විජේදාස රනිල්ගේ පක්‍ෂයේ නෙවෙයිද?


jana

කේ ඩබ්ලිව් ජනරංජන

පැනනගින වැදගත්ම ප්‍රශ්නය නම් විජේදාස රාජපක්‍ෂ ඇමතිවරයාගේ වැඩ ගැන එජාපයටවත්, එහි නායක රනිල් වික්‍රමසිංහටවත් ලජ්ජාවක්, අපුලක් නැද්ද යන්නයි.

ලක්‍ෂාන් ඩයස් නම් නීතිඥවරයා ලංකාවේ ආගමික සහජීවනය, සුළු ජාතික හා ආගමික අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය හා මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ කර තිබෙන දායකත්වය අගමැති රනිල් නොදැන සිටින්නට විදියක් නැත. නොදැන සිටිනවා නම් ඔහු වටා සිටින බුද්ධිමතුන් අගමැතිවරයාට ඒ ගැන කියාදිය යුතුය. ක්‍රිස්තියානි හා වෙනත් සුළුතර නිකායික හා මුස්ලිම් ආගමික ස්ථාන හා පුද්ගල දේපලවලට පසුගිය කාලයේ කරන ලද පහරදීම් ගැන මනා අවබෝධයක් අගමැති වික්‍රමසිංහට තිබෙන බව අලුතෙන් කිව යුතු නැත. ලක්‍ෂාන් ඩයස් යනු ඒ අසාධාරණකම්වලදී එක පැත්තකින් සමාජ ක්‍රියාකාරිකයකු වශයෙන්ද, තව පැත්තකින් මහජන අර්ථසාධක නීතිඥවරයකු වශයෙන්ද මහත් කැපවීමක් පෙන්නුම් කළ කෙනෙකි. භික්‍ෂූන් වහන්සේලාගේද දායකත්වය ඇතිව ඇතැම් තැන්වල ආගමික ස්ථානවලට කරන ලද පහරදීම් සම්බන්ධයෙන් ඒ ඒ පොලිස් ස්ථාන පැමිණිල්ලක්වත් ලියානොගන්නා විටදී, පිළිසරණක් නැති ඒ ආන්තික කණ්ඩායම් වෙනුවෙන්, නීති ආධාර සපයමින්, ඔවුන් වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන සහනයක් ලබාදීම දක්වා ඉදිරියෙන් සිටි පුද්ගලයෙකි. මේ සම්බන්ධයෙන් පවරා ඇති සමහර නඩුවලදී අධිකරණය විසින් භික්‍ෂූන් වරදකරුවන් කරනු ලැබ ඇති බවද මතක තබා ගත යුතුය.

දැන් විජේදාස රාජපක්‍ෂ මහතා කලබල වී සිටින්නේ ලක්‍ෂාන් ඩයස් මහතා දෙරණ රූපවාහිනියේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි. පසුගිය සතියේ මනුවර්ණද පැහැදිලි කර ඇති පරිදි එම රූපවාහිනී සාකච්ඡාවේ සන්දර්භය තුළ ඒ ඒ සිදුවීම් එකින් එක ගැන කතාකරන්නට අවකාශයක් නොවීය. එහෙත්, ලක්‍ෂාන් ඩයස් සිය ප්‍රකාශයට පදනම් කරගත්තේ 1952 සිට ලංකාවේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සන්ධානය ^National Christian Evangelical
Alliance of Sri Lanka) විසින් 2017 මැයි මාසයේ නිකුත්කරන ලද සාරාංශ වාර්තාවකි. ඒ සාකච්ඡාවේදී පැනනැගුණු සවිස්තර නැති කරුණු වැරදි ලෙස භාරගත් ජනාධිපතිවරයා, වැරදි ප්‍රකාශයක් මහනුවර විදුහලක පැවැති උත්සවයකදී කළේය. ඇමති විජේදාස රාජපක්‍ෂ ඊටත් එහා යමින්, ඒ ප්‍රකාශය පදනම්කරගෙන ලක්‍ෂාන් ඩයස් නීතිඥවරයා නීතිඥ වෘත්තියෙන් පහකරන්නට කැසකවමින් සිටියි.

