රාවය

ලංකාවේ වර්ග ප්‍රශ්නය සහ මුස්ලිම්වරු

ලංකාවේ වර්ග ප්‍රශ්නය සහ මුස්ලිම්වරු

වික්ටර් අයිවන්

ලංකාව නිදහස ලබාගත්තේ ජාතික රාජ්‍ය සඳහා අවශ්‍ය නූතන ජාතිය ගොඩනගා ගැනීමකින් තොරවය. ජාතිය ගොඩනගා නොගන්නා තත්ත්වයක් තුළ ඇතිවිය හැකි ගැටුම් ගැන හෝ ගැටුම් ඇතිවන අවස්ථාවලදී ඒවා දුරදිග යන්නට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට අවශ්‍ය කරන අධිෂ්ඨානය හෝ ඒ සඳහා තිබිය යුතු මැදිහත් බව අපේ ජාතික නායකයන්ට නොතිබුණි. සමහරවිට වර්ග අතර ගැටුම් ඇති කිරීමට මුල් වූයේද ජාතික නායකයන්මය. එය ඔවුන් අතින් සිදු නොවී වෙනත් අය අතින් සිදු කෙරුණු අවස්ථාවලදී පවා වර්ගවාදී ආකල්ප නිසා හෝ එම ගැටුම්වලින් ලබාගත හැකි පටු දේශපාලන වාසි සලකා ඒවා මර්දනය කරන දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම නිසා පාලනය කළ හැකි සුළු ගැටුම් පවා දුරදිග ගොස් මහා විනාශයන් ඇති කිරීමට හේතුවිය. වාර්ගික මුහුණුවරකින් ඇතිවූ මෙම ගැටුම් තුළ දක්නට තිබුණු තවත් වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ එක සුළු වර්ගයක් ඉලක්ක කොටගෙන පහරදීම් ඇතිවූ විට අනෙක් සුළු වර්ග පහරදීමට ලක්වන සුළු වර්ගය කෙරෙහි අනුකම්පාසහගතව ක්‍රියාකරනවා වෙනුවට පහර දෙන්නා ලෙස ක්‍රියාකරන වර්ගයට ඍජු ලෙස හෝ අනියම් ලෙස ආධාර කරන පිළිවෙතක් අනුගමනය කිරීමය. එවැනි ගැටුම්වලට ආවේණික තවත් වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ සිංහල හා දෙමළ සමාජයේ පීඩිත කුල එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් එම ගැටුම් වර්ධනය කරන සැඟවුණු බලවේගයක් ලෙස ක්‍රියා කිරීමය.

සුළු ජන වර්ගවල හැසිරීම
1948 සෝල්බරි ව්‍යවස්ථාව සම්මත කරගත් පසුව එම ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පෙර එම ව්‍යවස්ථාවේ පිළිගත් ප්‍රතිපත්තිවලට පටහැනිව යමින් ඉන්දීය වතු කම්කරුවන්ගේ ප්‍රජා අයිතිය අහිමි කරන ලදි. එසේ කිරීමට අගමැති ඩී.එස්. සේනානායකට අවශ්‍ය වූයේ පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඉන්දියානු වතු කම්කරුවන්ගේ ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ප්‍රමාණවත් තරමේ ලොකු ජයග්‍රහණයක් හිමිකර ගෙන නොසිටි ඩී.එස්. සේනානායකට ආණ්ඩුවක් පිහිටුවීමට ආධාර නොකොට (එම මැතිවරණයෙන් එජාපයට හිමිකර ගැනීමට හැකිවී තිබුණේ ආසන 95කින් ආසන 42ක් පමණය.) වාමාංශික පක්ෂවලට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කිරීම නිසාය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපක්ෂය බවට පත්ව සිටියේ වාමාංශික ව්‍යාපාරයයි. දෙමළ වතු කම්කරුවන් ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නියෝජිතයන් තරග නොකරන ආසනවලදී ඡන්දය දී තිබුණේ වාමාංශික පක්ෂවල අපේක්ෂකයන්ටය. වාමාංශික පක්ෂවල වර්ධනය වන ශක්තිය කෙරෙහි ඉන්දියානු වතු කම්කරුවන්ද වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. ඒ නිසා ඒ මගින් වාමාංශික ව්‍යාපාරය දුර්වල කිරීමටද ඩී.එස්. සේනානායක අපේක්ෂා කළේය.

ඉන්දියානු වතු කම්කරුවන්ගේ ඡන්ද බලය අහිමි කිරීම පිළිබඳ ප්‍රශ්නයේදී එකල ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය වී තිබූ ජී.ජී. පොන්නම්බලම්ගේ දෙමළ කොංග්‍රස් පක්ෂයට ඒ ගැන පැහැදිලි ස්ථාවරයක් නොවීය. ඊට විරුද්ධ වූයේ එම පක්ෂයේ එස්.ජී. චෙල්වනායගම් පමණය. අන් නියෝජිතයෝ සියලුදෙනා එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට එම වැඩසටහනට සහාය දුන්නෝය. පාර්ලිමේන්තුවේ මුස්ලිම් නියෝජිතයන් සේ ම බර්ගර් නියෝජිතයා ද ඊට සහාය දුන්නේය.

