රාවය

ජාතිවාදය සහ ආගමික අන්තවාදය එපා! එපා! එපා! (2 වැනි කොටස)

ජාතිවාදය සහ ආගමික අන්තවාදය එපා! එපා! එපා! (2 වැනි කොටස)

ජාතිවාදය සහ ආගමික අන්තවාදය එපා! එපා! එපා! (2 වැනි කොටස)

අපේ ගමේ අහිංසකයෙකුට 1960 ගණන්වල රුපියල් ලක්ෂයක ලොතරැයියක් ඇදුණි. එදා රුපියල් ලක්ෂයක් යනු අද රුපියල් කෝටියකටත් අධික වටිනාකමකි. ගත වුණේ දෙවසරකි. අර කී ධන නිධානය නාස්ති කර ගත් මේ පුද්ගලයා කඩපිල් ගානේ හිඟාකන තත්ත්වයට වැටුණේය. වර්තමාන යහපාලන ආණ්ඩුවේ චර්යාව දෙස බලන විට, එහි අනාගතය අර නූගත් ගැමියාගේ ඉරණමට වෙනස් වන එකක් නැතැයි විටෙක මට සිතේ.

ඉතිහාසය තමන් වෙනස් කර ගැනීමට සමාජයකට නිතර අවසර නොදෙයි. ඉඳහිට ලැබෙන අවසරයක් වෙතොත් එය මනාව පරිහරණයට ගැනීම දියුණු සමාජයක වගකීමකි. 2009 යුද්ධය හමුදාමය වශයෙන් අවසන් කර ගැනීමෙන් පසු ඉතිහාසය එවැනි දුර්ලභ අවස්ථාවක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දුන්නේය. ශ්‍රී ලංකීය ජාතියක් ගොඩනැගීම සඳහා ඒ මහඟු අවස්ථාව ඔහු ප්‍රයෝජනයට ගත යුතුව තිබුණි. ඒ සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනවර්ග අතර සංහිඳියාව සඳහා නොපමාව වැඩ කළ යුතු විය. එහෙත් ඔහු කෙළේ එහි ප්‍රතිලෝමයයි. යුද්ධය තුළ දෙමළ ජනතාවගේ හොඳ හිත අහිමි කර ගත් ඔහු මුස්ලිම් ජනතාවගේ ප්‍රසාදයත් ගලගොඩඅත්තේ ඥානසාර වැනි පුද්ගලයන් හරහා සතියෙන් දෙකෙන් අහිමි කර ගත්තේය. බාහු බලයෙන් රජ කළ හැකි යැයි විසි එක් වැනි සියවසේ රාජ්‍ය නායකයෙකු සිතීමම, ඔහු රාජ්‍ය නායකත්වයට නුසුදුස්සෙකු කරන්නේය. එහි අවසන් ප්‍රතිඵලය වුණේ මහින්ද රාජපක්ෂට හිතුවාට කලින් ගෙදර යාමට සිදුවීමයි.

එවැනි ‘සර්ව බලධාරී’ තන්ත්‍රයක් ඉවරයක් කර ගැනීමට සැලසුණු අවස්ථාව, ඉතිහාසය විසින් ලංකාවට ලබා දුන් ඊළඟ මහඟු අවස්ථාවයි. මහින්ද රාජපක්ෂට ඉතිහාසයෙන් ලැබුණු දුර්ලභ අවස්ථාව ඔහු නාස්ති කර ගත්තේ යම් සේ ද, යහපාලන ආණ්ඩුවටත් ලැබුණු ඓතිහාසික අවස්ථාව දැන් හැම පැත්තකින්ම නාස්ති කර ගනිමින් සිටින බවක් පෙනෙන්ට තිබේ. කලාතුරකින් ඇදෙන ඉතිහාසයේ ස්වීප් වාසනාව මොළේ ඇතිව අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට නොදන්නා පාලකයා අවසානයේ, දැනුවත්ව හෝ නොදැනුවත්ව, මුළු රටක්ම ඇදගෙන යනු ඇත්තේ ඉතිහාසයේ නරාවළට ය. විජේදාස රාජපක්ෂ වැනි ඇමතිවරුන් එහිදී අසහාය ගමන් සගයන් වනු ඇත.

