සෝයා තෙලෙන් බැදෙන කැබිනට් මණ්ඩලය


Lasatha-Ruhunage

ලසන්ත රුහුණගේ

ජීවන මිල පාලනය කිරීම සඳහා සහ ආර්ථික අර්බුදය හමුවේ රජයේ බදු ආදායම වැඩිකර ගැනීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග දැඩි විවේචනයන්ට භාජනය වීම පසුගිය කාලයේ සිදුවූ අතර ඒ නිසාම සමහර තීන්දු තීරණ වෙනස් කරන්නට හෝ පසුපසට ගැනීමටද ආණ්ඩුවට සිදුවිය. 11%ක්ව පැවති වැට් බදු ප්‍රතිශතය 15% දක්වා වැඩි කිරීමත්, නැගුණු මහජන විරෝධය හමුවේ සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වැඩි කරන ලද වැට් බදු අය නොකරන බවට ප්‍රකාශ කිරීමට සිදුවීමත්, එම වැට් බදු අයකිරීම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වීමෙන් වැට් බදු පනත පසුපසට ගැනීමට ආණ්ඩුවට සිදුවීමත් එකී තීන්දු තීරණ වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇති මෑතක හොඳම උදාහරණය.

එසේම ජීවන මිල පාලනය කිරීම උදෙසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16ක් නම් කිරීමත් ආණ්ඩුවේ එම මිලට එකී ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළේ ලබාගැනීමට නොහැකිවීමත්, ඒ නිසාම කුකුල් මස්වල හිඟතාවක් ඇතිවීමත් ඒ සඳහා ඇති තවත් උදාහරණයක්ය.

වෙළෙඳපොළේ කුකුල් මස් හිඟතාව ඇතිවූ පසු අගෝස්තු මස මුල් සතියේදී ජීවන වියදම පාලනය කිරීම පිළිබඳ වූ අමාත්‍ය අනුකමිටුව අපූරු තීරණයක් ගත්තේය. ඒ ඒ වනවිටත් අතරමැදි ව්‍යාපාරික සමාගම් තුනක් විසින් රැස් කරගෙන තිබූ මෙටි්‍රක් ටොන් 65,000ක් වූ බඩ ඉරිඟු තොගයක් කිලෝවක් රුපියල් 52.50 බැගින් සතොස හරහා මිලදී ගැනීමටත්, එම බඩ ඉරිඟු කිලෝවක් රුපියල් 45 බැගින් සත්ව ආහාර නිෂ්පාදකයන්ට ලබාදීමටත්ය.

කුකුල් ආහාර සඳහා අවශ්‍ය සත්ව ආහාර නිපදවන්නන් බඩ ඉරිඟු එකතු කරන අතරමැදි සමාගම්වලින් ඒ සඳහා අවශ්‍ය බඩ ඉරිඟු ලබාගැනීම පසුගිය අවුරුදු ගණනාව පුරාම සිදුකර තිබූ අතර මෙවර සත්ව ආහාර නිෂ්පාදකයන් අතරමැදි සමාගම්වලින් බඩ ඉරිඟු ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණේ ඔවුන් විසින් බඩ ඉරිඟු කිලෝවක් රුපියල් 55ක මුදලකට විකිණීමට තැත් කිරීමේදීය. එම මිලට බඩ ඉරිඟු මිලදී ගෙන සත්ව ආහාර නිෂ්පාදනය කර විකිණිය නොහැකි බවත්, ඒ මගින් රජය විසින් නියම කර ඇති පාලන මිලට කුකුල් මස් විකිණිය නොහැකි බවත් එහිදී පැන නැගුණු කරුණ විය. මේ අතරමැදි සමාගම් බඩ ඉරිඟු කිලෝවක් සත්ව ආහාර නිෂ්පාදකයන්ට පසුගිය වසරේදී රුපියල් 45කට විකුණා ඇති අතර ඔවුන් ගොවීන්ගෙන් බඩ ඉරිඟු කිලෝවක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 20ත් 25ත් අතර මිලකටය.

