රාවය

මේක දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් |මහාචාර්ය ජයදේව උයන්ගොඩ

මේක දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් |මහාචාර්ය ජයදේව උයන්ගොඩ

තරිඳු උඩුවරගෙදර
ආණ්ඩුව විශාල අර්බුදයකට මුහුණදෙන බව පේනවා. ඒ ගැන අදහස මොකක්ද?
මේ අර්බුදයේ පැති කිහිපයක් තියෙනවා. එහි එක පැත්තක් තමයි මේ සභාගයේ අවුල. මේක ශ්‍රීලනිපයේ කොටසක් සහ එජාපය අතර ඇතිවුණු සන්ධානයක්. මේක වටේ සිවිල් සංවිධාන ඉන්නවා. හැබැයි මේක ශක්තිමත් සන්ධානයක් නෙවෙයි. මේක දුර්වල සන්ධානයක්. මේ සන්ධානය බලයට ආවේ එජාපය, සිවිල් සමාජය සහ සුළු ජනවර්ග එකඟතාවක් සමඟ සන්ධානගත වීමෙන්. ජනවාරි අටවැනිදායින් පස්සේ මේ සන්ධානය පුළුල් වුණා. ඒ වෙලාවේ ආණ්ඩුවට කරන්න තිබුණේ මේ සන්ධානය දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීම. එහෙත් ඔවුන් කළේ මේක නොවැටී පවත්වාගෙන යන ආණ්ඩුවක් බවට පත්කර ගැනීම. ඒකෙන් වුණේ ජනවාරි අටවැනිදා දේශපාලන පරිවර්තනය සඳහා මුල්වුණු දේශපාලන ක්‍රියාමාර්ගය ආපස්සට යෑමක්. ඒ අතින් ගත්තාම මේක සන්ධානයේ අර්බුදයක්. සන්ධානය දිශාවන් දෙකකට ගමන් කරන බව පෙනෙනවා. දෙවැන්න තමයි ආණ්ඩුකරණ අර්බුදයක් තියෙනවා. ඒක හොඳින්ම පෙනෙනවා නාගරික ජීවිතයේ දෛනික අර්බුදයෙන්. කසළ කළමනාකරණය ගත්තාම කොළඹ නාගරික ජීවිතය විශාල වශයෙන් අර්බුදයට ලක්වෙලා තියෙනවා. මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවෙලා. උණ රෝග, පාචනය රෝග පැතිරීම වුණා. මමත් පහුගිය කාලේ කොළඹට ඇවිත් දවස් දෙකකින් පාචනය සහ උණ රෝගය හැදුණා. මම ලංකාවට ආ වැඩ සියල්ල අත්හැරලා දැන් අසනීපයට බෙහෙත් ගන්නවා. අවට අය එක්ක කතාකළාම බොහෝදෙනාට එක්කෝ උණ, නැත්නම් පාචනය. ආණ්ඩුකරණයේ මූලික දේවල් කරගන්න දැන් බැරිවෙලා තියෙනවා. ලංකාවේ දකින්න ලැබෙන දෙයක් තමයි විවිධ සමාජ කණ්ඩායම් අතර ඉල්ලීම් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන ආණ්ඩුවක් කළයුත්තේ ඒ කාරණා ගැන නිර්මාණශිලී ලෙස ප්‍රචණ්ඩ නොවී විසඳුම් සෙවීම. සාකච්ඡා, විසඳුම් යෝජනා වගේ දේවල් කළ යුතුයි. හැබැයි සයිටම් වගේ ප්‍රශ්නවලදී පෙනෙන්නේ මේ ආණ්ඩුව ඒ පැත්තෙන් අන්තිම දුර්වල බවයි.

