රාවය

වයලීනය මගේ ජීවිතයයි |ඩීඩී ගුණසේන

වයලීනය මගේ ජීවිතයයි |ඩීඩී ගුණසේන

සුලෝචන වික්‍රමසිංහ

වයලීනය හා ඔබ අතර ඇත්තේ ඉතා දිගු ඉතිහාසයක්..
ඔව්. වසර හැටක පමණ ඉතිහාසයක්. මම යමක් තේරෙන කාලේ ඉඳලාම වයලීනය අතපත ගෑ කෙනෙක්. ඒ දවස්වල අපේ ගෙදර වයලීන, සර්පිනා, ඩොලැක්ක, මැන්ඩලීන් වැනි වාදන භාණ්ඩ කිහිපයක් තිබුණා. මගේ වැඩිමහලු සොහොයුරන්ට ඒවා වයන්න හැකියාවත් තිබුණා. ඒ දවස්වල ටවර් ශිල්පීන් ඇවිල්ලා අපේ ගෙදර නවතිනවා. එහෙම නැවතුණ දවස්වලට අපේ ගෙදර එකම රස ගුලාවක්. ඒ අය අපේ තාත්තාට රාග උගන්වනවා. ඒවා පොඩි කාලේ ඉඳන්ම මට ඇහුණු නිසා සංගීතයේ මූලික හැඩතල ඉබේම මට හුරුවුණා. මම කරන්නේ මට කනට ඇහුණ ඒ නාදමාලා වයලීනයෙන් වාදනය කිරීමයි. ඒ ඇරුණුකොට වෙන කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ. ගෙදර රේඩියෝ එක කැඩිලා තියෙන දවස්වලට අල්ලපු ගෙදර ගිහින් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන හින්දි ගීත අහලා මම කොහොම හරි වාදනය කරනවා. ඒ නිසා වයලීනයයි මගේ ජීවිතයයි කියන්නේ දෙකක් නොවේ එකක්.
එහෙත් මෙහෙම තැනකට එන්න ඕනෑ කියලා හිතාගෙන වාදනය කළා නෙමෙයි. ඒ හැම දෙයක්ම කළේ මගේ ආසාවට. අපේ පවුලේ සියලුදෙනාම වගේ සංගීත පිස්සෝ. ඒ පිස්සුව හරි මාර්ගයට හැරවූයේ අපේ විiාලයේ හිටපු සංගීත ආචාර්යවරයා වුණු එල්.කේ.ජේ. වික්‍රමසිංහ ගුරුතුමායි. ඒගායන ශිල්පී ජගත් වික්‍රමසිංහගේ තාත්තා. එතුමා විiාලයට වාදන භාණ්ඩ ගෙනාවාට පස්සේ මට ඕනෑ වුණේ සිතාරය ගහන්න. ගෙදර වයලීනයක් තියෙන නිසා ඒකට එච්චර ආසාවක් තිබුණේ නැහැ. එහෙත් සිතාරය ගහන්න අත උඩට පහළට ගෙනියන්න තරම්වත් වයසක මම හිටියේ නැහැ. ඒ නිසා ගුරුතුමා කිව්වා මට වයලීනය ගහන්න කියලා. එතැන තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්‍ෂ්‍යය. එය කොච්චර ප්‍රගුණ කළා ද කියනවා නම් හින්දි ගීතවල එන බටනලා වාi කොටස් පවා වයලීනයෙන් වාදනය කරන්න මට හුරුවක් ඇතිවුණා. ඊට පස්සේ ඩග්ලස් ෆර්ඩිනැන්ඞ්ස් මහත්තයාගෙන් බටහිර සංගීතය ඉගෙනගත්තා. ගුවන් විදුලියට බැඳුණාට පස්සේ සී.ද.එස්. කුලතිලක මහත්තයාගෙන් ජනසංගීතය ඉගෙනගත්තා. කර්ණාටක සංගීතය අමරදේව දුන් පොතක් ඇසුරෙන් තනියම ඉගෙනගත්තා. එහෙම ටිකෙන් ටික බොහොම කැපවීමකින් ඉහළට ඇවිල්ලා අවසානයේ සෑම සංගීතඥයකුටම නැතිවම බැරි වයලීන වාදකයකු බවට පත්වුණා.

