රාවය

අස්ගිරියෙන් කුණු ගොඩට විසි වුණු කාලාම සූත්‍රය

අස්ගිරියෙන් කුණු ගොඩට විසි වුණු කාලාම සූත්‍රය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අස්ගිරි විහාරයේ කැඳවීමෙන් ඉදිරිපත් කරන ලද ත්‍රෛනිකායික ප්‍රකාශය එක පැත්තකින් අවඥාවෙන් බැහැර කළ යුතු ය. අනෙක් පැත්තෙන් කිසිසේත් ගණන් ගත යුතු නැත.
ලංකාව කියන්නේ අස්ගිරිය විහාරයවත්, ත්‍රෛනිකායික නායක භික්‍ෂූහු පිරිසවත් නොවෙති. ලංකාව ඊට වඩා බොහෝ විශාල එකකි. එහි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදි බොහෝ ජාතිකයෝ වසති. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි ආදි බොහෝ ආගමිකයෝ වසති. ඒ නිසා අස්ගිරියත්, ත්‍රෛනිකායික පන්සලුත්, නායක භික්‍ෂූහුත් යනු ඉතා ලංකාවේ ජනගහනයෙන් ඉතා කුඩා පිරිසකි. අස්ගිරිය පන්සලත්, ත්‍රෛනිකායික මහ පන්සලුත් හැරුණු විට, මේ කියන නායකකාරකාදි භික්‍ෂූන්ගේ ජරාජීර්ණ ආධිපත්‍යය හා බලපෑම් නොඉවසන, නොසලකන අතිවිශාල ප්‍රගතිශීලී භික්‍ෂු ප්‍රජාවක් ද රටේ සිටිති. ඒ අතින් ද මේ නායකකාරකාදින් නොසැලකිය යුතු තරම් කුඩා පිරිසකි. තමන්ගේ නිකායවලට, පාර්ශ්වවලට අයත් පන්සල්වල්වත්, භික්‍ෂූන්වත් පාලනය කිරීමේ ඇත්ත බලයක් නැති දුර්වලයන් පිරිසකි. ආචාරධර්මයක් නැති, පක්‍ෂග්‍රාහී මාධ්‍ය ගොස් මයික්‍රපෝන ඇල්ලූ විට කියන දේවල් තරම් කරන්නට පුළුවන් දෙයක් ඔවුන්ට නැත. රටේ මහජනතාව තීන්දු තීරණ ගන්නේ, ඡන්දය දෙන්නේ අස්ගිරිය හෝ අනෙකුත් නිකාය හෝ කියන දේ අසා නොවේ. තමන්ගේ ජීවිතවලට කළ හැකි බලපෑමක් මේ ආචීර්ණ කල්පික නායක භික්‍ෂූන්ට නැති බව දියුණු ජීවිතයක් ඇති රටේ මිනිස්සු දනිති.

