මාධ්‍ය තිරසාර බව තහවුරු කරන්නට අභියෝග පහක්


nalaka

“ප්‍රජාතන්ත්‍රවාදී සමාජ යන්හි ජීවත් වන සියලු පුරවැසියන් බුද්ධිමය ආත්මාරක්ෂාව තහවුරු කරගැනීමට උගත යුතුයි. විවිධාකාරයෙන් අපේ මොළයට රිංගා ගෙන බලපෑම් කරන්නට මාන බලන උදවියගෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීම හරහා අප ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට දායක විය යුතුයි.”

මෙසේ කියන්නේ අමෙරිකානු වාග් විද්‍යාඥ හා මාධ්‍ය විචාරක මහාචාර්ය නෝම් චොම්ස්කි (Prof. Noam Chomsky)’. 88 හැවිරිදි ඔහු අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය අදීන හා අභීත ලෙස විචාරයට ලක් කරන්නෙක්.
අද ලෝකයේ ජනමතයට බලපෑම් කරන එක් ප්‍රධානතම මාර්ගයක් නම් ජනමාධ්‍යයි. මෙය හොඳාකාර දන්නා දේශපාලකයන් හා අලෙවිකරණ සමාගම්, මාධ්‍ය සූක්ෂ්ම ලෙස හැසිරවීමට හැකි සෑම උත්සාහයක්ම දරනවා. මේ බලපෑම් මැද්දේ අපේ මානසික ස්වාධීනත්වය රැක ගැනීම දුෂ්කර එහෙත් අවශ්‍ය කාරියක්.

වත්මන් ලෝකයේ මොළේ බේරා ගෙන සිටීමට මාධ්‍ය සාක්ෂරතාව අතිශයින් වැදගත් වන්නේ එනිසායි.
පාරිභෝගික සමාජයේ මාධ්‍ය යනු ව්‍යාපාරයක්. එසේ නැතිව පුණ්‍යායතනයක්, සමාජ සත්කාරයක් නොවෙයි. මාධ්‍යවලට සමාජයීය වගකීම් තිබෙන බවත් ඇත්තයි. අවශ්‍ය වන්නේ එකී සමාජයීය වගකීම් ඉටු කරන අතරම තිරසාර ලෙස මාධ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යෑමයි. මාධ්‍ය තිරසාර බව පිළිබඳ දර්ශක පහක් හරහා මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය විමර්ශනයට ලක් කරන නව වාර්තාවක් (Sri Lanka
Media Sustainability Index Report 2017) ජූනි 16 වැනිදා කොළඹදී එළිදක්වනු ලැබුවා. එය සම්පාදනය කළේ IREX නම් ජාත්‍යන්තර මාධ්‍ය සංවර්ධන ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා සංවර්ධන මාධ්‍යවේදී පර්ෂදයයි (LDJF)’

මීට වසරකට පෙර 2016 මැයි මාසයේ නිකුත් කරන ලද ‘ජනතාවට වග කියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා’ නම් පර්යේෂණාත්මක වාර්තාව මතු කළ පුළුල් කරුණු පරාසයෙන් ඇතැම් ඒවා මෙම නව වාර්තාවෙන්ද යළිත් අවධාරණය කරනවා.
අලුත් වාර්තාව නිකුත් කිරීමේ උත්සවයේ අදහස් දැක්වීමට මටද ඇරැයුම් කොට තිබුණා. මගේ කථාවේ මා කීවේ අතාත්වික හා අනවශ්‍ය ලෙස රොමෑන්ටික් අපේක්ෂාවන් මාධ්‍ය කර්මාන්තයට ආදේශ කරනු වෙනුවට මාධ්‍ය පර්යේෂකයන් හා විචාරකයන් ප්‍රායෝගිකව මෙම ක්ෂේත්‍රය විග්‍රහ කළ යුතු බවයි.

සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රය මා දකින්නේ කතිකාවත් හා ගනුදෙනු සමුදායක් හැටියටයි (series of negotiations)’. මාධ්‍ය නිෂ්පාදන අවස්ථාවේ මාධ්‍යවේදීන් රජය, රජයට අමතර බල අධිකාරීන්, තොරතුරු ප්‍රභවයන් හා මාධ්‍ය හිමිකරුවන් සමඟ නිරන්තර කතිකාවක නියැලෙනවා. මාධ්‍ය බෙදාහරින අදියරේදී කතිකාවත සිදුවන්නේ මාධ්‍ය ග්‍රාහක මහජනයා සමඟයි. මේවා නොනිමී දිග හැරෙන ආකාරයේ නිරන්තර ගනුදෙනුයි.

වත්මන් මාධ්‍ය කර්මාන්ත අර්බුදයට හේතු ගණනාවක් දායක වන අතර එයින් මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ සාධකයක් ලෙස මා දකින්නේ ඉහත කී කතිකාවත් හා ගනුදෙනු දුර්වලහෝ අකර්මණ්‍ය වීමයි.
අද ලංකාවේ මාධ්‍ය හැසිරවීම හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ සීරුවෙන් කළ යුතු වැඩක්. එහෙත් මෙය අලුත් යථාර්ථයක්ද නොවෙයි. මීට පෙර ලිපියක මා පැහැදිලි කළ පරිදි රජය හා මාධ්‍ය අතර ආතතිය කවදත් පවතින, පැවතිය යුතු දෙයක්.
රජයට අමතරව සමාජයේ අධිපතිවාදී වෙනත් පාර්ශ්වයන්ගේ බලපෑම් ද මාධ්‍යවලට එල්ල වනවා. හමුදාව, බෞද්ධ හා කතෝලික පූජකයන්, දේශපාලන පක්ෂ හා සමාජ වෘත්තීය සමිති මෙසේ නිරතුරුව මාධ්‍යවලට පළ කළ හා නොකළ යුතු දේ ගැන බලපෑම් කරනවා.
මේ තත්ත්වය තවත් සංකීර්ණ වන්නේ මාධ්‍ය හිමිකරුවන්ද විවිධ බාහිර පාර්ශ්ව සමඟ නොයෙක් බැඳීම් හා සබඳතා පවත්වා ගැනීම නිසායි. පෞද්ගලික ඩීල් හා පොදු උන්නතිය :චමඉකසජ සබඑැරුිඑ* නොපෑහෙන අවස්ථා එමට මතු වනවා.

2010-2015 පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් 225 අතරින් සය දෙනකුට ඍජුවම හෝ පවුලේ සමීපතමයන් හරහා මාධ්‍ය ආයතන හිමිව තිබුණා. මෙය ‘ජනතාවට වග කියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා’ වාර්තාවේ ලේඛනගතයි.
හැබැයි මන්ත්‍රීවරුන්ට මාධ්‍ය හිමිකාරිත්වය සීමා කරන කිසිදු නීතියක් මෙරට නැහැ. එසේ වුවත් එවන් හිමිකරුවන් ඍජුව හෝ වක්‍රව තමන් සතු මාධ්‍ය ආයතන හරහා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්නට තැත් කරන බව අප අත්දැකීමෙන් දන්නවා. (මේ කතා කරන්නේ ජාතික යයි කියා ගන්නා මාධ්‍ය ගැනයි. දේශපාලන පක්ෂ නිල වශයෙන් පත්තර හෝ විද්‍යුත් මාධ්‍ය ආයතන පවත්වා ගෙන යෑම ගැන නොවෙයි.)

මාධ්‍ය හිමිකාරීත්වය ගැන කතා කරන විට මෙරට රජයත් ලොකු මාධ්‍ය හිමිකරුවෙක්.
රාජ්‍ය සංස්ථා වන ගුවන් විදුලිය හා රූපවාහිනියත්, මුළුමනින් රජය සතු අයිටීඑන් ආයතනයත්, 1973 ජනසතු කොට මහා භාරකාරයා යටතේ පවත්වාගෙන යන ලේක්හවුස් ආයතනයත්, ලංකා පුවත් සේවයත් ඒ අතර වනවා. පවතින රජයේ හා බලයේ සිටින දේශපාලන පක්ෂවල ප්‍රචාරාත්මක කටයුතුවලට මේ මාධ්‍ය යොදා ගැනීම දශක ගණනාවක සිට සිදුවන්නක්.

