රාමුවෙන් බැහැර රැකියා ජනනය


prabashvara

පන්නරය

භූතානයට හා බංගලිදේශයට මායිම් ව පිහිටි, ඉන්දියාවේ ඊසාන දිග ප්‍රාන්තය හැඳින්වෙන්නේ ඇසෑම් යන නාමයෙනි. ඇසෑමයට අයත් සිබ්සගාර් දිස්ත්‍රික්කයේ නව දිසාපතිවරයා ලෙස 2014 නොවැම්බර් මාසයේදී වැඩ භාරගත්තේ ඉන්දියානු පරිපාලන සේවයේ කීර්තිමත් හා අවංක නිලධාරියෙකු සේ සැලකෙන විරේන්ද්‍ර මිටල්ය. මිලියන 1.2ක ජනගහලයකින් යුතු සිබ්සගාර්හි බහුතරයක් ජනතාව පාරවල් අද්දර සහ කාණු අයිනේ මලපහ කරනු දුටු විරේන්ද්‍ර මොවුන්ට කෙසේ හෝ වැසිකිළි තනා දිය යුතු යැයි අදිටන් කරගත්තේය. තේ වතු ආශ්‍රිතව වැඩ කරන කම්කරු ජනයා විශාල වශයෙන් දිවි ගෙවන ලක්වා නමැති ගම්මානය විවිධ බෝවන රෝගවලින් පීඩා විඳින්නේ එහි සියලු දෙනා වගේවගක් නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල කැත කරන නිසා වග ගමේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා, විරේන්ද්‍ර මිටල් දිසාපතිවරයාට දන්වා තිබුණි. වැසිකිළි ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඇරඹිය යුත්තේ ලක්වා ගමෙන් වග ඔහුට වැටහුණි. අයිසීඅයිසීඅයි බැංකුව සහ වෙනත් දැවැන්ත ව්‍යාපාර සමාගම්වල සමාජ සත්කාරක භාරයන්හි නිලධාරීන් සමඟ සුහද රැස්වීම් කිහිපයක් පැවැත්වූ දිසාපතිවරයා, ලක්වාහි වැසිකිළි ඉදිකිරීමේ මහා ව්‍යාපෘතියට මූල්‍ය ආධාර සැපයීම පිණිස ඒ අයට එකඟ කරවා ගත්තේය.

බාස්ලාගේ හිඟය
ලක්වා ගමේ පිරිමි හා ගැහැනු, සතියේ දවස් හතම පාහේ තේ වතුවල ශ්‍රමය හෙළන කම්කරුවන් වූ හෙයින් මේසන්ලා තබා අත්වැඩටවත් ගම්මානයෙන් ශ්‍රමිකයෙකු සොයාගැනීම අතිදුෂ්කර කාර්යයක් විය. ඉන් එහා ගම්මාන වූ සිකිම්හි විසූ මේසන්ලා වැසිකිළි තැනීම වැනි සුළු වැඩ භාරගැනීමට කැමැත්තක් නොදැක්වූහ. 2014 දෙසැම්බර් මාසයේදී විරේන්ද්‍ර මිටල්, සිකිම් මහිලා සමිතියේ නිලතල හොබවන ප්‍රධාන කාන්තාවන් හමුවී, මේසන්ලා හා අත්වැඩකරුවන් ලෙස පුරුදු පුහුණු කිරීම පිණිස ඔවුන්ගේ සාමාජිකාවන් පිරිසක් ලබා දෙන්නැයි එම නිලධාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. පහළ මධ්‍යම පංතික පවුල් වැඩි ගණනක් සිටි සිකිම්හි කිසිවෙකු දැඩි ආර්ථික දරිද්‍රතාවකින් නොපෙළුණද, වැසිකිළි තනාදීමෙන් සිදුවන යහපත් සමාජයීය බලපෑම සහ ශ්‍රමය සඳහා ලැබෙන දෛනික වැටුප යන කරුණු දෙකම සලකා බලා, අදාළ වෘත්තීය පුහුණුවට සහභාගි වීම පිණිස එහි කාන්තාවෝ විශාල සංඛ්‍යාවක් සිය කැමැත්ත පළකළහ. මේසන් පුහුණුව පුරා මාස 3කදී අංග සම්පූර්ණ ලෙස පිරිනැමීමට ද, පුහුණු වූ පසුව වැඩ මුලිකයෙකු හරහා කාන්තා මේසන්ලාගේ වැසිකිළි තැනීමේ කාර්යය අධීක්‍ෂණය කිරීමටද සිබ්සගාර්හි රජයේ වෘත්තීය පුහුණු පාසල එකඟතාව පළකරන ලදි. ඒ අනුව 2015 ජනවාරි – මාර්තු අතර කාලයේදී සිකිම් ගමේ කතුන් 150කට මේසන් වැඩ, පයිප්ප වැඩ හා සාමාන්‍ය අත්වැඩ ගැන අනගි වෘත්තීය පුහුණුවක් පිරිනමනු ලැබිණි. ගණන් මිනුම් පිළිබඳ මූලික දැනුමක්ද මෙහිදී ඔවුන් වෙත තිළිණ කෙරිණි. ගැහැනුන්ට පිරිමින්ගේ වැඩ කළ හැකිදැයි කියමින් සිබ්සගාර්හි සහ සිකිම්හි පිරිමි මුලදී මේ කාන්තාවන්හට උසුළුවිසුළු කළහ. එහෙත් මේ කාන්තාවන්ට පිරිමි හෙඞ් බාස්ලා කණ්ඩායමකගේ අධීක්‍ෂණය අවශ්‍ය වූයේ මුලින්ම තැනූ වැසිකිළි 100 සඳහා පමණි. එතැන් සිට ඔවුන් සිය ගොඩනැගිලි වැඩ ස්වශක්තියෙන්ම සිදු කරනු දුටු පිරිමින්ගේ කට වැසුණි.

