රාවය

දේශපාලකයන්ට බලය පවත්වාගෙන යන්න ජනවාර්ගික අර්බුදය අවශ්‍ය වෙනවා |එම්. රිෂාන් ෂෙරීෆ

දේශපාලකයන්ට බලය පවත්වාගෙන යන්න ජනවාර්ගික අර්බුදය අවශ්‍ය වෙනවා |එම්. රිෂාන් ෂෙරීෆ

තක්ෂිලා ස්වර්ණමාලි

ඉන්දියාවේදී 2010 වර්ෂයේ ප්‍රකාශයට පත්කෙරුණු රිෂාන්ගේ මුල්ම පොත ගැන මතක් කළොත්…
ඒක කවි පොතක්. මගෙ කවි පොතේ නම ‘වීල්දලින් නිළල්.’ ඒකෙ තේරුම ‘වැටෙන එකේ හෙවණැල්ල.’ උස තැනක ඉඳලා මොනවා හරි වැටනකොට තත්පර ගණනකට හෙවණැල්ලක් තියනවා නේද? ඒක වැටුණාම ඒ හෙවණැල්ල අතුරුදන් වෙනවා. ඊලාම් යුද්ධයත් එහෙමයි. ගොඩාක් උස තැනක ඉඳලා බිම වැටුණා. ඒක උස තැනට ගෙනියන්න ගොඩාක් අය මහන්සි වුණා. වැටුණාට පස්සේ ඒ අය හෙවණැල්ල වගේ අතුරුදන් වුණා, නැත්නම් අතුරුදන් කළා. වැටුණු දෙයට මොකුත්ම කරන්න බැරි වුණා. ලේ මැදින් යටත්වුණා. ලේ පැල්ලම් ටික ඉතුරු වුණා.
මේ පොතේ තිබුණේ මමම ලියපු කවි ටිකක්. ප්‍රතිචාර හොඳයි කියල හිතනවා. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ දමිළ කවි පොතක් පළවෙනි මුද්‍රණයෙන් එහාට යන එක අඩුයි. මේ කවි පොත තුන්වෙනි මුද්‍රණයටත් සූදානම්.

රිෂාන් ඊළඟට කළ සාහිත්‍ය කෘතියට ලංකාවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ලැබුණා. ඒ දෙවෙනි කෘතිය රිෂාන්ට දැනෙන්නේ කොහොමද?
දෙවනුව මම කළේ සුනේත්‍රා රාජකරුණානායකලියූ ‘කෙටි කරපු දිග කතා – ගෙදර බුදුන්ගේ රහස’ කතාවෙ දමිළ පරිවර්තනය. දෙමළින් ‘අම්මාවින් රහසියම්.’ ඒක ජේවීපී අරගල කාලේ දුක්වෙච්ච අම්මා කෙනෙකුගේ මතක සටහන්. ඒ කලබල කාලෙත්, යුද්ධ කාලෙත් එක එක මිනිස්සුන්ගේ අත්දැකීම් ඉතා දුක්බරයි. ඒවා සටහන් කරලා තියන්න ඕනෑ අනාගත පරපුරට කියවන්න. ඒ මගින් එක යුගයක ජීවත්වුණු මිනිස්සුගේ දුක්කඳුළු ඉරණම ගැන දැනගන්න පුළුවන්.
ඒ කෘතියට 2011 වර්ෂයේ නිකුත්වුණු හොඳම පරිවර්තන නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණා. මේ සම්මානය මම බාරගත්ත එකට සිංහල කිවියන් ගොඩාක් විරුද්ධ වුණා. යුද්ධය මගින් දමිළ මිනිස්සුන්ට වෙන අසාධාරණය වෙනුවෙන් ඒක ප්‍රතික්ෂේප කළේ නැත්තේ ඇයි කියලා මාත් එක්ක තර්ක කළා. ඇයි මට බාරගන්න බැරි? මමත් මේ රටේ එක්කෙනෙක්. මම ලංකාවෙ මාවනැල්ලේ ඉපදුණු කෙනෙක්. මම සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත්තු කෙනෙක් නෙවෙයි. ඉගෙනගත්තේ දමිළෙන්. සිංහල මමම ඉගෙනගත්ත භාෂාවක්. මේ මට මගේ පරිවර්තන හැකියාවට ලැබුණු සම්මානයක්. මගේ මව්රටත් මේ ශ්‍රී ලංකාව කියලා මේ සම්මානය අඟවනවා. ඒක මට වටිනවා. රජයෙන් දෙන උපාධි ඒ අයට වටිනවා. රජයෙන් දෙන රැකියා ඒ අයට වටිනවා. ඒ අය රජයෙන් දෙන හැම එකක්ම බාරගන්නවා. හැබැයි දමිළෙන් ලියන අයට මොනවා හරි සම්මානයක් දුන්නොත් ඒ අයට දරාගන්න බැහැ.