කෙසේ හෝ අතරමැදි සමාගම්වල බඩ ඉරිඟු සත්ව ආහාර නිෂ්පාදකයන්ට ලබාදීම සඳහා සතොස හරහා මිලදී ගැනීමෙන් රජය දළ වශයෙන් රුපියල් මිලියන 500ක පමණ පාඩුවක් දැරූ අතර ඊට අතිරේක වශයෙන් ජීවන වියදම පාලනය කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තීරණය කර තිබුණේ ඊළඟ බඩ ඉරිඟු අස්වැන්න ලැබෙන තෙක් මෙටි්‍රක් ටොන් 75,000ක බඩ ඉරිඟු ආනයනය කිරීමට ව්‍යාපාරිකයන්ට ආනයනික බලපත්‍ර නිකුත් කිරීමටය.

කුකුළු මස් මිල පාලනය කිරීම සඳහා හා කුකුළු මස් හිඟයක් වෙළෙඳපොළේ ඇති නොවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව ඒ ආකාරවෙද්දී සෝයා බෝංචි බීජ ගෙන්වීම සඳහා අනුරාධපුරයේ පණ්ඩුලගම පිහිටි S.D.K.United Agri Ventures (Pvt) Ltd  ආයතනයට බදු සහන ලබාදීමේ අපූරු කැබිනට් පත්‍රිකාවක්ද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ. මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් 2016.08.15 දින සහිතව MF/TIP/7/cm/2016/76 යටතේ එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ. එහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ නිර්දේශ මත එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට ලැබුණු උපදෙස් අනුව එය ඉදිරිපත් කරන බවය.

එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ උද්ධෘතය වන්නේ ‘එස්.ඩී.කේ. යුනයිටඞ් ඇග්‍රි වෙන්චර් (පුද්ගලික) සමාගම විසින් තෙල් හා සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ආනයනය කරනු ලබන සෝයා බෝංචි බීජ සඳහා තීරු බදු ඉවත් කිරීම’ යනුවෙන්ය.

එම කැබිනට් පත්‍රිකාවේ පසුබිම වශයෙන් සඳහන් කරන්නේ 2016 ජූනි 01 දින අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ආනයනික සෝයා බෝංචි බීජ සඳහා වූ ඉතිරි ආනයනික තීරු බදු ඉවත් කිරීම සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳව අමාත්‍ය මණ්ඩල කමිටුව නිර්දේශ කර ඇති බවත්, එම්ඩීකේ යුනයිටඞ් ඇග්‍රි වෙන්චර් පුද්ගලික සමාගම සෝයා තෙල් හා එහි අතුරු ඵලයක් වන සත්ව ආහාර දේශීය වෙළෙඳපොළට නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් මිලියන 250ක ආයෝජනයක් සහිතව කර්මාන්තශාලාවක් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය සෝයා බෝංචි බීජ සපයා ගැනීමට අස්වැන්න අඩුවීම හේතුවෙන් 2015 යල කන්නයේදී නොහැකි වී ඇති බවත්ය.

ඒ අනුව අඩු අස්වැන්න වෙනුවෙන් සෝයා බෝංචි බීජ මෙටි්‍රක් ටොන් 10,000ක් තීරුබදු රහිතව ආනයනය කිරීමට එම සමාගම 2015 අප්‍රේල් මාසයේදී ඉල්ලීමක් කර ඇති බවත්, ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත තීරු බදු ප්‍රමාණයෙන් 75%ක ප්‍රමාණයක් කපා හැරීමට මුදල් අමාත්‍යාංශය මීට පෙර අනුමැතිය ලබාදී ඇති බවත්ය.
ඒ අනුව එම සෝයා බෝංචි මෙටි්‍රක් ටොන් 10000 ආනයනය වෙනුවෙන් 75%ක් වූ තීරුබදු සහනය වෙනුවෙන් රජයට අහිමි වූ මුදල රුපියල් මිලියන 119.92 බවත්, ඉතිරි 25%ක් වූ වටිනාකම රුපියල් මිලියන 60.26ක තීරුබදු සහනය ලබාදීම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බවත්ය.

