ගැහැණු කවුරුදු දුක් නොවිදින


women

සටහන /ඡායා රේඛා නිලු‍ක්ෂි හේරත්

“මගේ පොඩි පුතාට ෂෙල් එකක් වැදුණේ මගේ ඇස් ඉස්සරහමයි. ඒ ෂෙල් එකෙන්ම තමයි මගේ පුතා එක්ක හිටපු අපේ එහා ගෙදර පදිංචි නංගිත් මියගියේ. මගේ මහත්තයායි මමයි එහා ගෙදර මල්ලියි ඉතිරිවෙලා හිටපු මගේ ලොකු පුතායි එහා ගෙදර දුවයි තමයි ඉතිරිවුණේ. අන්තිම යුද්ධයේදී අපි එක දිගට මාරාන්තික ගමනක් ගමන් කළා. ආමි එක ටිකෙන් ටික අල්ලාගනිද්දී අපි නගරයෙන් නගරයට මුලතිව් වෙනකන් ගියා. ඒ ගමනෙදී මගේ මහත්තයාගේ කකුල තුවාල වෙලා උණ හැදිලා මැරුණා. බෙහෙත් කරන්න ක්‍රමයක් තිබුණේ නෑ. අන්තිමේදී අපව අවතැන් කඳවුරුවලට දැම්මා. යුද්ධය ඉවර වුණා. එහා ගෙදර මල්ලි තමයි මම දැනගෙන හිටපු එකම හිතවතා. අපි දෙන්නාම එකට දරුවන්ව හදාගන්න තීරණය කළා. දෙන්නාම එක ගෙයක් හදාගත්තත් මම දිව්රලා කියනවා අපි අතර වෙන සම්බන්ධයක් තිබුණේ නැහැ. අසරණකමට දෙන්නාම එකම ගෙදරක පදිංචිවුණා විතරයි. ඒ මල්ලි යුද්ධය ඉවර වෙලා මාස කිහිපයක් යද්දී අතුරුදන් වුණා. එයා ආවේ නැහැ. අන්තිමේ එහා ගෙදර දුවවත් මම හදාගත්තා. එදා අවුරුදු දහයේ අටේ ළමයි දෙන්නා දැන් තරුණ ළමයි වෙලා. එක ගෙදරක දෙන්නාටම ඉන්න වෙලා. මම කරන්නේ කෑමජාති හදලා කඩවලට දාන එක. අවුරුදු හතක් තිස්සේ මම ළමයි දෙන්නාව බලාගත්තා. ගොඩක් ප්‍රශ්න එක්ක ඔට්ටුවුණා. මගේ පෙනුම අවුරුදු පණහක් වුණාට මගේ වයස අවුරුදු හතළිහක්වත් නෑ.’
මේ කතාව ප්‍රබන්ධයක් නොවේ. ඔබ වන්නියට නිතර යන, දෙමළෙන් කතාබහ කරන කෙනෙකු නම් මෙවන් කතාවක් අරුමයක්ද නොවේ. මීටත් වඩා දුක්බර කතා ඇති බව අසා ඇත.

