රාවය

දෙවියන්ගේ නගරයේ කලාව

දෙවියන්ගේ නගරයේ කලාව

රේඛා නිලු‍ක්ෂි හේරත්

කොළ පැහැගත් පුංචි කාමරය හඳුන්වන්නේ බංකර් යන නමින්. දහඅට වියැති ලූකස් ඩොස් සැන්ටොස් ඩා කෘස් සහ ඔහුගේ මිතුරන් ඉන්නේ සංගීතයේ රිද්මය සොයමින්. තව ටික කාලයකින් ඔවුන් නිදහස් රැප් තරගයකට මුහුණදෙනවා. ඒ රියෝ ද ජැනයිරෝහි මුඩුක්කු නිවාසවලින් පිරි උප නගර අතරින් වඩා දරුණුම සහ හිංසනයෙන් පිරි උපනගරය වන ‘සිටි ඔෆ් ගෝඞ්ස්’වල. රැප් කලාව තමයි ඔවුන් තමන්ගේ සිත් තුළ තියෙන වේදනාව පිටකරන්නේ. දිනපතා නගරයේදී අත්දකින හිංසනයෙන් පිරි ජීවිතය ඔවුන්ව කෝපයෙන් සහ වේදනාවෙන් පුරවනවා.
‘අවදානම අතින් ගත්තාම සිටි ඔෆ් ගෝඞ්ස් කියන්නෙ පුංචි සිරියාව වගෙයි.’ කෘස් එසේ කියනවා. ඔවුන් එයට විරෝධය දක්වනවා. අපි සූදානම් වෙන්නේ ඇමරිකාව හරහා බ්‍රසීලයේ සිටි ඔෆ් ගෝඞ්ස් වෙත ගමන් කරන්නයි.

ගෙටෝ
‘දෙව්ලොවෙත් ගෙටෝවක් ඇති.’ ඝාතනය කරන ලද ශ්‍රේෂ්ඨ රැප් ගායක ‘ටුපාක්’ තමන්ගේ රැප් ගීතයක එහෙම ලියනවා. ගෙටෝ කියන්නේ ඇමරිකාවේ ඇති නාගරික දිළිඳු කළු ජාතිකයන් සිටින උපනගරවලටයි. අපේ භාෂාවෙන් මුඩුක්කු හෝ වතු ලෙසින් ගෙටෝ හඳුන්වන්න පුළුවන්. බ්‍රසීලයේ නම් මුඩුක්කු හඳුන්වන්නේ ෆැවෙලා යන නමින්.
ගෙටෝවක් උපදින්නේ සමාජ අසාධාරණය නිසායි. ඇමරිකාවේ වහල්බවින් නිදහස් වුණු කළු ජාතිකයන්ට ඇමෙරිකානු සමාජයේ ඉහළට යන්නට සුදු ජාතිකයන්ට ලැබෙන අවස්ථාවට සමාන අවස්ථාවක් ලැබුණේ නැහැ. එවන් පසුබිමක කළු ජාතිකයන් විශාල පිරිසක් නගර ආශ්‍රිතව සංවර්ධනයෙන් බැහැර කෙරුණු පිරිසක් ලෙස ජීවත්වෙන්නට පටන් ගත්තා. කළු ජාතිකයන් විසූ උපනගරවල දිළිඳුකම පැතිරෙද්දී දිළිඳුකමෙන් මිදෙන්නට මාර්ග ලෙස අපරාධ පැමිණියා. කුඩු වෙළෙඳාම පැමිණෙන්නේ දුප්පත් මානසිකත්වයෙන් මිදෙන මඟක් හැටියට. ආයුධ පැමිණෙන්නට පටන් ගැනීමත්, අපරාධ පැමිණීමත් කුඩු සහ අපරාධ මෙහෙයවන දැවැන්ත ව්‍යාපාරිකයන් නීතිය අන්ධ කිරීමත් සිදුවෙද්දී සමාජ අසාධාරණය පැතිරෙන්නට පටන් ගත්තා. නීතිය ආරක්ෂා කළයුතු පොලීසිය කළු ජාතිකයන් දුටු තැන පහර දෙන්නට හුරුවෙද්දී කළු ජාතිකයන්ට එරෙහි පොලිස් හිංසනය දරුණුම හිංසනය බවට පත්වුණා. පොලිසිය කළු ජාතිකයන්ගේ වෛරය බවට පත්වුණා.

