ඔබ යුක්තිය වෙනුවෙන්ද? කැලෑ යුක්තිය වෙනුවෙන්ද?


wijedasa

ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු

හිතවත් ආචාර්ය රාජපක්ෂ වෙත,
ඔබේ දේශපාලනික ආගමනයේ මුල් කාලයේ, ඔබ වැනි තවත් යහපත් දේශපාලනඥයන් කණ්ඩායමක් සමඟ රටට යම් සාධනීය සේවයක් සැලසීමට ඔබට හැකි වෙතැයි මම සිතුවෙමි. ‘සාමකාමී ආණ්ඩු වෙනසක්’ ඉල්ලා සිටීමෙන් අනතුරුව, 2012 සැප්තැම්බර් මාසයේදී, ‘දි අයිලන්ඞ්’ පුවත්පතටත්, ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ සහ ‘ශ්‍රී ලංකා ගාඩියන්’ වෙඞ් අඩවිවලටත් ‘තරුණයන් සහ දක්ෂයන් රට මෙහෙයැවිය යුතු’යැයි මා ලියුවේ ඔබ වැන්නන් ගැන කල්පනාවෙනි.

සලකුණ සංවාදය
ජුනි 26 වැනි දා ‘හිරු’ නාලිකාවේ ඔබ සහභාගි වූ ‘සලකුණ’ වැඩසටහන නැරඹීමෙන් අනතුරුව මා තුළ ඇති වුණේ ඔබ පිළිබඳ ලැජ්ජාවකි. දැඩි අපේක්ෂා භංගත්වයකි. සංහිඳියාව සහ ඊට අදාළ හේතු කාරණා පිළිබඳ ඔබේ අදහස් මොන තරම් සදොස් වුවත්, එම සංවාදයේ මුල් විනාඩි 30 තුළ ඔබ යම් හික්මීමකින් කතා කෙළේය. ඊළඟට එම හික්මීම ඔබෙන් ගිලිහී ගිය අතර, වර්ගවාදය සහ ආගමික අන්තවාදයට එරෙහිව පුවත්පතක පළවූ ප්‍රකාශනයක් ගැන ඔබෙන් ප්‍රශ්න කිරීමේදී එම ප්‍රකාශනයේ අත්සන්කරුවන් ‘පිස්සන්’ වශයෙන් හඳුන්වා පහර දෙන්නට ඔබට පටන් ගත්තේය.

මම එම ප්‍රකාශනයේ එක් අත්සන්කරුවෙක් වීමි. එහිදී විවෘතවම ඔබ පිළිගත් පරිදි, ඒ වන විට එම ප්‍රකාශනය ඔබ දැක තිබුණේවත් නැතෟ එසේ වෙතත්, එහි අත්සන්කරුවන්ටත්, එය පළ කළ සංවිධාන දෙකටත් එක දිගටම ඔබ පහර දෙන්ට විය. ඔබේ අධිකරණ අමාත්‍යාංශයේ ඔබ ‘යුක්තිය’ නිර්වචනය කරන්නේ සහ පසිඳලන්නේ එලෙස ද? නැතහොත් එය, ඔබ සහ ඔබේ අමාත්‍යාංශ විශ්වාසය තබන ‘කැලෑ යුක්තිය ද?’

