සයිටම් අර්බුදය මෙතැනින් කොතැනටද


saitam

තරිඳු උඩුවරගෙදර

සයිටම් අර්බුදය ආණ්ඩුව සහ විරෝධතාකරුවන් අතර එකඟතාවකින් අවසන් වන බව පෙනෙන්නේ නැත. එය තව තවත් වර්ධනය වෙන්නේ බරපතළ සමාජ අර්බුදයක් ලෙසයි. සයිටම් විරෝධීන්ට සහ සයිටම් ආයතනයට පක්ෂ දෙපාර්ශ්වයම තමන්ගේ මතය සාධාරණීකරණය කරන්නට පදනම් සහගත තර්ක ඉදිරිපත් කරයි. තවත් පිරිසක් මෙය වාමාංශික රජයක් දක්වා යන මාර්ගයක වැදගත් අවස්ථාවක් ලෙස දකිද්දී පටු අරමුණු ඇති පිරිසක් මේ සටන තමන්ගේ කරගන්නට උත්සාහ කරන බවත් පෙනෙයි. වාමාංශික අදහස් මත සටන් කරන සිසුන් ඉක්මවා ගොස් සයිටම් විරෝධී සටනේ පෙරමුණ ගෙන ඇත්තේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය මත පදනම්ව සටන් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. සයිටම්හි ප්‍රමිතිය ගැන ආණ්ඩුව ගන්නා තීරණ ගැන සෑහීමට පත්ව ඔවුන් සටනින් ඉවත්වීමේ ඉඩක්ද ඇත. ඉහත කාරණා සැලකිල්ලට ගනිමින් සයිටම් ගැටලු‍ව දැන් පත්ව ඇති තත්ත්වය ගැන බුද්ධිමතුන් කිහිපදෙනෙකු ඉදිරිපත් කළ අදහස්ය මේ.

අධ්‍යාපනය මුදලට විකුණන දෙයක් නෙවෙයි
හිටපු ජනාධිපති උපදේශක මොහාන් සමරනායක
මම සයිටම් ප්‍රශ්නය කෝණ දෙකකින් දකිනවා. එකක් තමයි සමස්ථයක් විදියට පෞද්ගලික අධ්‍යාපන ආයතන ගැන මම දකින තත්ත්වය. අනෙක් පැත්තෙන් සයිටම් ප්‍රශ්නය කියන නිශ්චිත ප්‍රශ්නය ගැන මට ඇති යෝජනාව.
සෝවියට් දේශය බිඳ වැටීමෙන් පස්සේ නව ලිබරල් ආර්ථික මාදිලිය ලෝකය පුරා රළ වේගයක් වගේ පැතිරෙනවා. ඒකේ ස්වභාවය තමයි මනුෂ්‍යයාගේ පරිභෝජනය සඳහා තියෙන හැම භාණ්ඩ හා සේවාවක්ම ලාභ උපයන, වෙළඳපොලේ ඉල්ලු‍ම හා සැපයුම අනුව මිල තීරණය වන භාණ්ඩ බවට පත්වීම. නව ලිබරල් ධනවාදය කිව්වාට මේක පැරණි සම්භාව්‍ය ධනවාදයමයි. එහි ප්‍රථිපලයක් ලෙස හැම සේවාවක්ම භාණ්ඩ බවට පත්වෙනවා. අද ලංකාවේ ඉරිදා පත්තර ගත්තාම පෞද්ගලික අධ්‍යාපනය ගැන පිටු ගණනක් තියෙනවානේ. අපි තරුණ කාලයේ මේවා තිබුණේ නැහැ. ඒ තමයි මේ වෙනසේ ප්‍රතිඵලය. දැන් අධ්‍යාපනය ධනය උපයන මාධ්‍යයක්. සයිටම් වැනි ආයතනය එන්නේ ඒ පුළුල් ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදියට. මම හිතන්නේ අධ්‍යාපනය කිසිසේත්ම මුදලට විකිණෙන දේවල් නොවිය යුතුයි කියන එක. හැබැයි දැන් මේක යථාර්ථයක්. ඒ නිසා සමස්ථයක් විදියට මේ ප්‍රශ්නයට විසඳුම් ළඟ ඇතැයි මම හිතන්නේ නැහැ.