ගෙටෝ අතරේ ජනප්‍රියම කලා මාදිලිය වී තිබුණේ රැප් සංගීතය. විසිවෙන ශතවර්ෂය ඇරඹෙන්නේ ඇමරිකානු කළු ජාතිකයන්ගේ රැ ප් සංගීතය විශාල විප්ලවයක් කිරීමෙන් පසුව. ජනප්‍රිය සංගීතයේ විශාල ඉඩක් රැප් සංගීතය වෙන්කර ගැනීමෙන් පසුව. කළු ජාතිකයන් විඳි හිංසනය රැප් සංගීතයෙන් පිටකිරීමේ සංස්කෘතියක් ඇරඹීමෙන් පසුව. ටුපාක් කීවේ පොලීසියට වෙඩි තියන්නට තමන්ට ඕනෑ බවයි. එහෙත් තුවක්කුවකින් පොලීසියට වෙඩි තබනවා වෙනුවට වචනවලින් එය කළ හැකි බවයි ඔහු විශ්වාස කළේ. අපරාධ ගැන රැප් කිරීම අපරාධවලට එරෙහි අලු‍ත් සංස්කෘතියක් නිර්මාණය කළා. ඊසි -ඊ, ඩොක්ටර් ඩ්‍රේ, අයිස් කියුබ්, නොතෝරියස් බීඅයිජී, එමිනම්, නාස්, ටුපාක්, ස්නූප් ඩොග්, ඉමෝටල් ටෙක්නීක් වැනි ලෝ ප්‍රසිද්ධ රැ ප් ගායකයන් ගෙටෝවල වසන පීඩිතයන්ට අලු‍ත් සිහින පෙන්වූවා. අලු‍ත් කලා ලොවක් පෙන්වූවා. ඔවුන්ගේ ගීවල පද ඇතුළේ ගැඹුරු දේශපාලනයක් තිබුණා. රැප් සංගීතය හිංසනයට එරෙහි විප්ලවයක් කළා.