ගුවන් විදුලිය සමඟ සම්බන්ධ වීම ඔබගේ තවත් එක් සන්ධිස්ථානයක්.
මම ගුවන්විදුලියට සම්බන්ධවෙන්නේ 1971දී. එතකොට සභාපති සුසිල් මුණසිංහ මහත්තයා. මාව ගුවන් විදුලියට රෙකමදාරු කරන්නේ. ෂෙල්ටන් පෙරේරා මහත්තයා. ඒ පත්වීම ලැබෙන්නේ ගුවන් විදුලි සංස්ථා වාදක මණ්ඩලයේ අනියම් වාදකයෙකු හැටියට. ඒ කාලේ සෝමදාස ඇල්විටිගල මහත්තයාත් හිටියා. ඔහුගේ ‘සිනිඳු සුදු මුතු තලාවේ’ ගීතය මම වයලීනයෙන් වාදනය කරලා පෙන්නුාම ඔහු කිව්වා වාදක මණ්ඩලයට තවත් රොක්සාමි කෙනෙක් ඇවිත් කියලා. රොක්සාමි මාස්ටර් තමයි ඒ දවස්වල ලංකාවේ අංක එකේ වයලීන වාදකයා.

කේමදාසයන් හමුවීමත් ඔබගේ ගමනට තවත් වර්ණයක් එක්කළා.
කේමදාස මාස්ටර් මගෙන් හොඳට වැඩ ගත්තා. මමත් ඔහුගේ හැඟීම්වලට අවශ්‍ය වාදනය ඔහුට ලබා දුන්නා. අපි බොහෝ දෙනෙක් සංගීතයේ ගැඹුර අවබෝධ කරගත්තේ කේමදාස මාස්ටර්ගෙන්. ඔහු තමයි එක තැන තිබුණ සංගීත සම්ප්‍රදාය විවෘත කරලා එය පුළුල් ලෙස ජනතාව අතරට ගෙන ගියේ.

ඔබ ගායකයකු වුණේත් ඒ යුගයේයි.
මම ගායකයෙක්ද කියලා කියන්න මං දන්නේ නැහැ. එහෙත් ‘සොඳුර මට සමු දෙන්න’ ගීතය සමඟ මාව ඉබේටම ගායකයෙකු වුණා. එයත් කේමදාසයන් යටතේ වීම සුවිශේෂයි. ඒ කාලේ තිබුණා ‘ප්‍රබුද්ධ ගී’ කියලා වැඩසටහනක්. ඒක සංගීතවත් කරන්න කේමදාසයන් එනවා. එහෙත් ස්ථිර වාදක ශිල්පීන් කේමදාසයන් සමඟ යම් යම් ප්‍රශ්න ඇති කරගෙන ඒ සඳහා සහභාගි නොවන තත්ත්වයක් තිබුණා. ඒ නිසා අනියම් වාදන ශිල්පීන් වශයෙන් අපිට තමයි ඔහු සමඟ වැඩ කරන්න වුණේ. ඒ දවස්වල මමයි ආනන්ද වීරසේකරයි, එඞ්ගා පෙරේරායි මාස්ටර්ගේ සිංදුවල කෝරස්වලට සම්බන්ධවෙලා හිටියේ. ඒ නිසා මට ටිකක් සිංදු කියන්න පුළුවන් කියලා ඔහු දැනගෙන හිටියා. ඔය ගීතය කියන්න හිටපු ශිල්පියා ආවේ නැති නිසා මාස්ටර් මට කිව්වා, ගුණසේන කියන්න කියලා. මමත් කිව්වා. කිව්වාට ඒක වාදනය වෙලා තිබුණේ නැහැ. ඔය කාලේම තමයි මම විවාහ වුණේ. මම පෝරුවට නගින වෙලාවටම හරියටම ඔය ගීතය ගුවන් විදුලියෙන් වාදනය කරන්න කියලා මාස්ටර් කියලා තිබුණා. පළමු වරට ඒ ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණේ මම පෝරුවට නගිද්දීම තමයි. ඒක තවම කොච්චර ජනප්‍රියද කියනවා නම් මම වෙනත් ගායන ප්‍රසංගවලට වාදකයෙක් වශයෙන් සහභාගි වුණු අවස්ථාවලදී සංවිධායකයෝ මගෙන් ඔය ගීතය ගයන්න කියලා ඉල්ලනවා. මම ගායකයෙක් නොවුණත් තාම මගේ හඬ කොච්චර ජනප්‍රියද කියලා මට දැනෙන සන්තෝසය කියලා නිමකරන්න බැහැ. එවැනි දේ තමයි අපිව ජීවත් කරවන්නේ. ගීතය ලියූ සමන් චන්‍ද්‍රනාත් වීරසිංහවත් මේ වෙලාව මතක් කරන්න ඕනෑ.

