තොරතුරු අයිතියේ ඉල්ලුම වැඩි කරගන්නේ කෙසේද?


nalaka

ඉල්ලුම හා සැපයුම යනු හුදෙක් ආර්ථික විiාවේ එක් සංකල්පයක් පමණක් නොවෙයි. සොබාදහමේ මෙන්ම මානව සමාජයන්හිත් ඉල්ලුම හා සැපයුම යන ප්‍රවාහයන් දෙක ක්‍රියාත්මක වනු දැකිය හැකියි.
තොරතුරු අයිතිය හා තොරතුරු නීතිය සම්බන්ධයෙන්ද ඉල්ලුම හා සැපයුම වශයෙන් ප්‍රවාහයන් දෙකක් මා දකිනවා.
එහිදී සැපයුම කළ යුත්තේ රජය විසින්. තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකම් ගොන්නට එකතු කිරීම (19වන ව්‍යවස්ථා සංශෝධනය) හා තොරතුරු නීතිය හඳුන්වාදීම (2016 අංක 12 දරන තොරතුරු පනත) හරහා එහි වැදගත් පියවර ගනු ලැබුවා.

සැපයුම තහවුරු කිරීමේ අනෙක් ප්‍රධාන පියවර නම් සමස්ත රාජ්‍ය තන්ත්‍රයම තොරතුරු නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් ව තැබීමයි. මෙය ආකල්ප හා කුසලතා යන මට්ටම් දෙකින්ම සිදු විය යුත්තක්. යම් යම් අඩුපාඩු තවමත් ඇතත් මෙය ද සැලකිය යුතු මට්ටමකින් සාක්ෂාත් කර ගෙන ඇති බව පෙනෙනවා.
තොරතුරු නීතියේ ඉල්ලුම් පැත්ත භාර වන්නේ පුරවැසියන්ටයි. වෙනත් නීති රජයට භාවිත කිරීමට සම්පාදනය කර ඇතත්, තොරතුරු නීතිය භාවිත කළ යුත්තේ පුරවැසියන් විසින්.

ඉල්ලුම පැන නැඟී එන්නේත්, එය පවත්වා ගනු ලබන්නේත් පුරවැසියන්, තනි තනිව හා කණ්ඩායම් වශයෙන් කොතෙක් දුරට තොරතුරු ඉල්ලීම් ගොනු කරනවාද, ඒ හරහා ලබා ගන්නා තොරතුරු භාවිත කරනවාද යන්න මතයි.
තොරතුරු නීතියේ ඉල්ලුම පැත්ත ප්‍රවර්ධනය කිරීමටත්, එය සෘජුව භාවිත කිරීමටත් සිවිල් සමාජ සංවිධානවලට හා මාධ්‍යවලට හැකියි. මේ කාර්යභාරය ගැන දේශනයක් හා සංවාදයක් මේ සතියේ කොළඹදී පැවැත්වුණා.
දේශකයා වූයේ තොරතුරු නීති පිළිබඳ ලොව පිළිගත් විද්වතකු හා ක්‍රියාකාරිකයකු වන ටෝබි මෙන්ඩල් (Toby
Mendel)’. කැනඩා ජාතික මානව හිමිකම් නීතිඥයකු වන ඔහු ප්‍රකාශන අයිතිය හා තොරතුරු අයිතිය පිළිබඳ විශේෂඥ දැනුමක් සතු අයෙක්.

ලෝකයේ සියලු තොරතුරු නීතින් විශ්ලේෂණය කොට නිර්ණායක රැසක් මත පදනම් වී ශ්‍රේණිගත කිරීමට මුල්වන්නේ ඔහු අධිපතිකම හොබවන නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන කේන්න්‍ද්‍රය (Centre for Lawnd Democracy/ CLD)නම් විද්වත් සංවිධානයයි.