දැන් සයිටම් කියන නිශ්චිත ප්‍රශ්නයට එන්න පුලු‍වන්. වඩා සුදුසු විසඳුම ලංකාවේ වෛද්‍ය විද්‍යා පීඨවල පීඨාධිපතිවරුන් සහ ආචාර්යවරුන් පස් වැදෑරුම් විසඳුමක් විදියට යෝජනා කරලා තියෙනවා. සයිටම් ආයතනයේ බඳවාගැනීම් නතර කිරීම, උපාධී පිරිනැමීම නතර කිරීම, වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම ප්‍රමිතිය නියම කිරීම, සෞඛ්‍ය හෝ උසස් අධ්‍යාපන ඇමතිවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දැනුම්දීම ආදී වැඩ පිළිවෙළක්. ඒ හරහා සයිටම් ශිෂ්‍යයන්ටත් සාධාරණය ඉටු කරන්න ක්‍රම කියලා තියෙනවා. මේ පංචවිධ යෝජනා ක්‍රියාත්මක කිරීම මේ ප්‍රශ්නයට විසඳුමක් බවයි මම හිතන්නේ. එහෙත් ආණ්ඩුව කල් මරනවා. හේතුව මේ ආණ්ඩුවට නව ලිබරල්වාදය හැර වෙන ආර්ථික මාදිලිය ගැන අදහසක් නැති නිසා. මේ ආණ්ඩුවට නැහැ වගේම කලින් ආණ්ඩුවටත් එහෙම අදහසක් තිබුනේ නැති බවත් කිව යුතුයි.

පරිපාලන අයිතිය යූජීසීයට දෙන්න
ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
සයිටම් ප්‍රශ්නය ගැන මේ වෙද්දී ආණ්ඩුව පැත්තෙන් යම් විදියට නමන්‍යශීලී පියවර ගන්න උත්සාහ කරල තිබුණත් මේ වෙද්දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිදු නියාමනයක් මැද සයිටම් එක තියාගන්න බැහැ කියන තැනට ඇවිල්ලා තියෙනවා. මේ ස්ථාවරයට ඔවුන් ගියේ මේක පදනම් කරගත්ත රාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් කරන්නට බව පැහැදිළිව පේනවා. මේකෙන් වෛද්‍ය සංගමය දුර්වල වෙලා වෙන වෛද්‍ය සංගම් ඇතිවෙන්න පටන්අරගෙනත් තියෙනවා. ඔවුන් තමන්ගේ බලය අධිතක්සේරු කරන්න ගිහින් ක්‍රමයෙන් දුර්වල පෙන බව පේනවා. වෘත්තිය සමිති දුර්වල වීම ගැන මට සතුටුවෙන්න බැහැ.
මේ වෙද්දී රටේ වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා. රජයට පුලු‍වන් වෙන්න ඕන වෛද්‍ය පීඨ වැඩිකරලා වෛද්‍යවරු ප්‍රමාණය වැඩි කරන්නට හෝ පෞද්ගලික අංශයට ඒ කටයුත්ත විවෘත කරන්න. මේ වෙනකොට හැම විෂයකටම පෞද්ගලික උපාධි ලබාදෙන නිසා සයිටම් තවත් එවැනි ආයතනයක් විතරයි.
යම් පුද්ගලයෙක්ට ලංකාවේ වෛද්‍ය විද්‍යාලයකට යන්න බැරිවුණත් මුදල් තියෙනවානම් ඔවුන්ට වෛද්‍යඅධ්‍යාපනය ලබන්න වෙනත් ක්‍රම දැනටත් තියෙනවා. හැබැයි අපි ගත්තොත් පුනේ විශ්වවිද්‍යාලයට ගියොත් ලක්ෂ තුන්සිය විස්සක් ගෙවන්න ඕන. සයිටම් එකේ ලක්ෂ එකසිය විස්සක් කියලයි කියන්නේ. ලංකාවෙන් යන විශාල මුදලක් ලංකාවේම ඉතිරි වෙනවා. ඒ නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය නෙවෙයි.
