නිම්නයක හුදකලාව: අනාගතය විසින් සංස්කරණය කරන ලද අතීතයක්


nimnayaka

එරන්ද මහගමගේ
වෙළෙඳ දැන්වීම්කරුවෙක්, කිරි බෝතලයක්, රාත්‍රී සමාජ ශාලාවක්, බල්ලෙකු, සුදු පැහැති ගැබිණි මවක, කළු පැහැති (දෙමළ) ගැබිණි මවක, මව සොයන කුඩා ගැහැනු ළමයෙකු, බයිසිකල් අලු‍ත්වැඩියා කරන්නෙකු ආදි පුද්ගල චරිත සහ සිදුවීම් කිහිපයක ඝට්ටනය මත දෝලනය වන ‘නිම්නයක හුදකලාව’ සිනමාපටය වඩාත් ආසන්න වන්නේ බහුආඛ්‍යාන සිනමාවට යැයි පැවසීම අසාධාරණ නොවේ. කෙසේ වෙතත් මෙම කුඩා සිදුවීම් මතින් වඩාත් වැදගත් සාංදෘෂ්ටික ප්‍රශ්නයක් විමසා බැලීමට බුද්ධික කීර්තිසේන සමත් වී ඇත. මා වඩාත් ආසක්ත වන්නේ එම ප්‍රශ්නය වෙතයි. එක්තරා ආකාරයකට එය ඔහු විසින් මතු කරන ආකෘතික තලයේ සිනමා සැකැස්මෙන් ද එහි අන්තර්ගතයේ මුඛ්‍ය චරිතයේ පැවැත්ම අවසන් වීමෙන් ද එනම් විශ්වගේ චරිතය මියයෑමෙන් ද අපට වටහාගත හැකිය. අප මෙම සිනමා පටය වෙත දිශානත වන්නේ කාලය පිළිබඳවත් මරණය පිළිබඳවත් ලාංකේය සන්දර්භයේ කතාකරන්නට අවකාශයක් නිර්මාණය කළ වාහකයක් ලෙසයි. මෙහිදී සෞම්‍ය ලියනගේ රඟන විශ්වගේ චරිතය සෑම විටම ඒ වන විටත් අවසන්වූ පැවැත්මකි. වෙනත් ආකාරයකට කියන්නේ නම් අප නරඹන්නේ මැරුණු පුද්ගල පැවැත්මකි. ඒ බව සිනමාකරු අපට ප්‍රදර්ශනය කරන්නේ සිනමා පටයේ අවසන් රූප රාමුවලිනි. සැබෑ ලෙසම විශ්වගේ මරණය යනු ඔහුගේ සියලු‍ වියහැකිභාවයන් නැතිවී යෑමයි. කාලය අවසන් වීමකි. මෙහිදී අපට එකම සිදුවීම විවිධ ආකාරයට දැකගන්නට ලැබුණද මේ සියල්ල අවසාන විග්‍රහයේ දී දිශානත වී ඇත්තේ එක් වියහැකිභාවයක් වෙනුවෙනි. එනම් මරණයයි.

විශ්වගේ පැවැත්ම අපට යම් විටෙක අපට පැවැත්ම ගැනම ප්‍රශ්නයක් ඇති කරන අතර ඒ හා සමානව පැවැත්ම අපට සඟවයි. මෙය තවදුරටත් අප සරල කරගන්නේ නම් මෙසේය. විශ්ව පිළිබඳ කීර්තිසේන අපට ලබාදෙන සාක්ෂි වන්නේ ඔහු වෙළඳ දැන්වීම්කරුවෙකු බවත්, ඔහුගේ බිරිඳ ගැබිණියක බවත්ය. එහෙත් එක් වරම විශ්වට, ඔහුගේ දුරකථනයට ඔහුගෙන්ම ඇමතුමක් ලැබේ. එසේම විමුක්ති ජයසුන්දර රඟන බයිසිකල් අලු‍ත්වැඩියා කරන්නාගේ චරිතය සහ විශ්වගේ චරිතය අපට සිනමාකරු පසුව ලබාදෙන හෝඩුවා වේ. දැන් අප මෙම සිනමා පටයේදී දකින්නේ එක්තරා ආකාරයකට විශ්ව විවිධ සංසිද්ධීන් ඔස්සේ නින්දෙන් ඇහැරෙන බවකි. එසේත් නොමැති නම් විවිධ සිදුවීම් ඔස්සේ ඉදිරියට ගමන් කරන බවකි. එය ගැබිණි බිරිඳ බැලීමට රෝහලට යෑමත්, ඒ සමඟ විශ්ව ළමයකු බේරා ගැනීමට සටන් කිරීමත්, ඒ විශ්වම රැකියාවක් වෙත යෑමට පිටත්වීමත් ආදි මෙම සියලු‍ සිදුවීම් අපට සාමාන්‍ය ලෙස දැක්වෙන්නේ අනාගතය වෙත දිශානතවී ඇති බවයි. එහෙත් අපගේ තර්කය වන්නේ, විශ්වගේ චරිතය අපට තේරුම්ගත හැක්කේ එහි ඇති අනාගතාත්මක Futural - විභාවාත්මක පැවැත්ම අනිවාර්යෙන්ම අනාගතය වෙත දිශානත වුණු එකකි – තුළින් බවයි.