2017 පෙබරවාරියේ මෙම ශ්‍රේණිගත කිරීම අවසන් වරට සංශෝධනය කළ විට ලෝකයේ රටවල් 116ක තොරතුරු නීති අතරින් ශ්‍රී ලංකාවේ තොරතුරු නීතියට (හා එය සම්බන්ධිත නියෝගවලට) තුන් වන තැන හිමි වුණා.
“අපේ ශ්‍රේණිගත කිරීම පදනම් වන්නේ නීති පොත්වල තිබෙන තොරතුරු නීති හා නියෝග මතයි. තොරතුරු නීති කෙතරම් ප්‍රශස්තව ක්‍රියාත්මක වනවාද යන්න රටින් රටට දිගු කාලීනව විමර්ශනය කිරීම තනි ආයතනයකට ඉතා දුෂ්කරයි. රට තුළ ක්‍රියාත්මක වන සිවිල් සංවිධාන හා මාධ්‍යවලට තමයි මෙය කළ හැක්කේ” ටෝබි පැහැදිලි කළා.
තොරතුරු නීතිය යටතේ මහජන ආයතන සතු තොරතුරු නිසි ක්‍රමවේදයකට අනුව ඉල්ලා ලබා ගත හැකියි. මේ ගැන අප මීට පෙර විස්තර කර තිබෙනවා. සීමිත ව්‍යතිරේක (exemptions) හැරුණු කොට අන් සියලු තොරතුරු ලබාදීමට මධ්‍යම රජයේ ආයතන, පළාත් සභා, පළාත් පාලන ආයතන, සංස්ථා හා රාජ්‍ය සමාගම් ආදි සියල්ල නීතියෙන් බැඳී සිටිනවා.

තමන්ට පෞද්ගලිකව අදාළ යම් තොරතුරක් මෙන්ම පොදු උන්නතියට අදාළ තොරතුරුද මේ යටතේ ඉල්ලිය හැකියි. වාර්ෂිකව ලක්ෂ ගණනක් තොරතුරු ඉල්ලීම් ගොනු කැරෙන ඉන්දියාවේ 80-90%ක්ම පෞද්ගලික ගැටලුවලට අදාළව පුරවැසියන් එසේ ඉල්ලන බව ටෝබි කියා සිටියා. එහි කිසිදු වරදක් නැහැ. තොරතුරු නීතිය, නිලධාරීවාදයෙන් පීඩිතව සිටින ඉන්දියානු ජනයාට පිළිසරණක් ලෙස තිබෙන දුර්ලභ අයිතියක්.

මෙය ටෝබි විග්‍රහ කළ හැටියට: “ඉන්දියාවේ පමණක් නොවෙයි, තවත් රටවලත් රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනා මහජනයාට තොරතුරු හෙළි කිරීමට කැමති නැහැ. එය අනවශ්‍ය කරදරයක් හෝ රාජ්‍ය සේවයේ ගරුගාම්භීරත්වය හෑල්ලු කිරීමක් ලෙස සමහර නිලධාරීන් සලකනවා. මහජනයාට තොරතුරු දීම අනිවාර්ය කරන තොරතුරු නීති ගැන මෙවන් නිලධාරීන් තුළ විරෝධයක් තිබෙනවා. එහෙත් මේ අතර තොරතුරු නීතිය ඉතා හොඳින් ක්‍රියාත්මක කරන ජනහිතවාදී නිලධාරීන් ද හැම රටකම සිටිනවා.”

තොරතුරු නීතිය අපේ රටේ ක්‍රියාත්මක වීම ඇරැඹුණේ 2017 පෙබරවාරි 3වනදා. ඒ නිසා අපට තවමත් ඇත්තේ මාස හයක අත්දැකීම් පමණයි.

ඒ කෙටි කාලය තුළ සාමාන්‍යයෙන් මසකට 2,000ක් පමණ නව තොරතුරු ඉල්ලීම් ගොනු කැරෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය කියනවා.
ආරම්භයක් හැටියට මෙය හොඳ ඉල්ලුමක්. එහෙත් මෙයින් ඉල්ලුම්පත් කීයක් සාර්ථකව තොරතුරු ලබා ගත්තා දැයි තවම පැහැදිලි නැහැ.

