රාවය

අපරාධවලට කැමති මහින්ද සහ සංඝයා වහන්සේලා

අපරාධවලට කැමති මහින්ද සහ සංඝයා වහන්සේලා

ලසන්ත රුහුණගේ

අස්ගිරි විහාරය ඇතුළු භික්ෂුන්ගෙන්ද මහින්ද රාජපක්‍ෂ ඇතුළු ජාතිකවාදී දේශපාලනඥයන්ගෙන්ද ගුණදාස අමරසේකර ඇතුළු ජාතිකවාදී දේශපාලන ආධාරකරුවන්ගෙන්ද නැගී ආ විරෝධය හමුවේ ජුලි 5 දින පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදයට ගැනීමට නියමිතව තිබූ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පසුපසට ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව තීරණය කර ඇත.

මෙම පනත් කෙටුම්පතට විරුද්ධව පළමු ගෝරනාඩුව රාජපක්‍ෂවරුන්ගේ අනාගත පක්ෂයේ නාමික නායකත්වය උසුලන ජී.එල්. පීරිස් විසින් සංඝරත්නය හමුවෙමින් ප්‍රකාශ කර තිබූ අතර ඊට පසු මහින්ද රාජපක්‍ෂ ත්‍රිකුණාමලයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ඊට ඇති විරුද්ධත්වය කරුණු ද සහිතව පෙන්වා දී තිබුණි. එය තවදුරටත් ඉදිරියට ගෙනයමින් හිටපු යුද හමුදාපති දයා රත්නායක, රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්‍ෂ නිමල් චන්ද්‍ර වාකිෂ්ඨ ඇතුළු පිරිසක් අස්ගිරි විහාරයට ගොස් සංඝරත්නයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ගුණදාස අමරසේකර ඇතුළු ජාතිකවාදී දේශපාලන ආධාරකරුවන් කොටුව දුම්රියපළ ඉදිරිපිටට රැස්වී එයට විරෝධය පළකරමින් ඉල්ලා තිබුණේ රට හා රටේ රණවිරුවන් පවා දෙන මෙම පනතට ඡන්දය නොදෙන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මහින්ද රාජපක්‍ෂ ත්‍රිකුණාමලයේදී විරෝධය පළකිරීමට අමතරව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පතට ඡන්දය ලබාදුනහොත් එය රට පාවාදීමක් බවයි. ඔහු එය විස්තර කර තිබුණේ කොටි ඩයස්පෝරාවට හා එයට උඩගෙඩි දෙන විදේශීය බලවතුන්ට රට පාවාදීමක් ලෙසය. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය, ඕස්ටේ්‍රලියාව හා කැනඩාව ඇතුළු තවත් බොහෝ රටවල් ගණනාවක් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා නොමැති බව හා ඩෙන්මාර්කය, පින්ලන්තය, නෝර්වේ, ස්වීඩනය, අයර්ලන්තය හා ඉන්දියාව මීට අවුරුදු දහයකට පෙර මෙයට අත්සන් තැබුවද අද වනතුරුත් එය තහවුරු කර නොමැති බවය.

