රාවය

බණ්ඩාරවෙල විලාපය ජනපතිට ඇහේවිද?

බණ්ඩාරවෙල විලාපය ජනපතිට ඇහේවිද?

තරිඳු උඩුවරගෙදර

ප්‍රංශයේ ලොයිරේ ගංගාවේ වේල්ලක් නිසා සිදුවන පරිසර හානිය සහ සාමාන්‍ය ජන ජීවිතයට සිදුවන හානිය පිළිබඳව දිගු කාලයක් සිදුකළ සටනකින් පසුව එම වේල්ල ඉවත්කිරීමට ප්‍රංශ රජය තීරණය කළේය. ව්‍යාපෘතියට කෝටි ගණනක වියදමක් කර තිබුණත් ඒ වියදමට වඩා පරිසරයට සිදුවන හානිය ගැන ප්‍රංශය සැලකිලිමත් විය. තායිලන්තය ලෝක බැංකු ණයක් රැගෙන සිදුකළ විශාල ව්‍යාපෘතියක් වන පාක් මුන් ගංගාවේ දැවැන්ත වේල්ලෙහි වාන් දොරටු හැර දමා ගංගාව යළි ප්‍රතිස්ථාපනය කළේ එම ගංගාවේ වේල්ලක් තනා වසා දැමීමෙන් සාමාන්‍ය ජන ජීවිතයට සහ පරිසරයට විශාල හානි සිදුවන බව හඳුනාගැනීම නිසාය. ලෝකයේ පරිසර පද්ධති ගැන මෙන්ම සාමාන්‍ය ජන ජීවිතය ගැන සිතා නැවැත්වූ දැවැන්ත ව්‍යාපෘති ඕනෑතරම්ය. ඒවා ගැන අන්තර්ජාලයට පිවිසෙන ඕනෑම අයෙකුට දැකගත හැකිය. එහෙත් දැන් ආණ්ඩුව කියන්නේ උමා ඔය හොඳ ව්‍යාපෘතියක් නොවන බව ඇත්ත වුණත් විශාල මුදල් ප්‍රමාණයක් යටකර ඇති නිසා උමා ඔය ව්‍යාපෘතිය නැවැත්විය නොහැකි බවයි.

ආණ්ඩුව කුමක් කීවත් සිංහල, දෙමළ, මුස්ලිම් මෙන්ම යූඇන්පී, ශ්‍රීලංකා, ජේවීපී, කජපෙ, මු.කො. ඇතුළු විවිධ පක්ෂ පාට ආගම්වලට බෙදී සිටි බණ්ඩාරවෙල ජනතාව දැන් එකම අරමුණක් වෙනුවෙන් එක්වෙමින් සිටිති. පසුගිය 28 වැනිදා බණ්ඩාරවෙල නගරය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කරමින් ජනතාව විශාල රැලියක් සංවිධානය කළේ උමා ඔය ව්‍යාපෘතියට එරෙහිවය. බණ්ඩාරවෙල වසන ඕනෑම අයෙකුට සිදුවෙන විනාශය පෙනෙන නිසාය. විනාශය නොපෙනෙන්නේ බලධාරීන්ට සහ දේශපාලනඥයන්ට පමණකි. නැතිනම් විනාශය නොතකන්නේ ඔවුන් පමණි.

උඩපේරුව
මේ විරෝධතාවට දින කිහිපයකට පෙර අපි බණ්ඩාරවෙලට ගියෙමු. මේ වෙද්දී දරුණුම විනාශයකට මුහුණදෙන උඩපේරුව ගම්මානය අප ගිය එක් තැනකි. උඩපේරුව ගම්මානය මේ වන විට දරුණු ලෙස විනාශයට මුහුණදෙමින් සිටින ගම්මානයකි. ගමේ භූගත ජලය සම්පූර්ණයෙන් සිඳී ගොස් ඇති අතර භයානක ලෙස නිවාස පැලෙන්නට පටන්ගෙන ඇති අයුරු අපට සියැසින් දැකගන්නට හැකිවිය. ඇතැම් නිවාස ගිලා බැස තිබුණි. මේ වන විට පුපුරා ඇති නිවාසවලට ඉවත්වෙන ලෙස දැනුම්දී මාස හයක නිවාස කුලී ලබාදී ඇත. එම නිවාසවල හානි තක්සේරු කර ඇති අතර හැකි ඉක්මනින් වන්දි ලබාදෙන බවද පවසා ඇත. එහෙත් වන්දි දුන් පමණට මේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැත.