තොරතුරු නීතිය යටතේ සියලු රාජ්‍ය ආයතන මේ දත්ත අර්ධවාර්ෂිකව ස්වාධීන තොරතුරු කොමිසමට වාර්තා කළ යුතුයි. ඒ නිසා ඉල්ලීම්වලින් කීයක් (සහේතුකව) ප්‍රතික්‍ෂේප වූවාද, කීයක් ඉටු කරන ලැබුවාද ආදිය දත හැක්කේ තව ටික කාලයකින්.

රටක තොරතුරු නීතිය සාර්ථක වීමට එය බිම් මට්ටමින් (grassroots හෙවත් තෘණ-මූලික මට්ටමින්) භාවිත වීම ප්‍රචලිත විය යුතුමද? එය අනිවාර්ය නැති බව ටෝබි මෙන්ඩල්ගේ මතයයි.
ඉන්දියාවේ 2005 සිට ජාතික මට්ටමින් තොරතුරු නීතිය ක්‍රියාත්මක කිරීමේ අත්දැකීම් නම් සමාජයේ හැම තරාතිරමකම ජනයා එය භාවිත කරන බවයි. අධ්‍යාපන මට්ටම අඩු, ආදායම් මට්ට්මද අඩු පීඩිත පංතියේ ජනයාට ගැටලු විසඳීමේ මෙවලමක් බවට එරට තොරතුරු නීතිය අද පත්ව තිබෙනවා.

එහෙත් 2002 සිට තොරතුරු නීතිය ක්‍රියාත්මක වන මෙක්සිකෝවේ අත්දැකීම් මීට වෙනස්. එරට තොරතුරු නීතියෙන් වැඩිපුරම ප්‍රයෝජන ගන්නේ සමාජ ක්‍රියාකාරිකයන්, විද්වතුන් හා නාගරික වැසියන්. මෙක්සිකෝවේ පොදු උන්නතිය සඳහා ගොනු කැරෙන තොරතුරු ඉල්ලීම්, සමස්ත තොරතුරු ඉල්ලීම්වලින් ප්‍රතිශතයක් ලෙස ඉන්දියාවට වඩා ඉහළයි.
“තොරතුරු නීතියක් සාර්ථක කර ගැනීමට එක තනි ප්‍රවේශයක් නැහැ. එය රටින් රටට වෙනස් වනවා. රටේ සමාජ-ආර්ථික සාධක මෙන්ම රාජ්‍ය පරිපාලනයේ ස්වරූපයද මත එය රඳා පවතිනවා. පෞද්ගලික ගැටලු නිරාකරණයට මෙන්ම පොදු ගැටලුවලට විසඳුම් සෙවීමටද උපක්‍රමශීලී ලෙසින් තොරතුරු ඉල්ලීම් කොට ලබන තොරතුරු භාවිත කළ හැකියි,” ටෝබිගේ අවවාදය එයයි.

ටෝබි අවධාරණය කළ තව වැදගත් කරුණක් නම් තොරතුරු නීතිය යටතේ හෙළි කිරීම ප්‍රගාමී ලෙස (එනම් ඉල්ලීමටත් පෙර ස්වේච්ඡාවෙන්ම) ප්‍රසිද්ධ කිරීම කළ හැකි බවයි (proactive information disclosure) අපේ තොරතුරු නීතියේ ගැසට් කළ නියෝග අංක 20 හරහා මෙයට අදාළ රාමුව ලබාදී තිබෙනවා.
පුරවැසියන් හෝ ඔවුන්ගේ කණ්ඩායම් තනි තනිව තොරතුරු ඉල්ලුම්පත් ගොනු කරන හැම අවස්ථාවකම එම තොරතුරු ලබාදීමට රාජ්‍ය ආයතනවල කාලය හා ශ්‍රමය වැය වනවා. මීට වඩා සකසුරුවම් ක්‍රමයක් නම් අදාළ තොරතුරු මුද්‍රිත ප්‍රකාශන ලෙස හෝ නිල වෙබ් අඩවි හරහා හෝ ප්‍රගාමීව හෙළිකර තැබීමයි.
මේ ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක වන රටවල රාජ්‍ය ආයතනවලට ලැබෙන තොරතුරු ඉල්ලීම් සංඛ්‍යාව කෙමෙන් අඩු වන බව ටෝබි කියනවා.