මෙම ලිපියේ සිරස්තලයේ සඳහන් ශීර්ෂ පාඨය යටතේ ‘ලංකාදීප’ පුවත්පතේ පළ වූ දැන්වීම, මේ රටේ ජාතිවාදය ඇති කිරීමට සහ ජාතික සංහිඳියාව නැති කිරීමට හේතු වෙතැයි ‘හිරු’ නාලිකාවේ වැඩ සටහනකදී විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කියා සිටීම මගේ මතකයට ගෙනාවේ ජෝර්ජ් ඕවල් නැමැති කීර්තිමත් නවකතාකරුවා විසින් සාහිත්‍ය ලෝකයට හඳුන්වා දෙන ලද අලුත් වචනයකි. එය, “නිව්ස්පීක්” යනුවෙන් හැඳින්වෙයි. එහි අරුත වන්නේ ‘අලුත් වහර’ යන්නයි. ජෝර්ජ් ඕවල්ගේ ප්‍රකට නවකතාවක සඳහන් කල්පිත ලෝකයේ කතාන්තරයකට අනුව, 2050 වන විට ‘පැරණි වහර’ අභාවයට ගොස් ‘අලුත් වහර’ සමාජගත වන්නේය. ඒ අනුව, භාෂාවේ එතෙක් පැවති අර්ථ ඊට හාත්පසින් වෙනස් අර්ථ ගනී. ඒ කෙසේද යත්, වහල් කඳවුර ‘විනෝද කඳවුර’ වන්නේය. නිදහස යන්න ‘වහල් භාවය’ වන්නේය. යුද්ධය යන්න ‘සාමය’ වන්නේය. ඉහත කී පුවත්පත් දැන්වීමේ සඳහන්, “ජාතිවාදය සහ ආගමික අන්තවාදය එපාෟ එපාෟ එපාෟ” යන්න පැහැදිලි සිංහලෙන් සටහන් කොට තිබියදීත්, විජේදාස රාජපක්ෂගේ ‘නිව්ස්පීක්’ අර්ථකථනයට අනුව ඔහු එය අරුත් ගන්වන්නේ, “ජාතිවාදය සහ ආගමික අන්තවාදය ඕනෑෟ ඕනෑෟ ඕනෑෟ” යනුවෙන් ලු.

ඇත්ත, ලිපියක හෝ නිවේදනයක සඳහන් සිරස්තලය මගින් පමණක් විනිශ්චයන්ට එළැඹිය නොහැකි බව මම පිළිගනිමි. එහෙත්, විජේදාස රාජපක්ෂ ස්වකීය විනිශ්චයට එළැඹෙන්නේ අදාළ නිවේදනයේ සමස්ත අන්තර්ගතය කියැවීමෙන් අනතුරුව ද? කොහෙත්ම නැත. රූපවාහිනී වැඩ සටහන ඉදිරිපත් කරන්නා විසින් ‘ලංකාදීප’ නිවේදනයේ එක් සංඛ්‍යාත්මක කාරණයක් පමණක් ඉස්මතු කොට පුවත්පත ඔහුට පෙන්වීමේදී ඔහු කියන්නේ “මොකක්ද? කවද්ද තිබුණේ? මං දැක්කේ නැහැ” ආදි වශයෙනි. එසේ තමන් නොදැක්ක, තමන් නොකියැවූ ප්‍රකාශනයක්, ‘මොළේ ආබාධයක් ඇති පිරිසකගේ’ වැඩක් යැයි එම මොහොතේම හෙළාදකිනු ලැබීම ‘ප්‍රාඥයෙකුගේ’ චාරය නම්, ජෝර්ජ් ඕවල්ගේ ‘නිව්ස්පීක්’ භාෂාව අනුව, අනාගතයේදී ‘ප්‍රාඥයා’ යැයි කී පමණින්, මාර්ටින් වික්‍රමසිංහ යන විදග්ධ නාමය වෙනුවට විජේදාස රාජපක්ෂ නැමැති ග්‍රාම්‍ය නාමය සදය හාස්‍යයෙන් යුතුව ඊට ඈඳා ගැනීමට කෙනෙකු පෙළඹෙනු ඇත.

දැන් ඔහු ප්‍රතික්ෂේප කරන සංඛ්‍යා දත්ත වෙත අපි හැරෙමු. අදාළ පුවත්පත් දැන්වීමේ සඳහන් ‘සිදුවීම් සිය ගණනක්’ යන්න ඔහු කෝපයෙන් ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට ඔහු කියන්නේ, කිතුනු නමස්කාර ස්ථාන හතරකට එරෙහි සිදුවීම් ගැන පමණක් වාර්තා වී ඇති බවකි. අපේ අත්සනින් යුත් පුවත්පත් ප්‍රකාශනය සඳහා පාදක වන්නේ, “ඉවැන්ජලික ක්‍රිස්තියානි ජාතික සන්ධානය” මගින් නිකුත් කොට ඇති වාර්තාවකි. ඊට අනුව, 2015 වසරේදී පමණක් කිතුනුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ බියගැන්වීම් පිළිබඳ සිදුවීම් 90 ක් වාර්තා වෙයි.