හිමිකරුවන්ගෙන් හෝ රජයෙන් හෝ වෙනත් බල කණ්ඩායම්වලින් හෝ එල්ල වන බලපෑම් තුලනය කරගෙන, පොදු උන්නතිය වෙනුවෙන් මාධ්‍යකරණයේ යෙදීමේ භාරධුර වගකීම ඇත්තේ මාධ්‍ය කතුවරුන්ට හා තීරක මට්ටමේ සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ටයි.
මාධ්‍ය අන්තර්ගතය වැරදි බහුල, අතිශයින් පක්ෂග්‍රාහී, ආචාර ධර්ම නිතර කඩකරන ආකාරයේ තත්ත්වයකට අද පත්ව තිබෙන බව බහුතරයක් මාධ්‍ය ග්‍රාහකයන්ගේ පිළිගැනීමයි. මාධ්‍ය ප්‍රතිව්‍යුහකරණය සඳහා ලේකම් කාර්යාලය (NSMR) මෑත සතිවල දිවයිනේ සියලු පළාත්වල පවත්වන ලද මහජන අදහස්විමසීම්වලින් මෙය පැහැදිලිව මතුව තිබෙනවා.
මාධ්‍ය ක්ෂේත්‍රයේ මේ ගරා වැටීමට හේතුව හිමිකරුවන් යයි කීම ජනප්‍රිය මතයයි. මාධ්‍ය කර්මාන්තයේ සංකීර්ණතා හඳුනා නොගත්, පොතෙන් පමණක් මාධ්‍ය උගත් එහෙත් මාධ්‍ය කාර්යාලයකට වැස්සකටවත් ගොඩවී නැති සමහර මාධ්‍ය ගුරුවරු හා පර්යේෂකයෝත් මාධ්‍ය හිමිකාරීත්වය සියලු ප්‍රශ්නවලට මුල බවට මතයක් පතුරුවනවා.

මාධ්‍ය හිමිකරුවන් ප්‍රශ්නයේ කොටස්කරුවන් බව ඇත්ත. එහෙත් වගකිවයුත්තේ ඔවුන් පමණක් නොවේ. මාධ්‍යකරණයේ තීරක මට්ටමේ සිටින ජ්‍යෙෂ්ඨයන් තමන්ට එල්ල වන බලපෑම් හා පොදු උන්නතියට ඇති වගකීම තුලනය කර නොගැනීම මාධ්‍ය ගරාවැටීම ශීඝ්‍ර කොට තිබෙනවා.

හිමිකරු පුද්ගලයන් හෝ හිමිකාර සමාගම් කියන පදයට නැටුවේ නැති අදීන පත්‍ර කතුවරුන් කලකට ඉහත අපේ රටේ සිටියා. හිමිකරුවාගේ ආයෝජනයත් රැකගෙන, සාධාරණ ලාබ ඉපදවීමේ අරමුණත් ප්‍රවර්ධනය කරමින්, රජයේ බලපෑම්ද අමාරුවෙන් නමුත් උපක්‍රමශීලී ලෙස සමනය කර ගත් ඩී.බී. ධනපාල, ඩෙන්සිල් පීරිස්, ගුණදාස ලියනගේ වැනි කතුවරුන් මෙහිදී සිහිපත් කළ හැකියි.
හිමිකරුවන් සමග මේ තුලනය පවත්වා ගන්නට බැරිම වූ විට විට ආත්ම ගරුත්වය රැකගෙන, වැටුප් හා වරප්‍රසාද නොබලා ඉල්ලා අස්වී ගිය කතුවරුන් නිසා සමස්ත මාධ්‍ය වෘත්තියේ ගෞරවය රැකුණා. කතුවරුන් තමන්ට ඕනෑ හැටියට රූකඩ මෙන් නැටවිය නොහැකි බව දත් හිමිකරුවන්ද යම් පරාසයක සිට ක්‍රියා කළා. අද මෙවන් අදීන කතුවරුන් කෝ?