ආණ්ඩුකරණය පැත්තෙන් ආණ්ඩුට ප්‍රතිපත්තිමය ඉලක්කයක් නැතිවීම ප්‍රශ්නයක් නේද?
ආණ්ඩුවට කුමක් කරන්නද කියලා අදහසක් නෑ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ඕනෑ වෙලා තියෙනවා නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ තමාගේ කණ්ඩායම එක්ක එක්වෙලා කරන්න. ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඒකට එක්තරා විදියක විරෝධයක් තියෙන බව පේනවා. ආණ්ඩුවේ කණ්ඩායම් දෙක අතරේ සාකච්ඡාවක් ඇතිවෙලා ප්‍රතිපත්තිමය ඒකමතිකත්වයක් ඇති කරගෙන තියෙන බව පෙනෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම 2015 ජනවාරි මාසයේ කරන්න තිබුණේ ප්‍රතිපත්තිමය එකිනෙකට වෙනස් කණ්ඩායම් දෙක අතරේ ප්‍රතිපත්තිමය ඒකමතිකත්වයක් ඇතිකර ගන්නට විශාල සාකච්ඡාවක් ඇතිකර ගැනීම. ඒ සාකච්ඡාව නැතිවීම එක්ක ආණ්ඩුව ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් නෙවෙයි. දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. දුර්වල ආණ්ඩුවක් කිව්වාම ඔවුන් අහන්නේ අපට කියන්නේ හිටපු ආණ්ඩුව වගේ මිනිස්සුන්ගේ ඔළු පලන්න කියලාද කියන එකයි. ඔළු පැලීම හැර ශක්තිමත් විදියට ආණ්ඩු ගෙනියන්න වෙන විකල්ප තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් දුර්වල වෙන්න ඕනෑ නෑ. ශක්තිමත් ආණ්ඩුවක් මිනිස්සුන්ගේ ඔළු පලන්න ඕනෑ නෑ.

ආණ්ඩුව පිහිටුවා ගනිද්දී ඉලක්ක රැසක් තිබුණා. පොරොන්දු රැසක් දුන්නා. හැබැයි ආණ්ඩුව ටිකෙන් ටික පොරොන්දුවලින් ඈත්වෙන බව පෙනෙනවා නේද?
මට පෙනෙන විදියට මේ ආණ්ඩුව බලයට පත්වුණු න්‍යාය පත්‍රය තවම ඔවුන් අත්හැරලා නැහැ. ඒ අය අත්හැරලා තියෙන්නේ න්‍යාය පත්‍රය අංගසම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමයි. ඔවුන් දැනට ප්‍රධාන පෙළේ ජයග්‍රහණ වෙනුවට සුළු සුළු ජයග්‍රහණවලින් සතුටට පත්වෙන බව පෙනෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය නොකර සුළු ප්‍රතිසංස්කරණ කරනවා. සංහිඳියාවට අදාළ මූලික දේවල් නොකර සුළු සුළු දේවල් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය පැත්තෙන් වුණත් එහෙමයි. මේ ආණ්ඩුව සුළු ජයග්‍රහණවල දෙවියන්ට පුද පූජා තියමින් අපටත් ඒ දෙවියන්ට වඳින්න කියනවා.

හිටපු ආණ්ඩුව වෙනුවෙන් පෙනීහිටපු සිවිල් සමාජ කණ්ඩායම් හිටියත් මේ ආණ්ඩුව ගෙනෙන්න මැදිහත්වුණ සිවිල් කණ්ඩායම් බොහෝවිට ආණ්ඩුව විවේචනය කරනවා. ආණ්ඩුව මතවාදී වශයෙන් හුදෙකලා වීම ඔබ දකින්නේ කොහො
මේ ආණ්ඩුවේ ප්‍රධානමද?
මේ ආණ්ඩුවේ ප්‍රධානම දුර්වලකමක් තමයි බලයට පත්වුණාට පස්සේ තමන්ට ඡන්දය දුන්න හිතවත් සමාජ සහ දේශපාලන බලවේගවලින් හුදෙකලා වීම. මේක ආණ්ඩුවේ මුල ඉඳලාම තිබුණා. මට මතකයි ඡන්දය ඉවරවෙලා ටික දවසකින් මාදුළුවාවේ සෝභිත හිමියන් මේක කිව්වා. එහිමියන් කිව්වා ජනාධිපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කරගන්නත් අමාරුයි කියලා. දැන් මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න කවුරුත් නෑ. රජයේ නිලධාරීන් හෝ ආණ්ඩුවේ අමාත්‍යවරුන් ආණ්ඩුව ආරක්ෂා කරන්නේත් නෑ.

