රාවය

වෛද්‍ය සංගමයේ සටන අවසන්! සයිටම් සටන කොයිබටද?

වෛද්‍ය සංගමයේ සටන අවසන්! සයිටම් සටන කොයිබටද?

තරිඳු උඩුවරගෙදර

අමාත්‍යාංශවලට බලෙන් ඇතුළුවීම් සිදුවුණේ පළමු වතාවට නොවේ. පසුගිය කාලයේ බෞද්ධ භික්ෂූන් අමාත්‍යාංශවලට අරක්ගත් අවස්ථා බොහෝය. ඒවා පාලනය කරන්නට පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණයේ නැත. ජනාධිපතිවරයා පසුගි ය දිනෙක කීවේ සයිටම් විරෝධී උද්ඝෝෂණවලට යන සිසුන් වැරැද්දක් නොකරන බවයි. ඒ සිසුන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් බලහත්කාරයෙන් උද්ඝෝෂණවලට මෙහෙයවන බවයි. සයිටම් විරෝධී සටන සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ නොවෙන බොහෝදෙනාද කියන්නේ ඒ කතාවයි. සිසුන් අකැමැත්තෙන් උද්ඝෝෂණවලට සහභාගී වූ බවයි. සිසුන්ට පහරදෙමින් අන්තරය සිසුන් මෙහෙයවනවා නම්, බලහත්කාරයෙන් සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයට යැව්වේ නම් පොලිස් විශේෂ කාර්ය බලකාය ඔලු‍ පලා ඇත්තේ අහිංසක සිසුන්ගේය. අන්තරයෙන් ගුටි කන්නට බියෙන් උද්ඝෝෂණවලට ගොස් පොලීසියෙන් ගුටි කන්නට සිසුන්ට සිදුවෙයි.

එසේ ගතහොත් උතුරේ රජයේ හමුදා සිදුකළ දේවල්ද සාධාරණීකරණයට අපට සිදුවෙයි. “කරන්න දෙයක් නෑ. කැරලිගහනවා නම් මැරුම් කන්න සිද්ධවෙනවා” එසේ තර්ක කරන්නට අපට සිදුවෙයි. ඒ නිසා කුමන තත්ත්වයක් උඩ වුවත් සිසුන්ට පහරදීම අනුමත කළ නොහැකිය. අනෙක් පැත්තෙන් සිසුන්ගේ ක්‍රියාමාර්ගය විවේචනය කළ හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය එයයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිසුන්ට පහරදුන්නේ ඉතාම දරුණු ආකාරයෙනි. දැන් සිසුන්ගෙන් දේපළ හානි කළ අය සම්බන්ධයෙන් ආණ්ඩුව සොයයි. රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා කියා තිබුණේ සිසුන් කළ හානිවලට සිසුන්ගේ මාපියන් පරිප්පු හාල්වල බදුවලින් ගෙවනු ඇති බවයි. මේවාට පිළිතුරු දෙමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර කියා තිබුණේ මහා පරිමාණ දූෂණ වංචා ගැන පරීක්ෂණ නොකරන ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හානි ගැන ඉක්මනින් ක්‍රියාත්මක වීම විහිළුවක් බවයි.
සයිටම් විරෝධී වීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. සයිටම් විරෝධීන් විවේචනය කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. ගැටලු‍ව ඇත්තේ ඒ අයිතිය පාවිච්චි කරන ආකාරය ගැනයි.

දැන් ලංකාවේ සිවිල් සමාජය ඇතුළුව සමස්ත සමාජය සයිටම් නිසා බෙදී ඇති අතර සයිටම් විරෝධීන් තමන්ගේ මතයට විරුද්ධ අය ද්‍රෝහීන්, ආණ්ඩු ගැත්තන් ලෙසත් සයිටම් පිළිගන්නා ලිබරල් පාර්ශ්වය සයිටම් විරෝධී පාර්ශ්වයන් කාලකණ්ණින් ලෙසත් චෝදනා කරගනිමින් සිටිති. එහෙත් මේ දෙපාර්ශ්වයේම අවස්ථාවාදීන් සහ අවංක අදහස් ඇති පුද්ගලයන් සිටින බව අවබෝධ කරගත යුතුය. මෙය සයිටම් ගැන ප්‍රශ්නයකින් එහා ගොස් රටේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිය සම්බන්ධ කාරණයක් ලෙස තේරුම් ගතයුතුය.