වැඩිදුරටත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවේදනයේ සඳහන් වන්නේ පැහැරගෙන යෑම, නීති විරෝධි ලෙස රඳවාගෙන සිටීම, ඝාතනය කිරීම හා නීත්‍යනුකූල නොවන ආකාරයට මෘතදේහ විනාශ කිරීම හෝ සැඟවීම යන කාරණා සියල්ලන්ම රටේ දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධානවලින් හා අපරාධ නීතියෙන් ආවරණය වන බවයි. ශ්‍රී ලංකාව තුළ අතුරුදන් කරවීමක් සම්බන්ධ සැකකරුවකු චූදිතයෙකු හෝ වරදකරුවකු බාරදෙන ලෙස විදේශීය රටක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි විට එම පුද්ගලයා බාරදීමට හෝ ඔහුට විරුද්ධව නඩු පැවරීමට සිදුවන බවය. අමතරව අතුරුදන් කිරීම්වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය අනුව සාමාජික රටකට වෙනත් සාමාජික රටක අතුරුදන් කිරීමකට වගකිව යුතුයැයි සැකකරන විදේශිකයෙකු වුවත් සිරභාරයට ගැනීමට බලය පැවරෙන බව හා ඔහුට එරෙහිව නඩු පැවරීමට හැකි බවයි.
ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති හෝ රට තුළ නීතියෙන් බලාත්මක කිරීමට යන පළමු ජාත්‍යන්තර සම්මුතිය හෝ ප්‍රඥප්තිය හෝ මෙය නොවේ. විශේෂයෙන්ම එවැනි අවස්ථාවක රට තුළ සිටින විපක්ෂය සිදුකරන්නේ නැති බිල්ලකු මැවීමය. එය වඩාත් භයානක වන්නේ එම බිල්ලා ජාතිවාදය මත පදනම්ව රට පාවාදෙන, රණවිරුවන් පාවාදෙන එකක් ලෙස මැවීමය. මෙම පනත් කෙටුම්පත පෙබරවාරි මාසයේ සිටම ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබුණේය. මැයි මාසයේ සිටම පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත්ව තිබුණේය. එහෙත් රාජපක්‍ෂ කල්ලිය ඒ ගැන කිසිවක් ප්‍රකාශ කළේ නැත. ඒ ඒ සමයන්හි ඔවුන්ට ඕනෑතරම් ගෝනිබිල්ලන් සිටි නිසා ය.

මේ අතරතුර කාලයේදී එනම් පසුගිය මැයි 16 වෙනිදා තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවති ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කළ අතුරුදන් කිරීම අපරාධ වරදක් කරනු මැයෙන් යුතු ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයට සම්බන්ධවෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අමාත්‍ය මහින්ද අමරවීරද, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ද, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්ද, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම් සල්මාන්ද ප්‍රකාශ කළේ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම වෙනුවෙන් සිය පක්ෂවල සහාය ලබා දෙන බවය. පනත් කෙටුම්පතේ අඩුපාඩු ඇත්නම් ඒවාද සකස් කර පුද්ගල අතුරුදහන් කිරීම්වලට එරෙහි ප්‍රබල පනතක් ගෙන එන බවය.