“දෙසැම්බර් තිස්එක පාන්දර තමයි ගෙවල් පැලෙන්නට පටන්ගත්තේ. දෙසැම්බර් තිස්එක්වැනිදා ටනල් එකෙන් ලොකු වතුර ලීක් එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ ජනවාරි පළවැනිදා තමයි ගෙවල්වලින් යන්න සිද්දවෙන තරමට පැල්ම වැඩිවුණේ. අපට ඉක්මනින් ඇවිත් අයින්වෙන්න කිව්වා. ඉක්මනින් වන්දි මුදලු‍ත් ලබා දුන්නා. රුපියල් පහළොස්දාහ ගාණේ මාස හයකට ගෙවල් කුලී ගෙව්වා. අපි එක්කෝ කුලී ගෙවල්වල හරි නෑදෑ ගෙවල්වල හරි තමයි දැන් ඉන්නේ. දැන් අපට කුලිය ගෙව්ව මාස හය ඉවරයි. අපේ ඉඩම්වල හානි තක්සේරු කරලා වන්දි දෙනවා කිව්වා. අපට යන්න ඉඩම් දෙනවා කිව්වා. හැබැයි තවම ඒ මොනවත් සිද්ධවෙලා නැහැ. අපට වන්දි මුදල් දෙන්න නම් අපිම මේ ගෙවල් කඩලා අයින් කරන්න කිව්වා. හැබැයි අපට කඩලා ගෙවල් අයින් කරන්න යන වියදමට කවුරුත් වන්දි දෙන්නේ නැහැ. ගෙවල් කඩද්දී අපට නැතිවන ආදායම්වලට කවුරුත් වන්දි දෙන්නේ නැහැ. කොහොමවුණත් කලින් අයින්කළ ගෙවල්වල සමහරු වන්දි අරගෙනත් හිටපු ගෙවල්වලම ඉඳලා තියෙනවාලු‍. ඒ නිසාලු‍ ගෙදර කඩන්න කියන්නේ.” උඩපේරුවේ ලලිත් මහතා අප සමඟ විස්තර පැවසීය.
“උඩපේරුවේ නිවාසවල දරුණු පැලීම් ඇතිවුණේ මේ වසරේ ජනවාරි මාසයේ වන අතර උඩපේරුවේ ජලය නැත්තටම නැතිව ගියේ පසුගිය අගෝස්තු මාසයේ සිටයි.”

අප උඩපේරුවට ගියේ සැලකිය යුතු වැස්සකට පසුවය. ඒ නිසා පොළොවේ යම් තෙතක් තිබුණි. එහෙත් වැස්සෙන් පැමිණි ජලයවත් ගමේ තිබුණු දිය පහරවලට සහ ළිංවලට රඳාගන්නට හැකියාවක් නැත. කන්ද මුදුනේ සිට වැසි වතුර රැගෙන එන ඇළ මාර්ගය දිගේ පහළට යද්දී දකින්නට වෙන්නේ ක්‍රම ක්‍රමයෙන් ජලය සිඳීයන ආකාරයයි. පොළොවේ පැලු‍ම් සලකුණු ඇති අතර ජලය ඒවා අතරින් පහළට සිඳී යයි.
“මල්ලි හොඳ වෙලාවක ආවේ. ඇහැටම බලාගන්න පුළුවන් වතුර හිඳෙන විදිය.” ලලිත් මහතා එසේ පවසයි.
මද්දුම මැණිකාද නිවස පුපුරායෑම නිසා ගැටලු‍ රැසකට මුහුණ දෙන්නීය.
“අපේ ගෙදර ළමයි නවාතැන් අරගෙන හිටියා. අපට ඒක ආදායම් මාර්ගයක් වෙලා තිබුණා. ගෙවල් පැලෙද්දී ඒ අය ගියාම දැන් අපට හරි ආදායම් මාර්ගයකුත් නැහැ.”