සයිටම් සහ ආණ්ඩුව
මේ ආණ්ඩුව සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට ප්‍රතිපත්තිමය වශයෙන් බැඳී නැත. ඔවුන් ආර්ථික වශයෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්තිවල ඇත්තේ මෙතෙක් ඉදිරිපත් කළ ලිබරල්වාදී ප්‍රතිපත්තිමය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සයිටම් පවත්වාගෙන යන හෝ අහෝසි කරන බව කීවේ නැත. ඒ නිසා සමාජවාදී ප්‍රතිපත්ති මේ ආණ්ඩුව ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වීමෙන් පලක් තිබුණේ නැත.
එහෙත් ප්‍රමිතිය පැත්තෙන් ආණ්ඩුව සයිටම් ගැන තීන්දුවක් ගත යුතුව තිබුණි. ඒ වන විට සයිටම් ආයතනය ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කළ, එසේ කරද්දී ආයතනයේ නමට ඇතුළත්ව තිබුණු මැනේජ්මන්ට් යන වචනය වෙනුවට මෙඩිසින් යන වචනය යෙදූ ආයතනයකි. ඊට අමතරව සයිටම් ගැන චෝදනා රැසක් තිබුණි. එය නීතියේ හිල් අතරින් රිංගා පිහිටුවූ ආයතනයක් වන අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා නීතිමය හා ප්‍රතිපත්තිමය රාමුවක් තනා තිබුණේ නැත. ඒ නිසා මේ ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු පෞද්ගලික අධ්‍යාපනය ගැන යහපත් සංවාදයක් ඇතිකොට පිළිගත හැකි නීති සහ ප්‍රතිපත්ති සකස් කළ යුතුව තිබුණි.

ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව වුව මේ ගැන සංවාද කළේ නැත. අධ්‍යාපනය ගැන ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දු ගත යුත්තේ ඒ ගැන පුළුල් මහජනයාගේ අදහස් විමසීමෙන් පසුව වුණත් එවන් සංවාදයක් තිබුණේ නැත. ජනමත විචාරණ, ජනමත සමීක්ෂණ, මැතිවරණවලට ඉදිරිපත් කරන ප්‍රතිපත්තිමය යෝජනා හරහා මහජන අදහස් ආණ්ඩුකරණයට එක් කරගත හැකි වුණත් ඒවා ගැන වගක් කිසි ආණ්ඩුවකට තිබුණේ නැත. සෞඛ්‍ය ඇමතිවරයා සයිටම් වෙනුවෙන් පෙනීසිටිද්දී ඔහුගේ සමීපතමයෙකු සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන බව ප්‍රචාරය විය. සෞඛ්‍ය ඇමතිවරයාගේ පෙනීසිටීම ළබැඳියාවන් අතර ගැටුමක් විය. ඒ ගැටලු‍ව නිවැරදි කරන්නට ආණ්ඩුව උත්සාහ ගත්තේ නැත.

එයින් සිදුවුණේ විරෝධතා වර්ධනය වීමයි. එහෙත් ආණ්ඩුව දිගින් දිගටම ඇල්මැරුණු පිළිතුරු දුන් අතර සිසුන්ගේ ඔළු පලා, උද්ඝෝෂණවලට පහර දී වෛද්‍ය වර්ජනවලින් ජනතාව අපහසුතාවට පත්වීමෙන් පසුව ආණ්ඩුව සිය ස්ථාවරය ප්‍රකාශ කරන තැනට පත්විය. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ගැන පිළිගත හැකි ප්‍රමිති රාමුවක් ආණ්ඩුවට තවමත් නැත. නිදහස් අධ්‍යාපනය ගැන ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කර නැත. එය වෙනම තලයක සාකච්ඡා කළයුතු මාතෘකාවකි.

