Wednesday, 23/8/2017 | 12:33 UTC+0
රාවය

වසංගතයක් වූ ඩෙංගු

තරිඳු උඩුවරගෙදර

ඩෙංගු රෝගය මෑත කාලයේ නොතිබුණු තරම් භයානක ලෙස වර්ධනය වී ඇත. එය සැබැවින්ම හැඳින්විය හැක්කේ වසංගතයක් ලෙසයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් කියන්නේ ඇතැම්විට මෙය සමාන කළ හැක්කේ මීට පෙර ලංකාවේ වර්ධනය වුණ මැලේරියා වසංගත තත්ත්වයට බවයි.

රූපයේ දැක්වෙන වගුවේ ඇති පසුගි ය අවුරුදුවල වාර්තා වූ ඩෙංගු රෝගී න්ගේ සංඛ්‍යාව මාස හතක් ගතවෙද්දී පසුකරන්නට මේ වසරේ සමත් වී ඇත. සටහන ලියන මොහොත වනවිට ඩෙංගු රෝගීන් 87,636ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය නිල වශයෙන් පවසයි. නිල දත්ත මෙසේ තිබියදී අප සමඟ අදහස් දැක්වූ වෛද්‍යවරුන් පවසන්නේ මේ නිල දත්තවල දැක්වෙන ප්‍රමාණයට වඩා ඩෙංගු රෝගීන් ප්‍රමාණය බොහෝ වැඩි විය හැකි බවයි. විශේෂයෙන් මේ වන විට ඩෙංගු රෝගීන්ගේ නිවැරදි සංඛ්‍යාව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රසිද්ධ නොකර සිටින බවට වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් අය චෝදනා කරති. සංඛ්‍යා කෙසේ වෙතත් ඩෙංගු රෝගය පෙර නොතිබූ අයුරින් භයානක ලෙස වර්ධනය වී ඇති බව පෙනෙන කරුණකි. ලංකාව වසංගතයකට මුහුණදෙමින් සිටියි.

රෝහල්
මේ වෙද්දී රෝහල් රැසක් ඩෙංගු රෝගයට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙළ යොදා ඇත්තේය. ඩෙංගු රෝගය බහුල නොවන ප්‍රදේශවලින් අතිරේක වෛද්‍යවරුන් ගෙන්වා ගන්නටත් අතිරේක කාර්ය මණ්ඩල ගෙන්වා ගන්නටත් ඩෙංගු මර්දන ඒකකයේ මැදිහත්වීමෙන් පියවර ගෙන ඇත. ඩෙංගු රෝගීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට සමස්තයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනට පවතින සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා බව පෙනෙන්නට තිබේ. උද්ගත වී ඇති තත්ත්වය තේරුම් ගනිමින් උපරිම වෙහෙස වී රාජකාරි කරන සියලුදෙනාම අගය කරන්නට මෙය අවස්ථාවකි.
ඇඳන් ප්‍රමාණය මෙන් තුන්ගුණයක පමණ රෝගීහු ප්‍රමාණයක් මීගමුව රෝහලේ මෙන්ම අයිඩීඑච් උණ රෝහලේද සිටිති. වෛද්‍යවරුන්ද, හෙද නිලධාරීන්ද, අතුරු වෛද්‍ය සේවාද දිවා රෑ නොතකා සේවය කරමින් සිටින අතර නින්ද ලබන්නට සහ ආහාර ගන්නට පමණක් නිවාඩු ලබමින් මාස හයක් පමණ එක දිගට සේවය කරමින් සිටි නිලධාරීහු මේ රෝහල් දෙකේම සිටියෝය.

