මචං ජයේ..


machan-jayw

කේ. සංජීව

කැලේ කොලේ අලේ ගැන කංසාමය මතකයක්, අල්කොහොලිය මතකයක් එක්ක දියකරලා ආයෙත් අවුස්සන්න යන්නේ.
පහළ වෙල්ලස්සේ කුමන මහ කැලේ අද්දර හේන් කොටන ඉරිඟු ඕසේට වවන දඩයමේත් යන කවිත් කියන (කවි කිව්වාට බයිලා ආරට) කැලේ මහා එකාට කුණුහබ්බෙන් බනින ඇම්ඩනීය කතාබතා ජයටම වගා කරන, හිතුණොත් බණත් කියන ජයේ ගැන. මතක කැබලි එකට පුරුද්දලා මතක මාලයක් ගොතන්නයි මේ සූජානම.

ඉතිං මේ ජයේ හොයාගෙන ඇතිමලේ (දුටුගැමුණුගේ මලයා සද්ධාතිස්ස කුමාරයා වවාගෙන වවාගෙන එනකොට ‘ඇති මලේ’ කියලා කියනකොට නැගෙනහිර ඇතිමලේට එනකම් අස්සද්දලා තිබුණයි කියනවා නෙ. ඉතිං ඊට පස්සේ මේ ඉසව්වට ඇතිමලේ කියලා කිව්වා.) ඉඳලා කොටියාගලට ගිහිං, කොටියාගලින් කුමන මහා කැලේට බයික් එකක තනි කාණුවක එහෙට මෙහෙට ඇලවෙන්නේ නැතුව අලියාට ගහපු යකඩ අලිවැටට ඇලවෙන්නේත් නැතුව ටැක්ටරේ රෝදේ ගිය පාරේ රේල් පීල්ලේ යනවා වගේ බයික් එකක මාව එක්ක ගියේත් ජයේ කෙනෙක් තමයි. ඒ ජයරත්න. කැලේ මැද දූපතක් හදාගෙන ඒ දූපත කුඹුරක් කරගෙන ඒ කුඹුර නිලට හරවාගෙන ඉන්න මේ ජයේත් පහළ වෙල්ලස්සේ ගොවි රජ්ජුරු කෙනෙක්. මේ කැලේ මැද කුඹුරක් හදනවා කියන්නේ සුවල්පයක්ද? ඊට වැඩියෙන් කුඹුර ඉහලා නිලට හැරෙනකොට වී කරල් සුළඟ එක්ක සිංදු කියනකොට, කවි කතා කියන්න පටන් ගන්නකොට ඒ පුංචි එවුන් රක්සා කරන්න කොච්චර සුම්මක්කරයක් දාන්න ඕනිද? මේ ජයේලා දෙන්නම කට්ට කළු ගැහිලා. ඒ නිරුවතින් රශ්මියම බෙදන අහසත් එක්කයි, වතුර නැතිවුණාම ගල් හිතක් එක්ක ඔහේ කරබාගන්න පොළොවත් එක්කයි සණ්ඩු කරලා කරලා. මෙහෙම යනකොට පළමු ජයේගේ කුඹුරේ නිලට හැරුණු වී ළපැටියෝ චූටි යන්තම් වීදුරුමහින් එළියට පැනපු කිරි දත් තුඩු පෙන්න පෙන්නා හිනාව. අපි ගියා කුඹුර මැද වාඩියට. හතර අතින්ම මහා කැලේ. මහ කැලේට යනකම් තැනි කුඹුර සරසරයෙන් සිංදු කියනවා මේ වාඩියට හොඳට ඇහෙනවා. මේ අපේ කතාකරුවා දෙවැනි ජයේ කුඹුර මැදින් වාඩියට එනවා. කවදාවත් දැකලා නැති මේ මනුස්සයා දත්වහල්ල නටවලා හිනාවෙනවා. ඊළඟට මොකද්දෝ කට කැඩුණු ඇම්ඩනීය කතාවක්.