සුනේත්‍රාගේ අර කතාව දමිළ පාඨකයන්ට අලු‍ත් එකක් වුණා. මොකද ගොඩාක් සාමාන්‍ය දමිළ අය ජේවීපී අරගලය කාලේ රජයේ හමුදාව මගින් කරදරවලට මුහුණදුන් සිංහල අය ගැන දැනගෙන හිටියේ නැහැ. ඒවා දමිළෙන් මේ වගේ වාර්තාවෙලා තිබුණේ අඩුවෙන්. ‘මුළු සිංහල ජනතාවටම ලංකාව කියන්නේ ස්වර්ගයක්’ කියලායි ගොඩාක් දමිළ අය හිතාගෙන හිටියේ. ලංකාවේ පීඩිත පන්තියේ මිනිස්සුන්ගේ දුක ගැනත්, ඒ දුකට ජාතිය අදාළ නැති එක ගැනත් ඒ මිනිස්සු දැනගත්තේ පරිවර්තන මගින්. කොයි රටේත් ඉන්න දෙමළ පාඨකයන් ඒක දැනගන්නේ පරිවර්තන මගින්. ඒකට අර කෘතිය ගොඩාක් උදව් කළා.

ඔබ, ඔබේ සහෝදරිය ෆහීමා ජහාන් සමඟ මංජුල වෙඩිවර්ධනගේ ‘මාතෘකාවක් නැති මාතෘභූමිය’ කවි පොත දෙමළට පරිවර්තන කළා. ඒ පොතේ රිෂාන්ට දැනුණු විශේෂත්වය මොකක්ද?
ඉස්සෙල්ලාම මම දමිළට පරිවර්තනය කළේ මංජුල වෙඩිවර්ධනගේ කවියක්. ඒක රාවය පත්තරේදී මම දැක්කා. ඒ කවිය මගේ හිතට දැනුණා. ඒක පරිවර්තනය කරලා මගේ සහෝදරි ෆහීමා ජහාන්ට පෙන්නුවා. එයාත් කිවිඳියක්. කවිය බලලා එයා කිව්වා මංජුලගේ කවි ගැන. පීඩනයට පත්වුණ දමිළ මිනිස්සු ගැන ගොඩාක් කවි ලියන මංජුලගේ කවි ටික අපිට ගොඩාක් දේවල් කියලා දුන්නා. අපි මංජුලගේ අර කවිය අපේ බ්ලොග් එකේ පළකළා. ඒකට ගොඩාක් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒක බලලා එංගලන්තයේ Ezhuna Media Foundationඑකෙන් අපිට කතාකළා. මංජුලගේ ‘මාතෘකාවක් නැති මාතෘභූමිය’ සම්පූර්ණ පොතම දමිළට පරිවර්තන කරලා දෙන්න කිව්වා. ඒක මමත්, මගේ සහෝදරියත් එකතුවෙලා පරිවර්තනය කරලා දුන්නා. ‘තලපෛ්පට්ර තායිනිලම්’ කියන ඒ පොත 2013දී ලන්ඩන්, නොර්වේ, කැනඩා, ස්විට්සර්ලන්ඞ්, ඉන්දියා යන රටවල නිකුත් වුණා.

