රාවය

අගමැතිගේ නිකම් සිටීම

අගමැතිගේ නිකම් සිටීම

පසුගිය අඟහරුවාදා පැවැති සතියේ ඇමති මණ්ඩල සාකච්ඡාවේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය මාස තුනකට තමාට ලැබුණහොත් පරණ ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ දූෂිතයන් සියල්ලන්ම නීතිය ඉදිරියට පමුණුවන බව ජනාධිපතිවරයා කියා ඇත්තේ ඉතා ආවේගයෙනි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ජනාධිපතිවරයා විසින් නියත වශයෙන්ම තමා වෙත පවරාගනු ලබාවිදැයි පැහැදිලි නැති නමුත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන සත්‍යයක් තිබේ. සරලව කිවහොත්, සොරුන් ඇල්ලීමේ කාර්යය මේ ආණ්ඩුවෙන් හරි හැටි සිදු නොවන බවයි ඒ. වර්තමාන ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් සිය ධුරකාලයෙන් අඩක් ගෙවී යද්දී මුහුණදීමට සිදුවී ඇති ප්‍රධානතම චෝදනාවක් වන්නේද පහුගිය ආණ්ඩුවේ හොරු ඇල්ලීම නිසි පරිදි නොකිරීමයි. එහෙත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, හොරු නොඇල්ලීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ අඩුපාඩුවක් නිසා සිදුවන බවට ජනාධිපතිවරයා විශ්වාස කරන බවයි. ජනාධිපතිවරයාගේ මේ විශ්වාසය බැරෑරුම් ලෙස සැලකිය යුත්තකි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය අමාත්‍යාංශ බෙදාගැනීමේදී එක්සත් ජාතික පක්‍ෂයට බෙදාගත් එකක් වන අතර, ලංකාවේ ඉතාම වැදගත් අමාත්‍යාංශයක්ද වෙයි. දැන්, ජනාධිපතිවරයා ඒ ගැන අවලාද නැගීමෙන් පැහැදිලි වන්නේ එක්තරා විදියකට එජාප පාලනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඇති නොපහන්කමද වෙයි. ඊටත් එහා දෙයක් තිබේ. නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක යනු අගමැති වික්‍රමසිංහගේ ඉතාමත් සමීපතමයෙකි. ඒ වාගේම, අගමැති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියාය. එවැනි පුද්ගලයකු ගැන ජනාධිපතිවරයා විශ්වාසය කඩවුණු ආකාරයෙන් හැසිරෙන්නේ නම් එහි පැහැදිලි යටි අරුතක් තිබේ. වෙනත් විදියකට කිවහොත්, ජනාධිපතිවරයා චෝදනා කරන්නේ හුදෙක් ඇමති සාගල රත්නායකටද? නැතිනම් ඒ හරහා ඔහුගේ සමීපතමයා වන අගමැති රනිල් වික්‍රමසිංහටද? පසුගිය ඇමති මණ්ඩල සංශෝධනයේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයද වෙනස් වීමට ඉඩ තිබුණු නමුත්, අගමැතිවරයාගේ දැඩි ඉල්ලීම නිසා එය සිදු නොවුණු බවත් දැනගන්නට තිබේ.

