රාවය

අධ්‍යාපන නිදහසේ කතාව ඕනෑ බබෙකුට තේරෙන විදියට

අධ්‍යාපන නිදහසේ කතාව ඕනෑ බබෙකුට තේරෙන විදියට

අජිත් පැරකුම් ජයසිංහ

සමාජයක පැවැත්ම සඳහා සියලු‍ දෙනාට ම මූලික අධ්‍යාපනය ලබා දීම අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි සෑම දරුවෙකුගේ ම මූලික අධ්‍යාපනය වෙනුවෙන් සමාජය සමස්තයක් විදියට බදු මුදලින් වියදම් දරා ගැනීම සාධාරණ වෙන්නේ. ලංකාවෙ නම් මේ වන විට අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කරන්නට රජය පියවර ගනිමින් ඉන්නවා. ඒ කියන්නෙ මේ රටේ මහජනයා සෑම දරුවකු ම අවුරුදු 13ක් පාසල් යන බවට වග බලා ගන්නට ඕනෑ. ඒ වියදම් තමන්ගේ බදු මුදලින් දරා ගන්නට ඕනෑ.

අධ්‍යාපනය මිනිස් අයිතියක් ය කියන කාරණේ ඔය මූලික අධ්‍යාපනය සම්බන්ධයෙන් සර්ව සාධාරණයි. ඒ වුණාට උසස් අධ්‍යාපනය, යාවජීව අධ්‍යාපනය වැනි අංශවලදී ප්‍රශ්නකාරීයි. හේතු පැහැදිලියි. ලෝකෙ කිසිම රජයක් සියලු‍ දෙනාට උසස් අධ්‍යාපනය අනිවාර්ය කරලා නැහැ. ඒක පෞද්ගලික තෝරාගැනීමක්. අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් කියා කීවත් වැරදි නැහැ.

පොදුවේ සමාජයට අවශ්‍ය වෘත්තිකයන් නිර්මාණය කරගන්නට රජය උසස් අධ්‍යාපනය නොමිලේ දෙන එක සාධාරණයි. ඒ සඳහා දක්ෂ සිසුන් තෝරාගැනීමට ක්‍රමවේදයක් තිබීමත් සාධාරණයි. ඒ වගේ ම තමයි, යම්කිසි කෙනෙකුට තමන්ගේ උන්නතිකාමයන් හඹා යන්නට ප්‍රමිතියෙන් යුත් උසස් අධ්‍යාපනය තෝරාගැනීමේ අවස්ථා තහවුරු කර දීමත් දියුණු සමාජයක ලක්ෂණයක්. උදාහරණයක් විදියට ලංකාවට තව අවුරුදු 25කටවත් ගගනගාමීන් අවශ්‍ය නොවෙන්නට පුළුවන්. ඒ වුණාට මේ රටේ දරුවෙකුට ඒ ගැන ඉගෙනගන්නට අවස්ථාව තිබීම ගැටලු‍වක් නෙමෙයි. හැබැයි, අභ්‍යවකාශ තරණය වෙනුවෙන් සැලසුමක් නැති රටක ගගනගාමීන් බිහි කරන්නට රජය මහජන මුදල් වියදම් කරන්නට ඕනෑ නැහැ. ඕනෑ කෙනෙකුට පුළුවන් තමන්ගේ මුදල් වියදම් කරලා ඕනෑ දෙයක් ඉගෙනගන්න. නොමිලේ කියන වචනය ඇතුළෙම තියෙනවා මිලක් තිබෙන බව. නිදහස් ය කියන්නේ ඒ මිල වෙන අය ගෙවන බවයි. මේක තේරුම් ගැනීම ඉතා පහසුයි. නොමිලේ ඉගෙන ගන්නා සිසුන්ට උගන්වන ගුරුවරුන්ට පඩි ගෙවන්නේ කාගේ සල්ලිවලින් ද? ඒ මේ රටේ වැඩ කරන ජනයා ගෙවන බදු.

