රාවය

අංකල් හෝ සහ කොමියුනිස්ට්වාදයේ සුන්බුන් සොයන වියට්නාමය

අංකල් හෝ සහ කොමියුනිස්ට්වාදයේ සුන්බුන් සොයන වියට්නාමය

 ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

කිරි ගොටුවක හැඩය ගත් හිස් පළඳනාවලින් ආවණය වූ හිස් ඇතිව කඩිසර වෙළෙන්දියෝ එහා මෙහා දිව යති. උර මත රැඳුණු කත්වල බර නොතකමින් ඔවුහු හඬ නගා කෑ ගසමින් ද සිනා සෙමින් ද වීථි හරහා සැරිසරති. නැවුම් පලතුරු, එළවළු, මල් හෝ විවිධ බෙල්ලන් වැනි දෑවලින් ඒ කත් පිරිලාය. තවත් තැනෙක විසිතුරු රටාවෙන් යුතු සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ අතැතිව කෑමොර ගසන වෙළෙන්දියෝය. මේ වියට්නාමයේ අග නුවර වන හැනෝයි නගරයේ දසුනකි.
තැන තැන ලෙළදෙන රත් පැහැ ධජයේ කහ පැහැ තාරකාවකි. රත් පැහැය කොමියුනිස්ට්වාදය වෙනුවෙනි. තාරකාවේ කහ පැහැය වියට්නාම වැසියන්ගේ සමේ පැහැය නියෝජනය කරයි. තාරකාවේ අග්‍රයන් සමාජයේ ප්‍රධාන අංග සේ ඔවුන් සලකන කම්කරුවන්, ගොවියන්, බුද්ධිමතුන්, වෙළද ප්‍රජාව සහ සොල්දාදුවන් වෙනුවෙනි.

“අපේ රට සමාජවාදී රටක් තමයි. ඒත් මෙහේ කිසිම දෙයක් මිනිස්සුන්ට නොමිලේ ලැබෙන්නේ නෑ. ආහාර, ඇඳුම්, බෙහෙත් වගේම අධ්‍යාපනයත් අපේ රටේ නොමිලේ දෙන්නේ නැහැ. අපි ඒ හැම දෙයක්ම ලබා ගන්නේ මහන්සියෙන් මුදල් උපයලායි. දරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන්නත් අනෙක් වියදම් වෙනුවෙනුත් කාන්තාවන්ටත් රැකියා කරන්න වෙනවා. රැකියා නොකර ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ.” ඒ පැහැදිලි කිරීම වියට්නාම් ජාතිකයෙකු වන කෙවින්ගෙනි. වියට්නාමයේ වෙළෙඳාමේ ප්‍රධාන කොටස්කාරියන් ලෙස කාන්තාවන් ක්‍රියා කරන බව කැපී පෙනෙන්නකි. ආපනශාලා, වෙළෙඳසැල්වල ද වෙළෙඳපොළවල ද වියට්නාමයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වන වාරිමාර්ග හරහා සිදුවන වෙළෙඳාමේ ද ප්‍රධාන කොටස්කරුවන් ලෙස ක්‍රියාකරන්නෝ වියට්නාම් කාන්තාවෝය.

තේ පානය
බොහෝ මං මාවත්වල ඇතැම් දෙනා එකට එකතුව පදික වේදිකාවේ පසෙක කුඩා බංකු මත හිඳ සතුටු සාමීචියේ යෙදෙමින් තේ පානයේ හෝ දුම් පානයේ යෙදෙති. ඒ සමහර දුම් උරන උපකරණ විසිතුරු රටාවෙන් සැදුණු බට නලාවකටත් වඩා විශාල උපකරණය. වියට්නාමයේ තේ පානය යනු ජන ජීවිතයේ ජනප්‍රියතම අංගයකි. ඒ අප අතර ජනප්‍රිය බ්ලැක් ටී නොව ග්‍රීන් ටී ය. බ්ලැක් ටීවලට ඔවුහු කැමැත්තක් නොදක්වති. ආහාර ගැනීමේදී පවා වතුර වෙනුවට ඔවුන් ගන්නේ තේ වීදුරුය. වියට්නාමයේ අවන්හලකට ගොඩවැදුණ ද හෝටලයකට ඇතුළු වුවද පළමුවෙන්ම පිළිගන්වන්නේ ද තේ බඳුන්ය. එය අපට හුරුපුරුදු උණු තේ පානය නොව, සිසිල් තේ පානයකි. වියට්නාම ජාතිකයන්ගේ ජීවිතයේ ප්‍රධානම අංගයක් ලෙස මේ තේ පානය කැපී පෙනෙන්නකි. මඳකට සිත ගත තේ පානයෙන් නිවමින් ඔවුහු දිවා රෑ ජීවන අරගලයක යෙදෙති.

