ඩෙංගු ප්‍රශ්නය හා සයිටම් ප්‍රශ්නය


victor

වික්ටර් අයිවන්

ලංකාවේ විසඳාගත යුතුව තිබෙන පුපුරනසුලු ප්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට ඒවා අවුල් කරගනිමින් ලංකාව විනාශය කරා හැල්මේ ගමන් කරන රටක් බවට පත්ව තිබෙන්නේය. ලංකාව ප්‍රශ්න විසඳා ගැනීමට යොදා ගනිමින් තිබෙන ප්‍රවේශය ඩෙංගු මදුරු උවදුර ජයගැනීම සඳහා යොදාගෙන තිබෙන මෝඩ ප්‍රවේශයට සමානය. මහජනයා සිය ගෙවතු ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමීමට ඉඩක් නැති ලෙස පවත්වාගෙන යන වැඩසටහනක් මගින් ඩෙංගු උවදුර ජයගතහැකිවේයැ’යි ආණ්ඩුව විශ්වාස කරයි. ඒ ගැන පරණ ආණ්ඩුවට තිබුණු ප්‍රවේශයද ඊට සමානය.

එම මෝඩ ප්‍රවේශය තුළ ඩෙංගු මදුරුවන්, බිත්තර හා කීට නසන උපාය මාර්ගයක් ඇත්තේම නැති තරම්ය. මහජනයා උන්ට බිත්තර දමන්නට ඉඩක් ඇත්තේම නැති ආකාරයට ඔවුන්ගේ ගෙවතු පවත්වාගෙන ගියද ඩෙංගු මදුරුවන්ට බිත්තර දමන්නට මහජනයාට පාලනය කළ නොහැකි තවත් බොහෝ තැන් තිබෙන්නේය කියන සරල සත්‍යයවත් ඩෙංගු මර්දන ව්‍යාපාරයේ නියමුවන් තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. ඩෙංගු මදුරුවන් උන්ගේ බිත්තර හා කීටයන් සොයාගෙන ගොස් උන් නසන ප්‍රායෝගික හා ක්‍රියාකාරී වැඩසටහනින් තොරව ඩෙංගු උවදුර මර්දනය කළ නොහැකිය. ඩෙංගු උවදුර මර්දනය කරන්නට යන්නේ දැන් පවත්වාගෙන යන මෝඩ ක්‍රමයට නම් ඩෙංගු පැතිරෙමින් තිබෙන වේගය අනුව ඩෙංගු නිසා මිනිසුන් දහස් ගණනින් මැරෙන තත්ත්වයක් ඇතිවිය හැකිය.

මහජනයාට අවබෝධයක් ලබාදී ගෙවතුවල ඩෙංගු මදුරුවන්ට බිත්තර දමන්නට භාජන තබා ඒවාහී මදුරු කීටයන් ඇතිවූ විට ඒ භාජනවල සිටින කීටයන් හා බිත්තර නසන ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ඇති කළ හැකිය. ඊට අතිරේකව මදුරුවන් නැසීම සඳහා සුදුසු කෘමිනාශයක් යොදාගන්නා තැනකට යායුතුය. ඩෙංගු වසංගත විෂයෙහි රටට පුනරුදයක් උදා කරගත හැකිවනු ඇත්තේ එවිටය.

කරාපිටිය රෝහලේ හෘදය සැත්කම් අංශය
මීට සති දෙකකට පමණ ඉහතදී කොළඹ ජීවත් වන වැඩිහිටි ඥාති දියණියක් හෘදය විවෘත කොට කෙරෙන සැත්කමක් සඳහා කරාපිටිය රෝහලේ හෘදය සැත්කම් වාට්ටුවට ඇතුළු විය. රෝහලේ නැවතුම් ගත් ඇගේ අවශ්‍යතාවන් බලා ගැනීම සඳහා ඇගේ සහෝදරියක නැවතුම් ගත්තේ මගේ නිවසේය. මෙම රෝග ියා මීට පෙර අවස්ථාවකද රෝහලේ හෘදය සැත්කම් ඒකකයේ දැනුම්දීමක් අනුව රෝහල් ගතවීම සඳහා කරාපිටිය රෝහලට පැමිණියද රෝහලට ඇතුළත් කරගෙන නොතිබුණි. පසුව කරන ලද දැනුම්දීමකින් පසුව ඇය නැවත රෝහල් ගත කරන ලදි.

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවූ අවිනිශ්චිතභාවයද ඒ කෙරෙහි බලපෑ බව අසන්නට ලැබුණි. හෘදය සැත්කම් අංශයේ සැත්කම් භාරව ක්‍රියාකරන වෛද්‍යවරුන් දෙදෙනකු සිටින අතර ඒ දෙදෙනා අතර කලක් තිස්සේ පවතින ගැටුම හෘදය සැත්කම් අංශයේ අවුල්සහගත තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. මෙම වෛද්‍යවරුන් දෙදෙනාම දක්ෂ වෛද්‍යවරුන් ලෙස සැලකිය හැකිය. එක් අයෙකු හෘදය රෝග විෂය සඳහා නාමධාරී පුද්ගලයකු වන අතර කාන්තා වෛද්‍යවරියක වන අනෙකා නාමධාරී මානසික වෛද්‍යවරයෙකුගේ දියණියකි. දෙදෙනාම දක්ෂයන් වන අතර එකම සුදු ජාතික මහාචාර්යවරයකුගේ ගෝලයෝය. එහෙත් දෙදෙනා අතර තිබෙන ගැටුම හෘදය සැත්කම් අංශයේ සෞඛ්‍ය සේවකයන් අතර තිබිය යුතු සහයෝගය හා ඒකාග්‍රතාව අවුල් කිරීමට හේතුවී තිබේ. මේ නිසා සේවක මණ්ඩලය කල්ලි දෙකකට බෙදී සිටින අතර සේවක මණ්ඩලයේ දක්නට තිබෙන කල්ලි ගැසීම හෘදය සැත්කම් සඳහා එහි එන රෝගීන් කෙරෙහිද බලපා තිබෙන බව අසන්නට ලැබුණි.

