රාවය

සතා

සතා

මංජුල ලන්දෙකුඹුර

බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයේ අවසන් කාල වකවානුව වූ එකල මෙරට වැසියන් නිදහස් දේශයක සිහින හදවතේ පොදි ගසමින් සිටි කාලයයි. සුද්දාගෙන් ඇහිඳගත් ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටාවට තවාන් දමන්නට පෙරුම් පිරූ කාලයත් එයයි. සිලෝන් නමින් එවකට ලෝකය හඳුනන මේ පුංචි රටේ ක්‍රිකට් පිල අසල්වැසි ඉන්දියාවේ මදුරාසි නගරයේ දී දකුණු ඉන්දීය ක්‍රිකට් පිල සමග සුහද තරගයකට එක් විය. චෙපොක් පිටියේ වාසිය හොඳහැටි රදවාගත් සත්කාරක කණ්ඩායම කඩුලු‍ 7 කට ලකුණු 521ක් ලබා ඉනිම අත්හිටවූයේ පහසු ජයක් හිතේ සඟවමිනි.
ප්‍රබල පන්දු බලකායකින් සවිමත්වූ දකුණු ඉන්දීය කණ්ඩායම හමුවේ සිලෝන් පිලේ කඩුලු‍ 3 ක් බිඳවැටුණු විට පිටියට පිවිසියේ සිහින් සිරුරක් හිමි දකුණ’ත් පිතිකරුවෙකි. දකුණු ඉන්දීය පන්දු යවන්නන් කිසි ලෙසකින්වත් නොසලකා හිතේ හැටියට පිත්ත හැසිරවූ මේ ඉලන්දාරියා චෙපොක් පිටියට රැස්වූ ක්‍රිකට් ලෝලීන් අතර වීරයෙකු වූයේ ඔහුගේ පිතිකරණයේ අලංකාරය නිසාමය. ලේට් කට් පහරේ රුසියෙකු වූ ඔහු පන්දුවට තමා වෙත එන්නට ඉඩහැර පිත්ත යන්තමින් හැඩකරමින් ස්ලිප් අතරින් පන්දුව තල්ලු‍ කළ අයුරු විස්මයජනකය. පා ඉන්න දෙසින් ඇදෙන පන්දුව ඇඟිලි තුඩු මත නැගෙමින් ඩීප් ෆයින් ලෙග් හරහා යොමු කළ අන්දම හරිම අපූරුය. සියල්ලන් ආකර්ෂණය කළ මේ ඉනිම විනාඩි 248 ක් පුරා දිග හැරුණු මනරම් සිනමාපටියක් සේ විචිත්‍රවත් බවට පසුදින දකුණු ඉන්දීය පුවත්පත් සියල්ල වර්ණනා කර තිබුණි.

එවකට ලොව ඉහළම නම් තැබූ පිතිකරුවන් කීපදෙනාම මේ ඉනිම තුළින් දුටු වගට ඉන්දීය ක්‍රීඩා වාර්තාකරුවෙකු තැබූ සටහන මේ ඉනිමට හිමිවූ ඉහළම සහතිකයයි. ‘සොර්බර්ස් ගේ ඩ්‍රයිව් පහරේ ජවයත්’, ‘හැසට්ගේ පිතිකරණයේ විශ්වාසයත්’, ‘වීක්ස්ගේ පා හැසරවීමත්’, ‘නයිදුගේ ගිනි කෙළියත්’ එකම ඉනිමක දුටු බව ඔහු ලියා තිබුණි. මහදේවන් සතාසිවම් නම් මේ හැඩකාර පිතිකරුවා එදා එනම් 1947 වසරේ ලැබූ මේ ද්විත්ව ශතකය චෙපොක් පිටියේ ලාංකිකයකුගේ සුපිරිම ඉනිම බව අදටත් පිළිගැනීමයි.

1950 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය කණඩායම සමග සිලෝන් පිල සුහද තරගයකට එක් විය. එදා කොදෙව් පිල නියෝජනය කළ බහුතරය හමුවේ සිලෝන් පිල ලකුණු 153 කට සීමාවිය. ෆ්‍රෑන්ක් වොරෙල්, ගෙඕ ටි්‍රබේ, ෆ්‍රෙඞ් ෆ්රීර් සහ ගෙඕ පොපේ වැනි දැවැන්තයන් හමුවේ හිස කෙලින් තබා ක්‍රීඩා කළ සතාසිවම් අමතක නොවන ලකුණු 96ක් ලැබූ අතර ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ප්‍රතිවාදී පිලේ බහුතරය ඔහු අසලට පැමිණ සුබ පැතූහ. තරගයෙන් අනතුරුව ෆ්‍රෑන්ක් වොරෙල් ප්‍රකාශ කළේ ලෝක ක්‍රිකට් කණඩායමක් නම් කරනවා නම් තමාගේ පළමු තේරීම සතාසිවම් බවය. එකී තරගයට ක්‍රීඩා කළ ශ්‍රීමත් ගාෆීල්ඞ් සොර්බර්ස් පසු කලෙක සතාසිවම් අගයන්නේ මිහිපිට තමන් දුටු සුපිරිම පිතිකරුවා ඔහු බවට වර්ණනා කරමිනි.