ඉන්පසු සිංහල රාජ්‍ය භාෂා ප්‍රශ්නයේදී පාර්ලිමේන්තුවේ මුස්ලිම් නියෝජිතයන් දෙදෙනෙකු (සී.ඒ.එස්. මරික්කාර් හා රසික් ෆරීඞ්) එම පනතට පක්ෂ වන විට තවත් මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිතයන් තිදෙනෙකු (ඒ.එච්. මාකන් මාකර්, එම්.ඊ.එච් මොහොමඞ් අලි හා එම්.එම්. මුස්තාපා) පනතට විරුද්ධ වුවද, බදුදීන් මොහොමඞ් මහතා සිංහල රාජ්‍ය භාෂා පනතට මුස්ලිම් ජනයා පක්ෂපාත බවට ප්‍රචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම නිසා මහජනයාට පෙනුණේ එම ප්‍රශ්නයේදී රටේ මුස්ලිම් ජනතාවද සිටින්නේ සිංහලයන් සමඟ බවය.
දෙමළ එක්සත් පෙරමුණ වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින අවස්ථාව දක්වාම වතු කම්කරුවන්ගේ නායකයා හා ඔවුන්ගේ එකම පාර්ලිමේන්තු නියෝජිතයා වූ එස්. තොණ්ඩමන් මහතා පෙනී සිටියේ දෙමළ එක්සත් පෙරමුණ වෙනුවෙන් එම පෙරමුණ වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින තැනකට ගිය පසු තොණ්ඩමන් මහතා එම ව්‍යාපාරයෙන් ඉවත් වූවා පමණක් නොව, ඉන්පසු වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් ඇතිවූ පසු වතු කම්කරුවන්ට නැවත පුරවැසි අයිතිවාසිකම් ලබාගැනීමේ අරමුණ දිනාගැනීම සඳහා උතුරේ පවතින කැරලිකාරීත්වය තුරුම්පුවක් වශයෙන් පාවිච්චි කළේය. අවසානයේ මුස්ලිම් ජනයාටද තමන්ගේ ආරක්ෂාව සහතික කරගැනීම සඳහා තමන් වෙනම දෙමළ රාජ්‍යයකට එකඟ නොවන බව ප්‍රකාශ කරන්නට සිදුවූ අතර ඒ නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී ඔවුන් එල්ටීටීඊයෙන් පහර කන ජනවර්ගයක් බවට පත්විය. සිංහල දකුණෙත් දෙමළ උතුරෙත් ඇතිවූ සන්නද්ධ කැරලිවලදී පීඩිත කුලවල තරුණ තරුණයින් කැරලි ප්‍රවර්ධනය කරන බලවේගයක් ලෙස ක්‍රියා කළේය.

සුළු ජන වර්ග පෙලීම
ලංකාවේ බර්ගර් ජනයා තමන්ට අනාගත ශ්‍රී ලංකාවේ කිසිදු පිළිගැනීමක් නොලැබෙනු ඇතැයි සලකා පහරදීමකට ලක්වීමට පෙරම කල් තියා ශ්‍රී ලංකාව අතැර ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය වූ ජනවර්ගයක් ලෙස සැලකිය හැකිය. ඔවුහු නිදහස ලැබීමට පෙර ලංකාවේ ජනවර්ග අතර සිටි දියුණුම චින්තනයක් හිමිකරගෙන සිටි ජනවර්ගය ලෙසද සැලකිය හැකිය. ලිබරල් ආභාසය හිමිකරගෙන සිටි එකම ජනවර්ගයද බර්ගර්වරු වූහ. සියලුම දේශීය ජනවර්ග ආශ්‍රයෙන් ලාංකේය ජාතිය තනාගත යුතුය කියන අදහස පළමුවෙන්ම පළ කළ පුද්ගලයා වූයේද ලංකාවේ බර්ගර්වරුන් අතර සිටි ලිබරල් චින්තකයකු ලෙස සැලකිය හැකි චාල්ස් ලොරෙන්ස් (1829-71) ය. ඔහු එකවිට සංගීතඥයෙකු, නළුවකු, පත්‍ර කලාවේදියෙකු හා නීතිවේදියෙක් විය.

එකල රාජ්‍ය සේවයේ කොඳුනාරටිය ලෙස සැලකුණේ බර්ගර්වරුය. 1911 වනවිට ලංකාවේ බර්ගර් ජන සංඛ්‍යාව 27000ක් වූ අතර දිවයිනේ සාක්ෂරතා අනුපාතිකය පිරිමින් සඳහා සියයට 40ක්ද, ගැහැනුන් සඳහා සියයට 11ක්ද වනවිට බර්ගර්වරුන්ගේ සාක්ෂරතා අනුපාතිකය පිරිමින් සඳහා සියයට 70ක්ද ගැහැනුන් සඳහා සියයට 67ක්ද විය. මෙම ජනවර්ගය හිමිකරගෙන සිටි උසස් සමාජ තත්ත්වය නිසාත්, ඔවුන්ගේ හමේ පැහැය සුදුවීම හා ඔවුන් කතා කළ භාෂාව ඉංග්‍රීසි වීම නිසාත් වෙනත් ස්වදේශීය ජනවර්ග අතර බර්ගර්වරුන් කෙරෙහි සැඟවුණු ඊර්ෂ්‍යාවක් සේ ම විරෝධයක් ද විය. ඔවුන් හැඳින්වුණේ තුප්පහියන් ලෙස හෝ කැරපොතු ලන්සින් වශයෙනි. නිදහසින් පසු තමන්ට ලංකාවේ නිසි පිළිගැනීමක් නොලැබෙන බව කල්තියා තේරුම් ගත් බර්ගර්වරු නිදහසට ආසන්න කාලයේ සිටම කාණ්ඩ වශයෙන් ලංකාව අතහැර ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය වන්නන් බවට පත්වූහ. ඔවුන් ශ්‍රී ලාංකික ජාතියට අන්තර්ග්‍රහණය කරගැනීමට සමත් වී නම් දෘෂ්ටිමය අර්ථයෙන් ලංකාව මීට වඩා දියුණු තත්ත්වයක සිටින්නට ඉඩ තිබුණා සේ ම ලංකාවේ ඉංග්‍රීසි භාෂා දැනුම මීට වඩා දියුණු තත්ත්වයකට තිබෙන්නටද ඉඩ තිබුණි.