යුද්ධය සහ කාන්තාව
මේ සටහන යුද්ධයෙන් පසු මට හමුවූ කාන්තාවන් කිහිපදෙනෙකු ගැනයි. යම් සමාජයක් සිවිල් යුද්ධයකට මුහුණ දෙද්දී කාන්තාව සතුව තිබිය යුත්තේ දැවැන්ත ශක්තියකි. එවන් යුද්ධයකින් පසුව තුවාල වූ සමාජයක් නැවත නැඟී සිටිනවිටත් කාන්තාවට දැවැන්ත ශක්තියක් තිබිය යුතුය. පරම්පරාවක් යුද්ධයෙන් විනාශ වූ පසුව වැන්දඹු කාන්තාවන් ජීවිත ගැටගසාගෙන කුඩා දරුවන් වන ඊළඟ පරම්පරාව ලොකුමහත් කළ යුතුය. ඔවුහු අනාගතය අත දරාගෙන සිටිති.
යුද්ධයේදී කාන්තාව මුහුණදෙන අත්දැකීම් ගැන ලියැවී ඇත්තේ අඩුවෙනි. හැම තැනම ලියැවෙන්නේ යුද්ධ කළ පුරුෂයන් ගැනයි. යුද්ධ මෙහෙයවූ පිරිමින් ගැනයි. ලංකාවේ යුද්ධය පිළිබඳ වැදගත්ම කාන්තා සාක්ෂිය තමලිනී ලියූ කෘති දෙකයි. ඇගේ කෙටිකතාවල සහ ඇගේ ස්වයංචරිතාපදානයේ යුද්ධය ගැන ඇගේ අත්දැකීම් සටහන්ව ඇත. ඊට අමතරව නිරෝමි ද සොයිසාගේ ‘ටැමිල් ටයිග්‍රස්’ කෘතිය දෙමළ කාන්තාව ගැන කතාකරයි. බිඳුණු තල්රුක කෘතියද කාන්තාව දෙස යම් අවධානයක් යොමු කරයි.
එල්ටීටීඊ සීමාව තුළ කාන්තාවට සමාන තැනක් ලැබුණු බව එල්ටීටීඊය සමඟ ගනුදෙනු කර ඇති සිනමාකරු කේසවරාජන් නවරත්නම් කියයි.

‘එල්ටීටීඊය කෙල්ලන්ටත් සාමාන්‍ය සෙබළු විදියට සටන් කරන්න අවස්ථාව දුන්නා. ප්‍රබල කාන්තා චරිත එල්ටීටීඊයේ හිටියා. මම දන්න ගැහැනු ළමයෙක් ඉන්නවා. එයා හිටියේ එල්ටීටීඊ ආමි එකේ මෝටාර් අංශයේ. එල්ටීටීඊ එක මෝටාර් මැෂින් වේගෙන් තැනින් තැනට ගෙනියනවා. එයාලා එක ඇටෑක් එකකදී මෝටාර් එකකට තැන් තුනක් විතර සලකුණු කරනවා. එක මෝටාර් එක ඒ තැන් තුන අතරේ වේගෙන් මාරු කරනවා. එතකොට ආමි එක හිතන්නේ ඒ තැන් තැන් තුනේ මෝටාර් මැෂින් තුනක් තියෙනවා කියලා. මම කියන තරුණියත් මේ මෝටාර් තැනින් තැනට ගෙනියන වැඬේ කළේ. එයාට මාර ශක්තියක්, වේගයක් තිබුණා. යුද්ධෙන් පස්සේ එයාව ගෙදරට කොටුවෙලා. එයාව කසාද බන්දලා දෙන්න හදනවා. ගහකට නඟින්නවත් ඇයට දෙන්නේ නැහැ. දෙමළ සම්ප්‍රදායට හුරු කාන්තාව ගැන ආකල්පය ඇවිල්ලා. මම යුද්ධය කාලයේ තමයි තේරුම් ගත්තේ කාන්තාවට තියෙන හයිය මොන වාගේද කියලා. මම කිලිනොච්චියේ ඉන්නකොට මගේ ළමයි එක්ක යාපනයේ හිටියේ මගේ බිරිඳ. ඇයට තිබුණේ පුදුමාකාර දරාගැනීමේ ශක්තියක්.’ ඔහු කියයි.
මේ තවත් කාන්තාවන් කිහිපදෙනෙකු අප සමඟ බෙදාගත් අත්දැකීම්වල සංක්ෂිප්ත සටහන්ය.

