රාවය

ඉල්ලන්නේ සිසු බිල්ලක් ද?

ඉල්ලන්නේ සිසු බිල්ලක් ද?

ඇත්ත. උද්ඝෝෂණවලට එරෙහි ව අධිකරණ නියෝග ගැනීම රාජපක්‍ෂ ආණ්ඩුවේ මර්දන උපක්‍රමයකි. දැන් මේ ආණ්ඩුව ද එය ම කරයි. එය වැරදිවා පමණක් නොව, දැන් විකාරයක් බවටත් පත් ව තිබේ. විරෝධතාකරුවන් විසින් නොසැලකෙන අධිකරණ නියෝග දිගින් දිගට ම දීමෙන් හා ගැනීමෙන් අවසානයේ අවමානයට පාත්‍ර වන්නේ අධිකරණයත් පොලිසියත් ය. පොලිසිය ඉල්ලන ඉල්ලන පළියට අධිකරණ නියෝග දෙන්නට නම් විනිසුරුවරුන් සිටිය යුතු නැත. ඒ නිසා, උද්ඝෝෂණවලට එරෙහි ව අධිකරණ නියෝග ගැනීමේ හා දීමේ මර්දන පිළිවෙත මෙන් ම විකාරය ද ආණ්ඩුව නැවැත්විය යුතු ය.

ඒ අතර, සයිටම් ප්‍රශ්නය කෙළවර කර ගන්නට යන්නේ ජීවිතයක් හෝ දෙකක් හෝ බිලි අරගෙන ද යන තිත්ත ප්‍රශ්නය ඇසිය යුතු ව තිබේ. දැන් විශ්වවිiාල ශිෂ්‍ය සංගම්, ඔවුන්ගේ දෙමාපිය සංගම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ඔවුන් සමඟ එක පෙරමුණක සිටින දේශපාලන පක්‍ෂ සියල්ලක් ම පාහේ වැඩ කරමින් සිටින්නේ කවන්ධයක ස්වරූපයෙනි. තමන් ගන්නා පියවරවල හොඳ හා නරක ප්‍රතිඵල මැන බැලීමේ ඉස්පාසුව දැන් ඔවුන්ගෙන් ගිලිහී යමින් තිබෙන බව පෙනෙයි.

උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම මානව අයිතියකි. ලංකාවේ දී එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරන ලද මූලික අයිතියකි. එක පැත්තකින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇතුළත් වන විට අනෙක් පැත්තෙන් සාමකාමී ව රැස්වීමේ අයිතියට ද ඇතුළත් වන අංගයකි.

එහෙත්, කතාව එතැනින් ඉවර නැත. මේ අයිතිවාසිකම් දෙක ම සීමා රහිත අයිතිවාසිකම් නොවේ. එනම්, එම අයිතිවාසිකම්වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම පනවන ලද සීමා තිබේ. සරල නිදසුනක් දක්වන්නේ නම්, සාමකාමී ව ආරම්භ වන රැස්වීමක සිටින පිරිසක්, එම රැස්වීමේ ම කොටසක් ලෙස පසු ව රටේ පොදු දේපළ විනාශ කරන්නන් පිරිසක් බවට පත්වුවහොත්, සාමකාමී ව රැස්වීමේ අයිතියේ ආරක්‍ෂාව ඔවුනට නොලැබෙයි. අනෙක් අතට, එලෙස නීතිය කඩන්නවුන්ට එරෙහි ව නීතියේ පාලනය පිහිටුවීම සඳහා පියවර ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඉඩ ලැබෙයි. එහෙත්, උද්ඝෝෂණ අයිතිය ගැන කතා කරන බොහෝ දෙනෙකු ඒ අයිතියේ සීමා ගැන සැලකිලිමත් වීම වුවමනාවෙන් ම අත හැර දමා ඇති බව පෙනෙයි. රටේ නීතිය කඩා කරන විනාශයන්, සාමකාමී ව උද්ඝෝෂණ කිරීමේ අයිතිය තුළට වැටෙන්නේ නැත. ඒ නිසා එවැනි විනාශයන් කර, ඉන් ඇති වන ප්‍රතිඵලය ‘උද්ඝෝෂණ මර්දනය කිරීම, විරෝධය දැක්වීමට ඇති අයිතිය මර්දනය කිරීම’ වැනි වාගාලංකාරවලින් වසාගන්නට යෑම වූකලි පරණ පන්නයේ භාවිතාවකි. ශිෂ්‍ය අරගල නාමයෙන් දැනටමත් ගිනිකණ වට්ටවා තිබෙන සරසවි ශිෂ්‍යයන් හෝ උද්වේගකාරී ක්‍රියාකාරිකයන් හෝ ඒ වචනවලින් සතුටට පත් කළ හැකි නමුත්, සාධාරණ මනසක් ඇතියවුන් නම් ඒවා පිළි නොගන්නා බව තේරුම් ගත යුතු ය.

අප සිටින්නේ 70 දශකයේ හෝ 80 දශකයේ හෝ නොවේ. ඒ දශකවල සිදුවූ, කවුරු කවුරුත් වගකිව යුතු විනාශයන්වල අත්දැකීම් අතේ ඇති ව ය. ඒ කාලයේ සියලු පාර්ශ්වයන් ගත් උද්වේගකාරී, අදූරදර්ශී සහ අත්තනෝමතික තීන්දු තීරණ නිසා විනාශ වූ ජීවිත මෙන් ම රටේ දේපළ ද සුළුපටු නොවේ. ඒ විනාශයේ වගකීමෙන් මිදෙන්නට ශිෂ්‍ය ව්‍යාපාරයටවත්, වාමාංශික දේශපාලන පක්‍ෂවලටවත්, ඒ ඒ කාලවල තිබුණු ආණ්ඩුවලටවත් නොහැකි ය. ඒ විනාශයන් ගැන ස්වයං විවේචන කිරීම පසෙක තිබියේ වා, අඩු ගණනේ එවැනි තත්ත්වයන් නැවත ඇති නොවීමටවත් වග බලා ගත යුතු නොවේ ද? තමන්ගේ දේශපාලන ඉතිහාසයෙන් උගත් පාඩම් අලුත් සටන්කාමී පරම්පරාවටත් කියා දිය යුතු නොවේ ද? විරෝධතා දැක්වීම අයිතිවාසිකමක් වන නමුත්, අත්තනෝමතික විරෝධතාවල දී වැටෙන්නට ඉඩ තිබෙන වළවල් ගැන ඔවුන් දැනුවත් කළ යුතු නොවේ ද? කමිසය ගලවා පොලිසියට පපුව පෑම වැනි ළාමක හැසිරීම්වල සිට රජයේ ආයතනවලට කඩා පැන විනාශ කිරීම දක්වා වූ දේ සමාන වන්නේ කවන්ධයක හැසිරීම්වලට බව කියා දිය යුතු නොවේ ද?
මේ ඥානය ශිෂ්‍ය ව්‍යාපාරයටත්, අනෙක් උද්වේගකාරීන්ටත් ලබාදෙන්නේ කවු ද? කිසිවෙක් නැත. ඒ වෙනුවට සියල්ලන් ම තක්සේරු කරන්නේ මේ රැල්ල හරහා තමන්ට ලැබෙන දේශපාලන වාසිය පමණකි.■