Wednesday, 23/8/2017 | 12:32 UTC+0
රාවය

ඉයන් ගුණතිලක, ජෝර්ජ් කීට් හා ඩේවිඩ් පේන්ටර්

වික්ටර් අයිවන්

මේ ලිපිය මා කිසියම් කාලයක් තිස්සේ ලියන්නට අදහස් කරගෙන සිටි එහෙත් ලියන්නට නොහැකි වූ ලිපියක් ලෙස සැලකිය හැකිය. මෙම ලිපියට විෂය කරගන්නා ඉහත සඳහන් චරිත තුනම ලංකාව බිහිකළ අසාමාන්‍ය තරමේ විශිෂ්ටයන් තිදෙනකු ලෙස සැලකිය හැකිය.

ඉයන් ගුණතිලක
ඉයන් ගුණතිලක 1971 සිට 1979 දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපතිවරයාය. පුස්තකාල ලේඛන විද්‍යා විෂයෙහි ඔහු ජාත්‍යන්තර තලයේද මහත් පිළිගැනීමක් හිමි කරගත් පුද්ගලයෙකු බවට පත්වූයේ ඔහු ඔහුගේ පශ්චාත් උපාධිය සඳහා ඉදිරිපත් කළ ්A Bibliorgraphy of Ceylon A Systematic Guide to the Literature on the Land, People, History & Culture Publised in Western Languages from the 16rh Century to the Present Day යන හිසින් ඉදිරිපත් කරන ලද නිබන්ධනය නිසාය. පසුව එය අවසන් කෙරුණේ ඒ මාතෘකාව යටතේ ලියන ලද දැවැන්ත පොත් කාණ්ඩ අටකිනි.

ඔහුගේ පුස්තක ලේඛනයට ඇතුළත් පොත් හඳුන්වාදීම සඳහා ලියන සටහන් අසමසම තත්ත්වයක තිබුණේයැ’යි කිව හැකිය. පොතේ අන්තර්ගතය පිළිබඳ හරි අවබෝධයක් ලබාදීමට ඒ සටහන් හේතුවේ. ඔහු ලංකාවේ 71 අප්‍රේල් කැරැල්ල ගැන The Arpil 1971 Insurrection in Ceylon – A Bibliographical Commentry යන හිසින් ලියා බෙල්ජියමේ ප්‍රකාශ කර ඇති කෘතිය අප්‍රේල් කැරැල්ල පිළිබඳව පළවී ඇති පොත්පත් හා ලේඛන පිළිබඳව හොඳ අවබෝධයක් ලබාදෙයි. එය සරල පොත් හා ලේඛන නාමාවලියක් ලෙස සැලකිය නොහැකිය. ඊට ඇතුළත් හැම පොතක් හා ලේඛනයක් පිළිබඳවම ඒවාහි අන්තර්ගතය හඳුන්වාදීම සඳහා ලියා තිබෙන සටහන් ඉතා අගනා තත්ත්වයක පවතී.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලංකාවේ තිබෙන පැරණිම ශාස්ත්‍රාලයීය පුස්තකාලය ලෙසද ලංකාවේ තිබෙන ලොකුම පුස්තකාලය ලෙසද සැලකිය හැකිය. එහි තිබෙන පොත්පත් හා ලිපි ලේඛනවල ප්‍රමාණය 815,000කි. එම පුස්තකාලය හිමිකරගෙන තිබෙන දියුණුව කෙරෙහි ඉයන් ගුණතිලක නමැති පුද්ගලයාද විශේෂ වශයෙන් බලපෑවේය.

ඉයන් ගුණතිලක පළමුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන්ද, පසුව ගාල්ලේ රිච්මන්ඞ් විද්‍යාලයෙන්ද, අධ්‍යාපනය ලබා ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූවෙකි. සහකාර පුස්තකාලයාධිපතිවරයෙකු ලෙස ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩ කිරීම ආරම්භ කර ඇත්තේ 1953දීය.