ඔබේ හැකියාවෙන් ප්‍රයෝජනය නොගත් කිසිදු සංගීත අධ්‍යක්‍ෂකවරයෙක් ලංකාවේ නැහැ.
එහි සත්‍යයක් තියෙනවා. එහෙත් මම දැන් ඔස්ටේ්‍රලියාවේ ඉන්න නිසා මගේ සේවය ලබාගන්න අපහසු වෙලා තියෙනවා. කොහොම වුණත් ආර්.ඒ. චන්‍ද්‍රසේන, රොක්සාමි, මුත්තුසාමි, ටීඑෆ් ලතිෆ්, මොහොමඞ් සාලි, ෂෙල්ටන් ප්‍රේමරත්න, ලයනල් අල්ගම, සෝමදාස ඇල්විටිගල, අමරදේව, වික්ටර්, සනත්, නන්දා මාලනි, සරත් දසනායක, ඇතුළු සෑහෙන සංගීතඥයන් ප්‍රමාණයක් සමඟ මම වැඩ කරලා තියෙනවා. නම් ලැයිස්තුව ලියන්න ගියොත් පත්තර පිටුවක් මදිවෙයි. රෝහණ වීරසිංහ ගී තනු හදලා තියෙන ප්‍රමාණය ගණන් කළහොත් එහි 98% කම වයලීනය වාදනය කරලා තියෙන්නේ මමයි.

