රාවය

ආණ්ඩුව ඇනහිටලාද?

ආණ්ඩුව ඇනහිටලාද?

මහාචාර්ය රොහාන් සමරජීව

බලයට පත්වී වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් ආර්ථික අතින් ප්‍රගතියක් වාර්තා කිරීමට වර්තමාන ආණ්ඩුවට නොහැකිවීම වටහාගත නොහැකි කරුණකි. මා ආණ්ඩුවේ ධුර කාලය වසර දෙකකට ආසන්න ලෙස සඳහන් කළේ ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව ප්‍රකාශයට පත් කළ ඇදි ඇදී ගිය දින සියයේ වැඩසටහනේ මූලික අවධානය යොමුවූයේ ව්‍යවස්ථා සංශෝධන වෙත බැවිනි.

හෙමින් හෙමින්
ආර්ථික අංශයෙන් ආණ්ඩුව මෙතෙක් ලබා ගැනීමට සමත් වූ ප්‍රධානතම ජයග්‍රහණය වූ ජීඑස්පීප්ලස් පහසුකම යටතේ යුරෝපා සංගමයේ රටවලට බදු රහිතව අපනයනය කිරීමේ අවස්ථාව ලබා ගැනීමේ ගෞරවය විදේශ අමාත්‍යාංශයට හිමි වේ. මෙයින් පැන නගින අවස්ථාවන් පිළිබඳව හරිහැටි වටහා ගත් සමහර අපනයනකරුවෝ සිය භාණ්ඩ නිෂ්පාදනයන්ගේ ධාරිතාව වැඩි කර එම අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ලබා ගැනීමට සැරසෙති. එහෙත් මේ සම්බන්ධයෙන්වූ සන්නිවේදනයන් අපැහැදිලි වූ හෙයින් අපනයනකරුවන් සියලුදෙනා තුළම එවැනි සූදානමක් නැත. එහෙයින්, අපනයන ආදායම ඉහළ යාම හරහා ජීඑස්පීප්ලස් සහනයේ ප්‍රතිඵල පෙනෙන්නට තව මාස කිහිපයක් ගතවනු ඇත.

රටේ අපනයන ප්‍රමාණාත්මකව ඉහළ නැංවීම සහ විවිධාංගීකරණය ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක තත්ත්වයට ළඟාවීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගයේ අතිශය වැදගත් කොටස් දෙකකි. ජනතාවට ඇඟට දැනෙන සංවර්ධනයක් ලබාදීමට අපනයන වර්ධනය අත්‍යවශ්‍ය කොන්දේසියකි.

1990-91 සංගණනයට අනුව රටේ සාමාන්‍ය කුටුම්බයක් සිය ආදායමින් සියයට 60.9ක් ආහාර සඳහා වැය කළේය. දැනට පවතින අලුත්ම කුටුම්බ ආදායම් වියදම් සංගණනයට අනුව මෙම ප්‍රතිශතය සියයට 37.8ක් දක්වා පහළ බැස තිබේ. රටක ජනතාව ක්‍රමයෙන් ධනවත් බවට පත්වන විට, ඔවුහු සිය ආදායමින් ආහාරවලට වැය කරනවාට වඩා වැඩි කොටසක් සිය අභිමතයට අනුව වෙනත් (අභිමත භාණ්ඩ) කාර්යයන් සඳහා වැයකරති. ඔවුහු සිය ප්‍රවාහන අවශතාවන් සඳහා, වන්දනා ගමන් යෑමට සහ වෙනත් විනෝදජනක කටයුතු සඳහා, සිය වෛද්‍ය ප්‍රතිකාර සහ රූපලාවන්‍ය කටයුතු සඳහා වැඩි වැඩියෙන් වැය කිරීමට පෙළඹෙති. පරිභෝජනය කරන ආහාර වුවත් පිෂ්ඨය අඩංගු ආහාර අඩුකර ප්‍රෝටීන් අඩංගු ආහාර වැඩි කිරීමේ ප්‍රවනතාවක් දක්වති. ඌන සංවර්ධිත නිෂ්පාදන කර්මාන්ත ඇති කුඩා ආර්ථිකයක මෙවැනි තත්වයන් තුළ ආනයනිත භාණ්ඩවලට පවතින ඉල්ලු‍ම ඉහළ යයි. ජනතාවගේ අතමිට සරු වන විට ආනයනිත භාණ්ඩ පරිභෝජනය අනිවාර්යයෙන් වැඩි වනු ඇත.