මෙහි දී අනාගතය ලෙස අප සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් අප කැලැන්ඩරය බලා අප සැලසුම් කරන හෝ ඔරලෝසුවෙන් බලා අප සැලසුම් කරන අනාගතය නොවේ. අප සරල ව ම සඳහන් කරන්නේ අනාගතය යනු තවමත් සැබෑ නොවූ මේ මොහොත බවය. අප කාලය ගැන සිතන්නේ ඒ ආකාරයටය. තරමක් නාටකීය ලෙස සටහන් කරන්නේ නම් කාලය යනු “මේ දැන්” ඒවාවල එකතුවකි. අතීතය යනුවෙන් අපට පැවසිය හැක්කේ මේ වන විටත් අවසන් වී තිබෙන මේ මොහොතවල් වන අතර, අනාගතය යනු තවමත් පැමිණ නොමැති මේ මොහොතවල්වල සමස්තයකි. එහෙත් වඩාත් රැඩිකල් ලෙසට අප මෙතැනදී අනාගතය යනුවෙන් අදහස් කරන්නේ මේ ආකාරයේ මේ මොහොතවල එකතුවක් නොව විශ්වගේ පැවැත්ම විභවාත්මක පැවැත්මක් – විශ්වට කළ හැකි දේ සියල්ල – ලෙසට එය වෙතට ම පැමිණීමයි. ඒක තීරණය කරන්න පුළුවන් විශ්වට විතරය. විශ්වට තමන් කරන්නේ කුමක් ද යන්න තෝරා ගැනීමේ කොන්දේසි විරහිත නිදහස ඇත. වෙනත් වචනවලින් කියන්නේ නම් මෙහි විශ්වගේ පැවැත්ම මූලික වශයෙන් අනාගතාත්මකය. එයට හේතුව අප මරණය පිළිබඳ සිතන ආකාරයයි. අපි කුඩා ළමයකු මෙම චිත්‍රපටය තුළ දකිමු. ළමයාට වඩා අපට එහිදී හමුවන වයසක මිනිස්සු මරණයට ආසන්න බව සිතති. එහෙත් ඕනෑ ම මොහොතක අප වෙතට, විශ්ව වෙතට මරණය පැමිණිය හැකි අතර එවිට එහි පැවැත්ම අවසන් වේ.

