මේ ආණ්ඩුක්‍රමයේ මූලධර්ම වෙනස් කරන්න බැහැ |පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන


mahinda-yapa

තරිඳු උඩුවරගෙදර

නව ව්‍යවස්ථාව ගැන ඔබේ කණ්ඩායම තවම ස්ථීර අදහසක් ඉදිරිපත් කරලා නැහැ. ඔබේ කණ්ඩායමේ අදහස මොකක්ද?
අපි අපේ අදහස පැහැදිලිව කියලා තියෙනවා. ව්‍යවස්ථාව හරහා පාර්ලිමේන්තුව දුර්වල කරන්න බැහැ. එහෙම වැඩපිළිවෙළකට අපි එකඟ වෙන්නේ නැහැ. බලය බෙදීමට අපි විරුද්ධ නැහැ. බලය බෙදන්න. හැබැයි පාර්ලිමේන්තුවේ ශක්තිය, පාර්ලිමේන්තුව තුළින් බිහිවෙන රජ‍යේ නායකයාගේ ශක්තිය කුමන විදියකින්වත් දුර්වල වෙන්න දෙන්නේ නැහැ. රට අස්ථාවර කරන්න දෙන්නේ නැහැ. එයාලාගේ සැලසුම තියෙන්නේ අපට ආරංචි හැටියට දුර්වල පාර්ලිමේන්තුවක් සහ ශක්තිමත් ප්‍රාදේශීය පාලනයක් හදලා රට අස්ථාවර කරන්නයි.

දැන් තියෙන්නෙත් දුර්වල පාර්ලිමේන්තුවක්. මැතිවරණ ක්‍රමයත් ශක්තිමත් ආණ්ඩු තැනෙන්නේ නැති වෙන්න හේතුවක්. ඒකත් පාර්ලිමේන්තුව දුර්වල කරනවා. අනෙක් අතට පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පුළුවන් නේද?
අපි කියන්නේ ඒ ගැන නෙවෙයි. පාර්ලිමේන්තුවට රටේ බලය හිමිවෙන්න ඕනෑ. රටම පාලනය කරන්න අවශ්‍ය වගකීම පාර්ලිමේන්තුවට ලැබෙන්න ඕනෑ. වැඩි බලය ලැබෙන්නේ මොන පක්ෂයටද කියන එකෙන් පාර්ලිමේන්තුවේ බලය වැඩි වෙන්නේ නැහැ. ජනතාව කැමති නම් එක් පක්ෂයකට වැඩි බලයක් දෙයි. අපි කියන්නේ ඒ ගැන නෙවෙයි.

ඔබේ අදහස පළාත් සභා සහ පාර්ලිමේන්තුව අතර බලය බෙදීමේදී පාර්ලිමේන්තුවට දැන් තියෙන බලතල මේ විදියටම තියෙන්න ඕනෑ කියලා නේද? ඔබේ කණ්ඩායමේ අදහස පැහැදිලිව කියන්නේ කොහොමද?
අපි කියන්නේ පාර්ලිමේන්තුව දුර්වල කරන්න එපා කියලා. පාර්ලිමේන්තුව අසරණ කරන්න එපා කියලා. ඒක තමයි අපට පැහැදිලිව තියෙන අදහස.

ඔබට අනුව පාර්ලිමේන්තුව අසරණ වෙන්නේ කොහොමද කියලායි මම අහන්නේ. දැන් ආණ්ඩුව කියලා තියෙනවා දහතුන්වැනි සංශෝධනයේ සීමාවෙන් එහාට බලය බෙදීමක් කරන්නේ නැහැ කියලා. ඒකට එකඟද?
ආණ්ඩුවට ඒකට ජනවරමක් ලැබිලා නැහැ. ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙන්නේ ජනමත විචාරණයකට නොයන සංශෝධන විතරක් කරන්න කියලායි. ඒ නිසා අපි සහාය දෙන්නේ ජනමත විචාරණයකට නොයන සංශෝධනවලට විතරයි. ජනමත විචාරණයකට යනවා කියන්නේ ආණ්ඩුක්‍රමයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමක්. ආණ්ඩුක්‍රමයේ මූලධර්ම වෙනස් කිරීමක්. මේ ආණ්ඩුක්‍රමයේ මූලධර්ම වෙනස් කරන්න බැහැ. ජනමත විචාරණයකින් පහළ වෙනස් කිරීමක් කළාට කමක් නෑ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන ඔබේ අදහස කීවේ නැහැ. අදහස මොකක්ද?
ඒක ගැන මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැනේ තවම. ඒ නිසා ඒ ගැන මොනවත් කියන්න බැහැ. ආණ්ඩුවට කෙටුම්පතක් ඉදිරිපත් කරන්න කියන්න. අපි අපේ අදහස කියන්නම්. ආණ්ඩුව තවමත් ස්ථාවරය හංගාගෙන ඉන්නේ. අනෙක් මිනිස්සුන්ගෙන් අහනවා මොනවද කරන්නේ කියලා. රජයේ වගකීම කරන්නේ මොකද කියලා කියන එකයි. ඒක කිව්වාම අපට පුළුවන් ඒ ගැන කතාකරන්න. දැන් තියෙන ප්‍රශ්නය ආණ්ඩුවට ස්ථාවරයක් තියෙනවාද කියන එකයි. ආණ්ඩුවේ එක් කණ්ඩායමකට එක් අදහසක් ඉදිරිපත් කරන්නවත් දැන් බැහැ. විවිධ පුද්ගලයන් විවිධ දේවල් කියනවා.