ඡන්දය ලබා ගැනීම සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම්, මහපොළ දීමනා සහ සමෘද්ධි දීමනා ඉහළ නැංවීම් වැනි දෑ නිසා සිදුවූ ඉල්ලු‍මේ උත්තේජනය නිසා ආනයනිත භාණ්ඩ පරිභෝජනය ඉහළ නැංවී තිබේ. උදාහරණයක් ලෙස 2016 වර්ෂයේ දී මාර්ගයේ ධාවනය වූ මෝටර්/වෑන් රථ සෑම හතකටම එකක් 2015 වර්ෂයේ දී ලියාපදිංචි කරනු ලැබූ ඒවා ය; එසේම, 2016 වර්ෂයේ දී මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථ සහ මෝටර් සයිකල් සංඛ්‍යාවෙන් සෑම දහයකින් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ ඉන් පෙර වසරේ ය. මේ සියල්ලක්ම සේම ඒවාට අවශ්‍ය අමතර කොටස් සහ උපාංග මෙන්ම ලිහිසි ද්‍රව්‍ය සහ ඉන්ධන ද වෙනත් රටකින් ආනයනය කරන ලද බව අමුතුවෙන් කිවයුතු නැත.

අපේ රටේ ජනතාවගේ සිහින සැබෑවනු දැක්ම ප්‍රීතියට කරුණකි. සංවර්ධනය ලෙසින් අදහස් කරන්නේද එයයි. එහෙත් ගැටලුව නම්, අප විසින් ආනයනය කරනු ලබන භාණ්ඩ/ද්‍රව්‍යවල වටිනාකමට සරිලන වටිනාකමක භාණ්ඩ සහ සේවා අපනයනයක් මෙරටින් සිදු නොවීමයි. මේ හේතුව නිසා අනිවාර්යයෙන්ම රටේ ව්‍යවහාර මුදලේ වටිනාකම පහළ වැටේ. ඉහත දක්වන ලද කරුණු සහ සිය මූල්‍ය කටයුතු නිසි සේ කළමනාකරණය කිරීමට ආණ්ඩුව දක්වන අසමත්කම (මැතිවරණවලදී ජනතාවට ලබාදෙන ලද අල්ලස් හේතුවෙන් 2015 වර්ෂයේ දී භාණ්ඩ සඳහා වන ඉල්ලු‍මෙහි ක්ෂණික නැග්මක් වාර්තා වූ බව ඔබට මතක ඇත.) රටේ උද්ධමනයෙහි වැඩිවීමක් සිදුවීමට බොහෝ ඉඩ තිබේ.

එවිට, ජනතාව විසින් පරිභෝජනයට හුරුවූ අභිමත භාණ්ඩවල මිල ඉහළ යනු ඇත. මෙතෙක් මිල දී නොගත් භාණ්ඩ මිල දී ගැනීමට හෝ කාර්යයන් සිදු කිරීමට ලැබීම පිළිබඳ ප්‍රීතියට පත්ව සිටි ඡන්දදායකයා එම භාණ්ඩවල මිල ඉහළ යෑම නිසා අසතුටට පත්වනු ඇත. මේ කාලය තුළ මැතිවරණයක් පවත්වන ලදහොත්, රටේ පොදු සම්පත් භාවිත කරමින් ජනතාවට තව අල්ලස් වටයක් ලබාදීමට සහ/හෝ බලහත්කාරයෙන් ඡන්ද ලබාගැනීමට කටයුතු කිරීමට අසමත් වුවහොත් පාලක පක්ෂය බලයෙන් විසිකර හැරීමට ඉඩ තිබේ. එහෙත්, ස්වාධීන කොමිෂන් සභා සහ තොරතුරු ලබාගැනීමේ අයිතිය වැනි රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ හේතුවෙන් මේ ආකාර දුෂිත ක්‍රියා සිදුකිරීම දැන් අතීතයේ දී තරම් පහසු කටයුත්තක් නොවනු ඇත.