හැබැයි ලංකාවට ඒ පොත ආවේ නැහැ. ඒ පොත නිකුත්වෙලා අපිට පිටපත් එවලා තිබුණා. ඒත් අපිට ඒවා ලැබුණේ නැහැ. තැපැල් කන්තෝරුවෙන් ඒක දෙන එක තහනම් කළා. මේවා අපිට විතරක් සිද්ධවුණු දේවල් නෙමෙයි. ගොඩාක් දමිළ පාඨකයන්ට අවශ්‍ය පොත් ටික පිටරටවලින් ගෙන්නා ගන්න බැහැ. කවරේ සහ පොතේ ඇතුළේ මොනවාද තියන්නේ කියලා බලනවා තාමත්. ‘මේ පොතේ මොනවාද ලියලා තියන්නේ, මොනවටද ගෙන්න ගත්තේ.’ වගේ ඒ අය අහන ගොඩාක් ප්‍රශ්නවලට දිගු වෙලාවක් මුහුණ දෙන්න සිද්දවෙනවා. පොත කියවන්නේ නැතුව කොහොමද පොත ගැන කාටවත් කියන්න පුළුවන්? පොතේ ප්‍රභාකරන්ගේ පින්තුර හෝ ආයුධ හෝ පරණ කොටි සාමාජිකයන්ගේ පින්තුර හෝ තිබුණොත්, යුද්දෙට සම්බන්ධ මොනවා හරි තිබුණොත්, යුද්ධය ගැන මොනවා හරි සටහන්වෙලා තිබුණොත් පොත ගන්න ආ කෙනා ඉවරයි. කවුරුත් නිකන් හිරේ යන්න කැමති නැහැනේ. ඉතින් ලංකාවේ දමිළ පාඨකයන්ට තමන්ට අවශ්‍ය පොත පිටරටවලින් ගෙන්නලා කියවන්න බැහැ. රජය කියවන්න අනුමැතිය දෙන පොත විතරයි කියවන්න පුළුවන් වෙලා තියන්නේ.

පහුගිය අවුරුද්දේ රිෂාන් කළ කෙටිකතා පොත ගැන..
ඒක ‘අඩයික්කල පාම්බුගල්’ කියන කෙටිකථා පොත. ඒක මගේම කෙටිකථා 25ක් ඇතුළත් වුණු පොතක්. ඒ නමේ තේරුම ‘සරණ පතන සර්පයෝ’. ඒවා අපේ ජීවිතේ ඉන්න මිනිස්සු, ඉඳලා මැරිච්ච මිනිස්සු ගැන ලියූ කතාවල්. සතුට, දුක, ලැබෙන දේවල්, අහිමිවෙන දේවල් ගොඩාක් එක්ක සටන් කරන මිනිසුන් හැමදාම අපි දකිනවා. හැප්පිලා හරි, එකඟවෙලා හරි අපිට හැම මනුස්සයාත් එක්කම කොහොම හරි ජීවත්වෙන්න වෙනවා නේද? එහෙම තියෙන ජීවිතය මගහැරලා යන්න කාටවත් බැහැ මැරෙන්නැතුව.

ඔබ චෙන්නායිහිදී දමිළ පාඨකයන් වෙත නිකුත් කළ පරිවර්තන ග්‍රන්ථය ගැනත් මතක් කරමු.
ඒකෙ නම ‘ඉරුදි මනිත්තියාලම්.’ සිංහලෙන් තේරුම ‘අන්තිම පැය’. ඒ නම ඇතුළේ තියෙන එක කවියක නමක්. සිංහල භාෂාවෙන් ලියන කවිකිවිඳියන් දහ දෙනෙක්, ඒ අයගේ සමකාලය ගැන, යුද්ධය ගැන, පීඩා විඳින මිනිස්සු ගැන ලියූ කවි රාශියක් දමිළට පරිවර්තන කරලා ඒක පොතක් විදිහට නිකුත් කළේ.

මම අවුරුදු හතරක් මහන්සිවුණු මේ පරිවර්තන කෘතිය දමිළ පාඨකයන් අතරේ ගොඩාක් අගයකිරීම්වලට ලක්වෙනවා. මොකද ගොඩාක් දමිළ පාඨකයෝ මේ කාලේ සිංහලෙන් කවි ලියන අයව දැනගෙන හිටියේ නැහැ. මේ කෘතිය මගින් ඒ කවිකාරයන් මට දමිළ පාඨකයන් අතරට, එක්කරගෙන යන්න පුළුවන් වුණා.