බණ්ඩාරවෙල නගරයට ඉහළින් ඇති මේ ගම්මානවල සිට ඌව පළාතේ විශාලම පාසලක් වන බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට ඇත්තේ ඉතා පුංචි දුරකි. දුර ඈත ප්‍රදේශවල සිට පවා මධ්‍ය මහා විද්‍යාලයට පැමිණෙන සිසුන් නවාතැන් ගත්තේ මේ ගම්මානවලය. ගම්වාසීන්ගේ අතිරේක ආදායමක් ලෙස ඒවා පැවතුණි. දැන් ඒවා අහිමි වී ඇත. එහෙත් ලැබෙන්නේ රුපියල් පහළොස්දහසක නිවාස කුලියක් පමණි.
ඩබ්ලිව්. පුංචිබණ්ඩා විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. දැන් ඔහුගේ නිවස සම්පූර්ණයෙන් කඩා අවසන්ය.

“මම මේ ගෙදර හැදුවේ බැංකු ණයක් අරගෙන. තාම මගේ විශ්‍රාම වැටුපෙන් ණය ගෙවනවා. ඒත් ණයවෙලා හදපු ගෙදර දැන් කඩනවා. මුළු ජීවිත කාලයම මේ ගෙදර හදන්න වැයවුණා. දැන් ණය අයින් කරන්නෙත් නෑ. අපේ ගෙවල්වල වටිනාකම් තක්සේරු කරලා වටිනාකම දෙනවා කිව්වා. ඒත් ගෙවල් හදන්න ඉඩම් කවදා දෙයිද දන්නේ නැහැ. කොහෙන් දෙයිද දන්නේ නැහැ. අපට කිව්වා ක්‍රේග් වත්තේ දෙන්නම් කියලා. ඒක බණ්ඩාරවෙල නගරයට ළඟ හොඳ පැත්තක්. ඒත් දැන් ඒක දෙන්නේ නැති පාටක් තියෙන්නේ. අන්තිමට අපව හමුවුණ නිලධාරියෙක් කිව්වා ඉඩම් දෙන්න අවුරුදු දෙකක් විතර යයි කියලා. දැන් එයාලා වන්දි දෙයි. ඒත් ගෙයක් හදන්න ඉඩමක් නැතිවෙයි. වන්දි දුන්න නිසා මාසෙන් මාසෙට දුන්න ගෙවල් කුලිය නවතියි. එතකොට අපට අර වන්දිය වැය කරන්න වෙයි ගෙවල් කුලී ගෙවන්න. අන්තිමේ ඉඩමක් ලැබෙද්දී වන්දි ඉවරවෙලා තියෙයි. ආයෙත් ගෙවල් හදන්න බැංකු ණය ගන්න වෙයි. අපි මුළු ජීවිත කාලයම මහන්සි වුණා ගෙවල් හදන්න. ජීවිත ගොඩනඟාගන්න. දැන් විවේකයෙන් දරුවන්ට උගන්නගෙන දරුවන්ව ලොකුමහත් කරගෙන ඉන්න අපි බලාපොරොත්තු වුණේ. මේ හෙණයක් ඔළුවට කඩාපාත්වෙලා තියෙන්නෙ ඒ ජීවිතේ විනාශ කරගෙන.”

