සයිටම් ප්‍රශ්නය සහ පෞද්ගලීයකරණය සදහා තල්ලුව


anuilan

අහිලන් කදිරගාමර්      පරිවර්තනය/ රමිඳු පෙරේරා

සයිටම් ආයතනය වසා දමන ලෙස නැගෙන උද්ඝෝෂණ සහ රජය ඒවා සාහසික ලෙස මැඬ පැවැත්වීම විසින් මතු කරන ප්‍රශ්න කිහිපයක් තිබේ. සයිටම් ආයතනය සුජාතකරණය සඳහා ආණ්ඩුව යොදන අවධාරණය හුදෙක් එක් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිළිබඳ ප්‍රශ්නයක් පමණද? එය වඩා පුළුල්ව අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව පෞද්ගලිකකරණය කිරීම දිශාවට තබන පළමු පියවරද? එසේ නැතිනම් එය ඓතිහාසිකව රජය විසින් වගකීමක් ලෙස පවත්වාගෙන ගිය පොදු සේවාවන් පුද්ගලිකකරණය කිරීමේ වඩා විශාල න්‍යාය පත්‍රයක් පිළිබඳ ප්‍රශ්නයක්ද?

1977 දී විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ දියත් කළාට පසු මේ වන විට දශක හතරක කාලයක් පුරා ඇතැම් විට ක්‍රමක්‍රමයෙන් සිදුවන පුද්ගලිකකරණයන්ගේ විලාසයෙන් හා තවත් විට මහා පරිමාණ පුද්ගලිකකරණ රැලිවල විලාසයෙන් පෞද්ගලිකකරණය දිගින් දිගටම ආර්ථික න්‍යාය පත්‍රයේ අංගයක් ලෙස පැවැතිණ. අනෙක් අතට, පසුගිය දශක ගණනාව පුරා පෞද්ගලිකකරණයට විරෝධය පෑම් පශ්චාත් යටත් විජිත උරුමයන් වන නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව හා වෙනත් අත්‍යවශ්‍ය මහජන සේවා ආරක්ෂා කරගැනීමේ පදනම මත වර්ධනය විය.
මෙහිදී විමසා බැලිය යුතු ප්‍රශ්නය නම්, වත්මන් රජය යටතේ මේ මොහොතේ පෞද්ගලිකකරණය දිශාවට සිදුවන තල්ලු‍ව තුළ අලු‍ත් හැරවුමක් දක්නට ලැබේද යන්නයි. එසේ දක්නට ලැබේ නම්, එමගින් තර්ජනයට ලක්වන්නේ කුමක්ද? එවැන්නක් විසින් මහජනයා මත ඇති කරන බලපෑම කවරක්ද? යන ප්‍රශ්න අප විසින් නැගිය යුතුය.

දිගුකාලීන න්‍යාය පත්‍රය
රජයට අයත් ව්‍යවසායන් මහා පරිමාණයෙන් පුද්ගලිකකරණය කිරීමේ පළමු රැල්ල ආරම්භ කළේ 1989 දී ප්‍රේමදාස රජය විසිනි. පසුව 1996 දී චන්ද්‍රිකා කුමාරතුංග රජය එවැනි තවත් රැල්ලකට මුල පිරීය. මෙම ආණ්ඩු ඉලක්ක කළේ වතු, දුරකථන හා විදුලි සංදේශ, බස්රථ හා ගුවන් සේවා ආදි තෝරා ගත් රාජ්‍ය ව්‍යවසායන්ය. ඔවුහු මූල්‍ය ක්‍රමවේද ආණ්ඩුව තුළට ගෙන ආ අතර මූල්‍ය ධනපති පංතිය විසින් ප්‍රවර්ධනය කරමින් සිටි අදහසකට අනුව කොළඹ කොටස් හුවමාරුව ප්‍රාග්ධනීකරණයට ලක් කළහ. තවද, පුද්ගලික රෝහල් හා සායනවල සහ ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කළ පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල පැන නැගීම විසින් සෞඛ්‍ය සේවාව සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන් ද සියුම්ව පුද්ගලිකකරණයට ලක්වූයේය.

රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වය පිළිබඳ අදහස ප්‍රවර්ධනය මගින් රජයට අයත් ව්‍යවසායන් පුද්ගලිකකරණය සහ අධ්‍යාපනය හා සුව සේවාව වාණිජකරණයට ලක්කිරීම රාජපක්ෂ රජයේ න්‍යාය පත්‍රය තුළද ප්‍රමුඛ අංගයක් ලෙස පැවැතිණ. ඇත්ත වශයෙන්ම සයිටම් ආයතනය පිහිටුවන ලද්දේ රාජපක්ෂ රජය විසිනි. ඒ වෛද්‍ය හා අධ්‍යාපන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වූ දැක්ම මත පදනම්වය.

දිගින් දිගටම බලයට පත්වන ආණ්ඩු සහ බලවත් පංතීන්වල අභිලාෂයන් විසින් පුද්ගලිකකරණය මගින් ආර්ථිකයේ හැඩය නිර්ණය කිරීම දශක ගණනාවක් තිස්සේ සිදුකරමින් තිබුණු පසුබිමක, මාගේ තර්කය නම් මේ මොහොතේ එළැඹ තිබෙන්නේ එම පුද්ගලිකකරණ ක්‍රියාවලියේ නව පිම්මක් බවත්, එම පිම්ම විසින් පුද්ගලිකකරණය පිළිබඳ විවාදය හා ඊට එරෙහි අරගල මත විශාල බලපෑමක් ඇති කරන බවත්ය. මේ වනවිට සිරිසේන-වික්‍රමසිංහ රජය බලයට පත්ව වර්ෂ දෙක හමාරකට ආසන්න කාලයක් ගත වී තිබෙන අතර සයිටම් ආයතනයට විරෝධය පළකරන ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව එය විසින් මුදාහැර තිබෙන එන්න එන්නම බලගතු වෙමින් පවතින මර්දනය හා ප්‍රචණ්ඩ ප්‍රහාර විසින් සංඥා කරන්නේ පුද්ගලිකකරණය දිශාවට සිදුවන විශාල පිම්මකි. මෙම පිම්ම තුළ මහජන සහාය ඒ සඳහා ලබාගැනීම සඳහා දියත් කොට තිබෙන දෘෂ්ටිවාදී මෙහෙයුමක් ද අන්තර්ගත වන අතර මේ සියල්ල විසින් රාජ්‍ය සේවාවන්වල හා රජයට අයත් ව්‍යවසායන්වල අනාගතය තීන්දු කරනු ඇත.

ණය හා දෘෂ්ටිවාදී සටන
ආණ්ඩුව තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනවල හා අයවැය ලේඛනවල දිගින් දිගටම පෞද්ගලිකකරණය පිළිබඳ අදහස ප්‍රවර්ධනය කරමින් සිටී. ඒ එමගින් පුද්ගලික ආයෝජන ඇදී එනු ඇති බවට, කාර්යක්ෂමතාව වැඩිවනු ඇති බවට, වඩා හොඳ හා ව්‍යාප්ත වූ සේවාවන් ඇතිවනු ඇති බවට හා රාජ්‍ය ආයතනවලින් ඇති වී තිබෙන පාඩුව නැති කරගත හැකිවනු ඇති බවට තර්ක කරමිනි. කෙසේ වුවද, පසුගිය මාස කිහිපය තුළ රජය පුද්ගලිකකරණය කෙරෙහි වඩා උත්සන්න වූ නැඹුරුවක් ලබා ගෙන තිබෙන්නේ වෙනස් හේතු සමුදායක් මතය. රජයේ වත්මන් පුද්ගලිකකරණ ප්‍රවේශය සඳහා බලපා තිබෙන අත්‍යාසන්න හේතුව නම් පසුගිය දශකයක පමණ කාලයක් තුළ සම්මුචනය වූ අතිවිශාල රාජ්‍ය ණය ගෙවා ගැනීම සඳහා රාජ්‍ය වත්කම් විකුණා දැමීම පිළිබඳ ක්‍රියාමාර්ගයක් වෙත රජය පිවිස සිටීමය. බලයට පත්වූ පසු වත්මන් රජය එම ණය කළමනාකරණය කිරීම සඳහා සබුද්ධික වැඩපිළිවෙළක් ඇති කරගැනීමට අසමත් වූ අතර එය විසින් අනුදක්නා ක්‍රියාමාර්ගය වන්නේ පොදු වත්කම් පුද්ගලිකකරණය කිරීමය.

