Wednesday, 23/8/2017 | 12:33 UTC+0
රාවය

දෙසැම්බර් තෙක් ඉන්න මෛත්‍රී ඉල්ලයි

කේ. සංජීව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර ගොඩනගා ගෙන තිබෙන සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද යන තීරණය එළැඹෙන දෙසැම්බර් 31 වැනිදායින් පසුව ගන්නයැ’යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජූලි 12 දින ඔහුගේ නිල නිවසේ පැවති ආණ්ඩු පක්ෂ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවේදී ඉල්ලීමක් කර ඇත.

ශ්‍රීලනිපය සහ එජාපය අතර වසර දෙකක සම්මුති පාලන ගිවිසුම කාලය එළැඹෙන දෙසැම්බරයේදී නිමාවට පත්වන අතර එය දීර්ඝ කිරීම පිළිබඳව වූ සංවාදය සමඟ ජනපතිවරයා මෙම ඉල්ලීම කළ බව දැනගන්නට ඇත. එජාපයේ කෙණෙහිලිකම් සහ ඔවුන් ආණ්ඩුකරණයේ නිරතවන ස්වරූපය ශ්‍රීලනිපයට ගැළපෙන්නේ නැති නිසා සහ ශ්‍රීලනිපය ආරක්ෂා කරගැනීම සඳහා මෙම සම්මුතිවාදී ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත්විය යුතුයැයි ශ්‍රීලනිපයේ බොහෝ දෙනකු පසුගිය කාලයේ රැස්වී  සාකච්ඡා කර තිබුණි.ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ නිවසේදී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡා කළේදැයි ඔහුගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ ශ්‍රීලනිපය සමඟි කර එය නොබෙදී පවත්වා ගැනීමට ජ්‍යෙෂ්ඨයන් ලෙස තම කණ්ඩායම නොයෙකුත් උත්සාහයන් ගන්නා බවය.

එසේ වුවද ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි දෙසැම්බර් මස 31 දක්වා සම්මුතිවාදී ආණ්ඩුවේ සියල්ලන්ම රැඳී සිටීද යන්න සැකසහිත බවත්, සමහර පුද්ගලයන් එම ඉල්ලීමට පිටුපා ඊට පෙර සම්මුති ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවත් ශ්‍රීලනිපයේම සමහර අයගේ මතය වී තිබේ. ■