“බවුසර්වලින් සතියකට වතුර ලීටර් පන්සීය ගාණේ දෙනවා. සමහරුන්ට ටැප් ලයින් තියෙනවා. බවුසර්වලින් එන වතුර බොන්න පුළු‍වන් තත්ත්වෙක නෑ. අපි හොඳ පිරිසිදු උල්පත් වතුර බොන්න පුරුදුවුණ මිනිස්සු.” ලලිත් මහතා මැසිවිලි නැඟු‍වේ එසේය.
“අපි ඉන්නේ මේ ගෙදර නෙවෙයි. මේ අද ගෙදරට ආවේ පුතා ලංකාවට එන නිසා. එයා යුරෝපෙ රටක ඉන්නේ. එයාට තමයි මේ ගෙදර අයිතිය තියෙන්නේ. එයා ලංකාවට ඇවිත් වෙන කොහේ යන්නද. මම ඉන්නෙත් නෑදෑ ගෙදරක. එයා කැමති මේ ගෙදරටම එන්නනේ. ඒ නිසා ගෙදර අස්පස් කළා පුතාට මෙහේ නවතින්න. මේ ගෙදර හැදුවේ ගෙදර පිටිපස්සේ කුඹුර වගා කරලා. පොළොව එක්ක ඔට්ටු වෙලා ළමයින්ට ඉගැන්වුවේ. දැන් ඒ පොළොවත් අපට නෑ. හදාගත්ත ගෙදරත් නෑ. මම සෑහෙන වයස කෙනෙක්. මට ඇවිදින්න බෑ. මගේ පුතාගේ නමට මේ ගෙදරයි කුඹුරයි ලියලා තිබුණා. ඒ පුතා ලංකාවේ නැහැ. වන්දි ගෙවද්දී මාස හයක ගෙවල් කුලිය වන්දි විදියට ලැබුණත් කුඹුරට වන්දියක් දුන්නේ නැහැ. පුතාගේ නමට ඉඩම තියෙන්නේ කියලා. දැන් පුතාගේ ප්‍රකාශයක් ඉල්ලනවා. ඒ නිසා ඒ වන්දිය ගන්න බැහැ. මේ වන්දි ගන්න වැඩවලට ඇවිදලාම මගේ අසනීප දැන් වැඩිවෙලා. අපි මේ ඉඩම්වල හොඳට ජීවත්වුණ මිනිස්සු.” කුසුමාවතී මහත්මිය වියපත් මවකි. ඇයට දැන් තමාගේ නොවන තමාගේ ප්‍රශ්න රැසක් සමඟ ඔට්ටු වෙන්නට සිදුව ඇත.

විනාශය
මේ වන විට ඇති උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාව සුරැකීමේ සංවිධානය සතුව ඇති දත්ත අනුව නිවාස 7037ක් පුපුරා ගොස් ඇත. සිඳී ගිය ළිං, උල්පත් ප්‍රමාණය 3112ක් පමණ වෙයි. අත්හැර දැමූ කුඹුරු අක්කර දහස් ගණනාවක් ඇති බව පිළිගැනෙන අතර එම ප්‍රමාණය ගණනය කරගත නොහැකි වී ඇත. ව්‍යාපාරික ස්ථාන, පන්සල්, පල්ලි, පාසල් රැසක් හානියට පත්වී තිබේ. මේ වනවිට උමඟ අභ්‍යන්තරයේ ජල කාන්දුවෙන් තප්පරයට ලීටර් 2562ක් ගලායන බව පැවසෙයි. එය දිනකට ගණන් හදා බැලූ විට කෝටි 22ක් පමණය. අභ්‍යන්තර ජල වහනය සියැසින් දැකගැනීමට අප සමඟ කතාබහ කළ උඩපේරුවේ ලලිත් මහතා ඇතුළු මෙම සංවිධානයේ සාමාජිකයන් ගොස් තිබුණු අතර විශාල ජල කාන්දුවක් දැකගත හැකිවුණු බව ඔවුහු පවසති.

බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේද ඉරිතැලීම් හටගෙන ඇත. බණ්ඩාරවෙල ගොඩනැගිලි කිහිපයක්ම ඉරිතලා ගොස් ඇත. බණ්ඩාරවෙල නගරයම ඇත්තේ අවදානමකය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම අසල පිහිටා ඇති නගරයකි බණ්ඩාරවෙල නගරය. දහස් ගණනක් මිනිසුන්ගේ ආර්ථිකය මෙහෙයවන නගරයකි ඒ. බණ්ඩාරවෙල තොග පොළ දස දහස් ගණනක මිනිසුන්ට ආදායම් ගෙනෙන අතර අනෙක් ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි. බණ්ඩාරවෙල නගරයේ ජලය සිඳීයෑම සහ නායයෑම් අවදානමක් ඇතිවීම මෙම ආදායම් මාර්ග දෙකටම ඍජුව බලපා තිබේ.