ප්‍රශ්නයක් එන්නේ ගුණාත්මකභාවය ගැනයි. අපි මුල ඉඳලා හිටපු තර්කය තමයි පෞද්ගලික අංශය ආවාට කමක් නැහැ, ඒක එන්න ඕන ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම යටතේ කියන එකයි. ඉගැන්වීම්වල, විභාගවල ගුණාත්මකභාවය යූජීසී එකෙන් අධීක්ෂණ්‍ය කරනවානම් මේ ගැටලු‍ව නිරාකරණය කරගන්න පුලු‍වන්. මම දකින සක්‍රීයම විසඳුම මේකේ පාලනය රජයට ගන්න එක නෙවෙයි, මේකේ පරිපාලන අයිතිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට ලබාදෙන එක. මොකද මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීම කොහොමවත් නවත්වන්න බැහැ. එහෙත් ප්‍රමිතියෙන් තොර අධ්‍යාපන සහතික ලබාදීම වළක්වන්න පුලු‍වන්. ඒක කළ යුතුයි. ඉන් එහාට වෛද්‍ය සංගමය සටන් කරන්න ගියොත් වෙන්නේ ඔවුන් දුර්වල වීම පමණයි.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්
ප්‍රවීණ ලේඛක ජයතිලක කම්මැල්ලවීර
ආණ්ඩුව මේ ගැන ගතහැකි පියවර අරගෙන තියෙන බවයි මගෙ අදහස. සයිටම් රජයට ගන්නවා වගේ තීන්දුවකට යනවානම් ඒකට ශක්තිමත් තර්කයක් එපැයි. මේකට තියෙන තර්කය වියහැක්කේ පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය නැහැ කියන ප්‍රතිපත්තිමය තීරණයට ආණ්ඩුව පැමිණීම. මේක වැරදි විදියට පටන්ගත්ත ආයතනයක් බව පෙණුනත් ලංකාව ඇතුලේ ඔවුන් කාලයක් මේක පවත්වාගෙන ආවා. රජයට පවරාගන්නට ඒ තර්කය පාවිච්චි කරන්න බැහැ.
වෛද්‍යවරු ඉල්ලන්නේ උසස් අධ්‍යාපනය පෞද්ගලිකව කරන්න ඉඩ දෙන්න එපා කියන එක. ලංකාවේ උසස් අධ්‍යාපනය ගැන ආණ්ඩුවට ඒ වගේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. ආණ්ඩුවට එහෙම තීරණයක් ගන්න බෑ. ඒක එක පැත්තකින් හානිකරයි රටක් හැටියට. ලංකාවේ ආර්ථිකයට විශාල වශයෙන් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන අය දායක වෙනවා. අනෙක් පැත්තෙන් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය බංකොළොත්. වෛද්‍ය වෘත්තියේ බලය පාවිච්චි කරලා වෛද්‍ය සංගමයේ වර්ජන සහ වෛද්‍ය සිසුන් පන්ති වර්ජන කරන්නේ. වෙන වෘත්තියක් වගේ හමුදාව දාලා කරන්න පුලු‍වන් එකක් නෙවෙයිනේ නිසා ඔවුන්ගේ තර්ජනය බාරගන්න වෙනවා. ඔවුන් දන්නවා තමන්ට තියෙන විශේෂ තත්ත්වය. ඒක පාවිච්චි කරලා දේශපාලනය කරනවා ඔවුන්. මට යෝජනා කරන්න බෑ ආණ්ඩුව කොහොමද මුහුණදෙන්න ඕන කියලා. හැබැයි මට පෙනෙන්නේ මෙතැනින් එහාට මේක ආණ්ඩුව පෙරළීමේ ව්‍යාපාරයක් කියලා. ඉතින් ආණ්ඩුව ගන්නා තීරණය මර්දනීය පියවරක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඒක සමස්ථ ජනතාවට බලපාන ලොකු ප්‍රශ්නයක් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සම්බන්ධ ප්‍රශ්නයක් බවට මේක පත්වෙනවා. මේ වෙලාවේ ජවිපෙ වගේ සංවිධාන මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕන කියලා මම හිතනවා. මෙයාලා එන හැම ඉෂූ එකකින්ම පක්ෂය ගොඩනගන්න බලනවා. හැබැයි මේ වගේ ජාතික ගැටලු‍වකදී ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න වෙනවා. මේක ආණ්ඩුව පෙරළීමක්නම් ඊළඟට ගේන්නේ කවුද කියන ප්‍රශ්නය එනවානේ. මේක පේන හැටියට රාජපක්ෂ බලයට ගෙන ඒමේ ව්‍යාපාරයක්. ආණ්ඩුවට සිද්ධවෙන්නේ හදිසි නීතිය දාලා මර්දනීය පියවර වලට යන්න.