රෝහලේ ප්‍රතිකාර ලැබූ ඥාති රෝගියා තම සැත්කම කරගැනීමෙන් තොරවම රෝහලෙන් ඉවත්ව ගියේ සැත්කම සඳහා දින නියම කර තිබියදී රෝගියා සැත්කම සඳහා සූදානම් කරතැබීමෙන් පසුත් අවසාන මොහොතේ සැත්කම කල්දැමීම නිසාය. ඇයගෙන් දැනගන්නට ලැබුණු තොරතුරු අනුව සැත්කම් රෝගීන් සඳහා වෙන්කර තිබෙන අංශයට බාහිර කිසිවකුටත් ඇතුළුවීම තහනම්ය. රෝගීන් බලන්නට එන අය සඳහා පාවිච්චි කරමින් තිබෙන දැඩි පිළිවෙත් නිසා ඇතුළත නොදකින බොහෝ අය සිතන්නේ එම වාට්ටුව ඉතාමත් පිරිසිදු වාට්ටුවක් කියාය. එහෙත් ඒ වාට්ටුවේ ඇතුළත තත්ත්වය ඊට වෙනස්ය. එය අපිරිසිදු වාට්ටුවක් වශයෙන් මිස පිරිසිදු වාට්ටුවක් ලෙස සැලකිය නොහැක. පිටතින් පෙනෙන ගාම්භීර බව ඇතුළත නොපවතී. එහි තිබෙන විෂබීජ නිසාදෝ සැත්කම කිරීමෙන් පසුව සැත්කමකට ලක් කළ රෝගියෙකුට දෙන ප්‍රතිජීවක නාශක ප්‍රමාණය අතිවිශාලය. ප්‍රතිජීවක නාශක එන්නත් රෝගියා සිය මුදලින් ලබාගත යුතුය. එන්නතක මිල රුපියල් 17000ක් බවත් සැත්කමට භාජනය කළ එක් රෝගියකුට ප්‍රතිජීවක නාශක එන්නත් හයක් මිලදී ගන්නට සිදුවූ බවත් ඇය කීවාය.

ලංකාවේ කෙරෙන සැත්කම්වලදී සැත්කමකින් පසුව සැත්කම කළ ලෙඩාට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය සාමාන්‍යයෙන් දිය යුතු තරමට වඩා දෙතුන් ගුණයක් තරම් විශාල වන බව මා මීට පෙරද ශල්‍යාගාර විෂය පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමේ බලය ඇති උසස් නිලධාරිනියකගෙන් අසා තිබුණි. ඒ කලක් පරමාණු බලශක්ති අධිකාරියේ සභාපතිව සිටි මහාචාර්ය රෝහිණී හේවාමාන්නගෙනි. ඇය දැන් ජීවතුන් අතර නැත. ඇය මගේ හොඳ මිතුරා සේ ම මාගේ නීතිඥයා ලෙසද සැලකිය හැකි සුරංජිත් හේවමාන්නගේ බිරිඳය. ලංකාවේ රෝහල් ශල්‍යාගාර වැඩි හරියක් කිසි ප්‍රමිතියකින් තොර බව ඇය කීවාය. ඒ නිසා ශල්‍ය වෛද්‍යවරුන් සිරිතක් වශයෙන් ශල්‍යකර්මයකට භාජනය කරන රෝගියකුට පිළිගත් සීමාව ඉක්මවා ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන බව ඇය කීවාය.

මේ ගැන ලංකාවේ ජනප්‍රිය සමුපකාර රෝහලක ප්‍රධානියකුගෙන් (ඔහු මාගේ මිත්‍රයෙක්) කරුණු විමසූ විට මහාචාර්ය රෝහිණී හේවමාන්නගේ මතය ඔහුද අනුමත කළේය. බොහෝ රෝහල්වල ශල්‍යාගාරවල තිබෙන ප්‍රමිති තත්ත්වය ශල්‍යාගාරයක සාමාන්‍යයෙන් තිබිය යුතු උසස් තත්ත්වයක නොපවත්නා බවත් ශල්‍යාගාරවල ප්‍රමිතිය නිසි ප්‍රමිති තත්ත්වයකට ගැනීම සඳහා ලොකු වියදමක් දරන්නට සිදුවන නිසා ශල්‍යාගාර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඒවා කිසියම් කාලයක් වසා තබන්නට සිදුවන බවත්, සාමාන්‍යයෙන් එවැනි ප්‍රතිපත්තියකට වෛද්‍යවරුන්ද කැමති නැති බවත් ඒ නිසා ශල්‍ය වෛද්‍යවරුන්ද සිරිතක් වශයෙන් ශල්‍ය කර්මයකින් පසුව රෝගියාට සාමාන්‍යයෙන් ලබාදිය යුතු ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන බවත් ඔහු කීවේය.

ඉතා වැදගත් දේ නිදහස් සෞඛ්‍ය ක්‍රමයක් රටේ ඇතත්, රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන්නන්ට ලැබිය යුතු සියලු ඖෂධ රජයේ රෝහල්වලින් නොමිලේ නොලැබීමය. නියම කරන බොහොමයක් ඖෂධ රෝගීන් තමන්ගේ මුදල්වලින් මිලදී ගත යුතුය. ඒ වෙනුවෙන් දරන්නට සිදුවී තිබෙන වියදමද විශාලය. එම ලක්ෂණය නිදහස් අධ්‍යාපනයේ සේ ම වෙනත් මහජන සේවාවලද දක්නට තිබෙන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. රජයේ පාසල් අධ්‍යාපනය නොමිලේ ලබාදෙන දෙයක් ලෙස සැලකුණද එම අධ්‍යාපනය වෙනුවෙන් ලොකු වැය බරක් දරන්නට මහජනයාටද සිදුවී තිබේ.