එම තීරු බදු සහනය සාධාරණීකරණය සඳහා කැබිනට් පත්‍රිකාව හේතු කිහිපයක් ඉදිරිපත් කරයි. අදාළ සමාගම 2015 වර්ෂයේදී වියළි කලාපයේ අක්කර 20,000ක පමණ සෝයා බෝංචි වගා කිරීම ආරම්භ කිරීම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව සෝයා බෝංචි මෙටි්‍රක් ටොන් 50,000ක ඉලක්කයක් සපුරා ගැනීම සඳහා ඉඩම් අක්කර 200,000ක සෝයා බොංචි වගා කිරීමට කටයුතු ආරම්භ කිරීම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අම්පාර, හසලක, ත්‍රිකුණාමලය හා මහවැලි එච්. කලාපයේ සෝයා බෝංචි වගාව සඳහා අවශ්‍ය තාක්ෂණ හා මූල්‍ය පහසුකම් අදාළ ගොවීන් වෙත ලබාදීමට කටයුතු කිරීම, සම්පූර්ණ තීරු බදු සහනය ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා නිර්දේශ ලබාදී තිබීම, කුකුළු සත්ව ආහාර ආනයනික තීරුබදුවලින් නිදහස් කර ඇති බැවින් සෝයා තෙල් අතුරු නිෂ්පාදන ලෙස සකස් කරනු ලබන කුකුළු සත්ව ආහාර දේශීය වෙළෙඳපොළේ තරග කිරීමට නොහැකිවීම ආදියය.

එම හේතුවලින් වියළි කලාපයේ අක්කර 20,000ක වගාව අක්කර 200,000ක වගා කටයුතු ආරම්භ කිරීම, අම්පාර, හසලක, ත්‍රිකුණාමලය හා මහවැලි එච් කලාපයේ සෝයා බෝංචි වගාව සඳහා ගොවීන්ට තාක්ෂණ හා මූල්‍ය පහසුකම් ලබාදීම ආදිය සත්‍යයක්ද යන්න සෙවීම පසුවට තබමින් කැබිනට් පත්‍රිකාවේ මූලික කරුණ පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙනීයන්නේ එම කැබිනට් පත්‍රිකාවෙන් පමණක් අදාළ සමාගමට රුපියල් මිලියන 60.26ක තීරු බදු සහනයක් ලබාදීමට යන බවය. මීට පෙර එම සමාගමට රුපියල් මිලියන 119.92ක තීරු බදු සහනයක් ලබාදී ඇති බවය. සම්පූර්ණ වශයෙන් රුපියල් මිලියන 180.18ක තීරු බදු සහනයක් හෙවත් බදු ආදායමක් රජය අහිමිකර ගන්නා බවය.