ඉන්පසු අයිතිවාසිකම් අහිමි කිරීමට ලක්වූ ඊළඟ ජනවර්ගය වූයේ වතුකරයේ වැඩ කළ ඉන්දියානු වතු කම්කරුවන්ය. ලංකාවේ දෙමළ ජනයා පවා ඔවුන් තමන්ගේම පිරිසක් ලෙස නොසැලකීය. ඉන්පසු අයිතිවාසිකම් අහිමි කිරීම්වලට හා පහරදීම්වලට ලක්වූ ජනවර්ගය වූයේ දෙමළ ජනයාය. 1956දී ඔවුන්ගේ භාෂා අයිතිවාසිකම් අහිමි කිරීම ඔවුන් අන්දමන්ද තත්ත්වයකට පත්කිරීමට හේතුවූ අතර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේදී දෙමළ සහභාගිත්වය අඩු කිරීමට හේතුවන ලෙස 70 දශකයේ ක්‍රියාවට නගන ලද ප්‍රමිති කරන නීිති දෙමළ තරුණ පරපුර කෝපයෙන් ක්‍රියාකරන තැනකට තල්ලු කිරීමට හේතුවිය. 83 කළු ජූලිය ඇති කරන ලද විනාශය අතිවිශාලය. ඒ නිසා දෙමළ තරුණ පරපුර යක්ෂාවේශ වී වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා ක්‍රෑර ලෙස සටන් කරන තැනකට තල්ලු කිරීමට හේතුවිය. ඒ නිසා ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් විසින් මුදාහරින ලද ක්‍රෑරත්වය පොදුවේ රට කෙරෙහි පමණක් නොව දෙමළ ජනතාව කෙරෙහිද විනාශකාරී ලෙස බලපෑවේය.

කොටි සංවිධානය යුද්ධයෙන් පරාජය කිරීමට සමත්වීම සිංහල අන්තවාදීන් දකින්නේ දමිළයන්ට උගන්වන ලද හොඳ පාඩමක් ලෙසය. එවැනි පාඩමක් මුස්ලිම්වරුන්ටද ඉගැන්විය යුතු යැයි ඔවුන් දැන් කල්පනා කරන බවක් පෙනෙන්නට තිබේ. 2014 වසරේදී අලුත්ගම හා බේරුවලදී මුස්ලිම් කඩසාප්පු නිවාස ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු බිහිසුණු ප්‍රහාරය එම අරමුණ වෙනුවෙන් දියත් කෙරුණු දුෂ්ට වැඩසටහනක් ලෙස සැලකිය හැකි අතර එය රට පුරා පැතිරුණු ව්‍යාපාරයක් නොවීම හේතු කොටගෙන ඉන් සිදුවූ හානියෙන් සෑහීමට පත් නොවී වඩා විශාල විනාශයක් ඇති කිරීමේ අරමුණින් එම අන්තවාදී බලවේගයන් මුස්ලිම් ජනයා කෙරෙහි සිංහල ජනතාව තුළ වෛරසහගත ආකල්පයක් ඇති කිරීමට හේතුවන මතවාදී ව්‍යාපාරයක් සංවිධානාත්මක ආකාරයකින් මේ මොහොතේ පවත්වාගෙන යමින් සිටින බවද පෙනෙන්නට තිබේ. මෙය එකකට පසු එකක් වශයෙන් දිගින් දිගට සිදුවන ක්‍රියාදාමයක් ලෙස සැලකිය හැකි ඒ මගින් සුළු වාර්ගිකයන්ට පමණක් නොව මහා වර්ගය ලෙස සැලකිය හැකි සිංහලයන්ට හා පොදුවේ රටට සිදුවී තිබෙන විනාශය අතිවිශාල වුවත් ඉතාමත් සුළු පිරිසක් කරන අන්තවාදී ක්‍රියා කෙරෙහි ප්‍රබල මහජන විරෝධයක් ඇති කිරීමට තවමත් හේතු වී නැත. මේ තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ මහා විනාශයක් ඇතිවීමෙන් පසුත් ශ්‍රී ලංකාව අද දක්වාම ජාතික රාජ්‍ය සඳහා අවශ්‍ය ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම හා එවැනි අවුල් ඇතිවන අවස්ථාවලදී ඍජු ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමට අවශ්‍ය ධෛර්යය හා ශික්ෂණය ලංකාවේ රාජ්‍ය නායකයන්ට නොතිබීමය.

අනගාරික ධර්මපාල
වර්ග භේදවාදය පූර්ව නූතන යුගයේ නොතිබුණු නූතන යුගයේදී ඇතිවූ දෙයක් ලෙස සැලකිය හැකිය. අනගාරික ධර්මපාලතුමා එම භේදකාරී ආකල්ප සිංහලයන්ට උරුම කළ ප්‍රධාන චින්තකයා ලෙස සැලකිය හැකිය. අනගාරික ධර්මපාල ඒ යුගයේ ලංකාවේ ජීවත් වූ නිර්භීතම හා ප්‍රබලතම බි්‍රතාන්‍ය විරෝධියා ලෙස සැලකිය හැකි වුවත් ඔහුගේ විරෝධය ලංකාවේ ආධිපත්‍යය හිමිකරගෙන සිටි බි්‍රතාන්‍යයන්ට සීමා කෙරුණු දෙයක් නොවීය. ඔහු ලංකාවේ ජීවත් වූ සුළු වර්ගවලට එරෙහිවද සිංහලයන් තුළ වෛරසහගත හැඟීමක් ඇති කරන වර්ග භේදවාදී මතවාදයක් දේශනා කළේය. ඔහු සිංහල වර්ගයා සලකන ලද්දේ ලෝකයේ උතුම්ම හා ලෝකයේ අන් සියලුදෙනාට වඩා දියුණු පැරණි ශිෂ්ටාචාරයකට හිමිකම් කියන විශේෂිත ජනවර්ගයක් ලෙසය. ඔහු සිංහල නොවන ලංකාවේ අන් සියලු ජනවර්ග සලකන ලද්දේ ලංකාවට කිසිම හිමිකමක් නැති පරයන් ලෙසය. අනගාරික ධර්මපාලතුමා මුස්ලිම්වරුන් ගැන කියන ලද ප්‍රසිද්ධ කියමනක් මෙසේය. “බි්‍රතාන්‍යයන්ට ජර්මානුවා යම් සේද, සිංහලයාට මහමදිකයාද එසේමය. ඔහු ආගමෙන් ජාතියෙන් සේ ම භාෂාවෙන්ද විජාතිකයෙකි.” ඔහුගේ තවත් එවැනි කියමනක් මෙසේය. “විදේශ සුද්දා මෙරටට පා තැබූදා සිට සිංහලයන්ගේ කර්මාන්තද ගති පැවතුම් හා සිරිත් විරිත් ද අභාවයට යාමට පටන් ගත්තේය. දැන් සිංහලයාට මරක්කලයන්ගේ හා දෙමළුන්ගේ පාමුල වැටීමට සිදුවී තිබේ.”