සයිටම් ප්‍රශ්නය හා වෛද්‍ය සිසුවෝ
සයිටම් ප්‍රශ්නය ආශ්‍රයෙන් මතුවී තිබෙන ආරාවුල සියලුදෙනාට පිළිගැනීමට හේතුවන ආකාරයට තවමත් විසඳා ගැනීමට හැකිවී නැත. එයද විසඳුමකින් තොරව ඇද්දි ඇද්දී ඉදිරියට යමින් තිබෙන පුපුරනසුලු ප්‍රශ්න අතර තිබෙන තවත් එක වැදගත් ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය.

සයිටම් ප්‍රශ්නය උණුසුම් ප්‍රශ්නයක් ලෙස තබා ගැනීම සඳහා වෛද්‍ය ශිෂ්‍යයන්ට තමන්ගේ ඉගෙනීමේ කටයුතු කරනවා වෙනුවට මහපාරේ කෙරෙන උද්ඝෝෂණවලට බර තබන්නට සිදුවී තිබේ. ශිෂ්‍යයන් තමන්ට බලපාන ප්‍රශ්න ගැන අවබෝධයකින් යුතුව අවදියෙන් සිටීම ඉතා වැදගත් වුවත් මොනම ප්‍රශ්නයකදීවත් තමන් කරන අධ්‍යාපන කටයුතුවලින් අත්මිදී සටන් කරන තැනකට යෑම ඔවුන්ගේ යහපතට හේතුවන්නේ නැත. ජේවීපීයට සම්බන්ධ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ද ජේවීපී දෙවැනි කැරැල්ලේදී ‘පළමුව මව්බිම- දෙවනුව අධ්‍යාපනය’ යන සටන් පාඨය පෙරට ගෙන අධ්‍යාපනය මුළුමනින් අතහැර මව්බිම මුදාගැනීමේ නාමයට මුවාවී සන්නද්ධ කැරැල්ලක් මගින් බලය අල්ලා ගැනීමේ වැඩසටහනේ පෙරගමන්කරුවන් බවට පත්වූහ. ඒ නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කිසියම් විශාල පිරිසකට සිය ජීවිත අහිමි කරගැනීමට සිදුවූවා සේ ම තවත් උපාධි අපේක්ෂකයන් විශාල පිරිසකට සිය උපාධි අධ්‍යාපනය කඩාකප්පල් කරගැනීමට සිදුවිය. ඔවුන්ට ඔවුන්ගේ දේශපාලන අරමුණද දිනාගැනීටම නොහැකි වූ අතර අවසානයේ ඔවුන්ට ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවූ වන්දිය අතිවහාලය.

මනුෂ්‍යයෙකු ඉබ්බෙකු ජීවත් වන තරම් දීර්ඝ කාලයක් ජීවත්වන්නේ නැත. වැඩිම වුවහොත් ජීවත්වන්නේ අවුරුදු අසූවක් තරම් කාලයක් පමණය. එම සීමිත කාලය තුළ සුදුසු අධ්‍යාපනයක් ලබාගත යුතුය. රැකියාවක් කළ යුතුය. විවාහ විය යුතුය. පවුල් ජීවිතයක් ගත කළ යුතුය. මනුෂ්‍යයෙකුට තමන්ගේ ළමා හා තරුණ කාලයේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා ලැබෙන්නේ සීමිත කාලයක් පමණය. එම කාලය ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමට අසමත් වෙතොත් ඒ පුද්ගලයාට ඒ වෙනුවෙන් ලොකු වන්දියක් ගෙවන්නට සිදුවිය හැකිය. කවර සමාජ ක්‍රමයක් තුළ වුවද දැනුමට ලැබෙන වැදගත්කම අතිවිශාලය. අධ්‍යාපනය දැනුම ලබාගන්නා ප්‍රධාන මාර්ගයයි. උපාධි අපේක්ෂකයන් තමන් කරන සටන් ඇතුළු හැම දෙයක්ම කළයුත්තේ තමන්ගේ උපාධි අධ්‍යාපනයට බරපතළ හානි නොව ආකාරයටය. වෛද්‍ය අධ්‍යාපනය තෝරාගත් ශිෂ්‍යයන් වෙනත් විකල්ප තිබියදී ඒ තෝරාගැනීම කරන්නට ඇත්තේ එය තමන්ගේ සිහින සැබෑ කරගැනීමට තිබෙන හොඳම මාර්ගය ලෙස සඳහාය. උපාධි අධ්‍යාපනයක යෙදී සිටින කාලයේදී දේශපාලන කටයුතුවල යෙදෙන්නට වීම නිසා ඔවුන්ගේ උපාධි අධ්‍යාපනයේ අවුල් ඇතිවේ නම් හෝ අධ්‍යාපනය අඩාල කිරීමට හෝ කඩාකප්පල් කිරීමට ඒවා හේතුවේ නම් එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.