අපරාජිතා ගොගොයි
මේසන්කෙනකු ලෙස පුහුණුවීම යන ප්‍රශ්නය මහිලා සමිතියේ ලේකම්වරිය සභාවට යොමු කළ විට, එහි සිටි සාමාජික කාන්තාවන් අතරින් මුලින්ම අත එසැවූයේ 38 හැවිරිදි දෙදරු මවක වන අපරාජිතා ගොගොයිය. වත්මනෙහි ඇය හයදෙනෙකුගෙන් යුත් කාන්තා මේසන්ලාගේ කණ්ඩායමක හෙඞ් බාස් ලෙස කටයුතු කරන්නීය. අපරාජිතා සිය නව රැකියාව ගැන අදහස් පළ කරනුයේ මේ අයුරිනි.
‘මුලින් මේ රස්සාව ගැන හිතේ චකිතයක් ඇති වුණත්, වෘත්තීය පුහුණු පාසලේ සිවිල් ඉංජිනේරුවරයා සහ අපගේ ප්‍රායෝගික වැඩ අධීක්‍ෂණය කළ විශිෂ්ට හෙඞ්බාස් උන්නැහේ, අපට හොඳින් වැඩ කියාදී එම බිය නැති කළා. අපට ලැබුණු පළමු කොන්ත්‍රාන්තුව වූයේ ලක්වා ගමේ පදිංචි දුගී පවුලක් වන තුකේෂ්වර්ලාගේ වැසිකිළිය ඉදිකර දීමයි. හරියටම දවස් 6ක් ඇතුළත අපි මේ වැඬේ සම්පූර්ණ කළා. සරසවි ශිෂ්‍යයෙකු වන මගේ පුතා සහ උසස් පෙළ හදාරන දුව මෙන්ම සුළු ව්‍යාපාරිකයෙකු වන සැමියාද මා මේ රැකියාවට යනවාට මුලින් අකමැති වූයේ සැබැවින්ම අපි ආර්ථික අහේනියක් නොමැති මධ්‍යම පංතික පවුලක් වූ නිසායි. එහෙත් නිවසට වී ගතකරන හුදකලා ජීවිතයට වඩා කාන්තාවන් කණ්ඩායමක් සමඟ එක්ව, අතට මුදලකුත් ලැබෙන සමාජ මෙහෙවරක නිරතවීම වඩා යහපත් නොවේදැයි මා අවධාරණය කළ පසු ඔවුන් ඊට කැමැත්ත පළකළා. කාන්තාවන් 6 දෙනෙකුගෙන් සමන්විත ඉදිකිරීම් කණ්ඩායම් 25ක් අද සිකිම් මහිලා සමිතිය තුළ ස්ථාපිතව තිබෙනවා. හෙඞ්බාස් ලෙස මා ඉන්දියන් රුපියල් 2000ක් දෛනිකව උපයන විට සාමාන්‍ය මේසන් කෙනෙකුට රුපියල් 1000කුත්, අත්වැඩකාරියට රුපියල් 500කුත් හිමිවෙනවා. පාන්දර 4.30ට අවදිවී ඉවුම්, පිහුම්, අනෙක් ගෙදර දොරේ වැඩ සහ දුවගේ පාඩම් වැඩද ඉෂ්ටසිද්ධ කොට උදේ 8.30ට මා ගෙදරින් පිටත්වෙනවා. හවස 5 -6 වන විට යළිත් නිවස බලා පැමිණෙනවා. වැසිකිළි ඉදිකිරීම් වෙනුවෙන් අපි අපේ කාලය හා ශ්‍රමය මුලින් කැප කළද, මේ වනවිට නිවාස හා වෙනත් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්තුද අපේ මහිලා සමිතිය වෙත වැල නොකැඩී ගලා එනවා. කාන්තා වැඩ කණ්ඩායම් වැඩබිම වෙත ප්‍රවාහනය කෙරෙන කුඩා ටාටා ලොරි 12ක් ද, අපට අවශ්‍ය නවීන ආම්පන්න සියල්ලද මහිලා සමිතිය විසින් මිලට ගත්තේ හැම වැඩ කොන්ත්‍රාත්තුවක් හරහාම සමිතිය වෙත ලැබෙන ලාභ ප්‍රතිශතය යොදාගෙනයි. හැම ශ්‍රමිකයෙකුටම වෛi හා ආපදා වන්දි රක්ෂණ ආවරණයක් සමිතිය මගින් පිරිනමා තිබෙනවා. හෙඞ්බාස් කෙනෙකු ලෙස පසුගිය පසුගි ය වසර කිහිපය තුළ මා ඉතිරි කරගත් මුදල් සම්භාරය සහ සිකිම් ගම තුළ මට ලැබී ඇති පිළිගැනීම දුටු මාගේ පවුලේ අය අද මගේ රැකියාව ගැන කතාකරන්නේ මහත් ආඩම්බරයකිනුයි.”