විජේදාස රාජපක්ෂ වැනි පුද්ගලයන්ගේ හැසිරීම එක්ක පෙනෙන්නේ ඔවුන් ආණ්ඩුව එක්ක සිටින සිවිල් සමාජ නායකයන් ආණ්ඩුවෙන් ඈත් කරන්න කටයුතු කරන බව නේද?
විජේදාස රාජපක්ෂ මැතිතුමා කරන දේ එක්තරා දේශපාලන අරමුණක් ඇතිව කරන්නේ. ඔහු දන්නවා කොළඹ නාගරික මධ්‍යම පන්තික සිංහල බෞද්ධයන්ගේ ඡන්ද තමයි තමන්ගේ ස්වාභාවික ඡන්ද පදනම කියලා. ඔහු එක්ක චම්පික රණවක, විමල් වීරවංශ සහ ගම්මන්පිල තරග කරනවා. ඔහු දැන් උත්සාහ කරන්නේ සිංහල බෞද්ධයන්ගේ අංක එකේ ආරක්ෂකයා වෙන්න. ඇත්තටම දැන් ඔහු තමයි එතැන ඉන්නේ. විමල් වීරවංශ සාපේක්ෂව නිහඬයි. ගම්මන්පිල කියන දේවල් අහලා ඇතිවෙලා. චම්පික රණවක කොහොමත් සිංහල බෞද්ධ ආරක්ෂකයා කියන ප්‍රතිරූපය බිඳවට්ටාගෙන. ඉතින් මට විජයදාස රාජපක්ෂගේ හැසිරීම ගැන පුදුමයක් නෑ. හැබැයි මට තියෙන ප්‍රශ්නය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේවා ඉවසාගෙන ඉන්නේ ඇයි කියන එකයි.

මහින්ද රාජපක්ෂලා තමයි ආණ්ඩුවට විරුද්ධ ප්‍රධාන විකල්පය. ඔවුන් මේ ආණ්ඩුව පත්කරන්න හේතුවුණ සටන්පාඨ වෙනුවෙන් පෙනීසිටින්නේ නැහැ. තමන්ගේ ආණ්ඩුව සමයේ සිදුවුණ කිසි දෙයක් ගැන පසුතැවිල්ලක් තිබෙන බව පෙනෙන්නේත් නෑ නේද?
ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තුව වෙන්නේ මේ ආණ්ඩුවේ තියෙන දුර්වලතා ප්‍රයෝජනයට අරගෙන බලයට පැමිණීමයි. එහෙම නැතිව විකල්ප දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරියට දාලා නැහැ. එයාලාට තියෙන එකම විකල්පය මහින්ද රාජපක්ෂ මහතාගේ අධිකාරවාදී, ඒකපුද්ගලවාදී, ප්‍රජාතන්ත්‍රවාදී නොවන සහ නිර්ලිබරල්වාදී, සිංහල ස්වෝත්තමවාදී ආණ්ඩුවක් යළි ඇතිකිරීම. හැබැයි එතැනම ඒකාබද්ධ විපක්ෂයේ දුර්වලතාව තියෙනවා. මහජනතාවගේ දේශපාලන පරිකල්පනය අවදි කළ හැකි ශක්තිමත් දේශපාලන ක්‍රියාදාමයක් නැතිව ඡන්දය දිනන්න හදන එක තමයි ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව ආණ්ඩුවට පාවිච්චි කරන්න පුළුවන් ශක්තිමත්ම තර්කය. හැබැයි ආණ්ඩුවට ඒක කරන්න තරම් බුද්ධිමය හැකියාවක් නැහැ.

ආණ්ඩුවේ බුද්ධිමය හැකියාව ගැන කතාකරද්දී තමන්ගේ න්‍යාය පත්‍රය සාර්ථක කරගන්න වැඩපිළිවෙළක් ඔවුන්ට නැති බවත් පෙනෙනවා නේද?
මේ ආණ්ඩුව විශාල වෙනස්කම් රැසක් කරන්න පොරොන්දු වෙලානේ බලයට ආවේ. ආණ්ඩුව හැදුවේ නීතිඥයන් කිහිපදෙනෙක් එකතු කරගෙන මේක කරන්න. හැබැයි ඒවා ආණ්ඩුවට නිකන් කරන්න බැහැ. රට තුළ විශාල මතවාදී අරගලයක් කරන්න ඕනෑ. අද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇවිල්ලා තියෙන විරෝධය බැලු‍වාම පෙනෙනවා සමාජය තුළ තියෙන පසුගාමී මතවාද තමයි මේ මතුවෙන්නේ. මේකට විරුද්ධව ශක්තිමත් සාමවාදී මතවාදයක් ඉස්සරහට ගෙනෙන්න ඕනෑ. එහෙම මතවාදයක් මේ ආණ්ඩුවට නැහැ. ඒක මුල ඉඳලා තිබුණේ නෑ. මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම කියන්නේ කළමනාකරණමය කාර්යයක් කියලා. හැබැයි ඒක දේශපාලන කටයුත්තක්. ඒකට මතවාදයක් ඕනෑ.

