රාවය

ජනමත විචාරණයකදී තමයි යහපාලන ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ |ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන්

ජනමත විචාරණයකදී තමයි යහපාලන ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ |ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන්

තරිඳු උඩුවරගෙදර
පළාත් පාලන මැතිවරණ ක්‍රමය ගැන තවමත් අවසන් විසඳුමක් නැති හැඩයි. ආණ්ඩුව ගන්නා පියවර මොකක්ද?
ජූලි හත්වැනිදා දවල් දොළහට පළාත් පාලන ඡන්දය පිළිබඳව පක්ෂ නායකවරුන් අතර අවසන් සාකච්ඡාවක් පවතිනවා. ජනාධිපතිතුමා ප්‍රමුඛව මේ සාකච්ඡාව පැවැත්වෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා, නීතිපතිතුමා සහභාගි වෙනවා. දැන් පනතේ තියෙන හඳුනාගත් දෝෂ අවසන් කිරීමේ තීන්දුව ගන්නවා. නීතිපතිතුමාට වගකීම දෙනවා දෝෂ ටික අනුව සංශෝධනය කරන්න කියලා. ඒක පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගෙන පළාත් පාලන ඡන්දයට යනවා. කිසිසේත්ම දැන් තියෙන පනත යටතේ අපි පළාත් පාලන මැතිවරණයට යන්නේ නැහැ.

මේ මැතිවරණය කල් යන්නේ සුළු පක්ෂ නිසායැයි ඇතැමුන් කියනවා. ඒ ගැන අදහස මොකක්ද?
ඕක මහ පක්ෂ හදන මතයක්. මේ අවුල් ජාලාව හැදුවේ අපි නෙවෙයි. අපි දන්නවා මහ පක්ෂ දෙකට මේ ක්‍රමයටම ඡන්දය තියන්න හදිස්සියක් තියෙනවා. දැන් පවතින පනත යටතේම පළාත් පාලන මැතිවරණයට යනවා නම් සුළු පක්ෂ විදියට අපි පාරට යනවා. අපි කිව්වා පළාත් පාලන පනත තුළ තියෙන අඩුපාඩු හදලා සංශෝධන කරමින් පළාත් පාලන මැතිවරණයට යමු කියලා. නැත්නම් පෙර තියපු ක්‍රමයට යළි ගිහිල්ලා ඡන්දය තියමු කියලා අපි යෝජනා කළා. දැන් අපට පැරණි ක්‍රමයට යන්න බැරි නිසා අලු‍තින් පනත යටතේ තියෙන මිශ්‍ර ක්‍රමයට යමු කියලා කිව්වා. පළාත් පාලන පනතේ තිබුණා සීයට හැත්තෑවක් කොට්ඨාස ක්‍රමයට සහ සීයට තිහක් සුළු පක්ෂ වෙනුවෙන් අනුපාත ක්‍රමයට. පනත සම්මත වෙද්දී පොරොන්දු වුණා මේ හැත්තෑවයි තිහයි වෙනුවට හැටයි හතළිහයි ගෙනෙනවා කියලා. හැබැයි පනත සම්මත වුණාම අපි ගණන් හදද්දී හැත්තෑහතයි විසිතුනයි තමයි තියෙන්නේ. සුළු පක්ෂවලට බොහොම පුංචි අවස්ථාවක් දීලා තියෙන්නේ. මේක ඉතාම අසාධාරණයි. මේක මහ පක්ෂවල කුමන්ත්‍රණයක්. මේක ශ්‍රීලනිපය සහ එජාපය හවුල්වෙලා කරන්නේ. සුළු පක්ෂ බුල්ඩෝස් කරන වැඩපිළිවෙළට පක්ෂ භේද අත්හැරලා ඒ අය එකතුවෙලා තියෙනවා. අපි දැන් කියන්නේ සීයට හතළිහක් අනුපාත ක්‍රමයට ඕනෑ කියලා.