සයිටම් ප්‍රශ්නය හා වෛද්‍යවරු
අධ්‍යාපන ලාබ අරමුණු කරගත් පෞද්ගලික දෙයක් නොවී රජයේ දෙයක් විය යුතුය කියන අදහස සැලකිය හැක්කේ පරමාදර්ශී අදහසක් ලෙසය. අධ්‍යාපනය එවැනි තත්ත්වයකින් පවත්වාගෙන යා හැකි නම් එය ප්‍රශස්ත තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. එය ප්‍රායෝගික ලෝකයේ ඒ ආකාරයෙන්ම සිදුවන්නේ නැත. රජයකට පමණක් සමාජයක සියලු අධ්‍යාපන අවශ්‍යතා සපුරාලිය නොහැකිය. කලක් රජයට පමණක් සීමාවී තිබූ එම ඒකාධිකාරී අයිතිය වෙනස් වී තිබෙන්නේ ඒ නිසාය. රටේ රජයේ රෝහල් සේ ම පුද්ගලික රෝහල් ද පවතී. රජයේ වෛද්‍ය සේවයන් සේ ම පුද්ගලික වෛද්‍ය සේවයන්ද පවතී. රජයේ වෛද්‍ය නිලධාරීන්ද පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පුද්ගලික රෝහල් ක්‍රමයට විරුද්ධ නැත. පුද්ගලික ප්‍රතිකාර ක්‍රමයටද විරුද්ධ නැත. ගාස්තු ගෙවන විදේශ වෛද්‍ය විද්‍යාලයකින් උපාධි ලබාගෙන ලංකාවේ වෛද්‍ය සේවයට අන්තර්ග්‍රහණය වනවාටද විරුද්ධ නැත. ඒ සියල්ල එසේ තිබියදී ඔවුන් විරුද්ධවන්නේ ලංකාවේ පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට පමණි.

පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකරන උපාධිධාරීන් වෛද්‍ය වෘත්තියට ඇතුළත් කරගත යුතු පිරිසක් නොවේ නම් එම නිර්ණායකය සයිටම්වලට පමණක් නොව විදේශ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් අධ්‍යාපනය උපාධි ලබාගෙන එන අයටද අදාළ විය යුතුය. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඉඩදීමට එකඟ නැතත් විදේශ රටකට ගොස් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් උපාධි සහතික ලබාගන්නා අය ලංකාවේ වෛද්‍ය සේවයට එකතු කරගන්නවාට විරුද්ධ නැත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ සඳහා පවත්වාගෙන යන ප්‍රතිපත්තියේ ලොකු පරිස්පරයක් තිබෙන බව ඉන් පෙනී යයි.

අනෙක් අතට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පුද්ගලික වෛද්‍ය විද්‍යාල ක්‍රමයට එරෙහිවන්නේ එම උතුම් විෂයෙහි ජාවාරම්කාරයන්ට හෝ අයුතු ලාබ ලබන්නන්ට ඉඩදීම සුදුසු නැතැයි කියන පදනමේ සිටය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉලක්ක පරමාදර්ශී වේ නම් පුද්ගලික රෝහල් සැලකිය හැක්කේද ලාබ ලැබීම අරමුණු කරගත් ජාවාරම්කාර ව්‍යාපාර ලෙසය. එසේ නම් එම සංගමය එම පරමාදර්ශී අරමුණු අනුව ලංකාවේ පෞද්ගලික රෝහල් ක්‍රමයටද විරුද්ධ විය යුතුය. එසේම සෞඛ්‍ය විෂයේදී ජාවාරම් කිරීම හා ලාබ ලැබීම වරදක් වේ නම් ඔවුන් පෞද්ගලික රෝහල් ක්‍රමයට පමණක් නොව පෞද්ගලික වෛද්‍ය සේවයටද විරුද්ධ විය යුතුය. මක්නිසාදයත් පෞද්ගලික වෛද්‍ය සේවයද ජාවාරමක් හා ලාබ ලබන දෙයක් ලෙස සැලකිය හැකි නිසාය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ සේවය ජාවාරමක් ලෙස හා ලාභ උපයන දෙයක් ලෙස පවත්වාගෙන යෑමට විරුද්ධ නැත. රෝහල් සේවය එසේ පවත්වාගෙන යනවාටද විරුද්ධ නැත. ඔවුන් විරුද්ධවන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ලාබ ලබන ජාවාරමක් කරනවාට පමණය. එම දර්ශනයේ ලොකු අවුලක් තිබෙන බව තේරුම් ගැනීම අපහසු නැත.