ඉන් පළමුවැන්න වන්නේ, ගාලු දිස්ත්‍රික්කයේ කහව ප්‍රදේශයේ ‘ෆෝස්ක්වෙයාර් පල්ලියේ’ පාදිලිතුමාගේ නිවෙසේ සීමා වැටට ජනවාරි 18 වැනි දා ගිනි තැබීමයි. ඒ ගැන පොලීසියට පැමිණිලි කළ පාදිලිතුමා සැකකරුවන් කිහිප දෙනෙකු නම් කෙළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනවාරි 22 වැනි දා ඉන් එක් අයෙකු පැමිණ පාදිලිතුමාට මරණ තර්ජන කළ අතර එදා පාන්දර යම් පිරිසක් එතුමාගේ ගෙට ගල් ගැසූහ.

මඩකළපුව දිස්ත්‍රික්කයේ චන්කලඩි පල්ලියට පෙබරවාරි 12 වැනි දා ගල් ගැසූ පිරිසක් එහි මුරකරුවාට තුවාල සිදු කළහ.
අප්‍රේල් 3 වැනි දා මන්නාරම දිස්ත්‍රික්කයේ ‘යේසුස් ක්‍රිස්තුස් දේවස්ථානයට’ යමින් සිටියදී, නාඳුනන පිරිසක් දේවගැතිතුමාගේ වාහනයට ගල් ගැසුහ. එහිදී තුවාල ලත් ඒ මොහොතේ ඔහු සමග ගමන් ගත් එක් බැතිමතෙකු සිහිසුන්ව ගොස් නැවත සිහිය ලැබුවේ, මන්නාරම රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පසුව දා ය.
අප්‍රේල් 5 වැනි දා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ දේවස්ථානයට පැමිණි පළාත් සභා සභාපතිවරයා පාදිලිතුමාට පහර දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දින දෙකක් රෝහල්ගතව සිටීමට එම පාදිලිතුමාට සිදුවිය.
මැයි 9 වැනි දා වව්නියාව දිස්ත්‍රික්කයේ මරුතෝඩෙයි දේවස්ථානයට කඩා වැදුණු මැර පිරිසක් එවෙලේ පැවැත්වෙමින් තිබූ දේව මෙහෙය කඩාකප්පල් කළහ.

මැයි 24 වැනි දා, ගම්පහ දිස්ත්‍රික්කයේ සපුගස්කන්ද දේවස්ථානයේ දේවගැතිවරයා පැහැරගෙන ගිය පිරිසක්, ඔහු සිදු කරමින් සිටි යාච්ඤා මෙහෙයන් නතර නොකළහොත් මීට වඩා නරක තත්වයකට මුහුණදීමට සිදුවන බවට තර්ජනය කොට අතහැර දැමීය.

ජුනි 26 වැනි දා නුවර දිස්ත්‍රික්කයේ හතරලියැද්දේ ලයිට්හවුස් දේවස්ථානයට පැමිණි නන්නාඳුනන පිරිසක් ඊට ගිනි තැබූහ.

ජුලි 4 වැනි දා කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්කේ ක්‍රිස්තියානි සහෝදරත්ව දේවස්ථානයට පැමිණි 50 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් එහි පැවැත්වෙමින් තිබූ දේව මෙහෙය කෑකෝගසා කඩාකප්පල් කළහ.
ජුලි 23 වැනි දා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්තේ දේව සභාවට පැමිණි භික්ෂූන් වහන්සේලා 12 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පාදිලිවරයාගේ ආගමික කටයුතු ගැන දිගින් දිගට ප්‍රශ්න කළ අතර එදා හවස තවත් පිරිසක් එම ස්ථානයට ගල්මුල් ගැසූහ.