මුස්ලිම් විරෝධී ජාතිකවාදී කණ්ඩායම්වල නැඟී සිටීමක් දකින්න තියෙනවා. බෞද්ධ අන්තවාදී භික්ෂු සංවිධාන නැඟිටීමත් ඒවාට මහානායක හිමිවරුන් සහාය දීමත් දකින්නේ කොහොමද?
මේ සුළු ජන විරෝධී අන්තවාදී නැඟිටීම් ලංකාවේ වගේම ඉන්දියාවේත් මෑත කාලයේ සිදුවෙනවා. විශේෂයෙන් මේ තත්ත්වය ආසියානු කලාපයේම මතුවෙනවා. පොලීසිය, අධිකරණය සහ ජනමාධ්‍ය අන්තවාදයට සහාය දෙනවා. අන්තවාදී පූජකවරුන් ඉන්නවා. මෙතැන ප්‍රශ්නය එවැනි ප්‍රශ්නයක් සාධනීය ලෙස කළමනාකරණය කරගන්නට මහජන වරම ලබාගත්ත ආණ්ඩුවක් අසමත් වෙන්නේ කියන එකයි. ලංකාවේ සමාජය ප්‍රගතිශිලී ලෙස ඉදිරියට ගෙන යා හැකි බලවේගවල නැග්මක් දැනට පෙනෙන්න නැහැ. ඒ බලවේග පස්සට ගිහින් තියෙනවා. අද ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ප්‍රතිවිරෝධතා සහ අර්බුද ඉස්සරහට ගෙන යා හැකි, රට පස්සට ගෙන යා හැකි පුද්ගලයන්. ඉතින් ලංකාවේ ප්‍රගතිශීලී ලෙස හිතන අයට තියෙන ලොකුම අභියෝගය තමයි මේ අර්බුදයෙන් මිදෙන්නේ කොහොමද කියන එක. මේක ආණ්ඩුවේ අර්බුදයටත් එහාට ගිය ලොකු අර්බුදයක්. මහ ජාතිවාදී, අධිකාරිවාදී, නිර්ලිබරල් බලවේග ඉදිරියට එන්න පුළුවන් පුළුල් මහජන සහයෝගයකුත් එක්ක.

මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඔබට තියෙන අදහස මොකක්ද?
මේ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් පිරිස ඉන්නේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය එක්ක. රනිල්, හර්ෂ ද සිල්වා, මලික් සමරවික්‍රම, ඉරාන් වික්‍රමරත්න වගේ කිහිපදෙනෙක් තමයි මේ ප්‍රතිපත්තිය ගැන අවබෝධයෙන් ඒකත් එක්ක ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා විපක්ෂයේ ඉන්නකොට දේශපාලනයට ගෙනාවා ආර්ථික පැත්තෙන් මැජික්කරුවන්යැයි හඳුන්වන්න පුළුවන් කිහිපදෙනෙක්ව. ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, අර්ජුන් මහේන්ද්‍රන් වගේ අයව මැජික්කරුවන් විදියට හඳුන්වලා දුන්නා. හැබැයි අපි දැක්කේ එයාලාට කිසි දෙයක් කරගන්න බෑ කියලා. එජාපය පෙන්වලා තියෙනවා ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙනයෑම ගැන ප්‍රමාණවත් දැක්මක්වත්, වැඩපිළිවෙළක්වත් ඔවුන්ට නැහැ කියලා. එයාලාට තියෙන එකම දේ තමයි නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ. හැබැයි ඒවා කරද්දී සමාජ අර්බුද තියුණු වෙන බව ඔවුන්ට පෙනෙන්නේ නෑ. ඉදිරියේදී විශාල ආර්ථික අර්බුදයක් එන්න නියමිතයි. ඒකට ප්‍රමාණවත් දැක්මක් නෑ. මෙයාලා හිතුවා ආණ්ඩු වෙනසක් කළාම විශාල ලෙස පුද්ගලික ආයෝජන ලංකාවට එයි කියලා. හැබැයි හොඳට පෙනෙනවා ලෝක ආර්ථිකය ගත්තාම ලංකාවට විශාල ආයෝජන එන්නේ නැහැ කියලා.

