සහජීවනයට අකුල් හෙළන අන්තවාදී මිථ්‍යාව


pannaraya

පන්නරය

ඉංග්‍රීසි යටත්විජිත යුගයේදී බුද්ධ ශාසනයට සිදුවී තිබෙන විනාශයත්, නිදහසින් පසුව හටගත් තත්ත්වයන් මොනවාද යන්නත් නිරීක්ෂණය කරනු පිණිස මහාචාර්ය ගුණපාල මලලසේකරගේ අධීක්ෂණය යටතේ 1954 අප්‍රේල් 02දා බෞද්ධ තොරතුරු පරීක්ෂණ කොමිෂන් සභාව නම් ආයතනයක්, ලංකාවේ එවකට තිබූ සංඝ සභා හැත්තෑ දෙකේ ආශීර්වාදයද ඇතිව ස්ථාපිත කරනු ලැබීය. රජයේ ආධාර ලබාගෙන, කතෝලික පල්ලිය විසින් කළමනාකරණය කළ පාසල් 2649, සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් 1961දී රජයට පවරා ගත්තේ, ඒවා බුද්ධාගමට තර්ජනයක් බව පවසමින් ඉහත කී බෞද්ධ කොමිෂන් සභාව දිගින් දිගටම විරෝධතා එල්ල කළ නිසාය. සුළු ජාතීන්ගේ හා සුළු ආගම්වලට හානිදායි බලපෑමක් ඇතිකිරීමට හේතුවන නීති සම්පාදනයට ඇති බලය අහිමි කරන ආකාරයට සෝල්බරි ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබූ 29 වගන්තියද, 1972 ව්‍යවස්ථාව හරහා අහෝසි කරනු ලැබුවේද බෞද්ධ කොමිෂන් සභාවේ බලපෑම මතය. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සිංහල රාජ්‍ය භාෂා පනත එහිම කොටසක් බවට පත්කරන ලද අතර බෞද්ධ කොමිෂන් සභාවේ නිර්දේශයට අනුව, රජයේ ප්‍රමුඛ ආගම බුද්ධාගම බවට පත් කෙරෙන වගන්තියක්ද ඊට ඇතුළත් කෙරිණි. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බෞද්ධ නියෝජනය 54%ක් වනවිට කතෝලික හා ක්‍රිස්තියානි නියෝජනය 30%ක් වැනි ඉහළ මට්ටමක පැවතුණි. 1986 වනවිට බෞද්ධ නියෝජනය 74%ක් දක්වා ඉහළ ගියේත් කතෝලික හා ක්‍රිස්තියානි නියෝජනය 8% දක්වා පහත වැටුණේත්, භික්ෂූන්වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ කොමිෂන් සභාවේ බලපෑම ඔස්සේය. ඉහත පැහැදිලි කළ ආකාරයට පල්ලියෙන් පන්සලට එල්ල වන අභියෝගය පහත වැටීමත් සමඟ බෞද්ධ ව්‍යාපාරය තුළ එතෙක් පැවති ක්‍රිස්තියානි විරෝධී සටන්කාමීත්වය පහළ වැටී, එය දෙමළ හා සුළු ජාතික (විශේෂයෙන්ම මුස්ලිම්) විරෝධී ස්වරූපයක් ගනු ලැබීය.