ඩියෝදාහි ව්‍යාපෘතිය
2016 මාර්තු 19 වන විට ලක්වා ගමේ විසූ පවුල් 8661ට අංග සම්පූර්ණ වැසිකිළි ඉදිකොට දී ප්‍රසිද්ධ තැන්වල මල පහ කිරීමේ කැත පුරුද්ද එම ප්‍රදේශයෙන් තුරන් කර දැමීමට සිබ්සගාර් දිසාපති විරේන්ද්‍ර මිටල්ට හැකි වූයේ ඔහු කාන්තාවන් මේසන්ලා ලෙස බලාත්මක කළ හෙයිනි. යුනිසෙෆ් සංවිධානය මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඔහුට සම්මානයක්ද පිරිනැමීය. සිකිම් මහිලා සමිතියේ ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාරය දිනෙන් දින දියුණුවන අයුරු නිරීක්‍ෂණය කළ සිබ්සගාර් දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන ඒජන්සියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ෂ්වනාස් චෞද්රි ‘ඩියෝදාහි’ නම් ගමේ කාන්තාවන්ටද මේසන් පුහුණුව ලබා දෙන්නැයි අපරාජිතා ගොගොයිගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව, සිකිම් මහිලා සමිතිය, සිබ්ස්ගාර් වෘත්තීය පුහුණු පාසලේ උපකාරයද ලබාගෙන කාන්තා මේසන්ලා, පයිප්ප වෑද්දුම්කාරියන්, විදුලි කාර්මික ශිල්පිනියන් පමණක් නොව මහාමාර්ග ඉදිකරන ශ්‍රමිකයන්ද පුරුදු පුහුණු කරන වෙනම ආයතනයක් සමිතිය පිහිටි භූමියේම ස්ථාපිත කරනු ලැබීය. විරේන්ද්‍ර මිටල් හරහා මීට පූර්ණ මූල්‍ය අනුග්‍රහය ලබාදුන්නේ ඇසෑම් ප්‍රාන්ත ආණ්ඩුවයි. ඇසෑමයේ පිහිටි ඉංජිනේරු සරසවි හතළිස් දෙකම, මේසන් පුහුණුව ලබන කාන්තාවන්ට ගොඩනැගිලි/ නිවාස සැලසුම් ඇඳීම සම්බන්ධ දැනුම සහ ව්‍යුහ නිර්මාණ ඉංජිනේරු ඥානය පිරිනැමීමට නොපැකිලව ඉදිරිපත් විය. සිකිම් මහිලා සමිතියට අයත් ඉදිකිරීම් තාක්‍ෂණ ආයතනය ඔස්සේ ඩියෝදාහි ගමේ කාන්තාවන් 120ක් මාස 6ක න්‍යායික හා ප්‍රායෝගි ක පුහුණුවක් ලැබූ අතර මෙය තමන් මුලින් ලද පුහුණුවට වඩා ඉතා උසස් එකක් වග අපරාජිතා ගොගොයි කියාසිටියාය. සිබ්සගාර් සිට ඩියෝදාහි දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ වාහන ගමන් කිරීමට නොහැකි තරමේ කඩතොලු සහ වළවල් හෑරී තිබුණි.