එකල සිටි ආකාරයේ මහත්මා හිමිකරුවන් අද නැතැයිද ඒ වෙනුවට මාධ්‍ය ජාවාරම්කාරයන් ක්ෂේත්‍රයට පිවිස ඇතැයිද යමෙක් තර්ක කළ හැකියි. මෙයද සත්‍යයක්. විශේෂයෙන්ම 1992 පටන් අද දක්වා රේඩියෝ හා ටෙලිවිෂන් විකාශ බලපත් ලබාගත් පෞද්ගලික සමාගම්, පත්‍ර ආයතන හිමියන්ට වඩා නිර්දය, බලලෝභී හා තණ්හාධික පිරිසක්. වෘත්තීය සමිති තහනම් කොට, මර්දනකාරී දැඩි හස්තයකින් මාධ්‍ය පාලනය කරන ආයතන තිබෙනවා.

මේ මාධ්‍ය හිමිකරුවන් සමඟ ඔට්ටුවීමට මාධ්‍යවේදීන්ට බැහැ. එවිට ඔවුන් කරන්නේ පැණි බෝතලයට වැටුණු ඇඹලයන් සේ වැටුප් හා වරප්‍රසාද විඳිමින්, මාධ්‍ය කම්කරුවන් සේ අතෘප්තිකර වෘත්තීය ජීවිත ගෙවීමයි.
මාධ්‍යවේදීන්ට ගරුසරු ඇතිව සලකන එකුදු හිමිකරුවකුත් නැද්ද? හිමිකරුවන්ට දොස් කියමින් ජ්‍යෙෂ්ඨයෝ තම වගකීම් පැහැර හරිනවාද?

1960 ගණන්වල මාධ්‍ය හිමිකරුවකු වූ එක් අයකු තවමත් මාධ්‍ය හිමිකරුවකු ලෙස ක්‍රියා කරනවා. ඔහු රංජිත් විජේවර්ධන. ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජේවර්ධනගේ පුත්‍රයා ලෙස පසු කලෙක ඔහු එම සමාගමේ අධිපතිකමට පත්වුණා. මීමන ප්‍රේමතිලක, එස්. සුබසිංහ, ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ, විමලසිරි පෙරේරා, ඩෙන්සිල් පීරිස්, මර්වින් ද සිල්වා වැනි විදග්ධ හා විචිත්‍ර චරිත ඔහුගේ කාලයේ ලේක්හවුස් ලොකු පුටු හෙබවූවා.

1973 ලේක්හවුස් ජනසතු කිරීමෙන් පසුව වසර කිහිපයක් නිහඬව සිටි රංජිත් විජේවර්ධන, 1979දී විජය ප්‍රකාශන සමාගම ඇරඹුවා. 1985දී බංකොලොත් වී වසා දමනු ලැබූ ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගමේ පත්‍ර නාමයන් මිලට ගත් ඔහු සතිපතා පුවත්පත්, දිනපතා පුවත්පත් හා ඉරිදා පුවත්පත් ගණනාවක් පළකරන ප්‍රමුඛ පත්‍ර ආයතනයක් බවට විජය සමාගම ගොඩ නැගුවා.
මා විජේවර්ධන මහතා හමුවී කතාබස් කර ඇත්තේ එකවරයි. ඒ ගිය වසර මුලදී.

ලේක්හවුසිය අහිමි වී ඉනික්බිති විජය සමාගම අද පවතින තත්ත්වයට දියුණු කිරීමේ කථාව ලේඛනගත කරන ලෙස මා ඔහුගෙන් ඉල්ලා සිටියා. ඉතා නිහතමානී ඔහු මේ පසුබිම් කථා සමාජයීය ලෙස වැදගත් යයි දකින්නේ නැති පාටයි.
ඔහුගෙන් ඇසීමට නොහැකි වූ, එහෙත් යළි අවස්ථාවක් ලදොත් අසන්නට ඕනෑ ප්‍රශ්නයක් මට තිබෙනවා. 1960 ගණන්වල ලේක්හවුසියේ ඔහු සමඟ ගනුදෙනු කළ පත්‍ර කතුවරුන් හා දැන් විජය පුවත්පත්වල කතුවරුන් සංසන්දනය කළ විට වෙනසක් තිබේද? එසේ නම් ඒ වෙනස කුමක්ද යන්නයි.