රජයේ විශ්වවිද්‍යාලවලට යන්නේ දිළින්දෝද?
අනිවාර්ය අධ්‍යාපනය, ඒ කියන්නේ ලංකාවේ නම් අද වන විට වසර 13ක අධ්‍යාපනය, රජයේ වගකීමක් වීම සාධාරණ බව මා කලිනුත් සඳහන් කළා. හේතුව මූලික අධ්‍යාපනය සැම දෙනාට ම සමාන අන්දමින් ලැබිය යුතුයි. ඒ වුණාට මොකද වෙන්නෙ? මේ රටේ ධනය හා බලය ඇති, බොහෝ විට රජය සමඟ සම්බන්ධ මධ්‍යම පංතික කොටස් විවිධ කූටප්‍රයෝගවලින් රජයේ හොඳම පාසල්වල ඉඩ තමන්ගේ දරුවන්ට ලබාගන්නවා. එතැනදී ග්‍රාමීය මෙන් ම නාගරික වැඩ කරන ජනතාවගේ දරුවන් පරිධියේ පාසල්වලට තල්ලු‍ වෙනවා. ඔවුන්ට පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ කඩඉම් පසුකර විශ්වවිiාල ප්‍රවේශය ලබා ගන්නට නම් අසාමාන්‍ය දක්ෂතාවක් අවශ්‍යයි. ඒ වුණාට වඩා හොඳ පාසල් අත්පත් කර ගන්නා දරුවන් සාමාන්‍ය දක්ෂතාවලින් ඒ කඩඉම් ජය ගන්නවා. සමාජය ඒ තිත්ත ඇත්ත හොඳින් දන්නවා. ඒ නිසායි, ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කරගන්නට මේ තරම් තරගයක් සමාජයේ තියෙන්නේ.

වෛi විද්‍යාලවලට ඇතුළුවන සිසුන්ගෙන් 47%ක් ම නාගරික සිසුන් බව ද, 41%ක් අර්ධ නාගරික සිසුන් බව ද, 11%ක් පමණක් ග්‍රාමීය සිසුන් බව ද උසස් අධ්‍යාපනය අමාත්‍යාංශයේ දත්තවලින් හෙළිවෙනවා. අනෙක් පැත්තට ශාස්ත්‍ර පීඨවලට ඇතුළුවන සිසුන්ගෙන් 15%ක් පමණක් නාගරික සිසුන් වන අතර 51% ග්‍රාමීය සිසුන්. එහෙම වෙන්නෙ අර මා ඉහත දැක්වූ හේතුව නිසා. වෛi පීඨයක සිසුන් උගත් පාසල් මොනවාද කියා අධ්‍යයනය කර බලන්න. වැඩිදෙනෙක් නාගරික ජනප්‍රිය පාසල්වලින් පැමිණි අය. හද්දා පිටිසරින් ආ ළමයි වැඩිපුර ඉන්නෙ කලා පීඨවල. ඔවුන් වැඩිදෙනෙකුට රජය රස්සා නොදුන්නොත් රැකියාවක් සොයාගන්නට පුළුවන් ආකාරයේ අධ්‍යාපනයක් විශ්වවිද්‍යාලවලින් ලැබෙන්නේ නැහැ. උසස් අධ්‍යාපනයේ ඇත්ත ඒක. මේ රටේ ග්‍රාමීය, අඩු ආදායම්ලාභී, දිළිඳු සමාජ කොටස්වලට නිදහස් අධ්‍යාපනයෙන් ලැබෙන්නෙ රොඞ්ඩ.

ජාත්‍යන්තර පාසල් ළමයින් ධනපති පන්තියේද?
ඒ වගේම ජාත්‍යන්තර පාසල්වලට යන විශාල සිසුන් ප්‍රමාණයක් අයත් වන්නේත්, මේ ජනප්‍රිය පාසල් පොරයෙන් ගිලිහෙන ප්‍රවර්ගයටයි. ඔවුන්ගේ මව්පියන්ට ඒ වියදම දරා ගැනීමට හැකි වීම අපරාධයක් නෙමෙයි. ඔවුනුත් මේ රටේ දරුවෝ. මේ දරුවන් රජය විසින් නොතකා හැරීම නිසා ම ඔවුන් අයත් වන්නේ පීඩිත ප්‍රජාවකටයි. (පීඩිතයන් වන්නේ දුප්පතුන් පමණක් නොවෙයි. කොච්චර පොහොසතුන් වුණත් කාන්තාවන් පීඩිතයි. විසම ලිංගිකයන් නොවන පිරිස් පීඩිතයි. සුළුතර ජාතීන් පීඩිතයි.) ලංකාවේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න දරුවන් සංඛ්‍යාවවත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්නේ නැහැ. ඒ දරුවන්ට ඉතා අසාධාරණ අන්දමින් මේ රටේ විශ්වවිද්‍යාල දොරටු වැසෙනවා. ඔවුන් උසස් අධ්‍යාපනය ලබන්නට පිටරට යා යුතුමද?