උමා ඔය සම්බන්ධයෙන් පහුගිය දිනවල නැවත කතාබහක් ඇතිවෙලා තියෙනවා. උමා ඔය රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ ව්‍යාපෘතියක්. ඒ ගැන අදහස මොකක්ද?
අද විරුද්ධ පක්ෂයේ ඉඳගෙන ඒ සම්බන්ධයෙන් අපට කරන්න දෙයක් නැහැ. අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒ ගැන සොයා බැලීමත් ඒ ගැන වැඩකටයුතු කිරීමත් ආණ්ඩුවේ වගකීමක්. අපට කියලා වැඩක් නෑ.

මම ඇහුවේ මේක ආරම්භ කිරීම හිටපු ආණ්ඩුව කළ අදූරදර්ශී වැඩක් නේද කියලායි. මේක පරිසර හානි පිළිබඳ වාර්තාවක් සකස් කරලා විධිමත්ව ආරම්භ කළ ව්‍යාපෘතියක් නෙවෙයි නේද?
එහෙම කියන්න බෑනේ. අපි උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේ හිතහොඳින්. රට සංවර්ධනය කරන්න. ඒකේ අඩුපාඩුවක් තියෙනවා කියලා ව්‍යාපෘතිය කරගෙන යද්දී තමයි තේරුණේ. ඔය ජල කාන්දු වෙන්නේ අපේ ආණ්ඩුවේ අන්තිම දින කිහිපයේ. 2014 දෙසැම්බර් මාසයේ. ඒ විගසම මේ ආණ්ඩුව බලයට ආවා. ඒ ප්‍රශ්නය විසඳීම පැවරුණේ මේ ආණ්ඩුවට. ආණ්ඩු බලය ගන්නවා කියන්නේ ඒ වගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමත් බාරගන්න ඕනෑ. ඒත් මේ ආණ්ඩුවට ඒක කරගන්න බැරිවුණා. අවුරුදු දෙකහමාරක් තිස්සේ තත්ත්වය දරුණුවෙන්න ඇරියා. දැන් ලොකු විනාශයක් වෙලා. ඒ ගැන මේ ආණ්ඩුව වගකියන්න ඕනෑ. අපේ ආණ්ඩුව තිබුණා නම් ඔය ප්‍රශ්නය විසඳලා.

සයිටම් ආයතනය පටන්ගත්තේ හිටපු ආණ්ඩුව කාලේ. ඒක පටන්ගත්තේ පිළිගත් ක්‍රමවේදයකින් නෙවෙයි. දැන් ආණ්ඩුව සයිටම් ප්‍රශ්නයට මුහුණදීලා නේද?
මේ ආණ්ඩුව ඒ ප්‍රශ්නය උඩුදුවන්න ඇරියා. ඒක විසඳන්න උත්සාහ කළේ නෑ. ඔවුන් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නයි උත්සාහ කළේ. දැන් ශිෂ්‍යයෝ පාරට බහින්නේ ආණ්ඩුව විසඳුම් නොදෙන හින්දා. අපේ කාලයේ සිසුන් දෙතුන් පාරක් පාරට බහිද්දී අපි විසඳුම් ගෙනාවා ප්‍රශ්නවලට. දැන් ආණ්ඩුව සාකච්ඡා කරලා විසඳුමක් හොයාගන්න ඕනෑ. සිසුන්ගේ ඔළු පලලා හරියන්නේ නෑ. අපට විසඳුම් යෝජනා කරන්න පුළුවන්. අපි කියන ඒවා කරන්නේ නෑනේ.