මෙම කැබිනට් පත්‍රිකාව අනුව පැන නගින ප්‍රධානම ප්‍රශ්නය වන්නේ සෝයා බෝංචි තෙල් යනු මේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය ප්‍රධානතම ආහාර ද්‍රව්‍යයක්ද යන්නය. මන්ද මෙම බදු සහනය ප්‍රධාන වශයෙන්ම ලබාදෙන්නේ සෝයා බෝංචි තෙල් නිෂ්පාදනය කිරීමට වන බැවින්ය. කුකුළු සත්ව ආහාර යන්න එහි අතුරු ඵලයක් පමණක් වන බැවින්ය. එසේම පෙර සඳහන් කළාක් මෙන් කුකුළු සත්ව ආහාර නිෂ්පාදනය සඳහා රජය විසින් රුපියල් මිලියන 500ක පමණ පාඩුවක් දරාගෙන බඩ ඉරිඟු මෙටි්‍රක් ටොන් 65,000ක ප්‍රමාණයක් අතරමැදි සමාගම්වලින් මිලදී ගන්නට තීරණය කර ඇති බැවින් හා කුකුළු සත්ව ආහාර සඳහා තවත් බඩ ඉරිඟු මෙටි්‍රක් ටොන් 75,000ක් ආනයනය කිරීමට ආනයන බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇති බැවින් කුකුළු සත්ව ආහාර සමග මෙම කැබිනට් පත්‍රිකාවේ සම්බන්ධයක් නැති බව පැහැදිලිය. කුකුළු සත්ව ආහාර යන්න අදාළ ව්‍යාපාරික සමාගමට තීරුබදු සහන ලබාදීම සඳහා මතුපිටින් එල්ලන ලද ආභරණයක් පමණය. සත්‍යය සෝයා තෙල් නිෂ්පාදනය සඳහා ගෙන්වන බීජ සඳහා තීරුබදු සහන ලබාදීමය. මේ රටේ පාරිභෝගික ජනතාවගෙන් සෝයා තෙල් පාවිච්චි කරන්නේ ඉහළම ආර්ථික හැකියාවක් ඇති සුළු පිරිසක් බව අමුතුවෙන් කිවයුතු නැත. පහළම ආදායම් ඇති පිරිස පමණක් නොව මධ්‍යම ආදායම් ඇති පිරිස් ද අද පොල්තෙල් පවා පාවිච්චි කිරීමට නොහැකිව පාම් තෙල් පාවිච්චි කරන බව මේ කැබිනට් මණ්ඩලය හා ඒ මගින් පත්කර ඇති අනුකමිටු නොදැනීම පුදුමසහගතය.

එපමණක් නොව මෙම සමාගමට එකී තීරු බදු සහනය ලබාදීමට යන්නේ අතීතයට බලපාන පරිදිය. ඒ 2015 අප්‍රේල් සිට 2016 ජූලි දක්වා එම සමාගම ආනයනය කරන ලද සෝයා බෝංචි බීජ මෙටි්‍රක් ටොන් 10,000 සඳහාය. ඒ අනුව අපට නොතේරෙන කරුණ වන්නේ රේගුව විසින් මේ වන විට අයකරගෙන ඇති තීරු බදු ප්‍රමාණය නැවත එම සමාගමට ගෙවනවාද යන්න හා එසේ ගෙවන්නේ කොයි ආකාරයකටද යන්නය. තවදුරටත් අපට නොතේරෙන්නේ සෝයා තෙල් නිෂ්පාදනය කරන රටේ තවත් සමාගමක් තිබියදී මෙම සමාගමට පමණක් අදාළ තීරු බදු සහනය ලැබෙන්නේ කුමන හේතුවක් මතද යන්නය. ප්‍රතිපත්තිමය තීන්දුවක් නම් සිදුවිය යුත්තේ සෝයා තෙල් නිෂ්පාදනය සඳහා සෝයා බීජ ගෙන්වන සෑම සමාගමකටම එම බදු සහනය ලැබීමට සැලැස්වීමය. මෙහිදී එසේ වී නැත්තේ ඇයි යන රහස අප නොදන්නවාට කැබිනට් මණ්ඩලය නම් දන්නවා වන්නට පුළුවන. එසේ වුවද අප දන්නේ සෝයා තෙල් යනු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයක් නොවන බව පමණය.

තවදුරටත් අප දන්නේ ආර්ථික අර්බුදය හමුවේ වැඩිපුර බදු ගෙවන්නයැ’යි ජනතාවට කියමින් හා එම ආර්ථික අර්බුදය සමනය කරන තෙක් වැඩිවන ජීවන මිල හමුවේ ඉවසා සිටින්නටයැ’යි ජනතාවට කියන ආණ්ඩුවක් ජීවන මිල පාලනය කරන්නටයැ’යි සමාගම්වලට බදු සහන ලබාදෙන්නේ මෙයාකාරයට බවය.