මේ ආර්ථික දර්ශනය යල් පැනගිය එකක් බව ඔබ කලින් කීවා. මේ ප්‍රශ්නයෙන් මිදෙන්න විසඳුම් යෝජනාව මොකක්ද?
නව ලිබරල් ආර්ථිකය සම්බන්ධයෙන් ඇමරිකාවේ සහ යුරෝපයේ ඇතුළු ලෝකයේම ප්‍රශ්නයක් තියෙනවා. මුළු ලෝකයම නව ලිබරල් ආර්ථික දර්ශනය අලු‍ත් කරගෙන නැහැ. ඒ නිසා අර්බුදවලට මුහුණදෙනවා. ලංකාවට විකල්ප සෙවීම දුෂ්කර දෙයක්. ආසියානු කලාපයේ රටවල් සමඟ ද්විපාර්ශ්වීය ගිවිසුම් ඇති කරගැනීම හොඳ විසඳුමක් බව පෙනෙනවා. ජපානය, යුරෝපය සහ ඇමරිකාවෙන් ලොකු ආයෝජන එන්නේ නැහැ. හැබැයි ආසියානු කලාපයේ වුණත් චීනය සහ ඉන්දියාව සමඟ තමයි සම්බන්ධතා ඇති කරගත යුත්තේ. මෙවන් ද්විපාර්ශ්වික ආර්ථික සම්බන්ධතාවලින් මතුවෙන අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා හරියට කළමනාකරණය කරන්න වෙනවා. ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඇතිවුණේ එවන් විරෝධයක්. හැබැයි සුපුරුදු විදියට මේ ප්‍රශ්නයේදී ආණ්ඩුව කල්දාපු එකයි කළේ.

නව ලිබරල් ප්‍රතිසංස්කරණවලදී දිළිඳු ජනතාව සංවර්ධනයෙන් බැහැර කිරීමත් මේ ආණ්ඩුව අතින් සිදුවෙන දෙයක් නේද?
ඒ නිසා තමයි වෘත්තිය සමිති කියන්නේ බැහැර කරන අයටත් අවකාශ ලබාදෙන ප්‍රතිසංස්කරණ කරන්න කියලා. මහින්ද රාජපක්ෂ ගත්තාම ඒ විදියේ සුභසාධක වැඩසටහන් යම් විදියකට කළා. ඔහු සමාජ ප්‍රතිසාධනවාදී ආයතන පවත්වාගෙන ගියා. මේ ආණ්ඩුව එවන් දේවල් කරන්නේ නෑ. රැකියා උත්පාදනය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව කිසිම නිර්මාණාත්මක පියවරක් අරගෙන නෑ. ග්‍රාමීය ජනතාව සම්බන්ධයෙන් නිර්මාණාත්මක වැඩසටහන් කළේ නෑ.

උතුර මේ වන විට ආණ්ඩුව ගැන ලොකු කලකිරීමකින් ඉන්න බව පෙනෙනවා. ඇතැම් වෙලාවට ආණ්ඩුව සමඟ සුහදව ඉන්න දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට එරෙහි ව්‍යාපාර පවා ඇතිවෙනවා. මේ ගැන අදහස මොකක්ද?
ආණ්ඩුවේ සංහිඳියා වැඩපිළිවෙළයි දේශපාලන විසඳුමක් දීමේ වැඩපිළිවෙළයි අසාර්ථක වෙලා තියෙන්නේ. සුළු සුළු විසඳුම් තමයි දීලා තියෙන්නේ. ඉඩම් කොටසක් නිදහස්වීම වගේ සුළු වෙනස්කම් තමයි. දෙමළ ජනතාව වශයෙන් විශාල ප්‍රහේලිකාවකට මුහුණ දෙනවා. ඔවුන්ට දිගින් දිගටම සිංහල දේශපාලනඥයන් හරහා තමන්ගේ දේශපාලන ගැටලු‍වලට විසඳුම් නොලැබීමේ ගැටලු‍වට මුහුණදෙන්න වෙනවා. මේ තත්ත්වය උතුරේ දේශපාලන පක්ෂවලට කොහොම බලපානවාද කියන එක දැන්ම කියන්න බැහැ. දෙමළ ජනතාව කලකිරීම සහ ලංකාව කියන රාජ්‍යයෙන් පුරවැසියන් විදියට ඈත්වීම සිද්දවෙනවා.