මේ අර්ථයෙන් ගත් කල අප සිනමා පටයේදී විශ්වගේ මරණය අපේක්ෂාවෙන් පසුවුවත් එය ඕනෑම මොහොතක විය හැකි බව කීර්තිසේන අපට සිදුවීම් ජාලාවක් ඔස්සේ පෙන්වාදෙයි. මෝටර් රථය බෝම්බයට හසුවීම, මැර කණ්ඩායම පහරදීම, මෝටර් බයිසිකලය අනතුරට භාජනය වීම වැනි සිදුවීම් ඔස්සේ අපට එම අවස්ථා පෙන්වනු ලබයි. එහෙත් මෙහිදී මරණය පිළිබඳව බුද්ධික කීර්තිසේන දක්වන එතරම් සාර්ථක නොවන ගණයේ රූපයන් වන්නේ විශ්ව බිරිඳ බැලීමට රෝහලට ගිය පසු ඔහුගේ කයෙන් සුදු ආලෝකයක් විහිදා ඉහළට යැවීම ත්‍රිමාන සජීවිකරණය මඟින් පෙන්වීමෙනි. සිනමාවේත්, වෙනත් දෘශ්‍ය මාධ්‍යයන්වලත් මරණය පෙන්වීමට පුද්ගල කයෙන් ඡායාවක් නිකුත් කිරීම, සුදු ආලෝකය, පාවීම වැනි රූපයන් නිරූපණය කිරීම ජනප්‍රිය භාවිතයක් වන අතර කීර්තිසේනත් භාවිත කරන්නේ එම රූප ගොඩනැන්වීමමය. එහෙත් මෙතැනදී ඉතා සීරුවෙන් අප සිහිතබාගත යුත්තේ මරණය කිසි විටෙක අත්දැකීමක් නොවන බවයි. මරණය පිළිබඳව හෛඩෙගරියානු සංවාදය සංකීර්ණව බාරගත යුත්තේ මෙම සූත්‍රය ලෙහාගැනීම සඳහාය. කීර්තිසේන අපට මරණය අත්දැකීමක්, ඉදිරිපිට පැවැත්මක් ලෙසට පෙන්වන්නට උත්සාහ ගනී. ඉදිරිපිට පැවැත්මක් යනු අප ඉදිරියේ පවත්නා, එසේම එසේ පවතිනවා යැයි අපට සිතෙනා විවිධ වස්තූන්වලටයි. අපට ඒවා පිළිබඳ විවිධ දෑ කිවහැකි අතර ඒවා අපට පරීක්ෂා කර බැලිය හැකි ය. සරල උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු, අප ඉදිරියේ ඇති පුටුවක් පිළිබඳව අපට සාකච්ඡා කළ හැකිය. එහි හැඩය, වර්ණය ගැන අපට කතා කළ හැකි ය. එහෙත් ඉන් මඟ හැරෙන්නේ එය අප භාවිත කරන විට පවත්නා පැවැත්මයි. මෙතරම් වෙලා එය මේ කාමරයේ පැවතුණ අතර අප එයට බලපෑමක් කරන ලදි. මා එහි වාඩි වී සිටින ලදි. එය මේ පොළොවට සම්බන්ධ වී තිබිණි.

අප සාමන්‍යයෙන් ද්‍රව්‍ය, වස්තූන් ගැන කල්පනා කරන්නේ මෙසේ භාවිත කිරීමට හැකි පැවැත්මේ ආකාරයෙන් නොව ඉදිරියට ගෙන ඒවා පිළිබඳව කතාකිරීමෙනි. මෙහිදී වස්තුවක් ඉදිරිපිට පැවැත්මක් වූ විට එය අපට අත්දැකිය හැකිය. එහෙත් බුද්ධික කීර්තිසේන මෙම චිත්‍රපටයේදී උත්සාහ කරන්නේ මරණය අත්දැකීමක් ලෙස පෙන්වීමටයි. එක්තරා ආකාරයකට එය අසාර්ථක වන්නේ අපට මරණය පසුකර යා නොහැකි නිසාය. එහෙත් මෙහිදී කීර්තිසේන අගය කළ යුතු වන්නේ ඔහු සිනමාවේම සෞන්දර්ය තුළින් මරණය සමඟ ඝට්ටනය වන විශ්වගේ චරිතය ගොඩනඟා ඇති ආකාරය නිසාය. සෞම්‍ය ලියනගේ එම චරිතය ඉතා සාර්ථකව අප ඉදිරියට ගෙන එයි.