මුලින්ම
ජයේ මචං අපි බොන්නේ ශාකසාර.. සිම්පල්.. මචං අපිට ඕනි වල් මස්… සුළු දෙයක්.. මෙන්න ඊළඟට වාඩියේ දර කොටේ උඩ නිදාගෙන ඉන්න ශාකසාර කැබලි වෙනවා. ඊළඟට පත්තර පිටුවකට වැටිලා නැලවෙලා සයිස් වෙනවා.. ඇට වගේ දේවල් වෙන්වෙනවා. ඊට සමගාමීව පැත්තක කුරහන් තලප ඉදෙනවා. දඩමසුත් එක්කම. ඇත්තටම පහළ වෙල්ලස්සේ ජාතික කෑම තමයි කුරහන්. මොකද මෙහේ වැස්සෙන් තමයි පොළොව සරු කළේ. ඉතිං වීවලට වගේ මහා වතුර කඳක් කුරහන්වලට ඕනි නැහැ. අනික නියඟෙටත් ඔරොත්තු දෙනවා. අනික මේක ගුඩුස් ගාලා ගිල්ලහම ඇඟ කළුගලක් වගේ ශක්තිමත් වෙනවා. මේ කළු යකඩ බෝල ගිලලා තමයි 1818 සුද්දට දුවන්න දුන්නේ. දැන්නම් කුරහන් පැත්තකට විසිවෙලා. වාණිජ වගාවක් විදිහට බඩඉරිඟු කරළියේ. බඩඉරිඟු මිලත් හොඳයි. වගාවත් ලේසියි. වතුරත් එච්චරම ඕනි නැහැ. ඉතිං මේ ජයේලා දෙන්නම එක කන්නෙකට ලක්ෂ 25ක් විතර ගන්නවා. මං යන දොහේ බඩඉරිඟු කඩෙන කාලේ. හේන් කට්ට අව් රශ්මියත් එක්ක දුඹුරුවන් සිත්තමක් වගේ. සමහර හේන්වල කයියක් දෙකක් බඩඉරිඟු කඩනවා. කඩන්න පටන් ගත්තහම සෝවට හැදිලා තියෙන මේ වගාව හීන්වෙනවා තේරෙන්නේ නැහැ. ඊළඟට ඉතිං තල කුරහන්. සමහර කාලවලට සමහර හේන්වල වට්ටක්කා වගේ අක්කලා තැනින් තැන ඉඳගෙන සිනාසෙනවා. පොළොවත් එක්ක හැප්පිලා කෙඩෙත්තුවෙන් වගේ ඉන්න ජයේලට පණක් එනවා එතකොට. ඊළඟට මහා කැලේ තමන්ගෙන් උදුරලා ගත්ත මේ පොළොව සින්න කරගන්න වලිදාන කාලේ. පුංචි පුංචි ගස් පැටව් හුළඟේ එතිලා ඇවිල්ලා පොළොව අල්ල ගන්නවා. ඊට පස්සේ ඉතිං ආයෙත් වැස්ස හඳ එන්න කලින් හඳට කලින් හඳ ගෙවුණාට පස්සේ ජයෙලා මේ පොළොවත් එක්ක අයෙත් ඔට්ටු වෙනවා. ජයේලගේ බිරින්දන් දරුමල්ලෝ ගෙදරට වෙලා තැවෙනවා. කැලේ මහා එකාගෙන් මේ මිනිස්සු බේරගන්න කියලා සියඹලා දේවාලෙට පඬුරු බඳිනවා. සමහර දොහක දෙයියන්ට මේ දුක අමතක වෙනවා. හේනේ ඔට්ටුවෙන මිනිහෙකුට අලියා ගහනවා. මාරාන්තික වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. සමහරු තමන් අතේ තියෙන කොටන තුවක්කුව අලියාගේ පුකට මානලා ජීවිතේ බේර ගන්නවා. එහෙම දෙයක් වුණානේ, අපි ඉන්න දවසෙත්.
“‍මහත්තුරු දන්නේ නැහැනේ ඊයේ කුඹුරට අලි ආවනේ. මම තුවක්කුවත් අරං ගියා. මා පස්සේ පැන්නුවනේ. මම දිව්වා. වැටුණා. මම හිතුවේ අලියා පෑගුවා කියලා. වෙඩිල්ලක් තිබ්බා. යන්තම් බේරුණා.”‍ මේ පළමු ජයේ පළමු රාත්‍රිය ගෙවුණට පස්සේ උදෑසනක කංසා දුමාරයක කිමිදිලා ඉන්න අපිට කියපු කතාවක්… කංසා මතයක නින්දක අරුමය. අහස කඩා වැටුණත් දන්නේ නැහැ.