ධර්මපාලතුමා බි්‍රතාන්‍ය පාලනයද නිර්දය ලෙස විවේචනයට ලක් කළේය. බටහිර සිරිත් විරිත් අනුගමනය කිරීම ගැනත් ඉංග්‍රීසීන් කෙරෙහි දක්වන බියසුලුකම ගැනත් ඔහු සිංහලයන් විවේචනයට ලක් කළේය. අසික්කිත සුද්දන් දුටු විට ජෝන් කොතලාවල මෙන් ඔවුන්ට නොබියව පහර දෙන ලෙස ඉල්ලා සිටි ඔහු හැම ගෙයක් ඉදිරිපිටම සුද්දකුගේ පඹයකු තනා ඒ පඹයාට කලිසන් අන්දවා ඌ සුද්දකු ලෙස සලකා දරුවන්ට පෙනෙන ලෙස ඒ පඹයාට තලන ලෙස ඉල්ලා සිටි අතර එවිට ඒ දරුවන් ලොකු මහත් වූ පසු ඔවුන් සුද්දන්ට පහර දෙනු ඇති බවත් කීවේය.

ධර්මපාලතුමා හරක් මස් කන සිංලයන් හැඳින්වූයේ වසලයන් ලෙසය. සිංහල බෞද්ධයන් උම්බලකඩ කනවාට පවා ඔහු විරුද්ධ විය. විදේශ නම් භාවිතයට ඔහු තරයේ විරුද්ධ විය. “රට හෝ ජාතිය නොහඳුනන වර්තමාන සුදු සිංහලයකු (කළු සුද්දකු) දේශප්‍රේමියකුගේ රුධිරය අවමානයෙන් කැකෑරෙයි. විජයගෙන් පැවත එන්නන් පෙරේරා, සිල්වා, අල්මේදා, ඩයස්, ලිවේරා, දොන්, දෝන, රුබේරු, බොතේජු, රුද්‍රිගෝ වැනි සමහර නම්වලින් හැඳින්වීම ගැන සිතා බලන්න. මෙවැනි නමක් ඇත්තෙකු සිංහලයෙකු යැයි විශ්වාස කිරීමට විදේශිකයෙකුට නොහැකිය. “ඔහු වෙළෙඳාම අගේ කළේය. හම්බයන් (මුස්ලිම්වරුන්) අතට ගොස් තිබෙන වෙළෙඳාම සිංහලයන් අතට ගත යුතු බවත්, ධනය ඉපැයීමට වෙහෙසෙන තැනැත්තාට ලක්ෂ්මී දේවිය උපකාර කරන” බවත් කීවේය.

ධර්මපාලතුමාගේ වේගවත් හා නිර්භීත කථා සිංහල බෞද්ධයන් කුල්මත් කිරීමට හේතුවිය. ඔහුගේ වේගවත් කතා අසා සමහර සිංහල බෞද්ධයන් ඔහු නරක ලෙස හඳුන්වන ලද පුරුදු අත්හළේය. ඇතැමුන් තමන්ට තිබෙන විදේශ නම් සිංහල නම්වලට වෙනස් කර ගත්තේය. එහෙත් උත්ප්‍රාසජනක දේ වනුයේ ධර්මපාලතුමාගේ පවුලේ ව්‍යාපාරයක් වශයෙන් පැවති ‘දොන් කරෝලිස් සමාගමේ’ ඇති ‘දොන්’ යන නම වෙනස් නොකිරීමය.

කුමාරි ජයවර්ධන නිවැරදි ලෙස කියා ඇති පරිදි “බයෙන් හැකිළෙමින් නිවට ලෙස ජීවත් වූ යටහත් පහත් ලාංකිකයන් අතර හිස කෙළින් තබාගෙන ගමන් ගත් එකම වංශවතා” එතුමා විය. එහෙත් එතුමා සිංහලයන්ට උරුම කරදෙන ලද චින්තනය භේදකාරී සේ ම ඉතාමත් පසුගාමීද විය. ඔහු ජීවත් වූයේ ලංකාවේ අකුරු උගත්කම පැතිරී සමාජය පුවත්පත් හා පොත්පත් කියවන්නට යොමුවී තිබූ යුගයකදීය. ඒ යුගයේ ජීවත් වූ සියලු පත්තරකාරයන් සේ ම පොත්පත් ලියූ සිංහල ලේඛකයන්ද අනගාරික ධර්මපාලතුමාගේ ගෝලබාලයන් වී යැයි කිව හැකිය. ඒ යුගයේ ජීවත් වූ සියලු සිංහල දේශපාලනඥයන්ද ධර්මපාලතුමාගේ බැතිමත් ගෝලබාලයෝ වූහ. 1915දී ඇතිවූ සිංහල මුස්ලිම් කෝලාහලය අනගාරික ධර්මපාලතුමා විසින් හා දේශපාලන තලයේ රජ කළ ඔහුගේ ගෝලබාලයන් විසින් මුස්ලිම්වරුන්ට එරෙහිව වපුරන ලද වෛරසහගත ආකල්පයන්ගේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

