රාවය

ගැහැනු ලෝකය පිරිමි නිර්මාණකරුවන්ට අහුවෙන්නේ නෑ |ලංකා බණ්ඩාරනායක

ගැහැනු ලෝකය පිරිමි නිර්මාණකරුවන්ට අහුවෙන්නේ නෑ |ලංකා බණ්ඩාරනායක

තරිඳු උඩුවරගෙදර

ලංකා බණ්ඩාරනායකගේ ‘සම්ප්‍රදාය’ කෙටි චිත්‍රපටිය ඇමෙරිකාව, ඔස්ටි්‍රයාව, ඉන්දියාව සහ ප්‍රංශයේ කෑන්ස් කෝනර්
ඇතුළු ලෝකයේ විවිධ සම්මාන උළෙල නියෝජනය කළ අතර ‘කෑන්ස් කෝනර්’ නියෝජනය කළ ලංකාවේ පළමු
අධ්‍යක්ෂිකාව ලංකා බණ්ඩාරනායකය. වියානා වීඅයිඑස් උළෙල නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකික නිර්මාණය ‘සම්ප්‍රදාය’
කෙටි චිත්‍රපටියයි. අන්තර්ජාතික වශයෙන් ජයග්‍රහණ රැසක් ලබාගත් මෙම චිත්‍රපටිය පසුගිය සතියේ ඉන්දියාවේදී
තිරගත විය.

සම්ප්‍රදාය කෙටි චිත්‍රපටියේ තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ලංකා බණ්ඩාරනායක විසිනි. එහි රංගනයෙන්
අයිරාංගනී සේරසිංහ, කැලු ම් ගම්ලත් නිරූපණය කරන අතර සමීර ලක්මාල්, අරුණෝද් විජේසිංහ, නිලන්ත දහනා යක, කලණ ජයනාත්, අංජන ප්‍රේමනාත්, රජීව් ආනන්ද දායක වන අතර විශ්වජිත් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරයි. සංගීතය සුමුදු ගුරුගේ විසිනි. රුවන් මලිත් පීරිස් සහාය අධ්‍යක්ෂණයෙන්නිර්මාණයට දායක විය. රංගන සේනානායක කලාඅධ්‍යක්ෂණයෙන් දායක වෙයි.

‘සම්ප්‍රදාය’  චිත්‍රපටියෙන් කතාබහ කරන මාතෘකාව මොකක්ද?
ෆිල්ම් එකේ කතා කරන්නේ ගැහැනු පිරිමි අතර සම්බන්ධකම්වලදී තියෙන විසංවාදය ගැනයි. ගැහැනු අය සහ පිරිමි අය සමාජය දිහා බලන විදිය එකිනෙකට වෙනස්. ඒකෙ තියෙන විසංවාදය සහ ලංකාවෙ විවාහ චාරිත්‍රවල තියෙන නොගැළපීම ගැන කතා කරන්න මම උත්සාහ කරනවා. උදාහරණයක් විදියට කිව්වොත් මනාලියකගේ ආභරණවල සාම්ප්‍රදායික අදහස් ටිකක් තියෙනවා. ඒකෙන් සමාජයට දෙන්න හදන මතවාදය සහ විවාහ ජීවිතෙන් අපි බලාපොරොත්තු වන දේවල් එකිනෙකට පරස්පරයි.

‘සම්ප්‍රදාය’ කතා කරන මාතෘකාවට ඔබ පිවිසුණේ කොහොමද?
මුලින්ම මට අදහස ආවේ මගේ නංගි කෙනෙකුගේ විවාහයකදී. එදා පවුලේ වැඩිමහල් කෙනෙක් මනාලියගෙන් සමුගනිද්දී කීවේ විවාහ ඇඳුම් පැළඳුම්වලින් සංකේතවත් කරන්නේ මොනවාද කියන එක. මනාලියට අන්දවන්නේ පතිවතට අධිපති දෙවඟන පත්තිනි දේවියගේ ඇඳුම් පැළඳුම් කියලායි කියන්නේ. ඒ කතාව අහද්දී මට තේරුණේ, දැන් මේ කියන්නේ ඒ ඇඳුම්වලින් සංකේතවත් වෙන්නේ මේ විවාහක කාන්තාව ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යනවා කියන එකයි. එහෙම නැත්නම් සැමියාගේ වහලියක් වෙනවා කියන එකයි. විවාහයේදී කාන්තාවට අන්දන ඇඳුමෙන් පවා අවිඥානිකව බලකරනවා ජීවිතාන්තය දක්වා සිරගත වෙන්න. කාන්තාවගේ මිසක් පිරිමියාගේ පතිවෘතාවට අධිපති දෙවියෙක් නෑනේ. මේ අවුල ගැනයි මම කතා කරන්නේ. කාන්තාවක් පොඩි කාලේ ඉඳලා හිරගත ජීවිතේට ලෑස්ති කරනවා. කොච්චර සූදානම් කරනවාද කිව්වොත් තරුණ වයසට එද්දී අපට තේරෙන්නේ නැහැ අපි සිරගත වෙන්නයි යන්නේ කියලා. අපි හිතනවා මේක තමයි ජීවිතය කියලා. මේ කාරණා ටික මම මගේ විදියට පෙන්වනවා. එතැනින් එහාට ඒ ගැන කතා කිරීම ප්‍රේක්ෂකයාට මම බාර කරනවා. මේ අවුලට තම තමන්ගේ විසඳුමක් හොයාගන්න කියලා මම යෝජනා කරනවා.

