මහනුවර වායු දූෂණය කොළඹ වායු දූෂණයට වඩා හතර ගුණයක් වැඩියි


kndy

සුදන්ත සේනානායක/ ගාමිණි ජයවීර

2017 අප්‍රේල් 30 දින මහනුවර නගරය හරහා ගමන් කිරීමට උමං මාර්ගයක් තැනීමට යෝජිත බව සඳහන් කරමින් ජාතික පුවත්පතක ලිපියක් පළවිය. එය සුදුහුම්පල සිට තැන්නකුඹුර දක්වා ඉදිකිරිමට යෝජිත කිමී 5.5ක් දිග උමං මාර්ගයක් වන අතර ඒ සඳහා මූල්‍ය ආධාර සපයන්නේ කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල (EDCF) බවටද එකී ලිපියෙහි සඳහන් විය. ලිපිය පළවීමත් සමඟම මහනුවර සංවර්ධනය පිළිබඳ උනන්දුවක් දක්වන්නා වූ පුරවැසියන් මේ පිළිබඳව සංවේදී වූ අතර විශේෂයෙන් විද්වත්තු, නීතිඥයෝ, සිවිල් සංවිධාන, සිවිල් ක්‍රියාකාරීහු මේ උමං මාර්ගය පිළිබඳ විමසිලිමත් වූහ. මහනුවර පුරවැසි හවුල (මෙම සංවිධානය මහනුවරවාසී ආචාර්ය මහාචාර්යවරුන් වෘත්තිකයන්, නීතිඥයන්, විවිධ විද්වතුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, සාමාන්‍ය පුරවැසියන් ආදි විවිධ සමාජස්ථර නියෝජනය කරන, මහනුවර පදනම්ව කටයුතු කරන සිවිල් පුරවැසි වේදිකාවකි.) මෙම උමං මාර්ගය පිළිබඳ අධ්‍යයනය කර ඒ පිළිබඳව සහ, මහනුවර නගරයේ වායු දූෂණය මුල් කරගෙන ඇතිවී ඇති පාරසරික ගැටලු, වාහන තදබදය, ජල දූෂණය ආදි සියලු කරුණු සඳහා පුරවැසියන්ගේ විසඳුම් සෙවීමත් එකී විසදුම් පාලකයන්ට යෝජනා කිරීමත් අරමුණු කරගනිමින් ජූනි 24 දින පුරවැසි සභාවක් කැඳවන ලදි. මෙම පුරවැසි සභාව නියෝජනය කිරීමට මහනුවර ළය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න, මහවැලි සංවර්ධන අධිකාරිය මහවැලි ව්‍යාපාරය නිර්මාණය කිරීමේදී එහි හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය එම්.බී. අධිකාරම්, විශේෂඥ වෛද්‍යවරුන්, නීතිඥයන් ආගමික නායකයන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණියහ. එහිදී මහනුවර නගරය පිළිබඳව, ඒ ආශ්‍රිතව පැනනැගී ඇති ගැටලු පිළිබඳව විධිමත් පර්යේෂණ සිදුකළ විද්වතුන්ගේ පර්යේෂණ වාර්තා අධ්‍යයනය කිරීමත්, ඔවුන්ගේ විසඳුම් යෝජනා මහනුවර පුරවැසියන් ලෙස ඉදිරිපත් කිරීමත් සිදුවිය.

මෙහිදී පහත සඳහන් විද්වතුන්ගේ වාර්තා පිළිබඳ අධ්‍යයනයක යෙදෙන ලදි. වායු දූෂණය පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම, මහනුවර නව නගරයක අවශ්‍යතාව පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න, මහනුවර ජල අපවිත්‍රවීම් පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුධර්මා යටිගම්මන, වායු දූෂණය නිසා මහනුවර වර්ධනය වන ළය රෝග පිළිබඳව මහනුවර මහරෝහලේ ළය රෝග විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර, හිටපු අතිරේක දිසාපතිවරයකු වන බී.එම්. සුගතදාස මහතාගේ මහනුවරට සුදුසු නව ගුවන් මාර්ගයක් පිළිබඳ යෝජනාව, මහාචාර්ය එස්.ඒ. කුලසූරියගේ පරිසර දූෂණය හේතුකොට මහනුවර ජල ආශ්‍රිත රතු ඇල්ගි ව්‍යාප්ත වීම පිළිබඳව අදහස් ඇතුළත් වාර්තාව.