වර්තමාන සිංහල වර්ගවාදයේ දක්නට ලැබෙන සියලුම ප්‍රධාන ලක්ෂණ ධර්මපාලතුමාගේ චින්තනය තුළ දැකිය හැකි අතර ඒ අර්ථයෙන් සිංහල වර්ගවාදය ධර්මපාලතුමා විසින් සිංහලයන්ට උරුම කර දෙන ලද දෙයක් ලෙස සැලකිය හැකිය.
ඒ අර්ථයෙන් සිංහලයන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප කෙරෙහි වර්තමානය දක්වාම වැඩියෙන්ම බලපෑ චින්තකයා ලෙස සැලකිය හැක්කේ ධර්මපාලතුමාය. එසේම සිංහලයන්ගේ වර්ග භේදවාදී සිතුම් පැතුම් හා ආකල්ප කෙරෙහි බලපෑ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේද ධර්මපාලතුමාය. එතුමාගේ දෙමළ විරෝධී හා මුස්ලිම් විරෝධී අදහස් අද දක්වාම සිංහල සමාජය කෙරෙහි අඩු වැඩි වශයෙන් බලපෑ ඇතැයිද කිව හැකිය.

මීට සති දෙකකට පමණ ඉහතදී පුනරුද ව්‍යාපාරයට සම්බන්ධ හා ක්‍රියාකාරී තත්ත්වයක සිටින විශ්‍රාම ගිය ගරුකටයුතු නමක් ඇති විදුහල්පතිවරයෙකු දුරකතනයෙන් මා අමතා සිංහල ජනයාගේ ගෞරවයට හේතුවී තිබෙන ප්‍රධාන පෙළේ වීරයෙකු ලෙස සැලකිය හැකි ධර්මපාලතුමා විවේචනය කරන පිළිවෙතක් පුනරුද ව්‍යාපාරයේ යහපතට හේතුවේදැයි මගෙන් ප්‍රශ්න කළේය. සිංහලයන්ගේ භේදකාරී චින්තනය කෙරෙහි වැඩියෙන්ම බලපා තිබෙන චින්තකයා ධර්මපාලතුමා නම් නිසි ගෞරවයකින් යුතුව එතුමාගේ අදහස් විවේචනයට ලක් කිරීමකින් තොරව සිංහලයන්ට පුනරුදය උදා කළ හැක්කේ කෙසේදැයි මම පෙරළා ප්‍රශ්න කළෙමි. එම විශ්‍රාමලත් විදුහල්පතිතුමා මාගේ මතය පිළිගත්තේ දැයි මා දන්නේ නැත. එහෙත් එතුමා මාගේ මතයට විරෝධය පෑමක් සිදුවූයේ නැත.

සිංහල වර්ගයා අතර පමණක් නොව, දෙමළ හා මුස්ලිම් වර්ග අතරද වර්ග භේදවාදී අදහස් දරන්නෝ සිටිති. නිදහසේ සිට අද දක්වා ගොඩ නගා ගැනීමට නොහැකිවී තිබෙන ජාතික රාජ්‍යයේ යහපැවැත්මට අවශ්‍ය කරන ශ්‍රී ලාංකික ජාතිය ගොඩනගා ගැනීමට හැකිවනු ඇත්තේ ඒ සියලුදෙනා අතර තිබෙන වර්ගවාදි අදහස්වලට තිබෙන පිළිගැනීම නැති කොට ඒ සියලුදෙනා තර්කානුකූලව සාධාරණව හා බහුත්වවාදීව දේවල් දකින තැනකට ගැනීමෙනි.

ලංකාවේ මුස්ලිම් ජනයා
මේ මොහොතේ සිංහල අන්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව තිබෙන්නේ මුස්ලිම් ජනයාය. මුස්ලිම් ජනයා කෙරෙහි වෛරයක් ඇති කිරීමේ අරමුණින් සමාජ ජාලා මගින් පතුරුවා හැර තිබෙන කිසිදු සත්‍ය පදනමක් නැති කථා ගැන මෙහිදී කරුණු විමසීමක් කරන්නට අපේක්ෂා කරන්නේ නැත. සිංහල කාන්තාවන් අතර පියයුරු පිළිකා ඇති කරන්නට හේතුවන පිළිකා කාරක මුස්ලිම් කඩසාප්පුවල විකුණන බ්‍රෙසියර්වලට දමා ඇතැයි කියන කතා සේ ම සිංහල ගැහැනුන් හා පිරිමි වඳභාවයට පත් කිරීමට හේතුවන රසායන ද්‍රව්‍ය මුස්ලිම් කඩවල විකුණන යට ඇඳුම්වලට දමා ඇතැයි කියන කතා මුස්ලිම් රෙදි සාප්පුවලින් භාණ්ඩ මිලදී ගැනීම වැළකීමේ අරමුණින් කියන කිසිදු සත්‍ය පදනමක් නැති සිහිමොළේ ඇති කිසිවකු විශ්වාස නොකරන අභූත කතා ලෙස සැලකිය හැකිය.