ඔය විදියට ලංකාවේ පීඩිත පංතියේ දරුවන්ගේ අධ්‍යාපන සමඅයිතිය අහිමි කරන්නේ පළමු ශ්‍රේණියේදීමයි. ඒ අහිමි වීම නිවැරදි කර ගන්නට පුළුවන් අසාමාන්‍ය දක්ෂතා තිබෙන දරුවන්ට විතරයි. ලංකාවේ නිදහස් උසස් අධ්‍යාපනය කියන්නේ ඕකට. ඒකෙ පදනම ම පවතින්නේ ජනප්‍රිය පාසල් හිමි කර ගැනීම හා පෞද්ගලික ටියුෂන් මතයි.

සයිටම් තුවාලය
මහජන මුදලින් පවත්වාගෙන යන නිදහස් යයි කියන අධ්‍යාපනය වගේ ම පෞද්ගලික අධ්‍යාපනයත් මේ රටේත්, ලෝකයේත් ඉතිහාසයක් මුළුල්ලේ ම පවතිනවා. කන්නන්ගර මහතා 1940 දශකයේදී නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ පෞද්ගලික අධ්‍යාපනය අමතරව මිස එය විනාශ කරමින් නෙමෙයි. එයින් අරමුණු කළේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමයි. සියලු‍ දරුවන් එක වගේ පාසල්වලට යායුතු ය කියන මෝඩ, බොරු සමාජවාදී සංකල්පය මත පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීම සිරිමාවෝ බණ්ඩාරනායක කළ දෙයක් මිසක් කන්නන්ගර සංකල්පයක් නෙමෙයි.

අපට තිබෙන ගැටලු‍ව සයිටම් නෙමෙයි. අධ්‍යාපනයේ නිදහස කියන සංකල්පයට මේ සයිටම් විරෝධී උද්ඝෝෂණය හරහා එල්ල වන බලපෑමයි. සයිටම් කියන්නේ ලොකු තුවාලයක්. තුවාලයක් හැදුණාම කකුල කපන්නේ තුවාලය හොඳ කරන්නට බැරි නම් විතරයි. සයිටම් තුවාලෙ හොඳ කරන්නට රජය ගත් පියවරවලට උදව් කළ යුතුව තිබෙන්නේ ඒ නිසායි.

අධ්‍යාපනය විකිණීම
රටට අවශ්‍ය වෘත්තිකයන් බිහි කර ගන්නට මහජන මුදලින් පවත්වාගෙන යන උසස් අධ්‍යාපනය අනිවාර්යයෙන් ම තිබිය යුතුයි. කොයිම රජයක්වත් වාමාංශිකයන් කියන ආකාරයේ අධ්‍යාපනය ‘විකිණීමේ’ පිළිවෙත් ඉදිරිපත් කර නැහැ. කොයි ම රජයක්වත් රජයේ පාසල්, විශ්වවිද්‍යාල වසන්නට පියවර අරගෙන නැහැ. ඒවා පුළුල් වෙමින් පවතින්නේ. පෞද්ගලික අංශයකට ඉඩ දීම කියන ප්‍රතිපත්තිය නම් තියෙනවා. පෞද්ගලික අංශයට ඉඩදීම කියන එකයි, අධ්‍යාපනය විකිණීම යයි අදහස් කරන එකයි එකක් නෙමෙයි. පැහැදිලිව ම දෙකක්. විකිණීම කියන වචනය ම දේශපාලන සංදර්භය තුළ නිශේධාත්මක අරුත්වලින් යුක්ත එකක්. මිල දී ගත හැකි හැම දෙයකට ම ඒ විකිණීම කියන නිශේධාත්මක අරුත අදාළ නැහැ. උදාහරණයක් විදියට ඔබ පොතක් මිල දී ගන්නවා. එය මිල දී ගත් පළියට ඔබ ඔය කියන විකිණීම කියන නිශේධාත්මක අදහස එතැන නැහැ.