ප්‍රමිතියට ලැබෙන වැදගත්කම
අන් හැම දේකට සේ ම අධ්‍යාපනයේදී හා වෛද්‍ය අධ්‍යාපනයේදී හොඳ නරක තීරණය කරන ප්‍රධාන සාධකය ලෙස සැලකිය යුත්තේ ප්‍රමිතිය මිස අයිතිකාරයා නොවේ. පිළිගත් උසස් ප්‍රමිති තත්ත්වයක පවත්නා වෛද්‍ය අධ්‍යාපන ආයතන සඳහා ඉඩ දිය යුතුය. වර්තමානයේ හැම දෙයක් සඳහාම පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතියක් තිබෙන අතර වෛද්‍ය විද්‍යාල සඳහා යොදා ගැනෙන ජාත්‍යන්තර ප්‍රමිතිය අපේ රටේ තිබෙන සියලු වෛද්‍ය විද්‍යාල සඳහාද යොදාගත හැකිය. එම ප්‍රමිතියට අනුකූල නොවන කිසිම වෛද්‍ය විද්‍යාලයකට විශ්වවිද්‍යාල තත්ත්වයක් හිමිවීම වැළැක්විය හැකිය. මේ සඳහා තෝරාගත් හොඳ ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාලයකට ලංකාවේ සියලු වෛද්‍ය විද්‍යාල අනුබද්ධ කිරීමක් හෝ වෛද්‍ය විද්‍යාල සඳහා ප්‍රමිති තත්ත්වයක් පවත්වාගෙන යන ජාත්‍යන්තර ආයතනයකට ලංකාවේ සියලු වෛද්‍ය විද්‍යාල සම්බන්ධ කිරීමෙන් හිමිකරගත හැකිය. එහිදී ප්‍රමිති ආයතනය ඒ වෛද්‍ය විද්‍යාලවල තිබෙන පහසුකම් විෂ්‍ය නිර්දේශයන්ගේ තත්ත්වය, පාඨාමාලාවල තත්ත්වය, ගුරුවරුන්ට තිබෙන සුදුසුකම් ඔවුන්ට ඉගැන්වීමට තිබෙන හැකියාව, ඔවුන් උගන්වන ක්‍රම, එම වෛද්‍ය විද්‍යාල විසින් සිදුකරන පර්යේෂණ හා ඒවාහි තත්ත්වය, විභාග ක්‍රමය යනාදිය පරීක්ෂා කොට බලා පිළිගත හැකි ප්‍රමිති තත්ත්වයක නොපවතී නම් පෙන්වා දී ඒවා සම්පූර්ණ කරගැනීමෙන් පසුව ප්‍රමිති තත්ත්වය ලබාදී එම ප්‍රමිති තත්ත්වය නොකඩවා පවත්වාගෙන යන්නේද යන්න ගැනද නොකඩවා පරීක්ෂා කරන තැනකට යනු ඇත. එවිට තිබිය යුතු ප්‍රමිතිය අහිමි කරගන්නා ආයතනවල ප්‍රමිති බලපත්‍රයද අහෝසි වනු ඇත.
මේ ක්‍රමය ස්වාධීන කිරීම සඳහා තෝරාගත් ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයට හෝ අනුබද්ධ කෙරෙන විශ්වවිද්‍යාලයට කිසියම් මිලක් ගෙවන්නට සිදුවනු ඇතත් ඒ මගින් ඇති කරන ප්‍රතිඵලය ඉතාමත් විප්ලවකාරී හා ඉදිරිගාමී වනු නොවැළැක්විය හැකිය. ඒ සමඟ ලංකාවේ වෛද්‍ය විද්‍යාලවල තිබෙන පසුගාමීත්වය එකතැන පල්වෙන ස්වභාවය නැතිවෙනු ඇත. විෂය නිර්දේශ සේ ම පාඩම් මාලාද උගන්වන ක්‍රමද නූතන ලෝකයට ගැළපෙන ලෙස වෙනස්වනු ඇත. පුස්තකාලවල සේ ම රසායනාගාරවලද කෙරෙන පර්යේෂණවලද ගුණාත්මක අගය ඉහළ යනු ඇත.

මේ ක්‍රමය උපාධි අධ්‍යාපනයක් ලබාදෙන වෛද්‍ය අධ්‍යාපන ආයතනයක් සඳහා පමණක් නොව, වෙනත් උපාධි අධ්‍යාපනයන් ලබාදෙන සියලු උපාධි අධ්‍යාපන සඳහා යොදාගත හැකිය. ඒ මගින් ඒ සියලු විශ්වවිද්‍යාල නූතන ලෝකයට ගැළපෙන උපාධි අධ්‍යාපනයක් ලබාදෙන විශ්වවිද්‍යාල බවට පත්කරගත හැකිය.

ඒ මගින් ලංකාවේ සයිටම් ආරාවුල්ද විසඳාගත හැකිය. එවිට එම ආයතනයටද ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන්නට සිදුවේ. දැන් තිබෙන ආයතනය එම ප්‍රතිපත්තිය අනුකූල නොවේ නම් ඒවා සම්පූර්ණ කිරීමට හිමිකාර ආයතනයට සිදුවේ. ඒවා සම්පූර්ණ කිරීමට සමත් නොවේ නම් විශ්වවිද්‍යාල තත්ත්වය අහිමි කරගනිමින් එය වසා දැමීමට හෝ එම ආයතනය වෙනත් කාර්යයක් සඳහා යොදාගැනීමට සිදුවනු ඇත.

එවැනි ක්‍රමයක් ඇති කළ විට ලැබෙන තවත් වැදගත් යහපතක් වේ නම් නූතන විශ්වවිද්‍යාලයක තිබිය යුතු ප්‍රමිතිය පිළිබඳව පැහැදිලි දර්ශනයක් රටට ලැබීමය. එවිට පුද්ගලික අංශයට පමණක් නොව, රජයටද එම ප්‍රමිති තත්ත්වය නොසලකා උපාධි අධ්‍යාපන ආයතනය ඇති කිරීමේ හැකියාව නැතිවනු ඇත. එහිදී දේශපාලකයන්ට සේ ම රජයේ නිලධාරීන්ටද උසස් අධ්‍යාපනය මත හිතුවක්කාරී ලෙස බඩපිනුම් ගැසීමේ හැකියාව නැතිවනු ඇත. උපකුලපතිවරුන් පමණක් නොව, පීඨාධිපතිවරුන් සේ ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද ඔවුන්ගේ පාලන ක්‍රමය හා උගන්වන ක්‍රමද විභාග පවත්වන හා ලකුණු දෙන ක්‍රමද නිරන්තර පරීක්ෂාවට ලක්වන තත්ත්වයක් ඇති කිරීමට හේතුවනු ඇත.

ගාස්තු අය කොට උපාධි අධ්‍යාපනයක් ලබාදෙන ආයතන අධික ලෙස ගාස්තු අය කරන්නේ නම් නියාමන ක්‍රමයක් ඇති කිරීමෙන් එම තත්ත්වය පාලනය කළ හැකිය. එවිට උපාධි අධ්‍යාපනයක් ලබාදෙන හැම ආයතනයකම උසස් ප්‍රමිති තත්ත්වයක් පවතිනු ඇත. තෝරාගත යුත්තේ ගාස්තු අය නොකරන විශ්වවිද්‍යාලයක් නැත්නම් ගාස්තු අය කරන විශ්වවිද්‍යාලයක්ද යන්න රැවටීමකට ලක් නොවී තීරණය කිරීමේ අයිතිය මහජනයාට ලැබෙන්නේය.