ජනසතු කළත් ප්‍රශ්නය ඉවර නෑ
ආචාර්ය හරිනි අමරසූරිය
සයිටම් ප්‍රශ්නය විසඳුණාට අධ්‍යාපන ප්‍රශ්න විසඳේවි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි මේ මොහොතේ සයිටම් ප්‍රශ්නය විසඳන්නේ නැතිව වෙන මොකුත් කරන්න බෑ. ආණ්ඩුව පැත්තෙන් මේ වෙලාවේ සයිටම් ජනසතු කිරීම හැර වෙන විකල්පයක් තියෙන බව මට පෙනෙන්නේ නෑ. ඒ වගේ තැනකට සටන ගෙන එන්න අවාසනාවකට හෝ වාසනාවකට ජීඑම්ඕඒ වගේ සංගමයක් නැතිවත් බැරිවුණා. සිසුන් හෝ අපි කියපු දේ ඇහුවේ නෑ, වෛද්‍ය සංගමය කියද්දී තමයි ආණ්ඩුව අහන්නේ.
ඒ වෙලාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හරහා හෝ මේක විසඳාගැනීමට අපි විරුද්ධ වෙන්නේ නෑ. මේ ආණ්ඩුව අපව එතැනට ගෙනල්ලා. සයිටම් ප්‍රශ්නය මේ තරම් බරපතළ වීම ගැන ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකියන්න ඕන.
ජීඑම්ඕඒ එක ගැන මට ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ට විරුද්ධව මේ මොහොතේ මොකුත් කියන්න බෑ. ඔබ මගෙන් ඇහුවා රජයේ වෛද්‍ය නිලධාරීන් මේ සටනින් ඉවත්වීමේ ඉඩක් තියෙනවාද කියලා. මට හිතෙන්නේ මේ වෙලාවේ ඔවුන්ට ඉවත් වෙන්න බැහැ. ඔවුන් කරන්න යන දේ ගැන මම අනාවැකි කියනවා නෙවෙයි, මම කියන්නේ එයාලාටවත් දැන් අඩියක් පස්සට ගන්න බෑ. දැන් මතයක් හැදෙනවා මේක වහන්න වෙනවා කියලා. ඒ අස්සේ තමයි ජීඑම්ඕඒ එකටත් තීරණ ගන්න වෙන්නේ. මහජන මතය තුළිනුත් මේක වෙනස් කරන්න අමාරු වෙනවා. ඒ ගැන ජීඑම්ඕඒ එකත් සැලකිළිමත් වෙනවානේ.
මීට කලිනුත් ජනාධිපතිවරයා එක්ක සාකච්ඡාවකින් පස්සේ ඒක සාර්ථකයි කියලා වෛද්‍ය සංගමය කියලා, පස්සේ ඔවුන් ස්ථාවරය වෙනස් කළේ එය සලකලා. මට තේරෙන්නේ විසඳුම් දෙකයි. එක්කෝ රජය සයිටම් ජනසතු කරන්න ඕන. නැත්නම් ආණ්ඩුව ලොකු මර්දනයකට යන්න ඕන. රජයේ විසඳුම් කියා දැනට ඉදිරිපත් කරලා තියෙන යෝජනා පදනම් විරහිතයි. ඒවා විසඳුම් නෙවෙයි.