මුස්ලිම් විරෝධය
ඥානසාර හිමි තරම් ත්‍රාඩ සහ අවිචාර මට්ටමට නොවැටුණද, උපත් පාලනයෙන් වැළකී සිටින ලෙස ගංගොඩවිල සෝම හිමියෝද සිංහල බෞද්ධයන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියහ. එසේ නොවෙතොත්, සිංහල බෞද්ධයන් වඳවී සෙසු සුළු ජාතීන් මහ ජාතීන් බවට පත්වනු ඇතැයි උන්වහන්සේ අනතුරු ඇඟවූහ. ඥානසාර හිමි වැනි තුට්ටු දෙකේ ජාතිවාදීහු, ආගම් භේදය හා වර්ගවාදය අවුලනු පිණිස පහත සඳහන් ආකාරයේ මිථ්‍යා මත හතර වටේට පතුරමින් සිටිති. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහනය ඉතා ශීඝ්‍රයෙන් වැඩිවේ. මුස්ලිම් ප්‍රජාව සිය පවුල්වල සාමාජිකයන් වැඩි කිරීමේ ව්‍යායාමයක නිරතව සිටී. මුස්ලිම්වරු උපත් පාලන ක්‍රමවේද අනුගමනය නොකරති. සමස්ත ශ්‍රී ලාංකික ජනගහනයෙහි මුස්ලිම් ප්‍රතිශතය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු ධන කුවේරයෝය. මුස්ලිම් ජාතිකයෙකුට බිරියන් සිව්දෙනෙකු එකවර තබාගත හැකිය. මුස්ලිම්වරුන්ගේ ජනක ශක්තිය ඉහළ මට්ටමක පවතී. ඉස්ලාම් දහම ලොව ශීඝ්‍රයෙන්ම පැතිර යන ආගමයි. ශ්‍රී ලාංකික මුස්ලිම් විද්වතෙකු වන බිස්තාන් බචාට අනුව, ඉහත කී සියල්ල සාවද්‍ය මතවාද වේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 1881 සංගණනයේදී බෞද්ධයන් මිලියන 1.6කට රටේ සිටි මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව 197800කි. එවිට ජනදෙවර්ගය අතර තිබූ සංඛ්‍යාත්මක වෙනස මිලියන 1.5ක් පමණ විය. 2011 සංගණනයට අනුව, බෞද්ධයන්ගේ ගණන මිලියන 14ක් වූ අතර මුස්ලිම් ගහනය මිලියන 1.9ක් සේ පැවතුණි. මිලියන 12.2ක වෙනසක් ජනවර්ග දෙක අතර පැවතුණි. ඒ අනුව පසුගිය අවුරුදු 130ක ජන සංඛ්‍යා ලේඛන දත්තවලට අනුව, මුස්ලිම් ගහනය බෞද්ධයන් ඉක්මවා යනු ඇතැයි පැවසීම පදනම් විරහිත කතාවකි. ප්‍රතිශතයක් ලෙස ගතහොත්, 2011දී ශ්‍රී ලංකාවේ බෞද්ධයන් ගහනය 70.2%ක් වන විට මුස්ලිම්වරුන් සිටියේ 9.7%ක් පමණි. 1930 දශකයේදී මුස්ලිම් පවුලක දරුවන් 05ට වඩා සිටියද, මේ වනවිට එම සංඛ්‍යාව 02-04 වැනි ගණනකට සීමාවී තිබේ. මුස්ලිම්වරුන් උපත් පාලන ක්‍රමවේද භාවිත නොකරනවා යැයි කීම අමූලික බොරුවකි. අනෙක් අතට, අපට එදිනෙදා ජීවිතයේදී හමුවන කිසිදු මුස්ලිම් ජාතිකයෙකු බිරියන් 4ක් සිය නිවසේ රඳවාගෙන සිටිනු අප දැක නැත. සියලු මුස්ලිම්වරුන් ධනවතුන්යැ’යි කීමද සාවද්‍යය. මෙවැනි මතවාද පතුරන අය, බහුතර ජනතාව තුළ ‘ඉස්ලාම්-ෆෝබියාව’ ජනිත කිරීමට උත්සාහ දරති. අයිඑස් හා බොකෝහරාම් වැනි මුස්ලිම් ත්‍රස්තවාදීන් ලොව විවිධ රටවල් තුළ ප්‍රහාර දියත් කරමින් සැහැසිකම් සිදුකරන බව ඇත්තය. එහෙත් ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව එවැනි අන්තවාදීන් සමඟ සංසන්දනය කිරීම ඉතා අසාධාරණය. ටැමිල් නෙට් වැනි වෙබ් අඩවි සහ සිංහල අන්තවාදී පුවත්පත්, කන්තන්කුඩි ප්‍රදේශයේ සන්නද්ධ මුස්ලිම් කණ්ඩායම් 18ක් ක්‍රියාත්මක වන බැව් 2009 ජූනි මාසයේදී වාර්තා කළ ද, මේවා පට්ටපල් බොරු වග පසුව හෙළිදරව් විය.