වැලිමඩ, ඌව පරණගම, හාලිඇළ, බණ්ඩාරවෙල, ඇල්ල, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට හානි සිදුවී තිබේ. වැඩි වශයෙන් හානියට ලක්ව ඇති ගම්මාන අතරින් වැලිමඩට අයත් ඉහළ කොටවර, පහළ කොටවර, පුහුල්පොල, දික්කාපිටිය ගම්මානවල උන්හිටි තැන් අහිමිවී ඇත්තේ ව්‍යාපෘතියට ඉඩම් ලබාදීමට සිදුවීම නිසාය. ඔවුන් තම ඉඩම් ලබාදීමට අකැමැත්තක් මුලින් නොදැක්වූ නමුත් මේ වන විට ඔවුන් නිසරු සහ කුඩා ඉඩම්වලට ගෙනගොස් දමා තිබේ. ප්‍රමාණවත් වන්දි ලැබී නැති අතර ජන සංයුතිය වෙනස් වන ලෙස ඔවුන් නැවත පදිංචි කර තිබේ. එක ළඟ නිවෙස්වල සිටි නෑදෑයන් විශාල පරතරයක් ඇතිව පදිංචි කර ඇති අතර විශාල ගැටලු‍ රැසකට ඔවුහු මුහුණදෙමින් සිටිති. මේ ප්‍රදේශවල සිටි ජනතාවට උමා ඔය නිම්නයේ වගාවලින් විශාල ආදායම් ලැබුණු නමුත් අලු‍තින් ලැබුණු ඉඩම්වල වගා කරන්නට පහසුකම් ලැබී නැති නිසා ආදායම් මාර්ග අහිමිවී තිබේ. උමා ඔය ව්‍යාපෘතිය නිසා රැකියා ලැබෙන බව පැවසුවත් ඔවුන්ට එම ව්‍යාපෘතියෙන්ද රැකියා ලැබී නොමැත.

මකුල්ඇල්ල, කුරුඳුගොල්ල, වේරගලතැන්න, හීල්ඔය, පල්ලෙපේරුව, උඩපේරුව, මැදපේරුව, කිණිගම, උතුරු කැබිල්ලෙවෙල, කොස්ගහවෙල, අඹදණ්ඬේගම, ලියන්ගහවෙල, බැද්දෙඅරාව, දික්අරාව ඇතුළු ගම්මාන රැසක් උමඟ නිසා ජලය සිඳීයෑමේ සහ නිවාස පැලීයාමේ අවදානමට ලක්ව ඇත. ඇතැම් නිවාස ජීවත්විය නොහැකි ලෙස පැලීයෑමට සහ ගිලාබැසීමට ලක්ව ඇත.
“දැන් පාසල, ආගමික ස්ථානය, ආදායම ලබපු ගොවිබිම, නිවස, වතුර උල්පත ඇතුළු මිනිස්සුන්ගේ මූලික අයිතීන් ලබාදෙන හැම තැනක්ම විනාශවෙමින් පවතිනවා. මේ වෙද්දී බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ඉහළින් ඇති කන්ද විශාල නායයෑමේ අවදානමකට ලක්වෙලා තියෙන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජිනදාස කටුපොත පෙන්වලා දීලා තියෙනවා. ඒ කන්ද නාය ගියොත් බණ්ඩාරවෙල බස්නැවතුම්පොළ ඇතුළු නගරයේ වැදගත් කොටසක් යටවෙනවා. අනෙක් පැත්තෙන් ඇල්ල පැත්තට වෙන්න මධ්‍යම කඳුකරයේ දකුණු බෑවුම දරුණු අනතුරකට මුහුණපාලා තියෙනවා. ඒ පැත්ත කඩා වැටීමේ ලොකු අවදානමක් තියෙනවා.” පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසන්නේ එසේය.