වෛද්‍ය සංගමය
සයිටම් ගැටලු‍වට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙවත් සාමාන්‍ය ව්‍යවහාරය අනුව වෛද්‍ය සංගමය පිවිසෙන්නේ වාමාංශික ප්‍රතිපත්ති නිසා නොවේ. ඔවුන් ඉදිරිපත් කරන්නේ වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය පිළිබඳ කාරණයයි. සයිටම් ආයතනය හරහා ප්‍රමිතියෙන් යුතු උපාධියක් ලබා නොදෙන බව මුල සිටම ඔවුන්ගේ තර්කය විය. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කළ කරුණු හා විසඳුම් රැසකි.
පසුගිය සතියේ ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය හරහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉදිරිපත් කර ඇති ගැටලු‍ රැසකට විසඳුම් ලැබී ඇති බව පැහැදිලිය. ඔවුන් මූලිකව පෙන්වාදුන්නේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධියට වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවිය යුතු බවයි. පසුගිය සතියේ ජනාධිපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක් කැඳවා තිබුණේ ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කරගැනීමටය. ඒ සාකච්ඡාවේදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ගේ යෝජනා ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා ඒ යෝජනාවලට විරුද්ධ වී තිබුණේ නැත. එකඟ වී තිබුණේද නැත. යෝජනාවලට ඇහුම්කන්දීම පමණක් ජනාධිපතිවරයා කර තිබුණි. එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අරුත් ගන්වා තිබුණේ ජනාධිපතිවරයා තම ප්‍රතිපත්තිවලට එකඟ වී ඇති ලෙසයි.

ඊට පසුවදා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් තම ස්ථාවරය පෙන්වාදී තිබුණි. රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් අදාළ කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම සහ උපාධි පිරිනැමීම නතර කිරීම, වෛද්‍ය අධ්‍යාපනයට අදාළ අවම ප්‍රමිතීන්ගේ වලංගුභාවය නීතිය ඉදිරියේ තහවුරු කළ යුතු බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහා ගැසට් කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට සහ අපක්ෂපාතීත්වයට කිසිදු ආයතනයක හෝ පුද්ගලයෙකුගේ බලපෑම් සිදු නොවිය යුතුය, සයිටම් වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගනුම ලබන සිසුන්ගේ පාඨමාලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රමවේදයකට අනුව සකස් කිරීම, දැනට උපාධිය සම්පූර්ණ කර ඇති සිසු සිසුවියන්ගේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම, සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම යන ස්ථාවරයන් එම නිවේදනය හරහා ඉදිරිපත් කොට තිබුණි.

ඊට අමතරව සයිටම් ආයතනයට අයත් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බවත්, සයිටම් ආයතනයට අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සඳහා එය කොටස් වෙළඳපොළට ඇතුළත් කිරීම හෝ රාජ්‍ය/පෞද්ගලික අරමුදලකින් සමන්විත භාරයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙළක් යොදන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබුණි. එහි සයිටම් ආයතනය රාජ්‍ය හා පෞද්ගලික අරමුදල්වලින් සමන්විත භාරයක් බවට පත් කිරීම පිළිබඳ යෝජනාව ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළි විමසා තිබුණු අතර එහිදී ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වන ශිරාල් ලක්තිලක මහතා විසින් පවසා ඇත්තේ ඒ පිළිබඳව තවමත් ස්ථීර තීරණයක් ගෙන නොමැති බවත් ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී තීරණයක් ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය.