“‍ඇයි ඇහුණේ නැද්ද අර නාකි උන්දා කුණුහරුප පෝලිමක් කියනවා. ඒ පැත්ත සම්පූර්ණයෙන්ම විනාශ කරලාලු‍.”‍ මේ අනික් ජයේ. මේ මිනිස්සු අලි එක්ක ඔට්ටුවෙන්නේ ඔන්න ඔහොම. අනික වල් ඌරා. එක හේන් පදාසයක් කියන්නේ අක්කර 20ක් 30ක්. ඉතිං මේ මිනිස්සු එච්චර තුරුළෙන් නෙවෙයි ඉන්නේ. හේන් රකින්නේ. පොඞ්ඩක් ඇහැ පියෙව්වොත් වැඬේම ජෝන්බස්ටර් තමයි. ඒ කොහොම වුණත් මේ මිනිස්සුන්ගෙන් රටට බරක් නැහැ. හම්බකර ගත්තා කෑවා බිව්වා. දරුමල්ලෝ ලොකුවෙනවා දකින එක ඇරෙන්න මේ ජයේලගේ ජීවිතවල වෙන සතුටක් නැහැ. ලෝකයේ දියුණු රටවල් ගත්තොත් ඒ රටවල්වල මේ වගේ ගොවියෝ කියන්නේ මහා ධනවතුන්. ඔවුන්ට සුවිසල් සංස්කෘතික ජීවිතයකුත් තියෙනවා. හැබැයි ලංකාවේ ඒ තත්ත්වය සෑහෙන්න වෙනස්.

කාන්සිය
“‍ඇත්තටම බඩඉරිගු ඇට දාලා මොටයියා උඩට ඉස්සුණාම පස් එක්කාසු කරනවා. ඊළඟට පොහොර ගහනවා. එච්චරයි. සැරින්සැරේ වල් නෙළන්න තියෙනවා. එච්චරයි. ඊළඟට තියෙන්නේ රැයක් දහවල් නැතිව පැල්කොටේ ලැගගෙන රකින්න.”‍
මේ දෙවෙනි ජයේ. ඉතිං ඒ කාලෙට කෑලි කපන කළුවරත් එක්ක එන්නේ කාන්සිය. හාන්සියක් දැම්මයි කියලා කාන්සියට ඒක බෙහෙත නෙවෙයි. ඉතිං රෑට රෑ වුණාම එක්කෝ දඩයමේ යනවා. නැත්තන් උගුලක් අටවනවා. නැත්තම් එෆ්එම් චැනල් එකක් ටියුන් කරගෙන එනව යනවා සිග්නල් එක්ක බලාගෙන ඉන්න පෝන් එකත් ළංකරගෙන සූකිරි බටිල්ලියෙකුට කතා කරනවා. නැත්තන් කංසා මලින් සුවඳවත් වෙලා පෝන් එකෙන් හතරවටේම තනියෙන් ගෙදරට වෙලා හූල්ලන ගැහැනු දරුවන් එක්ක මල් නෙළනවා. හැබැයි ඉතිං මේ මල් නෙලිල්ලේ රඟේ තේරෙන්නේ උදේට පදාස පදාස ඉරිඟු අලියාගේ බඩට ගිහිං තියෙනවා දකිනකොට.
“අපොයි මල් කඩනවා. නැතුව ඇහැරලා ඉන්නේ කොහොමද.. අලියත් එන්නේ හොරා වගේ තමයි. එහෙම වෙලාවක ඒක දැනුණේ නැත්තන් දෙයියන්ගේ පිහිට තමයි.”‍