ප්‍රථම අත්හදා බැලීම
ඉහත කී මාර්ගය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය ඩියෝදාහි ගමෙන් පුහුණුව ලද කාන්තාවන්ට භාරදීමට විරේන්ද්‍ර මිටල් ක්‍රියාකළේය. මේ සඳහා තාක්‍ෂණික සහාය හා අධීක්‍ෂණය සිදුකර දීමට ඩිබ්රුගා සරසවියේ ඉංජිනේරු පීඨය ඉදිරිපත්විය. මාසයක් ඇතුළත ඉතා විශිෂ්ට අන්දමින් ඔවුන් මේ මාර්ගය අලුත්වැඩියා කරදුන් අතර දිසාපතිවරයා එම පාර ‘මහිලා ගොගොයි’ ලෙස නම්කරනු ලැබුවේ අපරාජිතාගේ කැපවීම හා විශිෂ්ට සේවාව අගයමිනි. ඩිබිරුගා, නව්ගොන්ග්, ටෙස්පූර් සහ ඇසෑම් ප්‍රදේශීත් වැනි මහිලා සමිති සිය කාන්තාවන් ගොඩනැගිලි ඉදිකිරීම් හා මහාමාර්ග ව්‍යාපෘති ක්ෂේත්‍රයෙහි පුහුණු රැකියා සඳහා යොමු කළේ අපරාජිතා ගොගොයිගේ අධීක්‍ෂණය යටතේය.
2017 ජනවාරියේදී ඩිබ්රුගා සරසවිය, ඔවුන්ගේ සිවිල් ඉංජිනේරු ගෞරව උපාධි සහතිකය අපරාජිතා වෙත පිරිනැමීය. අද ඇසෑමයේ වැසියෙකුට නිවසක් හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය නම් හැමවිටම ඔහු /ඇය ඇදෙන්නේ ඉහත කී මහිලා සමිති වෙතය. සැලසුම (පරිගණකයෙන්) ඇඳීම, එය නගර සභාවෙන් අනුමත කර දීම සහ සමිතිය සමඟ (පැහැදිලි වියදම හා කොන්දේසි සහිත) ගොඩනැගිලි ගිවිසුම අත්සන් කිරීම යනාදිය නියමානුකූලව හා පිළිවෙළට සිදුකෙරෙන හෙයින් වත්මනෙහි ඇසෑමයේ කාන්තා මේසන්ලාට ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉදිකිරීමේ සමාගමක මහා කළමනාකරවරයා පසුගි ය දිනෙක මේ ලියුම්කරු හා පැවසුවේ ඔවුන් මේසන් බාස් කෙනෙකුට මාසිකව රුපියල් 70,000ක් (නිල ඇඳුම් හා නවාතැන්ද සපයා) ගෙවන බවයි. වෛi, ඉංජිනේරු, ගණකාධිකාරී හා නීතිඥ රැකියාව සොයමින් නන්නත්තාර වනවාට වඩා ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළට කාන්තාවන් අන්තර්ග්‍රහණය කිරීමට ලංකාවද නොපමාව සැලසුම් නිර්මාණය කළ යුතුය.■