බහුමන්ත්‍රී ආසන සම්බන්ධයෙනුත් ගැටලු‍වක් තියෙනවා නේද?
සුළු කණ්ඩායම්වලට අවස්ථාව දෙන්නයි බහුමන්ත්‍රී ආසන ඇති කළේ. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල සුළු ජාතිකයන්ට අවස්ථාව දෙන්නයි ඒක ගෙනාවේ. හැබැයි දැන් තියෙන ක්‍රමය අනුව එක් ආසනයකට එක් පක්ෂයකින් මන්ත්‍රීවරුන් දෙන්නෙක් ඉදිරිපත් කරන්න බැහැ. පළවැනියට ඡන්ද ගන්න පක්ෂයට එක් ආසනයක් ලැබෙද්දී දෙවැනි ආසනය ලැබෙන්නේ දෙවැනියට ඡන්දය ගත්ත ආසනයට. පළමුවැනි මන්ත්‍රීධුරය එජාපයෙන් දින්නොත් දෙවැනි මන්ත්‍රීධුරය ශ්‍රීලනිපයට ලැබෙන්න පුළුවන්. එතකොට අර බහුආසන නිර්මාණය කිරීමේ මූලික අරමුණ ඉටුවෙන්නේ නැහැ. මේක යෝග්‍ය වැඩක් නෙවෙයි. ඒකත් අපි වෙනස් කරන්න ඕනෑ කියලා හිතනවා. මේකත් මහ පක්ෂවල කුමන්ත්‍රණයක්.

නියෝජිතයන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදහස් පළකරලා තිබුණා. ඔබත් කියලා තිබුණා ඒ ගැන. නියෝජිතයන් අටදහස් ගණනක් ඉඳීම ගැන අදහස මොකක්ද?
නියෝජිතයන්ගේ සංඛ්‍යාව අටදාස් ගාණක් වෙනවා. ඒ ගැන මම කනගාටු වෙනවා. ඒ ගැන මිනිස්සු ශාප කරයි. ඒකට අපිත් මුහුණදෙන්න වෙයි. මේක වෙනස් කරන්න දැන් පුළුවන්කමක් නැති වෙන්න පුළුවන්. එහෙත් අපි එතැනට වැටුණු එක ගැන අපි කනගාටු වෙනවා. මේ ආණ්ඩු එක්ක වැඩ කරද්දී අපි තේරුම් ගන්න ඕනෑ දෙයක් තියෙනවා. බල්ලෝ එක්ක ඉන්නකොට අපට ටිකක් බුරන්න වෙනවා. මහ පක්ෂවල අඩුපාඩු නිසා අපවත් මහජන සාපයට ගොදුරු වෙන මේ වගේ අවස්ථා එනවා.

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැන් පවතින තත්ත්වය කුමක්ද?
ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනට අපි කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් යම් පදනමකට ඇවිල්ලා තියෙනවා. උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ වෙන්නේ නැහැ, ව්‍යවස්ථාවේ කොතැනවත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් කියන නම නැහැ, බෞද්ධ දහමට තියෙන ප්‍රමුඛතාව අහිමි වෙන්නේ නැහැ කියන තුන මත පදනම් වෙලයි අපි ව්‍යවස්ථාව ඇති කරන්නේ. දහතුන්වැනි සංශෝධනය දැන් තියෙන විදියට ශක්තිමත්ව පවත්වාගෙන යනවා. මත දෙකක් තියෙන්නේ විධායක ජනාධිපති ධුරය පිළිබඳවයි. එය සම්පූර්ණයෙන් අහෝසි කිරීම සහ බලතල විශාල වශයෙන් අඩු කිරීම කියන යෝජනා දෙක තමයි තියෙන්නේ. බලතල සම්පූර්ණයෙන් අඩු වුණත් ඡන්දයෙන් පත්වෙන කෙනෙක් එන්න ඕනෑ කියන එකයි දෙවැනි තර්කයේ පදනම. ප්‍රශ්නය එන්නේ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන්. ඒ ගැන අපි සාකච්ඡා කරනවා. මිශ්‍ර ක්‍රමය පළාත් සහ පාර්ලිමේන්තු මැතිවරණවලට ගෙනෙන්න ප්‍රධාන පක්ෂ උත්සාහ කරනවා. අපි ඒකට එකඟ වෙන්නේ නැහැ. දැන් පවතින ක්‍රමය විවෘත සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් වෙන්න ඕනෑ කියලා අපි හිතන්නේ. මෙහෙයුම් කමිටුවේ අපි නිතිපතා ව්‍යවස්ථාවේ කරුණු ගැන සාකච්ඡා කරනවා. ඇත්තටම යම් කාරණයක් ගැන මත කිහිපයක් තියෙන අවස්ථාවක මෙහෙයුම් කමිටුව කරන්නේ වාර්තාවට ඒ මත කිහිපයම ඇතුළත් කරන එකයි. අපි පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