අපට කිසි විටෙක මරණය පසුකර යා නොහැකි ය. වෙනත් වචනවලින් කියන්නේ නම් මරණය සමස්තයක් ලෙස පැමිණෙන විට මිනිසා ලෙස යමක් නොමැති වේ. මිනිසාගේ ලෝකය තුළ පැවැත්ම අවසන් වේ. එක්තරා ආකාරයකට අනෙකාගේ මරණය තුළින් අපට යමක් මරණය ගැන කිව හැකි වුවත් එය ද එතරම් සාර්ථක නොවේ. එයට හේතු වන්නේ, එමඟින් මිනිස් අවසානය අපට වාස්තවික ලෙස නිරීක්ෂණය කළ හැකි වුවත් එහි දී අනෙකා තවදුරටත් ලෝකය තුළ පැවැත්මක් නොවන නිසාය. අනෙකාගේ මරණය යනු අනෙකාගේ පැවැත්මේ අවසානයයි. මෙහිදී විශ්ව රෝහලට යන විට ඔහුට ගර්භණී බිරිඳ මියගොස් ඇති බව දක්නට ලැබෙන අතර එමඟින් අපට මෙම අනෙකාගේ මරණය නම් සංසිද්ධිය පැහැදිලි වේ. බිරිඳගේ පැවැත්ම එතනදී අවසන්වී ඇත. එහෙත් අනෙකා (බිරිඳ) ඒ වන විට ලෝකයේ පැවැත්මක් නොවේ. සැබැවින්ම එහි ඇත්තේ බිරිඳ නොව බිරිඳගේ මෘත ශරීරය වේ. ඒ වන විට එය විශ්වගේ ඉදිරිපිටට ආ වස්තුවකි. එසේම ඒ වන විට විශ්ව ඉදිරියේ ඇත්තේ නිශ්චිත පැවැත්මක් අවසන් වී ඒ වෙනුවට වෙනත් පැවැත්මක් බව අවබෝධ කරගත යුතුය. මේ අනුව මරණය යනු කිසිදා අත්දැකිය හැක්කක් නොවන බව අප අර්ථගන්වා ගත යුතුය. මරණයට පත්වූ ගැබිණි මව යනු වෛද්‍යවරයාට අධ්‍යයන වස්තුවක් පමණි.

නිම්නයක හුදකලාව චිත්‍රපටයේ විශාල ප්‍රමාණයක් වෙන්වී ඇත්තේ පරිභෝජන සමාජයේ විවිධ රූප පෙන්වීමටයි. ඒවා අතරින් අපට පෙනෙන්නේ සෞම්‍ය රඟන විශ්වගේ අර්ථවිරහිත පැවැත්මයි. එම පැවැත්ම එක්තරා ලෙසකට අනාගතය විසින් සංස්කරණය කළ අතීතයකට අනුව හැඩගැසුණකි. සමස්ත චිත්‍රපටයේදී අපට දැකගත හැක්කේ විශ්ව යම් ඉදිරියක් වෙත ගමන් කරන බවකි. ඔහු විවිධ සංසිද්ධීන් මධ්‍යයේ පවතින්නේ අනාගතය වෙනුවෙනි. චිත්‍රපටයේ ආඛ්‍යානය විසින් මෙම අතීත, වර්තමාන, අනාගත කාලයන් මිශ්‍ර කළත් අපගේ යෝජනාව වන්නේ විශ්වගේ චරිතය පවතින්නේ සෑම විටම එයට ඉදිරියෙනි. එම නිසාම එයට එහිම වූ අනාගතත්වය අහිමි නොවේ. එහෙත් මෙම චරිතය මාර්ග දෙකකින් අපට කියවාගත හැකිය. විශ්වගේ ව්‍යාජ පැවැත්ම තුළ විශ්ව කටයුතු කරන්නේ එදිනෙදා කිරි බෝතල් ගැනීමට, වෙළඳ දැන්වීම් සෑදීමටය. එහිදී විශ්ව කරන්නේ දෛනික ජීවිතයේ භාවිතයට ගත හැකි පැවැත්මවල් සමඟ සම්බන්ධ වීමයි. එනම් විශ්ව එම මොහොතේ සිටිනා වටපිටාව සමඟ ගනුදෙනු කරයි. මෙම නිසා විශ්වට අනාගතය ගැන පූර්වාපේක්ෂාවෙන් සිය වර්තමානය කියවීමක් කරගත හැකි නොවේ. එහෙත් විශ්වට විශ්වගෙන්ම දුරකථන ඇමතුමක් ලැබීම, විශ්ව අර්බුදයට ගෙනයයි. එහෙත් විශ්ව දිශානත වන්නේ අනාගතය දෙසටමය. එක්තරා ආකාරයකට එය නොදන්නා අනාගතයකි. ප්‍රේක්ෂක අපත් විශ්වත් නොදන්නා අනාගතයක් වෙතයි. මෙම අදහස අපි මෙසේ පැහැදිලි කරගනිමු.