යම් දෙයක වටිනාකම කවුරුන් හෝ ගෙවිය යුතුයි. රජය මහජන බදු මුදලින් උසස් අධ්‍යාපනය ලබා දෙන්නේ උසස් පෙළ සමත් වන සිසුන් පස්දෙනෙකුගෙන් එකෙකුට පමණක් නම් ඉතිරි හතරදෙනාටත් තමන්ගේ මුදල් වැය කර හෝ කැමති නම් උසස් අධ්‍යාපනය ලබන්නට අවස්ථාව තිබිය යුතුයි. පෞද්ගලික අධ්‍යාපනයෙන් එයට යම් අනුපූරක වීමක් සිදු කර ගත හැකි නම් එය වැරදි නැහැ. මේක අදාළ වෙන්නේ ලංකාවේ දැන් තිබෙන තත්වයට. ඉතුරු හතරත් රජයේ විශ්වවිද්‍යාලවලට ම බඳවා ගන්නය කියා කියන්නට පුළුවන්. හැබැයි ඒකට ලංකාවේ තිබෙන විශ්වවිද්‍යාල සංඛ්‍යාව තව පස්ගුණයකින් විතර වැඩි කරන්නට ඕනැ. ඒක කරන්නට තව විශාල බදු ප්‍රමාණයක් ගෙවන්නට මේ රටේ ජනතාවට සිදු වෙනවා. ඔබ කැමති ද? ඔය දේශපාලකයන් 500කගේ දූෂණය නැති කර ඉතිරි කළත් ඒ මුදල සොයා ගන්නට දශක හෝ සියවස් ගණනාවක් යාවි. එතකල් අර සිසුන් හතර දෙනාට මොකක්ද කරන්නෙ? සමස්ත සමාජයේ ම වියදමින් උසස් අධ්‍යාපනය ලබන්නට වරප්‍රසාද ලබා ගත් සිසුවෙකු එසේ අවස්ථාව නො ලද, ඒ වෙනුවෙනුත් පෞද්ගලික ධනය වියදම් කරන, රජයට බරක් නැති තවත් සිසුන් හතරදෙනෙකුට ඉගෙන ගන්නට අවස්ථාව දෙන්නට එපා ය කියා උද්ඝෝෂණය කරන එක මිනිස්කමක් ද?

ලෝකෙ රැල්ල
මෙතැනදී කියන තවත් කාරණයක් තමයි උසස් අධ්‍යාපන වියදම් රජය විසින් දැරිය යුතු බවට ලෝකයේ අරගලයක් තිබෙන බව. මේ ලෝකයන් දැන ගත යුතු තව කාරණයක් තියෙනවා. ඒ තමයි ලෝකෙ කොහේවත් ලංකාවේ තිබෙන ජාතියේ මෝඩ දේශපාලනික නවක වධයකුත් නැති බව. ලෝකෙ වෙන තැන්වල තිබෙන අරගල පැන නගින්නේ වෙනත් සංදර්භවලින්. ලංකාව කළ යුත්තේ මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයන එක මිසක් ලෝකෙ රැලිවලට ආවඩන එක නෙමෙයි. පෞද්ගලික උසස් අධ්‍යාපනය මේ රටට අවශ්‍ය රජයේ විශ්වවිද්‍යාල වෙනුවට නෙමෙයි. ඒවාට අනුපූරකයක් ලෙසයි. එහි ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු‍ තිබෙන බව ඇත්ත. ඒවා නිවැරදි කළ යුතුයි. ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු‍ හැම තැනම තිබෙන බව කවුරුත් දන්නවා. ඒ වගේ ම හතු පිපෙන්නා සේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි විය යුතු බවත් අප කියන්නේ නැහැ. ඒවා නිසි නියාමනයකට ලක් වීම අනිවාර්යයි. නියාමනයවත් හරියට කර ගන්නට බැරි නම්, එවැනි රජයකින් පවත්නා අධ්‍යාපන ගැටලු‍වට විසඳුම් දෙන්න බැරි බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ නේ.