විශේෂයෙන් මීගමුව දිසා රෝහල ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් කරමින් සිටියි. රෝහලේ කාර්ය මණ්ඩලය මාස ගණනකින් නිවාඩු නැතිව රාජකාරි කරමින් සිටියි. එම රෝහලට හමුදාවෙන් නුපුහුණු කාර්ය මණ්ඩලයක් ලෙස පිරිසක් අනුයුක්ත කර ඇති අතර නාවික හමුදාවේ නිලධාරීන් කිහිපදෙනෙක් හෙද නිලධාරීන් ලෙස සහාය දෙමින් සිටිති. ඊට අමතරව රෝහලේ සේවකයෝ දිවා රෑ නොතකා, නිවාඩු නොලබා ඩෙංගු රෝගී න් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිති.

dengu-2

මීගමුව රෝහලේ ඉඩ පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණත් තවමත් විවෘත කර නොමැති ගොඩනැඟිල්ලක් විවෘත කොට අලු‍ත් වාට්ටු දෙකක් එක් කිරීම නිසා ඉඩ ප්‍රශ්නයට යම් සහනයක් ලැබී ඇත. එහෙත් එක් ඇඳක රෝගීන් දෙදෙනෙකු සිටින අතර ඇතැම් රෝගීන් බිම සිටින අයුරුද දකින්නට තිබුණි.

“මෙතැන හොඳට සලකනවා. දොස්තරලාත් නර්ස්ලාත් ගොඩක් වැඩ කරන බව පෙනෙනවා. මම නිතර මේ හොස්පිට්ල් එකට එනවා. මෙතැන විතරක් නෙවෙයි රාගම, ගම්පහ, ජයවර්ධනපුරත් ලෙඞ්ඩු බලාගන්න මම යනවා. ඩෙංගුවලට බෙහෙත් නැහැනේ මහත්තයා. දොස්තරලා කියන ටෙස්ට් ටික කරගෙන, ඒ විදියට කන්න බොන්න දීලා ලෙඩාට විවේක ගන්න දුන්නාම උණ බහිනවා.” රෝගීන් බලාගැනීමට පැමිණ සිටින සැම්සන් එසේ පැවසීය.

“මේ නම් ගංවතුරකටත් වඩා විනාශයක්. අපේ ගෙදර තියෙන පාරේ හැමෝටම වගේ ඩෙංගු හැදුණා. එක්කෙනෙක් සනීප වෙලා ගෙදර එද්දී තව කෙනෙක්ට හැදුණා. මම අසනීප වෙලා දවස් තුනක් හොස්පිට්ල් එකේ හිටියා. මුස්ලිම් අවුරුද්ද දවසේ මම හිටියේ හොස්පිට්ල් එකේ. දැන් මගේ පුතාට හැදිලා.” මීගමුව රෝහලේ සිටි ෆාතිමා තස්ලීම් මහත්මිය අප සමඟ පැවසුවාය.

“මම සති තුනක් නිවාඩු නැතිව වැඩ කරනවා. පොඩි නින්දකට, පොඩි කෑම වේලකට විතරයි නිවාඩු ලැබෙන්නේ.” වේගයෙන් දුව පනිමින් කටයුතු කරමින් සිටි හෙද නිලධාරිනියක් අප සමඟ පැවසුවාය.
අප මීගමුව රෝහලට යද්දී ඩෙංගු රෝගී හු 550ක පමණ ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියෝය. දිනකට රෝගීන් 140ක පමණ ප්‍රමාණයක් රෝහල්ගත වීම සහ රෝහලෙන් ඉවත්ව යෑම අඛණ්ඩව සිදුවෙමින් පවතියි. වැඩි වශයෙන් ඩෙංගු රෝගයට මුහුණදෙන්නේ වයස අවුරුදු 10-14 අතර දරුවන්ය. මීගමුව රෝහලින් මේ වසර තුළ ඩෙංගු රෝගීන් 6000ක පමණ ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ඇත. ඒ සියල්ලටම පැය විසිහතරේම සේවා සැපයීමට මීගමුව රෝහලේ කාර්ය මණ්ඩලයට සිදුව ඇති අතර බාධා නොතකා එක දිගට වැඩකිරීමට කාර්ය මණ්ඩලය කටයුතු කරන ආකාරය පැසසිය යුතුය. අප සමඟ කතාබහ කළ මීගමුව රෝහලේ අධ්‍යක්ෂිකා මහත්මියද නිවාඩු නොලබා රෝහලේ රැඳී සිටිමින් කටයුතු සොයා බලන අයුරු දක්නට ලැබුණි.