ෆැවෙලා
රියෝ ද ජැනරයිරෝ නගරය ප්‍රමුඛව බ්‍රසීලයේ ඇති මුඩුක්කු හෙවත් ෆැවෙලා ජනප්‍රිය සංස්කෘතියේ අපට නිතර හමුවෙනවා. හල්ක් චිත්‍රපට මාලාවේ, ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් ඇතුළු ජනප්‍රිය සිනමාවේ ෆැවෙලා දකින්නට ලැබෙනවා. ‘දේ ඩෝන්ට් කෙයා අබවුට් අස්’ නම් මයිකල් ජැක්සන්ගේ ලොව ප්‍රසිද්ධ ගීත වීඩියෝවේ පසුබිම වෙන්නේ ෆැවෙලාහි වසන මිනිසුන්. ෆැවෙලාවක් ලංකාවේ මෙන් නිවාස කිහිපයක් තියෙන ප්‍රදේශයක් නෙවෙයි. ඒවා විශාල උපනගර ලෙසින් පැතිර තියෙනවා. ෆැවෙලාවක ඇතුළට යන්නට යන්නට ක්‍රමයෙන් රටේ නීතිය බලපාන්නේ නැහැ. ෆැවෙලාවක බලය ඇත්තේ එය පාලනය කරන පාතාල කණ්ඩායම්වලටයි. බ්‍රසීලයේ විශාල වශයෙන් මෙවන් උපනගර තියෙනවා. මෑතකාලීනව හඳුනාගෙන ඇත්තේ බ්‍රසීල ජනගහනයෙන් සීයට හයක් මෙවන් නගරවල ජීවත්වෙන බවයි. සංවර්ධනයෙන් බැහැරවුණු ජනතාව හෙවත් දිළිඳු ජනතාව මෙවන් ෆැවෙලාවල වෙසෙනවා. විශාල කර්මාන්ත ශාලාවල දිළිඳු කම්කරුවන් වෙසෙන ෆැවෙලා අතරේ කුඩු ව්‍යාපාර, ආයුධ ව්‍යාපාර වේගයෙන් ගලායනවා. ඒ මැද්දේ ලොව දරුණුම හිංසනයක් ෆැවෙලා මැද්දේ පැතිරෙනවා. පොලීසියටත් ඉහළින් මෙවන් දිළිඳු මිනිසුන් වෙත හිංසනය සහ මත්ද්‍රව්‍ය ගෙනැවිත් ඒවායින් ලාභ ලබන ධනවත් අපරාධකරුවන් ඉන්නවා. ඒ අපරාධකරුවන් බ්‍රසීල රාජ්‍යය තරම්ම බලවත්. ඒ නිසා ක්‍රිස්ට් ද රිඩීමර් පිළිමයටත් වඩා අනාගතය ගැන සහතිකයක් ෆැවෙලා නගරවලට තියෙනවා. ඒ කියන්නේ මේවා ඉවත්කොට දිළිඳු ජනතාවට විමුක්තිය ළඟා කරදෙන ක්‍රමයක් පෙනෙන තෙක් මානයක නෑ.

නගර මැද්දේ නූතන ෆැවෙලා බිහිවෙන්නේ නවසිය හැටගණන්වලින් පසුව බව කියනවා. එහෙත් ඊට පෙර සංවර්ධනයෙන් බැහැර කෙරුණු මිනිසුන් නගරයෙන් පිට ග්‍රාමීය උපනගරවල ජීවත්වී තියෙනවා. එහෙත් කල් යද්දී ග්‍රාමීය ප්‍රදේශ අත්හරිමින් ඔවුන් නගර වෙත පැමිණ තියෙනවා.

දෙවියන්ගේ නගරය
‘සිටි ඔෆ් ගෝඞ්ස්’ නමින් හඳුන්වන ‘සිඩාඬේ ඩෙ ඩියුස්’ ෆැවෙලා නගරය ඇතිවෙන්නේ හැට ගණන්වලදී බ්‍රසීලයේ සිටි ඒකාධිපති පාලකයෙක් වන කාර්ලොස් ලාසෙර්ඩාගේ තීරණයක් සමඟ. රියෝ නගර මධ්‍යයේ තිබුණු ෆැවෙලා ඉවත් කරමින් නිවාස ව්‍යාපෘතියක් ඔහු විසින් දියත් කර තිබුණා. ඒ නිවාස ව්‍යාපෘතිවලට යෙදූ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීමත් ඒවායේ වාසය කරන්නන් හිංසනයෙන් ගලවාගන්නට ක්‍රමයක් නොවීමත් නිසා අලු‍තින් තැනුණු නිවාස ව්‍යාපෘති හිංසනයෙන් පිරි තවත් මුඩුක්කු නගර බවට පත්වුණා. සිටි ඔෆ් ගෝඞ්ස් ගැන බොහෝ දෙනා දන්නවා විය යුතුයි. 2002දී නිර්මාණය වී ඔස්කාර් සම්මාන දිනූ ‘සිටි ඔෆ් ගෝඞ්ස්’ නමින්ම යුතු චිත්‍රපටිය බ්‍රසීලයේ මේ මුඩුක්කු නගරය තේමා කොටගෙන නිර්මාණය වූවක්. ‘සිටි ඔෆ් ගෝඞ්ස්’ මෙතෙක් බලා නැති කෙනෙක් ඉන්නවා නම් ඔහු ඉක්මනින් එය නැරඹිය යුතුමයි.
පහුගිය අවුරුද්දේ ඔලිම්පික් පැවති ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණය ‘සිටි ඔෆ් ගෝඞ්ස්’ සිට මයිල කිහිපයක් දුරිනුයි තිබුණේ.