අනාගතයේදී ඉටුවිය හැකි යහපතක් පිළිබඳ ඉතාම ව්‍යාකූල අදහසක් අප සැමටම තිබේ. නිදර්ශනයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිවීම, කොමියුනිස්ට් සමාජයක් බිහිවීම පෙන්වා දිය හැකිය. එහෙත් අප මේ මොහොතේ කරනා වැඩ එයට සෘජුව සම්බන්ධ වෙනවාද යන්න අප බැරෑරුම්ව කල්පනා කරන්නේ කලාතුරකිනි. අප සාමාන්‍යයෙන් මහන්සි වන්නේ එයට වඩා සමීප සහ පහසු ඉලක්ක වෙතයි. අප විමසිලිමත් විය යුත්තේ අපට මෙසේ වන්නේ ඇයිද කියා විමසීමටයි. පෙර කී අනාගතය කුමන හෝ ආකාරයකින් පැමිණෙන බව අපි සිතමු. එහෙත් මේ අනාගත බලාපොරොත්තුව නිසා වර්තමානයේ ගනුදෙනු කරනා දේවල් සමඟ ඇති සම්බන්ධය බරපතළ විදියට වෙනස් වන්නේ ද නැත. දැන් අපි තේරුම්ගත යුතු ප්‍රාථමික අදහස වන්නේ අනාගතත්වය කියන්නේ මෙම අව්‍යාජ සහ ව්‍යාජ පැවැත්ම යන ද්විත්වයේම සක්‍රිය වන්නක් බවයි.

සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් හෝ කොමියුනිස්ට් පාලනයක් බලාපොරොත්තු වීම යනු එක්තරා ආකාරයකට අප වර්තමානයේ ඉන්නා ආකාරය මත විශාල වගකීමක් පටවන්නක් නොවේ. එක අතකින් ඒ ලබා දෙන කාලය, අනාගත කාලය අතිවිශාල වන්නක් බව අපට අද ලෝක දේශපාලනය විසින් දිනෙන් දින උදාහරණ සපයයි. එහෙත් මෙම චිත්‍රපටයට අනුව විශ්ව ජීවත්වන්නේ අනාගතය වෙනුවෙන් සිතාමතා ක්‍රියාත්මක වන ආකාරයට නොව එය ලැබෙනා තුරු මේ මොහොතේ ලබාගත හැකි දේ වෙනුවෙනි. විශ්ව ඔහුගේ දෛනික ජීවිතයේදී මූලික වශයෙන් සම්බන්ධ වන්නේ ඔහුට වර්තමානයේ හමුවන පැවැත්මවල් සමඟයි. වෙළඳ දැන්වීම්, සාන්තුවරු, කිරි බෝතල්, සමාජ ශාලා, ස්ත්‍රීන්, ලිංගික සන්තර්පණයන් ආදි වශයෙන් අපට මේවා තෝරාබේරා ගත හැකිය. එහෙත් එම වර්තමානය නිර්මාණය කරන්නේ විශ්වත් අපත් නොදන්නා අනාගතයක් විසිනි. අපිත්, බුද්ධික කීර්තිසේනත්, විශ්වත් ඒ අනාගතය එන තුරු බලා සිටිමු. එක්තරා ආකාරයකට මෙය කළ හැක්කේ අප මේ ලෝකයට විසිකර ඇති පැවැත්මවල් බව අමතක කළහොත් පමණි. අපේ ආරම්භය ගැන අපට අදහසක් නැත. අපට ඇත්තේ අවසානය – මරණය – ගැන අදහසක් පමණි. ඒ ආකාරයෙන් විශ්වත්, කීර්තිසේනත්, අපත්, සමනලීත්, චින්තනත්, විමුක්තීත්, තිස්සත්, රවීන්ද්‍රත්, සුරංගාත් සංගීතාත් ආදි සියල්ල වීසි කර ඇති පැවැත්මවල් බව අප අමතක නොකළ යුතුය. අපගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය අපට මුණ නොගැසෙන්නේ මේ නිසාවෙනි. මෙය තේරුම් ගැනීමට එක්තරා ආකාරයකින් කිරි බෝතල් පිරි සාප්පුවෙන්ද කිරි බෝතල් තුළ කොටුවූ ඒවා විකුණුම් යාන්ත්‍රණයෙන්ද මඳක් ඉවතට පැමිණිය යුතුය.

එක්තරා ආකාරයකට බුද්ධික කීර්තිසේන එසේ පැමිණ ඇති බවක් නිම්නයක හුදකලාව අපට පෙන්වයි. එහෙත් කීර්තිසේන වටහාගත යුත්තේ ඔරලෝසු කාලයෙන් පුද්ගල චරිත එහා මෙහා කළත් අනාගතය විසින් සංස්කරණය කළ අතීතයක් ඇති බවයි.■