සයිටම් එක ජනසතු කළත් ප්‍රශ්නය ඉවර නෑ. කොටසක් විසඳනවා විතරයි. එතැනින් එහාට සටන සිසුන් සහ අපි එකතුවෙලා කරන්න වෙනවා. හැබැයි ඒ සියල්ලට කලින් සයිටම් ප්‍රශ්නය විසඳගෙන ඉන්න වෙනවා.

ස්ථාවරය පැහැදිලිව කියන්න
ආචාර්ය මේනක හරන්කහ
සයිටම් ප්‍රශ්නයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන රජය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන දෙකම මේ වෙලාවේ වගකීමෙන් කටයුතු කරන්න ඕන. මේක අනාගතයේ ඉතාම බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න ඉඩ තියෙනවා.
මේ මොහොතේ රජය සහ සයිටම් ආයතනයයට විරුද්ධ වෙන ජීඑම්ඕඒ සහ වෛද්‍ය සභාව තමන්ගේ ස්ථාවරය පැහැදිළි කිරීම මූලික කාරණයක්. සයිටම් පිළිබඳව නෙවෙයි, පෞද්ගලික විශ්වවිද්‍යාල කියන එක ගැන. ජීඑම්ඕඒ එක පැහැදිළිව කියන්නේ නැහැ පෞද්ගලික අධ්‍යාපනය ගැන. ඒ ගැන අධ්‍යනය කරන්න ඕන කියලයි කියන්නේ. භාවිතාවෙන් ගත්තාම ඔවුන් සයිටම් වහන්න ඕන කියලා කියන්නේ පෞද්ගලික වෛද්‍ය අධයාපනයට විරුද්ධ නිසා. හැබැයි අපි දන්නවා වෛද්‍ය සංගමයේ සිටින බොහෝ දෙනෙක් පෞද්ගලික අධ්‍යාපනය ගැන එකඟතාව පළ කරනවා. ඒ නිසා ඔවුන්ගේ ස්ථාවරය අපැහැදිළියි.
රජය පැත්තෙනුත් මුලින්ම පෞද්ගලික අධ්‍යාපනය ගැන මතය හෙළිකරන්න ඕන. ඇමතිවරු කිහිපදෙනෙක් කිව්වත් රජයක් වශයෙන් අදහස කියලා නැහැ. එහෙත් අප්‍රකාශිතව පෞද්ගලික අධ්‍යාපනය පිළිගන්නවාත කලින් රජයත් අප්‍රකාශිතව පෞද්ගලික අධ්‍යාපනය පිළිගත්තා. රජය මේක පැහැදිළිව ප්‍රකාශ කරලා ඊට අනුකූලව ක්‍රියාමාර්ග ගන්න ඕන පැති කිහිපයකින්.
එක් පැත්තක් තමයි ප්‍රමිතිය. ප්‍රමිතිය ගැන කාරණය මේ වෙලාවේ තියෙන කේන්ද්‍රීය ප්‍රශ්නයක්. ප්‍රමිතිය මනින්නේ කොහොමද? ප්‍රමිතිය සම්බන්ධයෙන් පිළිගත්ත නිර්ණායක නෑ. ඒ නිසා නීත්‍යනුකූලව පිලිගත්ත නිර්ණායක ඇති කරන්න පුලු‍වන්. ආණ්ඩුව අවම ප්‍රමිතියක් සකස් කරලා තියෙනවා. මේකට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබාගන්න ඕන.
මේක අදාළ කරගන්න ඕන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයවලට විතරයි කියලා ඇතැමුන් කියයි. හැබැයි අවම ප්‍රමිතිය හදන්න ඕන පෞද්ගලික සහ රජයේ දෙකටම. එතකොට ඇතැම්විට දුරස්ථ පලාත්වල තියෙන රජයේ ඒවායේ ප්‍රමිතිය ගැනත් අපට දැකගන්න පුලු‍වන්. අවම ප්‍රමිති නිර්ණායක නීතියක් වුණාට පස්සේ ප්‍රමිතියෙන් තොර ඒවා වැසිය යුතුනම් වසන්න ඕන වෛද්‍ය පීඨ කීයක් තියෙනවාද කියන එක දැකගන්න පුලු‍වන්.