දෙකෝටියකට අධික ලංකාවේ මහජනතාව අතුරෙන්, ඡන්දය දුන් සියලු ජාතිවල, ආගම්වල ලක්‍ෂ හැට දෙකක ජනතාවක් පසුගි ය 2015 ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් අනුමැතිය දුන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නට ය. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් ඉල්ලා සිටි පරිදි, 1978 ජේආර් ජයවර්ධනගේ ආඥාදායක ලක්‍ෂණ සහිත ව්‍යවස්ථාවේ වියගහෙන් මිදී අලුත් රටක් හදන්නට ය. පැවැති ආණ්ඩුවේ රූකඩයක් හැටියට කටයුතු කළ අස්ගිරි විහාරය ඇතුළු සංඝ නායකකාරකාදීන් ඒ වෙනස ඇති කළ ලක්‍ෂ හැට දෙකක ජනතාව අතර සිටියේ නැත. ඔවුහු සිටියෝ, අද මෙන් ම, පරණ පාලනය ම තව දුරටත් පවත්වා ගැනීමේ අරමුණෙහි ගැලී ය. එනිසා, ලක්‍ෂ හැට දෙක ගණන් කළ යුත්තේ ඒ පිරිස අත හැර ය. මේ ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට ජනවරමක් තිබේ. 2015 ජනවාරියේ දී හා අගෝස්තුවේ දී ලෙස දෙවරක් ම ඒ ජනවරම ලැබිණි. ඒ දෙවතාවේ දී ම පරාජය කැරුණේ, අලුත් ව්‍යවස්ථාවකට, රටේ නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලට එරෙහි ව සිටි පසුගාමී දේශපාලන බලවේගය යි. ඒ ජයග්‍රහණය ආපස්සට හරවන්නට අස්ගිරිය පන්සල, නිකාය තුන හෝ අන් කිසිවකුටවත් ඉඩ දෙන්නට රටේ මහජනතාව සූදානම් නැත. ඒ බව අස්ගිරිය පන්සලත්, ත්‍රෛනිකායික නායක භික්‍ෂූන් වහන්සේලාත් තේරුම් ගත යුතු ය.
අනෙක් අතට, රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනෑ ද එපා ද කියන්නට මේ නායක භික්‍ෂූන්ට ඇති බුද්ධිමය හැකියාව කුමක් ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ පන්සිල්, අටසිල් හෝ අඩු ගණනේ ත්‍රිපිටකයවත් නොවේ. ඊට වඩා බොහෝ ගැඹුරු, බුද්ධිමය දැනුම් ඉසව්වකි. අවුරුදු දහස් ගණනක් පුරා ලෝකයේ වැඩී වර්ධනය වී ආ දේශපාලන කතිකාවකි. චීවරයක් දැරූ පමණින්, නායක පන්සල්වලට අරක් ගත් පමණින්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරන්නට තමන්ට අයිතියක්, සුදුසුකමක් ඇතැ’යි මේ භික්‍ෂූහු සිතන්නෝ ද? තමන් හමුවට පැමිණ අමූලික බොරු දෙසාබාන ගිහිපැවිදි ස්වෝත්තමවාදී අන්තවාදීන් අතලොස්සකගේ බස්වලට රැවටී කෙටුම්පත වත් සකස් කර නැති ව්‍යවස්ථාවක් ප්‍රතික්‍ෂෙප කරන විට මේ නායක භික්‍ෂූන්ගේ බුද්ධියේ තරම ගැන සමාජය සිතා ගත යුත්තේ කොහොම ද? මේ හැසිරීම, කාලාම සූත්‍රය වැනි උතුම් බුද්ධිමය සංග්‍රහයක් සමාජයට කළ බුදුහිමියන්ටත් කරන නිගාවක් නොවේ ද? අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය, සිංහල බහුතරයට පමණක් නොවේ. දෙමළ මුස්ලිම් සුළුතර මිනිසුන්ට ද එය අත්‍යවශ්‍ය ය. අවුරුදු තිහක යුද්ධයෙන් තමන්ගේ දේපළ, ජීවිත යහමින් විනාශ කරගත්තෝ මේ රටේ දෙමළ ජනතාව ය. නැවත රටේ එවැනි යුද්ධයක් ඇතිවීම වළක්වා ගත හැක්කේ දෙමළ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්නවලට බලය බෙදාහදා ගැනීමේ ක්‍රමවේදයක් තුළින් පිළිතුරු දුනහොත් පමණකි. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය ද නැද්ද යන්න තීන්දු කිරීම දෙමළ ජනතාවගේ ද අයිතියකි. ඒ කිසිවක් නොසලකා, තමන්ට වුවමනා විදියට ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැ’යි ආණ්ඩුවට තර්ජනය කරමින් අස්ගිරිය ඇතුළු තුන්නිකායික භික්‍ෂූන් මේ අරඅඳින්නේ තව අවුරුදු විස්සකින් තිහකින් රට තවත් වාර්ගික යුද්ධයකට ඇද ගෙන යන්නට ද?

රටේ ජනාධිපතිට, අගමැතිට, ආණ්ඩුවට ලක්‍ෂ හැට දෙකක් ඡන්දය දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නට ය. මේ භික්‍ෂූන් වෑයම් කරන්නේ, ඒ පොරොන්දු කඩා රටේ බහුතරයක් ජනතාව ජනාධිපති, අගමැති කෙරෙහි බිඳුවා වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන එන්නට ය. ඊට හසු විය යුතු නොවේ. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, මේ බොරු තර්ජන නොසලකා තමන් ජනතාවට දුන් පොරොන්දු කොන්ද කෙළින් තබා ගෙන ඉටු කළ යුතු ය.■