ගොවි සොහොන්
කෘෂි කර්මාන්තය ප්‍රධාන ලෙස සිදුවන වියට්නාමයේ කුඹුරු යායවල්, එළවළු වගාවන් සහ සත්ත්ව ගොවිපොළවල් ද සුලබ දසුන්ය. කෝපි, සහල්, කජු ප්‍රධාන වශයෙන් අපනයනය සිදුවේ. විශාල කුඹුරු යායවල් මධ්‍යයේ තැන් තැන්වල විවිධ පරිමාණයෙන් සහ විවිධ හැඩතල සහිතව සැදුණු සොහොන් දක්නට ලැබීම විශේෂිතය. සෑම කුඹුරු යායකම වාගේ විවිධ වර්ණයන්ගෙන් ද හැඩයන්ගෙන් ද සැරසුණු කුඩා නිවාස මෙන් සොහොන් ගැබ්ය.
“ගොවියන් මියගියාට පස්සේ ඒ අය ඔවුන්ගේ කුඹුරුවල මිහිදන් කිරීම මෙහි සිරිතක්. සමහර සොහොන් ඉතා විශාලවත් අලංකාරවත් ඇතැම් ඒවා කුඩාවටත් ඉදිවී තිබෙන්නේ ඒ ඒ ගොවියන්ගේ වත්පොහොසත්කම් මතයි.“ ඒ කෙවින්ය.

හෝ චි මින් සමාධිය
මධ්‍යම හැනෝයිහි පිහිටා ඇති බා දින් චතුරස්‍රයේ තිබෙන හෝ චි මින්ගේ දැවැන්ත සොහොන් ගැබ දෙස් විදෙස් සංචාරකයන්ගේ ගෞරවාදරයට ලක් වන ප්‍රධානතම ස්ථානයකි. 1945 සිට 1955 දක්වා වියට්නාමයේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පළමු අගමැති ලෙසද 1969 දක්වා උතුරු වියට්නාමයේ ජනාධිපති ලෙසද පත්ව සිටි හෝ චි මින් වියට්නාම වැසියන් විසින් වඩා ළෙන්ගතුකමට ඇමතුවේ අන්කල් හෝ නමිනි. ඔහු අදටද වියට්නාම වැසියන්ගේ වීරයාය, ඔහු ජාතියේ පියා ලෙස ඔවුහු සලකති. මිය යන තුරුම වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිය. 1969 දී හදිසි හෘදයාබාධයකින් මිය යන හෝ චි මින්ගේ දේහය අද වන තුරු බෙහෙත් ගල්වා ආරක්ෂා කර ප්‍රදර්ශනය කරනු ලැබෙන්නේ ඔහුගේ අවසන් කැමැත්තට පටහැනිව බව කියැවේ.
ලෙනින් සමාධියේ ආභාසය ලබා ඉදිව ඇති හෝ චි මින් සමාධියේ වියට්නාම ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ ද දැකිය හැකිය.

