන්න පාසලක්. රටේ ඉහළ තනතුරු දරන ගොඩක් අය මේ පාසල බිහිකළා. එහෙව් පාසලේ ඉඩම ගිය රජය යටතේ පුද්ගලයකුට පැවරීම මොනතරම් අසාධාරණද?

නිවැරදි කරන්න පුළුවන්
අබේසේකර
මේ ප්‍රශ්නයට මුල ඉඳලම මම මැදිහත් වුණා. ඒ මොකද මේක ජාතික අපරාධයක්. මෙතැන දේශපාලනයක් නෑ. හැබැයි හැමෝම සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. පහුගිය රජයෙන් වුණු වරද මේ ආණ්ඩුවට නිවැරදි කරන්න පුළුවන්. මේ පාසල සතු ඉඩම පාසලට දෙන්න ඕනෑ.■

මෙතන ලොකු වැරදීමක් තියෙනවා
රමේෂ් පතිරණ පාර්ලිමේන්තු මන්ත්‍රී
මේක අපේ ආණ්ඩුව කාලේ සිද්ධවෙලා තියෙන්නේ. මෙතන ලොකු වැරදීමක් තියෙනවා. අපි මේක නිවැරදි කරන්නම ඕනෑ. මම මේ පිළිබඳ සොයා බැලුවා. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ වංචාවක්. ඒක ඉතාම සූක්ෂ්ම විදිහට කරගෙන තියෙන බවත් පැහැදිලියි. ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා විසින් මේක මොනයම් හෝ හේතුවක් මත අවසතු කරලා තියෙනවා. ඒත් මේක රජයේ ඉඩමක්. එහෙම පිටස්තරයකුට පැවරීමත් වැරදියි. මේ තත්ත්වය නිවැරදි වෙන්න ඕනෑ. මම මේ වෙනුවෙන් දේශපාලන පාට පක්ෂ භේදයෙන් තොරව මැදිහත් වෙනවා. මොකද ඒ පාසල සතු ඉඩම පාසලට ලබාදෙන්න ඕනෑ. ඒක අපි කළ යුතු යුතුකමක්. මම මේ ජනතාව එක්ක එකතුවෙලා ඒ කළහැකි උපරිමය කරන්න ක්‍රියා කරනවා.■