ඔබේ කණ්ඩායම විපක්ෂයට ගියේ විශාල දූෂණ වංචා චෝදනා විශාල ප්‍රමාණයක් එක්ක. මේ වෙද්දීත් ඒ චෝදනා ඔප්පු කරන්න ආණ්ඩුවට බැරිවෙලා. ඔබේ කණ්ඩායමට මේ ගැන තියෙන අදහස මොකක්ද?
දූෂණ චෝදනා කියලා ගෙනාවේ පට්ටපල් බොරු. ඒවා ඔප්පු කරන්න බෑ. ඕවා පදනම් විරහිත චෝදනා. ඔප්පු කරන්න පුළුවන් නම් ආණ්ඩුව මේ වෙද්දී ඔප්පු කරලා. කරගන්න බැරි නිසානේ ඔය හිරවෙලා ඉන්නේ. දේශපාලන විරෝධය හිතේ තියාගෙන ඒ අනුව එල්ල කළ චෝදනා තමයි ඒවා. ඒවා ඇත්ත කියලා බාරගත්ත ජනතාව ගැන අපි කනගාටු වෙනවා. ඒ ජනතාව දැන් තේරුම් ගනිමින් ඉන්නවා ඒ චෝදනා බොරු කියලා.

දූෂණ වුණේ නැහැ කිව්වත් අපරාධ අපේ ඇස් ඉදිරිපිට වුණා. පහරදීම්, ඝාතන, අතුරුදන් කිරීම් වුණා. ඒ චෝදනාත් පට්ටපල් බොරුද?
ඒවා වුණත් ආණ්ඩුව කළා කියන්නේ කොහොමද. ඒවා විසඳන්න එපැයි. රටේ වෙන හැම අපරාධයක්ම ආණ්ඩුව කරනවා කියන්න බෑනේ. ඒ ප්‍රශ්න ඒ වෙලාවට විසඳන්න ඕනෑ. පස්සේ මිනී ගොඩ අරගෙන වැඩක් නෑ. දේශපාලන පක්ෂයක් බලයට එන්න පවතින ආණ්ඩුවට අභූත චෝදනා එල්ල කරනවා. ඇත්තටම වෙන සිදුවීම් පාදක කරගෙන තමයි චෝදනා එල්ල කරන්නේ. ඒත් ඒවා අද වෙනකනුත් මතුපිටට අරගෙන ඔප්පු කරගන්න ඔවුන්ට බැරිවුණා. ඒක තමයි මෙයාලාගේ අසාර්ථකභාවය. ආණ්ඩුව අපට කළ චෝදනාවක්නේ බේරුවල සිද්ධිය මෙහෙයවුවා කියන එක. ඒත් අද වෙනකන් ඒ ගැන හෙව්වේ නෑනේ. එයාලා කියනවා නම් මෙතැන වැරදියි කියලා, එයාලාට පුළුවන් වෙන්න ඕනෑ මේක හොයාගන්න.

මුස්ලිම් ජනතාවට එරෙහි සංවිධාන හිටපු ආණ්ඩුවේ අනුග්‍රහය ලැබුණා කියන එක ලොකු චෝදනාවක්. අපට ඇස්වලට පේන්න සාක්ෂි තිබුණා ඒ චෝදනාව ඇත්ත කියලා පිළිගන්න. මේ ගැන අදහස මොකක්ද?
ගිය ආණ්ඩුවේ හිටපු අය මේ ආණ්ඩුවේ ඉන්නවානේ. අනික මේ ආණ්ඩු දෙකම හවුල් පක්ෂවල ආණ්ඩු. එතකොට යම්කිසි වගකීමක් රජයට එනවානම් සියලුදෙනා සමානව වගකීමෙන් බැක්‍ෂෙන්න ඕන. බොදුබල සේනාව ගැන කතාකරනවානේ. දැන් කවුරුහරි හිටපු ආණ්ඩුවේ අය එළියට දාන්න ඕන බොදුබල සේනාව හිටපු ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන එක. රාජපක්ෂ මහත්තයාටත් වඩා ඔය ජාතික සංවිධාන එක්ක හිටියේ වෙන පක්ෂනේ. රාජපක්ෂ ගැන කතාකළත් අනිත් අය ගැන කතාකරන්නේ නෑනේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක දේශපාලන පළිගැනීමක් කියලා.

ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයට වෙනම ඉදිරිපත් වෙන බව කිවා. ප්‍රාදේශීය සභාපතිවරු ඒකාබද්ධ විපක්ෂය එක්ක ඉන්නවා. එහෙත් පළාත් මහඇමතිවරු ඒකාබද්ධ විපක්ෂය එක්ක නැහැ. මුලින් පළාත් සභා මැතිවරණය ආවොත් ඔබේ කණ්ඩායම ඒකට මුහුණදෙන්නේ කොහොමද?
අපි තවමත් විශ්වාස කරනවා ඔය ඡන්දෙ එන්නෙ නෑ කියලා. ඔය බොරු කරන්නේ. අපි ඕනම වෙලාවක ඕනම මැතිවරණයකට ලෑස්තියි. ඒත් ඡන්දය තියන්න ආණ්ඩුව බයයි. ඕනෑම ගැටලු‍වකට අපි තනිව මුහුණදෙනවා කියලා අපි ඉන්නේ. මැතිවරණයක්ද, ගැටලු‍වක්ද ඕනෑම දෙයකට අපි තනිව මුහුණදෙනවා. ඒ තීරණයේ වෙනසක් නෑ.