ඉයන් ගුණතිලක රැඩිකල් ආකල්පවලින් යුතු උගතෙක් විය. ඔහු විවාහ කොටගෙන සිටියේ ගෘහ සේවිකාවකි. ඒ බව ඔහු කිසිවිටෙක වසන් නොකළ අතර ඔහු සහභාගි වන සියලු සාදවලට ඇයද රැගෙන ගියේය. විශ්‍රාම යෑමෙන් පසු ඔහු ජීවත් වූයේද ඇගේ ගම වී තිබුණු ඔරුවල ප්‍රදේශයේ තනාගත් නිවසකය.

ivan-1
1995 වසරේදී පමණ මා ඔහු ජීවත් වූ ඔරුවල නිවසට ගියෙමි. එය අලුතෙන් තනන ලද සිවිලින් නොගැසූ උස රට උළු වහළකින් යුතු නිවසක් විය. නිවසේ පොත් රාක්කවල තිබූ පොත් සංඛ්‍යාව ඉතා විශාල විය. මා මීට පෙර ඉයන් ගුණතිලක හමුවී නැතත් අප දෙදෙනා අතර කිසියම් ප්‍රමාණයක දැනහැඳුනුම්කමක් තිබුණි. එහිදී ඔහු ඔහුගේ ්A Bibliorgraphy of Ceylon නමින් ඔහු ලියමින් තිබුණු පොත් ව්‍යාපෘතිය ගැන මා සමඟ කතා කළේය. තමාගේ සිහිනය මුළුමනින් සැබෑ කරගැනීමට නොහැකි වනු ඇති බව ඔහු කියන විට ඔහුගේ ඇස්වල කඳුළු පිරුණි.

ඔහු ළඟ ලොකු චිත්‍ර එකතුවක්ද තිබුණි. එම චිත්‍ර එකතුවේ ජෝර්ජ් කීට්ගේ චිත්‍ර ගණනාවක් තිබූ අතර ඊට අතිරේකව ජෝර්ජ් කීට් ඉයන් ගුණතිලකට ලියා එවන ලද ලියුම්වල අඳින ලද රේඛා චිත්‍ර සහිත විශේෂ එකතුවක්ද තිබුණි. ඒ ලියුම්වල ජෝර්ජ් කීට් විසින් ලියන ලද කවිද තිබුණි. ඉයන් ගුණතිලක කීට්ගේ රේඛා චිත්‍ර සහිත ලියුම් ගණනාවක් රාමු කොට බිත්තිවල එල්වා තිබුණි. තමා ඔරුවල ගේ හදමින් සිටි කාලයේදී තමන් දෙන ලද චිත්‍රවලින් කිහිපයක් විකුණා ගේ හදන වැඬේට යොදා ගන්නයි ජෝර්ජ් කීට් ඉල්ලා සිටියද තමන් එසේ නොකළ බවද ඔහු කියා සිටියේය. ඉයන් ගුණතිලක විසින් ජෝර්ජ් කීට්ගේ කලා ජීවිතය පිළිබඳව ලියා තිබෙන ග්‍රන්ථය (George Keyt, A Life in Art with a Bibliography of the Artist) කීට් පිළිබඳව ලියැවී තිබෙන කදිම ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකිය. පොතේ සිංහල පරිවර්තනයක්, එච්.ඩී. ගුණරත්න විසින් කර තිබෙන බව අසන්නට ලැබුණද එය ප්‍රකාශයට පත්කර තිබෙන බව අසන්නට ලැබුණේ නැත.