ණය මගින් ඇති කළ උත්සන්න වෙමින් තිබෙන අර්බුදය, විදේශ සෘජු අයෝජන ආකර්ෂණය කරගැනීමේ දුෂ්කරතා සහ ධනවත් පංතීන් මත අය කරන අනුක්‍රමික බදු මගින් රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අසමත් වීම විසින් රජය මුල්ලකට තල්ලු‍ කරනු ලැබ තිබේ. දැන් එය උත්සාහ කරන්නේ පුද්ගලිකකරණය මගින් රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේ මහා පරිමාණ උත්සාහයක යෙදීමටය.

එවැනි මහා පරිමාණ පෞද්ගලිකකරණ උත්සාහයක් විසින් ඇති කළ හැකි මහජන විරෝධය, විශේෂයෙන්ම වෘත්තීය සමිතිවල විරෝධය හේතු කොට ගෙන රජය සහ ඇතැම් සන්ධානගත පංති කොටස් විසින් කාර්යක්ෂමතාව හා ලාභ ඉපැයීම යන තේමා වටා දෘෂ්ටිවාදී යුද්ධයක් දියත් කොට තිබෙන අයුරු දැකගත හැක. මේ දෘෂ්ටිවාදී ප්‍රචාර ප්‍රතිවිරෝධයන්ගෙන් ගහණය. ලාභ ඉපැයීම අරමුණු කරගත් ව්‍යවසායන් විසින් වඩා හොඳ මහජන සේවාවක් සපයනු ඇත යන්න එවැනි ප්‍රතිවිරෝධාත්මක ප්‍රකාශයකට නිදසුනකි. තවද, මීට සමගාමීව ආණ්ඩුව තමන් විසින් පාලනය කරන රජයේ ව්‍යවසායන් ශක්තිමත් කරනු වෙනුවට දැනුවත්ව ඒවා හෑල්ලු‍ කිරීමේ ක්‍රියාදාමයකට ද එළැඹ සිටී.

රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලැබීම හා රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය
රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලිකකරණය සාධාරණීකරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන තර්කයක් නම් ඒවා පාඩු ලැබීම පිළිබඳ කරුණයි. කෙසේ වුවද මෙලෙස පාඩු ලැබීම සඳහා විවිධ හේතු තිබෙන අතර ඉන් එක් හේතුවක් නම් මහජනයාට නොමිලේ හෝ දරාගත හැකි වියදමකට අත්‍යවශ්‍ය සේවා සැපයීමේ අවශ්‍යතාවයි. ප්‍රජාතන්ත්‍රවාදී සහ සෞඛ්‍ය සම්පන්න සමාජයකට අත්‍යවශ්‍ය අංග වන අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව නොමිලේ ලබාදීමට අමතරව සමාජයට අත්‍යවශ්‍ය සේවා වන ජල සැපයුම, විදුලි සැපයුම හා ප්‍රවාහනය ආදි සේවාවල සිදුවන දැවැන්ත මිල ඉහළයෑම්වලට පොදු ජනයා විෂය නොවිය යුතු යැයි අපේක්ෂා කෙරේ. තවද සමාජ හා ආර්ථික ස්ථායීතාව හා මහජන යහපත වෙනුවෙන් රටේ ධනය ප්‍රතිව්‍යාප්ත කිරීමට මැදිහත්වීම ද රජයේ භූමිකාවකි.