එකම හිමිකරුවා (විජේවර්ධන) යටතේ මීට අඩ සියවසකට පෙර ලේක්හවුසියේත්, අද විජය ආයතනයේත් කතුවරුන් පොදු උන්නතිය උදෙසා බලතුලනය කරන්නේ කෙසේද?
මා මෙය මතු කරන්නේ කිසිවකු අපහසුතාවකට පත් කිරීමට නොවෙයි. හිමිකරුවන්ට පමණක් දොස් පවරා තමන් ඇඟ බේරා ගැනීමේ වත්මන් මාධ්‍ය විග්‍රහයන් අනවශ්‍ය ලෙස සරල හා සිල්ලර බව පෙන්වීමටයි.

එදාට වඩා අද රට හා සමාජය වෙනස් බවද ඇත්ත. එහෙත් හිමිකරුවාට අසීමිත ලෙස අවනත නොවන කතුවරුන් කලාතුරකින් හෝ අදත් සිටිනවා. දෙමළ දිනපතා පත්‍රයක කතුවරයා ලෙස ක්‍රියාකරමින් සිටි මා දන්නා දක්ෂ මාධ්‍යවේදියකුට හිමිකරුගේ දේශපාලන ඕනෑකම්වලට අනුකූලවීමට නොහැකිව ඉහළ වැටුප හා සමාගමෙන් ලබා දුන් මෝටර් රථය නොතකා ඔහු එතැනින් ඉවත් වුණා. ඒ ගිය වසර අගදී. මෙය දැනගත් විට ඔහු ගැන මගේ ගෞරවය බෙහෙවින් ඉහළ ගියා.

විවාහ වී, කුඩා දරුවන්ද සිටින මේ කතුවරයා වෙනත් ආදායම් ඇත්තකුද නොවෙයි. මාස ගණනක් යනතුරු ඔහු ජීවිකාව සඳහා පරිවර්තනද ඇතුළුව මාධ්‍ය කුලී වැඩ (freelance work) කළා.
මෙවන් අදීන කතුවරුන් තව කිහිප දෙනකු හෝ සිටියොත් මාධ්‍ය ග්‍රාහකයන් වෙනුවෙන් මාධ්‍ය ආයතන තුළ හඬක් නැගීමට ඉඩ වැඩිවනවා.

මාධ්‍ය නිදහස සාපේක්ෂව වර්ධනය වී ඇති වර්තමානයේ මාධ්‍ය අන්තර්ගතය තවමත් පහත් මට්ටමක පවතින්නේ ඇයි? ව්‍යාජ පුවත්, අන්තවාදී විග්‍රහයන්, මිථ්‍යාව මෙතරම් මාධ්‍ය හරහා ගලා යන්නේ කෙසේද? මේවාට වගකිව යුත්තෝ කවරහුද? මේ ප්‍රශ්න අප විවෘතව සාකච්ඡා කළ යුතුයි.

ජූනි 16 වැනිදා රැස්වීමේදී මා කීවේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ තිරසාර බවට අවම වශයෙන් සාධක පහක් සපුරා ගත යුතු බවයි. ඒවා නම්: මාධ්‍ය වෘත්තීයභාවය පවතිනවාට වඩා බෙහෙවින් ඉහළ යෑම, මාධ්‍ය ආයතනවල ආර්ථික සවිමත් බව වැඩිවීම, නව තාක්ෂණ ප්‍රවණතා සමඟ ඉදිරියට යෑම, මහජන විශ්වාසය යළි ගොඩ නගා ගැනීම හා පොදු උන්නතියට කැපවූත් මහජනයාට වගකියන්නාවූත් අදීන මාධ්‍ය පරපුරක් යළි බිහිකර ගැනීමයි.

මේ පංච මහා අභියෝගයන් ජයගත නොහැකි නම් අපේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඩයිනසෝරයන් ගිය මගෙහිම ගොස් ටිකෙන් ටික වඳවී යනු ඇති.■