තොරතුරු නීිතිය ඉක්මවා යන විවෘත දත්ත සංකල්පයද ඔහු කෙටියෙන් විස්තර කළා. එය ධචැබ ෘ්ඒ නමින් හඳුන්වනවා. එහිදී විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සතුව විද්‍යාත්මක දත්ත නොමිලයේ, කිසිදු බුද්ධිමය හිමිකම් සීමා කිරීමකින් තොරව මුදා හරිනවා. එම දත්ත නිකුත් කරන්නේ පරිගණක හරහා ප්‍රතිවිශ්ලේෂණය කළ හැකි ආකාරයෙන්. (මෙයට ප්‍රශස්ත දත්ත බෙදා ගැනීමේ ප්‍රමිතීන් තිබෙනවා. Pdf හැටියට නොවෙයි.)

ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් වන තොරතුරු අයිතිය සඳහා තොරතුරු ඉල්ලුම්පත් ගොනු කරන ලක් පුරවැසියන්ට සමහර රාජ්‍ය ආයතන මගින් හිරිහැර හා තර්ජන කිරීම් ගැනද අපේ සංවාදයේදී ප්‍රශ්න කරනු ලැබුවා.
තොරතුරු නීතිය ක්‍රියාත්මක වීමට බාධා කිරීම දඬුවම් ලද හැකි වරදක්. එසේම තොරතුරු ඉල්ලීම් ගොනු කරන පුරවැසියන් හා සිවිල් සංවිධාන අනවශ්‍ය ලෙස රස්තියාදු නොකර, ආචාරශීලීව හා කාර්යක්ෂමව නීති ප්‍රකාර එම ක්‍රියාදාමය ඉඩු කිරීම සියලු රාජ්‍ය ආයතනවල වගකීමක්. (එහිදී තොරතුරක් ඉල්ලන්නේ ඇයි ද යන්න ඇසීමට ආයතනවලට බැහැ. එය කීමට පුරවැසියන් බැඳී සිටින්නේත් නැහැ.)

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට තොරතුරු ඉල්ලීමක් ගොනු කළ වතුකරයේ තරුණ සමාජ ක්‍රියාකාරිකයකු “කරදරකාරයෙක්” යයි පොලීසියට පැමිණිලි කළ බවක් අදාළ තරුණයා මට මෑතදී හෙළි කළා. පොලීසියට කැඳවනු ලැබූ ඔහුගෙන් යළි යළිත් ප්‍රශ්න කොට ඇත්තේ එම තොරතුරු ඉල්ලීම කිරීමට යම් දේශපාලන හෝ වෙනත් පාර්ශ්වයක් ඔහුට උපදෙස් දුන්නාද යන්නයි!

පැය ගණනක් පොලීසියේ රස්තියාදු කිරීමෙන් පසු තරුණයා ආපසු ගෙදර ගියා. එහෙත් මෙය නීත්‍යනුකුල රාජ්‍ය ක්‍රියාවක් නොවෙයි. මෙවන් අවස්ථා ගැන අවදියෙන් සිට ඒවාට විරෝධය දැක්විය යුතු බව ටෝබිගේ අදහසයි. එසේ නොකළොත් තොරතුරු ඉල්ලීම් ගොනු කිරීමට මහජනයා තුළ අනිසි බියක් පැතිර යා හැකියි.

