රාවය

ආණ්ඩුවේ මුල අමතක වීමේ රෝගය නොහොත් සිවිල් සමාජ විරෝධය

ආණ්ඩුවේ මුල අමතක වීමේ රෝගය නොහොත් සිවිල් සමාජ විරෝධය

රනිල්-සිරිසේන ආණ්ඩුවට දැන් බොහෝදේ අමතකය. එක් අමතකවීමක් නම් පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේනද, අගමැති අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහද එම අවස්ථාවන්හිදී සිවිල් සමාජ රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඇතිකරගත් එකඟතාවන්ය. එමගින් මෙම ආණ්ඩුව බලයට ගෙනඒමෙහිලා රාජපක්ෂ භීෂණයට මුහුණදෙමින් මෙරට රාජ්‍ය නොවන සිවිල් සමාජය මහත් වැඩ කොටසක් ඉටුකළේය. ඔවුන් සිය කටයුතු සඳහා සම්පත් ලබාගත්තේ මෙරටින්ද එතෙරින්ද යන්න එහිලා වැදගත් නොවේ.

මෙරට ප්‍රධානපෙළේ දේශපාලන විචාරකයකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ මෑතදී පෙන්වාදී ඇත්තේද අද මෙම ආණ්ඩුව මුහුණදී සිටින තියුණු අර්බුදයන් සම්බන්ධයෙන් මෙරට සිවිල් සමාජ සංවිධාන කල්තියාම අනතුරු ඇඟවූ බවයි. එසේ නමුත් ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ සිය කේවට්ටාචාරීන්ට පමණ.

දැන් එවැනි එක් කේවට්ටාචාරියකු වන ඇමති විජේදාස කියන්නේ සිය දිවි පරදුවට තබා රාජපක්ෂ භීෂණය පැරදවීමට දායකවූ එවැනි පිරිස් අද සිටිය යුත්තේ අංගොඩ මානසික රෝහලේ බවය. ඊට හේතුව නම් ජාතිවාදය සහ ආගම්වාදය එපා යනුවෙන් එම පිරිස් විසින් කරන ලද සාමූහික ආයාචනයකි.

රනිල් වික්‍රමසිංහ දේශපාලනිකව නිදාසිටි සහ මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂ භීෂණයේ කොටස්කරුවකුව සිටි කාලයේදීත් මෙරට ජනයාගේ අයිතින් වෙනුවෙන් දේශීයව සහ විදේශීයව අනවරත අරගලයක් ගෙනගියේ මෙරට සිවිල් සමාජ පිරිස්ය.

ජනවාරි පෙරළියට මඟපෑදූ මාදුළුවාවේ සෝභිත හිමි නායකත්වය දුන් සමාජ සාධාරණත්වය සඳහා ව්‍යාපාරයෙහිද රාජ්‍ය නොවන සංවිධාන සහ පිරිස් වැදගත් වැඩකොටසක් ඉටුකළහ. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාවූ ජනාධිපතිවරණය මෙහෙයවූ තිඹිරිගස්යාය කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධානයන් සම්බන්ධීකරණය සඳහා ඒකකයක්ද පිහිටුවා තිබුණි.

මහා මැතිවරණ සමයෙහි ‘සමඟි බලය’ නමින් රාජ්‍ය නොවන සංවිධාන එකතුවක් ගොඩනගා එය සම්බන්ධීකරණය කිරීමට අද විජේදාස රාජපක්ෂ නියෝජනය කරන යූඇන්පිය සිය ප්‍රධානියකු පවා පත්කර තිබුණි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති බවට පත්කරන ලද්දේ මෙරට ලක්ෂ 62ක් ජන්දදායකයන් විසිනි. ඔහුගේ ජනාධිපතිවරණයේ මූලික සටන්පාඨ ඒ වන විටත් නිර්මාණය කර ජනගත කරනු ලැබ තිබුණේ ද මාදුළුවාවේ හිමි මූලිකත්වය ගත් සිවිල් ව්‍යාපාරය ඇතුළු විකල්ප ජනමාධ්‍ය සහ සමාජජාල විසිනි. සිවිල් සමාජ ව්‍යාපාරයන්ටද බැණවදිමින් දැන් එකී ප්‍රතිසංස්කරණවාදී න්‍යායපත්‍රය අහෝසි කළ යුතු බවට සමහර බෞද්ධ භික්ෂූන් කියාසිටීමට පටන්ගෙන තිබේ.