ජනාධිපතිවරයාගේ විවේචනයක් තිබුණත් නැතත්, අගමැති වික්‍රමසිංහ මේ කාරණය සම්බන්ධයෙන් වගකිව යුත්තේය. මන්ද යත් ආණ්ඩුව දුවන්නේ අගමැතිවරයාගේ අණවචනය මත බැවිනි. නීතිය හා සාමය පිළිබඳ අමාතයාංශයේ වැඩකටයුතු ගැන සැකයක් සාංකාවක් ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් නොවේ. රටේ ජනතාවටද ඒ ගැන විරෝධයක් තිබේ. ප්‍රධාන වශයෙන්ම පසුගිය ආණ්ඩුවේ සිටිනවායැයි කියූ හොරුන් සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන බව පෙනෙන නිසාය. හොරුන් පැත්තක තබමු. පසුගියදා ගලගොඩඅත්තේ ඥානසාර භික්‍ෂුව අධිකරණයට පැමිණ ඇප ලබා යහතින් යෑම පිටුපස සම්පූර්ණයෙන් තිබෙන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හොර සැලැස්මකි. සාගල රත්නායක ඇමතිවරයා එක පැත්තකින්, ඥානසාර භික්‍ෂුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවා තිබෙන බවත්, ඒ කිසිවකුට ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති බවත් කියමින් අනෙක් පැත්තෙන්, ඥානසාර හිමියන්ට අදාළ චෝදනා දියාරු කර, පොලිසිය පාවිච්චි කරමින් ඔහුට උසාවියෙන් ඇප ලබාගැනීමට හැකි සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටියේය. ඒ සඳහා ඉදිරියට දමන ලද්දේ, ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කළහොත්, රටේ විශාල කලබැගෑනියක් ඇතිවේවිය යන නිර්මාණය කරන ලද බොරුවයි. මීට පෙරද ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කර ඇති නමුත්, එවැනි කිසිම කලබැගෑනියක් ඇතිවුණේ නැත. එයින් පෙනෙන්නේ, කලබැගෑනියක බියක් මහජනතාව අතර ඇතිකරමින් ඥානසාර හිමි ගලවාගැනීමේ වංක ක්‍රියාන්විතයක ආණ්ඩුව, විශේෂයෙන් සාගල රත්නායක ඇමතිවරයා නිරතව සිටි බවයි. පොලිස්පති පූජිත් ජයසුන්දර නමැති රූකඩය, සාගල රත්නායක ඇමතිවරයාගේ අතේ ඇති නූල් අනුව නැටවෙන්නෙකි. ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම හා ඇප දීම සම්බන්ධයෙන් ඔහු අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරුන් සමඟ කතාකළ බවද දැනගන්නට තිබේ. පොලිස්පතිවරයා චූදිතයකු අත්අඩංගුවට ගැනීම සඳහා ආගමික නායකයන් සමඟ කතාකරන රටක නීතියට අත්වන ඉරණම කුමක්ද? ඥානසාර හිමිට ඇප ලබාදීම සම්බන්ධයෙන් සිදුවූ මේ ලජ්ජාසහගත වැඩපිළිවෙළ ගැන අවබෝධයක් තිබුණු කොළඹ මහේස්ත්‍රාත්වරයා පවා පොලිසියේ මේ හැසිරීම ගැන විවෘත අධිකරණයේදී විස්මය පළකළේය. අනෙකුත් මාධ්‍ය මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රතිචාරය ගැන පුවත් පළකරද්දී රාවය, ඥානසාර හිමිට ඇප ලබාදීම පිටුපස ඇති පොලිසියේ අවලස්සන ක්‍රියාන්විතය සිය මුල් පුවතින් හෙළිකළේය. අද වන තුරු අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේත්, පිටතත් වචනයක්වත් කතා කර තිබේද? සාගල රත්නායක ඇමතිවරයාගෙන් ඒ ගැන විමසා තිබේද?

මේ අප්‍රසන්න තත්ත්වයට වගකිවයුත්තේ මුළු ආණ්ඩුවමය. එහි වැඩි වගකීම ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහටය. ලංකාවේ බුද්ධිමත්, දූරදර්ශී දේශපාලනඥයකු හැටියට සමාජ මතයක් කාලයක් තිස්සේ හදාගෙන තිබුණු අගමැතිවරයා, දැන් එහි අනිත් පැත්ත සිය ක්‍රියාකාරිත්වය තුළින් සමාජයට පෙන්වමින් සිටින්නේය. මේ ආණ්ඩුව මේ තරම් අයාලේ යෑමට ප්‍රධානව හේතුවක් නම් අගමැතිවරයාගේ මේ ක්‍රියාකලාපයයි. ආණ්ඩුවක් ගෙනයෑමේදී ඒ ඒ අවස්ථාවේදී පැනනගින ප්‍රශ්නවලට ඒ ඒ අවස්ථාවේදී පිළිතුරු නොදී සිටීම අගමැතිවරයාගේ සාමාන්‍ය පිළිවෙතයි. මේ නිසා ප්‍රශ්න ඔඩුදිවීමත්, අවසානයේ ලොකු අවුලකින්, විශාල වන්දියක් ගෙවා මිස ප්‍රශ්න විසඳාගත නොහැකි තත්ත්වයට පත්වීමත් මේ කල්ඇරීමේ පිළිවෙතේ අවසන් ප්‍රතිඵලය බවට පත්ව තිබේ. එහෙත්, අවසානයේ එයට වන්දිගෙවන්නේ අගමැතිවරයා නොවේ. රටය. මුළුමහත් සමාජයය.