එහෙත් යථාර්ථය තුළ සිදුවන්නේ අනෙකකි. වැට් බදු ආදි වක්‍ර බදු ඉහළ ප්‍රතිශතයක පවත්වාගෙන යන ප්‍රතික්‍රමික බදු පිළිවෙත සහ අත්‍යවශ්‍ය සේවා සඳහා කරන වියදම් කපා දැමීම විසින් වැඩ කරන ජන කොටස් මත එන්න එන්නම උග්‍රවෙමින් තිබෙන පීඩාවක් පතිත කොට තිබේ. මෙම තතු තුළ ධනවත් සමාජ කොටස් මත වඩාත් වැඩියෙන් බදු අය කොට රාජ්‍ය ව්‍යවසායන් ශක්තිමත් කිරීම හා ඒ සඳහා අරමුදල් සම්පාදනය ධන ප්‍රතිව්‍යාප්තිය සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය කටයුත්තක් බවට පත්වී තිබේ.

පෞද්ගලිකකරණය සඳහා රජයේ උත්සාහය රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරීත්වය (ඡමඉකසජ-ඡරසඩ්එැ ඡ්රඑබැරියසච) සංකල්පය වටා කේන්ද්‍රගත වී තිබෙන බව නිරීක්ෂණය කළ හැක. රාජ්‍ය අංශය හා පුද්ගලික අංශය අතර ‘මිත්‍රත්වයක්’ වැනි යමක් යෝජනා කරන මේ සංකල්පයට විරෝධය පෑම ද බැලූබැල්මට අසීරුය. එහෙත් යථාර්ථයේ දී, ලෝකය පුරා රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරීත්වය සම්බන්ධ අත්හදා බැලීම් විසින් පෙන්නුම් කරන්නේ පෞද්ගලික අංශය ලාභය ඩැහැගැනීමේ හා රජයේ අංශයට අවදානම දරන්නට සිදුවීමේ ඉතිහාසයකි. උදාහරණයක් ලෙස යටිතල පහසුකම් ඉදිකිරීමේ දී මෙම සංකල්පය භාවිත වන අතර එහිදී පුද්ගලික හවුල්කරු උපාය මාර්ගික ආයෝජනයක් ලෙස සලකා ඊට මැදිහත් වේ. අධිලාභ උද්ධරණය කරගන්නා පුද්ගලික හවුල්කරු පාඩු ලබන අවස්ථාවක් එන විට හවුල්කාරීත්වයෙන් ඉවත්වීමට පෙළැඹෙන අතර පුරවැසියන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් නඩත්තු කිරීමේ බර රජය මත පැටවේ. මේ එක් ගමන් පථයකි. අනෙක නම්, හවුල් ව්‍යවසාය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට සින්න වීම හා අත්‍යවශ්‍ය සේවා සඳහා අධික මිලක් ගෙවීමට සමාජයට සිදුවීමය.

ආණ්ඩුව පාර්ශ්වයෙන් ගත් විට, රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යනු රජයේ වගකීම්වලින් බැහැර වීමේ එක් මාර්ගයකි එය. කෙසේ වුවද ජපානය ඇතුළු බොහෝ නැගෙනහිර ආසියාතික රටවල අත්දැකීම් විසින් පෙන්නුම් කරන්නේ රාජ්‍ය මගපෙන්වීම සහ සංවර්ධන බැංකු මගින් සිදු කරනු ලබන ආයෝජන දීර්ඝකාලීන ආර්ථික සංවර්ධනය හා වර්ධනය සඳහා හේතුවන බවයි. ඊට පටහැනි මගක දිවෙන, සමපේක්ෂණයේ යෙදෙන ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය අද්දවා ගැනීමෙන් හා කෙටිකාලීන කොටස් හිමිකාරීත්වයේ පදනම මත ලාභ සෙවීමේ යෙදෙන ආයෝජන මගින් ආර්ථික වර්ධනය ඇති කරගැනීම සඳහා ලංකාව අනුගමනය කරන උපාය මාර්ගය අවසාන වශයෙන් ආර්ථිකයන් අර්බුදයට යැවීම සඳහා හේතුවන බව වෙනත් රටවල අත්දැකීම් මගින් පෙන්නුම් කරයි.