ආණ්ඩුවේ කිසිදු ප්‍රධානියකු තමන් බලයට පත්කරන ලද ලක්ෂ 62ක ජනතාව වෙත තමන් දෙන ලද පොරොන්දු මිස කවර හෝ ආගමික නායකයකුගේ අර වාදය හෝ මේ වාදය පිළිනොගන්නා බව කියා සිටීමට ධෛර්යයක් පෙන්වා නැත. ඒ වෙනුවට කරන්නේ ඊළඟ සතියෙහි මල්වට්ටි පූජාකර එකී පසුගාමී මතවාදයන්ට සුජාත බවක් ලබාදීමයි.
පෙනෙන විදියට ආණ්ඩුවට රාජ්‍ය නොවන සිවිල් සමාජ පිරිස් අවශ්‍යවන්නේ ලෝකයට පෙන්වීමට පමණය.

පසුගිය මාර්තු මාසයේ පැවති ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආණ්ඩුවේ නියෝජිත පිරිසට ප්‍රබල රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානයකු වන ජෙහාන් පෙරේරා ඇතුළත්වී තිබුණි. ජූනි 12 -13 දිනයන්හි පැවැති ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික අයිතීන් විමර්ශනය කිරීමේ එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගිවූ ආණ්ඩුවේ දූත පිරිසට කොළඹ ප්‍රභූ රාජ්‍ය නොවන සංවිධානයක පර්යේෂකයකු වන ගෙහාන් ගුණතිලක ඇතුළත්වී තිබුණි. එමෙන්ම පසුගිය පෙබරවාරියෙහි පැවැති එක්සත් ජාතීන්ගේ ස්ත්‍රී අයිතීන් පිළිබඳ ශ්‍රී ලංකා සැසියට ආණ්ඩුවේ නියෝජිතවරියක වන්නැයි ප්‍රධාන පෙළේ කාන්තා ක්‍රියාකාරිනියකට ආරාධනය කර තිබුණි.

මහින්ද රාජපක්ෂ සමයෙහිදීද මෙලෙසම රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් සිය දූත පිරිස්වලට ඇතුළත් කර තිබූ නමුත් රට තුළ රාජ්‍ය නොවන සංවිධාන විරෝධී ප්‍රචාරයක් ගෙනයන ලදි. රනිල් – සිරිසේන ආණ්ඩුවද දැන් ඊට වෙනස් නැත.
ආණ්ඩුවේ සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සම්බන්ධ මහජන උපදේශනය බාරදුන්නේද රාජ්‍ය නොවන සංවිධාන ජාලයකටය. එහි ප්‍රධානියා වූයේද මෙරට රාජ්‍ය නොවන ක්ෂේත්‍රයේ ප්‍රධානියකු වන පී. සරවනමුත්තුය. ආණ්ඩුවේ ගුවන් විදුලි සංස්ථාව දැන් බාරදී ඇත්තේද රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු වන සුදර්ශන ගුණවර්ධනටය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මහජන උපදේශනය සඳහාද සිවිල් සමාජ පිරිස් පත්කළේ මෙම ආණ්ඩුවමයි.

අගමැති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ සමයෙහි ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය නොවන ලේකම් කාර්යාලය ඉන් ඉවත්කොට ජාතික සංහිඳියාව බාර අමාත්‍යාංශයට බාරදුන්නේය. රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් පිළිවෙතක් සකස් කිරීම පිණිස කමිටුවක්ද පත්කරන ලදි, එහි සභාපතිනිය වූයේ සියලු ආකාරයේ විසම සැලකීම්වලට විරුද්ධ අන්තර්ජාතික ව්‍යාපාරයේ (ඉමෙඩා)හි සභාපතිනියද වන සිවිල් ක්‍රියාකාරිනියක වන නිමල්කා ප්‍රනාන්දුය. සුදර්ශන ගුණවර්ධන එහි ලේකම් විය. තවමත් එම තනතුරු දරන්නේ ඔවුන් විසිනි.