දමිළ අයට වෛර කරන්නැති සිංහල මිනිස්සුත් ඉන්නවා කියන එක ඒ අයට ඒ කවි මගින් තේරෙනවා. ඒ පොතේ තියන කවි දමිළ පාඨකයෝ ඉන්න රටවල පත්තරවල, සඟරාවල නිතරම පළකරනවා. මේ මගින් දෙපාර්ශ්වයම අත් අල්ලාගෙන කවිය මගින් දිගු ගමනක් යන්න තිබෙන පාරක් පැහැදිලි කරලා දෙන්න මට පුළුවන් වුණා. ඒකට එකඟවෙන්න පුළුවන්වෙච්ච මේ කවීන්ට හැමදාම මගේ ස්තුතිය පුදකරනවා.

මුස්ලිම් ජනතාවට සුවිශේෂ වෙච්ච ගැටලු‍ ගැන ඔබ නිර්මාණ කරලා තිබෙනවාද?
2014 ජුනි මාසේ ලංකාවේ අලු‍ත්ගම, බේරුවල වැනි ප්‍රදේශවල සිදුවුණු බිහිසුණු ගැටලු සම්බන්ධයෙන් ගවේෂණයක් කරලා, පොතක් හැටියට පළකළා. ඒකෙ නම ‘කරුප්පු ජුන් 2014.’ සිංහලෙන් තේරුම ‘කළු ජුනි 2014.’
මුස්ලිම් ජනතාවට සුවිශේෂ ගැටලු‍ කියන කොට මුස්ලිම් අයගෙන්ම මුස්ලිම් අයට තියන ගැටලු‍ ගැනත් කියන්න පුළුවන්නේ. මගේ කවි, කතා, ලිපි මගින් ඒවා ගැන ගොඩක් ලියලා තියනවා.

ලංකාවේ ජනවාර්ගික අර්බුදය තේමා කරගත්ත නිර්මාණවලට ඔබ වැඩි අවධානයක් යොමුකරන්නේ ඇයි? ලංකාවෙ ජනවාර්ගික ගැටලු‍ව ගැන රිෂාන්ගේ අදහස මොකක්ද?
ජනවාර්ගික අර්බුදයක් පවතිනකොට ඒවා ගැන ලියලා තැබීම අවශ්‍යවෙනවා. ඒවා ඉතිහාසය. ඊළඟට එන පරපුරට එහෙම දේවල් සිද්ධවෙන්නැතුව බලාගන්න ඕනෑ කියන වගකීම අර ඉතිහාසයට තිබෙනවා. වැරදි කාගේද කියන එක වැටහෙන්නත්, ඒ වැරදි ආයේ සිද්ධවෙන්නැතුව බලාගන්නත් අර ලියා තිබුණු ඒවා උදව් කරනවා. ජනවාර්ගික අර්බුද ඇතිකරන්නේ සාමාන්‍ය පොදු ජනතාව නෙමෙයි. පිටිපස්සේ ඉඳලා ඕවා කරන්නේ දේශපාලකයෝ.
අපේ පුංචි කාලේ ගමේ මළගෙයක් එහෙම තිබුණොත් හැමෝම සංවේදී වුණා. එදාට රේඩියෝවක්වත් කවුරුත් දාන්නේ නැහැ. දැන් මිනිසුන්ට කෙනෙකුගේ වියෝව නොදැනෙන මට්ටමකට ඇවිත් තියන්නේ.

රිෂාන් ඉන්දියාවෙදි පොත් ප්‍රකාශයට පත්කරන්න විශේෂ හේතුවක් තියෙනවාද? ලංකාවේ දෙමළ පාඨක ප්‍රමාණය සාපේක්ෂව අඩුවීම නිසා වෙළෙඳපොළ පටුවීමත් බලපානවාද?
නිකන් හිතන්න, අපිට කියවන්න ගෙන්වන පොත් ටිකම අපිට ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට යුද්ධය ගැන, යුද්ධයෙන් අවතැන් වෙච්ච මිනිස්සුන්ගේ දුක ගැන, ජාතිවාදයට අහුවෙන මිනිස්සුන්ගේ කඳුළු ගැන ලියලා ලංකාවේ ප්‍රකාශනයට පත්කරන්න පුළුවන්ද? ඒ වාගේ පොත් පළකරන්න ලංකාවේ ඉන්න දමිළ ප්‍රකාශන ආයතන බයවෙනවා. ඒ බය සාධාරණයි. සිංහල පාඨකයෝ ගොඩාක් ප්‍රිය කළ තමිලිනිගේ ‘තියුණු අසිපතක සෙවණ යට’ දමිළ පොතේ පළවෙනි මුද්‍රණය පළකළේ ඉන්දියාවේ.

