රාවය

සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර සමර

සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර සමර

මාලතී කල්පනා ඇම්බ්‍රොස්

ගෙවී ගිය නව වසක් පුරාවට සියවරකට වැඩිය පෙරළා බැලු‍ණු පොතකි. දහ අට මසක් පුරාවට මග හැරුණු අකුරක් වේ නම් සොයා ගනු පිණිස ස්පර්ශ කළ හැකි වේ දැයි වරින් වර අතගා බලන නමකි. ඒ එක කවිය වරක් කියවූවොත් සිය වරකි.
සිතෙයි නම්
දොර කවුළු වසාගෙන
සිටිය යුතු යැයි
එසේ කළ මැන

මම සිටින්නෙමි
විවෘතව
උමඟ කෙළවර
එළිය ඇති තැන
අසීමිතව…
(එක කවිය සිය වරක්, 2009)
කල් ඇතිව එසේ කියා තබා දෙදහස් පහළොවේ සැප්තැම්බර් මාසයේ දවසක සමර විජේසිංහ නොදන්වාම සිය දිවි නන්දිතය නිම කොට තිබුණි. ඔහුගේ අසීමිත කවි ගැන දැනෙන දෙය ලිවිය යුතුයයි බොහෝ වර සිතුවද නො ලිව්වේ ඒ තුංග කවිවලට ක්ෂුද්‍ර මා’තින් අඩුවක් වෙතැයි යන බිය නිසා මිස අන් කිසිවක් නිසා නොවේ. කවි විඳිනු මිස විචාරන මගක් නො දන්නේ වන බැවින් විඳුම පමණක් මෙහි ලියා තබමි. ඔහු ලියා පළ කළ කෙටිකතා පොත් පහ ගැන මෙහි ලියන්නට මගේ මඳ දැනුම සමත් නො වූවද ඒවා අපූර්වතම වූ ශෛලියකින් සිංහල කෙටිකතාවෙහි වෙසෙස් සලකුණු සනිටුහන් කර ඇති බැව් ඒ කතා කියවීමෙන් සහ ඒ ගැන ලියැවී ඇති සීමිත විචාර කිහිපය කියවීමෙන් වටහා ගත හැකි වනු ඇත.
සමරගේ කවි ඉගැඹුරු දාර්ශනික මානයන්ගෙන් ජීවිතය විනිවිදින්නේ ඉතා සරල බසෙකිනි. මහා අරුතක් කෙටි වදන් කිහිපයක් තුළ හොවා පෙර නොවූ විරූ අපූර්වත්වයකින් නිමැවෙන ඒ කවි කියවන්නා කම්පනය කරන්නේ බලාපොරොත්තු නොවූ අයුරිනි.
සමහර නිශ්ශබ්ද රාත්‍රීවල
හැර බලමි උඩුමහල කවුළුව
අසල් වැසි ගෙවල්
සතුටින් පිරී ඇත්දැයි
ඔහුගේ කවි, චිත්තාභ්‍යන්තර හැඟීම් ද සන්තානගත දැවීම් සහ පෙරළි ද ජීවිතය යනු කුමක්දැයි ඔහු ද අපද සෙවූ සොයමින් සිටිනා දෙය ද වටහා ගැන්ම පිණිස බොහෝ වර වර ගැන්වුණේය. ඒ තුළ සීමා මායිම් නො ඇඳි ප්‍රේමයේ දහසක් මල් ද ලෝකය විසින් තනනු ලැබුවා වූ සීමා ප්‍රාකාර ද සිත්තම් වුණේ ය. අසීමිත බව ම ඔහුගේ කවියෙහි ලකුණ විය. ප්‍රේමයෙහි ද ජීවිතයෙහි ද සීමා රහිතව පැතිරුණ බව මනරම්ව දකිමින් ඒ නෙක වර්ණිත චිත්‍ර සංයමයේ පින්සල් තුඩින් පෑ ගැන්වූයේ ය.