අද රනිල් වික්‍රමසිංහ යනු මුළුමනින්ම මහපොළවෙන් උඩට ඉස්සුණු, අහසේ පාවෙන දේශපාලන චරිතයකි. මහපොළවේ වන්නේ කුමක්දැයි අවබෝධයක් ඔහුට ඇති බවක් නොපෙනෙයි. තමා සිතන හා බලාපොරොත්තු වන විදියටම මහපොළව ඔහේ සිටිනු ඇතැ’යි ඔහු කල්පනා කරයි. එහෙත්, තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. මහපොළව ඔහුට ඕනෑ විදියට ඉන්නේ නැත. එහෙත් අවාසනාවකට මෙන්, දිනෙන් දින කුරුවල් වෙමින් පවතින මහපොළව ගැන ඔහුට පැහැදිලි කරන්නට ඔහු වටා සිටින සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු අන්තේවාසිකයන් කිහිපදෙනා උත්සාහ කරන බවක් පෙනෙන්නේද නැත. මහපොළවේ වන්නේ කුමක්දැයි තේරුම් ගන්නට රනිල් වික්‍රමසිංහට වුවමනාවක් ඇති බවක් පෙනෙන්නේද නැත. ඒ සඳහා ඕනෑතරම් උදාහරණ තිබේ. තමාගේ නායකත්වයට සජිත් ප්‍රේමදාස පිලෙන් බලවත් තර්ජනයක් ඇතිවී නන්නත්තාරවී සිටි අසීරු කාලයක විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමාජය සමඟ සම්බන්ධකම් පැවැත්වීමටත්, තමාගේ දේශපාලන ජීවිතය බිඳ නොවැටී තබාගන්නටත් උදව්වක් වුණේ ‘නිදහසේ වේදිකාව’ වැනි සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයයි. ඒ දිනවල ඔහු එවැනි සිවිල් සමාජ වේදිකාවලට බලෙන් මෙන් පැමිණි, කතා කළ චරිතයකි. ඉන් නොනැවතී ‘සමගි බලවේගය’ වැනි පුළුල් සමාජ සංවිධාන එකට ගොනුකළ ඔහු, 2015 අගෝස්තු මහමැතිවරණයේදී සිවිල් සංවිධාන 109ක් සමඟ සාමූහික ගිවිසුමකටද අත්සන් කළේය. අවුරුදු දෙකක් ගිය තැන, අද මේ සිවිල් සංවිධාන අගමැතිවරයාත්, ආණ්ඩුවත් සමඟ සිටින්නේද? මහපොළවේ වැඩ කිරීමෙන් එහි නාඩි වැටෙන හැටි දන්නා මේ සංවිධානවලට දන්නා කාලයක අගමැතිවරයා හමුවීමට අවස්ථාවක් ලැබී තිබේද? නැත.

අනෙක් අතට, තමා ඉහළට ඔසවා තැබීමට සමාජ බලවේග නිර්මාණය කළ මේ සිවිල් සමාජයට, එහි සාමාජිකයන්ට තමාගේ ආණ්ඩුව තුළින්ම දීන ප්‍රහාරයන් එල්ලවද්දී අගමැතිවරයා ඊට එරෙහිව වචනයක්වත් කතාකර තිබේද? තමාගේ ස්ථාවරය කුමක්දැයි වචනයකින්වත් කියා තිබේද? ඇමති විජේදාස රාජපක්‍ෂ, පසුගිය කාලය පුරා, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට පදනම් විරහිත ප්‍රහාර එල්ල කරද්දී අගමැතිවරයා කළේ කුමක්ද? කිසිවක් නොකර, නොකියා සිටීමයි. මුස්ලිම් පල්ලි, ව්‍යාපාරික ස්ථාන හා දේපලවලට, කතෝලික නොවන අනෙකුත් නිකායන්ගේ වන්දනා ස්ථානවලට, දේපලවලට, පුද්ගලයන්ට හානි සිදුවන බවට පැහැදිලිව වාර්තා තිබෙද්දී, ඒවා බොරුයැයි යැයි විජේදාස රාජපක්‍ෂ ඇමතිවරයා කියන විට අගමැතිවරයා එය තේරුම් ගත යුතුව තිබුණේ, තමන් බලයට පත්කරන්නට වෙහෙසුණු ජනතාවකට සිදුව ඇති හානි අවතක්සේරු කිරීමට තම ඇමති මණ්ඩලයේම සාමාජිකයකු උත්සාහ දැරීමක් හැටියට නොවේද? තමාගේ ඇමතිවරයකු කියන කතා නිසා, රටේ සුළුතර ආගමිකයන් සමස්තයක් හැටියට කනස්සල්ලට පත්වන බව තේරුම් ගැනීමට අගමැතිවරයා අසමත් වුණේද? නැතිනම් එහි ගණන් ගත යුතු දෙයකක් නැතැ’යි අගමැතිවරයා සිතුවේද?