වෛද්‍යවරයා හා මහජනයා
සමාජයට වෛද්‍යවරු නැතිවම බැරිය. වෛද්‍ය සේවය මහජන ගෞරවයට හේතුවිය යුතු සේවයක් වුවද ලංකාවේ වර්තමාන වෛද්‍යවරුන් පිළිබඳව මහජනයා තුළ ගෞරවයක් නැත. ඒ තත්ත්වය මහජනයාගේ යහපතට හේතු නොවනවා සේ ම වෛද්‍යවරුන්ගේ යහපතටද හේතුවන්නේ නැත. එහෙත් මෙය වෛද්‍යවරුන් කෙරෙහි පමණක් පවතින විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ සියලු වෘත්තීන් තිබෙන්නේ මහජන විශ්වාසය හා ගෞරවය අහිමි කරගත් තත්ත්වයකය. මෙය ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ තවත් වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

මුදල් ඉපැයීමට ඇති අධික කෑදරකම හා ඉල්ලීම් දිනාගැනීම සඳහා කරන අරගලවලදී රෝගීන්ට සිදුවන හානිය නොසැලකීම යන කාරණා වෛද්‍යවරුන් කෙරෙහි මහජනයා අතර තිබූ විශ්වාසය හා ගෞරවය හීනකිරීමට බලපෑ වැදගත් සාධක දෙකක් ලෙස සැලකිය හැකිය. එහෙත් එය සියලු වෛද්‍යවරුන්ට ආවේණික පොදු ලක්ෂණයක් ලෙසද සැලකිය නොහැකිය. වෛද්‍යවරුන් අතර ගුණගරුක වෛද්‍යවරුන් විශාල පිරිසක් සිටිති. අයිතිවාසිකම් සඳහා වැඩ වර්ජනය කරන පිළිවෙතටද බහුතර පිරිසක් විරුද්ධය. එහෙත් වැඩවර්ජනයකදී ඔවුහු වැඩවර්ජන පිළිවෙතට එරෙහිව යන පිළිවෙතක් අනුගමනය නොකරන්නේ ඔවුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තිබෙන බිය නිසාය. සෞඛ්‍ය පාලනයේ සිටින වෛද්‍ය නිලධාරීන් වැඩි පිරිසක් එම සංගමයට සම්බන්ධය. ඒ නිසා තමන්ට එරෙහිව යන වෛද්‍ය නිලධාරීන්ගෙන් පළිගැනීමේ බලයක් සංගමයට ලැබී තිබෙන්නේයැ’යි කිව හැකිය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලොකු වෘත්තීය සංවිධානයක පෙනුම ඇතත් එහි සාමාජික ශක්තිය උසස් මට්ටමක නොපවතී. මෙම සංගමයේ සාමාජික සංඛ්‍යාව 16,000ක් පමණ වෙතත්, නිලවරණයකදී ඡන්දය පාවිච්චි කරන සංඛ්‍යාව 4000කට අඩුය. සාමාජික සම්මේලනයකට සහභාගි වන අයගේ සංඛ්‍යාව 1000කටත් වඩා අඩුය.

වෛද්‍යවරුන් කෙරෙහි ඇති ගෞරවයේ හා මහජන විශ්වාසයේ බිඳවැටීමක් ඇතිවී ඇත්නම් එය වෛද්‍යවරුන්ගේ යහපතට හේතු නොවනවා සේ ම සමාජ යහපතට හේතුවන්නේද නැත. වෛද්‍යවරුන්ට මහජනයා අවශ්‍ය වන අතර මහජනයාටද වෛද්‍යවරුන් අවශ්‍යය. වෛද්‍යවරුන් කෙරෙහි වන මහජන විශ්වාසයේ බිඳ වැටීමක් ඇතිවී ඇත්නම් ඒ තත්ත්වයෙහි වෙනසක් ඇතිකර ගැනීමේ වගකීම පැවරෙන්නේද වෛද්‍යවරුන්ටමය. ඒ තත්ත්වයට හේතුවී තිබෙන්නේ වෛද්‍යවරුන්ගේ පැවැත්මේ ඇති වැරදි නම් ඒ තත්ත්වය වෙනස් කරගත යුතුව තිබෙන්නේ පැවැත්මේ ඇති වැරදි තේරුම් ගෙන පැවැත්ම නිවැරදි කරගැනීමෙනි.

ආචාර ධර්ම
වෛද්‍ය සේවයේ නිරත සියලුදෙනා මුදල් පසුපසම හඹායන සිත්පිත් නැති අය ලෙස සැලකිය නොහැකිය. එහෙත් ගුණධර්ම නොසලකා මුදල් පසුපසම හඹායන පිරිසකගේ ක්‍රියාකලාපය නිසා මහජනයාට වෛද්‍යවරුන් පෙනෙන්නේ රෝගීන්ගේ අසරණ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ඔවුන්ගේ ඊරිමාංශ උරා බොන්නන් ලෙසය. රෝගීන් වෛද්‍යවරයකුගෙන් ආරක්ෂාවද ආදරය හා කරුණාවද බලාපොරොත්තු වේ. ඒ සියලු ගුණධර්මවලට අඩු වැදගත්කමක් ලබාදී මුදල් ඉපැයීමේ පරමාර්ථයට වැඩි වැදගත්කමක් ලබා දුන් විට මහජනයා වෛද්‍යවරයා පිළිබඳව ඇතිකර ගන්නා හැඟීම යහපත්වන්නේ නැත.