මේ ප්‍රකාශනයට අනුග්‍රහය සැපයූ සංවිධාන දෙක වන්නේ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඇරැඹූ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ සහ ‘පුරවැසි බලය’ යි. මේ දෙකම, 2015 ජනවාරියේ ප්‍රජාතන්ත්‍රීය වෙනස ගෙනා, අද ඔබ ප්‍රධාන ඇමතිවරයෙකු වන වර්තමාන ආණ්ඩුව බලයට ගෙනා, ප්‍රධාන සිවිල් සංවිධාන දෙකකි. මෙහි අත්සන්කරුවන් අතර, වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන සාමාජිකයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ද වෙයි. සමහර විට, 2002 බෞද්ධ කොමිෂන් සභා වාර්තාව තුළ සඳහන්ව තිබූ, අනතුරට හෝ අවදානමට ලක්ව ඇති ඉපැරණි පූජනීය බෞද්ධ ස්ථාන ආරක්ෂා කිරීම අරභයා බුද්ධ ශාසන ඇමතිවරයා වශයෙන් ඔබේ අක්‍රීයත්වය, අදාළ වැඩ සටහනේ සත්කාරකයන් විසින් හතර වටින් ප්‍රශ්න කොට ඔබ කොටු කළා විය හැකිය. කෙසේ වෙතත් එම කාරණය, සෙස්සන්ට පහර දීම සඳහා සහ වෙනත් සංවිධාන සහ පුද්ගලයන් ගර්හාවට ලක් කිරීම සඳහා හේතුවක් නොවිය යුතුය. එවැනි පූජනීය ස්ථාන අවදානමට ලක්ව ඇතොත් ඒවා ආරක්ෂා කොට සංරක්ෂණය කළ යුතු බව මම ඉඳුරා විශ්වාස කරමි. ඒවා කෙලසීමක් සිදු වෙතොත් එවැනි අපරාධකරුවන්ට දඬුවම් කළ යුතු බවට සැකයක් නැත.

එසේ වෙතත්, ඒ කිසිවක්, විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව සහ ඉවැන්ජලික කිතුනු ලබ්ධිකයන් ඇතුළු සුළුතර ආගමික කණ්ඩායම්වලට එරෙහිව ඇතිවන සිද්ධීන් ගැන සැලකිලිමත් වීමේ අවශ්‍යතාව නිශේධ කරන්නේ නැත. ඉහත සඳහන් නිවේදනයේ පණිවිඩය වන්නේ එයයි. එවැනි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවා ඔවුන් වැරදිකරුවන් වෙතොත් ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතු බවට එම නිවේදනයෙන් ඉල්ලා සිටී. මෙවැනි කරුණු අරභයා නීතිය ක්‍රියාත්මක කිරීම පස්සට අදින බවක් පැහැදිලිව දක්නට තිබේ. පෙනෙන්ට ඇති එවැනි අවදානම් පිළිබඳව අනතුරු අඟවන එකී නිවේදනයේ පණිවිඩකරුවන් සම්බන්ධයෙන් ඔබ අනුදකින ‘කැලෑ යුක්තිය’, එම නිවේදනයේ ඉලක්කගත චූදිතයන් සම්බන්ධයෙන් නම් කොතැනකවත් ඉල්ලා සිටින්නේ නැත. තවද, එම සියලු කරුණු අදාළ නිවේදනය තුළ ඉදිරිපත් කෙරෙන්නේ, වාර්ගික සහ ආගමික සංහිඳියාව පිළිබඳ මූලික අවශ්‍යතාව මත පදනම්වයි. ඒ ගැනත් ඔබෙන් පළවුණේ නරුම සෝපාහාසයකි.

ඔබේ ආස්ථානයන්
‘හිරු’ නාලිකාවේ සංවාද වැඩ සටහනේ සත්කාරකයන් උද්ධෘත කොට දැක්වූයේ අදාළ පුවත්පත් දැන්වීමේ වාක්‍ය පහක් පමණි. ඊළඟට එය පළ කළ සංවිධාන දෙකේ නාමයන් හඳුන්වා දී, අත්සන්කරුවන් 170 ක් අතුරින් පළමු නාමය වශයෙන් පූජ්‍ය දඹර අමිල හිමියන්ගේත්, අවසානයේ සඳහන් නාමය වශයෙන් මහාචාර්ය ආර්. එස්. පෙරිම්බනායගම්ගේත් නම් සඳහන් කර දීමෙන් පසු ඔබ පවසන්නේ මෙවැන්නකි:
“ඕකට අත්සන් කරපු මිනිස්සුන්ගේ මොළේ සෝදිසි කරලා බලන්න ඕනේ… මේකෙන් පේනවා, අංගොඩ ඉන්න ඕනේ කරන මිනිස්සු ඉන්නේ එළියේ විත්තිය.”
මේ ආකාරයෙන්, පුවත්පතක ප්‍රසිද්ධ නිවේදනයක්, එය දැකීමෙන් හෝ කියැවීමකින් පවා තොරව ගර්හාවෙන් ඉවතලීම, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රකාශනයේ නිදහස සඳහා ප්‍රතිඥා දුන් ඇමතිවරයෙකුට තරම් නොවේ. ඊළඟට ඔබ විරෝධය දක්වන්නේ ‘ක්‍රිස්තියානි නමස්කාර ස්ථානවලට’ පහර දීම් සංඛ්‍යාව (නිවේදනයේ සඳහන් පරිදි සියයකට වැඩි සංඛ්‍යාව) ගැන ය. මේ සිදුවීම්වල කාල පරාසය 2015 ජනවාරි දක්වා දිවෙන බව නිවේදනයේ පැහැදිලිව කියැවෙයි. ‘ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සන්ධානය’ විසින් සම්පාදිත සිද්ධීන් පිළිබඳ වාර්තාව මා දැක තිබේ. ඒ සමග සසඳද්දී ඇත්තෙන්ම මෙම නිවේදනයේ සඳහන් සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් අඩු ය.