වේදිකා නාට්‍ය කලාව සමඟ අප හඳුනාගත්ත තරුණියක වන ලංකා බණ්ඩාරනායක එක්වරම සිනමාවට ආවේ කොහොමද? රාජ්‍ය නාට්‍ය උළෙලේදී දුටු ඔබ අන්තර්ජාතික සිනමා උළෙලවලදී දකින්නේ කොහොමද?
ඒක අහම්බයක්. මම කලින් වේදිකා නාට්‍යයක් කළා ‘පුංචි ජනේලය’ කියලා. ඒකට රාජ්‍ය නාට්‍ය උළෙලේ සහ වෙනත් නාට්‍ය උළෙලවල සම්මාන හම්බවුණා. හැබැයි මට හිතෙනවා ඒක ඒ තරම් වේදිකාවට ගැළපෙන්නේ නැහැ කියලා. මම හොයාගෙන තිබුණේ නැහැ මගේ මාධ්‍යය මොකක්ද කියලා. මම නිර්මාණ ලිව්වේ වේදිකාව වෙනුවෙන්. ඊට පස්සේත් මම ලිව්වා. ලියපුවා දැකලා තමයි සුමුදු ගුරුගේ මගෙන් ඇහුවේ මේක චිත්‍රපටියක් විදියට නොකරන්නේ ඇයි කියලා. ඒ වෙද්දී මට බයක් තිබුණා සිනමාව ගැන වැඩිපුර දන්නේ නැති පසුබිමක චිත්‍රපටියක් කරන්න. ඒත් අභියෝග ගොඩක් මැද්දෙ මම වැඬේ කළා.

ඔබේ බියට ඔබ කාන්තාවක් වීම කියන එක හේතුවුණාද?
ඔව්. කාන්තාවක් විදියට මේ වැඬේ කරන එක ලොකු අභියෝගයක්. විශේෂයෙන් මට බලන්න ඕනෑ වුණේ කාන්තා දෘෂ්ටියකින්. මුලින් මම හිතුවා තාක්ෂණික කණ්ඩායමට කාන්තාවන්ම පාවිච්චි කරන්න. විශේෂයෙන් කැමරාකරණය කාන්තාවකට බාරදෙන්න දැඩිව හිතාගෙන හිටියේ. මම දන්නා කාන්තා කැමරා අධ්‍යක්ෂවරියක් මුණගැහුණා උදව් ඉල්ලලා. ඇය මාව මඟහැරියා. මේ වැඬේට කැමති වෘත්තීය කාන්තාවන් හමුවුණේ නැති නිසා මට සිද්ධවුණා පිරිමි අයත් එක්ක වැඩ කරන්න. එයාලා මගේ වැඬේ දකින්නේ පිරිමි ඇහැකින්. සමහර තැන්වලදී එයාලාට මම කරන්න හදන දේ තේරුණේ නැහැ. ඒ වෙලාවට ඔවුන් තර්ක කළා මා එක්ක. සමහර කොටස් එයාලා කළේ ‘හරි, ඔයා කියනවා නම් අපි කරන්නම්’ කියන තැන ඉඳන්. මට කාන්තා දෘෂ්ටියෙන් සමහර දේවල් ෂූට් කරන්න ඕනෑ වුණා. ඒකෙදී විශ්ව මට කැමරාව දුන්නා ඔයා මේ ටික ෂූට් කරන්න කියලා. මම සිනමාවේ රාමු ගැන එතරම් දැනගෙන නොහිටියත් දන්නා විදියට කළා. ගෑනු අය එක්ක වැඬේ කළා නම් එයාට තේරෙනවා මම කියන්නේ මොකක්ද කියන එක. හැබැයි අපේ රටේ ගොඩක් වෙලාවට නිර්මාණ කරන්නේ පිරිමි. කාන්තාවන් ගැන කතාකරන නිර්මාණ පවා කරන්නේ පිරිමි. ගැහැනු ලෝකය පිරිමි නිර්මාණකරුවෙකුට අහුවෙන්නේ නැහැ. ඒ නිර්මාණවලින්ම ඒක පෙනෙනවා. එයාලා කියන එක නෙවෙයි ගැහැනු ලෝකය.