සිනහ මල් පුදාගන්න ගමන් කංසා මල් දුම් වළලු‍ නැහැය අග සරසාගන්න ගමන් දෙවෙනි ජයේ කතා කරනවා. ඇත්තටම මේ බිම කංසාවලට මාර ගුණයි. මේක අද ලෝකයේ දියුණු රටවල් ගොඩක් නිදහසේ පාවිච්චි කරන්න ඉඩ දීලා තියෙන පසුබිමක වාණිජ වගාවක් විදිහට කරන්න මේ මිනිස්සුන්ට නිදහස දුන්න නම් පහළ වෙල්ලස්සේ තව චුට්ටක් තියෙන දුප්පත්කමටත් තිතක් තියන්න තිබුණා. එක්සත් ජාතීන් වුණත් කියන්නේ මෙවැනි මත් වර්ග කවදාවත් සම්පූර්ණයෙන් ලෝකයෙන් තුරන් කරන්න හදන එක කරන්න බැරි දෙයක් කියලා. ඒ හින්දා ඒක නිසි ප්‍රමිතියකට ගේන එක සහ වදින්න බොන්නේ නැතිව සතුටු වෙන්න ඒක බොන්නේ කොහොමද කියන එක ප්‍රවර්ධනය වැදගත් කියලා තමයි ඔවුන් කියන්නේ.

කැලේට රිංගීම
හේන් කෙරුවාව බැලූ බැල්මට දුෂ්කරයි. හැබැයි හරි ක්‍රමයට හරි ශක්තියකින් පොළොවත් එක්ක ගැටෙන මිනිහෙකුට මේකෙන් වරදින්නේ නැහැ. පහළ වෙල්ලස්සේ මේ බඩ ඉරිඟු කෙරුවාව ඇතුලට නියම ක්‍රමයට වෙළෙඳපොළ හේනට එනව නම් මේ මිනිස්සු මේ ඉන්නවට වැඩියෙන් අද සල්ලිකාරයෝ. බඩ ඉරිඟු මිලදී ගැනීමත් ගොඩක් වෙලාවට ඒකාධිකාරයකට යටවෙලා. බඩ ඉරිඟු බීජ ගන්න ගියත් තත්ත්වේ ඒක. හැබැයි තරගකාරී වෙළෙඳපොළ ක්‍රමයකට මේ මිනිස්සු විවෘත කරනවා නම් ඇත්තටම මේ මිනිස්සු තමයි අද ලංකාවේ සල්ලිකාරයෝ. අනික මේ මිනිස්සු සූරාගෙන කන්න පුරුදු වෙලා ඉන්න ගිනි පොලි ආයතන සහ ඒවා මුදල් පොලියට දෙන ක්‍රමවේදය. මේවා තමයි මේ මිනිස්සුන්ට එතෙර වෙන්න තියෙන බාධාවන්. හැබැයි කිසිම ආණ්ඩුවක් මේවාට අවංකව උත්තර සොයන්න මහන්සිවෙන බවක් පෙනෙන්නේ නැහැ. ඒ හින්දා මේ මිනිස්සුන්ගේ හිත්වල මල් අතු ලියලලා පීදෙන දහිරියේ ගස නිසාම තමයි අද මේ මිනිස්සු සාර්ථක වෙලා තියෙන්නේ. නැත්තන් ආණ්ඩුව කරපු බක්කක් නැහැ. හැබැයි ආණ්ඩුව සමහර වෙලාවට මේ ඉඩම් කැලයට ගන්නවා, ආයෙත් හේන් කරන්න දෙන්නේ නැහැ වගේ තර්ජනයන් දානවා. ඇඟේ ශක්තිය රැකගන්න දඩයමක් කරලා වියළා ගත්තොත් අල්ලලා කුඩු කරනවා.