පැලීමට ලක්ව ඇති තැන් සහ ඒ ස්ථාන පැලීගොස් ඇති අයුරු දුටු අපටද හැඟු‍ණේ අනතුර සිතාගත නොහැකි තරම් දරුණුවීමේ ඉඩක් ඇති බවයි. පසුගිය දරුණු ජලගැලීම්වලට හේතුවූ වැස්ස මිලිමීටර් පන්සීයකි. එවන් වැස්සක් බණ්ඩාරවෙලට වැටීමේ ඉඩක් නැතිවා නොවේ. මිලිමීටර් පන්සීය නැතත් දින තුනක් එක දිගට වැස්සොත් කුමක් සිදුවේදැයි සිතාගත නොහැකි මට්ටමට දැන් පැමිණ ඇත. නැගෙනහිරට බෑවුමට පහළින් ඇත්තේ වැල්ලවාය නගරයයි. උමා ඔය නැතත් ඇල්ල වැල්ලවාය පාර නායයෑමේ අවදානමකට මුහුණදෙන ප්‍රදේශයකි. මේ පැලු‍ම්වල ප්‍රමාණයට නාය ගියහොත් වැල්ලවාය නගරය මතට බණ්ඩාරවෙල නගරය කඩාවැටීමේ අවදානමක් වුව තිබේ. මේ බිම ඒ තරම් සංවේදීය. මේ අවදානම මහාචාර්ය ජිනදාස කටුපොතද පෙන්වාදී ඇත.

රාජපක්ෂ යුගය
උමා ඔය ව්‍යාපෘතිය අරඹන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදීය. මෙය මහින්ද රාජපක්ෂලාගේ ඍජු මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වුණු තවත් ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියට මුල්ගල් තිබ්බේ එවකට කතානායක චමල් රාජපක්ෂ විසිනි.
“2008 අප්‍රේල් 28 වැනිදා වැල්ලවායේ අලිකොටආරේ චමල් රාජපක්ෂ විසින් මුල්ගල් තිබ්බා. මුල්ගල් තියද්දී පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාවක් නෑ. අපි ඒකට විරුද්ධව දිගටම සටන් කළා. ඇගැයීම් වාර්තාවක් නැතිව ව්‍යාපෘතියක් කරන්න බෑ කියලා ලංකාවේ නීතියේම තියෙනවා. මේ බලපෑම් නිසා අවුරුදු තුනකට පස්සේ වාර්තාවක් හැදුවා. ඒක සෑහෙන දිග වාර්තාවක්. 2010 දෙසැම්බර් ඒ වාර්තාව ප්‍රසිද්ධ කරලා විරෝධය දක්වන්න අවස්ථාව දුන්නා. මමත් පරිසරවේදීන් සහ ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිසක් උමා ඔය සුරැකීමේ සංවිධානය නමින් සංවිධානයක් නිර්මාණය කොට විරෝධතා ඉදිරිපත් කළා. ඒ වෙලාවේ අපි උමා ඔයේ බලපෑම තියෙන ප්‍රදේශ රැසක ජනතාව හරහා විරෝධතා 320ක් යවන්න කටයුතු කළා. ලංකාවේ වැඩිම විරෝධතා ආ බලපෑම් වාර්තාව ඒක වෙන්න ඇති.

මම ඒකට පිටු හයක විරෝධතාවක් යැව්වා. මම ඒකේ සඳහන් කළා මෙම යෝජනාව ක්‍රියාත්මක කළොත් කඳුකරයේ නායයෑම් සහ භූමියේ වෙනස්වීම් සිදුවීම, මතුපිට ජල මට්ටම් වෙනස්වීම නිසා ජන ජීවිතයට, පරිසරයට බරපතළ හානි සිදුවිය හැකියි කියලා. මට උත්තර ලැබුණා, කාන්ති ද සිල්වා පරිසර බලපෑම් ඇගැයීම් අධ්‍යක්ෂ කියලා කෙනෙක් අත්සන් කළ එකක්. ඒකේ තියෙනවා, ඔබ කියන කාරණයේ සත්‍යයක් ඇතිමුත් අපේ අධ්‍යයනවලට අනුව මෙවැනි බරපතළ ව්‍යසන මේ කලාපයේ සිදුවිය නොහැක කියලා. අපේ විරෝධතා ගණන් ගත්තේ නැහැ. ඒ අනුව 2011 අප්‍රේල් 12 වැනිදා විරෝධතා නොතකා වාර්තාවට අත්සන් කළා.”