මේ ගැටලුව පිළිබඳව ජාතික ආණ්ඩුවේ නායකයන්ට අවබෝධයක් තිබේද? සත්‍ය වශයෙන්ම ඔවුන්ට මේ පිළිබඳව අවබෝධයක් තිබේ. උපදේශකයන් බඳවාගැනීමෙන් සහ ඔවුන් ලවා වාර්තා ලියවීමෙන් බාහිරව, පැහැදිලිව පෙනෙන ප්‍රමාණයකින් අපනයන ඉහළ නංවා ගැනීම සඳහා ඔවුන් විසින් අන් යමක් සිදුකර තිබේද? මෙතෙක් පෙනෙන්නට නැත. අපට කළ හැක්කේ නුදුරු අනාගතයේදීවත් මේ අංශයෙන් කැපී පෙනෙන ප්‍රතිඵලයක් දකින්නට ලැබෙනු ඇතැයි අපේක්ෂා කිරීම පමණකි.

ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කෝ?
යටිතල පහසුකම් සේවා ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ආර්ථිකයට උත්තේජනයක් දීම ආණ්ඩුවට සිදුකළ හැකි තවත් කටයුත්තකි. උදාහරණයක් ලෙස, 1990 ගණන්වලදී කොළඹ වරායේ කාර්යක්ෂමතාව පහළ වැටෙන්නට පටන්ගෙන තිබිණි. සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් නමින් යුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය හරහා තරඟකාරිත්වය මෙන්ම පෞද්ගලික අංශයේ සහභාගිත්වයද හඳුන්වාදීම මගින් කොළඹ වරාය යළි පණගැන්වීමට හැකි විය. ගැඹුරු දිය දකුණු වරාය සම්පූර්ණ කර ක්‍ෂක්‍ඔ බහාලු‍ම් පර්යන්තය නමැති දෙවන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය හඳුන්වා දීමෙන් ඊළඟ දශකය තුළ වරායේ කටයුතු වඩාත් සාර්ථක තත්ත්වයට නංවා ගත හැකි විය.
මෙම හවුල්කාරිත්වයන් හරහා ආර්ථික වශයෙන් ලැබුණු වාසි තුනකි. පළමුවැන්න, අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන්ට මෙන් වරාය අධිකාරිය පවත්වා ගෙනයෑම සඳහා භාණ්ඩාගාරයෙන් බදු ගෙවන ජනතාවගේ මුදල් යෙදවිය යුතු නැත. දෙවැන්න, පර්යන්ත මෙහෙයුම්කාර ආයතන තුන නිසා ප්‍රතිනැව්ගත කරන බහලු‍ම් ප්‍රමාණය ඉහළයෑම යනු සේවා අපනයනය ඉහළයෑමකි. පර්යන්ත මෙහෙයුම්කාර ආයතනවල කාර්යක්ෂමතාව නිසා මෙහෙයවන බහාලු‍ම් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන්, මග නොනැවතී ප්‍රධාන වෙළෙඳපොළවලට ගමන් කරන විශාල නැව් වරාය වෙත ඇදීඑන්නට පටන් ගත්තේය. මේ තුන් වන කරුණ නිසා සිය නිෂ්පාදන කෙටි කාලයක් තුළ අඩු පිරිවැයකින් වෙළඳපළ වෙත යැවීමේ හැකියාව තුළින් ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට වාසියක් උදා විය.

සමස්ත ආර්ථිකයටම ප්‍රතිලාභ ගෙනදෙන එවැනි ප්‍රතිසංස්කරණ කිසියම් අංශයක් සඳහා හඳුන්වා දීමට පසුගිය දෙවසර තුළ කටයුතු කර තිබේද? ඒ ආකාර වූ ප්‍රතිසංස්කරණ කිසිවක් සඳහා මුල පුරා තිබේද? එවැනි පියවර ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. එම කටයුත්ත සඳහාම වෙන්වූ අමාත්‍යාංශයක් නිර්මාණය කිරීම හැර, අවම වශයෙන්, සදාකාලිකවම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන්ගේ බරින් මේ රටේ බදු ගෙවන ජනතාව නිදහස් කරන්නට අවශ්‍ය පියවරක් හෝ ගෙන තිබේ ද? නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය වතාවේ අගමැති ධුරය දැරූ අවස්ථාවේදී එම ආණ්ඩුවේ පළමුවන වසර දෙක තුළ ඒ ආකාර වූ යටිතල පහසුකම් රාශියක ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කරනු ලැබිණි (එවක සිටි ජනාධිපතිවරිය ඔවුනට ආණ්ඩු කරන්නට දුන් කාලය එපමණකි). ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස්වල මූලික මහජන නිකුතුව සාර්ථකව නිමා කර එම ආයතනය තුළ රජයේ හිමිකාරිත්වය සියයට 50ට අඩු තත්ත්වයකට ගෙනඑනු ලැබීම, ජාත්‍යන්තර විදුලි සංදේශ සේවා වෙළඳපළ තරගකාරී එකක් කිරීම, ඉන්ධන බෙදාහැරීමේ වෙළඳපළට තරගකාරිත්වය හඳුන්වා දීම සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා වෙළඳපලේ ඒකාධිකාරය අවසන් කිරීම ආදිය එම කාලය තුළ සිදුකරනු ලැබිණි.