ඒ අතර, පසුගිය සතියේ, ආගමික අන්තවාදයට එරෙහිව සමාජ ක්‍රියාකාරීන් 167දෙනකුගේ නම්වලින් යුක්ත ප්‍රකාශනයක් ‘ජාතිවාදය හා ආගමික අන්තවාදය එපා. එපා. එපා.’ යන හිසින් ලංකාදීප පුවත්පතේ පළවිය. ඒ සතියේ හිරු චැනලයේ වැඩසටහනකදී වැඩසටහන මෙහෙයවන්නා එම පුවත්පත පෙන්වන ලදුව, විජේදාස රාජපක්‍ෂ ඇමතිවරයා කීවේ, එහි නම් සඳහන් වන 167දෙනා වූකලි පිස්සන් කොටුවේ සිටිය යුතු, නමුත් එළිමහනේ සිටින පිරිසක් බවය. අඩු ගණනේ ඒ ලැයිස්තුවේ සිටින්නේ කවුදැයි කියාවත් ඇමතිවරයා නම්වලින් ඒ වන විට දැනසිටියේ නැත.

ඒ ලැයිස්තුවේ සිටි 167ක් වුණු නම්වලින් කිහිපයක් පමණක් මෙසේය.: පූජ්‍ය දඹර අමිල හිමි, බිෂොප් දුලිප් ඩි චිකේරා, ආචාර්ය ජයන්ත ධනපාල, චන්ද්‍රා ජයරත්න, මහාචාර්ය එච්.එල්. සෙනෙවිරත්න, මනෝරි මුත්තෙට්ටුවෙගම, ආචාර්ය ධර්මසේන පතිරාජ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සුෆ්, මහාචාර්ය අර්ජුන අලුවිහාරේ, මහාචාර්ය රිස්වි ෂෙරීෆ්, ආචාර්ය රංජනී ඔබේසේකර, මහාචාර්ය දයා සෝමසුන්දරම්, මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, නීතිඥ ලාල් විජේනායක, මහාචාර්ය කුමාර් ඬේවිඞ්, ආචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය හේමමාලී ගුණසිංහ, ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස්, රීඞ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා, මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි, මහාචාර්ය ආර්.එස්. පෙරින්බනායගම්.

‘අපේ කාලයේ ප්‍රාඥයා’ කියන ඒකවචනයෙන් තමාවම පසුගිය කාලයේ හඳුනාගත් ඇමති විජේදාස රාජපක්‍ෂ දැන් කියන්නේ, ලාංකික සමාජයේ ගෞරව බහුමානයට මෙන්ම, ලාංකිකයන් හැටියට ලෝක සම්මානයට ද පාත්‍රවූ ඉහත සඳහන් පිරිසත් පිස්සන් කොටුවේ සිටිය යුතු අය හැටියටද? එතකොට මේ බුද්ධිමතුන් පිරිසට පිස්සන් යැයි කියන ‘අපේ කාලයේ ප්‍රාඥයා’ සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේද? නැතිනම් ඔහුට ගැළපෙන වෙන කොහේවත්ද?