කලාවෙන් විමුක්තිය
වේදනාව සහ පීඩනයෙන් මිදෙන්නට ෆැවෙලාවාසීන් උත්සාහ කරනවා. එහෙත් දිනපතා ඔවුන් දකින යථාර්ථයට දිය හැකි කෙටි නාමය ‘හිංසනය’. හිංසනයට එරෙහිවෙන්නට කලාව පාවිච්චි කළ හැකියි. මේ වෙද්දී ෆැවෙලාවල හිංසනයට එරෙහිවන්නන් විවිධ කලාවන් වෙත යොමුවෙමින් සිටිනවා.
රියෝහි ෆැවෙලාස් අතරේ හිංසනය අවම කරන්නට උදව් වන ආකාරය ගැන වාර්තා කරන්නට ‘ඇසෝසියේටඞ් ප්‍රෙස්’ මාධ්‍යවේදීන් කණ්ඩායමක් දින අටක් ‘සිටි ඔෆ් ගෝඞ්ස්’හි කල් මැරීමෙන් පසුව ලිපියක් පළ කර තිබුණේ ජුනි මාසයේයි. ප්‍රථමයෙන් කෘස් හැඳින්වූ විදියට, පුංචි සිරියාව අපට යන්නට නොහැකි හෙයින් ඇසෝසියේටඞ් ප්‍රෙස් කණ්ඩායම අපට ‘සිටි ඔෆ් ගෝඞ්ස්’ වැසියන් කලාවෙන් විමුක්තිය සොයන අයුරු කියනවා.

බොහෝ නව යොවුන් තරුණයන් රැප් තරග සමඟ එක්වෙන්නේ හිංසනය නිසා සිත් තුළ පිරෙන පීඩනය පිට කරගන්නට. තවත් අය සංගීත භාණ්ඩ වාදනය කරන්න ඉගෙන ගන්නවා. ඊට අමතරව නැටුම් ඉගෙන ගන්නත් ඇතැමුන් පෙළඹෙනවා. බ්‍රසීලයේ සටන් සහ නැටුම් මිශ්‍රිත කලාවක් වන කැපේරියා කවවලට තවත් ෆැවෙලාවාසීන් පෙළඹෙනවා.
තවත් අය කලා නිර්මාණ කරමින් සහ විවිධ සමාජසේවා කරන්නේ වඩා පීඩිත මුඩුක්කුවාසීන්ට සහාය දෙන්නට. සිටි ඔෆ් ගෝඞ්ස්හි ඇති ප්‍රජා මධ්‍යස්ථානවල සිටින ක්‍රියාකාරිකයන්ට මාස ගණනකින් වැටුප් ලැබී නැතත් ඔවුන් වැටුප් නැතිවම ආහාර පිස නොමිලේ සැපයීම වැනි කටයුතුවල යෙදෙනවා. ප්‍රජා මධ්‍යස්ථාන රජයෙන් පාලනය කරනවා. එහෙත් බොහෝ රජයේ ආයතනවල මෙන් මේවායේත් පරිපාලනය ඉතා දුර්වලයි. රජයට ෆැවෙලාවල සිටින දිළින්දන් ගැන සිතනවාට වඩා වැදගත් වැඩ තියෙනවා විය හැකියි. පෙර උපුටපු මයිකල් ජැක්සන්ගේ ගීතයෙන් ඔහු කීවා මෙන් “ඔවුන් අපව තකන්නේ නෑ.” ඉසබෙල් මායා දස හැවිරිදි තරුණියක්. ඇය බියට පත්ව තිබුණේ සිය මව සහ දෙහැවිරිදි නැගෙණිය වෙඩි හුවමාරුවකට මැදිවීම නිසා. ඇගේ හිත ඇතුළේ ඇති බිය මකාගන්නට ඇය දැන් වයලීන් වාදනය හුරුවෙමින් සිටිනවා. “සංගීතය මාව නිවාලනවා.” ඉසබෙල් මායා කියන්නේ එහෙම. ඇය බියෙන් පැන විශ්වාසය වෙත දිවයන්නේ සංගීතය පාවිච්චි කරමින්. මේ වෙද්දී ඇය පාසලෙන් පසුව ගෙදර වැඩ නිමකොට දිවයන්නේ වයලීන් ඉගෙන ගන්නට. වයලීන් පන්තියට.