මහාචාර්ය ඉලේපෙරුමට අනුව දිනකට වාහන 65,0000ක් පමණ මහනුවර නගරය හරහා ගමන් කිරීම නිසා වායු දූෂණය වන බවට වාර්තා විය. මහනුවර නාගරික සක්‍රිය සීමාව වර්ග කිමී 3ක් බවත්, වැඩිම වායු දූෂණයක් පවතින්නේ ගුඞ්ෂෙඞ් ප්‍රදේශයේ බවත්, දෙවනුව මහමායා විදුහල ටෙනිස් පිටිය ආශ්‍රිතව බවත්, තෙවනුව ත්‍රිත්ව විදුහල ආශ්‍රිතව බවත් ඔහු පෙන්වා දී ඇත. මෙකී අධ්‍යයනයේදී මහනුවර නගරයේ වර්ග කිමී 26ක ප්‍රමාණය තුළ වායු පරීක්‍ෂා 28ක් සිදුකර ඇත. වර්ග කිමී 3ක සක්‍රිය නගරය තුළ ස්ථාන 5ක වායු පරීක්‍ෂා සිදුකර ඇත. පරීක්‍ෂා කළ වායු වන්නේ, නයිට්‍රජන් ඩයොක්සයිඞ්, සල්ෆර් ඩයොක්සයිඞ්, කාබන් ඩයොක්සයිඞ්, කාබන් මෙනොක්සයිඞ් විෂ අංශු (Particals) සහ ඕසෝන්ය. මහනුවර වායු දූෂණය කොළඹ වායු දූෂණයට වඩා හතර ගුණයකින් වැඩි බව මෙම වාර්තාවල සඳහන් වේ. වායු දූෂණය පිළිබඳ පරීක්ෂණ කොළඹ කොටුව ආශ්‍රිතව සහ මහනුවර නගරය ආශ්‍රිතව එකම දිනක, එකම වෙලාවක සිදුකර මෙකී නිගමනවලට එළැඹී තිබේ. මහනුවර වැඩි වායු දූෂණයට හේතු ලෙස, මහනුවර නගරය ව්‍යාප්ත කිරීමට අසීරු ලෙස කඳු වළල්ලකින් වටවී තිබීම, මහනුවර නගරයේ පැති 3ක්ම මහවැලි ගංගාවෙන් සිමාවී තිබීම (උදාහරණ ලෙස ගැටඹේ, පේරාදෙණිය, කටුගස්තොට, පොල්ගොල්ල, තැන්නේකුඹුර) පෙන්වා දෙන අතර, මාලිගාව අසලින් ඇති මාර්ගය වසා තිබීමද මහනුවර වායු දූෂණය වර්ධනය වීමට බලපා ඇති බව මහාචාර්ය ඉලේපෙරුමගේ අදහසයි. 2003 වර්ෂයේ මාලිගාව අසල මාර්ගය සැහැල්ලු වාහනවලට විවෘත කළ විට මහනුවර වායු තත්ත්ව දර්ශකය (Air Quality Index) අඩු වූ බවත්, ඒ අනුව මෙකී මාර්ගය විවෘත කිරීම ද වායු දූෂණය අඩු කිරීමට හේතුවන බවත් ඔහු පෙන්වාදී ඇත. කෙසේ වෙතත් මෙම මාර්ගය විවෘත කරවා ගැනීම සඳහා මහනුවර සිවිල් සංවිධානයක් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමුවී ඇති බවද සඳහන් කළ යුතුය.