කුලක ඇත සම්මත
යෙහෙළිය පෙම්වතිය සුන්දරිය යැයි
නම් කරන ලද
ඔබ අයිති නැත කිසිවකට
සබා මැද කිව නොහැකි
බැඳීමක් ඇති මිසක

ජීවිතය නම් වූ දෙය
උරුම කළ දේය මේ අපට
……………………….
වැසිවලාහක
දිගු කාළ කේශිය
නුඹට එරෙහිව මම
සෙවිලි කළෙමි පියස
මනා ලෙස

ඉදින්…?
බලව
යළි තෙමනු හැකිදැයි
මා ඇතුළු සිත

ගේහසිත ජීවිතයේ ශුෂ්ක ඉම් සහ කෙම්බිම් ද බන්ධනයන්හි සුඛ හා දුක්ඛ නිමේෂයන් සේ ම අප යා යුතුයයි නියම කරන ලද මගෙහි වගුළ සුවහසක් හලාහල පාත්‍රයන් ද ඔහුගේ කවියට ප්‍රස්තූත විය.

ආත්මාරක්ෂාවට
ආයුධ සන්නද්ධව
ආපසු ගෙදර එන විට
ඇය අත සමාවේ කඩුවය

ඉදින් මා
කුමකින් පහර දෙන්න ද
ඇයට
…………………………….
කලක් විය අපූරුතම
ඇයට ප්‍රේම කළ
ඇයද පෙරලා ප්‍රේම කළ
හේතු අපමණ තිබිණ දෙදෙනාට
පෙම් නොකර ඉන්නට නොහැකි වුණ
ඉදින් අපි නොනැවතී පෙම් කළෙමු
දිගින් දිගටම
දිගින් දිගටම
ප්‍රේමය පැසී
ඉදී
ගිලිහී
පතිතවන තුරුම බිම
සිය තියුණු උපහාසය ඔහු තනුක කළේ පරිණත ජීවන දැක්මේ දයා දියෙනි. කිසිවිටෙක ද්වේෂසහගත නොවූ ඔහුගේ ලියවිලි මානව ප්‍රේමී වූයේ, ඉසියුම් අවබෝධයකින් යුතුව අවට ලොව යථාර්ථයන් විනිවිදින අතර ම ප්‍රශ්න කළේය. තමන් අනුදත් වෙනස් වූ මගක් විමුක්තියක් ගැන නො මසුරුව ඉඟි කළේය. ඔහු ලද සැම විටෙක භෞතික අත්පත්කර ගැනීම්හි ඇති නිෂ්ඵල බව මිතුරු ස්වරයකින් සියුම්ව කියා පෑවේය. ජීවිතයෙන් පලා යන කලකිරුණු දර්ශනයක් වෙනුවට සිය කවි තුළ සෞන්දර්යමය මාවතක දම් පැහැ මල් අතුරා පෙන්වාලූවේ ය.
අත්හළෙමි ගිරි තරණ
වටෙන් යා හැකි හෙයින්
එකම තැනටම ගමන නිමවෙන
පෙත් මඟකි සොඳුරුතම
වනවදුල් දියකඳුරු පසුකර යන
නැවතෙමින් තැන තැන
සිසිල වැඩි සුළඟක් පමණි
එරෙහි මා සමඟ

සොඳුර යළි
තරගයට නොදුවමි
ජයගතිමි මේ මඟට බට සැණම
සමරගේ කවි තුළ අපට හමුවන අනෙක් විශේෂත්වය වන්නේ ගැහැනුන් කෙරෙහි ඔහු හෙලනා දුර්ලභ සමවාදී මානවීය දෘෂ්ටිය යි. අප කාටත් ගෘහ දිවිය තුළ ද නිදහස් ශෘංගාරමය බැඳීම් තුළ ද නාමකරණය කළ නො හෙන ස්ත්‍රී පුරුෂ සබැඳියාවන් තුළ ද එදිනෙදා දිවියේ සියලු‍ තන්හි හමුවන්නාවූ ද සියලු‍ ගැහැනුන් මත ඔහු එළන මිත්‍රත්වයේ ද දයාවේ ද සළුව එතරම් ම උණුසුම් ය. සිළිටි ය. එය එක්තරා අයුරකින් කලාව තුළ සම්මත ශෘංගාර එළඹුම් ද ගැහැනිය විෂයෙහි ලා බහුලව හෙලූ නිෂේධනීය දෘෂ්ටීන් ද අභියෝගයට ලක් කරන්නකි.
ඉතා කුඩා විශාල වෙනස

අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
බෙහෙත් ඇත

බෙහෙත් ටිකක්වත්
බොන්නෙ නැති
ගෑනු කොහොම ද
දරාගෙන ඉන්නෙ
………………………………….
පින්වත් කුමරුවෙක්
සොයයි පින් මඳ කුමරියක්
කෙටි ඇසුරකින් පසු
වෙන් වෙන්න සුදුසු
……………………………………………
සිතනවා ඇති මුව දෙනුන්
තරුණ විය එළඹෙත
ඉක්මනින් ගොදුරු විය යුතුයැයි
බාහු බල ඇති
වගෙකුට වළසෙකුට
ජීවිතය තුළ අප වැරෙන් බැඳෙන බොහෝ දෙය එසේ තරව ගන්නට තරම් නොවටිනා බව වැඩි වෙහෙසක් නැතිව මුත් විස්මිත නිර්මාණාවේශයකින් කියන්නට ඔහුගේ කවිය සමත් විය. කප් සුවහසක් කල් වසන්නට සටන් වදින, තරගයට දුවන මිනිස් ජීවිත දෙස සුහද උපහාසයෙන් බලා ඔහු මෙසේ ලීවේය.
කලණ හා කලණ නොවනා මිතුරනි
පරම හා පරම නොවනා සතුරනි
මඳය කාලය
සිත පිරෙන්නට යහළු වී ඉන්නට හෝ විරසකව ඉන්නට

අමතකය දැන්
සිත බැඳුණ කාරණ
සිත බිඳුණ කාරණ
………………………………………………
කිම ළතැවෙනු
සදා ගත හැකි කොට
අති පුද්ගලික අපායක්
තමාටම
ගැළපෙන විදියට

තියෙනවා නේද
කළමනා සියල්ලම
අත ළඟම

ජනප්‍රිය විලාසිතාවාදී ඇදහිලි ද මවාපෑම් ද සියුම් උපහාසයෙන් දක්වාලූයේ සූක්ෂ්ම අයුරිනි.