“ඔහුගේ සිරුර නඩත්තු කරන්න වියට්නාමයට අවුරුද්දකට මිලියන හතක් වැය වෙනවා. ඔහුගේ එම්බාම් කරන ලද සිරුර නරක් නොවී තබා ගන්න අවශ්‍ය තාක්ෂණය අපට නැති නිසා හැම අවුරුද්දකම රුසියානු කණ්ඩායමක් වියට්නාමයට ඇවිත් අදාළ කටයුතු සිදු කරනවා. ඒ සඳහා සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා කාලය වෙන් වන නිසා ඒ කාලය තුළ මෙය ප්‍රදර්ශනය සඳහා විවෘත නැහැ.” ඒ කෙවින්ය.

“රතු නායකයා වියට්නාම ජනයාගේ හදවත් තුළ සදාකාලිකවම ජීවමානයි” දැවැන්ත පුවරුවක වියට්නාම භාෂාවෙන් එම වැකිය ලියැවී තිබේ. හෝ චි මින්ගේ සමාධිය පවතින්නේ දැඩි හමුදා ආරක්ෂාව සහ ගෞවරවය මධ්‍යයේය. දිනපතා එය ප්‍රදර්ශනය ආරම්භ වන්නේ මල් වඩම් සහිතව යුද හමුදාව විසින් දක්වනු ලබන ආචාර සමාචාරවලින් අනතුරුවය. හෝ චි මින් දැකීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් අනුගමනය කළ යුතු ආචාර ධර්ම හා නීති රීති පද්ධතියක් ද ක්‍රියාත්මකය. දණ හිසින් පහළට ආවරණය වන ඇඳුම් ද අත් ආවරණය වන ඇඳුමින් ද ඔවුන් සැරසී සිටිය යුතුය. සමාධියට ඇතුළුවීමට පෙර කැමරා සහ අනෙකුත් බඩුබාහිරාදිය ආරක්ෂක අංශ වෙත තබා යා යුතුය. හෝ චි මින්ගේ සමාධිය තුළ හෝ ඔහුගේ දේහයේ ඡායා රූ ගැනීම සපුරාම තහනම්ය. අත් සාක්කු තුළ රඳවා හෝ අත් එකට බැඳ යෑමට අවසර නැත. පේළි සැදී සමාධිය තුළට පිවිසෙද්දී කිසිදු හඬක් නොනැගී ගමන් කිරීම අනිවාර්යය. අතිවිශාල ගොඩනැගිල්ලක් වන එහි මධ්‍යයේ වීදුරු කුටියක් තුළ වියට්නාම වැසියන්ගේ වීරයා සැතපී සිටී. ඉතා දැඩි නිහඬතාව මැද රතු පැහැ මඳ ආලෝකයේ කළු පැහැ වතින් සැරසී සැතපී සිටින ඔහුගේ දසුනෙනුත් ගෞවරවාන්විතව සීරුවෙන් සිටින යුද හමුදා භටයන්ගේ දසුනෙනුත් සිතට නැගෙන්නේ වියට්නාමයේ කොමියුනිස්ට් නායකයා මිය ගොස් ඇත්තේ අද ඊයේ මෙනි. ඔහුගේ හිසට ඉහළින් බිත්තිය මත කොමියුනිස්ට් පක්ෂ ලාංඡනය රඳවා තිබේ.

බා දින් චතුරස්‍රයේ හෝ චි මින් ජීවමාන යුගයේ ජීවත් වූ ඉතා සරල නිවස සහ ඔහු භාවිත කළ අල්ප මෙවලම් ද රථ වාහන ද ප්‍රදර්ශනය සඳහා සංරක්ෂණය වී තිබේ. හෝ චි මින් තම ජනාධිපති නිල නිවස තමාට සංකීර්ණ බව පවසමින් ඉන් ඉවත්ව සරල දිවි පෙවෙතක් ගත කළ අයුරු ද සොබා දහමට ළැදිව කටයුතු කළ බව ද ඒ භූමිය මොනවට කියාපාන්නකි. වියට්නාමයේ පෙරපාසල් දරුවන් රැසක් ද හෝ චි මින් සමාධිය නැරඹීමට පැමිණ සිටියේ රතු පැහැ ඇඳුමෙන් සැරසීගෙනය. ■