“ඇත්තටම මහත්තයෝ දැන් ආණ්ඩු මිනිස්සුන්ට වැඩිය සත්තුන්ට ආදරෙයි. සත්තු තමයි රැකගන්න හදන්නේ. අපි අපේ වගාවකට පැනපු අලියෙක් වෙඩි තියලා පැන්නුවොත් මිනිහෙකුට වෙඩි තිබ්බා වගේ තමයි. මේ හේනකට අලියෙක් ආවොත් කන්න දෙන්න කියලා තමයි වනජීවී එක කියන්නේ. එතකොට අපේ ළමයි කොහොමද රැකෙන්නේ කියන එක ආණ්ඩුවට වැදගත් නැහැ. අනික තමයි මේ සෙල්පෝන් චුට්ට බැරිවෙන්න බැහැ කෝල් කරනවා. ඉතිං දැන් දඩයම අඩුයි. හැබැයි මස් කන්නේ නැතුව මේ යකඩ පොළොවේ හැප්පෙන්නත් අමාරුයි. ගෝන මස් කෑල්ලක් නිතරම කන්න ඕනෑ. ඒ අපි පුරුදුවෙලා තියෙන විදිහ. අනික මුවා, ඌරා කොච්චර මේ කැලේ ඉන්නවාද මැරුවාට මම නම් හිතන්නේ නැහැ කිසි හානියක් තියෙයි කියලා.”‍

මේ දෙවෙනි ජයේ කියන කතාව හරිම වැදගත්. මේ මිනිස්සුන්ට මුහුදේ මාළු ලැබෙන්නේ නැහැ. එතකොට මේ විදිහට පොළොවත් එක්ක ගැටිලා යන්ත්‍ර වගේ වැඩ කරන්න ශක්තිය ඕනෑ. ඒකට නිසි ක්‍රමයකට ඇඟට පෝර්ටීන් දෙන්න ඕනෑ. ඉතිං දඩයමක් කරගන්නේ නැතිව කොහොමද?… අන්තිමට අපි ලොකු පන්දම් දෙක තුනක් ඔතාගෙන මහා කැලේට රිංගුවා. ඉර ගල වැටෙන්න ඔන්න මෙන්න. අද හඳ අමාවකයි. ශාක සාර පන්දමට ගිනි තිබ්බාම කැලේ කොනක් නැහැ. යනවා යනවා විතරයි. දැන් ඉතිං මහා කළු සළුවෙන් මුළු කැලේම වැහිලා ගිහිං. ජයේ දිගට දිගේ ජොයින්ට් කරලා හදාගත්ත දිග විදුලි පන්දම ලෑස්ති කරගෙන ආපහු කැලෙන් එළියට එන්න අඩිය ඉස්සර කළා. අපිත් ඉතිං පස්සෙන් වැටෙන්නේ නැතිව කරන්නේ මොකද්ද?… ටික දුරක් යනකොට විදුලි පන්දම්කාරයා අතක් ඉහළට ඔසවලා සන් කළා. මොහොතයි ඩෝන්. ….වටේට වළල්ලක් වගේ යන මූනිස්සම් බරු දෙකක් හදවත් දෙකක් නතර කරලා. තවමත් ඇස්වල් දීප්තිය බොඳවෙලා නැහැ. මම මේ ඇස් අස්සට මගේ ඇස්දෙක එබුවා… මචං ජයේ මීමින්නෝ ජෝඩු ජෝඩු තමයි නිතරම ඉන්නේ නේද? ..ම්ම් සද්දයක් විතරයි උත්තරේ විදිහට එන්නේ..■`