1915 ඔක්තෝබර් 18 වැනිදා උපන් මහදේවන් සතාසිවම් මුලින් අකුරු කරන්නේ ශාන්ත ජෝශප් විදුහලෙනි. පසුව වෙස්ලි විදුහලින් ක්‍රිකට් දීප්තිමත් කරගන්නා ඔහු එවකට කැම්බල් පිටියේ වාර්තා රැසක් අලු‍ත් කිරීමට සමත් විය. එවකට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ඔහු ලැබූ ලකුණු 142 ඉනිම අදටත් වෙස්ලි විදුහල සතු ස්වර්ණමය මතකයකි.

ද්‍රවිඩ සංගම් පිල හෙවත් ටැමිල් යුනියන් කණ්ඩායමේ පතාක යෝධයකු වූ සතාසිවම් අන්තර් සමාජ තරග බිමේ ද්විත්ව ශතක 4ක් සමඟ ශතක 44ක් ලැබුවේ ඔහුගේ පිතිකරණයේ අපූර්වත්වයට හොඳහැටි සාක්ෂි සපයමිනි. අවාසනාවට මේ අපූර්ව පිතිහරඹය ටෙස්ට් ලකුණු සටහන් අතර දක්නට නොලැබුණේ එවකට අප ටෙස්ට් වරම් දිනා නොතිබුණු බැවිනි. අළු බදුන වෙනුවෙන් ඕස්ටේ්‍රලියා සහ එංගලන්ත කණ්ඩායම් සංචාරය කරන අතරතුර ඉඳහිට නැවක් කොළඹ වරායේ නැංගුරම් දැමුවොත් පමණක් සතාසිවම්ගේ පිලට තරගයක් හිමි විය. එසේ නොවේනම් අඩුම තරමේ දකුණු ඉන්දියාවට හෝ යායුතුය. එබැවින් සතාසිවම්ගේ ක්‍රීඩා දිවිය සිලෝන් පිල හමුවේ පළමු පෙළ තරග 11 කට පමණක් සීමාවිය.
නිදහස් සටනේ අද්විතීය නාමයක් වූ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිනිපිරියක වූ සුරූපී රාජේන්ද්‍ර යුවතිය හා සතාසිවම් විවාහ වන්නේ 1941 දීය. 1948 දී සිලෝන් පිලට නායකත්වය දුන් සතාසිවම් එවකට මෙරට ජනප්‍රිය චරිතයක් විය. සතාසිවම් වෙනුවෙන් ඔහුට තැබූ ආදර නාමය “සතා” විය. ජනප්‍රියත්වය සමග සතාසිවම් ලු‍හුබැඳි කාරණා සේම ඔහු ලොල් වූ පුරුදුද එමට විය. “සතා” ලෙස ඔහු ඇමතු සියල්ලන් එම නම ඔහුට කදිමට ගැළපුණු බව නම් සිතුවාට සැක නැත.

1951 ඔක්තෝබර් 9 වන අඟහරුවාදා උදෑසන බම්බලපිටිය පොලිසියට යාබද ශාන්ත ඇල්බන්ස් පෙදෙසේ අංක 07 හිමි “ජයමංගලම්” නිවස රට පුරා ප්‍රචලිත වන්නේ නිවසේ ස්වාමි දුව ගරාජයේ මිය ගොස් සිටි බැවිනි. එය රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූයේ මියගොස් සිටියේ සතාසිවම්ගේ බිරිය බැවිනි. ඒ වන විටත් බිරියගෙන් දික්කසාදය අපේක්ෂාවෙන් සිටි සතාසිවම් වෙත බිරිය ඝාතනය කළ බවට වූ චෝදනාව සුළුපටු නොවීය. සැක පිට රක්ෂිත බන්ධනාගාරව සිටි සතාසිවම් දරුණු අපරාධකරුවෙකු ලෙස ඇතැම්හු හංවඩු ගැසූහ. මාස 20 ක උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ තවත් විප්ලවීය මෙහෙයුමකින් සතාසිවම් සියලු‍ චෝදනාවන්ගෙන් සිදහස් වන්නේ වංගෙඩිය වරදකරු වූ සුප්‍රකට තීන්දුවෙනි.

රටක් කැළඹූ ඝාතනයක් සහ නඩු තීන්දුවකින් පසු මහදේවන් සතාසිවම් රට හැර ගියේය. පසුව සිංගප්පූරු ක්‍රිකට් කණ්ඩායමටත් මැලේසියා පිලටත් නායකත්වය දුන් ඔහු රටවල් තුනකට නායකත්වය දුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස විරල වාර්තාවකට හිමිකම් කීවේය. මහදේවන් සතාසිවම් වයස අවුරුදු 62 දී එනම් 1977 දී තම ජීවන ගමනට සමුදෙන්නේද යළි කොළඹදීය.

ප්‍රේමසර ඈපාසිංහ මහතාට අනුව ලේට් කට් පහරේ ඔහුගේ වීරයා සතාසිවම්ය. ශ්‍රීමත් ගාෆීල්ඞ් සොර්බර්ස්ට අනුව මිහිපිට ඔහු දුටු හොඳම පිතිකරු මහදේවන් සතාසිවම්ය. එවකට අප ටෙස්ට් ලබා තිබුණේ නම් හෝ ඔහු ටෙස්ට් වරම් දිනු පසු උපන්නේ නම් සැබැවින්ම ශ්‍රී ලංකා පිලේ “සතා” ලෙස ලොවක් දෙපාමුල රඳවාගන්නා පිතිකරු සතාසිවම් වනවාට සැක නැත.■