ජෝර්ජ් කීට් හා මයිකල් රොබට්ස්
ජෝර්ජ් කීට් ශ්‍රී ලංකාව බිහිකර තිබෙන හොඳම, චිත්‍ර ශිල්පියා ලෙස සැලකිය හැකිය. ඔහු ආසියාවේ පිකාසෝ ලෙස හැඳින්වේ. ඔහුගේ චිත්‍ර ලෝකයේ ප්‍රමුඛ චිත්‍රාගාරවල ප්‍රදර්ශනය කෙරේ. ඔහු චිත්‍ර ශිල්පියෙකු වනවාට අමතරව දක්ෂ කවියෙකි. ගීත ගෝවින්දය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේ ඔහුය. එම පරිවර්තනයට රේඛා චිත්‍ර ඇඳ ඊට අලුත් වටිනාකමක් ලබා දුන්නේය. ඔහු සිංහල භාෂාවද දැන සිටියේය. ගීත ගෝවින්දයේ සිංහල පරිවර්තනයටද ඔහු සහාය විය. ඔහු බටහිර චිත්‍ර කලාවෙන් ආභාසය ලැබූ චිත්‍ර ශිල්පියෙකු වුවද ඔහුගේ චිත්‍ර කලාව කෙරෙහි බෞද්ධ චිත්‍ර කලාව සේ ම හින්දු චිත්‍ර කලාවද බලපෑවේය. බොරැල්ලේ ගෝතමී විහාරයේ බිත්ති සිතුවම් කීට්ගේය.

ජෝර්ජ් කීට් ඉපදුණේ මහනුවරය. අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. ඔහු යුරෝපීය ඇඳුම් ඇන්දේ නැත. ඔහු ඇන්දේ කාදි ඇඳුමට සමාන ඇඳුමකි. ඔහු ලංකාවටද, ඉන්දියාවටද ආදරය කළේය. බුද්ධාගමට හා හින්දු ආගමටද ඇලුම් කළේය. ඔහු ලංකාව වෙනුවෙන් ඉටුකර තිබෙන කාර්යභාරය ඉතා විශාල වුවත් ඔහු ලන්දේසි සම්භවයකින් යුතු බර්ගර් ජාතිකයෙකු වීම නිසාත් ඔහුගේ හම සුදුවීම නිසාත් ඔහුගේ නම සිංහල නොවීම නිසාත් ඔහුට ලංකාවෙන් ලැබිය යුතුව තිබෙන පිළිගැනීම හා ගෞරවය ප්‍රමාණවත් තරම් නැතැයි කිව හැකිය. අපි ඔහු අපේ කෙනෙකු ලෙස පිළිගන්නට කැමති නැත. අපට ඔහු පෙනෙන්නේ පිටස්තරයෙකු ලෙසය. එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

ivan-2
මයිකල් රොබට්ස් ලංකාව බිහිකර තිබෙන ශාස්ත්‍රාලයීය උගතුන් අතර කැපී පෙනෙන තත්ත්වයක සිටින්නෙකි. ඔහු ලංකාව හා ලංකාවේ ප්‍රශ්න පිළිබඳව ලියා තිබෙන දේවල ප්‍රමාණය විශාලය. ඔහු ශ්‍රී ලාංකිකයෙකු වන අතර කලක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ අතර, පසුව ඕස්ටේ්‍රලියාවේ විශ්වවිද්‍යාලයක සේවය කළේය. ඔහු හා මා අතර දීර්ඝ කාලයක් තිස්සේ ඇති කරගත් මිත්‍රත්වයක් පවතී. ඔහු ලංකාව ගැන ලියා තිබෙන දේවල ප්‍රමාණය විශාල වුවත් සාමාන්‍ය මිනිසුන් තබා උපාධි අපේක්ෂකයන්වත් ඔහු කියවා නැතිවා පමණක් නොව ඔහු ගැන දන්නේවත් නැත.