අර්බුදය ‘අවස්ථාවක්’ ලෙස
සයිටම් ප්‍රශ්නය වැදගත් වන්නේ එය පෞද්ගලිකකරණය පිළිබඳ දෘෂ්ටිවාදී අරගලයේ වත්මන් වේදිකාව බවට පත්වී තිබීම නිසාවෙනි. අප කැමති වුවත් නැතත් අපි සියල්ලෝ උසස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව පෞද්ගලිකකරණය සම්බන්ධ විවාදයක හවුල්කරුවන් වී සිටිමු. අධික ලාභ උපයා ගැනීමට මාන බලමින් සිටින පුද්ගලික සෞඛ්‍ය හා රක්ෂණ ආයතන ආදි බලගතු මූල්‍ය ධනපති කොටස්වල අභිලාෂයන් ද මේ ප්‍රශ්නය සමඟ ගැටගැසී තිබේ. මේ අතර ජල සම්පාදනය, විදුලි සැපයුම හා දුම්රිය ආදි රාජ්‍ය සේවාවන් මහා පරිමාණයෙන් පුද්ගලිකකරණයට ලක්කිරීමේ සූදානමක් ද එළැඹෙමින් පවතී. කෙසේ වුවද එවැනි සූදානමක් ක්‍රියාවට නැංවෙනු ඇත්තේ පවතින ආර්ථික අර්බුදය වඩාත් තීව්‍ර තත්ත්වයකට පත් වූ විටකදීය.

එවැනි අර්බුදකාරී තත්ත්වයක් තුළ, ආණ්ඩුව සහ එහි නව ලිබරල් න්‍යායවේදීන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව ආදි ආයතන දැන් ඉතින් රාජ්‍ය වත්කම් විකුණා විදේශ ණයකරුවන්ගේ ණය පියවීම හැර අන් විකල්පයක් නැත යන අදහස ප්‍රවර්ධනය කිරීමට එම අර්බුදය අවස්ථාවක් ලෙස භාවිත කරනු ඇත. ග්‍රීසියේ වගේම ආර්ථික අර්බුදයට ලක්වූ ලෝකයේ බොහෝ රටවල පසුගිය කාලයේ සිදුවූයේ මෙයයි. පුද්ගලිකකරණය පිළිබඳ මෙම යෝජනාව ඉදිරිපත් කරන ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල අනුබලය ලබන ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයට මෙන්ම දේශීය මූල්‍ය ධනපති ප්‍රභූවට ලාභ උද්ධරණය මිස මහජනයාට සේවා සැලසීම පිළිබඳ අරමුණක් නොමැත. ඔවුන් පුල පුලා සිටින්නේ සොච්චම් මුදලකට රාජ්‍ය වත්කම් මිල දී ගෙන එය අධික ලාභ ලැබීමේ ඉල්ලමක් බවට පරිවර්තනය කරගැනීම සඳහාය.

ශිෂ්‍යයන්ගේ සිට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය දක්වා සයිටම් ආයතනයට විරුද්ධ වන පිරිස් සිය විරෝධය පාන්නේ විවිධ හේතු මතය. සයිටම් ගැන සමකාලීන විවාදය නිදහස් අධ්‍යාපනය හා සුව සේවාව මෙන්ම මෙකී සේවාවල නියාමනය පිළිබඳ කරුණු ද වටා භ්‍රමණය වේ. මෙකී කරුණු පිළිබඳ වූ ඉතිහාසයේ අත්දැකීම් මත, අපට එළැඹිය හැකි අර්ථාන්විත විසඳුම නම් නිදහස් අධ්‍යාපනයේ හා සුව සේවාවේ ප්‍රසාරණය වෙනුවෙන් පෙනී සිටීමයි. සයිටම් ප්‍රශ්නය වටා ගෙතී තිබෙන සටන් හා විවාද අපගේ සමාජය හා ජනතාව මත විශාල බලපෑම් ඇතිකිරීමෙහිලා හේතු වන්නකි. අපගේ ආර්ථික අනාගතය මුහුණ දී සිටින තර්ජනය හා සිය පුරවැසියන් කෙරෙහි රජයට තිබෙන වගකීම පිළිබඳ විවාදය මෙලෙස ඉස්මත්තට ගැනීම ගැන අප ශිෂ්‍යයින් කෙරෙහි කෘතඥතා පූර්වක විය යුතු වෙමු.■