රාවය

විජයදාසගේ මිල රුපියල් මිලියන 10000කින් වැඩියි

විජයදාසගේ මිල රුපියල් මිලියන 10000කින් වැඩියි

ලසන්ත රුහුණගේ

‘විජයදාසගේ මිල ගණන් වැඩියි’ යනුවෙන් අප මුල් පුවතක් පළකරනු ලැබූයේ පසුගිය ජූලි 02 දින පුවත්පතේය. එහිදී අනාවරණය කරනු ලැබූයේ චීනයේ යංජියෑන් සමාගම විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ‘හවුස් ඔෆ් ජස්ටිස්’ නම් වූ අධිකරණ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට කැබිනට් මණ්ඩලයට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් හා එම චීන සමාගමේ මිල මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයට සකස් කළ ඇස්තමේන්තුව වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බවත්ය.
එම ප්‍රවෘත්තිය කියවීමෙන් පසු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ යෝජනාවක් (Unsoliteded Proposal) යන්න කුමක්දැයි බොහෝ පිරිසකට ගැටලුවක් පැන නැගී තිබූ අතර එමෙන්ම අපගේ එම ප්‍රවෘත්තියේදී යංජියෑන් සමාගමේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 129.9ක් යන්න දෝෂයක් හේතුවෙන් පළවී තිබුණේ ඩොලර් 129.9ක් වශයෙන්ය. මිල ගණනේ සිදුවූ එම දෝෂය පසුගි ය සතියේ එනම් ජූලි 09 දින පුවත්පතේ නිවැරදි කර ඇත.

මේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ යෝජනා යන්න පසුගි ය රාජපක්ෂ පාලන සමයේදී කරළියට ආ රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය නොකළ ව්‍යාපාරික දේශපාලන ගජමිතුරු කොන්ත්‍රාත් ලබාදීමේ තවත් එක් ස්වරූපයක් විය. එහිදී සිදුවන්නේ අපගේ අවශ්‍යතාවක් හෝ අපගේ අවශ්‍යතාවක් නොවුණු දෙයක් පිළිබඳව විස්තරාත්මක යෝජනාවක් යම් සමාගමක් විසින් ඉදිරිපත් කිරීමත් ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදීමත්ය. අප විසින් කාලයක් තිස්සේ ප්‍රකාශයට පත් කළ අවශ්‍යතාවත් ගැන යම් කිසිවකු විසින් යෝජනාවක් ඉදිරිපත් කිරීම යම් තාක් දුරකට හෝ පිළිගත හැකි කරුණක් වුවද මේ ආකාරයේ බොහෝ යෝජනා අප විසින් ප්‍රකාශයට පත් නොකළ අවශ්‍යතා වෙනුවෙන් ඉදිරිපත්වීම පුදුම දනවනසුලුය. එම යෝජනා ඉදිරිපත් කරන පිරිසට පරචිත්ත විජානන ඥානය තිබෙනවාදැයි ඒ අනුව සැක සිතන්නට අපට සිදුවේ. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මෙන්ම, කොළඹ පෝට් සිටි ව්‍යාපෘතියද මේ ආකාරයේ චීන සමාගම් විසින් රාජපක්ෂ පාලන යුගයේදී ස්වේච්ඡාවෙන් අපට ඉදිරිපත් කළ යෝජනාය.

----
මේ ස්වේච්ඡා යෝජනාවල ඇති විශේෂත්වය වන්නේ එම යෝජනාව සමඟ ඉදිරිපත් කරන මිල ගණන් වෙනස් කිරීමේ හැකියාවන් බොහෝ විට අපට නොලැබීමය. ඒ ආකාරයේ ස්වේච්ඡා යෝජනා එන විට එම මිල ගණන් වෙනස් කරන්නටද දේශපාලකයන් කැමති නැත. ඒ ඇයිද යන්න අමුතුවෙන් කිවයුතු නැති අතර මෙම ස්වේච්ඡා යෝජනාවලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල මිලද ඒ සඳහා වැයවිය හැකියැයි අනුමාන කළ හැකි මිලටද වඩා බොහෝ වැඩි බව පෙනේ. එහෙත් සිදුවනු ලබන්නේ ජනතාවගේ මුදල් වැඩියෙන් වැයවෙන මෙවැනි යෝජනාවලට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමය. මෙම යෝජනා කැබිනට් මණ්ඩලයට පැමිණි විට කැබිනට් මණ්ඩල සාකච්ඡා කමිටුවක් :ක්‍්ඉසබැඑ ්චචදසබඑපැබඑ භැටදජස්එසදබ ක්‍දපපසඑඑැැ* හා තාක්ෂණික කමිටුවක් පත් කළද මේ ආකාරයේ ස්වේච්ඡා යෝජනාවල විශාල වෙනස්කම් කිරීමට එම කමිටුවලට හැකිවී නැත. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව යම් ටෙන්ඩරයක් කාට හෝ පිළිගන්වනවා නම් ඒ සඳහා ක්‍රම දෙකක් භාවිත කරයි.