එම කරුණ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වරදවා වටහාගෙන තිබුණු අතර නැවත පුවත්පත්වල පුවතක් ලෙස සයිටම් පිළිබඳ රජයේ ස්ථාවරය වෙනස් කරමින් යළිත් නිවේදනයක් නිකුත් කරන බව පවසා තිබුණි. ජනාධිපති ලේකම් ඒ බව පැවසීයයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික හරිත අලු‍ත්ගේ උපුටා දක්වමින් එම පුවත පළවිය. ඉන්පසුව යළි ජනාධිපති ලේකම්වරයා කියා තිබුණේ එවන් එකඟතාවක් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ඇති කර නොගත් බවයි. නැවත හරිත අලු‍ත්ගේ මහතා කියා තිබුණේ තමාට මේ බව පැවසුවේ ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු බවයි. ඒ ජනාධිපති ලේකම්වරයා ශිරාල් ලක්තිලක මහතා බව එහි තිබුණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පෙර තිබුණු ස්ථාවර සමඟ ගත්කල සයිටම් ආයතනය රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනයක් බවට පත්කිරීමත්, රජය වෛද්‍ය උපාධිය පිළිබඳ ප්‍රමිතිය නිවේදනය කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයට රජයේ ස්ථාවරය දැනුම් දීම ඇතුළු පියවර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙතෙක් සිටි ස්ථාවරවලට ආණ්ඩුව එකඟ වීමකි. දැන් සයිටම් සටනෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජයගෙන ඇත. ඒ සටන කරගෙන ආ ආකාරය පිළිබඳ අපමණ විවේචන ඇතත් මේ වන විට රජය ගෙන ඇති ස්ථාවරය ගැන සතුටු විය.

වෛi සංගමයේ ඉල්ලීම්වලින් ඊළඟට ඉටු විය යුත්තේ වෛi සභාවේ අනුමැතිය සයිටම් ආයතනයට ලබාදීම වන අතර ඉහත තත්ත්වයන් සම්පූර්ණ වෙද්දී වෛi සංගමයේ සටන අවසාන වනු ඇත. එසේ වීම පොදුවේ අධ්‍යාපනය පැත්තෙන්ද යහපත්ය.

වාමාංශිකයෝ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැර අනෙක් පාර්ශ්ව මෙයට මැදිහත් වුණේ වාමාංශිකයන් ලෙසයි. ඔවුන්ගේ ප්‍රතිපත්තිය පෞද්ගලික අධ්‍යාපනය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවයි. එය සහ වෛද්‍ය සංගමයේ ප්‍රතිපත්තිය අතර වෙනසක් තිබේ. වාමාංශිකයන්ට අනුව රජය ගත් තීරණය පිළිගත නොහැකිය. ඔවුන්ගේ පැත්තෙන් එය සාධාරණය.

වාමාංශිකයන්ගේ සටන සයිටම් සම්පූර්ණයෙන් වසා දැමූ පසුවත් අවසාන වෙන්නේ නැත. ඉන්පසුව අනෙක් පෞද්ගලික අධ්‍යාපන ආයතන සම්බන්ධයෙනුත් එතැනින් එහාට සමාජවාදී රජයක් දක්වා ඔවුන්ගේ සටන නවතින්නේ නැත. ඔවුන්ගේ පැත්තෙන් ඒ ප්‍රතිපත්තිය සාධාරණීකරණයට ඔවුන්ට හැකිය. එහෙත් ගැටලු‍ව වන්නේ පන්ති වර්ජන සමඟ දිනපතා සිදුවන ශිෂ්‍ය උද්ඝෝෂණ හා අනෙකුත් සටන් ක්‍රියාමාර්ග සමාජවාදී යුගයක් බිහිවීම දක්වා ක්‍රියාත්මක කළ යුතුද යන්නයි.

සමාජවාදයට යන පාරේ විරෝධතා, උද්ඝෝෂණ ඇති බව ඇත්තකි. එහෙත් ඒවායින් පමණක් සමාජවාදය බිහිවෙන්නේ නැත. ඒ සඳහා අධ්‍යාපනික වැඩපිළිවෙළක් තිබිය යුතුය. දේශපාලන ව්‍යාපාර නිර්මාණය කළ යුතුය. විශාල වැඩ කොටසක් තිබේ. මීට පෙර ලංකාවේ කළ විප්ලවය වැරදුණේත් ඒ වැඩකොටස නොකර හැඟීම්වලින් විප්ලවය කළ හැකියැයි විප්ලවවාදී නායකයන් සිතූ නිසාය. ඒ නිසා වාමාංශිකයන් අලු‍තින් සිතිය යුතුය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ තවත් දුර යා නොහැකිය.■