ස්ත්‍රීවාදයේදී ස්ත්‍රීන් මුලින්ම චෝදනාව එල්ල කරන්නේ පිරිමින්ට. ඔබ හිතන විදියට ගැහැනිය හිරකරන්නේ පිරිමියාද? ගැහැනිය වේදනා විඳින්නේ පිරිමියා නිසාද?
ඒක ඊට වඩා සංකීර්ණ තැනක තියෙන්නේ. පිරිමි තමයි මේක මෙහෙයවන්නේ. පුරුෂාධිපත්‍යය කියන ව්‍යුහය එක්ක ලොකු කාලයක් තිස්සේ සමාජය ඇවිල්ලා තියෙනවා. ඒක සමාජයේ කොටසක් වෙලා තියෙනවා. ඉතින් ගැහැනු අය පවා අපි මෙහෙම පීඩාවට පත්වෙන්න ඕනෑ කියන සීමාව හදාගෙන ඉන්නවා. සමහර වෙලාවට අපි ඒ සීමා ඇතුළේ කොච්චර හිරවෙලාද කියනවා නම් අපි දන්නේත් නැහැ අපි හිරවෙලා කියලා. මේ සීමාවන්ට යට නොවී එක් කාන්තාවක් නිදහස භුක්ති විඳිනවා දකිනකොට මුලින්ම ඒකට එරෙහිවෙන්නේ තව කාන්තාවක්. ඉඳහිට කාන්තාවක් තව කෙනෙක් නිදහස භුක්ති විඳින හැටි දැකලා ඒ වගේ වෙන්න හිතනවා. හැබැයි ගොඩක් ගැහැනු බලන්නේ අර නිදහස් කාන්තාව හිරකරන්න. ගොඩක් ගැහැනුන් නිදහසට වෛර කරනවා. සමහර ගැහැනු බෞද්ධ දර්ශනය එක්ක හිතනවා මේ ආත්මේ දුක් විඳලා ඊළඟ ආත්මයේදීවත් සැප විඳින්න. කරුමෙ නිසා මේ දුක් විඳිනවා කියලා ඔවුන් හිතනවා. හැබැයි ඊළඟ ආත්මයක් නැත්නම් මේ දුක්විඳීමෙන් කිසි පලක් නෑ. මම හිතන්නේ ඊළඟ ආත්මයක් නැහැ කියලා. මම අහන්නේ, ඊළඟ ආත්මයක් නැතොත් ඇතැයි දුක් විඳලා පලය කිම?