පාර්ලිමේන්තුව නීයෝජනය කරන රාජපක්‍ෂවාදී නොවන අනෙකුත් දේශපාලන පක්ෂවල සාධනීය කරුණු එසේ තිබියදී මහින්ද රාජපක්‍ෂ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දන්වන නීශේධනීය කාරණය විග්‍රහ කළ බැලුවහොත් දැකගත හැකි චිත්‍රය කුමක්ද? පුද්ගලයන් පැහැරගෙන යෑම වැනි කරුණු පිළිබඳව අපේ නීතියෙන් දඬුවම් කිරීමේ හැකියාව තිබුණද එමගින් පුද්ගලයෙකු අතුරුදන් කළ අයෙකුට චෝදනාවක් එල්ල කර බරපතළ දඬුවමක් ලබාදිය නොහැකිය. පුද්ගලයෙකු අතුරුදන් කිරීම නම් එය ඇත්තටම වැඩකට නැති චෝදනාවක්ය. එම චෝදනාව අදාළ කරගත හැකි මෑතක උදාහරණයක් වශයෙන් දැක්විය හැක්කේ පුද්ගලයා අතුරුදන් නොවූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එල්ලවී ඇති බිය ගැන්වීම සඳහා පුද්ගලයෙකු පැහැරගෙන යෑම වැනි සිද්ධියක්ය. එහි කිසිසේත්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම වැනි සිදුවීමක් සම්බන්ධයෙන් අදාළ කරගත නොහැකි, අපරාධයේ බරපතළකම සඟවන චෝදනාවකි. ඇත්තටම ප්‍රගීත් එක්නැලිගොඩ වැනි අතුරුදන්වීම් අපට පසක් කරන්නේ මෘතදේහයක් නොතබා පුද්ගලයන් ඝාතනය කිරීමේ බරපතළ අපරාධයක හැඩරුවය. පුද්ගලයන් අතුරුදන් කිරීම නම් වූ එම බරපතළ අපරාධයට වත්මන් රටේ අපරාධ නීතිය යටතේ චෝදනා ගොනු කළ නොහැකි වී ඇත්තේ එය අපරාධ වරදක් වශයෙන් මහින්ද රාජපක්‍ෂ උපුටා දක්වන නීතිවල නොමැති නිසාය. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ පරීක්‍ෂණයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද මෙම අර්බුදයට මුහුණදී සිටින අතර ප්‍රගීත් පැහැරගෙන ගොස් අතුරුදන් කළ පුද්ගලයන්ට එරෙහිව ‘අතුරුදන්’ කිරීම නම් වූ චෝදනාව යටතේ චෝදනා ගොනු කිරීමට නොහැකිව සිටියි. මීට අදාළ සැකකරුවන් ප්‍රගීත් පැහැරගෙන යෑම දක්වා සියලු තොරතුරු වැමෑරුවද ඉන්පසු ඔහුට සිදු කළේ කුමක්ද යන්න නොකීම ඊට හේතුවය. ඒ නිසාම මහින්ද රාජපක්‍ෂ ඇතුළු හිටපු හමුදා හා පොලිස් ප්‍රධානීන් මෙම පනත් කෙටුම්පතට එරෙහි වන්නේ දැනුවත්භාවයකින් යුතුවය. ඒ තමන්ට එල්ල විය හැකි පුද්ගල අතුරුදන් කිරීම්වලින් බේරීම සඳහාය.

පුද්ගලයන් අතුරුදන් කිරීම වූකලි පසුගිය කාලය තුළ භාවිතයට ගන්නා ලද පුද්ගලයන් ඝාතනය කිරීම සඳහා චෝදනා නොලබා සිටීමට යොදාගත් දැනුවත් උපක්‍රමයක්ය. අතුරුදන් පුද්ගලයෙකුගේ මෘතදේහය නොලැබෙන තෙක් ඔහු මැරුණු පුද්ගලයෙකු වශයෙන් සැලකෙන්නේ නැත. එහි වේදනාව ඇත්තේ මෙවැනි දියුණු නීතිවලට එරෙහිව වන සිවුරු පොරවාගත් ආගමික නායකයන් යැයි කියා ගන්නා පිරිසට හෝ බලය වෙනුවෙන් ඕනෑම අපරාධයකට අණ දෙන දේශපාලනඥයන්ට හෝ එකී වැරදි අණ පිළිපදිමින් පදවි තනාන්තර රැකගත් නිලධාරීන්ට හෝ මේ සියල්ලන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිසට නොව ඒ සම්බන්ධයෙන් සදාකාලිකව වේදනා විඳින වින්දිතයන්ටය. පුද්ගලයෙකු අතුරුදන් කිරීම වූකලි ඒ තත්ත්වයට මුහුණ දෙන වින්දිතයෙකුටම අත්විඳින්නට සිදුවන අතිශය වේදනාකාරී ගන්ධබ්බ තත්ත්වයකි. එම වින්දිතයන් කිසිවකු අතුරුදහන් පුද්ගලයා ඝාතනය කර ඇතැයි සිතන්නට පෙළඹෙන්නේ නැත. ඒ ඔහුගේ හෝ ඇයගේ මෘතදේහයක් නොදකින, ජීවත්ව සිටිනවාද ජීවත්ව නොසිටිනවාද යන ගන්ධබ්බ තත්ත්වය නිසාය.