ඔබ වයලීනයෙන් දායකවුණු එදා ගීතය හා අද ඇසෙන ගීතය පිළිබඳ ඔබට ඇත්තේ කුමන අදහසක්ද?
ලතා, සුජාතා, ඇන්ජලින් කියන්නේ අපේ ගී රැජිනියෝ. නන්දා මාලිනි නියන්නේ අපේ දේශීයත්වය විශිෂ්ට ලෙස සිය කටහඬින් පෝෂණය කළ කෙනෙක්. මොහිදින් බෙග්, ජෝතිපාල, ධර්මදාස වල්පොල, හරූන් ලන්ත්‍රා, මිල්ටන් පෙරේරා මොන තරම් රසවත් ගීත ගායනා කළාද. අමරදේව, වික්ටර්, සනත්, අපේ ගීත කලාව කොපමණ රසවත් තැනකට අරගෙන ගියාද. මා මේ සඳහන් කළේ මේ මොහොතේ මගේ මතකයට නැගෙන නම් කිහිපයක් පමණයි. ඉහත ගායක ගායිකාවන් අතරමැද්දේ තවත් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් හැම කෙනෙකුටම තමන්ගේ කියලා අනන්‍යතාවක් තිබුණා. එහෙත් අද එහෙම අනන්‍යතාවක් දක්නට ලැබෙන්නේ නැහැ. හැම ගීතයම එක වාගෙයි. හැම හඬක්ම එක වාගෙයි. ඒ නිසා මම දැන් ගීත අහන්නේ නැහැ. පරණ මතකය තුළ ඉන්න එක තාම මිහිරියි. ජෝති, ලතා, මිල්ටන් පෙරේරා, ඇන්ජලින් සුජාතා වගේ ශිල්පීන් ඒ දවස්වල හින්දි තනු සිංහලෙන් ගායනා කළේ ඔවුනට තමන්ගේ ස්වතන්ත්‍ර ගායනා කරන්න බැරිකමට නෙමෙයි. ඔවුන් හැම දෙනාටම තමන්ගේ කියලා ඉතා රසවත් නිර්මාණ තියෙනවා. එහෙත් අද බොහෝ දෙනෙකුට තමන්ගේ කියලා නිර්මාණ නැහැ. තියෙන බහුතරයක් රසවත් බවින් හීනයි. ගොඩක් වෙලාවට තියෙන්නේ අඳෝනා. ඒ දවස්වල අපි ගීතයකට වාදනයෙන් සහාය වුණේ ඒ ගීතය විඳින ගමන්මයි. එහෙත් අද එහෙම විඳින්න පුළුවන් ගීත නැහැ.
ඒ වගේම තමයි ඒ කාලේ ජනප්‍රිය සංගීතයට සමගාමීව ප්‍රබුද්ධ ගීතයත් ගොඩනැඟුණා. මම ඒ වර්ගීකරණයන් දෙක ඇතුළේම වයලීනය වාදනය කළා. ඒ නිසා ඒ කොටස් දෙකම අපිට රස විඳින්න පුළුවන් වුණා. එහෙත් අද එහෙම තත්ත්වයක් ගීත කලාව තුළ නැහැ. ඉස්සර ගුවන් විදුලි සංස්ථාව හරහා කොපමණ රසවත් ගීත සාහිත්‍යයක් බිහිවුණාද, අද ඒ එකක් වත් නැහැ. එදා ඇහුණු චිත්‍රපට ගීත කොපමණ රසවත්ද, අද එහෙම එකක්වත් ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධව මට තියෙන්නේ කලකිරීමක්, අද බොහෝ දෙනෙක් කේමදාසයන් කොපිකරන තත්ත්වයකුත් තියෙනවා. එහෙත් ඒක ඔවුනට කරන්න බැහැ. කේමදාස මාස්ටර් ගාව මම වයලීන් ගැහුවා කියලා මට මාස්ටර් වෙන්න බැහැ. බස්වල වාදනය කරන ගීත හරහා කරන්නේ විශාල විනාශයක්. නරක දේවල් හැම තිස්සේම ඇහෙනකොට මිනිසුන්ගේ කන ඒකට හුරුවෙනවා. ඉන් පස්සේ ඔවුන් සොයාගෙන යන්නේ බස් සංගීතය මිසක් විඳින්න පුළුවන් සංගීතය නෙමෙයි. බලධාරීන් කැමැතියි කසඩ සංගීතයට. මොකද එකෙන් මත්වෙලා නටනකොට රටේ ප්‍රශ්න අමතක වෙලා යනවා. හොඳ සංගීතයක් අහන්න අහන්න මිනිස්සුන්ගේ විඥානය පුළුල් වෙනවා. නිවැරදිව හිතන්න පටන් ගන්නවා. ඒක දේශපාලනඥයන්ට පාඩුයි. ඒ නිසා මේ තත්ත්වේ දිගටම පවතියි.

ඔබ වඩා ප්‍රියකරනුයේ වයලීනයෙන් හින්දි තනුවක් වාදනය කිරීමටද, සිංහල තනුවක් වාදනය කිරීමටද?
ඇත්තම කියනවා නම් හින්දි තනුවක් වයලීනයෙන් වාදනය කරනකොට දැනෙන මිහිර වැඩියි. රාගයක් ආශ්‍රිතව සිංහල තනුවක් නිර්මාණය වුණත් එම රාගයේ හැඩතල බොහෝ දුරට අඩුවෙලා අපේ දේශීය ලක්‍ෂණ එයට ඇතුළු වෙනවා. ඒ නිසා එහි මිහිර ටිකක් අඩුයි. මේකෙන් මම අදහස් කරන්නේ අපේ නිර්මාණවල දේශීය ලක්‍ෂණ තියෙන්න ඕනෑ නැහැ කියලා නෙමෙයි. අනිවාර්යෙන්ම අපේ සංස්කෘතික අනන්‍යතාව අපේ සංගීත නිර්මාණ තුළින්ද ඉදිරිපත් විය යුතුයි. එහෙත් හින්දි තනුවක මිහිර වැඩියි. ඒ වුණත් අමරදේවයන්ගේ ‘ඈත කඳුකර හිමව් අරණේ’, වික්ටර් රත්නායකගේ ‘අපි ඈතට ඈතට පා නගලා’, සනත් නන්දසිරිගේ ‘මාහද අසපුව’ වැනි ගීත වයලීනයෙන් වාදනය කරනකොට දැනෙන මිහිර අප්‍රමාණයි.