රොබ්සන් ලියිස් මෙන්ඩොන්කා 46 වියැත්තෙක්. ෆැවෙලාවක ජීවිතය සමීපතමයන් උදුරාගන්නේ කෙසේද කියා ඔහු හොඳින් දැන හිටියා. ඔහුගේ විසිහතර හැවිරිදි ආදරණීය පුතු පහුගි ය ජනවාරියේ මියගියේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා පෙණහලුවල ඇතිවූ ආබාධයක් නිසා. “සිටි ඔෆ් ගෝඞ්ස්හි වසන්නන් ඉවසීම් රහිත අය. එයාලා අනන්‍යතාව ලබාගන්න හදිස්සියි. හැමදේටම හදිස්සියි. ඒත් ආණ්ඩුව මොනවත් කරන්නෙ නෑ.” මෙන්ඩොන්කා එහෙම කියනවා. මෙන්ඩොන්කා මේ වන විට රැප් තරගකරුවෙක්. නේබර්හුඞ් එක හෙවත් ප්‍රදේශවාසීන් ඔහුව දන්නේ එම්.සී. මින්ගෝ යන නමින්. ඔහු රැප් ගායකයෙක් පමණක් නෙවෙයි. හොඳ බ්‍රේක්ඩාන්ස් නර්තන ශිල්පියෙක්.

තරුණයන් පමණක් නොවෙයි. වියපත් අය පවා හිංසනයෙන් මිදෙන්නට කලාව මාවතක් කරගෙන. අසූහතර හැවිරිදි ඇනායිද් ඩොස් සැන්ටොස් මුනිස් මේ වෙද්දී ගායනය, චිත්‍ර ඇඳීම සහ කවි ලිවීම හරහා පීඩනයෙන් මිදෙන්නට උත්සාහ කරන්නියක්. ඇය වෙඩි ප්‍රහාරයකට මැදිවීමෙන් එක් අතකට වෙඩි උණ්ඩ දෙකක් දරාගෙන සිටින්නියක්. ඇය සිටි ඔෆ් ගෝඞ්ස් වෙත පැමිණි පළමු පවුල් අතරින් කෙනෙක්. නවසිය හැට ගණන්වල ඔවුන් මේ ෆැවෙලාව වෙත පැමිණ තියෙනවා. ‘මම මඬේ ඉඳලයි ආවේ. වේදනාවේ ඉඳලයි ආවේ.’ ඇය කියනවා.

හිංසනයට එරෙහි කලාව හිංසනයෙන් තොර විය යුතු නැහැ. බහුතරයක් රැප් ගීවල වැඩි වශයෙන් අපරාධ, කුඩු, ආයුධ ගැන කියනවා. හිංසනයට එරෙහි කලාව කලාකාරයාගේ ස්වභාවය අනුව විවිධාකාර විය හැකියි. කෙනෙක් හිංසනයෙන් තොර සෞම්‍ය කලාකෘතියකුත් තවත් කෙනෙක් හිංසනයෙන් පිරි රෞද්‍ර කලාකෘතියකුත් නිර්මාණය කළ හැකියි. කුඩු ඇබ්බැහියට වඩා කලාවට ඇබ්බැහි වීම යහපත්. බ්‍රසීලයේ මුඩුක්කු නගර හඬනඟා කියනවා.■