අපරාධයක් සම්බන්ධව වෙනත් රටකට අවශ්‍ය පුද්ගලයෙකු යම් රටක් ඉල්ලීමක් කළ විටදී දේශීය අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසු අදාළ පුද්ගලයා ඉල්ලුම් කරන රටට බාරදීමේ ක්‍රමවේදයක් නීතිඥ මහින්ද රාජපක්‍ෂ නොදැන සිටියාට දැනටත් අපේ නීතිමය වපසරිය තුළ ඇත. ඒ නිසාම මහින්ද රාජපක්‍ෂගේ මේ චෝදනා එකින් එකට පිළිතුරු ලබාදීමට අවශ්‍ය වන්නේ නැත. අවශ්‍යවන්නේ මේ පනතේ මූලික හරය ගැන කථා කිරීම පමණය.

ඒ නිසාම නීතිය හමුවේ චෝදනා නොලබා පුද්ගලයන් ඝාතනයට යොදාගන්නා නවමු ක්‍රමවේදය වූ පුද්ගලයන් අතුරුදන් කිරීමේ වරද අපරාධයක් සේ සලකා දඬුවම් ලබාදීම අපරාධකරුවන්ට දණ්ඩ මුක්තිය නොදෙන ශිෂ්ටසම්පන්න රටක් නම් වහාම ක්‍රියාත්මක කළ යුතුය. එහිදී එම නීතිය අපට එන්නේ ජාත්‍යන්තරයෙන්ද නොඑසේ නම් වෙන කොහින්ද කියන කාරණය අදාළ වන්නේ නැත. අදාළ වන්නේ යම් පුද්ගලයෙකුගේ ජීවිතයට ඇති අයිතිය තහවුරු කරමින් අධිකරණ ක්‍රියාවලියෙන් තොරව පුද්ගලයෙකුගේ ජීවිතය අහිමි නොකරන පරිසරයක් ඇති කිරීමක්, ඊට පරිබාහිරව පුද්ගල ජීවිත අහිමි කරන අපරාධකරුවන්ට තරාතිරම නොලබා දඬුවම් ලබාදෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්ය. අනාගතයේ එවැනි අපරාධ මැඬපැවැත්විය හැක්කේ නීතියේ ඇති කරනු ලබන එවැනි යහපත් ප්‍රතිසංස්කරණවලින් පමණය.

මිනිසුන් දසදහස් ගණනක් අතුරුදන්වීමේ මේ වේදනාබර අත්දැකීම අප රටක් වශයෙන් 1971 ජවිපෙ කැරැල්ලේදීත් 1988/1989 ජවිපෙ කැරැල්ලේදීත් හා උතුරු නැගෙනහිර පසුග ිය යුද සමයේදීත් අත්දැක ඇත්තෙමු. ඒ හැම අවස්ථාවකම මේ අතුරුදන්වීම්වලින් පුද්ගලයන් බේරාගැනීම සඳහාත් අතුරුදන් කිරීම්වලට වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් ලබාදීම සඳහාත් නොයෙක් පුද්ගලයන් හා සංවිධින විවිධ දේශීය හා ජාත්‍යන්තර උත්සාහයන් ගෙන තිබූ අතර අද මෙම පනතට විරුද්ධව ‘රට පාවාදීම’ යන රණවිරු ලේබලය යටතේ සිය දේශපාලන වුවමනාව සඳහා කිඹුල් කඳුළු සලන මහින්ද රාජපක්‍ෂද උත්සාහ කර තිබුණි.

