රාවය

ගිරවා බත් කෑවාද?

ගිරවා බත් කෑවාද?

ටිරන් කුමාර බංගගමආරච්චි

පසුගිය දින ටිකේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජනප්‍රියතම කතාව මාලිංගගේ ගිරවා සහ රිලවා කතාවය. බෙනයට රිංගූ කතාවය. දැන් බෙනය වනයක් වී ඇත. එතැන් සිට සිදුවූ දේ සැවොම දනිති. අවාසනය කියනුයේ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මාලිංගට ක්‍රීඩා කරන්නට අවසර දෙන්නැයි කී ප්‍රකාශයකිනි.
ඇමතිවරයා කී කතාව සම්පූර්ණ ඇත්තය. ඒ බඩවල් ගැනය. එහෙත් ඒ කී වෙලාව වැරදිය. දැන් ඒ ගැන කුමක් කීවද පලක් නැත. එහෙත් පලක් ඇත්තේ මේ කතාවලින් පසු නොකී කතාය.
මාලිංග යනු දයාසිරි වගේම කතාකාරයෙකි. තමන් කොයිතරම් කතාකාරයකු වුවත් අනෙකා ගෙනෙන උපහැරණ කතාවේ කලාව නිර්මාණය කරන බව මාලිංගගේ කතාව පෙන්වීය. එහෙත් ඒ කතාව තුළ සැබැවින්ම මාලිංග ගිරවාමය. මාලිංග කළේ කවුරු හෝ පුරුදු පුහුණු කළ කතාවක්මය. ඊට තමන්ගේ ශෛලියත් ඇතුළත් වුවද කතාව කීමට මාලිංග වයින් කළේ වෙනකෙකු බව කිවමනාය.
ඒ ක්‍රිකට් පරිපාලනයේ වැඩකටම නැති නිලධාරියකු වන ජයන්ත ධර්මදාසය. ක්‍රිකට් අරබයා ඔහුට කිසිත් නොහැකිය. එබැවින් සැමදා ඔහු කළේ දේශපාලනය අල්ලාගෙන ක්‍රිකට් පරිපාලනයේ තනතුරුවලට ඒමය. ඊට අවැසි දේශපාලන හයිය ඔහුට ඇත. ඔහු පසුගිය කාලයේ සෑම සභාපතිවරයෙකු සමඟම වැඩ කළේය. වැඩ කරන ලෙස නිකං සිටියේය. එහෙත් එලෙස ඉඳීම වෙහෙසකර බව ඔහු දන්නා අතර ඔහු සිටින බව පෙන්වීමට ඔහු සෑම කෙනෙකු සමඟම ගැටෙන්නට විය. අර්ජුන රණතුංග සමඟ ජයන්තට වැඩ කළ නොහැකි විය. නිශාන්ත රණතුංග සමඟ නොහැකි විය. මතිවානන්, තිලංග නොව උපාලි ධර්මදාස සමඟත් ඔහුට වැඩ කළ නොහැකි විය. මන්ද ඔහු ක්‍රිකට් පරිපාලනයක් නොදන්නා නිසාය. එහෙත් ඔහු කළේ ක්‍රීඩකයන්ට ළංවීමය. ක්‍රීඩකයන්ගෙන්ද සුපිරි ක්‍රීඩකයන්ගේ හිතවතා වීමය. මේ තත්ත්වය තුළ ඔහු ක්‍රීඩකයන් ලවා බොහෝ දේ කරගත හැකි මට්ටමට පැමිණ ඇත. මාලිංග කන්නේ මේ ලණුවමය.
අනෙක් අතට මේ බව තිලංගට ඇමතිට කලින්ම කියා සතුටු විය හැකිය. තිලංග කරනුයේ සූක්ෂ්මව එක දා ගැනීමය. ජයන්තව දැන් තිලංගට ඉවත් කරගත යුතුය. ඉක්මන් වන්නට ඔහු කැමති නැත. එයද වන්නටම ඉඩහැර ඇත. මෑත පාලන කාලය තුළ තමන් ඉවත් වන බවට ජයන්ත තුන් වරක්ම ලිපි ඉදිරිපත් කළේය. එහෙත් සභාපති ලෙස තිලංග එය භාර නොගත්තේය. පසුගිය සතියේ තුන්වන ලිපිය ලබා දුන්මුත් එයද තවමත් තිලංගගේ මේසය උඩය. මෙවර ඔහු එය භාරගැනීමටද ඉඩ ඇත.

තිලංගද සද්ද නොකර කරනුයේ තමන්ට රිසි දේය. අසංක ගුරුසිංහ ඉහළටම ගෙන ඒම එහි ප්‍රතිඵලයකි. ජයන්ත උත්සාහ කළේ ඒ තැන බන්දුල වර්ණපුරට දෙන්නටය. එහෙත් එය සිදු නොවීය. මේ විරසකයන් දෙදෙනා දෙපැත්තට වීමට හේතුවිය.
කෙසේ වෙතත් ක්‍රිකට් පරාජය වීම පිටුපස ඇති එකම හේතුව ‘බඩ’ නොවේ. අද දවසේ ක්‍රිකට් මාෆියාව වෙනම ආරක් ගෙන තිබීමය. චාලි ඔස්ටින් යන නම දන්නේ ක්‍රිකට්වලට සමීප අය විතරය. මේ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් බහුතරයකගේ කළමනාකරුය. ඔවුන් සියල්ල ක්‍රියාකරනුයේ මෙරට ක්‍රිකට් පරිපාලනයට වඩා කළමනාකරුට අවැසි ලෙසය. බොහෝ විදෙස් තරගවල අතරමැදියා ඔහුය. සංගක්කාර, මහේල මෙන්ම මැතිව්ස්, ලසිත් මාලිංග සේ ම තිසර, සීකු නුවන් පවා චාලි ඔස්ටින්ගේ ක්‍රීඩකයන්ය. චාලිගේ ගොඩ ඉබේටම ජාතික පිලේ ඉඩ හදා ගනිති. එය සංගලාගේ මහේලලාගේ කාලයේ සිට සිදුවන්නකි. මේ ක්‍රීඩකයන්ගෙන් 10%, 15% අතර මුදලක් ඔහුට බැර වේ. පිටට නොපෙනෙන ඇතුළු කතාවේ චාලි යනු ප්‍රබල චරිතයකි.