මේ අතර එළඹෙන ඔක්තෝබරයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යූපීආර් සාකච්ඡාව සඳහා අදහස් ලබාගැනීමට මෙරට රාජ්‍ය නොවන සංවිධානයන්ට ආණ්ඩුව විවෘත ආරාධනයක් කළේය. රාජ්‍ය නොවන ක්ෂේත්‍රය සමඟ තමන් ඉතා ළඟින් කටයුතු කරන්නේය යන්න ආණ්ඩුව ජිනීවාහිදී කියන්නේ ආඩම්බරයෙනි.

දැන් යූන්පීයේ ප්‍රධානියකු වන අධිකරණ සහ බුද්ධසාසන ඇමති වන විජේදාස රාජපක්ෂ පොදුවේ මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට විරුද්ධව යුද්ධ ප්‍රකාශකර ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේය. මෙරට රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමට නව නීති ගෙන ආ යුතුය කියා විජේදාස කියන්නේ අගමැති විසින් රාජ්‍ය නොවන සංවිධාන සඳහා නිදහසේ කටයුතු කිරීමට පිළිවෙතක් සකස් කිරීමට කමිටුවක් පත්කර තිබියදීය. මෙම තර්ජන හමුවෙහි රාජ්‍ය නොවන සංවිධාන ආරක්ෂා කරමින් කතාකළේ එජාප නොවන ඇමතිවරයකු වන මනෝ ගනේෂන් පමණි.

ඉංග්‍රීසී පුවත්පතකට සම්මුඛ සාකච්ජාවක් දෙමින් දැන් ඇමති රාජපක්ෂ කියා ඇත්තේ “රාජ්‍ය නොවන අරමුදල් මගින් යැපෙන මානව හිමිකම් ආරක්ෂා කරන්නේයැයි කියන සංවිධාන තිබේ. ඒවා අප රටෙහි ජනයා අතර සාමය විනාශ කිරීමට කැසකවති. මේ රට ගිනිගොඩක් බවට පත්කිරීමට වලිකති. එවැනි පුද්ගලයන් කිහිපදෙනෙක්ද වෙති” කියාය.
එම සාකච්ඡාවේදීම ඔහු පුනරුච්චාරණය කරන්නේ සුළුතර ආගමික අයිතීන් වෙනුවෙන් කටයුතු කරන මානව හිමිකම් නීතිවේදියකු වන ලක්ෂාන් ඩයස් ද්‍රෝහියකු බවත් ඔහු නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීමට තමන් ඉදිරි සති කිහිපය තුළදී පියවර ගන්නා බවත්ය.

විජේදාස රාජපක්ෂ මෙලෙස තර්ජනය කරන්නේ මානව හිමිකම් නීතිවේදී ලක්ෂාන් ඩයස්ට විරුද්ධව ඔහු විසින් ප්‍රථමයෙන් කරන ලද ප්‍රකාශය දේශීය සහ විදේශීයව තදබල විවේචනයකට හසුවීමෙන් පසුවය.
තමන් බලයට පත්වූයේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන විසින්ද කරන ලද මහඟු‍ දායකත්වය නිසා බව දැන් ජනාධිපති සිරිසේනටද මතක නැත. ඒ වෙනුවට ඔහු ‘අඩි හයක් යට වැලලීමට’ රාජපක්ෂ සමඟ එක්ව ජන්දය කළ පිරිස්ද දැන් ඔහුගේ අන්තේවාසිකයන් වී සිටී.

අප තේරුම් ගතයුත්තේ ආණ්ඩුවේ මෙම රාජ්‍ය නොවන සංවිධාන විරෝධී ප්‍රහාරය එල්ල වන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සිවිල් කණ්ඩායම්වලට පමණක් බවයි. ඒවා විදේශීය මුදල් ගන්නේද දේශීයව මුදල් ගන්නේද මුදල් නොගන්නේද යන්න මෙම ප්‍රහාරයට අදාළ නැත. ඇත්ත වශයෙන්ම නම් මෙම ප්‍රහාරය එල්ල වන්නේ ආණ්ඩුවේ අතකොළු බවට පත් නොවූ සිවිල් සමාජ සංවිධානයන්ටය. ස්වාධීන සිවිල් සමාජ සංවිධාන විනාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදය යටින් බිඳදැමීමේ පළමු පියවරකි. මේ වනාහි ආණ්ඩුවක හැරවුම් ලකුණුය.■