ඒ ගැන මීට අවුරුදු 20කට පමණ ඉහතදී මයිකල් රොබට් සමඟ කතා කර ඇත්තෙමි. මයිකල් රොබට්ස් කියන විට බොහෝ දෙනකු සිතනු ඇත්තේ ඔබ සුද්දකු කියා බවත් ලාංකික උගතෙකු බව දැනගැනීම සඳහා ලියා තිබෙන පොතක් දෙකක් සිංහල හා දෙමළ භාෂාවෙන් පළකරන ලෙසත් මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහු මාගේ කතාවෙන් සසල වූ බවක් පෙනෙන්නට තිබුණි. ඔහු විදේශගතවී කිසියම් කලකට පසුව මා වෙත ලිපියක් එවා තිබුණු අතර එහි මයිකල් රොබට්ස්ගේ අත්සනට අතිරේකව ලංකාව ගැන පොත් ලියා ඇති නාමධාරී උගතුන් අටදෙනෙකුගේ අත්සන් තිබුණි. ඔවුන් ලියා ඇති පොත් සිංහලෙන් පළකරන්නට කැමති නම් ඊට අනුමැතිය දෙන බවත් ඒ සඳහා කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවන බවත් එහි සඳහන් වී තිබුණි. එම ලිපියට අත්සන් කර තිබූ අය අතර ජොනතන් ස්පෙන්සර්, වැලන්ටයින් ඩැනියල්, ජෝන් ඩී. රොජස් අය අයගේ නම් තිබූ බව මට මතකය. ඒ සියලුදෙනාගේ පොත් පළකිරීමට හැකිවූයේ නැතත්, මයිකල් රොබට්ස්, ජොනතන් ස්පෙන්සර්, වැලන්ටයින් ඩැනියෙල් යන අයගේ රචනා තුනක් පරිවර්තනය කරවා, කුඩා පොත් තුනක් වශයෙන් පළකිරීමට සමත් විය.

විශ්වවිද්‍යාලවල පරිහානිය
ලංකාවේ විවිධ ප්‍රශ්න අළලා ඉහළම පෙළේ ශාස්ත්‍රීය උගතුන් ලෙස සැලකිය හැකි අය ලියා තිබෙන පොත්වල ප්‍රමාණය විශාල වුවත් ඒ සියල්ල පළවී තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වන නිසා සිංහල භාෂාවට හෝ දෙමළ භාෂාවට සීමාවී සිටින අයට එම පොත්වල තිබෙන දැනුම ග්‍රහණය කරගැනීමට පුළුවන් වන්නේ නැත. ලංකාවේ චින්තනයේ දුගීභාවය කෙරෙහි එයද වැදගත් හේතුවක් ලෙස බලපා තිබේ. සිංහල රාජ්‍ය භාෂා නීතිය විශ්වවිද්‍යාලවල ද්වි භාෂා අධ්‍යාපනයට ලැබී තිබුණු වැදගත්කම නැති භංග කළේය. විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දැනුම බොහෝ දුරට සිංහල භාෂාවට හෝ දෙමළ භාෂාවට සීමා කළේය. ලංකාවේ පොත් ප්‍රකාශකයන් පවා උනන්දුවක් දක්වන්නේ දේශීය නවකතා හෝ විදේශීය නවකතාවල පරිවර්තන පළකරන්නටය. ඔවුන් නිර්මාණ ලෙස සලකන්නේ කලාවට සම්බන්ධ දේවල් පමණය. ශාස්ත්‍රීය වැදගත්කමක් හා විශ්ලේෂණාත්මක වැදගත්කමක් ඇති පොත්පත් නිර්මාණ ලෙස සලකන්නේ නැත.