එහෙත් ලංකාවේ මුස්ලිම්වරුන් කව්ද, ලංකාවේ ඔවුන්ගේ ඉතිහාසය කුමක්ද යන්න සලකා බැලීම වැදගත්ය.
අනුරාධපුර යුගයේ අවසාන කාලය වනවිටත් මහාතිත්ථය ආදී මුහුදු තොටවල් අසල මුස්ලිම්වරුන් පදිංචි වී සිටි බව සෙනරත් පරණ විතානගේ මතය වේ. (ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය ෂ කාණ්ඩය පිටුව 370) ලංකාව ඉන්දීය සාගරික වෙළෙඳ මාර්ගයක වැදගත් සංධිස්ථානයක පිහිටි හොඳ වරායන් කිහිපයකින් යුතු රටක් වීම හේතු කොටගෙන ලංකාව ඈත අතීතයේ සිටම විදේශීය වෙළෙඳාම පැවති ආනයන අපනයන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස පැවතුණි. මුල්ම වෙළෙඳාම පැවති බව පෙනෙන්නේ ආසන්නයේම පිහිටි ඉන්දියාව සමඟය. ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේදි අනුරාධපුරයේ රාජ්‍ය බලය අල්ලා ගත් සේන හා ගුත්තික හඳුනාගෙන ඇත්තේ ඉන්දියාවේ අශ්ව වෙළෙන්දෙකුගේ පුතුන් දෙදෙනකු වශයෙනි. මුලදී ලංකාවේ භාණ්ඩ (ඇතුන්, ඇත්දත්, මුතු, මැණික්) ග්‍රීක හා රෝම වෙළෙන්දන් මිලදී ගත්තේ ඉන්දියානු වෙළෙන්දන්ගෙනි. හිපලූස් මෝසම් හුළං හමන කාලය එහි විශේෂ ස්වභාවය සොයා ගන්නා ලද්දේ ක්‍රි.ව. 47දීය. එතැන් සිට මුහුද මගින් කෙරෙන වෙළෙඳාමේ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවිය. ක්‍රි.ව. 400දී පමණ රෝම අධිරාජ්‍යය දෙකඩවීමෙන් පසු පෙරදිග ලෝකයේ රෝමයට තිබූ වාණිජ සම්බන්ධතා බිඳ වැටුණු අතර ඒ සමඟ බටහිර වෙළෙඳපොළට ආසියනු භාණ්ඩ ගෙන යන අතරමැදියන් බවට පත්වූයේ පර්සියානු වෙළෙඳුන්ය. අරාබියේ ඉස්ලාම් ආගම බිහිවීමෙන් පසු පර්සියාවද ඉස්ලාම් ආගම වැළඳගෙන අරාබි භාෂාව කතා කරන රටක් බවට පත්විය. ඉන්පසු එකම භාෂාවක් කතා කිරීම හා එකම ආගමක් ඇදහීම නිසා අරාබි, පර්සියානු හා ඇබිසීනියානු වෙළෙඳුන් පොදුවේ හඳුන්වන ලද්දේ අරාබි වෙළෙඳුන් වශයෙනි. මාන්තොට වරාය අනුරාධපුර රාජධානියේ ප්‍රධාන වරාය වූ අතර එම වරාය මලබාර් වෙරළ ඔස්සේ අරාබියාව පර්සියාව හරහා ඊජිප්තුව තෙක්ද, කොරමණ්ඩල් වෙරළේ සිට බෙංගාලබොක්ක, මලක්කාව, සුමාත්‍රා, ජාවා දූපත්, මොළොක්කාව හරහා චීනය දක්වාද විහිදෙන මුහුදු මාර්ග දෙකක සංධිස්ථානය විය. මාන්තොට හා ඒ අවට කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් ඒ කාලයේ එහි මුස්ලිම් ජනාවාස තිබී ඇති බව සනාථ වේ. මුස්ලිම් සොහොන් මත ඉදිකරන ලද අරාබි ශිලා ලේඛන තුනක් මේ ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. විද්‍යාත්මක සාක්ෂි අනුව මෙම ශිලා ලේඛන 9 වන හා 10 වන ශතවර්ෂවලට අයත් බවද සොයාගෙන තිබෙන අතර ඉන් පෙනෙන්නේ ඒවනවිටත් මාන්තොට මුස්ලිම් ජනාවාස තිබූ බවය.

ශ්‍රීපාද කන්දේ ඇති පා සලකුණ ආදම්ගේ පා සලකුණ ලෙස සලකා මුස්ලිම්වරුන් ශ්‍රී පාද කන්ද වන්දනා මාන කරන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ 9 වැනි ශතවර්ෂයේදීය. මුස්ලිම්වරුන් තමන්ගේ ආදිතමයා ලෙස සලකන්නේ ආදම්ය. ලංකාවේ මුස්ලිම්වරුන් පමණක් නොව ලෝක මුස්ලිම්වරුන්ද ආදම් පාරාදීසයෙන් එලවා දැමූ පසු ඔහු පෘථිවියේ පළමුවෙන්ම පය ගැසූ ස්ථානය වශයෙන් සලකන්නේ ශ්‍රීපාද කන්දය. මාකෝ පෝලෝ කියා තිබෙන ආකාරයට කඳු මුදුනේ පිහිටි සිරිපතුල හා සිද්ධස්ථානයත්, දිවයිනේ විවිධ ප්‍රදේශවල නිදන් කර ඇති බුදුරදුන්ගේ යයි බෞද්ධයන් විශ්වාස කරන ධාතුන් වහන්සේලාත් ආදම්ගේ දේවල් යැයි මුස්ලිම්වරු විශ්වාස කරති. මෙම පරස්පර විශ්වාසයන් දෙක ඒ කාලේ සිංහලයන් හා මුස්ලිම්වරුන් අතර ගැටුම් ඇති කිරීමට හේතුවූයේ නැත.

12 වන ශතවර්ෂයේදී ත්‍රිකුණාමල වරාය අවට මුස්ලිම් ජනාවාස තිබී ඇති බව ත්‍රිකුණාමලය වරායට ඉහළින් පිහිටි නිකොල්සන් බොක්කෙන් සොයාගත් ගල් දෙකින් පෙනී යයි.