මීගමුව තම්මිට පල්ලියේ මේ වනවිට යුද හමුදාව විසින් රුධිර පට්ටිකා පරීක්ෂණය විනාඩි දහයක් තුළ සිදුකිරීම සඳහා කඳවුරක් පිහිටුවා ඇත. මීගමුව රෝහලේ පරීක්ෂණ විසිහතර පැයේ සිදු කරද්දී තම්මිට පල්ලියේද රෝහලට නොදෙවනි වේගයකින් විසිහතර පැයේ රුධිර පරීක්ෂාව සිදුකරමින් සිටියි.

“අපි හොස්පිට්ල් එකට යන්නේ නැතිව මෙතැනට ලේ චෙක් කරන්න ආවා. අපේ අල්ලපු ගෙදර පුතාට ඩෙංගු හැදුණාම එයාලා මෙතැනට ඇවිත් තිබුණා. හමුදාවේ මහත්තුරු හොඳට කතා කරනවා. ඉක්මනින් වැඬේ කරලා දෙනවා. ඒ නිසයි මෙතැනට ආවේ.” අප සමඟ රුධිර පරීක්ෂාවට දරුවා රැගෙන පැමිණ සිටි කාන්තාවක් එසේ පැවසුවාය.
වඩා සුහදව සහ කාර්යක්ෂම ලෙස රුධිර පරීක්ෂා කටයුතු කිරීමට තම්මිට පල්ලයේ යුද හමුදා නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

අයිඩීඑච්
අයිඩීඑච් උණ රෝහලද ඩෙංගු තත්ත්වයට අසීරුවෙන් මුහුණදෙමින් සිටියි. රෝහලේ වාට්ටු හතම මේ වනවිට අතුරු සිදුරු නැතිව පිරීගොස් ඇති අතර අටවැනි තාවකාලික වාට්ටුවක්ද ඩෙංගු රෝගීන් වෙනුවෙන් වෙන් කර ඇත. වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රමුඛ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය දිවා රාත්‍රී නොතකා ඩෙංගු වසංගතයට මුහුණදෙමින් සිටිති. මේ වනවිට අයිඩීඑච් රෝහල වෙනුවෙන් නව වාට්ටු සංකීර්ණයක් කඩිනමින් ඉදි කරමින් පැවතියත් එය සති කිහිපයක් යන තුරු විවෘත කළ නොහැකි වනු ඇතැයි රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය. මේ වනවිට රෝගීහු හයසීයකට අධික පිරිසක් එම රෝහලේද සේවය කරමින් සිටිති.

“මදුරුවා මොන වෙලාවේ විද්දාද දන්නෑ. අපි උපරිම පරෙස්සම් වුණා. ගෙදර සුද්ධ කළා. නෙට් එක දැම්මා. ඇඟේ පැඟිරි තෙල් ගෑවා. ඒත් බේරෙන්න බැරිවුණා.” අයිඩීඑච් රෝහලේ නේවාසිකව සිටි රෝගියෙක් පැවසීය. එක් පුද්ගලයෙකු කෙතරම් ප්‍රවේශම් වුණත් සමාජයක් ලෙස සියලුදෙනා එක්ව කටයුතු නොකළහොත් ඩෙංගු රෝගයෙන් ගැලවීම අසීරුය.
“පුතාට පළමුවැනි දවසේ උණ හැදුණා. දෙවැනි තුන්වෙනි දවස්වල උණ බැහැලා ගියා. ඒත් හතරවැනි දවසේ හොඳටම අමාරුවෙලා කලන්තෙ දැම්මා. ගෙනත් බලද්දී ඩෙංගු ඇඟේ තිබිලා. උණ පළමුවැනි දවසේ බැස්ස නිසා අපි ලේ බැලු‍වේ නැහැ. දැන් පුතාට හොඳටම අමාරුයි.” අප සමඟ කතාබහ කළ එක් මවක් එසේ පැවසුවාය. පුංචි අසනීප තත්ත්වයකදී වුව සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත්ය. ඩෙංගු වසංගතය දරුණු ලෙස හිස ඔසවා ඇති මොහොතක වැදගත්ම කරුණ වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ඩෙංගු තත්ත්වයට මුහුණදීමත් ඩෙංගු මර්දන කටයුතුවලට සූදානම් වීමත්ය.
රෝහල්වල ඩෙංගු රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වීමේදී අඩුපාඩු දකින්නට ලැබුණත් මේ මොහොතේ අඩුපාඩු පෙන්වීමටත් වඩා වෙහෙසවෙමින් කටයුතු කරන සියලුදෙනාම අගය කළ යුතුය. වැසිකිළි පහසුකම්වල, ඉඩකඩ පහසුකම්වල අඩුපාඩු ගැන රෝගීන් මැසිවිලි නැගූ අවස්ථාද බොහෝය. කෙසේ වෙතත් නිදහස් සෞඛ්‍ය සේවය එහි වචනාර්ථය ඉටු කරමින් සිටින බව පැහැදිලිය.

