නිමක් නැති කුණු ප්‍රශ්නය


kunu

රේඛා නිලු‍ක්ෂි හේරත්

කොළඹ කුණු කඳු එකතුවෙද්දී ආණ්ඩුව විකල්පයක් ලෙස කුණු වත්තල මුතුරාජවෙල ආණ්ඩුවේ ඉඩමකට ගෙනයන්නට තීරණය කළත් වත්තල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව මුතුරාජවෙලට කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. මේ වන විට කරදියානටද කුණු ගෙනයන්නේ නැති නිසා කොළඹ කුණු පසුගිය සතියේ ඉවත් කරමින් තිබුණත් නැවත කුණු එකතුකිරීම ගැටලු‍වක් ලෙස මතුවිය හැකිය. කොළඹ කුණු කඳු ගොඩගැසීමේ ඉඩක් තිබෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පෙර රාවය සමඟ අදහස් දක්වමින් බස්නාහිර සහ මහානගර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් ගොඩකිරීම් සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවල සහ කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර පැවසුවේ කොළඹ කුණු වත්තලට ගෙනයමින් පවතින බවත් කුණු ප්‍රශ්නය විසඳෙන බවත්ය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව මේ නිලධාරීන් සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළත් ලිපිය ලියන මොහොත වනවිට එම නිලධාරීන් සම්බන්ධ කරගත නොහැකි විය.

කෙසේවෙතත් ආණ්ඩුව නැවත කුණු අර්බුදයට මුහුණදෙන්නේ කුණු දමන්නට තැනක් නොමැති වීම නිසාය. කොහේට කුණු ගෙනගියත් වත්තල ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරයම ලැබෙයි. දොම්පේ කසල රඳවනය, කරදියාන ඇතුළු ආණ්ඩුවට ඇති සියලු විකල්ප ස්ථානවලට කුණු දැමීම ප්‍රශ්නයකි. නැවත මීතොටමුල්ලට කුණු ගෙනගොස් ඇත්තේත් නැත. ඉතින් ආණ්ඩුවට කුණු සම්බන්ධයෙන් කෙටිකාලීනව ගත හැකි පියවර සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුවක් ගැනීමට සිදුවනු ඇත. ඒ තීන්දුව කුමක් වුණත් ආණ්ඩුවට ජනතා විරෝධයන් මර්දනය කරමින් කොහේට හෝ කුණු ගෙනගොස් දමන්නට සිදුවනු ඇත. එවන් තීන්දුවකට සහාය දැක්වීමට අපට කළ නොහැකිය.

කොළඹ නගරයේ කුණු කළමනාකරණය ගැන උග්‍ර ප්‍රශ්නයක් තිබුණේ බ්ලූමැන්ඩල් කුණු කන්ද තිබුණු කාලයේ සිටමය. බ්ලූමැන්ඩල් කුණුකන්ද නාය යද්දී මීතොටමුල්ලට කුණු දැම්මා මිස කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන විසඳුම් කුණු ප්‍රශ්නයට ගෙනාවේ නැත. අගමැතිවරයා කියන ආකාරයට මෙය රාජපක්ෂලා විසින් ආණ්ඩුවට දුන් ප්‍රශ්නයක් බව ඇත්තය. එහෙත් ආණ්ඩුව බලයට පත්ව මීතොටමුල්ලේ කුණු කන්ද මිනිස් හිස්මතට කඩා වැටෙන තෙක් මේ ආණ්ඩුවත් ඒ ප්‍රශ්නය විසඳාගැනීමට අසමත් විය.

මේ ආණ්ඩුව බලයට එද්දීත් කුණු දරුණු ප්‍රශ්නයක්ව තිබුණි. එහෙත් ඒ සම්බන්ධයෙන් විසඳුම් සෙව්වේ නැත. විවිධ යෝජිත ව්‍යාපෘති ආවත් කිසිවක් ක්‍රියාත්මක වුණේ නැත. අන්තිමේ මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටුණු අතර ඉන්පසුව වත් කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් පුළුල් සැලසුම් ඇතිවුණේ නැත. ඉතින් දැන් ආණ්ඩුවට මිනිසුන්ගේ ඔළු පලා බලෙන් කුණු කොහේ හෝ ගෙනගොස් දමන්නට සිදුවෙද්දී, කුණු ප්‍රශ්නයවත් විසඳාගන්නට බැරි ආණ්ඩුවක්යැයි ලේබල් වදිද්දී අපට කියන්නට ඇත්තේ වැපිරූ දේ නෙලාගන්නා ලෙසයි. එහෙත් මේ අවස්ථාවේදීවත් කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ලෙස කුණු ප්‍රශ්නයට විසඳුම් යෝජනා කොට ඒ විසඳුම් ප්‍රසිද්ධ කොට ඒවා විධිමත්ව ක්‍රියාත්මක කළ යුතුය. කොළඹ කුණුවලට හරියටම කරන්නේ කුමක්දැයි බොහෝදෙනෙකු දන්නේ නැත.

කුණු ප්‍රශ්නය මෙසේ වර්ධනය වීම පුදුමයක් නොවේ. ලංකාව විශාල වශයෙන් කුණු නිෂ්පාදනය කරන රටකි. කුණු පිළිබඳව ආණ්ඩුවට පමණක් නොව කිසිවෙකුට අදහසක් නැත. ජනතාව සිතා සිටින්නේ තමන් පාරේ තබන කුණු කෙසේ හෝ ආණ්ඩුවෙන් ගෙන ගොස් කොහේ හෝ දැමිය යුතු බවයි. එහෙත් තමා සිටින තැනට කුණු ගෙනැවිත් දැමීම තහනම්ය.