මෙයට රාජපක්ෂලා දුන් නම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියයි. ඌවේ මිනිසුන් මෙයට කියන්නේ බහුකාර්ය විනාශකාරී ව්‍යාපෘතිය කියායි. ඒ විනාශය එක් පැත්තකින් නොව බහුකාර්ය ලෙස විවිධ පැතිවලින් පැමිණ ඇති නිසාය. විනාශයට මූලික වගකිවයුත්තා රාජපක්ෂ රජයයි.

උමඟේ පළමු ජල කාන්දුව සිදුව ඇතැයි කියන්නේ 2014 දෙසැම්බර් 26 වැනිදාය. ඒ රාජපක්ෂලාට එරෙහි තීරණාත්මක ජනාධිපතිවරණයක් ක්‍රියාත්මක වෙද්දීය. ඉන්පසුව පැමිණි මැතිවරණ ප්‍රතිඵලයේ බදුල්ල දිස්ත්‍රික්කයට අදාළ ප්‍රතිඵලවලට මේ ජල කාන්දුව සැලකිය යුතු අන්දමින් බලපෑවේ රාජපක්ෂලා සිතූ ලෙස ජල කාන්දුව සහ ජලය සිඳීයෑම සඟවන්නට නොහැකි වූ නිසාය. ප්‍රධාන මාධ්‍යවල මෙය සඟවද්දී සමාජ මාධ්‍ය හරහා මෙය ප්‍රචාරය විය. ජල කාන්දුවට විසඳුම් ගැනීම පැවරුණේ යහපාලන ආණ්ඩුවටයි.

යහපාලන යුගය
යහපාලන යුගය පැමිණි පසුව උමා ඔය ව්‍යාපෘතිය නවත්වාගැනීම වෙනුවෙන් උමා ඔය ව්‍යාපෘතියෙන් හානියට පත් ජනතාවගේ සංවිධානය බලපෑම් කරන්නට වූ අතර සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අවසානයේදී ලැබුණි.

“2015 මාර්තු 20 මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡාවක් තිබුණා. ඒකෙදී එක්කෙනෙක් විතරක් කතා කරන්න. විනාඩි පහකින් ගැටලු‍ව කියන්න කිව්වා. කොහොම හරි අපි විනාඩි පහළොවක් අරගෙන ගැටලු‍ව විස්තර කළා. ඒ වෙලාවේ ජනාධිපතිවරයා කීවා මේක මහින්ද රාජපක්ෂ හිතුවක්කාරකමට කරපු ව්‍යාපෘතියක් කියලා. මේ ගැන කැබිනට් අනුකමිටුවක් දානවා, අලු‍තින් පරිසර අධ්‍යයන වාර්තාවක් කරනවා කිව්වා. අපි සතුටු වුණා මේ යහපාලනය නිසා. අපි ආවා. කැබිනට් අනුකමිටුවක් දැම්මා. ඒකේ සභාපති රවි කරුණානායක. හරීන් ප්‍රනාන්දු, නිමල් සිරිපාල, ඩිලාන් පෙරේරා, විජයමුණි සොයිසා, රංජිත් මද්දුමබණ්ඩාර, චම්පික රණවක ඒ කමිටුවේ හිටියා. අපි ලිව්වා කමිටුවේ සභාපතිට මෙහේ ඇවිත් බලන්න කියලා. හැබැයි උත්තරයක්වත් ආවේ නෑ. කමිටුව මෙහේ ආවේ නෑ. පාර්ලිමේන්තුවේදී එක රැස්වීමක් රැස්වෙලා ව්‍යාපෘතිය දිගටම කරන්න, හානිවලට වන්දි දෙන්න කියලා තීන්දු කළා.”