මහනුවර වායු දූෂණය නිසා විවිධ ලෙඩ රෝග වැළඳෙන බවටත්, එකී රෝග සහ රෝගීන් වර්ධනය වන බවටත් අදහස් පළකළ මහනුවර මහරෝහලේ, ළය රෝග විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර, මේ සඳහා පුරවැසියන් වැඩි අවධානයක් දැක්විය යුතු බවද සඳහන් කළේය. සාමාන්‍යයෙන් මිනිසකුගේ පෙණහලු වර්ධනය සිදුවන්නේ වයස 18 දක්වා බවත්, මෙකී වායු දූෂණ තත්ත්වය ළමුන්ගේ පෙණහලු වර්ධනය බාල කරන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඔහුට අනුව, තවදුරටත් මහනුවර ශ්වසන රෝග වර්ධනය වෙයි. ඒ අතර කලාතුරකින් වැළඳෙන වර්ගයේ ශ්වසන රෝගද අද වැඩිවී තිබේ. මෙයට හේතුව මහනුවර වායු දූෂණ තත්ත්වය වර්ධනය වීම බව ඔහු පෙන්වා දුන්නේය. පෙර පාසල් ගණනාවක්ම කුඩා ඉඩකඩක් තුළ ප්‍රධාන මාර්ග ආසන්නයේම පැවැතීමද සැලකිල්ලට භාජනය කළ යුතු කරුණකි. මේ පෙර පාසල්වල ළමුන්ටද පෙණහලු හා හෘදය රෝග වැළඳීමේ වැඩි ඉඩක් පවතියි. මේ සම්බන්ධව ඉදිරියේදී පර්යේෂණ කටයුතු කර වැඩිදුර වාර්තා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.

ජල දූෂණය පිළිබඳව අධ්‍යයනය කළ මහාචාර්ය සුධර්මා යටිගම්මන, මහනුවර දර්ශනීය වැව 1810-1812 වසරවල පමණ ඉදිකර ඇති බවත්, වැවට ප්‍රධාන වශයෙන් ජලය ලැබෙන්නේ දුනුමඬලාව රක්‍ෂිතය මුල්කර ඇති ජලපෝෂක ප්‍රදේශ සහ මහනුවර රොස්මින් ජලාශය ආශ්‍රිතව බවත් සඳහන් කරයි. ඇතැම් පරීක්‍ෂණවලදී, කෘෂිකාර්මික ප්‍රදේශවල පවතින කලා වැව වැනි වැව් සහ මහනුවර නාගරික පරිසරයක පවතින මහනුවර වැව සංසන්දනාත්මකව සලකා තිබේ. මෙහිදී මයික්‍රෝ පොසිල ඩයටම (ජීවි විශේෂ), රසායනික ද්‍රව්‍ය පිළිබඳව විශේෂයෙන් පරීක්‍ෂා කර ඇති අතර මහනුවර වැව් ජලයේ මේවා අහිතකර ලෙස වර්ධනය වී ඇති බවද පෙන්වාදෙන ලදි. එමෙන්ම මහාචාර්ය සුධර්මා යටිගම්මන සහ සම්මානනීය මහාචාර්ය එස්ඒ කුලසූරිය එක්ව සිදුකළ පර්යේෂණයකදීද මහනුවර වැව තුළ රතු ඇල්ගි ව්‍යාප්තව ඇති බවත් එයට හේතුව දුනුමඬලාව ජලපෝෂක ප්‍රදේශවල ජලය දූෂණය වීම බවත් එකී දුනුමඬලාව ජලපෝෂකවල කාබන් අංශු වර්ධනයවී ඇති බවත් එසේ සිදුවන්නේ වායු දූෂණය වැඩිවීම නිසා බවත් පෙන්වාදී ඇත. තවදුරටත් මෙම විද්වතුන් පෙන්වා දෙන්නේ රතු ඇල්ගි සහ ජලය දිය නොවන කාබන් අංශු සහ සිලිකා අංශු මහනුවර වැවේ ජලයේ පවතින බවත් මෙවැනි තත්ත්වයන් ඇතිවන්නේ වායු දූෂණය හේතුකොට ගෙන බවත්ය. මෙහි ප්‍රතිඵල ලෙස වකුගඩු රෝග, බෝ නොවන වෙනත් නිදන්ගත රෝග ඇතිවීමේ සම්භාවිතාව වැඩි බවද ඔවුන් පෙන්වාදී ඇත.