දමිළ පාඨකයන් ඉන්න ප්‍රදේශවල තියන පොත් කඩවල, පුස්තකාලවල පාඨකයන් කියවන්න කැමති දමිළ පොත් තියෙන්නේ ඉතා අඩුවෙන්. දමිළ මාධ්‍ය ඉස්කෝලවල තියන පුස්තකාලවලත් අලු‍තෙන් එන පොත් නැහැ. එහෙම තත්ත්වයක් තුළ අලු‍ත් පරපුරේ දමිළ පාඨකයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
ලංකාවේ දමිළ පාඨකයන්ට හැම පොතම ලැබෙන්නේ නැහැ. පුළුවන් අය ඉන්ටර්නෙට් එකින් දමිළ පොත් ැඉදදනි අරන් කියවනවා. ඒත් පුළුවන් අය විතරයි. එහෙනම් අනිත් අය? මේ හින්දා ලංකාවේ ඉන්න දමිළ පාඨකයන්ගේ කියවීම සීමිතවෙලා තියෙන්නේ. සාහිත්‍ය මාසයේ පවත්වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේත් ලංකාවේ දමිළ පොත් සාප්පු ඉතා අඩුවෙන් තියන්නේ. එකක් හෝ දෙකක්. ඒකෙත් විකුණන්නේ ඉන්දියානු පොත් ටිකක්.

ලංකාවේ ගොඩාක් ලේඛකයෝ ඉන්දියාවේ පොත් පළකරන්නේ ඒකයි. ඉන්දියාවේ පොත් පළකළාම කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක ගොඩාක් රටවලට යනවා. දමිළ පාඨකයන් ඉන්න හැම රටකටම යනවා.
ලංකාවේ දමිළ පාඨකයෝ අඩුයි. ලංකාවේ දමිළෙන් පොත් පළකරලා ඒවා විකුණාගන්න බැරිව හතර වටේම ණයවෙලා, පොත් ලිවීම පවා එපාවුණු ගොඩාක් අය මම දන්නවා. තමන්ගේ හැකියාව මගින්, පවුලේ කාගේත් උදව්වක් නැතුව පොතක් පළකරලා ඒවා නිසි ලෙස විකුණගන්න බැරුව ලිවීම පවා එපාවුණු අය ඉන්නවා.
මගේ පොත් පහක්ම සහ මගේ සහෝදරි ෆහීමා ජහාන්ගේ පොත් තුනක්ම පළකළේ ඉන්දියාවේ. මොකද අපි කලින්ම පොතේ අඩංගු දේවල් අපේ බ්ලොග් එකේ පළකරලා තිබුණා. ඒවාට හැම රටේම ගොඩාක් පාඨකයෝ ඉන්නවා. ඉතින් ඒ අයට පොත් වශයෙන් දෙන්න ඕනෑ වුණ හින්දායි අපි පොත් හැටියට ඉන්දියානු ප්‍රකාශන ආයතන මගින් පළකළේ. ඒ මගින් අපේ පොත් විකුණන විදිය ගැන අපි කරදර වෙන්න ඕනෑ වුණේ නැහැ.