මා මේ ප්‍රශ්නය ගැන යුරෝපයේ සිටින ලංකාව පිළිබඳ විශේෂඥයකු ලෙස සැලකුණු මික්මෝර් සමඟ කතා කර ඇත්තෙමි. ඔහු සසෙක්ස් විශ්වවිද්‍යාලයට සම්බන්ධ මහාචාර්යවරයෙකු වූ අතර ලංකාව ගැන විශාල ප්‍රමාණයක් පත්‍රිකා ලියා ඇති ලංකාවේ ප්‍රශ්න ගැන තියුණු අවබෝධයක් තිබූ උගතෙකු ලෙස ද සැලකිය හැකිය. The State and the Peasant Politics in Sri Lanka යන්න ඔහු ලංකාව ගැන ලියා තිබෙන ප්‍රධාන පොත ලෙස සැලකිය හැකිය. මා ඔහුට පෙන්වා දෙන්නට උත්සාහ කළේ බටහිර රටවල්වලින් ලැබෙන ආධාර යටතේ පවත්වාගෙන යන සමාජ විද්‍යා පර්යේෂණ ආයතන ගණනාවක් ලංකාවේ තිබුණද ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් පළකරන පොත් සිංහල හෝ දෙමළ භාෂාවට පරිවර්තනය කර පළ නොකරන බවය. ගැටුම් තිබෙන්නේ නම් ලංකාවේ නම් ඒ ගැන වන දැනුම වඩාත්ම අවශ්‍ය වන්නේ ලංකාවේ මිනිසුන්ට වුවත් ඔවුන්ගෙන් ලංකාවේ මිනිසුන්ට ලැබෙන දැනුමක් නැති බවත් අවසාන විග්‍රහයේදී ඔවුන් කරන ක්‍රියාවල කිසිම තේරුමක් නැති බවත් මම කියා සිටියෙමි. මාගේ එම කතාවට ඔහු උනන්දුවෙන් සවන් දුනි. ඉන් දින කිහිපයකට පසු ඔහු මට කතා කොට ඒ ගැන වන ඔහුගේ නිරීක්ෂණ මට ඉදිරිපත් කළේය. ඔහු කොළඹ තිබෙන එවැනි ආයතන කිහිපයකට ගොස් ඔවුන් පළකරන පොත් ගැන සොයා බැලීමක් කර තිබුණි. ඒවාහි දේවල් සිදුවෙමින් පවතින්නේ මා කියන ලද ආකාරයට බව ඔහු පිළිගත්තේය.

ලංකාව පිළිබඳව පළවී තිබෙන හොඳ පොත් සිංහලෙන් පළකරන වැඩසටහනක් සඳහා අවශ්‍ය අරමුදල් සොයා දීමට තමන්ට හැකි බව කියා ඒ වගකීම භාරගන්නට මා සූදානම්දැයි මගෙන් අසා සිටියේය. මා පුවත්පතක් පවත්වාගෙන යන හා විශාල නඩු ගණනකට පැටලී සිටින කාර්ය බහුල පුද්ගලයෙකු වන නිසා ඒ වගකීම භාරගන්නට මට පුළුවන්කමක් නැති බව කියා සිටියෙමි.

මීට මාස කිහිපයකට ඉහතදී ආචාර්ය උපාධියකට සූදාම්නම්වෙමින් සිටි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීම සඳහා කල්තියා දැනුම්දී මගේ නිවසට ආවේය. ඔහු මා සමඟ සාකච්ඡාවකට යන්නට පෙර මා ළඟ තිබූ පොත් එකතුව නරඹමින් නෙදර්ලන්තයේ උගතෙකු (Josine Van Der Horst) ප්‍රේමදාස යුගයේදී ක්‍රියාත්මක වූ ආගමික අලංකාරොක්තිය අළලා ලියන ලද Who is he, What is he doing’යන පොත මා ළඟ තිබේදැයි ඇසුවේය. මා එම පොත සොයා ඔහු අතට දුන් විට ඔහුගේ මුහුණේ විස්මයජනක හැඟීමක් ඇතිවූ බව පෙනෙන්නට තිබුණි. ඉන්පසු එම පොතට අදාළ ලස්සන කතාවක් කීවේය.

එම පොත ගැන සමාජ විද්‍යාඥයෙකු ලියන ලද විවරණයක් කියවන්නට ලැබී ඔහු එම සමාජ විද්‍යාඥයා හමුවී ඒ පොත ගැන විමසීමක් කර තිබේ. ඔහුට සමාජ විද්‍යාඥයා කියා ඇත්තේ තමන් එම පොත නොකියවූ බවත් විවරණයක් ලීවේ අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු මත බවත්ය. ඉන්පසු ඔහු ප්‍රකට සමාජ විද්‍යාඥයෙකු හමුවී එම පොත ගැන විමසූ විට කියා ඇත්තේ තමන් එම පොත කියවා නැති බවය.