ඔබ සංගීතයෙහි දේශජ ලක්‍ෂණ පිළිබඳ විශ්වාසය තබන්නෙක්….
ඔව්. එහෙම නැත්නම් අපේ අනන්‍යතාව ගොඩනගා ගන්න හැකියාවක් නැහැ. අපිට එක පාරට සුද්දෝ වෙන්න බැහැ. එම්එස් ප්‍රනාන්දු බයිලා කිව්වත් ඒකේ අපේ ගතියක් තිබුණා. ඒ නිසා තමයි අනික් බයිලා ගායකයෝ අතර එම්එස් සුවිශේෂි වෙන්නේ. අපි අපේ අනන්‍යතාව වෙනුවෙන් සංගීතය තුළ පෙනීසිටිය යුතුයි. කේමදාසයන් එය පැහැදිලිව අවබෝධ කරගත් සංගීතඥයෙක්. ඔහුගේ සිම්පනිවල එම ලක්‍ෂණ පැහැදිලිව පෙනෙන්න තියෙනවා. සිම්පනි කියන්නේ බටහිර ආකෘතියක්. ඒ නිසා එහි ඒ ආකෘතිය ආරක්‍ෂා විය යුතුයි. කේමදාස මාස්ටර් පිස්සුවට බටහිර සංගීත ආකෘතිය අරගෙන නැහැ. ඒ ආකෘතිය ඇතුළේ තියෙන්නේ අපේ මූලයන්. ඒ සිම්පනි ඇතුළේ ජනකවි තියෙනවා. ජනනාද මාලා තියෙනවා. ඒ නිසා එවැනි දෙයක් බටහිර රටක මිනිස්සුන්ට ඇහෙනකොට එය අපේ ලක්‍ෂණයක් ලෙස ඔවුන් හඳුනාගනිවී. සිම්පනි එකක් අපි රස විඳින කොට අපි එයට අපේ අර්ථකථනයක් දෙනවා. එහෙම නැතුව සංගීතඥයා වාදනය කරන හැම දෙයක්ම අපිට තේරෙන්නේ නැහැ. එවැනි අර්ථකථනයක් දීම සඳහා අපේ දෙයක් එක ඇතුළේ තිබිය යුතුයි. එවිට තමයි සංගීතය විශ්ව භාෂාවක් වෙන්නේ. එහෙම නැතුව බටහිර දේවල් ගෙඩි පිටින් අරගෙන නිර්මාණ කරලා ඒවා විශ්වීය තත්ත්වයට පත්කරන්න බැහැ. ඒක අපට වඩා හොඳට ඒගොල්ලෝ කරනවා.

අනික සංගීතය විශ්ව භාෂාවක් නම් අපේ දේවල්ද එහාට යා යුතුයි. එහෙම නැතුව එය එක පැත්තකට විතරක් ගමන් කරන දෙයක් නොවිය යුතුයි. එහෙත් අද වෙන්නේ එහෙන් මෙහාට ආවත් මෙහෙන් එහාට යන්නේ නැති එකයි. එහෙම යන්න නම් ඔවුනට නැති යමක් අපි ගාව තිබිය යුතුයි. ඒ වාගේම තමයි බොහෝ රටවල තියෙන සංගීත අනන්‍යතා නැති කිරීමේ ක්‍රියාමාර්ගයන් ද අද ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් ලෙස ඉන්දියානු සුපර්ස්ටාර් තරගය ගන්න. එතැනදී එන්න එන්න උත්තර භාරතීය සංගීතය පැත්තකට ගිහිල්ලා ආටෝප සංගීතයක් ඉස්මතු වෙනවා. එහෙත් ඉන්දියානු සංගීතය ආගම හා සංස්කෘතිය සමඟ දැඩිව බැඳිලා තියෙන නිසා ඒක කඩාබිඳ දමන්න එච්චර ලෙහෙසි නැහැ. එහෙත් යම් උත්සාහයන් තියෙනවා. රහුමාන්ට චිත්‍රපට සංගීතය සඳහා ඇකඩමි සම්මානය දීමත් එහිම තවත් වේශයක් බව මට හැඟෙනවා.■