වෛද්‍යවරුන් අය කරන ගාස්තු සාධාරණ විය යුතුය. ගාස්තු අය කොට රෝගීන් පරීක්ෂා කිරීමේදී රෝග පරීක්ෂාවට සාධාරණ කාලවේලාවක් දිය යුතුය. වෛද්‍යවරයාගේ නිරීක්ෂණ අවංක විය යුතුය. ඒවා තුළ සැඟවුණු අරමුණු නොතිබිය යුතුය. පරීක්ෂා කරන ලෙඩුන් සංඛ්‍යාවටද පිළිගත් සීමාවක තිබිය යුතුය. හැමදාම මධ්‍යම රාත්‍රිය දැක්වා චැනල් සේවයේ නිතර වන වෛද්‍යවරයකුට ඊළඟ දිනයේදී හොඳ සිහියෙන් කටයුතු කිරීමේ හැකියාවක් තිබිය නොහැකිය. වෛද්‍යවරුන්ට ගෙවන වැටුප් වැඩි කොට පුද්ගල වෛද්‍ය සේවයෙන් උපයාගත හැකි ආදායම සඳහාද උපරිම සීමාවක් ඇති කළ හැකිය. ඒ සියල්ල ආවරණය කෙරෙන ආචාරධර්ම පද්ධතියක් වෛද්‍යවරුන්ට තිබිය යුතුය. ඒ සමඟ එම ආචාරධර්ම උල්ලංඝය කරන වෛද්‍යවරුන් ගැන සොයා බලන හා ඔවුන්ට දඬුවම් කරන කාර්යක්ෂම ක්‍රමයක් තිබිය යුතුය.

වෛද්‍යවරුන්ට හා වෘත්තීයවේදීන්ට එරෙහිව මහජන පැමිණිලි ඉදිරිපත් වන අවස්ථාවලදී වෛද්‍ය සභාව සේ ම වෘත්තීයවේදීන්ගේ සංගම්ද ඒ පැමිණිලි ගැන කරුණු සොයා බලන වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැත. වෘත්තීයවේදීන්ගේ විෂය ක්ෂේත්‍රවල නිසි විනයක් නැතිකම කෙරෙහි එම තත්ත්වයද බලපා තිබේ.

කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳව අධිකරණ නියෝගයක් අනුව වෛද්‍ය සභාව කරන ලද පරීක්ෂණය හා ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයක් ඒ සඳහා වර්තමානයෙන් දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.

තාජුඩීන් සිද්ධිය රටේ සිදුවී තිබුණු බිහිසුණු ඝාතනයක් ලෙස සැලකිය හැකිය. මොන හේතුවක් නිසා හෝ එම සිද්ධියේදී ඉහත කී අධිකරණ වෛද්‍ය නිලධාරියා සිදුවී තිබූ එම අපරාධය වසන් කෙරෙන ආකාරයට වෛද්‍ය පරීක්ෂණය පවත්වා තිබෙන බව ඒ ගැන සිදුකරන ලද දෙවැනි වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය විය. ඒ සමඟම වෛද්‍ය සභාව මේ වෛද්‍ය නිලධාරියාගේ වෛද්‍ය බලපත්‍රය නඩු කටයුතු අවසන් වන තෙක් හෝ තහනම් කළ යුතුව තිබුණි. වෛද්‍ය සභාව එසේ නොකළා පමණක් නොව අධිකරණ නියෝගයකින් පසුව අස්ථි කොටස් අතුරුදන්වීම පිළිබඳව පරීක්ෂණයක් කොට එම පරීක්ෂණයෙන් වෛද්‍ය නිලධාරියා වරදකරු වීමෙන් පසුත් ඔහු වෛද්‍ය සේවයෙන් පහකරනවා වෙනුවට ලබාදී ඇත්තේ හය මාසයක කාලයක් සඳහා ක්‍රියාත්මක වන ආකාරයට ඔහුගේ බලපත්‍රය තහනම් කිරීම පමණය. ලබාදී තිබෙන දඬුවම සිදුකර තිබෙන වරදේ තරමට ගැළපෙන්නේ නැත.

වෛද්‍ය සභාව හා වෘත්තීයවේදීන්ගේ සංගම් තමන්ගේ සාමාජිකයන්ට එරෙහිව ලැබෙන පැමිණිලිවලදී එම පැමිණිලි හැකි ඉක්මනින් මහජනයාගේ දැනගැනීම සඳහා සිය වෙබ් අඩවිවල පළකරන තැනකට යාහැකිය. එසේව ඒ ඒ පැමිණිලි සම්බන්ධයෙන් අනුගමනය කරන්නට යන ප්‍රතිපත්තිද වෙබ් අඩවි මගින් පළකරන තත්ත්වයකට යා යුතුය. ඉන්පසු එම පරීක්ෂණවල අවසාන ප්‍රතිඵලද ඒ මහජනයාට දැනුම් දිය යුතුය.

වෘත්තීයවේදීන් ආචාර ධර්ම උල්ලංඝන ය කරන අවස්ථාවලදී ඒ ගැන කඩිනමින් සොයා බලා වරදකරුවන් වන පුද්ගලයන්ට දඬුවම් කරන කාර්යක්ෂම ක්‍රමවේදයක් නැතිකමද වෛද්‍යවරුන් ඇතුළු වෙනත් වෘත්තීයවේදීන් අතරද ඇතිවී තිබෙන පිරිහීම කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය.