ඩෙංගු තුරන් කිරීම
ඩෙංගු මර්දනය වසර ගණනාවක් තිස්සේ වර්ෂා කාලය අවසන් වෙද්දී මතුවී නැවත යටපත් වන මාතෘකාවක් බවට පත්ව ඇත. ජීවිත සිය ගණනින් වාර්ෂිකව ඩෙංගු හේතුවෙන් රටට අහිමිවෙයි. එහෙත් ඩෙංගු මාතෘකාවක් වෙන්නේ මරණ ගණන වැඩිවෙද්දී පමණය.

“ඩෙංගු මර්දනය කරන එක ආණ්ඩුව සතු වගකීමක් බව ඇත්ත. හැබැයි ඒක ආණ්ඩුවට විතරක් කළ හැකි දෙයක් නෙවෙයි. ඩෙංගු ප්‍රශ්නය ජාතික වගකීමක් විදියට සලකන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි. ඒක එක කාලයකට විතරක් කතාකරන මාතෘකාවක් නොවී නිතිපතා කතාකරන මාතෘකාවක් බවට පත්වෙන්න ඕනෑ. මේ වැඩසටහන් කෙරෙන්නේ ඩෙංගු වැඩි වෙනකොට විතරයි. මෝසම් වැසි එන කාලයට ඩෙංගු වැඩි වෙනවා. ඒත් අනෙක් කාලයට ඩෙංගු මර්දනය කළොත් වැහි කාලයේදී එන මේ තත්ත්වයට මුහුණදෙන්න පුළුවන්. ඩෙංගු මදුරුවන්ට දුම් ගහන එක තාවකාලික දෙයක්. වැඩිහිටි මදුරුවා මරන එක විතරයි. මදුරුවා හැදෙන එක වළක්වන එක තමයි හොඳම විසඳුම. අපි අපේ ගෙදර සතියකට සැරයක් හරි අතුගානවා වගේ ඩෙංගු මදුරුවන් බෝවෙන තැන් ඉවත්කරන එකත් සතිපතා කළයුතු දෙයක්.”

ඩෙංගු මර්දන ඒකකය ඇතුළුව නිදහස් සෞඛ්‍ය සේවය මේ මොහොතේ හැකි උපරිමයෙන් කටයුතු කරන බව පෙනෙන්නට තිබුණත් ඩෙංගු වැළැක්වීමේදී නම් හැමදාම බිහිවූ ආණ්ඩු අසමත් වී ඇති බව පැහැදිලිය. නිසි පරිදි කටයුතු කළා නම් මේ වසරේ එක් ඩෙංගු මරණයක්වත් වාර්තා නොවන තැනට රට ගෙනඒම කළ හැකිව තිබුණි. එහෙත් ඒ සඳහා නිසි නායකත්වයක් ලැබී තිබුණේ නැත. ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් ඇතිකළ යුතුය. මේ මොහොතේ උද්ගතව ඇති වසංගතය අවසාන වෙද්දී 2018 මෝසම් වැසි සමය වෙද්දී එක් ඩෙංගු මරණයක්වත් වාර්තා නොවන තැනට රට ගෙනයෑම උනන්දුවක් ඇතිනම් කළ නොහැක්කක් නොවේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පෙරමුණ ගත යුතුය.■