යෝජිත උමං මාර්ගය
රැස්වීමේදී වැඩි අවධානයක් මේ පිළිබඳව යොමුවූ අතර විද්වතුන්ගේ අදහස වූයේ කිමී 5 1/2ක් දිග උමං මාර්ගයක් ගැටලුවට පිළිතුර නොවන බවයි. සංවර්ධනයේදී සෑම අංශයකම උසස් ප්‍රමිතියක් සහිත රටවලට උමං මාර්ග උචිත වුවද ලංකාව තවම එවැනි උසස් ප්‍රමිතියක් සහිත තත්වයකට පත්ව නොමැති වීමද උමං මාර්ගයක් නුසුදුසු වීමට හේතුවකි. උමං මාර්ගයක් ඉදිකරන්නේ නම් පැය 24 පුරා විදුලිය, ඔක්සිජන් වායුව ලබාදීමට අමතරව ඒ ඇතුළත මෝචනය වන අපිරිසිදු වායුව පිටතට ගැනීමටද සිදුවෙයි. මෙම වායුව පිටතට ගැනීමේදී මහනුවර දැනටම ප්‍රශ්නයක් වී ඇති වායු දූෂණය තවත් වැඩිවීමට ඉඩ පවතියි. උමං මාර්ගයක් අඛණ්ඩව නඩත්තු කිරීමට සිදුවීම, ආරක්‍ෂිත තත්ත්වයන් යටතේ දිගු උමං මාර්ග සුදුසුද යන්න, අතිවිශාල මුදලක් (ඩොලර් බිලියන 240/රු. ලක්‍ෂ 3,60,000ක්) වැය කිරීමට සිදුවීම හා එයට සාපේක්‍ෂව ලැබෙන ප්‍රතිඵල ගැන ඇති සැකය යනාදියද බැහැර කළ නොහැකිය. උමං මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට ඇති ස්ථාන 4ක් පමණක් වීමද, උමං මාර්ගය මහනුවර සිට තැන්නෙකුඹුර, අම්පිටිය ආදි ප්‍රදේශවල ජනතාවට පමණක් ප්‍රයෝජනවත් වීම නිසා එහි ප්‍රයෝජන අඩු බවද, ජලය කාන්දුවීමට ඉඩ තිබීම නිසා ජල මූලාශ්‍රවලට සිදුවිය හැකි හානිද, අලංකාර මහනුවර වැවට සහ ප්‍රදේශයේ ජලපෝෂක ප්‍රදේශවලට හානි සිදුවීමට ඇති ඉඩකඩද සැලකිය යුතු කාරණා අතර ඇත. උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවී ඇති හානිය සැලකීමේදී මහනුවර උමං මාර්ගයක් ඉදිකිරීම ගැන දෙවරක් සිතා බැලිය යුතුය. ඒ අතර, කොළඹ ප්‍රදේශයේ වාහන තදබදයට රාජගිරිය ප්‍රදේශයේ දැනට ඉදිවෙමින් පවතින්නේ ගුවන් මාර්ගයක් මිස උමං මාර්ග පද්ධතියක් නොවන බවද සැලකිය යුතුය.