එක් ක්‍රමයක් වන්නේ විශේෂඥ කණ්ඩායමක් විසින් ඒ සඳහා විස්තරාත්මක යෝජනාවක් සකස් කර මිල ගණන් ඉදිරිපත් කරන ලෙස ප්‍රසිද්ධියට පත්කිරීමයි. දෙවන ක්‍රමය වන්නේ යම් ව්‍යාපෘතියක් සඳහා මූලික යෝජනාවක් සකස් කර ඒ සඳහා අභිප්‍රායන් හෙවත් විස්තරාත්මක යෝජනා ඉදිරිපත් කරන ලෙස ප්‍රසිද්ධියට පත්කිරීමයි.
මෙහිදී ව්‍යාපෘතිය රුපියල් මිලියන 100ක් දක්වා නම් ඒ සඳහා ආයතන මට්ටමින් ටෙන්ඩර් කැඳවිය හැකි අතර ව්‍යාපෘතිය රුපියල් මිලියන 100ත් 200ත් අතර නම් අමාත්‍යාංශ මට්ටමින් ටෙන්ඩර් කැඳවිය යුතුය. ව්‍යාපෘතිය රුපියල් මිලියන 200ට වැඩි නම් කැබිනට් මණ්ඩලය විසින් එම කටයුතු සිදුකළ යුතුය.

මේ කිනම් මට්ටමේ ටෙන්ඩර් කැඳවීමකදී වුවත් ඊට අදාළ තාක්ෂණික කමිටුවක්ද මූල්‍ය කමිටුවක්ද පත් කළ යුතු අතර යෝජනාවල ඇති තාක්ෂණික කරුණු හා මූල්‍ය කරුණු අදාළ කමිටුවලදී සාකච්ඡාවට ගෙන තීරණය කරනු ලැබේ.
කරුණු එසේ වුවද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන යෝජනා කියා ජාතියක් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ හෝ රජයේ මුදල් රෙගුලාසිවල සඳහන් වන්නේ නැත. යහපාලන ආණ්ඩුවක් යටතේ මෙවැනි ස්වේච්ඡා යෝජනාවලට ඉඩ නැති බවත්, යහපාලන ආණ්ඩුව ඒ ගැන ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කොළඹ නව නගර ශාලාවේදී පැවති ප්‍රසිද්ධ සාකච්ඡාවකදී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මේ ආකාරයේ ගනුදෙනු ගැන ප්‍රකාශ කර තිබූ අදහසද මෙහිදී සිහියට නැගේ.

ඒ අනුව ඉදිකරනු ලබන ‘හවුස් ඔෆ් ජස්ටිස්’ ගොඩනැගිලි සංකීර්ණය සඳහා අධිකරණ අමාත්‍යාංශයට එවැනි ස්වේච්ඡා යෝජනාවක් ලැබුණේ කෙසේද යන්න ප්‍රශ්නකාරී වන අතර ඊටත් වඩා ප්‍රශ්නකාරී වන්නේ එවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම හා එය සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීමය.
එම තත්ත්වය තවදුරටත් කතාබහට ලක් කළ යුතු වන්නේ මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු යෝජනාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් සකස් කර තිබීමත් එම ඇස්තමේන්තුවේ සඳහන් මිල චීන සමාගම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කළ මිල හා සැසඳීමේදී ඉතා පහළ අගයක් ගැනීමත්ය.