සුදා සුදාකරන්
‘මගේ වයස අවුරුදු තිස්අටයි. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. අන්තිම යුද්ධයේදී මුල්ලිවයික්කාල්වලදී මගේ පවුලේ කට්ටියම එනකොට ෂෙල් එකක් වැටුණා. ඒකෙන් මගේ මහත්තයායි පවුලේ අට දෙනෙකුයි මගේ ඇස් ඉස්සරහා මැරුණා. මගේ ලොකු අක්කායි එයාගේ මහත්තයායි ෂෙල් එකෙන් මැරුණා. එයාගේ දරුවා ඉන්නවා. දෙවැනි අක්කායි එයාගේ දුවයි නැතිවෙලා මහත්තයා ඉතිරිවුණා. මගේ නංගියි එයාගේ මහත්තයායි ඉතිරිවුණා. එයාලාගේ ළමයා නැතිවුණා. මේක වෙද්දී මගේ පොඩි දුවට වයස අවුරුදු දෙකයි. ලොකු දුවට දහයයි. බෝම්බෙ පිපිරුණාට පස්සේ මට මගේ මහත්තයාව හොයාගන්න බැරිව ගියා. එයාගේ ඇඟේ කෑලි හැම තැනම විසිවෙලා ගිහින් තිබුණා. මගේ පවුලේ අනෙක් අයගේ මිනී කෑලි එක්ක ඒවා මුහුවෙලා. ඒ මළමිනීවලට අවසන් ගෞරව දක්වන්නවත් අපට පුළුවන්කමක් තිබුණේ නැහැ. මළමිනී එහෙම තියලා අපි අවතැන් කඳවුරුවලට ගියා. අවතැන් කඳවුරු ගැන ඔයා ගැහැනු අයගේ අත්දැකීම් අහලා තියෙනවාද? ගැහැනු මුහුණ නොදිය යුතු හැමදේටම අපි ඒවායේදී මුහුණ දුන්නා. ගැහැනියෙක් කොච්චර දුක් විඳින්න ඕනෑද කියලා අපි දැනගත්තේ එතැනදී. කඳවුරුවල කාලයක් හිටපු අපට අන්තිමේදී සංවිධානයකින් ගෙවල් දුන්නා. කාලය ගෙවිලා ගිහින්. දැන් මගේ ලොකු දුව උසස්පෙළ කරනවා. මම යුද්දෙට කලින් ක්‍රිස්තියානි පල්ලියකින් පවත්වාගෙන යන ඉස්කෝලෙක ඉගැන්වුවා. දැනුත් මම කරන්නේ එතැන උගන්වන එක. ඒ ලැබෙන මුදලින් තමයි අපි ජීවත්වෙන්නේ. මම වැන්දඹු අයව එකතු කරගෙන පොඩි භාවනා වැඩසටහනක් කරනවා. හීලින් විත් කියලා. මම සමාව දෙන්නේ කොහොමද කියන එක ගැනයි කතා කරන්නේ. වෛරය, පළිගැනීම නැතිව ජීවත්වෙන විදිය ගැනයි කතාකරන්නේ.’

සුදාකරන්ගේ වැන්දඹු ජීවිතය තුළ ඇය මුහුණදුන් අභියෝග රැසකි. ඇයට වුවමනා වී ඇත්තේ ධෛර්යය එකතුකරගෙන ජීවිතය සාමකාමීට පවත්වාගෙන යෑමටයි. තමන් වැනිම වැන්දඹුවන්ට හැකි අයුරින් උදව් කිරීමටයි. ඇය කී අවතැන් කඳවුරුවල අත්දැකීම් තවත් කාන්තාවක බියෙන් සලිත කරවනසුලු අත්දැකීම්ය. ඒවා මෙහි සටහන් කළ නොහැක්කේ තහවුරු කරන්නට සාක්ෂි නැති නිසාය. ඒවා තහවුරු කරගත හැක්කේ ආණ්ඩුවකට ඒ සඳහා වුවමනාවක් ඇතිවුණහොත් පමණි. අනෙක් පැත්තෙන් ඒවා ගැන කතාකර යළි ‍වෛරය අවුළුවන්නට සුදාකරන් කැමති නැත.