බුදුන්ගේ උස!
බිම සිටින අපට
බණ නොඇසෙන තරමට

කියවා අවසන් කරන ලද කවියකට අප ජීවිතය දෙස බලන’යුරු වෙනස් කළ හැකි නම් එය කවිය ද ඉක්ම වූ ප්‍රඥාමය විස්මයකැයි සිතමි. සමර සතුවූයේ ඒ විස්මයාවහ නිර්මාණශීලීත්වයේත් බුද්ධියේත් මහිමාවයි. සියක් කවි නො කියවුව ද එකම එක කවියකින් පමණක් වුව පාඨකයා අවදි කරවන්නට සමත් ඒ කවියා නූතන කවිය තුළ සැඟව ගියේ කොතැනදැයි විපිළිසර වෙමි. කාව්‍යමය බවින් ද දාර්ශනික බවින් ද සිංහල කවි ඉතිහාසයෙහි කිසිවෙකුට නො දෙවෙනි වන සමරගේ කවියට සිදු වූ සුවිසල් ම හානිය නම් දැනුවත්ව හෝ නො දැනුවත්ව විද්‍යාර්ථීන් හා විචාරකයන් අතින් ඒවා මගහැරීයාම බව මගේ පෞද්ගලික අදහසයි. ජීවත්ව හිඳියදී ද මිය ගිය පසු ද ලොවෙන් කිසිවක් අපේක්ෂා නො කළ, ක්ෂුද්‍ර ජීවිතයක් පැතූ ඒ විසල් ආත්මයක් සහිත මිනිසාට කවුරුන් හෝ ඒ කවි වැනුව ද නැත ද ඉන් පහළ වන සොම්නසක් හෝ දොම්නසක් නැත්තේ වුව ද ඒ කවි කියවිය යුතු එයින් එළිය ලැබිය යුතු දහසක් මිනිසුන්ට මග හැරෙන දෙය සමරගේ කවියකින් එළිය දුටු අයෙකුට මිස අන් අයෙකුට වටහා ගත නොහැකි වනු ඇත.
සමරගේ නික්ම යෑම නික්ම යෑමක් නො වන්නේ ඔහු ඉතිරි කොට තබා ගිය ලියවිලි නිසාවෙනි. ඒවා ජීවිත දාහයෙන් වෙහෙසව එන අපට ශුෂ්ක කතරක හමුවන සුනිල විල් දියක් මෙන් විටින් විට දිය දෙයි. ඔහුගේ කවි හෝ කතාවල විශේෂත්වය වන්නේ එයින් දැනුම හෝ දැනවුම අපට කාන්දුවන්නේ අප අපට ම විවෘත වන ප්‍රමාණය මත වීමයි. එකිනෙකා පරයා දුවන තරගයම ජීවිතයයි අදහන, අත්පත් කර ගැනුම විමුක්තියයැයි සිතන, සිරගත කොට සිරි බැලීම ප්‍රේමය යයි නම් කරන ලෝකයක සමරගේ ඇඟිලි විදාහළ දෑතින් ද සිතුවිලි මුදාහළ නිවහල් ආත්මයෙන් ද අසිරිමත් විචිත්‍ර දෑසින් ද මැවූ ඉගැඹුරු සරල ජීවන සත්‍යය වටහා ගැනුම බහුතරයකට අසීරු වන්නේ නම් එය විස්මයක් නො වන්නේ රේස් නො දුවන සියල්ලන් උන්මත්තකයන් ලෙස හංවඩු ගැසීම අප වසන පොළව මත සාමාන්‍යකරණය වී ඇති බැවිනි.

සමරගේ කවි අයිති මිනිසුන්ට ය. කුරුඳුවත්තේ සිට කටුනායක, චාවකච්චේරිය දක්වා ජීවත් වන ස්ත්‍රීන් ද බැලේස් ක්ලබ් යන අයගේ සිට දුම්රියේ යන, රේස් කොළ බලන අය තෙක් පිරිමින් ද, අතැඟිලි බැඳුණු නොබැඳුණ, නම් ලද නො ලද බැඳීම්වල විඳින විඳවන සිත් හිමි අය ද ඒවා කියවිය යුතුය. එයින් ලෝකය තව බිඳක් හෝ නිවෙනු ඇත. සුන්දර වනු ඇත.

මගේ රහස ඔබට කියා මින් නවතිමි. ඔබ අදින් පසු දවසක සවස අහසෙහි දම්පාට වලාකුළු අහුරක් දුටුවොත් ඒ සමර ය. ඔහුගේ දිලිසෙන පියවර ය.

දිලිසුණ පියවර කීපය

අප එවා ඇත
වරක් පමණක්
මේ පොළව මත
කෙටි දුරක් ඇවිද යාමට

සතුටු වෙමි
ඒ කෙටි දුරින්
බොහෝ දුර මා පැමිණි පසු
අප එකට
දිලිසෙන පියවර කීපයක්
ගමන් කළ බැවින්
සිහින් මීදුමට
අතුරුදන් වන්න පෙර ඔබ

මගේ ජීවිතය
එම දිලිසෙන පියවර කීපය ය
(එක කවිය සිය වරක්, 2009)

(කවි උපුටා ගැනීම ‘එක කවිය සිය වරක්’ කාව්‍ය සංග්‍රහයෙන්, බූන්දි වෙබ් අඩවියෙන් සහ සමර විජේසිංහගේ ෆෙස්බුක් පිටුවෙනි.)■
බූන්දි වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලද්දකි.