ඒ අතර, 28වැනි බදාදා සවස ලක්‍ෂාන් ඩයස් නීතිඥවරයාට එරෙහිව පියවරක් ගන්නා ලෙස කියමින් පැමිණිලි හතරක් භික්‍ෂූන් තිදෙනකු සහ එක් ගිහියකු විසින් අගවිනිසුරුවරයාට භාරදෙන ලදි. මේ පිරිස සමඟ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ විජේදාස රාජපක්‍ෂ ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වන නීතිඥවරයෙකි. ඊට අමතරව, ලංකාදීප පුවත්පතේ පළවූ ප්‍රකාශය රටේ ආගමික සහජීවනයට හානිකරයැයි කියමින් එම ප්‍රකාශය අත්සන් කළ 167 දෙනනාට විරුද්ධව පියවරක් ගන්නා ලෙස එක් භික්‍ෂුවක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද කළේය. ඒ භික්‍ෂුවද රාජපක්‍ෂ පිල්ලියක් බවට කිසි සැකයක් නැත. හිරු නාලිකාව ඒ භික්‍ෂුවගේ කතාවට සිය ප්‍රවෘත්තිවලදී විශේෂ තැනක් දුන්නේය.
විජේදාස රාජපක්‍ෂ ඇමතිවරයා මේ මොහොතේ ඉන්නේ එක්සත් ජාතික පක්‍ෂයේය. මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනිකව බලවත් වනු ඇතැ’යි සිතන කවර හෝ අවස්ථාවක ඔහු අන් සියල්ලන්ම පෙරලාගෙන ගොස් ඒ පැත්තේ හිටගන්නවා ඇත. එය සාධාරණීකරණය සඳහා ඕනෑ තරම් තර්කද රාජපක්‍ෂ මහතා සතුව තිබෙනු ඇත.
එහෙත්, දැන් ඔහු සිටින පක්‍ෂයේ නායකයා හැටියට අපට අගමැතිවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ.

විජේදාස රාජපක්‍ෂ මහතා ඔබ නායකත්වය දරන ‘එක්සත් ජාතික’ පක්‍ෂයේ ඇමතිවරයෙක්ද? ජනවාරි 8 වැනිදා, රාජපක්‍ෂ රෙජිමය පරාජය කර රටේ දේශපාලන වෙනසක් ඇතිකර ගැනීම සඳහා විවිධාකාරයෙන් දායක වූ ඉහත සඳහන් පිරිසද ඇතුළු 167 දෙනා, පිස්සන් ලෙස ඔබත් සලකන්නේද? නැතිනම්, ඔවුන් පිස්සන් ලෙස සලකා දොඩවන විජේදාස රාජපක්‍ෂ වැන්නකුගේ අදහස ඔබත් අනුමත කරන්නේද? අනුමත කරන්නේ නැතිනම් පක්‍ෂයේ නායකයා හැටියට ඒ ගැන යම් ක්‍රියාමාර්ගයක් ඔබට ගන්නට තිබේද? ජනවාරි 8 වැනිදා වෙනස සඳහා කතෝලිකයන්ද, ඔවුන් හැරුණු විට මුස්ලිමුන්, ක්‍රිස්තියානින් හා වෙනත් නිකායික සුළුතර ආගමික ජනතාවද එකසිතින් වෙහෙස මහන්සිවූ බව මතකද? රාජපක්‍ෂ පාලන කාලයේදී ඔවුන්ට සිදුවූ විනාශයන් ඒ කාලයේ දේශපාලන වේදිකාවලදී මෙන්ම වෙනත් සංවාද මණ්ඩපවලදීද පුන පුනා කියන ලදැ’යි මතකද? ජනවාරි 8 ජයග්‍රහණය තුළ ඒ මිනිසුන්ගේ දුක් අඳෝනාද තිබුණු බව මතකද? අද, ඒ මිනිසුන්ට ඇතිවූ හානි ගැන කතාකරන විට, ඒවා බොරුයැ’යි කියමින්, ඒවා ඉස්මතුකරන හැමදාම ජාති ආගම් අතර සංහිඳියාව වෙනුවෙන් පෙනීසිටි පුද්ගලයන් ද්‍රෝහීන්, සතුන්, පිස්සන් හැටියට හඳුන්වන, නීතිඥයන්ගේ කබාය ගලවන්නට අවලස්සණ මෙහෙයුමක නිරතවන විජේදාස රාජපක්‍ෂ වැනි පුද්ගලයකු සම්බන්ධයෙන් ගත හැකි විනය ක්‍රියාමාර්ගයක් එක්සත් ජාතික පක්‍ෂය සතුව තිබේද? විජේදාසගේ මතයේ තමාත්, පක්‍ෂයත් නොසිටින බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නට අගමැතිවරයාට හැකිද? ඒ කිසිවක් නැතිනම් ‘එක්සත් ජාතික’ පක්‍ෂයේ දේශපාලන මිනීවළ කපන්නට විජේදාස රාජපක්‍ෂට ඉඩ දෙනවාද? ■