මෙරට තොරතුරු නීතිය යටතේ සියලුම රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය කොන්ත්‍රාත් ලබන පෞද්ගලික ආයතනත් (එම කොන්ත්‍රාත් මගින් ආවරණය වන වැඩ පිළිබඳව පමණක්) තොරතුරු හෙළි කළ යුතුයි. එසේම ලක් රජයෙන් හෝ විදෙස් රජයන්ගෙන් හෝ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධානත් තොරතුරු හෙළි කිරීමට බැඳී සිටිනවා.
දැනටමත් සමහර සිවිල් සමාජ සංවිධානවලට තොරතුරු ඉල්ලීම් ලැබී, ඔවුන් ඒවාට අනුව තොරතුරු හෙළි කොට තිබෙනවා. රාජ්‍ය ක්‍ෂේත්‍රයේ විනිවිදභාවය ඉල්ලා සිටින සිවිල් සමාජ සංවිධාන තම ආයතන ගැනද එම ප්‍රතිපත්තියම ක්‍රියාත්මක කිරීම තර්කානුකූලයි.

“සිවිල් සංවිධාන ප්‍රගාමී ලෙසින් කලින් කලට තම තොරතුරු ප්‍රසිද්ධ කරනවා නම් තොරතුරු නීතිය යටතේ යමකුට නිශ්චිත තොරතුරු ඉල්ලා සිටීමට ඇති අවශ්‍යතාව අඩුවනවා” යයි ටෝබි කියනවා.
එසේම රාජ්‍ය ආයතනයකට හෝ සිවිල් සමාජ සංවිධානයකට හිරිහැර කිරීමේ අරමුණින්ම දිගට හරහට තොරතුරු ඉල්ලීම් ගොනු කරන පුද්ගලයන්ද ඉඳහිට සිටිය හැකියි. එය ඔවුන්ගේ නීතිමය අයිතියක් නිසා තොරතුරු නීතියේ විධිවිධානවලට අනුකූල වනු හැර වෙන කළ හැකි දෙයක් නැහැ.
මෙරට මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් තොරතුරු නීතිය යටතේ ඉල්ලුම්පත් ගොනුකොට සිය මාධ්‍යකරණයට තොරතුරු ලබා ගැනීම තවමත් සිදු කැරෙන්නේ ඉතා සීමිත වශයෙන්. තොරතුරු ඉල්ලා අවම වශයෙන් දින 14ක් බලා සිටීමට සිදුවීම එදිනෙදා පුවත් විග්‍රහයන්ට ගැළපෙන්නේ නැහැ. එසේම රාජ්‍ය තොරතුරු ලබා ගන්නා වෙනත් ක්‍රම ද මාධ්‍යවේදීන්ට තිබෙනවා.

එහෙත් දිගටම ඇදී යන සමාජයීය ගැටලු හා අර්බුද (උදා: උමා ඔය ව්‍යාපෘතිය, කැලි කසළ බැහැර කිරීමේ අභියෝග) සම්බන්ධයෙන් බැලූ බැල්මට නොපෙනෙන මානයන් පාදා ගැනීමට ඉලක්කගතව තොරතුරු ඉල්ලීම් ගොනු කළ හැකි බව ටෝබි මෙරට මාධ්‍යවේදීන්ට දුන් අවවාදයයි. එයට අමතරව දිගු කාලීන ගවේෂණාත්මක මාධ්‍යකරණයටත් තොරතුරු ඉල්ලීම් හරහා තොරතුරු සොයා ගත හැකියි.
තවමත් ළාබාල අපේ තොරතුරු නීතිය හරිහැටි මෙරට සමාජයේ ස්ථාපිත වීමට නම් මාධ්‍යවේදීන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ද මීට වඩා සක්‍රියව එය භාවිතකළ යුතුයි.
තොරතුරු නීතිය මාංශ පේශියක් වගේ. එය සවිමත් වන්නේ භාවිත කරන තරමටයි!■