සහජීවනය
1930 දිනයේ සිට සිංහල ගීත සාහිත්‍යය පෝෂණය කිරීමේලා, මොහමඞ් ගවුස්, ඒ.ආර්.එම්. ඊබ්‍රාහිම්, අහමඞ් මොහිදීන්, මොහිදීන් බෙග්, ලතීෆ් බායි, ටී.එෆ් ලතීෆ්, මොහමඞ් සාලි, හරුන් ලන්ත්‍රා, ඒ.ජේ. කරීම්, ස්ටැන්ලි ඕමාර් වැනි මුස්ලිම් ජාතිකයන් සිදු කළ මෙහෙවර අමරණීය බව අමුතුවෙන් කිවයුතු නැත. එකල අතිශයින් ජනප්‍රිය වූ අශෝකමාලා වැනි සිංහල චිත්‍රපටි ගණනාවක සංගීත අධ්‍යක්ෂවරයා වූ මොහමඞ් ගවුස්, චිත්‍රපටි පසුබිම් ගායකයන් ලෙස මොහිදින් බෙග් හා අමරදේව කරළියට ගෙන ආ වග අප අමතක නොකළ යුතුය. ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන විනාශයට යා නොදී ආරක්ෂා කළයුතු යැයි කියමින් අනගාරික ධර්මපාලතුමා ගෙනගිය මහා සමාජ ව්‍යාපාරයට අනුබල දෙනු වස් ‘ගයාව බේරා රක්ෂා කරව්’ යන ගීතය සංගීතවත් කොට ගායනා කළේ මුස්ලිම් ගායිකාවක වූ නෝනා සුබයිදාය. ‘සිළුමිණ සෑය වඳිමි, රම්‍ය තව්තිසා භවනේ – පතමින සාන්ත අමා සුන්දර සම්පත් නිවනේ’ වැනි (අදටත් ජනප්‍රිය) ගීත ගැයුවේ අහමඞ් මොහිදීන් විසිනි. වත්මනෙහි දක්නට ලැබෙන ‘පැදුරු පාටි’, 1930 දශකයේදී හැඳින්වුණේ ‘සාජ්ජ’ යන නාමයෙනි. එදා බහුතරයක් සිංහල ප්‍රේක්ෂකයන් රැඳි සාජ්ජවල රැව් පිළිරැව් දුන්නේ මුස්ලිම් ගායකයන් විසින් ගැයූ මනරම් ගීතයැයි කීම අතිශයෝක්තියක් නොවේ.

සිංහල ගායකයන්/ගායිකාවන් සඳහා සුභාවිත ගීත 500කට වඩා රචනා කර තිබෙන නිලාර් එන්. කාසිම්, සිංහල-මුස්ලිම් ප්‍රජා සබඳතා සවිමත් කරන සාහිත්‍යමය පාලමක් සේ සැලකිය හැකිය. ඉංග්‍රීසි උගත්, ධනවත් කළු සුද්දන් පිරිසකට සීමාවූ 19 වැනි සියවසේ ශ්‍රී ලාංකික අධ්‍යාපනය, සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන්ට අයත් සාමාන්‍ය ජනයා සඳහා විවර කර දෙනු පිණිස මුස්ලිම් සමාජ සේවකයෙකු වූ නීතිඥ එම්.සී. සිද්දි ලෙබ්බේ විශාල හඬක් නැගීය. වෙළෙඳාමට පමණක් සීමාවී සිටි මුස්ලිම් ප්‍රජාවට, අධ්‍යාපනයේ වටිනාකම පහදා දෙන්නට පෙරට පැමිණි තවත් මුස්ලිම් නායකයෙකු සේ සැලකෙන්නේ අධ්‍යාපනඥයකු වූ ටී.බී. ජයාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයෙකු හා නායකයෙකු වූ ආචාර්ය බදිඋද්දීන් මොහොමඞ්, මුස්ලිම් ප්‍රජාව සිංහල භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරිය යුතු වග දිගින් දිගටම අවධාරණය කළේ එමඟින් රට තුළ සහජීවනය ස්ථාපිත කළ හැකියැයි හෙතෙම දැඩිව විශ්වාස කළ හෙයිනි. අවිධිමත් තත්ත්වයක තිබූ ගුරු පුහුණු විද්‍යාල, විධිමත් හා වෘත්තීය මට්ටමකට ඉහළ නැංවූයේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස ක්‍රියා කළ බදිඋද්දීන් මොහොමඞ්ය.