හුසෙයින් අන්නලක්ෂ්මි
‘දෙදාස් තුනේ පෙබරවාරි හය වැනිදා මඩු ඉඳලා අපේ පවුලේ සේරම අය වව්නියාව පැත්තට පයින් ආවා. අපි කැලෑ පාරකින් ආවේ. අපට ඕනෑ වුණේ මේවායින් ගැලවිලා ඉන්දියාවට යන්න. පවුල් පහක් විතර මෙහෙම ආවා. ඕමන්තේ හරියේදී අපට ආමි එකෙන් යන්න දුන්නේ නැහැ. අපව නවත්පු ආමි එක අපේ පවුල්වල පිරිමින්ව අල්ලගත්තා. හවස හයට විතර තමයි මහත්තයාව අල්ලාගත්තේ. දහය වෙනකන් අපි එයාලාව ගෙනිච්ච කෑම්ප් එක ඉස්සරහා හිටියා. දහයට විතර මහත්තයාව අල්ලාගත්ත ආමි ප්‍රධානියා ආවා. අපේ සැමියන්ව එවන්නේ නැහැ කිව්වා. අඬාගෙන ඉස්සරහට ආපු මාව තල්ලු‍ කළා. මම විසිවෙලා ගිහින් ලොකු ගලක වැදුණා. අදටත් ඒ තුවාලය ඔළුවේ තියෙනවා. ඊට පස්සේ එතැන හිටපු කට්ටිය අපව වව්නියාවට එක්කාගෙන ගියා. මට බෙහෙත් දැම්මා. අපි එදා රෑ වව්නියාවේ බස් ස්ටෑන්ඞ් එකේ හිටියා. අපි එක්ක ආ අනෙක් පවුල් මඟහැරුණා. ඊට පස්සේ අපි සමනකුලම් ගිහින් එහේ නැවතුණා. කාලයක් යනකන් මම පොලීසි ගානේ ගියේ මගේ මහත්තයාව හොයාගන්න. ටික දවසක් ගියාම මගේ පුතාලා දෙන්නාත් අතුරුදන් වුණා. එයාලා වව්නියාවේ ටියුෂන් ගිහින් ආයේ ආවේ නැහැ. සමනකුලම්වලදී පොඩි ළමයින්ව තියාගෙන මම කුලී වැඩ කළා. සමනකුලම්වල කෙනෙක් මට එයාගේ පොඩි ඉඩමක් දුන්නා. මම ඒකේ මැටියෙන් පොඩි ගෙයක් දාගත්තා. දැන් අවුරුදු පහළොවක් තිස්සේ අපි ඒ ගෙදර ඉන්නවා. මගේ පුතාලා දෙන්නා අතුරුදන් වෙනකොට එක්කෙනෙක්ගේ වයස අවුරුදු විසිදෙකක්. අනෙක් එක්කෙනා දාහතයි. එදා මගේ ළඟ ඉතිරි වුණේ පුංචි දුවලා තුන්දෙනෙක්. එයාලා දැන් කසාද බඳින වයසටත් ඇවිල්ලා.’

මෝගන් විජයරානි
‘මගේ වයස අවුරුදු විසිහයයි. මට බබාලා තුන්දෙනෙක් ඉන්නවා. සමෘද්ධියෙන් මට පොඩි කාමර දෙකක් හදලා දුන්නා. ඒකේ තමයි අපි ජීවත්වෙන්නේ. ළමයිනට හරියට උගන්වන්න බැරි නිසා මගේ ලොකු පුතාව මම හදාගන්න දුන්නා. දෙවැනි පුතා දැන් ඉස්කෝලේ යනවා. මගේ මහත්තයාට යුද්දෙ තිබුණු දවස්වල පිළිකාවක් හැදුණා. ඒත් යුද්දෙ නිසා අපට බෙහෙත් කරන්න බැරිවුණා. එයා නැතිවුණා. එදා ඉඳන් මම මගේ දරුවෝ තුන්දෙනා එක්ක ජීවත්වෙනවා. සමෘද්ධියෙන් අපට රුපියල් තුන්දාහක් දෙනවා. අපි ඒකෙන් ජීවත්වෙන්නේ. කුලී වැඩක් ලැබුණොත් මම ළමයි තුන්දෙනාවත් එක්කාගෙන ගිහින් වැඩ කරලා එනවා. ඒකෙන් ලැබෙන ආදායමෙන් ළමයි තුන්දෙනාට කන්න දෙනවා. සමහර දවස්වලට කන්න දේවල් නැහැ. ඒත් මම කොහොම හරි මගේ ළමයින්ට උගන්වන්න ඕනෑ. උන් තුන්දෙනාව ලොකු මහත් කරන්න ඕනෑ.”