මේ ආණ්ඩු සමය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කුමන තැනක ස්ථානගත වෙයිද? ඒක අනාගතයට කවරාකාරයට බලපායිද?
ලංකාවේ දේශපාලන ඉතිහාසයේ නවසිය හැත්තෑ ගණන්වල ඉඳන් අධිකාරිවාදී ආණ්ඩු බිහිවෙනවා. ඒ අතරේ ප්‍රජාතන්ත්‍රවාදයට බර ඉන්ටර්වල් තියෙනවා. චන්ද්‍රිකාගේ පළවැනි ආණ්ඩුව, රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වගේ ආණ්ඩු බිහිවෙනවා. මේකත් එහෙම එකක්. ඒකෙන් පස්සේ ඇතිවෙන්න පුළුවන් එක් තත්ත්වයක් මම කලින් කියපු ඒකාබද්ධ විපක්ෂයට ඇති කරගත හැකි ආණ්ඩුව. ප්‍රජාතන්ත්‍රවාදී නොවන දහඅටවැනි සංශෝධනය වගේ තවත් ප්‍රතිසංස්කරණ ඇතිවෙන්න පුළුවන්.

වාමාංශික දේශපාලන කණ්ඩායම් සහ ලිබරල් සිවිල් කණ්ඩායම් යම් ප්‍රගතිශිලී සහ එකිනෙකට පසමිතුරු දේශපාලන කණ්ඩායම් දෙකක් විදියට දැකගන්න පුළුවන්. මේ දෙපාර්ශ්වය කටයුතු කරන ආකාරය සහ ඔවුන්ගේ අනාගතය කවරාකාර වේවිද?
වාමාංශික පක්ෂ අතරින් ජවිපෙ වගේ කණ්ඩායම් මැතිවරණ දේශපාලනයේ වැදගත් කාර්යභාරයක් කරයි. හැබැයි ඔවුන්ට රාජ්‍ය බලය ලබාගන්න බැහැ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පුළුල් ක්‍රියාමාර්ගයක් නෑ. ඔවුන් සයිටම් සටනේ ඉස්සරහින් ඉන්නවානේ. හැබැයි සයිටම් ප්‍රශ්නය කියන්නේ ලංකාවේ මධ්‍යම පන්තිකයන් අතර තියෙන ප්‍රශ්නයක්. මේක සාමාන්‍ය පීඩිත පන්තියේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔවුන් සයිටම් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ඉන්නකොට සෞඛ්‍ය සේවයේ සහ අධ්‍යාපනයේ ඇති වඩා පුළුල් ප්‍රශ්න වෙනුවෙන් පෙනීඉන්නේ නැහැ. මධ්‍යම පන්තික සටන්කාමී කණ්ඩායමක් විදියට මේ සයිටම් විරෝධී වාමාංශික කණ්ඩායම් කටයුතු කරයි කියලා පෙනෙනවා.

ලිබරල් සිවිල් සමාජ කණ්ඩායම්වලට තියෙන්නේ සුළු බලයක්. ඔවුන් විශාල බලවේගයක් නෙවෙයි. ඔවුන්ට තියෙන්නේ නිරන්තරයෙන්ම සිවිල් අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, සුළු ජනවර්ගවල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම. සිවිල් සමාජයේ කාර්යය තීරණාත්මකයි, හැබැයි සීමිතයි. දැන් සිවිල් සමාජවලට පක්ෂ අයත් විපක්ෂ අයත් ඔවුන්ගේ බලය අතිශයෝක්තියට නංවලා තියෙනවා. සාමාන්‍ය දේශපාලනයේදී අමිහිරියි කියලා පිළිගන්න ප්‍රශ්න මතුකරන්නේ සිවිල් සමාජය. ඔවුන්ට ඒ පැත්තෙන් කාර්යභාරයක් තියෙනවා. මේක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ පරාජයක්. ඔවුන්ගේ පසුබැස්මක්. කතාවක් තියෙනවා ලංකාවේ දේශපාලනඥයන් රටේ ප්‍රශ්න විසඳීමට තියෙන අවස්ථාවන් මඟහැරීමට තියෙන අවස්ථා මඟහරින්නේ නැහැ කියලා. ඒක තමයි දැන් පෙනෙන්නේ.■