දැන් පවතින තත්ත්වය අනුව ව්‍යවස්ථා සංශෝධනයට යන්න පුළුවන්ද? ජනමත විචාරණයකට නොයා ඉන්නවාද?
ජනමත විචාරණයට යනවාද නැද්ද කියන තීරණය අධිකරණයට යා යුතුයි. මම ඉන්නේ අලු‍ත් ව්‍යවස්ථාවක් ඇති කරන්න ඕනෑ කියන අදහසේ. එහෙම නම් ඒක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත වෙලා ජනමත විචාරණයකට යන්න ඕනෑ. මෙහෙයුම් කමිටුවේ සමහර අය අලු‍ත් ව්‍යවස්ථාවක්, ජනමත විචාරණයක් නැතිව තියෙන එක පොඞ්ඩක් සංශෝධනය කරගෙන යමු කියලා ෂේප් න්‍යායෙන් ඉන්නවා. සමහරු මැතිවරණ ක්‍රමය පමණක් සංශෝධනය කරන්න ඕනෑ කියලා කියනවා. මේ අය ජනවාරි අටවැනිදා ලබාගත්ත ජනවරමට සහාය දුන්න අය නෙවෙයි. එයාලා හිටියේ ඒකට විරුද්ධව මහින්ද රාජපක්ෂ එක්ක. අපි ලබාගත්ත ජනවරම සම්පූර්ණයෙන් අලු‍ත් ව්‍යවස්ථාවකට යන්නයි ලබාගත්තේ. ජනමත විචාරණයක් එහෙමනම් එන්න ඕනෑ.

ජනමත විචාරණයක් දිනන්න බැරිවෙයි කියන කතාව ගැන ඔබේ අදහස මොකද්ද?
මම හිතන්නේ මේකයි. ජනමත විචාරණයට ගියා නම් අපට පුළුවන් දෙදාස් පහළොවේ ජනවාරි අටවැනිදා වෙනසට ඍජුව හෝ වක්‍රව පෙළගැහුණු සෑම බලවේගයක්ම එකතු කරගන්න. ජනවාරි අටවැනිදා හිටපු අය හැමෝම දැන් ආණ්ඩුවේ කොටස්කරුවන් නෙවෙයිනේ. ඒ නිසා වෙන ඡන්දයකදී ඒ අය ආණ්ඩුවට සහාය පළකරන්නේ නැහැ. අනික ආණ්ඩුවේ ඉන්නවා දෙදාස් පහළොවේ ජනවාරි අටවැනිදා ආණ්ඩුවට විරුද්ධව හිටපු අය. ඉතින් ව්‍යවස්ථාවක් ගැන ජනමත විචාරණයකදී අපේ පාර්ශ්වය ශක්තිමත් වෙනවා. ඉතින් වෙන ඡන්දයක් එනවාට වඩා ජනමත විචාරණයකදී තමයි යහපාලන ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ. මහින්ද රාජපක්ෂ පිල දුර්වල වෙන්නේ. ජාතිවාදීන් අන්තවාදීන් පමණක් එක පැත්තක කොන් කරන්න පුළුවන්. හැබැයි වෙන මොකක්හරි ඡන්දයක් තියනවා නම් කට්ටිය කෑලි කෑලිවලට බෙදිලා තමයි ඡන්දයට යන්න වෙන්නේ. ඒ නිසා දිනන්න පුළුවන් හොඳම ඡන්දය තමයි ජනමත විචාරණය.