අගෝස්තු 2 වැනි දා, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව දේවස්ථානයට භික්ෂූන් වහන්සේලා 10 නමක් පැමිණි අතර සහ ඔවුන් සමග පැමිණි ගම්මුන් 30 ක පමණ පිරිසක් පාදිලිතුමා ඇතුලු දේව සභාවේ පිරිසකට පහර දුන්හ.
ඔක්තෝබර් 16 වැනි දා, මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ සුසාන භූමියකට රැස්වූ 300 පමණ පිරිසක් ක්‍රිස්තියානි ආගමිකයෙකුගේ අවමංගල දේව මෙහෙයක් පැවැත්වීම වැළැක්වූහ. ප්‍රසිද්ධ සුසාන භූමියේ මිනිය වළ ලෑමට නොහැකි වූ විට මරණකරුගේ පවුලේ සාමාජිකයෝ මිනිය දේවස්ථාන පරිශ්‍රයේ භූමදානය කිරීමට කටයුතු කළහ. එයින් කෝපයට පත් සැහැසි පිරිසක් එම ස්ථානයේ නතර කොට තිබූ මෝටර් සයිකල් දෙකකට ගිනි තැබූහ.
මේ, 2015 වසරේ ඇති වූ සිදුවීම්වලින් කිහිපයක් පමණි. එම වසරේ වාර්තාගත මුළු සිදුවීම් ගණන 90 ක් වන අතර, 2016 වසරේ එවැනි ප්‍රහාර, තර්ජන සහ බිය ගැන්වීමේ සිදුවීම් 89 ක් ගැනත්, මේ වසරේ සිදුවීම් 44 ක් ගැනත් ඉහත සඳහන් වාර්තාව කරුණු දක්වයි.

දැන්, මේ වාර්තාව බොරුවක් නම් අධිකරණ ඇමතිවරයා කළ යුත්තේ ඒ පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වා එම බොරුව රටට හෙළි කිරීම මිස, එම සිදුවීම් ඇතුළු වෙනත් මුස්ලිම්-විරෝධී සිදුවීම් පිළිබඳ අනතුරු අඟවා නිවේදනයක් පළ කළ පිරිසක්, ‘මොළේ අමාරුකාරයන්’ වශයෙන් හැඳින්වීම නොවේ. මෙහි සඳහන් ඇතැම් සිදුවීම් ඔහුට අනුව ‘සුළු’ ඒවා විය හැකිය. ඔහු කියන පරිදි, යම් කිසි දේවස්ථානයකට ගල් ගැසීම ‘සුළු’ දෙයකි. රට කරවන දේශපාලනඥයෙකු එසේ සිතීම අමනෝඥ ය. බිහිසුණු ය.

මීට වසර හතළිහකට පමණ පෙර, 1977 දී එක්සත් ජාතික පක්ෂය බලයට පත් ආසන්න වකවානුවක, විනිසුරුවරුන් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට ගස් ගැසුවේය. ඒ, එදා ආණ්ඩුවේ ප්‍රසාදයට හේතු නොවන ඇතැම් තීරණ මේ විනිසුරුවරුන් විසින් දීම නිසා ය. එදා ඒ ගල් ගැසීම්වලින් කිසි විනිසුරුවරයෙකුට තුවාලයක් හෝ සීරීමක් වුව සිදුවුණේ නැත. දේපළවලට අලාභහානි සිදු වුණේත් නැත. එබැවින් අප එය ‘සුළු සිදුවීමක්’ වශයෙන් සැලකුවේ ද? එයින් හතළිස් වසක් ගතව ඇති අද පවා එක්සත් ජාතික පක්ෂයේ අතීතයට ගෑවුණු විශාල කළු පැල්ලමක් වශයෙන් එම ගල් ගැසීම සැලකෙයි.

ඒ ආකාරයෙන් යහපාලන ආණ්ඩුව තමන්ගේ කැරැට්ටුවේ දැලි ගා ගත යුතු නැත. ඉහත සඳහන් වාර්තාවේ කිසි තැනක එම සිදුවීම් පසුපස වර්තමාන ආණ්ඩුව හෝ ආණ්ඩුවේ බලවතුන් හෝ සිටින බවක් ඉඟියෙන්වත් ගම්‍ය නොකෙරේ. අපේ පුවත්පත් නිවේදනයේ ද එවැනි අදහසක් අහලකින්වත් ගෑවෙන්නේ නැත. එහෙත්, යම් ජාතිවාදී සහ ආගමික අන්තවාදී කණ්ඩායම් විසින් එවැනි ප්‍රජා-පීඩක, ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියා සිදු කරන විට ඒවා නැවැත්වීම සඳහා පියවර ගැනීමේ වගකීමක් ආණ්ඩුවට තිබේ. එසේ තිබියදී, එවැනි දේවල් සිදුව නැතැයි හෝ ඒ සා ප්‍රමාණයකින් එවැනි දේවල් සිදුව නැතැයි කියා හෝ ඒවා ‘සුළු දේවල්’ වශයෙන් සලකා හෝ තමන් රවටා ගැනීමට බැලීම, යහපාලනයේ අනාගතයට සුභදායක නැත.■