ඒ බව ඔහුගේ චරිතාපදානයක් වශයෙන් සැලකිය හැකි මහින්ද ඉලේපෙරුම විසින් රචිත ‘මෙය කුරහන් සාටකයේ කථාවයි: මහින්ද රාජපක්‍ෂ’ නම්වූ පොතේ සඳහන් වන්නේ මේ ආකාරයටය.
‘විජේදාස ලියනාරච්චිවත් මරුවා. ඊළඟට කාවද දන්නේ නෑ අපේ මන්ත්‍රීවරුන්වත් එකතු වෙලා මේ ඝාතනවලට විරුද්ධව වැඩ කරන්න මානව අයිතිවාසිකම් කමිටුවක් පිහිටුවා ගනිමු.
මහින්ද පාර්ලිම්න්තුවේදී යෝජනා කළේය. මහින්දගේ එම යෝජනාවට ඉහළම ප්‍රතිචාරයක් ලැබුණේ වාසුදේව නානායක්කාරගෙනි.

මහින්දගේත් වාසුගේත් ඉල්ලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සෑහෙන පිරිසක් එකඟවූහ. ඒ නිසා එක්දහස් නවසිය අසූඅටේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මානව හිමිකම් කමිටුව ඔහුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගැනිණ.
මැදියම් රැයේ කාල්ටන් නිවසේ දොරට ගහන දරුවන් අහිමි මව්පියන්ගේ ළතෝනි නවත්වන්න නම් මේ මගින් පොදු රාජ්‍ය මණ්ඩලයේ අවධානයවත් ලංකාවට යොමු කළ යුතු බව මහින්දට වැටහෙමින් තිබිණි.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ මානව හිමිකම් කමිටුව ජිනීවා නුවර රැ ස්වීමට නියමිතව තිබිණ. එහෙත් එම මානව හිමිකම් කමිටුව හමුවට ඕනෑම කෙනකුට යා නොහැකිය. ඒ වරම ලැබෙන්නේ එක්කෝ රජය මගින් පත්කැරෙන නියෝජිතයකුටය. එහෙත් රජයේ නියෝජිතයා යන්නේ ආණ්ඩුව මානව හිමිකම් රකින ආකාරය කීමටය. රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකටම කතාකළ මහින්ද ඔවුන්ගේ නියෝජිතයා වශයෙන් ගොස් මේ මහා මනුෂ්‍ය ඝාතනය ගැන පොදු රාජ්‍ය මණ්ඩලයට කීමට අවස්ථාව ඉල්ලා සිටියේය. එහෙත් පලක් නොවිණ. විදේශ මූල්‍ය ආධාරවලින් යැපෙන ඒ සංවිධාන දකුණේ මානව හිමිකම් ගැන සලකා බැලුවේ නැත.

“අපි ජීනීවා ගිහින් ඔය සම්මේලනය ගොඩනැගිල්ල ඉස්සරහ ඉටි කොළයක් එලාගෙන ලංකාවේ මානව අයිතිවාසිකම් කියලා බෝඞ් එකක්වත් අල්ලාගෙන ඉඳිමු. එතකොට ලෝකෙ මිනිස්සුන්ට ලංකාවේ මානව අයිතිවාසිකම් ගැන පෙනෙයිනේ” මහින්ද යෝජනා කළේය.

ලංකා සමසමාජ පක්ෂයේ වෘත්තීය සංගම් ප්‍රබලයකුව සිටි කුලනායගම්ගේ දියණිය ඒ වන විට එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ සේවය කරමින් සිටි බව වාසුට මතක් විය. වහා එක්සත් ජාතීන්ගේ සම්මේලන කාර්යාලයට කතාකර ඇය ගැන තොරතුරක් සොයාගත් වාසු ඇය සොයාගියේය. මහින්දත් වාසුත් එම වෘත්තීය සංගම් නායකයාගේ දියණිය පිළිගත්තාය. තමාරා කුලනායගම් වූ ඇය ජීවත් වූ කුඩා නිවසේම ඔවුන් දෙදෙනාටද නවාතැන් දුන්නාය. දැන් මහින්දලාට රාත්‍රියට ඉන්න තැනක් තිබේ. මහින්දටත්, වාසුටත් නවාතැන් දුන් තමාරාගේ ඊළඟ බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ මහින්දලා  එක්සත් ජාතීන්ගේ සම්මේලන ගොඩනැගිල්ලට කැඳවාගෙන යෑමය.