ආණ්ඩුව මෑත කාලයේ මිනිස්සු තුළ ලොකු බලාපොරොත්තුවක් ඇතිවන ලොකු වෙනසක් කරලා නැහැ. අලු‍ත් ව්‍යවස්ථාවක් කියන්නේ ආණ්ඩුවට මිනිස්සු තුළ අලු‍ත් බලාපොරොත්තුවක් ඇති කරන්න අවස්ථාවක් නේද?
මිනිස්සු අතර ලොකු බලාපොරොත්තුවක් ඇතිවෙන දෙයක් කරලා නැහැ කියලා ඔබ ඉදිරිපත් කරන අදහස සමාජයේ පවතින ප්‍රබල අදහසක්. ආණ්ඩුව ගැන විවිධ අයට විවිධ අදහස් තියෙනවා. ඔබ ඉදිරිපත් කළේ එක මතයක්. ඒක හරි හෝ වැරදි වෙන්න පුළුවන්. මම කියන්නේ ඒක නෙවෙයි. මේ අවස්ථාවේදී අපේ ආණ්ඩුව එක පැත්තකින් අලු‍ත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමෙන් රටේ පවතින ව්‍යවස්ථානුකූල දේශපාලන අර්බුදය විසඳාගන්න අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන් ජාතික ප්‍රශ්නය විසඳාගන්න පුළුවන්. දූෂිතයන් ඇල්ලු‍වේ නැහැ, අපරාධකරුවන් ඇල්ලු‍වේ නැහැ ඒ හරහා මිනිස්සු තුළ විශ්වාසයක් ඇතිකර ගත්තේ නැහැ කියන එක ඇත්ත. ඒ ගැන කැබිනට් මණ්ඩලයේත් පහුගිය සතියේ දැඩිව කතා කෙරුණා. හැබැයි අනෙක් පැත්තෙන් ආර්ථික ප්‍රශ්නයකුත් තියෙනවා. ලංකාව අපේ ආණ්ඩුවට බාර කෙරුණේ රුපියල් කෝටි නවලක්ෂ පනස්දාහකට අධික ණය බරක් එක්ක. මහින්ද රාජපක්ෂ අවුරුදු දෙකකට කලින් ඡන්දය පැවැත්වුව බව අමතක කරන්න හොඳ නැහැ. එහෙම ඡන්දය කලින් පවත්වන්න ප්‍රධාන හේතුව තමයි ලංකාව ලොකු ණය බරකට යටවෙලා සිටීම. ණය බර එක්ක ආර්ථිකය බැලන්ස් කරන එක ලොකු අභියෝගයක්. මේ ආණ්ඩුව මුහුණදෙන්නේ ඒ අර්බුදයට.

මහානායක හිමිවරුන් ව්‍යවස්ථාවක් එපා කියලා කියනවා. අපේ අදහස මහානායක හිමිවරුන්ට එහෙම කියන්න අයිතියක් නැහැ කියන එක. ව්‍යවස්ථාවට හැටදෙලක්ෂයක් ඡන්දය දීලා තියෙනවා. මහානායක හිමිවරුන්ගේ අදහස ගැන ආණ්ඩුවේ ප්‍රතිචාරය මොකක්ද?