මෙවැනි දේවල්, ඇමතිවරයෙකු වශයෙන්, විශේෂයෙන් අධිකරණ ඇමතිවරයා වශයෙන් අපක්ෂපාතීව සලකා බලා විමර්ශනය කළ යුතුවා මිස, එම කාරණා මහජන අවධානයට යොමු කරන පිරිස් ඇතුළු එම නිවේදනයමත් ගර්හාවට ලක්කොට බැහැර කළ යුතු නොවේ. ඔබේ චර්යාවෙන් පෙන්නුම් කරන්නේ, ආණ්ඩු පක්ෂයේ වේවා, විපක්ෂයේ වේවා, ඇමතිවරුන් සහ දේශපාලනඥයන් අතර රඟදෙන දේශපාලනික සංස්කෘතියේ තරමයි.

මෙකී නිවේදනය ‘බොරු ප්‍රචාරයක්’ වශයෙන් බැහැර කරන ඔබ, මෙවැනි දේවල්වලට ඉඩ නොදිය යුතු බව කියයි. “රට ගිනි තියන්නේ මේ වගේ මතවාදවලින් නොවේදැ” යි වැඩ සටහන මෙහෙයවන එක් පුද්ගලයෙකු අසන පැනය සමග ඔබ ඉඳුරා එකඟ වෙයි. ප්‍රධාන වැඩ සටහන්කරු මූලික වශයෙන් සිවිල් සමාජ සංවිධාන පිළිබඳ ප්‍රශ්නය මතු කරද්දී ඔහුගේ තර්කය වන්නේ, “සමහර භික්ෂූන් වහන්සේලාට විරුද්ධව ආණ්ඩුව පියවර ගත්තත් මේ වගේ ප්‍රකාශනවලට විරුද්ධව කිසි පියවරක් ගන්නේ නැති” බවයි.

මා දන්නා පරිදි, මා අත්සන් කළ වර්ගයේ ප්‍රකාශනයක් නිකුත් කිරීම අරභයා කිසිවෙකු අත්අඩංගුවට ගැනීමේ හෝ කිසිවෙකුට එරෙහි පියවර ගැනීමේ හෝ සිරිතක් නැත. ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීම සහ ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම හෝ අධිකරණයට අපහාස කිරීම යනු දෙකකි. ඒ සම්බන්ධයෙන් ආචාර්ය දයාන් ජයතිලක වැන්නෙකු වුවද එකඟ වනු ඇත. නිවේදනයක් නිකුත් කිරීම යනු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ අංගයකි. දෙවැන්න වනාහී, සාපරාධී ක්‍රියාවකට තුඩුදිය හැකි කාරණයකි. එහෙත් එම වෙනස කියා දීමට, ජනාධිපති නීතිඥයෙකු ද වන ඔබට හයියක් හෝ අවංකභාවයක් තිබුණේ නැත. ඊට හේතුව, සමහර විට ඔබ සිටින්නේත් එම මතයේම නිසා විය හැකිය. නිවේදනය පිළිබඳ ප්‍රශ්නය මතු කිරීමටත් මත්තෙන්ම ඔබ කෙළේ දිගට හරහට ‘රාජ්‍ය නොවන සංවිධානවලට’ පහර දීමයි. එසේ කිරීම සඳහා පැවති හේතු කවරේදැ යි මට නම් නොවැටහේ. මා කිසි දවසක ශ්‍රී ලංකාවේ කිසි ‘රාජ්‍ය නොවන සංවිධානයක්’ සමග කටයුතු කොට නැත. මා සම්බන්ධ නැතත්, ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයත්’, ‘පුරවැසි බලයත්’ සුජාත සිවිල් සමාජ සංවිධාන වශයෙන් මම සලකමි.