සමන්ත විද්‍යාරත්න පෙන්වාදෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමාණවත් මැදිහත්වීමක් මේ සම්බන්ධයෙන් සිදු නොකළ බවයි. තාවකාලිකව ව්‍යාපෘතිය නැවැත්වුවත් යහපාලන ආණ්ඩුව ව්‍යාපෘතිය එතැනින් එහාට දිගින් දිගටම කරගෙන යන්නට තීරණය කර තිබුණි. ඒ වන විට ව්‍යාපෘතියේ භෞතික කටයුතුවලින් සීයට 20ක්වත් අවසාන වී නොතිබුණු බව ආණ්ඩුවේම දත්තවලින් කියැවුණි. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පැවසුවේ දැන් ව්‍යාපෘතියෙන් සීයට 77ක් අවසන් කර ඇති නිසා ව්‍යාපෘතිය මඟ නැවැත්විය නොහැකි බවයි. එසේ ගත් කල සීයට 57ක් ව්‍යාපෘතිය කර ඇත්තේ යහපාලන ආණ්ඩුවයි. උමඟ කැණීමේ වැඩි කටයුතු කළේ යහපාලන ආණ්ඩුව සමයේදීය. එදා ව්‍යාපෘතිය යළි පටන්ගනිද්දී කීවේ 2014 දෙසැම්බර් සිදුවුණු කාන්දුව වැනි හානි යළි සිදුනොවන බවයි. එදා සිඳීගිය උල්පත් යළි ජලයෙන් පිරෙන බව පැවසිණ. එහෙත් අවුරුදු තුනක් යද්දී තත්ත්වය තව දරුණු වෙනවා මිස යහපත් තත්වයට පැමිණෙන පාටක් නැත.

ආණ්ඩුවට දැන්වත් තීරණයක් ගත හැකිය. එක්කෝ මෙය නැවැත්විය යුතුය. නැත්නම් තාවකාලිකව හෝ නවත්වා සිදුව ඇති විනාශයත් සිදුවන්නට නියමිත විනාශයත් ගැන හරි අධ්‍යයනයක් කළ යුතුය.■

උමා ඔය ව්‍යාපෘතියෙන් හානියට පත් ජනතාව සුරැකීමේ සංවිධානයේ ඉල්ලීම්
අපේ ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් තියෙනවා. දිය කාන්දුව නතර කරන්න, විනාශයන්ට සාධාරණ වන්දි මුදලක් ලබාදෙන්න. විනාශයට ලක්වූ මිනිසුන්ට කලින් තිබුණාට වඩා හොඳ ජීවිත ලබාදෙන්න, ව්‍යාපෘතිය වහාම නවත්වන්න කියන එකයි අපේ යෝජනාව. ආණ්ඩුවට ඒක කරන්න බැරි නම් ව්‍යාපෘතිය තාවකාලිකව නවත්වන්න. විනාශය ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න. සැබෑ විද්වතුන් දාලා වාර්තාවක් ඉදිරිපත් කරන්න. මෙතෙක් කරලා තියෙන පරීක්ෂණ සියල්ල නාමික ඒවා. ඒවා වෙනුවට සාධාරණ පරීක්ෂණයක් කරන්න.
යහපාලන ආණ්ඩුවට රාජපක්ෂලාගේ කෑම බිල් ගෙවන්නට සිදුවූ පළවැනි වතාව මෙය නොවේ. සයිටම් ප්‍රශ්නය, පෝට් සිටි, නෙළුම් කුලුන සහ විල්පත්තු වන විනාශයට එරෙහි සටනයැයි කියන සටන් මෙන්ම මුස්ලිම් සිංහල අන්තවාදී ගැටුම පවා රාජපක්ෂලා ඇති කළ ගැටලු‍ය. ඒ සියල්ලට විසඳුම් සොයද්දී ආණ්ඩුව පෙන්වන්නේ රාජපක්ෂලා බිහිකළ සර්ප පැටියන් කිරි පොවා හදාවඩා ගන්නට මේ ආණ්ඩුව උත්සාහ කරන බවයි. රාජපක්ෂලාගේ දරුවන් තමන්ගේ දරුවන් ලෙස රැකගන්නට මේ ආණ්ඩුව උත්සාහ කරයි.■