බියපත් තරුණියක්
යාපනයේ මයිලඩි අවතැන් කඳවුරේදී අපට හමුවූ තරුණියකි. යුද්ධය සමයේ ඇගේ ඇස් ඉදිරිපිට වෙඩි පහරවලින් කිහිපදෙනෙකු මරාදමා ඇත. ඉන්පසුව ඇයගේ සිහිය විකල්වී ඇති අතර දැන් ඇය තම කුඩා පැල්පතේ කුඩා අඳුරු කාමරයෙන් පිටට යන්නට බියවන්නීය. කාමරයට අප ඇතුළුවෙද්දී ඇය බියවී විලාප තියන්නට පටන්ගත්තාය. ඇය සිටින කාමරයේ ආලෝකයක් දල්වන්නට උත්සාහ කළහොත් ඇය විලාප තියන්නීය. වැසිකිළියට යන්නට පවා ඇය බියක් දක්වන්නීය. දවසකට ඇය වචනයකට දෙකකට වඩා කතා නොකරන බව ඇගේ මව කියන්නීය. තරුණ හැඩකාර තරුණියක වන ඇගේ ජීවිතයම බියෙන් ත්‍රස්තවුණු ජීවිතයක් බවට පත්ව ඇත. ඇයට ප්‍රතිකාර කරන්නට කෙනෙක්ද නැත. ඇය සමඟ සිටින එකම වැඩිහිටියා වන ඇගේ මවට මේවා තේරෙන්නේද නැත. වියපත් මවගෙන් පසුව ඒ තරුණිය බලා කියාගන්නට කෙනෙක්ද නැත.

බිම්බෝම්බ කලාපයෙන්
කිලිනොච්චියේ බිම්බෝම්බ කලාපයට අප ගිය ගමනේදීද ධෛර්යවත් කාන්තාවන් මුණගැහෙන්නට අපට අවස්ථාව ලැබුණි. එක් තරුණියක් තමන්ගේ සැමියාගේ අධ්‍යාපනය වෙනුවෙන් බිම්බෝම්බ ඉවත්කිරීම්වලට සම්බන්ධ වී කටයුතු කරන්නීය. දෙදෙනාම හිටපු එල්ටීටීඊ සාමාජිකයන් වන අතර සැමියාගේ අධ්‍යාපනයට යන වියදම සපයන්නේ ඇයයි. අපට මුණගැසුණු තවත් තරුණියක වන කෝසලාදේවී එක්වරක් බිම්බෝම්බයක් පිපිරීමෙන් තුවාල සිදුවූ පසුවත් නැවත බිම්බෝම්බ ඉවත්කිරීමේ රැකියාවට එන්නේ අනාගතය ගොඩනඟාගැනීම වෙනුවෙනි. ප්‍රමාණවත් වැටුපක් සහ විශාල රක්ෂණයක් ලැබෙන බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවලට බඳවාගනිද්දී ප්‍රමුඛතාව දෙන්නේ කාන්තාවන්ටය. ඒ නිසා බිම්බෝම්බ ඉවත් කිරීමේ කලාපවල ධෛර්යවන්ත කාන්තාවන් රැසක් මුණගැසිය හැකිය. ඔවුන්ගේ ශක්තිය සහ දරාගැනීමේ හැකියාව දකින්නට හොඳම තැන බිම්බෝම්බ කලාපයයි.