‘රාජ්‍ය නොවන සංවිධාන’ සම්බන්ධයෙන් ඔබට ඇති කෝන්තරය වන්නේ ඒවා විදේශයන්ගෙන් ඩොලර් ලබා ගැනීමයි. එය ඇත්තක් විය හැකිය. එහෙත් එසේ ලබා ගන්නා මුදල්වලට ඔවුන් වගවිය යුතු බව මම දනිමි. නමුත් අපේ දේශපාලනඥයන්ගෙන් බොහොමයක් තර වන්නේ මහජන මුදල්වලින් වන අතර, ඒ මහජන මුදල්වලට සමහරවිට ඔවුහු වංචා කරති. එය බොරු ද?

ඔබේ වගකීම්
බෞද්ධ භික්ෂූන් හෝ නායක හිමිවරුන් අතරේ අදාළ ප්‍රශ්න පිළිබඳව යම් අසන්තෝසයක් හෝ අසහනයක් ඇත්නම්, ඔබ මූලිකව ඊට වගකිව යුතු වන්නේය. වෙනත් ආගම් හෝ ඒවායේ නායකකාරකාදීන් ඊට වගකිව යුතු නැත. අනවබෝධයන් සහ මතභේද කවදත් තිබිය හැකිය. මීට පෙර වෙනත් තැන්වල මා යෝජනා කොට ඇති පරිදි, එම ප්‍රශ්න නිරාකරණය සඳහා අන්තර්-ආගමික සංවාද ඇති විය යුත්තේය. දැනුත් මා යෝජනා කරන්නේ එයමයි.

බුද්ධාගමට සහ පොදුවේ බෞද්ධ භික්ෂූන්ට එරෙහිව සමාජ මාධ්‍ය ජාල තුළ නින්දා අපවාද පළවෙන බව කියැවේ. එවැනි අපවාද ඇතොත් ඒවාට වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණිවිය යුතු බව නිසැකයි. එහෙත් ඒ සඳහා, හුදු විවේචනයන් හෝ හෙළාදැකීම් පමණක් ප්‍රමාණවත් නොවේ. භික්ෂූන් ඇතුළු ඕනෑම ආගමික නායකයෙකු සම්බන්ධයෙන් පළවෙන ප්‍රජාතන්ත්‍රීය විවේචනවලින්, නග්න අපවාද වෙන් කොට හඳුනාගත යුත්තේය. වැදගත් වන්නේ එවැනි විවේචන, නින්දා අපහාස නොවීමයි. විද්‍යුත් සඟරා සහ පුවත්පත් සඳහා අප ලියන ලිපි ලේඛනවලදී අප සියල්ලන්ම පරිස්සම් විය යුතු බව මම අදහමි.