ඒ කියන්නේ ශ්‍රීලනිපය එක්ක නැතිව වෙනම ඉදිරිපත් වෙනවා කියන එකද?
අපිනේ ශ්‍රීලනිපය කියන්නේ. ශ්‍රීලනිප ලේබලත් අරන් යූඇන්පියට ගිය අයට ඕනෑනම් අපි එක්ක එකතුවෙන්න පුලු‍වන්. අපි තවම ශ්‍රීලනිපයෙන් ඉවත්වෙලා නෑනේ. අපි ඒකාබද්ධ විපක්ෂය විදියට ඉන්නවා. අපි එජාපය එක්ක හවුලේ ඉන්න කැමති නැති හින්දයි මෙහෙම ඉන්නේ. කාටවත් ඒ ගැන වැරැද්දක් කියන්න බෑනේ.

ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය කියලා තියෙන බෙදීම නැති වෙනවානම් නැති වෙන්නේ මොන කොන්දේසිය උඩද?
මේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න. ඉවත් වෙලා අපේ පක්ෂයේ ආණ්ඩුවක් හදන්න. හදන්න බැරිනම් විපක්ෂය වෙන්න. එදාට අපට එකට ඉන්න පුළුවන්. හැබැයි අපි විශ්වාස කරන්නේ නෑ ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වේවි කියලා. මෙයාලා පුලු‍වන්නම් අවුරුදු විසිපහක් වුණත් හවුල් ආණ්ඩුව ගෙනියයි.

මේකේ වාසිය එජාපයට නෙවෙයිද?
කොයි පක්ෂයට වාසි වෙන්නත් ඡන්දයක් තියන්න ඕනේ. ඡන්දයක් නැත්නම් කිසි පක්ෂයකට වැඩක් නෑ. පක්ෂ ඕනේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවානම්නේ.

ආණ්ඩුව මේ වෙද්දී කිසිවක් කළ නොහැකිව හිරවෙලා ඉන්නවා කියලා කියනවා. ඒ ගැන අදහස මොකක්ද?
මේ ආණ්ඩුවට රටේ ජනතාව බලය දුන්නා. ඒක වෙනස් කරන්න දැන් විදියක් නෑ. ඡන්ද එන්නේ නෑ. ජනතාවට මේ දුක විඳින්න සිද්ධවෙනවා. ඊළඟ ඡන්දයේදී යළි බලය අපට දීලා ශක්තිමත් ආණ්ඩුවක් හදන්නයි ඕනේ. මේ ආණ්ඩුවට වැඩක් කරගන්න බැරි ඇයි කියලා මම කියන්න ඕනේ නෑනේ. ඩිලාන් පෙරේරා මහත්තයා කියන්නේ ආණ්ඩුවට බැරි හේතුව. වැඩ බැරි කට්ටිය හිටියාම ඔහොම තමයි.

ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව විදියට අවුරුදු දහයක් තිස්සේ හිටියා. ඒ අවුරුදු දහයේදී නොකළ අලු‍තින් කරන්න බලාපොරොත්තු වෙන දේ මොකක්ද? ඔබේ කණ්ඩායමට ජනතාව ඡන්දය දෙන්න ඕනේ ඇයි?
අපි ඒ කාලේ කරගෙන ගිය වැඩපිළිවෙළ මිනිස්සු අගය කරනවානේ. අපි ඒ වැඩපිළිවෙල ඉදිරියටත් කරගෙන යනවා. විශේෂයෙන් කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි කරපු වැඩපිළිවෙළ හරි කියලා මිනිස්සු විශ්වාස කරනවා. ඉතින් ඒකට වැඩිය මොනවද අපෙන් ඕනේ.

ඔබ කියන්නේ ඒ කාලේ කරපු කිසිදෙයක් ගැන පසුතැවිලි වෙන්නේ නැහැ, ඒ වැඩපිළිවෙළ ආයෙමත් කරනවා කියන එක නේද?
අපේ ආණ්ඩුව කරපු දේවල් ගැන පසුතැවිලි වෙන්නේ නෑ. මේ ආණ්ඩුව තමයි පසුතැවිලි විය යුත්තේ. අපි මේ ආණ්ඩුව ඇතිකරපු තත්ත්වයන් යළි වෙනස් කරනවා. මේ ආණ්ඩුව ඇතිකරපු අවුල් අපි නිවැරදි කරනවා.■