රාවය

බලය බෙදීමට ඒකාබද්ධයත් කැමතියි

බලය බෙදීමට ඒකාබද්ධයත් කැමතියි

තරිඳු උඩවරගෙදර

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පසුගිය 06 වැනිදා රැස්වූ අවස්ථාවේදී සාකච්ඡාවට ලක්වුණු බලය බෙදීම පිළිබඳ කරුණුවලට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් වශයෙන් සහභාගි වූ දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග මුලික වශයෙන් එකඟ වී ඇති බවත් කරුණු කිහිපයකට පමණක් එකඟ වී නැති බවත් වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන අතර ඔවුන් මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වන බව මාධ්‍ය වාර්තා කර තිබුණත් එය බොරුකරමින් ජුලි 6 වැනිදා පැවති මෙහෙයුම් කමිටු රැස්වීමට ඔවුන් දෙදෙනාම සහභාගී වී තිබුණි.

ම් වනවිට මෙහෙයුම් කමිටු සාකච්ඡාවලදී මෙහෙයුම් කමිටු වාර්තාව අවසාන කිරීම සඳහා වගන්තියෙන් වගන්තිය සාකච්ඡා කෙරෙමින් පවතින අතර ජුලි 06 වනවිට එයින් අඩක් පමණ සාකච්ඡා කර අවසන් කර තිබුණි.
පළාත් සභාවල බලතල සම්බන්ධයෙන් එහිදී ඇතිකරගත් එකඟතාවන් අනුව පළාත් මහ ඇමතිවරයාගේ බලතල ඉහළ නංවා ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම, පළාත් රාජ්‍ය සේවය ස්වාධීන සහ ශක්තිමත් ලෙස පිහිටුවීම, සමගාමී ලැයිස්තුව අහෝසි කිරීම ඇතුළු දහතුන්වැනි සංශෝධනය ශක්තිමත් කරන යෝජනා රැසක් මෙහෙයුම් කමිටු වාර්තාවට ඇතුළු කිරීමට නියමිතය.
දෙමළ ජාතික සන්ධානය, ඒකාබද්ධ විපක්ෂය, චම්පික රණවක මහතා, ශ්‍රීලනිපය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පාර්ශ්වයන් බලය බෙදීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීම විශාල ජයග්‍රහණයක් බව මෙහෙයුම් කමිටු සාමාජිකයන් කිහිපදෙනෙක් රාවය කළ විමසීම්වලදී පැවසූහ.■