ඔහු මා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාව අවසන් වූ පසුව ඉහත සඳහන් පොතද, තාරා කුමාරස්වාමිගේ නිබන්ධනයේ පිටපතද තවත් පොතක්ද ගෙන ඒවා කොළඹ ගෙන ගොස් කියවා ආපසු ගෙනවිත් දෙන්න දැයි විමසීය. මම ඊට විරුද්ධ වුණෙමි. ඒ ගැන වන මාගේ තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මම ඔහුට මගේ අත්දැකීමක් විස්තර කරන්නට සිදුවිය. මා මීට බොහෝ කලකට ඉහතදී 71 කැරැල්ල ගැන ආචාර්ය උපාධියක් සඳහා සූදානම්වෙමින් සිටි පුද්ගලයෙකුට ඔහුගේ බලවත් ඉල්ලීම නිසා ජේවීපීයට අදාළ මා ළඟ තිබූ පත්‍රිකා එකතුවක් ඔහුට දුන්නෙමි. එහෙත් ඔහු මට ඒවා ආපසු දුන්නේ නැත. ඉන්පසු මා ළඟ තිබෙන දුලබ දේවල් කිසිවකුට ගෙනියන්නට ඉඩ නොදෙන බව කීවෙමි.

ඬේවිඞ් පේන්ටර්
මගේ ලිපිය සම්පූර්ණ කිරීමට නම් ඬේවිඞ් පේන්ටර්ගේ කතාවද කිව යුතුය. ඒ සමඟ ඉයන් ගුණතිලකගේ කතාවද අවසන් කළ යුතුය. ඬේවිඞ් පේන්ටර්ගේ කතාවෙන් කියවෙන්නේද ලංකාවේ විශ්වවිද්‍යාල තලයේ ඇතිවී තිබෙන කුණුවීම ගැනය.
ඬේවිඞ් පේන්ටර් (1900-1915)ගේ පියා ඉංග්‍රීසි ජාතිකයෙකි. මව පහතරට සිංහල කාන්තාවකි. ඬේවිඞ් අධ්‍යාපනය ලැබුවේද මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. පස් අවුරුදු ශිෂ්‍යත්වයක් හිමිකර ගනිමින් එංගලන්තයේ රෝයල් ඇකඩමියේ චිත්‍ර කලාව හැදෑරුවේය. සිව්වැනි වසරේදී එම ඇකඩමියේ රන් පදක්කම දිනා ගනිමින් වසර දෙකක කාලයක් ඉතාලියේ කරන හැදෑරීම් සඳහා ශිෂ්‍යත්වයක් හිමිකර ගත්තේය. ඉන්පසු ලංකාවට පැමිණියේ 1925දීය.

ත්‍රිත්ව විද්‍යාලයේ බෞද්ධ ගෘහ නිර්මාණ ආරයකට ඉදිකර තිබෙන දේවස්ථානයේ සියලු බිත්ති සිතියම් අඳින ලද්දේ ඬේවිඞ් පේන්ටර්ය. එහි ඇති ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසන චිත්‍රයේ ඇති ක්‍රිස්තුස් වහන්සේ ඇඳ තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේට සිංහල ස්වරූපයක් ලබාදෙන ආකාරයටය. එහි තිබෙන බිත්ති චිත්‍ර ඔහුගේ නිර්මාණයන් අතර තිබෙන ශ්‍රේෂ්ඨ නිර්මාණ ලෙස සැලකිය හැකිය. ඬේවිඞ් පේන්ටර් නූතන චිත්‍ර කලාව ලංකාවට හඳුන්වා දුන් පුරෝග ාමියා වනවා පමණක් නොව මනා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වී සිටින චිත්‍ර ශිල්පියෙකු ලෙසද සැලකිය හැකිය. ඉන්දියානු ගැනුම්කරුවන් අතර ඬේවිඞ් පේන්ටර්ගේ චිත්‍රයකට ලැබෙන සාමාන්‍ය මිල ඉන්දියන් රුපියල් ලක්ෂ තුනක් බව කියනු ලැබේ. ඔහු වර්තමාන සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ පුරෝගාමී ආයතනය ලෙස සැලකිය හැකි රජයේ කලා ආයතනයේ දෙවැනි විදුහල්පතිවරයාය.