කොළඹ අලුත්කඬේ අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටි බීසීසී ඉඩම මෙම ‘හවුස් ඔෆ් ජස්ටිස්’ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන අතර, අධිකරණ අමාත්‍යාංශය විසින් සකස් කරන ලද යෝජනාවේ ඇස්තමේන්තුව අනුව එම ඉදිකිරීම් සඳහා වැයවෙතැයි ගණන් බලා ඇති මුළු මුදල රුපියල් මිලියන 7456ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 57.35කි. ඉන් අධිකරණ සංකීර්ණය (මහාධිකරණ, දිස්ත්‍රික් අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ) ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 4986කි. අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 770කි. විනිසුරුවරුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 1200කි. නීති මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 500කි. මෙම සම්පූර්ණ ඇස්තමේන්තුගත මුදල බාහිරින් සපයා ගැනීමට නියමිත බවද එම යෝජනාවේ සඳහන්ය.

ඒ අනුව පෙනෙන්නේ අධිකරණ අමාත්‍යාංශයේ මෙම යෝජනාව සැකසීම සඳහා තාක්ෂණික කමිටුවක් හා මූල්‍ය කමිටුවක් පත්කර ඒ මගින් ලබාගත් දත්ත උපයෝගී කරගෙන අදාළ යෝජනාව සකසා ඇති බවය. මෙවැනි යෝජනාවක් සැකසීමේ අනෙක් තේරුම වන්නේ සිය යෝජනාවට අනුව යෝජනා කැඳවන්නට අධිකරණ අමාත්‍යාංශය සැලසුම් කර සිට ඇති බවය. එහෙත් දැන් සිදුවී ඇත්තේ එවැනි තරගකාරී යෝජනා කැඳවීමක් වෙනුවට අධිකරණ අමාත්‍යාංශයේ අවශ්‍යතාව පිළිබඳ පරචිත්ත විජානන ඥානය තිබූ චීන සමාගමක් විසින් ස්වේච්ඡා යෝජනාවක් ඉදිරිපත් කිරීම හා එය පිළිගත් අධිකරණ ඇමතිවරයා අනුමැතිය සඳහා එය කැබිනට් මණ්ඩලයට යොමු කිරීමය.

මේ සඳහා තරගකාරී යෝජනා කැඳවූවේ නම් අධිකරණ අමාත්‍යාංශය සැකසූ ඇස්තමේන්තුගත මුදලට හෝ ඊට ආසන්න මුදලකට මෙම ව්‍යාපෘතිය ඉටුකර ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම ලැබීම නියතය. එහෙත් සිදුවී ඇත්තේ ඇස්තමේන්තුගත මුදල මෙන් දෙගුණයකටත් වැඩි මුදලක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පැතීමය. යහපාලනය ගැන උනන්දුවක් ඇති පිරිස් කැබිනට් මණ්ඩලයේ සිටිනවා නම් (විජයදාස රාජපක්ෂට එවැනි වුවමනාවක් නැති බව ඔහුගේ පසුගිය කල්ක්‍රියා අපට ඔප්පු කර ඇත.) සිදුකළ යුත්තේ මෙම ස්වේච්ඡා යෝජනාවට විරුද්ධවීමය. අඩුම තරමේ මෙම ස්වේච්ඡා යෝජනාවෙන් යෝජනා කර ඇති මිල පිළිගත හැකි මිලක් දක්වා අඩුකිරීමය.

ඊට හේතුව චීන සමාගමේ මෙම ස්වේච්ඡා මිල හා අධිකරණ අමාත්‍යාංශය ඇස්තමේන්තු කර ඇති මිල අතර පරතරය ඇමරිකානු ඩොලර් මිලියන 72.55ක් හෙවත් රුපියල් මිලියන 10000කට වඩා වැඩිවීමය. යහපාලනයකදී මේ ආකාරයේ ගනුදෙනු කෙසේවත් සිදුවිය යුතු නැති නිසාය. තරගකාරීත්වය නොමැති ස්වේච්ඡා යෝජනාවලට යහපාලනයක් ඇත්නම් වැට බැඳිය යුතු නිසාය. අමතරව ඉතිරි කරගත හැකි මේ සා විශාල මහජන මුදලකින් අවශ්‍ය නම් ආණ්ඩුවට නිසි ප්‍රතිකාර නොලැබීමෙන් අකාලයේ මියයන දරු පරපුර රැකගැනීම සඳහා ළමා හෘදය රෝග ප්‍රතිකාර ගොඩනැගිලි කිහිපයක් ඉදිකළ හැකි නිසාය. (ළමා හෘදය රෝග ප්‍රතිකාර ගොඩනැගිල්ල සඳහා මහජන සත්කාර මත සොයමින් සිටින මුදල රුපියල් මිලියන 2000කි.)■