කුණු එකතුකිරීමේ වගකීම ඍජුව දරන අය නැතිවීමත් ප්‍රශ්නයකි. කොළඹ කුණු ඉවත් කිරීමේ වගකීම ඇත්තේ කොළඹ නගර සභාවටයි. එවන් ආයතනයක් දැන් ලංකාවේ නැත. ඒ වෙනුවට සිටින්නේ ආණ්ඩුවේ නිලධාරියෙකු වන නාගරික කොමසාරිස්වරයෙකි. නාගරික කොමසාරිස් නගරාධිපති මෙන් වගකීමක් දරන්නෙක් නොවේ. ඔහු රජයේ පඩි ලබන නිලධාරියෙකි. ඒ නිසා කුණු ප්‍රශ්නය කුණුවෙන්නට හැරියාට ඔහුට ප්‍රශ්නයක් නැත. පළාත් පාලන මැතිවරණය කුණු ගොඩක් මෙන් පල්වෙන්නට හැරීම නිසා කොළඹ කුණු ගැන පළමු වගකිවයුත්තා තවම බලයට පත්වී නැත. පෙර කීවාක් මෙන් ආණ්ඩුවට වැපිරූ දේ නෙලාගන්නට සිදුවනු ඇත.

බෝලය පාස් කිරීමද අමාරු නොවේ. එහෙත් එය විසඳුම නොවේ. විහිළුවක් පමණි. ආණ්ඩුවේ කුණු සම්බන්ධයෙන් බලය ඇති බව පෙනෙන එක් අමාත්‍යාංශයක් වන්නේ මෙගාපොලිස් අමාත්‍යාංශය හෙවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශයයි. අනෙක් අමාත්‍යාංශය නාගරික කොමසාරිස්වරුන් සම්බන්ධයෙන් බලය ඇති පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයයි. අනෙක් පැත්තෙන් බස්නාහිර පළාත් සභාවටත් වගකීමක් ඇති බව පෙනෙයි. වගකීම සහ වගවීම එක් කේන්ද්‍රයක නැති තැන සියල්ලෝ බෝල පාස් කරගනිමින් සිටිති. අන්තිමේ ආණ්ඩුව පැත්තේ මේ ගැන ප්‍රශ්න කරන්නට කෙනෙක් නැත. මේ කුණු මෙසේ කුණු වී යෑමේ තත්ත්වය ගැන සතුටුවිය නොහැකි වුණත් ඉන් කුණු ගැන අලු‍තින් හිතන්නට අපට අවස්ථාවක් ලැබී තිබේ. දැන් බලා සිටිය යුත්තේ මේ කුණු ඉවත් කරන්නේ කෙසේද යන්නයි. මේ ප්‍රශ්නය ගැන දිගුකාලීන සහ ඵලදායී පියවර ගන්නට මෙය අවස්ථාවකි.

අගමැතිවරයා කියන්නේ කොළඹ කුණු ගෙන ගොස් දමනවාට විරුද්ධව උසාවි නියෝග ගැනීමෙන් රෝග පැතිරිය හැකි බවයි. එහෙත් වත්තල, කරදියාන ජනතාව කියන්නේ උසාවි නියෝග නොගත්තොත් තමන්ට රෝග ඇතිවිය හැකි බවයි.
එහෙත් ඒ සඳහා පුළුල් මැදිහත්වීමක් අවශ්‍ය වෙයි. ආණ්ඩුව විසින් ගත හැකි කළමනාකරණ මට්ටමේ පියවර මෙන්ම සාමාන්‍ය ජනතාව සමඟ පියවර ගැනීමත් වැදගත්ය. කුණු පිළිබඳව විශාල සමාජ සංවාදයක් ඇති කරගැනීමත් වැදගත්ය. මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් පසුව ආණ්ඩුව විපක්ෂයටත්, ආණ්ඩුවේ පාර්ශ්ව එකිනෙකාටත්, විපක්ෂය ආණ්ඩුවටත් ජනතාව සමස්ත දේශපාලඥයන්ටත් චෝදනා කළා මිස සමාජ සංවාදයක් ඇති කරගත්තේ නැත. කුණු සම්බන්ධයෙන් එකිනෙකා අතර බෙදී යා යුතු වගකීම් අවබෝධ කරගත්තේ නැත.

ආණ්ඩුවට මේ අවුලට දැනට ඇති හොඳම විසඳුම් බස්නාහිර පළාතෙන් ඈත ජනාවාස නොමැති ප්‍රදේශයකට ට්‍රක් රථ හරහා කුණු ගෙනගොස් මාස කිහිපයකට දැමීමයි. වත්තල වැනි ජනාවාස ඇති තවත් පෙදෙසකට කුණු දැමීම තවත් ප්‍රශ්නයකට ආණ්ඩුව යොමු කරවනු ඇත. ඉන්පසුව මධ්‍යකාලීන පියවරක් ලෙස ආණ්ඩුව ආරම්භ කර ඇතැයි කියන කසල කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් දිගුකාලීන වශයෙන් ඒවා ශක්තිමත් කිරීමත් ආණ්ඩුවට කළ හැකිය.■