පිළියමක් ලෙස, ගැටඹේ සිට මහනුවර දක්වා සහ මහයියාව, කටුගස්තොට, තැන්නකුඹුර ආදි ප්‍රදේශ දක්වා දැනට පවතින ගැටඹේ, පේරාදෙනිය, මහනුවර රේල්පාරට ඉහළින් ගුවන් මාර්ගයක් නිර්මාණය කිරීම හා මාතලේ දුම්රිය මාර්ගය කටුගස්තොට දක්වා ගෙනයෑම සුදුසු බවටද අදහස් ඉදිරිපත් විය. ආයෝජන වියදම් අඩුවීම, එය දර්ශනීය නගරයක අංගයක් වීම, පිවිසුම් මාර්ග බහුලව ඇති කිරීමේ හැකියාව, සීමාවකින් තොරව අවශ්‍ය ආකාරයට මාර්ගය දීර්ඝ කිරීමට ඇති හැකියාව, බහුතර ජනතාවගේ ගමන් පහසුව ඇතිකිරීමේ හැකියාව, කිසිදු අනාරක්‍ෂිත බවක් හෝ අනාගත අවදානමක් නොමැති වීම, අඛණ්ඩව ඔක්සිජන් වායුව හෝ විදුලිය දිවා රාත්‍රිය ලබා දීමට අවශ්‍ය නොවීම, පරිපාලන සහ නඩත්තු වියදම් අවම වීම ආදිය මෙවැනි ගුවන් මාර්ගයක ප්‍රයෝජන ලෙස පෙන්වා දෙන ලදි.

මහාචාර්ය මිල්ටන් රාජරත්න මහනුවර දැනට පවතින ගැටලුවලට පිළිතුරක් ලෙස මහනුවරට නව වාණිජ නගරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඉන්දියාවේ දිල්ලිය වෙනුවට නව දිල්ලිය බිහිවීමත්, ඇමෙරිකාවේ ඕල්ඞ් යෝර්ක් වෙනුවට නිව් යෝර්ක් නගරය බිහිවීමත් නිදසුන් ලෙස ගත හැකිය. ලංකාවේ අනුරාධපුර නව නගරයක් බිහිවූ බිහිවිය. ඒ ආදර්ශයට අනුව නව නගරයක් නිර්මාණය කිරීම මගින් මහනුවරට පැමිණෙන වාහන හා ජනතාවගේ ප්‍රමාණය අඩුවීම, රාජ්‍ය ආයතන විතැන් වීම නිසා ජනතාවට පහසුවක් ඇතිවීම මෙන්ම ජනතාව එක් රැස්වීමෙන් ඇතිවන තදබදය අඩුවීම වැනි යහපත් ප්‍රතිඵල අත්වෙයි.

ඉහත සඳහන් කරුණුවලට අමතරව, ජලය දූෂණය වීම, මාර්ග තදබදය පිළිබඳ මහාචාර්ය සරත් අබේකෝන්, මහාචාර්ය ජයලත් එදිරිසිංහ, සිවිල් ඉංජිනේරු ජී.බී.එච්. හේරත් ආදින්ගේ අදහස් යෝජනා ඇතුළත් සමීක්‍ෂණ වාර්තාද මහනුවර සංවර්ධන කටයුතුවලදී සලකා නැති බව හෙළිවිය. ඉහත සඳහන් ප්‍රාමාණික විද්වතුන් රාජ්‍ය ප්‍රතිපාදන උපයෝගිකර ගනිමින් සිදුකළ පරීක්‍ෂණ වතුරේ යාමට ඉඩදිය නොහැක. අප පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, පුද්ගලික වාසි ලාභ ප්‍රයෝජන හෝ දේශපාලන අවශ්‍යතා අනුව නොව විද්‍යාත්මකව නිවැරදි, යෝග්‍ය සංවර්ධනයක් වන අතර එහිදී මහනුවර විද්වත් පුරවැසියන්ගේ හඬට ඇහුම් කන් දෙන ලෙසය. විසාලා මහනුවරක් වීමට ඉඩ නොතබා ලෝක උරුමයක අයිතිය ආරක්ෂා කරමින් විසල් මහනුවරක් ඇතිවනු දැකීම අපගේ ඒකායන පරමාර්ථයයි.■