ලංකාවෙ දමිළ සාහිත්‍යය ගැන රිෂාන්ගේ අදහස?
ලංකාවේ දෙමළ සාහිත්‍යය සීමාවුණු එකක් නෙමෙයි. තැනින් තැනට ඒවා වෙනස්වෙනවා.
දීර්ඝකාලීන යුද්ධය නිසා, යුද්ධය තිබුණු පළාත්වල ඉන්න දමිළෙන් ලියන මිනිස්සු යුද්ධය ගැන වැඩිපුර ලියනවා. ඒවා යුද සාහිත්‍යයක් කියන්න පුළුවන්. පරණ කොටි සාමාජිකයෝ බොහෝ දෙනෙක් දැන් දමිළෙන් ගොඩාක් පොත් ලියනවා. කොටි සාමාජිකයන් ‘අම්මා’, ‘නැන්දා’ කියලා අඬගහන දමයන්ති සිවසුන්දරලිංගම්ට දැන් වයස 68ක් වෙනවා. ඇගේ පුතාලා දෙන්නාම කොටි සාමාජිකයන් වෙලා ඉඳලා යුද්ධයේදී මැරුණා. පස්සේ ඇයත් කොටි සාමාජිකාවක් වුණා. ඇය ළඟදී ‘තමිල්කවි’ කියන නමින් ලියපු ‘ඌළික් කාලම්’ (එක යුගයක කාලය) නවකතාව, යුද්ධ කාලයේ අනාථවුණු මිනිසුන්ගේ බිහිසුණු අත්දැකීම් ගැනත්, යුද්ධය සාමාන්‍ය පොදු ජනතාවට කොහොමද පීඩාවක් වුණේ කියන එක ගැනත් පැහැදිලි කරනවා.
ඒ වගේමයි ලේඛිකාවක් වන වෙට්රි චෙල්විගේ පොත් ටිකත්. එයාත් හිටපු කොටි සාමාජිකාවක්. යුද්ධය නිසා එයාට එයාගේ දකුණු අත, දකුණ ඇස, කන්බෙරය අහිමිවුණා. පස්සේ වම් අතින් ලියන්න පුරුදුවෙලා දැන් ගොඩාක් පොත් ලියනවා. ඒ යුද්ධය ගැන. ඒක ගොඩාක් අගය කරන්න ඕනෑ වැඩක්. යුද්ධය කොයිතරම් කුරිරුද කියන එක ඒ අයටයි කියන්න පුළුවන්.
උඩරට ඉන්න දමිළ වතු කම්කරු මිනිස්සු කඳු ගැන, අරක්කු ඒ අයගේ ජීවිතය විනාශ කරන විදිහ ගැන, ණය සහ පොලී බර ගැන, ඒ අයට අහිමිවෙන ජීවිතය ගැන, ඒගොල්ලන්ගේ දුක ගැන දමිළෙන් ලියනවා. ඒක තවත් දෙමළ සාහිත්‍යයක්. ලංකාවේ ඉන්න දෙමළින් ලියන මුස්ලිම් අය ඒ අයගේ සමාජය ගැන, ඒ අයගේ දුක ගැන ලියනවා. ඒ අයට වැඩියෙන් බලපාන දේවල් ගැන ලියනවා.
තවත් පිරිසක් ඉන්නවා, යුද්ධය නිසා මව්රට අහිමිවී පොහොසත් පිටරටවල ඉඳලා ලංකාව ගැනත්, අලු‍තින් ගිය රටවල භාෂා දන්නැතුව, රස්සාවල් නැතුව, අනාථ වෙලා දුක්විඳින ජීවිත ගැනත් ලියන අය. ඒ වාගේම ඒ පොහොසත් පිටරටවලම ජීවිතයේ සතුටුදායක තැනකට යන්න පුළුවන් වෙච්ච, ඒ ජීවිතයේ විදින සතුට ගැන ලියන අයත් ඉන්නවා. මේ දෙගොල්ලාම දෙමළෙන් ලියන අය.
තවත් පිරිසක් යුද්ධය නිසා පණ බේරාගන්න ඉන්දියාවට බෝට්ටුවලින් ගිහිල්ලා පාස්පෝට් මොකුත්ම නැති හින්දා එහෙ කඳවුරුවල ජීවත්වෙන අය. ඒ අයට හරිහැටි රස්සාවල් නැහැ. ඉගෙනීම් කටයුතුවලට ගොඩාක් බාධා තියනවා. එහෙම අවතැන් වෙලා, තවමත් දුක් විඳගෙන ඒ දුක්බර ජීවිත ගැන දෙමළෙන් ලියන අයත් ලංකාවේ දමිළ සාහිත්‍යයට ඇතුළුවෙනවා. මොකද ඒ අයගෙත් මව් රට ශ්‍රී ලංකාව හින්දා.
මේවා එකකට එකක් වෙනස්. හැබැයි හැම එකක්ම ලංකාවේ දමිළ සාහිත්‍යට අයිතිවෙන ඒවා.■