යුරෝපීන් ‘චාලියාස්’ද වශයෙන් සිංහල සමාජය සලාගම වශයෙන්ද හඳුන්වනු ලබන කුලයේ ආදිතමයන් හත්දෙනා ෂෂෂ වැනි විජයබාහු රජු (123-1238) විසින් දකුණු ඉන්දියාවේ සාලිය පට්ටනම් ගමෙන් ගෙන්වා ගෙන ඇත්තේ බේරුවල හොරකඩුවේ පෙරිය මුදලි මරික්කාර් නමින් වන මුස්ලිම් වෙළෙන්දෙකු අතරමැදියකු ලෙස යොදා ගනිමිනි.

නූල් කැටීම හා රෙදි විවීම ලංකාවේ ඈත අතීතයේ සිට පැවත එන කර්මාන්තයක් වී තිබුණද ලංකාව නිපදවමින් තිබූ රෙදි ලංකාවට දකුණු ඉන්දියාවෙන් ආනයනය කෙරෙමින් තිබූ සිනිඳු රෙදි සමඟ සසඳන විට උසස් තත්ත්වයක නොතිබීම නිසා ඒ තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීම සඳහා උසස් තත්ත්වයේ රෙදි වියන්නන් කිහිපදෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට රජුට අවශ්‍ය වී තිබේ. විදේශ රටවල් ගැන දැනුමක් තිබුණේ විදේශ වෙළෙඳාමේ නිරත වූ මුස්ලිම් වෙළෙඳුන්ට නිසා දක්ෂ රෙදි වියන්නන් කිහිපදෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට භාර දුන්නේ ඉහත කී බේරුවල මුස්ලිම් වෙළෙන්දාටය. ඔහු වෙත පවරන ලද එම වගකීම හොඳින් ඉටු කිරීම නිසා රජු එම මුස්ලිම් වෙළෙන්දාට ඉඩකඩම් හා ගරු නම්බු හා විවිධ වරප්‍රසාද පිරිනමන ලද බවත් මරික්කාර්ගෙන් පැවත එන සියලුදෙනාම රජුගේ දෝලා ගෙනයෑමේ රාජකාරියෙන් නිදහස් කොට ඔවුන්ට පල්ලි ගොඩනැගීමට අවශ්‍ය නම් ඒ සඳහා අවසර දිය යුතු බව හා ඒ සඳහා අවශ්‍ය ඉඩම් ලබාදිය යුතු බවට රජු නියෝග කළ බවත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් සඳහන් කර තිබේ.

මෙසේ සියුම් රෙදිපිළි සඳහා ලංකාවට ගෙන්වා ගත් සලාගම කුලයේ ආදිතමයන් හත්දෙනාටද ගම්බිම් හා තාන්නමාන්නද භාර්යාවන්ද සලසා දුන් බව සඳහන් වෙතත් පසුකලකදී මොවුන්ගෙන් පැවත එන්නන් උඩරට රජුගේ උදහසට හේතුවීම නිසා ඔවුන් ජීවත් වූ මැදරටින් ඉවත් කොට නිරිතදිග වෙරළෙහි පදිංචිවීමට බලකරන ලද බවත් සියුම් රෙදිපිළි විවීමේ කර්මාන්තයෙන්ද ඔවුන් ඉවත් කොට රජුගේ ගබඩා ඉඩම්වල කුරුඳු තලන්නන් බවට පත් කළ බවත් ආනන්ද කුමාරස්වාමි සඳහන් කර තිබේ. එහෙත් ඔවුන් රජුගේ උදහසට හේතුවූයේ කවර හේතුවක් නිසාද යන්න හෝ එසේ කළ උඩරට රජු කවුද යන්න සඳහන් වන්නේ නැත.

පෘතුගීසි කාලයේ සිට
ලෝනා දේවරාජාට අනුව පෘතුගීසීන් ලංකාවට පැමිණෙන අවස්ථාව වනවිට පුත්තලම, මග්ගොන, පයාගල, අලුත්ගම, බෙන්තොට, ගාල්ල, වැලිගම සහ මාතර යන ප්‍රදේශවල මුස්ලිම් ජනාවාස ගොඩනැගී තිබුණි. කොළඹ මුස්ලිම්වරුන් සංකේන්ද්‍රණය වී සිට ඇත්තේ පසුකලක අලුත් යෝන් වීදිය හා පරණ යෝන් වීදිය වශයෙන් නම්වූ කලාපයේය.

පෘතුගීසීන්ගෙන් වැඩියෙන්ම බැටකන්නන් බවට පත්වූයේ මුස්ලිම්වරුන්ය. පෘතුගීසීන් නිසා මුස්ලිම්වරුන්ට තිබුණු වෙළෙඳ ඒකාධිකාරය අහිමි විය. ඒ නිසා මුස්ලිම්වරුන් තුළ පෘතුගීසීන් කෙරෙහි වෙනත් අයට නැති තරමේ වන විශාල කෝපයක් තිබුණි. පෘතුග ීසීන්ට පළමුවෙන් පහර දෙන තැනකට ගියේද කොළඹ මුස්ලිම්වරුන්ය. පෘතුගීසීන් මුස්ලිම්වරුන් කොළඹින් පලවා හැරීමෙන් පසු ඔවුන්ට සීතාවක රාජධානියේ සරණ සොයා යෑමට සිදුවිය. මුස්ලිම්වරුන් සීතාවක රජුගේ හමුදාවට එකතු වී පෘතුගීසීන්ට එරෙහිව යුද්ධ කළේය. සියවසකටත් අධික කාලයක් පෘතුගීසීන්ට එරෙහිව බලවත් යුද්ධ ව්‍යාපාරයක් ගෙන ගිය සීතාවක රාජධානියේ බිඳ වැටීමෙන් පසු එහි සිටි මුස්ලිම්වරුන්ට ආරක්ෂාව සඳහා උඩරට රාජධානියට යන්නට සිදුවිය. ඔවුන්ගේ පැමිණීම මහනුවර රජුගේ සතුටට හේතුවූ අතර එසේ පැමිණි අයගෙන් 4000ක කණ්ඩායමක් සෙනරත් රජු විසින් මඩකළපුවේ පදිංචි කරවන ලදි. ඒ මගින් ඔවුන් ආරක්ෂක අවශ්‍යතාවන් සඳහා යොදා ගන්නවාට අතිරේකව උඩරට රාජ්‍ය පෘතුග ීසීන්ට එරෙහිව පවත්වාගෙන ගිය යුද ව්‍යාපාරය සඳහා අවශ්‍ය ආහාර ඔවුන් ලවා නිපදවා ගැනීම එම රජුගේ අපේක්ෂාව විය. මෙසේ කලක් වෙළෙඳාමට පමණක් සීමාවී සිටි මුස්ලිම් එහි යවන ලද මුස්ලිම් ජනතාව දක්ෂ වී ගොවීන් බවට පත්වූහ. පසුකලක නැගෙනහිර ප්‍රදේශයේ ලොකු මුස්ලිම් ජනගහනයක් ඇති කිරීමට මහනුවර රජුගේ එම වැඩපිළිවෙළ හේතුවිය.