අනෙක් අතට, සුළුතර ආගමික හා වාර්ගික කණ්ඩායම්වලට රට තුළ සිදුවන හානි නිසාත්, ඒවා ගැන නීතිය ක්‍රියාත්මක නොකර සිටීම නිසාත්, මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට රට තුළදී මෙන්ම ජාත්‍යන්තර තලයේදීත් අත්වූ විපාක අගමැතිවරයා හොඳින්ම දනියි. අවසානයේ අවුරුදු දෙකකට පෙර බලය අත්හරින්නට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට පාර කපන ලද්දේද ඒ විපාක විසිනි. එවැනි දැනුමක් ඇති අගමැතිවරයා, තමන්ගේ පාලන කාලය තුළ සුළුතර ආගමික හා වාර්ගික ජනතාවට පීඩා ඇතිවන විට හා එසේ සිදුවී නැතැ’යි තමාගේම ඇමතිවරයකු කියන විට නිශ්ශබ්දව සිටිම තේරුම් ගත හැක්කේ, එක්කෝ ඔහුත් ඒ ප්‍රහාරයන් අනුමත කරන බවකි. නැතිනම් නොතකා සිටින බවකි.

සයිටම් ප්‍රශ්නය, කුණු බැහැර කිරීමේ ප්‍රශ්නය වැනි සමාජයේ විශාල අවධානයක් දිනාගත් ප්‍රශ්නවලදී ආණ්ඩුවේ වැනෙනසුලු හා අසමත් හැසිරීම්වලට අගමැතිවරයා මුළුමනින්ම වගකිව යුතුය. සාගල රත්නායක ඇමතිවරයා අපරාධ පරීක්‍ෂණවලට මැදිහත් වන්නේ නම්, ඒවා නිසි ආකාරයෙන් සිදුනොකරන ලෙස බලපෑම් කරන්නේ නම් ඒ ගැන වගකීම ගතයුත්තේද අගමැතිවරයාය. පරීක්‍ෂණ පවත්වා අවසන් අපරාධ, දැන් මහාධිකරණයේ නඩු හැටියට ගොඩගැසී ඇත්නම් එහි වගකීමද අගමැතිවරයා ගත යුත්තේය. එවැනි නඩු ශීඝ්‍රගාමීව අසා ඉවර කරන්නට වෙනම අධිකරණයක් පිහිටුවන්නට පසුගිය කාලයේ දිගින් දිගටම සිවිල් සමාජයෙන් පවා ඉල්ලීම් කෙරෙද්දී ඒවා නොඇසූ කන්ව සිටියේ අගමැතිවරයා නිසාය.

ඊයේ පෙරේදා දිනක ත්‍රීවීලරයකින් ගමනක් යද්දී මනුවර්ණ සමඟ කතාවට වැටුණු එහි රියැදුරු පැවසුවේ අගමැති වික්‍රමසිංහගේ පාදයේ නියපොත්තේ සිට ඔළුවට යනතුරු ඇඟ හැමතැනම මොළය තිබෙන බුද්ධිමතකු බවත්, ඔහු ලංකාව වෙනස් කරනු ඇති බවත්ය. ඔහු සමඟ රට කරන අනෙක් නායකයා සාපේක්‍ෂව එවැනි බුද්ධියක් නැති, සාමාන්‍ය දේශපාලන ඥානයකින් හෙබි, රටේ තිබුණු දේශපාලන කොන්දේසි මත රටේ පහළ පන්තියෙන්, ඉහළටම ආ සාමාන්‍ය පුද්ගලයෙකි. ඔහුගේ දැනුමේ තේරුමේ හැටියට ඔහු ගන්නා තීන්දු තීරණ ගැන සමහර විට පුදුමවන්නට දෙයක් නැත. ඒ සමහර දේවලට සමාව දෙන්නටද හැකිය. එහෙත්, ඇඟ පුරා මොළය තිබෙනවායැයි මිනිසුන් විශ්වාස කරගෙන සිටින අගමැතිවරයාට එවැනි ලිහිල් ආකාරයකින් වැඩ කිරීමට කිසිම යුක්තියක් නැත. සියලු දේ ගැන දැනුම් තේරුම්කර ගත හැකි ඔහු මේ තරම් දුර්වල ආකාරයෙන් හා හිතුවක්කාර ආකාරයෙන් වැඩ කරන විට ඉන් හානි වන්නේ ආණ්ඩුවට නොවේ. මුළු රටටමය. ඒ නිසා එය සමාව දිය නොහැකි වරදකි.■