එහෙත්, හදිසි මැතිවරණය කැඳවන අවස්ථාව වන විට මේ ප්‍රතිසංස්කරණයන්ගේ ප්‍රතිඵල ලැබීම ආරම්භ වී නොතිබිණි. උදාහරණයක් ලෙස, එම ආණ්ඩුව විසින් හඳුන්වා දුන් එක් නව අංශයක් වන ව්‍යාපාර කාර්යාවලී බහිර්පණ (ඊඡධ) හරහා නව රැකියා අවස්ථා නිර්මාණය වීම සහ සේවා අපනයනය විශාල වශයෙන් ඉහළ යෑම ආරම්භ වූයේ ඒ සඳහා මූලික වූ පුද්ගලයන් විපක්ෂයට තල්ලු‍ වී ගිය පසුව 2006 වර්ෂයේදී පමණය. එහෙත් එම ප්‍රතිසංස්කරණ හේතුවෙන් උත්පාදනය කරන ලද දහස් ගණන් රැකියාවල සහ මිලියන ගණන්වල අපනයනයන්ගේ වාසිය නිරන්තරව ලක් ආර්ථිකයට ලැබෙන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදයට විය හැකි දේ
එසේ නම්, ඒ අගමැතිවරයා යටතේම මෙවර පවතින ආණ්ඩුව උදාසීන/අකාර්යක්ෂම එකක් වූයේ කෙසේද?
මෙයට හේතුව, අපේ රටේ ඡන්දදායක ජනතාවගේ මතකය ඉතා කෙටි එකක් වන හෙයින් හරියටම 2020 මහ මැතිවරණයට ආසන්නව ජනතාවට මතක හිටින කාලයක ප්‍රතිඵල පෙන්වන පස්අවුරුදු සැලැස්මක් ඇතිව අගමැතිවරයා කටයුතු කිරීමද?

එසේත් නැතහොත්, නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ කාර්යය සහ සන්ධානයක් තුළ සාමය පවත්වාගෙන යෑමේ කටයුතුවලට අගමැතිවරයාගේ අවධානය යොමුවී තිබෙන නිසාද? එහෙත්, 2002 වර්ෂයේදී, ප්‍රභාකරන් සමඟ සාම සාකච්ඡා සඳහා අවධානය යොමු කරන්නට අගමැතිවරයාට සිදුවී තිබූ බවද මතක තබා ගත යුතු කරුණකි.
එසේ නම්, සිදුවී ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණය අතිශයින් දුර්වල කරනු ලැබ ඇති හෙයින් නිසි පරිදි ක්‍රියා කිරීමේ ශක්තිය එයට නොමැති වීමද? වෙන්කළ ප්‍රතිපාදන වියදම් කර ගන්නට බැරුව දඟලන අමාත්‍යාංශ ගැන අසන විට මෙය සාධකයක් විය හැකැ’යි නොසිතෙන්නේ නොවේ.

එසේත් නැතිනම්, ප්‍රතිඵල අත් කර දිය හැකි ආකාරයේ කණ්ඩායමක් එකතු කර ගැනීමට මේ ආණ්ඩුවට ඇති නොහැකියාවද?
අපට ඉතිරිව ඇත්තේ, ආණ්ඩුව සිය ධුර කාලයේ අතරමැදදී හෝ කාර්යසාධනයේ අඩුපාඩු නිවැරදි කරගෙන ඊළඟ මැතිවරණයට පෙර ප්‍රතිඵල පෙන්වනු ඇතැයි අපේක්ෂා කිරීම පමණකි. එසේ නැතහොත්, ‘අපට පැහැදිලි ප්‍රතිලාභයක් ලබා නොදෙන මේ විකාර ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපට කම් නැත, අපි දැන් ගොස් අපට රජෙකු සොයා ගනිමුයැ’යි කියා ජනතාව සිය පුරුදු වැඩවසම් ක්‍රමයට නැවත යන්නට ඉඩ තිබේ.■