තමාරා කුලනායගම් පසුදාම වෙනත් රටක මානව හිමිකම් පිළිබඳව සාකච්ඡා කැරෙන සැසියකට ඇතුළුවීමේ ප්‍රවේශපත් දෙකක් ගෙනාවාය. තමාරා ගෙනා ප්‍රවේශපත් දෙකෙන් කතාකිරීමට අනන්තවත් මානව හිමිකම් සංවිධානය සැදීපැහැදී සිටියහ.

මහින්ද කුසගින්නේ ඇවිදමින් ආණ්ඩුවේ තරුණ ඝාතන ගැන රාජ්‍ය නියෝජිතයන් දැනුවත් කරද්දී කොටි නියෝජිතයෝ තමන්ගේ බලප්‍රදේශවල ඝාතන ගැන පමණක් කියා මහින්දලා කියන දේවල් ප්‍රතික්ෂේප කරන්නට වූහ.
අනවසරයෙන් හෝ එක්සත් ජාතීන්ගේ සම්මේලන ශාලාවට ඇතුළු වී දිගින් දිගටම කරුණු කීමේ ප්‍රතිඵලයක් වශයෙන් මහින්දට එහි කමිටු ශාලාවක රැස්වීමක් පැවැත්වීමට බලධාරීහු අවසර දුන්හ. ලංකාවේ ඝාතන ගැන පවත්වන එම දේශනයට රටවල් දොළහක නියෝජිතයන් කැඳවා ගැනීමට හැකිවිණ.

“වත්මන් ආණ්ඩුවත්, ප්‍රා කහ බළල්ලු ආදි ඝාතන කල්ලිත් මගේ රටේ තරුණ තරුණියන් දැනටම දහස් ගණනක් බිලි අරගෙන. වහාම එක්සත් ජාතීන්ගේ සම්මේලනය මගින් අපේ රටේ මේ ඝාතන ක්‍රියාවලිය වළක්වා රටේ ජනතාවට මරණ බියෙන් තොරව ජීවත්වෙන්න ඉඩ සලසා දෙන්න.” මහින්ද දීර්ඝ කතාවක් කරමින් එදා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.”

බලහත්කාරයෙන් අතුරුදන් කිරීමවලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ පනත, මහින්ද රාජපක්‍ෂ විපක්ෂ මන්ත්‍රීවරයෙකු වශයෙන් වාසුදේව නානායක්කාර සමඟ එදා ජීනිවා මානව හිමිකම් කොමිසමට ගොස් කළ අරගලය ඊට වසර ගණනාවකට පසු ශ්‍රී ලංකා පොළොවේ මල්පල ගැන්වීමට දරණ උත්සාහයකි. එහෙත් අද මහින්ද රාජපක්‍ෂ ඇතුළු සංඝයාවහන්සේද අයත් අනෙකුත් පිරිස ඊට විරුද්ධවන්නේ පසුගිය යුද සමයේදී අතුරුදන් වූ බොහෝ පිරිස් සිංහලයන් නොවන නිසාද? එසේම එම අතුරුදන්කිරීම්වලට වගකිව යුතුයැයි සැලකෙන බොහෝ පිරිස් සිංහලයන් වීම නිසාද? එය එසේ නම් එහි තේරුම වන්නේ, මේ රටේ පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිතය පිළිබඳ අයිතියක් නොමැති බව හා එම ජීවිතයේ අයිතිය පිළිබඳ නීතියට පිටින් තීන්දු තීරණ ගන්නා අපරාධකරුවන් සිංහලයන් හෝ සිංහල බෞද්ධයන් වන්නේ නම් ඔවුන් නීතියට ඉහළින් සිටින පුද්ගලයන් පිරිසක් බවය. එහෙව් රටක් කෙසේවත් මානව අයිතිවාසිකම්වලට ගරුකරන රටක් වන්නේ නැත.■