කාන්තා නියෝජනය
උඩින් කී කතා කිහිපයට මේ ටිකත් එකතුවිය යුතුය. කතා ඇසීම පමණක් ප්‍රමාණවත් නොවේ. සංහිඳියාව ගැන ඇල්මැරුණු අවධානයක් යොමු කරන ආණ්ඩුවෙන් උතුරේ කාන්තාව වෙනුවෙන් ඉටුවිය යුතු දේ බොහොමයකි. රටක් තැනෙන්නට නම් කාන්තාව ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුමය. රටක පුරවැසියන්ගෙන් බහුතරය කාන්තාවෝය. උතුරේ පුරවැසියන්ගෙන් බහුතරයද කාන්තාවෝමය. ඒ බහුතරයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය ලබා ගත හැකිනම් රටකට කොපමණ යහපතක්ද. අවාසනාවකට අපේ රටවල පාලකයන් සංවර්ධනයයැයි කියන්නේ ලොකු ඉදිකිරීම්වලට මිස මෙවන් කටයුතුවලට නොවේ. ඔවුන්ගේ සංවර්ධනය පුරවැසියන් සමඟ නොවේ. ඒවාට පුරවැසියන් දායක වෙන්නේත් නැත. පුරවැසියන් ශක්තිමත් වෙන්නේත් නැත.

උතුරේ කාන්තාව ගැන විශේෂ අවධානයක් යොමු කරන අතරේ පොදුවේ ලංකාවේ කාන්තාව වෙනුවෙන් කළ යුතු දේවල්ද බොහොමයකි. ඒ බොහෝ දේවල් පසෙක තිබියදී මූලික වශයෙන් කළයුතු වෙනස්කම් රැසකි. මුස්ලිම් විවාහ නීතිය වැනි මුස්ලිම් කාන්තාවට හානි විය හැකි නීති වෙනස්විය යුතුය. ඇතැම් සාම්ප්‍රදායික නීති ඇත්තේ කාන්තාවට හානි වෙන අයුරෙන්ය.

ඇත්තය. ලංකාව කාන්තා ප්‍රශ්නවලට වඩා දැවැන්ත ප්‍රශ්න ඇති රටකි. මෙවන් කාලයක කාන්තාව ගැන කතාකිරීම විහිළුවක් බව ඇතැම්හු කියති. ලංකාව අවුරුදු කන අතරේ ඔළුවට කුණු කඳු කඩාවැටෙන රටකි. කඳු මැදින් උමං තනා පොළොව පුපුරවන රටකි. ගෙවල්වලට ඉහළින් පෙර දැනුම්දීම් නැතිව වාන් දොරටු අරින රටකි. ඒ නිසා කාන්තාව වෙනුවෙන් මහා වෙනස්කම් අපේක්ෂා කරගැනීම පසුවට කල් තැබිය යුතු බව ඇත්තය.

එහෙත් මේ මොහොතේ කාන්තාව වෙනුවෙන් වෙහෙසක් නැතිව කළ හැකි දේවල් කිහිපයකි. ඉන් පහසුම කටයුත්තක් වෙන්නේ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇති කරගනිද්දී කාන්තාව වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ඇති කිරීමයි.
මේ සියල්ල අතරේ දැන් සාකච්ඡා වෙමින් ඇති කාන්තා නියෝජනය සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ නීති ඇති කරගැනීම වැදගත්ම කාරණයකි. නව ව්‍යවස්ථාව සඳහා අදහස් විමසීමේ කමිටුවේ සිටි ආචාර්ය හරිනි අමරසූරිය කියන්නේ නව ව්‍යවස්ථාවෙන් කාන්තා අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළු කළ යුතු බව තම කමිටුවට යෝජනා රැසක් ආ බවයි. ඒ යෝජනාව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර තිබුණත් මූලික අයිතිවාසිකම් පිළිබඳ කමිටු වාර්තාවෙන් කාන්තා අයිතිවාසිකම් හැලී ගොස් තිබේ.

කාන්තා නියෝජනය පිළිබඳ යෝජනා නව මැතිවරණ ක්‍රමය පිළිබඳ යෝජනා අතරේ වැදගත්ම යෝජනාවකි. සුළු වගන්ති වෙනසකින් කාන්තා නියෝජනය පිළිබඳ නීති ඇති කරගත හැකිය. එය කාන්තාවගේ පැත්තෙන් ලැබිය හැකි ලොකුම ජයග්‍රහණය නොවුණත් සංකේතාත්මකව මේ මොහොතේ එය දැවැන්ත ජයග්‍රහණයකි. උඩින් කී කාන්තාවන් සියල්ලන් වෙනුවෙන් එවන් වෙනසක් කිරීම වැදගත්ය.■