ලංකාවේ පවතින තත්වය තුළ අපට ස්වාධීන විශ්වවිද්‍යාල පිළිබඳ බලාපොරොත්තු තියන්නට බැහැ. ඒ නිසා මේ කාර්යයන් වෙනුවෙන් රජයේ හා පෞද්ගලික හවුල්කාරිත්වයන් හොඳ විසඳුමක් ලෙස සැලකිය හැකියි. ඒ එක්කම මේ රටේ මිනිසුන්ට දී තිබෙන ව්‍යවසායකයන් යනු සොරුන් ය, ලාභය යනු අපරාධයකි, වෙළඳපොළ යනු පිටුදැකිය යුතු තැනකි වැනි බොළඳ වාමාංශික අදහස් ගැනත් අලු‍තෙන් සිතන්නට සමාජය පෙළඹවිය යුතුයි. ඔය පිළිකෙව් කරන ව්‍යවසායකයන් විසින් අතීතයේදී කරන ලද ධන පරිත්‍යාගයන් මත තමයි වර්තමානයේදී මධ්‍යම පංතිකයන් පොර කමින් දරුවන් ඇතුළත් කරන, දැන් රජයට පවරාගෙන තිබෙන පාසල් බොහොමයක් බිහි වුණේ.

ඔය නොමිලේ ඉල්ලන සියල්ල වෙනුවෙන් බදු බරට කර ගැසිය යුත්තේ රජයෙන් ඒ කිසිදු සේවාවක් හරියට නොලැබෙන, ඇඟලු‍ම් කම්කරුවන්, වතු කම්කරුවන්, මැදපෙරදිග ශ්‍රමිකයන්, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් වැනි වැඩ කරන ජනතාව. අරගල ඉදිරියට එන්නේ ප්‍රශ්න නිසා බව ඇත්ත. ඒත්, හැම අරගලයක් ම සාධාරණ නැහැ. උදාහරණයක් විදියට අධ්‍යාපනයට මුදල් වියදම් නොකර ඒකත් ඉතුරු කර ගන්නට තියෙනවා නම්, සියල්ල නිකම් ලැබෙනවා නම් කවුරුද අකැමැති? උදාහරණයක් ලෙස, කුඹුරට බිත්තර වී හා පෝර ටික නිකම් දීලා, වාරිමාර්ගත් නඩත්තු කරලා, වගා හානිත් ප්‍රතිපූරණය කරලා, අස්වනුත් වැඩි මුදලට ගන්නවා නම් ගොවීන් අකැමැති නැහැනේ. වෙන කවුරුහරි ඇවිත් කුඹුරෙ වැඩත් කරලා දීලා යනවා නම් තව සතුටු වෙයි. දැන් ප්‍රශ්නය කවුරුද ඔය දේවල වියදම දරන්නෙ? අපි බදු ගෙවන්නත් අකැමැතියි නේ. කොහේ හරි සුරංගනාවක් ඉන්නවා ද මේ ඔක්කොම අපට දෙන්න.

රජය මූලික කර ගත් ලංකාවේ මධ්‍යම පංතිකයන්ගේ උවමනාව තමයි, වැඩ කරන පීඩිතයන් තව තවත් මහන්සි වී වැඩ කරමින් රජය හා රජයෙන් මධ්‍යම පංතිකයන්ට ලැබෙන වරප්‍රසාද ටික ආරක්ෂා කර දීම. හැම සටනක් ම සාධාරණ නැහැ. මේ මොහොතේ පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධව සිදු වන සටනත් අසාධාරණ සටනක්. ඒ බව තේරුම් ගන්නට බැරි පිරිසක් බිහි වී තිබෙන්නේ ඉතිහාසයක් මුළුල්ලේ ගොඩනගලා තිබෙන මිථ්‍යාව නිසා. ඒ මිථ්‍යාව ප්‍රශ්න නොකර භාරගන්නා නිසා.■