ක්‍රිකට් නායකයාට කණ්ඩායම තේරීමේදී කළ හැකි බලපෑම අතිවිශාලය. එහිදී ඔහු ප්‍රමුඛතාව දෙනුයේ තම කළමනාකරු පිලේ සිටින අයටමය. චන්දිමාල් දමන්නේ නම් ඊට එරෙහි නොව මැතිව්ස් තිසර සහ සීකු ගත යුතුමයැයි කීම සරල උදාහරණයකි. මේ නිසා අද දවසේ ක්‍රිකට් යනු අප එදා කතා කළ ක්‍රිකට් නොවන බව කිව යුතුය. පරාජය පෙනෙන බඩවල් නොව නොපෙනෙන බඩවල්ය.

මාලිංග කතාව අතරතුර අමුතු කතාවක් කියයි. ක්‍රිකට් ගැන බුද්ධිමත්ව හිතන්න ඕනෑ. කාටවත් නැති තමන්ට ඇති අමුතු බුද්ධිය මාලිංග ඕනෑවට වඩා නොපෙන්වයි. ඇත්ත නම් අද බුද්ධිය වුවමනාව ඇත්තේ ක්‍රීඩා කරන්නට නොව ක්‍රීඩාවේ රැඳෙන්නටය. ඒ සෙල්ලම බුද්ධිය නම් මරුය.
කෙසේ වෙතත් තවමත් මේ රටේ ක්‍රීඩකයන් කෙරෙහි අන්ධ විශ්වාසයෙන් පෙළෙන ක්‍රීඩාලෝලීහු බොහෝ සිටිති. සංගක්කාර යනු තනිකරම අටවා ගත් අමාරුවෙන් පිළිවෙළකට නඩත්තු කරන චරිතයකි. එයට ක්‍රීඩාලෝලීන් උමතු වී ඇත. ඒ නිසා කාලෙන් කාලෙට හොඳම සිම් කාඞ්පත කියමින් එන එන ඕනෑම කාඞ්පතක් සංගාට විකිණිය හැකිය. ඕනෑම මලජරාවක් කැවිය හැකිය. අද මාලිංගගේ කතාවට සංගා සහ මහේල හූමිටි තබන්නේද මේ එකම රැහේ කට්ටිය නිසාය.

ජනතාව තුළ මේ වටිනාකම් ඔවුන් කෙරෙහි ජනිත වූයේ ක්‍රිකට් සහ ක්‍රීඩකයන්ට ඇති ළැදියාව නිසාය. මැතිව්ස් අසේල ගුණරත්නට කැමති නොවූවද ජනතාව කැමතිය. එහෙත් මම තීරණය ගනුයේ මට ඕනෑ විදිහටයැ’යි මැතිව්ස්ට හයිරම් පෑ හැකිය.
මේ සියල්ල හමුවේ ඇමති බඩවල් ගැන කී සැණින් සැවොම කුලප්පු විය. එහෙත් අනින්නට පැන්නේ මාලිංගය. එලෙස ඇද දමන්නට මාලිංග බබෙකු නොවන බවද අපි දනිමු. එහෙත් අද එදාට වඩා තත්ත්වය හොඳය. කතා කිරීමේ නිදහස උපරිමය. එබැවින් ඕනෑම දෙයක් ගිරවකු සේ කිව හැකිය. අලුත්ගමගේ සංගා සමඟ පැටලුණේය. එහෙත් සංගාට මේ තරම් දේ කිව නොහැකි විය. මහින්ද රාජපක්ෂ හමුවී සමථයකට එන්නට සිදුවිය. රාජපක්ෂලාගේ කාලයේ මාලිංගලාට මෙතරම් දෑ කිව නොහැකිය. යහපාලනය ඒ අතින් හොඳය. ඕනෑම ගිරවකුට කවුරු හෝ ඉගැන්වූ සැණින් බොහෝ දේ කිව හැකිය.

දයාසිරි ඇමතිවරයාද කතාකාරයෙකි. ඔහු නිතර කතා කරමින් සිටී. එහෙත් මින් ඉදිරියට ඔහු පරිස්සම් වියයුතුය. මන්ද කොහේ හෝ රිලා කතා නොඅසන්නටය. ක්‍රීඩාවට කළ යුතු බොහෝ දේ ඇත. තවමත් ඒවාට අතපෙවීමක්ද නැත. එහෙත් ක්‍රීඩාවේ කථික තරග නම් අපමණය. අපට මේවා බලා විසිල් ගසමින් සිටිය හැකිය. එහෙත් පලක් නැත. ඉන් ක්‍රීඩාවට වන සෙතක් නැත. ඇමතිට බොහෝ දේ කිරීමට ඇත. ඒ සඳහා බොහෝ බෙනවලට රිංගීමට සිදුවනු ඇත. ඉදිරියේදී දෙබරු වුව විදිය හැකිය. එහෙත් ඒවා කට පරිස්සම් කර සිදුකළ යුතුය. මාළුවා නහිනුයේ කට නිසා බව පුංචි එකාත් දන්නා බැවිනි.■