ගැහැනියගේ නිදහසට සීමාවක් තියෙන්න ඕනෑ කියලා සමහරු හිතනවා නේද?
කවුරුත් කාටවත් සීමා මායිම් දාගන්න ඕනෑ නෑ. සීමා ඕනෑ කෙනෙක් ඉන්නවා නම් එයා සීමා ඇතුළේ හිටියාට කමක් නෑ. ඒත් තව කෙනෙකුව සීමා කරන්න එයාට අයිතියක් නැහැ. අපි ඉන්න විදියට මුළු ලෝකයම හැසිරෙන්න ඕනෑ නැහැනේ. කෙනෙකුට කැමති විදියට ජීවත්වෙන්න පුළුවන්. කෙනෙකුගේ නිදහස තව කෙනෙකුගේ නිදහස නැති කරන්නේ නැති තාක් කල් කිසි ප්‍රශ්නයක් නෑ. කෙනෙක් බෞද්ධ දර්ශනය පිළිගන්නවා වෙන්න පුළුවන්. ඔහු අනෙක් අයට බෞද්ධ දර්ශනය පිළිගන්න කියලා බල කරන්න ඕනෑ නෑ. ඒ වගේම කෙනෙක් නිරාගමික වෙන්න පුළුවන්. එයා තව කාටවත් නිරාගමික වෙන්න කියලා බල කරන්න ඕනෑත් නෑ. එක් කාන්තාවක් තමන්ගේ නිදහසට සීමා දාගන්නවා, තව කෙනෙක් අසීමිත නිදහසක් භුක්ති විඳිනවා. ඒ දෙවිදියටම ජීවත්වෙන්න නිදහස් අයිතියක් කාන්තාවට තියෙනවා.‍ හැබැයි කෙනෙක් හිරගත වෙලා ඉන්නවා නම් ඒක පෙන්වන්න අපට අයිතියක් තියෙනවා. වගකීමක් තියෙනවා. ජීවිත කාලයක් ඇතුළේ සිරගත වෙන්න අවශ්‍ය මානසිකත්වය හැදිලා, තමන් සිරගත වෙලා ඉන්න බව නොදන්න කෙනෙකුට ඒ බව පෙන්වන්නයි අපි උත්සාහ කරන්නේ. හිරේ ඉන්නවාද, නිදහස් වෙනවාද කියලා තීරණය කිරීමේ නිදහස ඔවුන් සතුයි.

අවුරුදු විස්සකට ආසන්න කාලයක් වේදිකා නාට්‍යවල වැඩ කළ ඔබට, ඔබ ගැහැනියක් නිසා සීමා ඇවිත් තියෙනවාද? ඒ අත්දැකීම් නිර්මාණයට ආවේ කොහොමද?
ආ තරමක් සීමා ආවේ ගැහැනියක් නිසා තමයි. මම ඒවා චිත්‍රපටියටත් ගෙනාවා. අපි නව යොවුන් කාලේ අපි සුන්දර සිහින දකිනවානේ. හැම ගැහැනියටම ඉල්ලන දේ ළඟට ගෙනෙන සිහින කුමාරයෙක් ඉන්නවා. එයා අපට ඉල්ලන ඕනෑ දෙයක් දෙන්න පොරොන්දු වෙනවා. හැබැයි ඇත්ත ජීවිතයේදී ඒ සිහින කුමාරයාව මුණගැහෙන්නේ නැහැ. මට හම්බවුණු පිරිමි සහ ගැහැනු බොහෝ දෙනෙක් මම කවුද කියලා හොයාගන්න උදව් කරනවාට වඩා මාව කොටු කරන්නයි උත්සාහ ගත්තේ. මම සම්බන්ධතා ගොඩක් අත්හැරලා තියෙනවා නිදහස නැති හින්දා. පෙම්වතුන් අපට ගොඩක් දේවල් දෙන්න උත්සාහ කරනවා. හැබැයි ඒ අපට ඕනෑ දේ කියලා එයාලා හිතන දේවල්. මම ඒ වගේ සම්බන්ධතා ගොඩක් අත්හැරලා තියෙනවා.

ඔබ නිර්මාණයෙන් විසඳුමක් යෝජනා නොකරන බව කීවා. ඔබේ පෞද්ගලික ජීවිතේදී ඔබ තෝරාගත්ත විසඳුම මොකක්ද?
මේ සීමාකිරීම් එන්නේ අපි ආදරය කරන කෙනෙකුගෙන්නේ. අපි පෙම් කරන කෙනෙක් කියලා හිතමුකො. අපි කොච්චර හිරවෙනවාද. ආදරය හෝ නිදහස තෝරාගන්න වෙනවා. එයාලා හැම වෙලාවෙම ඉස්සරහට දාන්නේ ආදරය. හැඟීම්වලින් අපව බ්ලැක් මේල් කරනවා. මම නම් මාව හැඟීම්වලින් බ්ලැක් මේල් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ආදරය කරන පුද්ගලයා වෙනුවෙන් මම මාව කැප කරන්නේ නැහැ. මම කියනවා මට ඕනෑ දේ මේකයි. ඔයා ඒක පිළිගන්න, නැත්නම් මාව අතාරින්න කියලා. මට මේ ජීවිතේ විතරයි තියෙන්නේ. මට ඒක ඇතුළේ මාව ඉතිරි කරගන්න ඕනෑ. ඒත් හැම කාන්තාවක්ම එහෙම නැහැ. සම්ප්‍රදාය හැමදාම පවතිනවා. අපි වගේ කාන්තාවන් මුරණ්ඩු, නරක ගැහැනුන් විදියට ලේබල් කරනවා.■