ඬේවිඞ් පේන්ටර්ගේ අභාවයෙන් පසුව ඔහුගේ සියලු නිර්මාණ කෘතිවල භාරකාරත්වය ඔහුගේ බාල සොහොයුරිය වන ඊවා ඩාර්ලින්ට පැවරී තිබුණි. ඇය නුවරඑළියේ පේන්ටර් හෝම් ආයතනය සතුව තිබූ පේන්ටර්ගේ චිත්‍ර එකතුවෙන් තෝරා ගත් චිත්‍ර 19ක් ඬේවිඞ් පේන්ටර්ගේ අපේක්ෂා සැපිරීමක් ලෙස සෞන්දර්යය විශ්විවද්‍යාලයේ නිත්‍ය ප්‍රදර්ශනය පිණිස එම විශ්වවිද්‍යාලයට තෑගි කළාය. ලැබෙන්නට නියමිත එම චිත්‍ර එකතුවේ භාරකාරත්වයද සඳහා භාරකාර මණ්ඩලයක්ද විශ්වවිද්‍යාලය ඇති කරගත්තේය. එම භාරකාර මණ්ඩලය සමන්විත වූයේ ඒ.ජේ. ගුණවර්ධන, සේනක බණ්ඩාරනායක හා ඇල්බට් ධර්මසිරි යන මහාචාර්යවරුන් තිදෙනාගෙනි.

චිත්‍ර එකතුව ලබාගන්නට පෙර අන්තිම කැමති පත්‍රය ලිව් ඊවා ඩාර්ලින් අභාවයට පත්විය. මහාචාර්ය ඒ.ජේ. ගුණවර්ධනද අභාවයට පත්විය. මහාචාර්ය සේනක බණ්ඩාරනායක රෝගාතුරව එක්තැන් විය. විශ්වවිද්‍යාලයට ලැබිය යුතු චිත්‍ර 19 මහාචාර්ය ඇල්බට් ධර්මසිරි විසින් ලබාගෙන තිබුණද අන්තිම කැමති පත්‍රයට අනුව දෘශ්‍ය කලා පීඨයේ ජේ.ඩී. පෙරේරා කලාගාරයේ ඬේවිඞ් පේන්ටර් වෙනුවෙන් නම් කරන ලද කාමරයේ ප්‍රදර්ශනය පිණිස ඒවා විශ්වවිද්‍යාලයට ලබාදී නොතිබුණි.

දේවල් පොරොන්දු වී තිබූ ආකාරයට සිදු නොවීම නිසා ඬේවිඞ් පේන්ටර්ගේ රසිකයන් විශ්වවිද්‍යාල බලධාරීන්ට ඒ ගැන පැමිණිලි කළේය. ඉන්පසු ඬේවිඞ් පේන්ටර් ආයතනයද විශ්වවිද්‍යාල බලධාරීන්ට ඒ ගැන පැමිණිලි කළේය. අවසානයේ එම විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන පීඨයේ පීඨාධිපතිවරයා (මහාචාර්ය සරත් චන්ද්‍රජීව) ඒ ගැන මහාචාර්යවරයාගෙන් කරුණු විමසීමක් කළේය. මාහචාර්යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා පීඨාධිපතිවරයා ඒ ගැන මහාචාර්යවරයාගෙන් ලිඛිතව කරුණු විමසීමක් කළේය. ඊටද ප්‍රතිචාරයක් නොලැබුණු පසු පීඨාධිපතිවරයා මහාචාර්යවරයාට එරෙහිව එෆ්සීඅයිඩීයට පැමිණිලි කළේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් එම මහාචාර්යවරයා නාමධාරී ධනවතුන්ට ලොකු මුදලකට විකුණා තිබුණු චිත්‍ර පහක් සමඟ මහාචාර්යවරයාගේ නිවසේ තිබූ ඉතිරි චිත්‍රද එෆ්සීඅයිඩිය විසින් අත්අඩංගුවට ගෙන මහාචාර්යවරයාට එරෙහිව නඩු පැවරුවේය. විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු අතින් මෙවැනි දේවල් සිදුවිය හැකිද? එහිදී පීඨාධිපතිවරයා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකළේ නම් ඒ සියලු චිත්‍ර විශ්වවිද්‍යාලයට අහිමි වන්නට ඉඩ තිබුණි.