ඉදිරිගාමී දැක්ම
දෙවන ලෝක සංග්‍රාමයේදී එංගලන්තය ඇතුළු මිත්‍ර හමුදාවලට සිය සහයෝගය ලබාදෙන ලෙස බි්‍රතාන්‍ය නායකයෝ තම යටත්විජිත වූ රටවලින් ඉල්ලා සිටියහ. යුද්ධයෙන් පසුව එම යටත් දේශයන්ට නිදහස පිරිනැමීම ගැන සලකා බැලිය හැකියැයි ඔවුහු එතැනදී අවධාරණය කළහ. ශ්‍රී ලංකාවට නිදහස ලබාදීමට නම්, අපේක්ෂිත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා රටේ ජනගහනයෙන් 75%ක් ඒවාට කැමැත්ත පළ කළ යුතු වග ඉංග්‍රීසි නායකයන්ගේ මතය විය. දෙමළ කොංග්‍රසයේ (එවකට) නායක ධුරය හෙබවූ ජී.ජී. පොන්නම්බලම්, සුළු ජාතීන්ට හා මහ ජාතියට 50%-50% අනුපාතයට අයිතිවාසිකම් ලබාදිය යුතු වග පුන පුනා පැවසූ අවස්ථාවේ, සිංහල මහ ජාතියට වැඩිපුර අයිතීන් හිමිවිය යුතුයැයි ප්‍රසිද්ධියේ කියා සිටියේ ආචාර්ය ටී.බී. ජයා, ශ්‍රීමත් රසික් ෆරීඞ්, ආචාර්ය එම්.සී.එම්. කලීල් සහ ආචාර්ය බදිඋද්දීන් මොහෙමඞ් වැනි මුස්ලිම් නායකයන්ය. රටට හිමිවිය යුතු නිදහස, තම ජාතියේ අයිතීන් වෙනුවෙන් පාවාදීමට මෙකී මුස්ලිම් නායකයෝ අදූරදර්ශී නොවූහ. ලන්ඩන් නගරවාසීන්ගෙන් 59.3%ක් ම සුදු ජාතිකයන් වුවද, 2016 මැයි 09දා පැවති මැතිවරණයෙන් එහි නගරාධිපති ලෙස තේරී පත්වූයේ මුස්ලිම් සුළුතරයට (12.4%) අයත් සාදික් ඛාන්ය. ඇමරිකානු ජනගහනයෙන් 74%ක්ම සුදු ජාතිකයන් වුවද, ඔවුන් දෙවරක්ම සිය ජනපතිවරයා ලෙස තෝරාගත්තේ එරට කළු ජාතික සුළුතරයට (13%) අයත් බැරක් ඔබාමාය. 2017 ජනවාරියේදී ඔහු සිය ධුරයෙන් සමුගන්නා විටත් ඔහුගේ ජනප්‍රියභාවයේ අගය 60% ඉක්මවීය. උගත් හා ශිෂ්ට ජාතීන් තම සුළු ජාතිය අතරින් වුවද සිය නායකයන් තෝරාගන්න පසුබට නොවන බැව් මින් පෙනී යයි. ශ්‍රී ලංකාව ජාතිවාදයෙන් හා ගෝත්‍රවාදයෙන් මුදාගත හැක්කේ, රාජ්‍ය පාලනයට කිසිදු ආගමක් ගාවා නොගැනීමේ ශක්තිය හා පිටකොන්ද සහිත නායකයන් පත්කර ගැනීමෙන් පමණි.■