වෙනත් දියුණු රටවල මෙන් වසර තුනකට වරක් පරීක්ෂණයකට පෙනී සිට බලපත්‍ර අලුත් කරගත යුතු බලපත්‍ර ක්‍රමයක් වෛද්‍යවරුන් හා වෙනත් වෘත්තීයවේදීන් සඳහා ඇති කළ හැකිය. ඒ සමඟ වෛද්‍යවරුන් අතින් රෝගීන්ට හානි සිදුවන අවස්ථාවලදී වන්දි ගෙවීම සඳහා යොදාගත හැකි රක්ෂණ ක්‍රමයක් ඇති කළ හැකිය. එවිට වෛද්‍යවරයෙකු අතින් රෝගියකුට වරදක් වන අවස්ථාවකදී වරද සිදුවූ පුද්ගලයාට පහසුවෙන් සුදුසු වන්දියක් ලබාගැනීමට හැකිවන අතර දිගින් දිගට එවැනි වැරදි කරන වෛද්‍යවරුන්ට රක්ෂණය සඳහා ලොකු ගෙවීමක් කරන්නට සිදුවේ. එයද වැරදි සිදුවීම පාලනය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමවේදයකි. වසර තුනකට වරක් අලුත් කරගත යුතු බලපත්‍ර ක්‍රමයක් ඇති කළ විට පරණ බලපත්‍රය අලුත් කරගැනීම සඳහා පරණ අවුරුදු තුනේ කාර්ය සාධනයට අතිරේකව තමන් ලබාගෙන තිබෙන නව දැනුම පෙන්නුම් කිරීමට වෛද්‍යවරුන්ට සිදුවේ. එවැනි ක්‍රමයක් ඇති කළ විට තමන්ගේ සම්පූර්ණ කාලය මුදල් සෙවීම සඳහා යොමු කරනවා වෙනුවට සැලකිය යුතු කාලයක් තම දැනුම අලුත්කර ගැනීම සඳහා යෙදීමට වෛද්‍යවරුන්ට සිදුවේ. එය වෛද්‍යවරුන්ගේ ගුණාත්මක අගය ඉහළ දැමීමට හේතුවනු ඇතිවා සේ ම වෛද්‍යවරුන් තුළ තිබිය යුතු ශික්ෂණය වර්ධනය කිරීමටද හේතුවනු ඇත.

වෛද්‍යවරුන්ට වැඩ කරන්නට සිදුවී තිබෙන්නේ රෝගීන් සමඟ වීම නිසා රෝගී න්ගේ ජීවිත පරදුවට තැබීමට හේතුවන වැඩවර්ජන වෛද්‍ය සේවයට ගැළපෙන සටන් ක්‍රමයක් වන්නේ නැත. මේ මාරක අවිය ඉඳහිට හෝ පාවිච්චි කරන වෛද්‍යවරුන් සිටින්නේ රටවල් කිහිපයක පමණය. ශීලාචාර තත්ත්වයක ලා සැලකිය හැකි කිසිදු රටක වෛද්‍යවරුන් ඉල්ලීම් දිනාගැනීම සඳහා වැඩවර්ජනය කරන තැනකට යන්නේ නැත. වැඩවර්ජන ලංකාවේ වෛද්‍යවරුන් කෙරෙහි වන මහජන විශ්වාසය දුර්වල කිරීමට බලපා තිබෙන ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය. රෝගීන්ගේ ජීවිත පරදුවට තබා ක්‍රියාකරන එම පිළිවෙතින් ඉවත්වීමට ලංකාවේ වෛද්‍යවරුන් අසමත්වෙතොත් මහජනයා වෛද්‍යවරුන් සමඟ ගැටෙන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. එය වෛද්‍යවරුන්ගේ සේ ම මහජනයාගේ ද යහපතට හේතුවන්නේ නැත.

සයිටම් ආරවුල විසඳා ගැනීමට තිබෙන හොඳම ක්‍රමය සියලු වෛද්‍ය විද්‍යාල සඳහා තිබිය යුතු ප්‍රමිතිය පිළිබඳව පොදු එකඟත්වයක් ඇතිකර ගැනීමය. එය සියලුදෙනාගේ ගෞරවයට හේතුවන ලෙස ප්‍රශ්නය විසඳා ගැනීමට යොදා ගැනීමට තිබෙන එකම ක්‍රමය ලෙසද සැලකිය හැකිය. ඒ ක්‍රමය රටේ පොදු යහපතටද හේතුවේ. මෙම ආරාවුල විසඳා ගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව හා නම්‍යශීලීභාවය පෙන්නුම් කිරීමට ප්‍රධාන ප්‍රතිපක්ෂ දෙක අසමත් වෙතොත් ඉන් දෙපක්ෂයටම විය හැකි හානිය අතිවිශාලය.

එවැනි පිළිගත් ප්‍රතිපත්තියක් ඇති කරගත් විට සල්ලිකාරයෙකුට සල්ලි තිබුණු පමණකින් වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට තිබෙන පුළුවන්කම නැතිවන්නේය. ආණ්ඩුවට දේශපාලන බලය තිබූ පමණින් හිතුවක්කාරී ලෙස එසේ කිරීමට තිබෙන හැකියාව නැතිවන්නේය. සයිටම් ආයතනයටද එහි ප්‍රමිති තත්ත්වය ඊට ගැළපෙන උසස් තත්ත්වයක නැතිනම් හා අවශ්‍ය කරන උසස් තත්ත්වයකට ගත නොහැකි නම් වෛද්‍ය විද්‍යාලයක් ලෙස පැවතීමේ හැකියාව නැති වන්නේය. රජයේ වෛද්‍ය විද්‍යාල අතරද උසස් ප්‍රමිති තත්ත්වයක නොපවත්නා වෛද්‍ය විද්‍යාල තිබේ නම් ඒවා වසා දැමීමට හෝ ඒවා උසස් ප්‍රමිති තත්ත්වයකට ගැනීමට සිදුවන්නේය.

මේ ක්‍රමය උපාධි අධ්‍යාපනයක් ලබාදෙන සියලු අධ්‍යාපන ආයතන සඳහාද යොදාගත හැකිය. එවිට ඒ සියලු ආයතනවල උපාධි අධ්‍යාපනයේ ගුණාත්මක අගය ඉහළ යනු ඇත. සයිටම් ප්‍රශ්නය නිසා ඒ තත්ත්වය උදාවේ නම් දැන් රටට වඩා හොඳ විශ්වවිද්‍යාල පද්ධතියක් දිනාගැනීමට හැකිවීම ගැන සියලුදෙනාටම සතුටුවිය හැකිය.■