උඩරට පදිංචියට ගිය මුස්ලිම් මිනිසුන් සම්බන්ධ කර තිබුණේ මඩිහේ හෙවත් ප්‍රවාහන කාර්යාංශයටය. එම කාර්යාංශය සමන්විත වූයේ ධීවර කුලයේ මිනිසුන්ගෙන් හා මුස්ලිම් මිනිසුන්ගෙනි. ඔවුන් ප්‍රවාහන කාර්යයට සම්බන්ධ කරගන්නට ඇත්තේ ඔවුන්ට තවලම් ගොනුන් සිටීම නිසාය. රැල්ෆ් පීරිස්ට අනුව උඩරට ජීවත් වූ මුස්ලිම් මිනිසුන්ට සිංහල කුල ක්‍රමයට සම්බන්ධ කුලයන් බවට පත්වීමට නොහැකි වූයේ ඔවුන් ඔවුන්ගේ ආගම අත්නොහැරීම නිසාය. සිංහල සමාජයට එකතු වූ දකුණු ඉන්දියාවෙන් පැමිණි වෙනත් සමහර සංක්‍රමණික කණ්ඩායම් සේ උඩරට ජීවත් වූ මුස්ලිම්වරුන්ටද බුද්ධාගම වැලඳ ගන්නේ නම් ඔවුන්ටද කුලයක් ලැබී ඔවුන් සිංහලයන් බවට පත්වන්නට ඉඩ තිබුණි.

 උඩරට සමාජයේ මුස්ලිම්වරුන් සිංහලයන් සේ ම විහාර දේවාලගම්වල නිල පංගුකාරයන් ලෙසද සේවය කළේය. විහාර ඉඩම්වල ජීවත් වන මුස්ලිම්වරුන් විහාරයට අදාළ රාජකාරි සේවාවල නිරත විය. කුරුණෑගල රිදී විහාරයට පූජා කළ ගම්වර හතක් තිබුණු අතර එයින් එකක් වූ රඹුකන්දන මුළුමනින් මුස්ලිම් ගමක් බවට පත්ව තිබුණි. එහි විසූ එක් එක් මුස්ලිම්වරුන් විහාරයට කළ යුතු රාජකාරි සේවා රාජකාරි ලේඛනයේ සඳහන් වේ. ඒ රාජකාරි අතර ධාන්‍ය ප්‍රවාහනය කිරීම, විහාර භූමිය අලංකාර කිරීම සඳහා සුදු වැලි ගෙන ඒම, පොල් සහ කරවල සැපයීම හා සුළු සුළු මුදල් ගෙවීම් ඇතුළත්ය.

රිදී විහාරය එහි වෙසෙන මුස්ලිම්වරුන්ට මුස්ලිම් පල්ලියක් ඉදිකර ගැනීම සඳහා විහාරගමෙන් ඉඩමක් ලබාදී ඊට අතිරේකව පල්ලියේ පූජකයාගේ නඩත්තුව පිණිසද ඉඩම් කොටසක් වෙන්කර දී තිබුණි. අදත් ඒ මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙහි දැකිය හැකිය. ලෝනා දේවරාජාට අනුව පංගොල්ලමඩ මුස්ලිම් පල්ලිය ඉදිකර ඇත්තේ දෙගල්දෝරුව විහාරයට අයත් ඉඩමකය. මහනුවර කටු පල්ලිය හා මීරාමක්කම් පල්ලිය ඉදිකර තිබෙන්නේ උඩරට රජවරුන් විසින් තෑගි කර දෙන ලද ඉඩම්වලය. ඇයට අනුව කටු පල්ලිය ගෘහ නිර්මාණ ශිල්පය අතින් දළදා මාලිගාවේ මඟුල් මඩුවට සමාන වන අතර එහි තිබෙන කැටයම් කළ දැව කණු ඇම්බැක්කේ දේවාලයේ ඇති දැව කණුවලට සමානය.

මේ සියලු කරුණු අනුව පෙනීයන්නේ ලංකාවේ උතුරේ දෙමළ ජනතාවට සේ ම මුස්ලිම් ජනයාටද මේ රට තම ජන්ම භූමිය ලෙස සැලකීමට හැම අයිතියක්ම තිබෙන දේශීය ජන වර්ග දෙකක් වන බවය. මේ තුන් පිරිස මිශ්‍රවී තිබෙන තරම පෙන්නුම් කරන ජාන අධ්‍යයන තුනක් ඇතත් ඒ ගැන මේ අවස්ථාවේදී කතා කරන්නට අපේක්ෂා නොකරමි. මේ තුන් වර්ගය කොතරම් මිශ්‍රද කියතොත් ජාන අනුව නම් සිංහලයා කව්ද, දමිළයා කව්ද, මුසල්මානුවා කව්ද කියා වෙන් කොට හඳුනාගත නොහැකිය.■