රූපවාහිනී සංවාදය තුළ, නිවේදනයේ අන්තර්ගත සංඛ්‍යාවන්ට වෙනස් සංඛ්‍යාවන් ඔබ ඉදිරිපත් කෙළේය. එවාට අනුව, පසුගිය දෙවසරක කාලය තුළ වාර්ගික සහ ආගමික අංශයෙන් වාර්තා වී ඇත්තේ සිදුවීම් 29ක් පමණි. ඒවා නම්, සිංහල බෞද්ධයන්ට එරෙහි සිදුවීම් 9ක්, මුස්ලිම් භක්තිකයන්ට එරෙහි සිදුවීම් 15ක්, කිතුනුවන්ට එරෙහි සිදුවීම් 4ක් සහ හින්දු බැතිමතුන්ට එරෙහි සිදුවීම් 1ක් වශයෙනි. ඒ අනුව ඔබේ මතය වන්නේ, ඇතැම් ‘පිස්සන්ගේ’ වැරදි වාර්තා හැරුණු කොට, සියල්ල යහතින් පවතින බවයි. මේ ‘පිස්සන්ගෙ ්’ ගොඩට එක් බෞද්ධ භික්ෂුවක් සහ ක්‍රිස්තියානි බිෂොප්වරයෙක් ද ඇතුළත් වෙති.

දත්තවල නිරවද්‍යතාව
ඔබේ කරුණු දැක්වීම තුළ, මුස්ලිම් සහ කිතුනුවන්ට එරෙහි ‘සිදුවීම්’ සැර බාල කොට දැක්වීමට ඔබ වෙහෙසක් ගත් බව පෙනුණි. “මුස්ලිම්වරුන්ට එරෙහි එක් සිද්ධියක් වුණේ ගලක් වීසි කිරීම පමණක්” යැයි එක් අවස්ථාවකදී ඔබ කීවේය. ඔබේ තර්කය සනාථ කිරීම සඳහා ඔබ කතෝලික කාදිනල්වරයෙකු වන මැල්කම් රංජිත් පියතුමා සාක්ෂියට ඉදිරිපත් කෙළේය. නිශ්චිත ගණන්හිලව් පිළිබඳ ව්‍යාකුලත්වයක් තිබීමට බැරිකමක් නැත. ඉහත කී සිවිල් සමාජ ප්‍රකාශනයේ සඳහන් වුණේ දළ ඇස්තමේන්තුවක් පමණි. එසේම කිතුනු ආගමික ස්ථානවලට පහරදීම් සම්බන්ධයෙන් එම ප්‍රකාශනය තුළ කියැවෙන්නේ ‘ක්‍රිස්තියානි නමස්කාර ස්ථාන’ මිස සම්මත අර්ථයේ පල්ලි නොවේ. කෙසේ වෙතත්, ‘ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සන්ධානයේ’ වාර්තාව තුළ 2015 ජනවාරියේ පටන් හටගත් සිදුවීම් 223ක් පිළිබඳ තොරතුරු ඇතුළත් වන අතර, ප්‍රහාර/සිදුවීම් 29ක් වෙනම අනුක්‍රමික අංක ඔස්සේ ඉදිරිපත් කොට ඇත. එය ඔබ ඉදිරිපත් කරන සංඛ්‍යාවට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව දත යුතුය.

ආණ්ඩුව අනුගමනය කළ යුතු වඩාත් සුදුසු පිළිවෙත වන්නේ, 1952 සිට මෙරටේ ස්ථාපිතව පවතින ‘ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සන්ධානය’ සමග මේ ගැන සාකච්ඡා කිරීමයි. මැයි 31 වැනි දා ‘අන්තර්-ආගමික සභාව’ අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි, ‘ආගමික ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා සියලු ආගමික නායකයන් එක වේදිකාවකට පැමිණිය යුතුය.’ එය නිවැරදි ප්‍රතිපත්තියක් බව මගේ විශ්වාසයයි. සිවිල් සමාජ සංවිධානවලට එරෙහිව හෝ ඇතැම් අන්තවාදී ව්‍යාපාර ගැන රට දැනුවත් කිරීම සඳහා පෙරට පැමිණි අයවළුන්ට එරෙහිව හෝ අක්‍රෝෂ පරිභව කොට බැණ වැදීම වෙනුවට ඔබේ වගකීම වන්නේ සෙසු ඇමතිවරුන් ද සමග එක්ව එවැනි අන්තර්-වාර්ගික සංවාදයක් දියත් කිරීමයි.■
ඔබේ හිතෛෂී, දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය.
(පරිවර්තනය,
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)