නියාමනය දුර්වලයි
කථිකාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල
සයිටම් එක ගැන කතාකරනවාට වඩා ඒකෙන් මතුවන පුළුල් ප්‍රශ්නය වන ලංකාවේ අධ්‍යාපනයේ අනාගතය කියන කාරණය ගැනයි අපි සැලකිලිමත් විය යුත්තේ. අධ්‍යාපනය සමාන සහ මූලික අයිතියක් ලෙස සලකනවාද නැත්නම් ඒක වෙළඳ භාණ්ඩයක් විදිය සලකනවාද කියන එක තමයි වැදගත් කාරණය.
උසස් තත්ත්වයේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ලෝකයේ තියෙනවා. ඒවා පාලනය වෙන්නේ පෞද්ගලික ලාභ ලබන ආයතන විදියට නෙවෙයි. යම් කිසි භාරයක් නැත්නම් ට්‍රස්ට් එකක් විදියට. අධ්‍යාපනය කියන්නේ වෙන භාණ්ඩයක් වගේ නෙවෙයි. ලංකාවේ සිසුන් බලන්නේ තත්ත්වය මොකක් වුණත් සහතිකයක් ගන්න. මම කියන්නේ හැම ආයතනයක්ම තත්ත්වයෙන් බාල අධ්‍යාපනයක් ලබාදෙනවා කියලා නෙවෙයි. සමහර ආයතන ඉහළ තත්ත්වයේ අධ්‍යාපනයක් ලබාදෙනවා. මම කියන්නේ පොදුවේ පාරිභෝගිකයා සහ සේවාව සපයන්නා අතර ගණුදෙනුවේ ස්වභාවය ගැනයි.
සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි දැනට පෞද්ගලීකරණය වෙලා තියෙන පොදු සේවාවන්ගේ ප්‍රමිතිය වර්ධනය වී තියෙනවාද, සාධාරණ සේවා සැපයීමක් වෙනවාද කියන එක ප්‍රශ්නයක්. කෙනෙක්ට කියන්න පුළුවන් එතැන තියෙන්නේ නියාමනය ගැන ගැටලු‍වක් කියලා. හැබැයි ලංකාවේ රාජ්‍යය දුර්වලයි. දේශපාලන පක්ෂ ශක්තිමත්. රාජ්‍යය කියන්නේ ආණ්ඩුව නෙවෙයි. ඒක ඊට වඩා පුළුල් ආයතන, සිවිල් සමාජවලින් තැනිච්ච තැනක්. ඒ නිසා නියාමනය හරියට වෙයි කියලා හිතන්න අපහසුයි. සයිටම් හරහා පෙනෙන්නෙත් නියාමනය නිසි ලෙස සිදුවෙලා නැහැ කියන එක.
අපි දන්නවා උසස්පෙළින් ඉසෙඞ් ස්කෝ හරහාම සිසුන් ප්‍රමාණයක් තෝරාගන්න ඕන නැහැ කියලා. හැබැයි අදට තියෙන සාපේක්ෂ හොඳ ක්‍රමය තමයි උසස්පෙළ විභාගය. එහෙත් උසස්පෙළින් අවස්ථා අහිමිවෙන අයට අවස්ථා ලැබිය යුතුයි. පුළුල් කළහැකි හොඳම ක්‍රමයක් තමයි විවෘත විශ්වවිද්‍යාලය.විවෘත විශ්වවිද්‍යාලය ඇතුලේ ඕනෑම වයසක, ඕනෑම තැනක සිටින, ඕනෑම අධ්‍යාපන සුදුසුකමක් තියෙන කෙනෙකුට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබාදෙනවා. එහෙම එකක් ඇතිකරන්න රාජ්‍යය මැදිහත්වෙන්න අවශ්‍යයි. මොකද ඕනෑම කෙනෙක්ට දරාගන්න පුලු‍වන් වියදමකින් මේක කරන්න පුලු‍වන් වෙන්න ඕන. හැකි අවම මුදලක් අය කරමින් ඒ ආයතන පවත්වාගෙන යන්න ඕන.■