මේ තත්ත්වය ගැන මම කනගාටු වෙනවා. අපි ඒ හිමිවරුන්ගේ මඟපෙන්වීම ඉතාම අගය කරනවා. හැබැයි මම සිහිපත් කරන්න ඕනෑ මේ රටේ පරමාධිපත්‍ය අයිතිය තියෙන්නේ මහජනයාට. මේ ආණ්ඩුව පත්කළේ මහජනතාව. අපට ජනවරමක් දීලා තියෙනවා. අපි පැහැදිලි පොරොන්දුවක් දුන්නා මැතිවරණ ක්‍රමය, බලය බෙදීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන පොරොන්දු මත. මේ පොරොන්දු ඉදිරිපත් කළේ කවුද, අලු‍ත් ව්‍යවස්ථාව ගැන කීවේ කවුද. නායක හිමිනමක් වන මාදුළුවාවේ සෝභිත හිමියන්. මහජනතාව අතර හිටපු මහජනතාවගේ වන්දනයට පාත්‍ර වූ මාදුළුවාවේ සෝභිත හිමියන්. අලු‍ත් ව්‍යවස්ථාව වෙනුවෙන් ගරුතර මාදුළුවාවේ සෝභිත හිමියන් පෙනී හිටපු බව අපි සිහිපත් කරනවා. මහානායක හිමිවරුන් මේ ප්‍රකාශය කරන්න හේතුව විදියට අපට පෙනෙන්නේ ව්‍යවස්ථා සම්පාදනය ගැන පට්ටපල් බොරු නායක හිමිවරුන්ට සමහර පුද්ගලයන් විසින් ලබාදීලා තියෙන නිසා බව පැහැදිලියි. ආණ්ඩුව මහානායක හිමිවරුන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න අසමත් වෙලා තියෙන බව පැහැදිලියි. ජනවරමක් තියෙද්දී ඒකට එරෙහිව අපට යන්න බැහැ. අනෙක් පැත්තෙන් මහානායක හිමිවරුන්ගේ ගෞරවනීය සහයෝගය ගන්න ඕනෑ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ කණ්ඩායමක් මහානායක හිමිවරුන්ව මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා.

උතුරේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න ආණ්ඩුව සමත්වෙලා තියෙනවාද? උතුරේ ජනතාව වෙනුවෙන් සුළු සුළු වෙනස්කම් මිසක් දැවැන්ත වෙනස්කම් කරලා නැහැ කියන එකයි අපේ අදහස. ඔබ හිතන්නේ මොකක්ද?
ඔබේ තර්කයට පදනමක් තියෙන්න පුළුවන්. එහෙත් අපි කිසිවක් කර නැතැයි කියන්න බෑ. ලංකාවේ මෑතකාලීන ආණ්ඩු උතුර ගැන හිතලා තියෙන්නේ බොහොම අඩුවෙන්. මේ වෙද්දී උතුරේ ජනතාවගේ පෞද්ගලික ඉඩම් ලබාදීමේ කටයුතු හෙමින් කරගෙන යනවා. ඉඩම් ලබා සතුටින් ජීවිත ආරම්භ කළ දහස් ගණන් ජනතාව ඉන්නවා. අපි පල්වතුරක් වගේ නැවතිලා නැහැ. හෙමින් හෙමින් අපි ගමන් කරනවා. ඊයේ පෙරේදා වගකීම බාරගත්ත අලු‍ත් හමුදාපති මහේෂ් සේනානායක මහත්තයාත් ආණ්ඩුවේ මතය අනුව යමින් කියලා තියෙනවා අත්‍යවශ්‍ය නොවන ඉඩම් ක්‍රමයෙන් පෞද්ගලික හිමියන්ට නැවත ලබාදෙන බව. මොකද මේ ඉඩම් යුද්ධ කාලයේ පවරාගත්ත මිනිසුන්ගේ ඉඩම්. මම නම් කියන්නේ අත්‍යවශ්‍ය බව කියන ඉඩම් වුණත් ඒ ඉඩම් පවතින කලාපයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හෝ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට ඒ ඉඩම් අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණය ඉදිරිපත් කරලා පැහැදිලි කරලා කමිටුවල කැමැත්ත ලබාගෙන ඒ ඉඩම් පවරාගන්න ඕනෑ කියන එකයි. එතකොට ජනතා නියෝජිතයන් සමඟ මේ ගැන බැඳීමක් ඇතිවෙනවා. අපි දන්නවා රටේ ආරක්ෂාවට ඉඩම් අවශ්‍ය බව. ඒ ඉඩම් තබාග ැනීමට හමුදාවට අයිතිය තියෙනවා.■