ඉයන් ගුණතිලකගේ එකතුව
ඉයන් ගුණතිලක මියගියේ 2003දීය. ඔහුගේ මරණයට ලොකු සැලකිල්ලක් ලැබුණේද නැත. ඔහුගේ මරණය වෙනුවෙන් ඔහු ගැන ලිපි පළ කොට තිබුණේ ඉංග්‍රීසි පුවත්පත් දෙකක් පමණය.

ඬේවිඞ් පේන්ටර්ගේ කතාව අසන්නට ලැබුණු විට මට ඉයන් ගුණතිලක සිහිවිය. ඉයන් ගුණතිලක 1977 ජනවාරි 5 වැනිදා සිය 75 වැනි උපන් දිනයේදී ඔහු ළඟ තිබූ දැවැන්ත පොත් එකතුවද අගනා චිත්‍ර එකතුවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තෑගි කළේය. එම චිත්‍ර එකතුව ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක් ඔහුගෙන් ලොකු මුදලකට ලබාගැනීමට උත්සාහ කර තිබූ අතර බැංකුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉයන් ගුණතිලක කියා ඇත්තේ තමන්ගේ සමස්ත එකතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තෑගි කිරීමට තීරණය කර තිබෙන බවය. චිත්‍ර එකතුවේ වටිනාකම පමණක් අතිවිශාල විය හැකිය.
ඉයන් ගුණතිලකගේ පොත් එකතුව හා චිත්‍ර එකතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් සිය භාරයට ගෙන ඇත්තේ ඉයන් ගුණතිලකගේ මරණයෙන් පසුවය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෙන ගිය චිත්‍ර එකතුවට ඇතුළත් සමහර චිත්‍ර පිල්ලි ගසාගෙන ඇති බවට කටකතාද පැතිර තිබුණි.

මා ඒ ගැන මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස මහතාගෙන් විමසීමක් කරන ලද්දේ මේ ලිපිය ලියමින් සිටියදීය. ගෙදර තිබුණු චිත්‍ර එකතුව විශ්වවිද්‍යාලය වෙනුවෙන් බාරගත්තේ තමා බව මහාචාර්යවරයා කීවේය. එම චිත්‍ර එකතුව විධිමත් ලෙස ලැයිස්තු ගත කර ඇති බවත්, එම එකතුව සඳහා භාරකාර මණ්ඩලයක්ද තිබෙන බවත් තමාද එහි සාමාජිකයෙකු බවත් චිත්‍ර එකතුවේ කිසිම චිත්‍රයක් අන්සතුවීමේ හැකියාවක් නැති බවත් ඒවා ඉතාමත් සුරක්ෂිතව ගබඩාවක දමා වසා තිබෙන බවත් කියා සිටියේය.

ඉයන් ගුණතිලක මරණයට පත්වී දැන් වසර 14කි. එම වසර 14ම චිත්‍ර තිබෙන්නට ඇත්තේ එම වසා තිබෙන ගබඩා කාමරයේය. ඉයන් ගුණතිලක එම වටිනා චිත්‍ර විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කරන්නට ඇත්තේ මහජනයාට ප්‍රදර්ශනය කිරීම සඳහා මිස ගබඩා කාමරයකට තබන්නට විය නොහැකිය. අනෙක් අතට එවැනි වටිනා චිත්‍ර එකතුවක් ඒ ආකාරයට තැබීමද සුදුසු නැත. එම චිත්‍රවලට නිසි විසඳුමක් ලබාදීමට අවුරුදු 14ක් තරම් දීර්ඝ කාලයක් ගතවීත් නොහැකි වී නම් විසඳුමක් සොයා ගන්නට තවත් දීර්ඝ කාලයක් ගතවිය හැකිය. රටේ දේවල් සිදුවන ආකාරය කොතරම් අවිධිමත්ද?■